“හරි දේ උපදවා ගන්න කොච්චර අමාරුද?”
පින්වතුනේ, පින්වත් දරුවනේ, බණ භාවනා කරන සමහර අයගේ සිත සංසිඳෙනවා. තැන්පත් වෙලා යනවා. එතකොට රැවටෙනවා කෙලෙස් නැතිවුණා කියලා. පිරිසිදු වුණා කියලා හිතනවා. නමුත් නොසැලකිල්ලෙන් හිටියොත්, දියුණුවක් වගේ පෙනුන මානසික ස්වභාවය නැති වී ගිහින් පරණ තත්වයට වැටෙනවා. තමන් ධර්මය අවබෝධ නොවී අවබෝධ වුණා යන හැඟීමෙන් සිටීමට භාවිතා වන්නේ අධිමානය යන වචනයයි. බුද්ධ කාලයේ පවා එවැනි දෑ සිදුවෙලා තියෙනවා. මේකත් එවැනි කතාවක්.
පන්සියයක් භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේගෙන් භාවනා උපදෙස් ගත්තා. වනාන්තරයක් බලා පිටත් වුණා. ගමට පිණ්ඩපාතෙ වඩිනවා. අනිත් මුළු කාලයේම විවේකය තියෙනවා. වැඩිය නිදාගත්තෙත් නෑ. බොහොම මහන්සිගත්තා. එහි ප්‍රතිඵලයක් ලෙස ධ්‍යාන උපදවා ගන්න පුළුවන් වුණා. දිගටම මහන්සි වූ නිසා කෙලෙස් යටපත් වෙලා තිබුණා. අකුසල් සිතුවිලි මෙනෙහි කළත් මතුවුණේ නෑ. මේ නිසා උන්වහන්සේලා හිතුවා අරහත්වයට පත්වුණා කියලා. ඉතින් ඒ ගැන හරි සතුටට පත්වුණා. භාග්‍යවතුන් වහන්සේට අපේ දියුණුව ගැන පවසන්න ඕන කියලා පිටත් වුණා.
භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැනගෙන හිටියා. ආනන්ද ස්වාමීන් වහන්සේට මෙහෙම පැවසුවා.
“පින්වත් ආනන්ද, භික්ෂූන් වහන්සේලා පන්සිය නමක් තථාගතයන්ව මුණගැසීම පිණිස පැමිණෙමින් සිටිනවා. ඔවුන්ගේ කටයුතු තාමත් සම්පූර්ණ නෑ. එනිසා ඔවුන්ව පිටත දොරටුවේදීම අමුසොහොනට පිටත් කර යවන්න. එහි ටික වෙලාවක් ගත කොට ආපසු එන්න කියන්න.”
ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ මේ කාරණය දැනුම් දුන්නා. දුරබැහැර සිට වැඩි ඒ භික්ෂූන් වහන්සේලා ‘ඇයි අපව අමු සොහොනට යවන්නේ’ කියලා කල්පනා කළේ නෑ. ඒ භික්ෂූන් වහන්සේලා මෙහෙම කතා වුණා.
“ඇවැත්නි, ඒකාන්තයෙන්ම අපගේ භාග්‍යවතුන් වහන්සේ ඔය අවවාදය අපට කරන්න ඇත්තේ මොකාක් හරි දුරදිග බලලයි. උන්වහන්සේගේ වචනයට අපි අවනත වීමෙන් ඒකාන්තයෙන්ම අපට යහපතක් වෙනවා. ඒ නිසා අපි අමු සොහොනට යමු.”
එදා අමු සොහොනේ මළමිනී කීපයක් තිබුණා. දින ගණනක් කුණු වූ දුගඳ හමන මළකුණු දැකලා උන්වහන්සේලාට වමනෙට ආවා. බලවත් පිළිකුලක් ඇතිවුණා. තව ටිකක් එහාට ගියා. අලුත දැමූ මළ සිරුරක් තිබුණා. සතුන් ඒ මළසිරුර එතූ වස්ත්‍රය එහාට මෙහාට ඇදලා තිබුණා. ඒ කුණු නොවූ සිරුර දුටු විට ඒ භික්ෂූන් වහන්සේලා තුළ සැණෙකින් අයෝනිසෝ මනසිකාරය උපන්නා. තමන් නිකෙලෙස් කියා මෙතෙක් සිතා සිටියත් කෙලෙස් සහිත බව වැටහුණා. මහත්සං වේගයක් හටගත්තා. එවේලෙහි භාග්‍යවතුන් වහන්සේ ඔවුන් ඉදිරියේ ආලෝකයක් පැතිරෙව්වා. දැන් උන්වහන්සේගේ හඬ ඇහෙනවා.
