එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ගිජ්ඣකූට පර්වතයෙහි වැඩවසන සේක. එසමයෙහි ආයුෂ්මත් ධම්මික තෙරණුවෝ ජාතිභූමියෙහි ජාතිභූමියට අයත් සෑම ආවාස සතෙහි ම නේවාසික ව සිටිති.

එකල්හී ආයුෂ්මත් ධම්මික තෙරහු ආගන්තුක භික්ෂූන්ට ආක්‍රෝශ කරති. පරිභව කරති. වෙහෙසති. මුඛය නැමැති ආයුධයෙන් පහර දෙති. වචනයෙන් නුරුස්නා දේ කියති. එවිට ඒ ආගන්තුක භික්ෂූහු ආයුෂ්මත් ධම්මික තෙරුන් විසින් ආක්‍රෝශ කරන ලදු ව, පරිභව කරන ලදු ව, වෙහෙසන ලදු ව, මුඛය නැමැති ආයුධයෙන් පහර දෙන ලදු ව, වචනයෙන් නුරුස්නා දේ කියන ලදු ව එයින් නික්ම යති. වැඩ නොසිටිති. ආවාසය අත්හරිති.

එකල්හී ජාතිභූමිවාසී උපාසකවරුන්ට මේ අදහස ඇතිවිය. ‘අපි වනාහී භික්ෂු සංඝයාට චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස බෙහෙත් පිරිකරින් උපස්ථාන කරමු. එසේ නමුත් මේ ආගන්තුක භික්ෂූන් වහන්සේලා නික්ම වඩිනවා නොවැ. වැඩ නොසිටිනවා නොවැ. ආවාසය අත්හරිනවා නොවැ. ආගන්තුක භික්ෂූන් වහන්සේලා යම් හෙයකින් නික්ම වඩිත් නම්, වැඩ නොසිටිත් නම්, ආවාසය අත්හරිත් නම්, මෙයට හේතුව කුමක් ද? ප‍්‍රත්‍යය කුමක් ද?’ යි.

එවිට ජාතිභූමිවාසී උපාසකවරුන් මේ අදහස ඇතිවිය. ‘මේ ආයුෂ්මත් ධම්මික තෙරහු වනාහී ආගන්තුක භික්ෂූන්ට ආක්‍රෝශ කරති. පරිභව කරති. වෙහෙසති. මුඛය නැමැති ආයුධයෙන් පහර දෙති. වචනයෙන් නුරුස්නා දේ කියති. එනිසා ඒ ආගන්තුක භික්ෂූහු ආයුෂ්මත් ධම්මික තෙරුන් විසින් ආක්‍රෝශ කරන ලදු ව, පරිභව කරන ලදු ව, වෙහෙසන ලදු ව, මුඛය නැමැති ආයුධයෙන් පහර දෙන ලදු ව, වචනයෙන් නුරුස්නා දේ කියන ලදු ව එයින් නික්ම යති. වැඩ නොසිටිති. ආවාසය අත්හරිති. අපි ආයුෂ්මත් ධම්මික තෙරුන් මේ ආවාසයෙන් බැහැර කරන්නෙමු නම් මැනැවි’ යි.

ඉක්බිති ජාතිභූමිවාසී උපාසකවරු ආයුෂ්මත් ධම්මික තෙරුන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් ධම්මික තෙරුන්ට මෙය පැවසූහ.

”ස්වාමීනී, ආයුෂ්මත් ධම්මික තෙරහු මේ ආවාසයෙන් නික්ම වඩිත්වා. ඔබවහන්සේ මෙහි සිටීමෙන් වැඩක් නැත.”

එකල්හී ආයුෂ්මත් ධම්මික තෙරහු ඒ ආවාසයෙන් වෙනත් ආවාසයකට ගියහ.

