අප මාතෘ භූමියටත් සකල ශ්‍රී ලංකාවාසී ජනතාවටත් සෞභාග්‍යයෙන් පිරි හෙට දිනකට තුණුරුවනේ ආශීර්වාදය ප්‍රාර්ථනා කරමින් මෙවර මාස්‌ කන්නයේ නෙළා ගත් අස්‌වැන්නේ නොඉඳුල් සහල් වල අග්‍රතම කොටසින් කිරිපිඬු පිස භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ මහා සඟරුවන උදෙසා පූජාකරමින් සිදුකරනු ලබන අග්‍ර ශස්‍ය දානය

අලුත් සහල් මංගල්‍යය – 2016

මහණෙනි, සුදුසු කාලයෙහි මේ දන්දීම් පසකි. ඒ කවර පසක් ද යත්;

ආගන්තුකයා හට දන් දෙයි. ගමන් යන්නහු හට දන් දෙයි. ගිලනා හට දන් දෙයි. දුර්භික්ෂයෙහි දන් දෙයි. යම් ඒ අළුත් සහල් – අළුත් ඵල ඇත්නම් එහි පළමු කොටස සීලවන්තයන් කෙරෙහි පිහිටුවයි.

මහණෙනි, මේ වනාහී සුදුසු කාලයෙහි දන්දීම් පස ය.

(ගාථා)
1. නුවණින් යුතු පුද්ගලයෝ දානයෙහි අනුසස් දැන මසුරු මළ බැහැර කොට සුදුසු කාලයෙහි දන් දෙති. අටලෝ දහමින් කම්පා නොවන ගුණ ඇති, ඍජු මගෙහි බැසගත් ආර්යයන් වහන්සේලා කෙරෙහි නිසි කල්හි පහන් සිතින් පුදන දානයක් වෙයි ද, ඔහුගේ ඒ දක්ෂිණාව මහත්ඵල ලබා දෙයි.

2. එහිදී යම් කෙනෙක් ඒ දානය අනුමෝදන් වෙත් ද, වතාවත් හෝ කරත් ද, ඔවුන්ට ඒ දක්ෂිණාව අඩු නොවෙයි. ඔවුහු ද පිනෙහි කොටස්කරුවෝ වෙති.

3. එහෙයින් යම් පිරිසක් කෙරෙහි දුන් දානය මහත්ඵල ලැබ දෙයි ද, එහිලා නොහැකිළුණු සිත් ඇති ව දන් දිය යුත්තේ ය. සත්වයන් හට පරලොවෙහි දී පිහිට වන්නේ පින ය.

(කාලදාන සූත්‍රය – අං.නි. 3)

මහණෙනි, සුදුසු කල දන් දී යම් යම් තැනක දානයෙහි විපාකය හටගනියි නම් ආඪ්‍ය වූයේ වෙයි. මහා ධනය, මහා භෝග ඇත්තේ වෙයි. සුදුසු කාලයට ලැබෙන ඔහුගේ සම්පත් බොහෝ වෙති.

(සප්පුරිසදාන සූත්‍රය – අං.නි. 3)

රන් අස්වනු නෙලනා මේ කාලයේදී ඔබේ කුඹුරෙන් ලැබුණු අස්වැන්නේ මුල් කොටස සහල් කොට මාර්තු මස 12 වනදා උදෑසන සිට සම්බුද්ධ රාජ මාලිගා පරිශ්‍රයට රැගෙන පැමිණ ඔබගේ දෑතින් ම සම්බුද්ධ රාජ ප්‍රතිමා වහන්සේගේ අභියස දී පූජා කළ හැකියි. ඒ අයුරින් පූජාවන සහල් ගෙන මාර්තු මස 13 වන උදෑසන සැදැහැවතුන්ගේ සාදුනාද මධ්‍යයේ මලින් සැරසූ මනරම් මණ්ඩපයේ සිට සුවඳ දර යොදා කිරිපිඬු පිස මහ පෙරහරින් සම්බුද්ධ රාජ මාලිගාවට වඩමවා සම්බුද්ධ පූජාව සිදු කිරීමට නියමිතය.

ඔබ විසින් නෙලන ලද රන් අස්වැන්නේ අග්‍ර කොටස පූජා කරනු පිණිසත් එම අසිරිමත් පුණ්‍ය මහෝත්සවය දැකබලා අනුමෝදන් වීම පිනිසත් සැදැහැවත් සියල්ලෝ සතුටු සිතින් පැමිණෙත්වා.