“පින්වත් මහණෙනි, මේ කුණු වී යන රූපය කෙරෙහි රාගය ඇති කරගන්න එපා! සම් මස් නහර ඇටවලින් සැදි මේ ශරීරය කෙරෙහි ඇති ඇල්ම දුරුකරන්න” කියලා ඉතා මිහිරි ලෙස මෙම ගාථාව වදාළා.
යානිමානි අපත්ථානි – අලාපූනේව සාරදේ
කාපෝතකානි අට්ඨීනි – තානි දිස්වාන කා රතිපායන කාලේ වියැලුණ – ලබු කබල් ලෙසේ
දිස්වේ හැම තැන විසිරුණු – හිස් කබල් මෙසේ
මේ මිනි ඇට දිස්වන්නේ – කොබෙයි පාට සේ
මේවා දැක දැක රාගය – මතුවුණේ කෙසේ
පින්වතුනේ, පින්වත් දරුවනේ, මායාකාරී සිතෙහි ස්වභාවය ඒ භික්ෂූන් වහන්සේලාට හොඳට වැටහුණා. භාග්‍යවතුන් වහන්සේගේ අනුග්‍රහය නිසා බලවත් චිත්ත ධෛර්යයක් උපන්නා. එහෙම්මම වාඩිවුණා. නුවණින් විමසන්න පටන් ගත්තා. එතනදීම ඒ පන්සියයක් භික්ෂූන් වහන්සේලා අරහත්වයට පත්වුණා. ඒකාන්තයෙන්ම අපගේ භාග්‍යවතුන් වහන්සේ දෙවියන්ගේත් මිනිසුන්ගේත් ශාස්තෘන් වහන්සේ වන සේක.
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ
මනාකොට පිහිටුවාගත් සිහිය හා නුවනින් විමසීම දියුනු කරන සුතවත් සව්වා නිතර සයතන්හී උපදනා රාග ද්වේශ මෝහ හදුනාගෙන එ තන්හීම මැඩපවත්වන්න වීරිය කරන කල්හී ගිහි පැවිදි වේවා මේ අශ්‍රවයන් දුරුවීමට පටන් ගන්නා බව තේරුම් ගනී.තමන් යම් මුලාවක බැස ඇත්නම් කාම අරමුනු මනසිකාර කරනවිට හොදින් තේරුම් යනවා තමා තාම මේ කෙලෙස් දුරු නොකළ වග.මෙය ප්රායෝගිකවම නොපසුබට වීර්යෙන් යුතුව නිරන්තර පුරුදු පුහුණු කළ යුතුයි යන්න මගේ අදහසයි.
සාධු` සාධු` සාධු`
භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
අපගේ සිත කොපමණ නම් රැවටීමට පත්වෙනවාද.ධ්‍යාන උපදවා ගත් ස්වාමීන් වහන්සේලාත් තමන් වහන්සේලා නිකෙලෙස් යැයි රැවටුනේ නම් මෙකල රහත් යැයි කියා ගන්නා අයවලුන් ගැන කිනම් කතාද.
එකල නම් ශාස්තෘන් වහන්සේ ගේ කාරැණික මග පෙන්වීම මත බොහෝ පිරිසක් අවිද්‍යාව දුරලා නිවන් මග පසක් කර ගත්හ. නමුදු අද අපගේ පිනෙහි ඇති අඩුලුහුඩුකම් නිසා බොහෝ දෙනෙක් රැවටීම් වලට බදුන් වී ඇත.උතුම් බුදුසසුනේ පිහිට පිළිසරණ නිවරදිව ලබා ගැනීමටත් නොරැවටී දහම් මග සුවසේ වැඩීමටත් කලාවූ සියලු පුන්‍ය ධර්මයන් ඉවහල් වේවා!!!සාදු සාදු සාදු!!!