එහිදී ත් ආයුෂ්මත් ධම්මික තෙරහු ආගන්තුක භික්ෂූන්ට ආක්‍රෝශ කරති. පරිභව කරති. වෙහෙසති. මුඛය නැමැති ආයුධයෙන් පහර දෙති. වචනයෙන් නුරුස්නා දේ කියති. එවිට ඒ ආගන්තුක භික්ෂූහු ආයුෂ්මත් ධම්මික තෙරුන් විසින් ආක්‍රෝශ කරන ලදු ව, පරිභව කරන ලදු ව, වෙහෙසන ලදු ව, මුඛය නැමැති ආයුධයෙන් පහර දෙන ලදු ව, වචනයෙන් නුරුස්නා දේ කියන ලදු ව එයින් නික්ම යති. වැඩ නොසිටිති. ආවාසය අත්හරිති.

එකල්හී ජාතිභූමිවාසී උපාසකවරුන්ට මේ අදහස ඇතිවිය. ‘අපි වනාහී භික්ෂු සංඝයාට චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස බෙහෙත් පිරිකරින් උපස්ථාන කරමු. එසේ නමුත් මේ ආගන්තුක භික්ෂූන් වහන්සේලා නික්ම වඩිනවා නොවැ. වැඩ නොසිටිනවා නොවැ. ආවාසය අත්හරිනවා නොවැ. ආගන්තුක භික්ෂූන් වහන්සේලා යම් හෙයකින් නික්ම වඩිත් නම්, වැඩ නොසිටිත් නම්, ආවාසය අත්හරිත් නම්, මෙයට හේතුව කුමක් ද? ප‍්‍රත්‍යය කුමක් ද?’ යි.

එවිට ජාතිභූමිවාසී උපාසකවරුන් මේ අදහස ඇතිවිය. ‘මේ ආයුෂ්මත් ධම්මික තෙරහු වනාහී ආගන්තුක භික්ෂූන්ට ආක්‍රෝශ කරති. පරිභව කරති. වෙහෙසති. මුඛය නැමැති ආයුධයෙන් පහර දෙති. වචනයෙන් නුරුස්නා දේ කියති. එනිසා ඒ ආගන්තුක භික්ෂූහු ආයුෂ්මත් ධම්මික තෙරුන් විසින් ආක්‍රෝශ කරන ලදු ව, පරිභව කරන ලදු ව, වෙහෙසන ලදු ව, මුඛය නැමැති ආයුධයෙන් පහර දෙන ලදු ව, වචනයෙන් නුරුස්නා දේ කියන ලදු ව එයින් නික්ම යති. වැඩ නොසිටිති. ආවාසය අත්හරිති. අපි ආයුෂ්මත් ධම්මික තෙරුන් මේ ආවාසයෙන් බැහැර කරන්නෙමු නම් මැනැවි’ යි.

ඉක්බිති ජාතිභූමිවාසී උපාසකවරු ආයුෂ්මත් ධම්මික තෙරුන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් ධම්මික තෙරුන්ට මෙය පැවසූහ.

“ස්වාමීනී, ආයුෂ්මත් ධම්මික තෙරහු මේ ආවාසයෙන් නික්ම වඩිත්වා. ඔබවහන්සේ මෙහි සිටීමෙන් වැඩක් නැත.”

එකල්හී ආයුෂ්මත් ධම්මික තෙරහු ඒ ආවාසයෙන් වෙනත් ආවාසයකට ගියහ.

එහිදී ත් ආයුෂ්මත් ධම්මික තෙරහු ආගන්තුක භික්ෂූන්ට ආක්‍රෝශ කරති. ….(පෙ)…. වචනයෙන් නුරුස්නා දේ කියති. එවිට ඒ ආගන්තුක භික්ෂූහු ආයුෂ්මත් ධම්මික තෙරුන් විසින් ආක්‍රෝශ කරන ලදු ව, පරිභව කරන ලදු ව, වෙහෙසන ලදු ව, මුඛය නැමැති ආයුධයෙන් පහර දෙන ලදු ව, වචනයෙන් නුරුස්නා දේ කියන ලදු ව එයින් නික්ම යති. වැඩ නොසිටිති. ආවාසය අත්හරිති.

