1. ඊටපස්සේ අපගේ දුටුගැමුණු රජ්ජුරුවෝ කුඹුරු වතුපිටි අස්වද්දලා ජනයාට සංග්‍රහ කරලා තම කුන්තායුධයෙහි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වඩා හිඳුවලා බල සේනාවෙන් හා වාහනවලින් යුක්ත වෙලා,

2. තිස්සමහාරාමයට ගොහින් මහා සංඝයා වහන්සේට වන්දනා කරලා මෙහෙම කිව්වා. ‘ස්වාමීනී, ආක්‍රමණික මිසදිටුවන්ගෙන් කිළිටි වූ අනුරාධපුරයේ ආයෙමත් ශ්‍රී සම්බුද්ධ ශාසනය බබුළුවන්ට මං මහවැලි ගඟෙන් එහා පැත්තට යන්ට ඕනැ.

3. ඒ ගමනේදී දන්පැන්වලින් උපස්ථාන කරන්ට අපට භික්ෂූන් වහන්සේලා දුන මැනව. ඒකෙන් අපට භික්ෂූන් වහන්සේලා නිති දැකීම නමැති මංගල කාරණය සිද්ධ වෙනවා. නිතර කරන සංඝෝපස්ථානය නිසා අපට ඒ පිනෙන් ආරක්ෂාවත් ඇතිවෙනවා.

4. එදා තිස්ස කුමාරයාත් දුටුගැමුණු රජ්ජුරුවනුත් යන සහෝදරයන්ගේ කලහය සන්සිඳවන්ට සංඝයා මැදිහත් නොවීම නිසා ගෝධගත්තතිස්ස තෙරුන් වදාළේ සංඝයා ද දඬුවමට සුදුසු බවයි. ඒ වරද සිහිකොට එයට දඬුවම් පිණිස සංඝයා භික්ෂූන් වහන්සේලා පන්සිය නමක් රජ්ජුරුවන්ට දුන්නා. දුටුගැමුණු රජ්ජුරුවෝ ඒ භික්ෂූන් වහන්සේලා පන්සිය නමත් වඩම්මවාගෙන එතැනින් නික්මුනා.

5. මලය ප්‍රදේශයේ සිට ගඟින් මෙතෙර එන මාර්ගය පිරිසිදු කරවා කඩොල් ඇතා පිට නැගිලා දස මහා යෝධයන් ප්‍රධාන සියලු යෝධයන් පිරිවරාගෙන,

6. මහත් බලසේනාවකින් යුක්තව යුද්ධය පිණිස පිටත් වුනා. මාගමින් පටන්ගත් මහාසේනාව ගුත්තල දක්වා ම දිගට තිබුණා.

7. මහියංගණයට ඇවිත් එහි සේනාධිනායකව සිටි ඡත්ත නමැති දෙමළ සෙන්පතියාව අල්ලා ගත්තා. දෙමළුන් පරදවලා එතැනින් අඹතොටට ආවා.

8. එක් පැත්තකින් ගංගාවෙනුත් අනිත් පැත්තෙන් දියඅගලකිනුත් වට වූ ඒ දෙමළ කඳවුරේ අම්බතිත්ථ නමැති මහා බලසම්පන්න කෘතහස්ත දෙමළ සෙන්පතියෙක් ඉන්නවා. ඔහු සමග යුද්ධ කරලා මාස හතරකින් වත් ගන්ට බැරිව ගිය තැන,

9. විහාර මහා දේවි මෑණියන්ව ඔහුට විවාහ කොට දෙන ව්‍යාජයෙන් ඇය පෙන්නලා අම්බතිත්ථ දෙමළ සෙන්පතියාව අල්ලගත්තා. එතනින් බැහැලා මහා බලසම්පන්න ප්‍රාදේශීය දෙමළ රජවරු හත් දෙනා සිටි

10. අඹතොට කඳවුර එක දවසකින් ම අල්ලාගෙන මහා බල ඇති දුටුගැමුණු රජ්ජුරුවෝ සිය බලසේනාවට ධනය ප්‍රදානය කරලා ඒ ප්‍රදේශය සතුරු බිය නැති කළ නිසා හැදූ විහාරය ඛේමාරාමය කියලා කියනවා.