එකල්හී ජාතිභූමිවාසී උපාසකවරුන්ට මේ අදහස ඇතිවිය. ‘අපි වනාහී භික්ෂු සංඝයාට චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස බෙහෙත් පිරිකරින් උපස්ථාන කරමු. එසේ නමුත් මේ ආගන්තුක භික්ෂූන් වහන්සේලා නික්ම වඩිනවා නොවැ. වැඩ නොසිටිනවා නොවැ. ආවාසය අත්හරිනවා නොවැ. ආගන්තුක භික්ෂූන් වහන්සේලා යම් හෙයකින් නික්ම වඩිත් නම්, වැඩ නොසිටිත් නම්, ආවාසය අත්හරිත් නම්, මෙයට හේතුව කුමක් ද? ප‍්‍රත්‍යය කුමක් ද?’ යි.

එවිට ජාතිභූමිවාසී උපාසකවරුන් මේ අදහස ඇතිවිය. ‘මේ ආයුෂ්මත් ධම්මික තෙරහු වනාහී ආගන්තුක භික්ෂූන්ට ආක්‍රෝශ කරති. ….(පෙ)…. වචනයෙන් නුරුස්නා දේ කියති. එනිසා ඒ ආගන්තුක භික්ෂූහු ආයුෂ්මත් ධම්මික තෙරුන් විසින් ආක්‍රෝශ කරන ලදු ව, පරිභව කරන ලදු ව, වෙහෙසන ලදු ව, මුඛය නැමැති ආයුධයෙන් පහර දෙන ලදු ව, වචනයෙන් නුරුස්නා දේ කියන ලදු ව එයින් නික්ම යති. වැඩ නොසිටිති. ආවාසය අත්හරිති. අපි ආයුෂ්මත් ධම්මික තෙරුන් ජාතිභූමියෙහි මේ හැම සප්ත ආවාසයෙන් ම බැහැර කරන්නෙමු නම් මැනැවි’ යි.

ඉක්බිති ජාතිභූමිවාසී උපාසකවරු ආයුෂ්මත් ධම්මික තෙරුන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් ධම්මික තෙරුන්ට මෙය පැවසූහ.

“ස්වාමීනී, ආයුෂ්මත් ධම්මික තෙරහු ජාතිභූමියෙහි මේ හැම සප්ත ආවාසයෙන් නික්ම වඩිත්වා.”

එකල්හී ආයුෂ්මත් ධම්මික තෙරුන්ට මේ අදහස ඇතිවිය. ‘මම ජාතිභූමිවාසී උපාසකවරුන් විසින් ජාතිභූමියෙහි හැම සප්ත ආවාසයන්ගෙන් නෙරපා හරින ලද්දෙමි. දැන් මම කොහි යන්නෙම් ද?’

ඉක්බිති ආයුෂ්මත් ධම්මික තෙරුන්ට මේ අදහස ඇතිවිය. ‘භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටින සේක් ද මම එතැනට යන්නෙම් නම් මැනැවි’ යි.

ඉක්බිති ආයුෂ්මත් ධම්මික තෙරුහු පා සිවුරු ගෙන රජගහනුවර බලා පිටත් වූහ. අනුපිළිවෙලින් රජගහ නුවරට පැමිණ ගිජ්ඣකූට පර්වතයෙහි භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ධම්මික තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“බ‍්‍රාහ්මණ ධම්මිකයෙනි, ඔබ මේ කොහේ සිට එන්නෙහි ද?”

“ස්වාමීනී, මම ජාතිභූමිවාසී උපාසකවරුන් විසින් ජාතිභූමියෙහි හැම සප්ත ආවාසයන්ගෙන් නෙරපා හරින ලද්දෙමි.”

“කම් නැත, බ‍්‍රාහ්මණ ධම්මිකයෙනි. කිම? එහි විසීමෙන් ඔබට කවර ඵලයක් ද? යම් හෙයකින් ඔබ ඒ ඒ ආවාසයෙන් නෙරපත් නම්, ඒ ඒ වෙහෙරින් නෙරපන ලදුව මා වෙතට ආවෙහි ය.

බ‍්‍රාහ්මණ ධම්මිකයෙනි, මෙය පෙර සිදු වූ දෙයකි. මුහුදු ගමන් යන වෙළෙන්දෝ එතෙර දකිනා කුරුල්ලෙකු ගෙන නැවෙන් මුහුදු මැදට යති. ඔවුහු පරතෙරක් නොදැක එතෙර දකිනා කුරුල්ලා මුදති. එවිට ඒ කුරුල්ලා පෙරදිගට ත් යන්නේ ම ය. බටහිර දෙසට ත් යන්නේ ම ය. උතුරු දෙසට ත් යන්නේ ම ය. දකුණු දෙසට ත් යන්නේ ම ය. උඩු අතට ත් යයි. අනුදිශාවලට ත් යයි. ඉදින් හේ හාත්පස එතෙරක් දකියි නම් එසෙයින් ගියේ ම වෙයි. ඉදින් හේ හාත්පස එතෙරක් නොදකින්නේ නම් නැවත හැරී නැවට ම පැමිණෙයි. එසෙයින් ම බ‍්‍රාහ්මණ ධම්මකයෙනි, යම් හෙයකින් ඔබ ඒ ඒ ආවාසයෙන් නෙරපත් නම්, ඒ ඒ වෙහෙරින් නෙරපන ලදුව මා වෙතට ආවෙහි ය.

බ‍්‍රාහ්මණ ධම්මිකයෙනි, මෙය පෙර සිදු වූ දෙයකි. කෝරව්‍ය රජතුමාට සුප්පතිට්ඨ නම් ශාඛා පසක් ඇති සිහිල් සෙවණැලි ඇති මනරම් මහා නුග රුකක් විය. බ‍්‍රාහ්මණ ධම්මිකයෙනි, සුප්පතිට්ඨ නුග රුක් රාජයාගේ අතුපතර දොළොස් යොදුනක් විසිර පැතිර තිබුණි. පස් යොදුනක් මුල් පැතිර ගොස් තිබුණි. බ‍්‍රාහ්මණ ධම්මිකයෙනි, සුප්පතිට්ඨ නිග්‍රෝධ රාජයාගේ සුවිසල් ගෙඩි සහල් නැළියක බත් පිසිනා තලිය බඳු වෙයි. දොස් රහිත දඬු වැල් බෑ මීයක ඇති රසවත් බව ඒ රුක් ඵලයෙහි විය. බ‍්‍රාහ්මණ ධම්මිකයෙනි, සුප්පතිට්ඨ නිග්‍රෝධ රජුගේ එක් කඳක් අන්තඃපුර ස්ත‍්‍රීන් හා රජු අනුභව කරයි. එක් කඳක් බලසෙන් අනුභව කරයි. එක් කඳක් නිගම ජනපදවාසීහු අනුභව කරති. එක් කඳක් ශ‍්‍රමණ බ‍්‍රාහ්මණවරු අනුභව කරති. එක් කඳක් මෘග පක්ෂීහු අනුභව කරති. බ‍්‍රාහ්මණ ධම්මිකයෙනි, සුප්පතිට්ඨ නිග්‍රෝධ රාජයාගේ ගෙඩි කිසිවෙක් නොරකියි. කිසිවෙක් එකිනෙකාගේ ඵලයන්ට හිංසා නොකරති.

එකල්හී බ‍්‍රාහ්මණ ධම්මිකයෙනි, එක්තරා පුරුෂයෙක් සුප්පතිට්ඨ නිග්‍රෝධ රාජයාගේ ඵල කැමති තාක් අනුභව කොට අත්තක් බිඳ දමා නික්ම ගියේ ය. ඉක්බිති බ‍්‍රාහ්මණ ධම්මිකයෙනි, සුප්පතිට්ඨ නුගරුක් රාජයා අරක්ගෙන සිටි දෙවියා හට මෙබඳු සිතක් ඇතිවූයේ ය. ‘භවත්නි, ඒකාන්තයෙන් ආශ්චර්යයකි. ඒකාන්තයෙන් අද්භූතයෙකි. පාපී මිනිසෙක් මෙහි සුප්පතිට්ඨ නිග්‍රෝධ රාජයාගේ යම්තාක් ඵල අනුභව කොට අත්තක් බිඳ නික්ම ගියේ නොවැ. එහෙයින් සුප්පතිට්ඨ නිග්‍රෝධ රාජයා ඉදිරියට ඵල හට නොගන්නේ නම් මැනැව’ යි. එකල්හී බ‍්‍රාහ්මණ ධම්මිකයෙනි, සුප්පතිට්ඨ නිග්‍රෝධ රාජයා මත්තෙහි ඵල නොදුන්නේ ය.