11. අතුරුහෙබ නමැති ගමේ සිටිය ‘මහාකොට්ඨ’ දෙමළ සෙන්පතියත් දෝණ නුවර සිටිය ‘ගවර’ නමැති දෙමළ සෙන්පතියාත් අල්ලාගත්තා. හල්කොළනුවර සිටිය ‘ඉසුරු’ නමැති දෙමළ සෙන්පතියත් නැල්හෙබ නමැති ගමේ හිටිය නාළික නමැති දෙමළ සෙන්පතියවත් අල්ලා ගත්තා.

12. දික්අබාගල සිටිය දීඝාභය දෙමළ සෙන්පතියවත් අල්ලාගත්තාා. කස්තොට හිටිය කපිසීස කියන දෙමළ සෙන්පතියව අල්ලා ගන්ට හාරමාසයක් ගතවුනා.

13. කෝටනුවර සිටිය කෝට නමැති දෙමළ සෙන්පතියවත් අල්ලා ගත්තා. එතැනින් ගිහින් හාලවහානක දෙමළ සෙන්පතියවත් අල්ලා ගත්තා. වහිට්ඨ නුවර සිටිය වහිට්ඨ නමැති දෙමළ සෙන්පතියවත් ගාමිණී නගරයේ විසූ ගාමිණී නමැති දෙමළ සෙන්පතියවත් අල්ලා ගත්තා.

14. කුඹගම සිටිය කුම්භ නමැති දෙමළ සෙන්පතියාවත් නන්දිගමේ සිටිය නන්දික නමැති දෙමළ සෙන්පතියාවත් ඛාණුගමේ සිටිය ඛාණු දෙමළ සෙන්පතියාවත් තම්බගමේ සිටිය තම්බ නමැති දෙමළ සෙන්පතියන් දෙන්නාත් අල්ලා ගත්තා.

15. ඒ මාමාටයි බෑණටයි දෙන්නාට ම තිබුනේ තම්බ යන නමයි. ජම්බුගමේ සිටිය ජම්බු සෙන්පතියාවත් අල්ලා ගත්තා. ඒ ඒ ගම්වල නමත් ගම්භාරව සිටි දෙමළ සෙන්පතියන්ගේ නමත් බොහෝ විට සමානයි.

16. තමන්ගේ සේනාව හඳුනාගන්ට බැරි වීම නිසා තම තමන් අතින් තමන්ගේ සේනාව මැරෙන බව දුටුගැමුණු රජ්ජුරුවන්ට දැනගන්ට ලැබුනා. එතකොට රජ්ජුරුවෝ සත්‍යක්‍රියාවක් කළා.

17. ‘මාගේ මේ ව්‍යායාමය කිසිකලකත් රජසැප විඳින්ට නොවෙයි. මේ මාගේ ව්‍යායාමය ගෞතම ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිසයි.

18. මේ සත්‍යානුභාවයෙන් මාගේ සේනාව කය පැළඳගෙන ඇති භාණ්ඩයන් ගිනිදැල් පැහැයට පත්වේවා!’ කියලා සත්‍ය ක්‍රියාව කරනවාත් සමඟ ම එය එසේම වුනා.

19. ගංතෙරේ සටනට ආ සියලු දෙමළු මරණයට පත්වුනා. අනිත් දෙමළු සරණ සොයාගෙන පලා ගිහින් විජිත නැමැති නගරයට පිවිසුනා.

20. ඊට පසු දුටුගැමුණු රජ්ජුරුවෝ සේනාවත් සමග ඇවිත් පහසු වූ, සමතලා භූමිභාගයක කඳවුරු බැඳගත්තා. එදා සිට එතැනට කඳවුරු පිටිය යන නම ලැබුනා.

21. විජිතපුරය අල්ල ගන්නේ කොහොමද කියලා දුටුගැමුණු රජ්ජුරුවෝ විමසිල්ලෙන් හිටියේ. විජිතපුරය දෙසට යන්නා වූ නන්දිමිත්‍ර යෝධයාව දැකපු රජ්ජුරුවෝ ඔහු දෙසට කඩොල් ඇතාව යැව්වා.

22. තමන්ව අල්ලාගන්ට එන ඇතාව දැකපු නන්දිමිත්‍ර යෝධයා සිය අත්දෙකෙන් උගේ දළ දෙක අල්ලා තද කරලා පහතට නවලා ඇත් රජාව උක්කුටියෙන් ඉන්දෙව්වා.

23. යම් තැනක කඩොල් ඇතාත් නන්දිමිත්‍රයාත් අතර යම් යුද්ධයක් හටගත්තා ද, එදා සිට ඒ ගම ‘ඇත්පොර’ නමින් හැඳින්වුනා.