එවිට බ‍්‍රාහ්මණ ධම්මිකයෙනි, කෝරව්‍ය රජු සක් දෙවිඳු කරා ගියේ ය. ගොස් සක් දෙවිඳු හට මෙකරුණ සැළ කළේ ය.

‘නිදුකාණෙනි, ඔබ දන්නෙහි ද? සුප්පතිට්ඨ නිග්‍රෝධ රාජයා ඵල නොදෙන්නේ නොවැ.’

ඉක්බිති බ‍්‍රාහ්මණ ධම්මිකයෙනි, සක් දෙවිඳු යම් පරිද්දකින් මහා වැසි සුළඟක් නැගී අවුත් නිග්‍රෝධ රාජයා පෙරළා දමයි නම්, මුලින් උදුරා දමයි නම් එබඳු වූ ඉර්ධි ප‍්‍රාතිහාර්යයක් කළේ ය. එකල්හී බ‍්‍රාහ්මණ ධම්මිකයෙනි, සුප්පතිට්ඨ නුගරුක් රාජයාට අධිගෘහිත දෙවියා දුකට පැමිණ, දුක් වූ සිතින්, කඳුළු වැකුණු මුහුණින් හඬමින් එකත්පස් ව සිටියේ ය.

එකල්හී බ‍්‍රාහ්මණ ධම්මිකයෙනි, ශක‍්‍ර දේවේන්ද්‍ර තෙමේ සුප්පතිට්ඨ නුග රුක් රාජයාට අධිගෘහිත දෙවියා වෙත ගියේ ය. ගොස් සුප්පතිට්ඨ නුගරුක් රාජයාට අධිගෘහිත දෙවියාගෙන් මෙය ඇසුවේ ය.

‘කිම? දෙවිය, ඔබ දුකට පැමිණ, දුක් වූ සිතින්, කඳුළු වැකුණු මුහුණින් හඬමින් එකත්පසක සිටින්නේ මක් නිසා ද?’

‘නිදුකාණෙනි, එය එසේ ම ය. මහා වැසි සුළඟක් අවුදින් මාගේ භවන පෙරළා දැමුවේ නොවැ. මුලින් ම උදුරා දැමුවේ නොවැ.’

‘දෙවිය, ඉදින් ඔබ වෘක්ෂ ධර්මයෙහි පිහිටා සිටිද්දීම නම් මහා වැසි සුළඟක් අවුදින් භවන හෙළා දැමුවේ ද? මුලින් උදුරා දැමුවේ ද?’

‘නිදුකාණෙනි, වෘක්ෂයක් වෘක්ෂ ධර්මයෙහි සිටින්නේ කොයි අයුරින් ද?’

‘දෙවිය, මෙහිලා වෘක්ෂයාගේ මුලින් ප‍්‍රයෝජන ඇති උදවිය මුල් රැගෙන යති. සිවියෙන් ප‍්‍රයෝජන ඇති උදවිය සිවි රැගෙන යති. පත‍්‍රයෙන් ප‍්‍රයෝජන ඇති උදවිය පත‍්‍ර රැගෙන යති. මලින් ප‍්‍රයෝජන ඇති උදවිය මල් ගෙන යති. ඵලයෙන් ප‍්‍රයෝජන ඇති උදවිය ඵල ගෙන යති. එහෙයින් දේවතාවා විසින් ඒ ගැන නොසතුටු නොවිය යුත්තේ ය. කෝප නොකළ යුත්තේ ය. මෙසේ දෙවිය, වෘක්ෂය වෘක්ෂ ධර්මයෙහි සිටියේ වෙයි.’

‘නිදුකාණෙනි, මා වෘක්ෂ ධර්මයෙහි පිහිටා නොසිටිද්දී ම මහා වැසි සුළඟක් අවුත් භවන හෙළා දැමුවේ ය. මුලින් ම පෙරලා උදුරා දැමුවේ ය.’

‘දෙවිය, ඉදින් ඔබ වෘක්ෂ ධර්මයෙහි සිටින්නෙහි නම් ඔබගේ භවන පෙර පරිද්දෙන් ම තිබෙනු ඇති.’

‘නිදුකාණෙනි, මම වෘක්ෂ ධර්මයෙහි පිහිටන්නෙමි. මාගේ භවන පෙර පරිදි ම වේවා!’

එකල්හී බ‍්‍රාහ්මණ ධම්මිකයෙනි, යම් සේ මහා වැසි සුළඟක් අවුදින් සුප්පතිට්ඨ නුගරුක් රාජයා ඔසොවයි ද, මුල් සිවි සහිත ව තබයි ද, ශක‍්‍ර දේවේන්ද්‍ර තෙමේ එබඳු වූ ඉර්ධි ප‍්‍රාතිහාර්යයක් කළේ ය.

එසෙයින් ම බ‍්‍රාහ්මණ ධම්මිකයෙනි, ශ‍්‍රමණ ධර්මයෙහි සිටියා වූ ම ඔබ ජාතිභූමිවාසී උපාසකවරු ජාතිභූමියෙහි සියළු සප්ත ආවාසයන්ගෙන් නෙරපුවාහු ද?”

“ස්වාමීනී, ශ‍්‍රමණයෙක් ශ‍්‍රමණ ධර්මයෙහි පිහිටා සිටින්නේ කෙසේ ද?”

“බ‍්‍රාහ්මණ ධම්මිකයෙනි, මෙහිලා ශ‍්‍රමණ තෙමේ ආක්‍රෝශ කරන්නහුට පෙරළා ආක්‍රෝශ නොකරයි. ක්‍රෝධ කරන්නහුට පෙරළා ක්‍රෝධ නොකරයි. දබර කරන්නහුට පෙරළා දබර නොකරයි. මෙසේ බ‍්‍රාහ්මණ ධම්මිකයෙනි, ශ‍්‍රමණ තෙමේ ශ‍්‍රමණ ධර්මයෙහි පිහිටියේ වෙයි.”

“ස්වාමීනී, ශ‍්‍රමණ ධර්මයෙහි නොපිහිටියේ ම මා ජාතිභූමිවාසී උපාසකවරු ජාතිභූමියෙහි සියළු සප්ත ආවාසයන්ගෙන් නෙරපූහ.”

1. “බ‍්‍රාහ්මණ ධම්මිකයෙනි, මෙය පෙර සිදු වූ දෙයකි. ආගමික මතයක් දරණ කාමයන්හි වීතරාගී සුනෙත්ත නම් ශාස්තෘවරයෙක් සිටියේ ය. බ‍්‍රාහ්මණ ධම්මිකයෙනි, සුනෙත්ත ශාස්තෘ හට නොයෙක් සිය ගණන් ශ‍්‍රාවකයෝ වූහ. සුනෙත්ත ශාස්තෘ තෙමේ ශ‍්‍රාවකයන් හට බඹලොව ඉපදීම පිණිස ධර්මය දේශනා කළේ ය. බ‍්‍රාහ්මණ ධම්මිකයෙනි, යමෙක් බඹලොව ඉපදීම පිණිස දහම් දෙසන සුනෙත්ත ශාස්තෘ කෙරෙහි සිත් නොපහදවාගත්තාහු නම් ඔවුහු කය බිඳී මරණින් මතු අපාය දුර්ගති විනිපාත නම් වූ නිරයෙහි උපන්හ. යමෙක් බඹලොව ඉපදීම පිණිස දහම් දෙසන සුනෙත්ත ශාස්තෘ කෙරෙහි සිත් පහදවාගත්තාහු නම් ඔවුහු කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයෙහි උපන්හ.

2. බ‍්‍රාහ්මණ ධම්මිකයෙනි, මෙය පෙර සිදු වූ දෙයකි. ආගමික මතයක් දරණ කාමයන්හි වීතරාගී මූගපක්ඛ නම් ශාස්තෘවරයෙක් සිටියේ ය. ….(පෙ)…. 3. බ‍්‍රාහ්මණ ධම්මිකයෙනි, මෙය පෙර සිදු වූ දෙයකි. ආගමික මතයක් දරණ කාමයන්හි වීතරාගී අරණේමි නම් ශාස්තෘවරයෙක් සිටියේ ය. ….(පෙ)…. 4. බ‍්‍රාහ්මණ ධම්මිකයෙනි, මෙය පෙර සිදු වූ දෙයකි. ආගමික මතයක් දරණ කාමයන්හි වීතරාගී කුද්දාලක නම් ශාස්තෘවරයෙක් සිටියේ ය. ….(පෙ)…. 5. බ‍්‍රාහ්මණ ධම්මිකයෙනි, මෙය පෙර සිදු වූ දෙයකි. ආගමික මතයක් දරණ කාමයන්හි වීතරාගී හත්ථිපාල නම් ශාස්තෘවරයෙක් සිටියේ ය. ….(පෙ)…. 6 බ‍්‍රාහ්මණ ධම්මිකයෙනි, මෙය පෙර සිදු වූ දෙයකි. ආගමික මතයක් දරණ කාමයන්හි වීතරාගී ජෝතිපාල නම් ශාස්තෘවරයෙක් සිටියේ ය. බ‍්‍රාහ්මණ ධම්මිකයෙනි, ජෝතිපාල ශාස්තෘ හට නොයෙක් සිය ගණන් ශ‍්‍රාවකයෝ වූහ. ජෝතිපාල ශාස්තෘ තෙමේ ශ‍්‍රාවකයන් හට බඹලොව ඉපදීම පිණිස ධර්මය දේශනා කළේ ය. බ‍්‍රාහ්මණ ධම්මිකයෙනි, යමෙක් බඹලොව ඉපදීම පිණිස දහම් දෙසන ජෝතිපාල ශාස්තෘ කෙරෙහි සිත් නොපහදවාගත්තාහු නම් ඔවුහු කය බිඳී මරණින් මතු අපාය දුර්ගති විනිපාත නම් වූ නිරයෙහි උපන්හ. යමෙක් බඹලොව ඉපදීම පිණිස දහම් දෙසන ජෝතිපාල ශාස්තෘ කෙරෙහි සිත් පහදවාගත්තාහු නම් ඔවුහු කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයෙහි උපන්හ.

බ‍්‍රාහ්මණ ධම්මිකයෙනි, ඒ කිමෙකැයි හඟනෙහි ද? යමෙක් ආගමික මතක් පැවසූ, කාමයන්හී වීතරාගී වූ, නොයෙක් සිය ගණන් පිරිවර වූ ශ‍්‍රාවක සංඝයා සහිත මේ ශාස්තෘවරුන් සය දෙනා කෙරෙහි දූෂිත සිත් ඇති ව ආක්‍රෝශ කරයි නම්, පරිභව කරයි නම්, ඒ තැනැත්තා බොහෝ පව් රැස් කරන්නේ ද?”

“එසේ ය, ස්වාමීනී.”

“බ‍්‍රාහ්මණ ධම්මිකයෙනි, යමෙක් ආගමික මතක් පැවසූ, කාමයන්හී වීතරාගී වූ, නොයෙක් සිය ගණන් පිරිවර වූ ශ‍්‍රාවක සංඝයා සහිත මේ ශාස්තෘවරුන් සය දෙනා කෙරෙහි දූෂිත සිත් ඇති ව ආක්‍රෝශ කිරීමෙන්, පරිභව කිරීමෙන් ඒ තැනැත්තා බොහෝ පව් රැස් කරයි නම්, යමෙක් එක් දිට්ඨිසම්පන්න සෝවාන් පුද්ගලයෙකුට දුෂ්ට වූ සිතින් ආක්‍රෝශ කරයි ද, පරිභව කරයි ද, මෙතෙමේ එයට වඩා බොහෝ පව් රැස් කරන්නේ ය. එයට හේතුව කුමක් ද යත්, බ‍්‍රාහ්මණ ධම්මිකයෙනි, මාගේ සසුනෙහි සබ‍්‍රහ්මචාරීන් වහන්සේලා අතර යම්බඳු ඉවසීමක් ඇද්ද, එබඳු වූ ඉවසීමක් මෙයින් බැහැර වූ අන් තැනක ඇතැයි මම නොකියමි. එහෙයින් බ‍්‍රාහ්මණ ධම්මිකයෙනි, මෙසේ හික්මිය යුත්තේ ය. ‘තම සබ‍්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි දුෂ්ට වූ සිත් අපට නොවේවා’ යි. බ‍්‍රාහ්මණ ධම්මිකයෙනි, ඔබ විසින් හික්මිය යුත්තේ ඔය අයුරිනි.

(ගාථා)

1. සුනෙත්ත, මූගපක්ඛ, අරණේමි බ‍්‍රාහ්මණතුමා හා කුද්දාලක ශාස්තෘහු ද, හත්ථිපාල මාණවක ද,

2. සත් රජුන්ට පුරෝහිත වූ ජෝතිපාල මාණවක නම් මහා ගෝවින්ද තෙමේ ද, අතීත කාලයෙහි අහිංසක ව කීර්තිධර ව සය වැදෑරුම් ශාස්තෘවරයෝ වූහ.

3. ක්‍රෝධ සංඛ්‍යාත ආමගන්ධයෙන් තොර වූ, කරුණා ධ්‍යානයෙන් නීවරණයන්ගෙන් නිදහස් වූ, කාම සංයෝජනයන් මැඬලූ, කාමරාගය දුරු කොට ඔවුහු බඹලොව උපන්හ.

4. ඒ ශාස්තෘවරුන්ගේ ක්‍රෝධ සංඛ්‍යාත ආමගන්ධයෙන් තොර වූ, කරුණා ධ්‍යානයෙන් නීවරණයන්ගෙන් නිදහස් වූ, කාම සංයෝජනයන් මැඬලූ, කාමරාගය දුරු කොටගත් නොයෙක් සියගණන් ශ‍්‍රාවකයෝ ද බඹලොව උපන්හ.

5. යමෙක් ඒ වීතරාගී වූ සමාහිත සිත් ඇති බාහිර සසුනට අයත් ඍෂිවරුන් හට දූෂිත අදහසින් පරිභව කරයි ද,

6. එබඳු වූ පුරුෂයා බොහෝ පව් රැස් කරයි. යමෙක් බුදුරජුන්ගේ ශ‍්‍රාවක වූ එක් දිට්ඨි සම්පන්න භික්ෂුවකට

6. දූෂිත අදහසින් පරිභව කරයි නම්, ඒ පුරුෂයා පෙරටත් වඩා බොහෝ වූ පව් රැස් කරන්නේ ය.

7. දෘෂ්ටි උපදින තැන් ප‍්‍රහාණය කරන සුළු සොඳුරු ස්වභාව ඇති ශ‍්‍රාවකයෙකුට හිංසා නොකරන්නේ ය. ඒ ශ‍්‍රාවකයා ආර්ය සංඝයා අතර සත් වෙනි පුද්ගලයා යැයි කියනු ලැබේ.

8. කාමයන්හි අවීතරාගී වූ ශ‍්‍රද්ධා, සති, විරිය, සමාධි, ප‍්‍රඥා යන මේ පංච ඉන්ද්‍රිය ධර්මයන් යමෙක් තුළ මෘදු ලෙස වැඞී ඇද්ද,

9. එබඳු වූ භික්ෂුවට හිංසා කොට කලින් ම වැනසෙයි. පළමු ව තමන්ගේ ගුණ වනසා ගෙන පසු ව අනුන්ට හිංසා කරයි.

10. යමෙක් තමා ත් රකියි නම්, බාහිර පුද්ගලයා ත් ඔහු විසින් රක්නා ලද්දේ වෙයි. එහෙයින් ගුණයෙන් නොවැනසුණු නුවණැත්තා හැමකල්හි තමා ව රැකගත යුත්තේ ය.

සාදු! සාදු!! සාදු!!!

(ධම්මික සූත්‍රය – අංගුත්තර නිකාය 04)

සරල සිංහල පරිවර්තනය – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