24. රජ්ජුරුවෝ දෙන්නා ගැන ම හොඳින් විමසලා විජිතපුරය බලා පිටත් වුනා. විජිතපුර දකුණු දොරටුවේදී යෝධයන්ට මහා බිහිසුණු යුද්දෙකට මුහුණ දෙන්ට සිද්ධ වුනා.

25. නැගෙනහිර දොරටුව පැත්තෙන් ගියේ වේළුසුමන යෝධයා යි. අසුපිට නැග ඔහු කළ යුද්ධයෙන් බොහෝ දෙමළුන් මැරුනා.

26. දෙමෙල්ලු දොරටුව වැහුවා. රජ්ජුරුවෝ යෝධයන්ව පිටත් කළා. දකුණු දොරටුවට කඩොල් ඇතාත් නන්දිමිත්‍ර යෝධයාත් සුරනිමල යෝධයාත් යැව්වා.

27. මහාසෝණ යෝධයාත් ගෝඨයිම්බර යෝධයාත් ථේරපුත්තාභය යෝධයාත් යන තුන්දෙනා නැගෙනහිර බටහිර සහ උතුර යන අනිත් දොරටු තුනේ ඉඳන් යුධ කටයුතු සංවිධානය කළා.

28. විජිතපුර බලකොටුව පිහිටි නගරය දිය අගල් තුනකින් වටකොට තිබුණා. උස ප්‍රාකාරයකින් ආරක්ෂා වෙලා තිබුණා. යකඩ දොරටුවකින් වසලා තිබුණා. සතුරන්ට එය විනාශ කරන්ට හරි අමාරුයි.

29. කඩොල් ඇතා දණ දෙකෙන් සිටගෙන, දළ දෙකෙන් බිඳලා නොයෙක් ගල් ආයුධත් ගඩොලුත් බිඳගෙන යකඩ දොර ළඟට පැමිණුනා.

30. ගෝපුර නමැති යකඩ දොර උඩින් උසට කැටයම් කළ තොරණේ සැඟවී සිටි දෙමෙල්ලු ඇතුට විවිධ ආයුධවලින් දමලා ගැහුවා. ගින්දර වගේ රත්කළ යකඩ ගුළි වගේ ම ගින්නෙන් කැකැරූ ඉටිත් පහළට වක්කළා.

31. කඩොල් ඇතාගේ පිටට ගින්නෙන් කැකෑරූ ඉටි වක්කෙරිලා දුම් දම දමා තිබුණා. මහත් වේදනාවට පත් වූ ඇතා දිය අගලට දුවගෙන ගිහින් ජලයට පැන්නා.

32. එතකොට ගෝඨයිම්බර යෝධයා ‘එම්බල ඇත්රජෝ, මේ තට ජය අරගෙන සුරාපැන් බීමක් නොවෙයි. දැන් ම පලයාං. අපගේ සතුරන්ගේ යකඩ දොර බිඳපාං’ කියලා කෑගහලා කිව්වා.

33. අපගේ උතුම් හස්තිරාජයා මහත් අභිමානයක් උපදවාගෙන කුඤ්චනාද කරලා ජලයෙන් ගොඩ ඇවිත් මහත් ආඩම්බරයෙන් යුක්තව ගොඩ හිටගත්තා.

34. ඇත් වෙදා දුවගෙන ඇවිත් සමට ඇලී තිබුන ඉටි ගලවලා බෙහෙත් කළා. දුටුගැමුණු රජ්ජුරුවෝ ඇතාගේ පිට නැගලා කුම්භස්ථලය ආදරයෙන් අතගෑවා.

35. ‘මගේ පුතේ කණ්ඩුල, මං උඹට උරුම වූ මුළු ලංකා රාජ්‍යය ම අරන් දෙනවා මයෙ පුතේ’ කියලා සතුටු කෙරෙව්වා. උතුම් භෝජන කැව්වා.

36. ඊටපස්සේ බෙහෙත් ගැල්වූ ඇත්පිට සිනිඳු සළුවෙන් වෙළුවා. හොඳාකාර ලෙස යුධ සන්නාහ යෙදුවා. හොඳින් තෙත් කළ සුමුදු මීහරක් සම් සත් පොටකින් බැඳ වෙළුවා. සම්පටිවලින් බැන්දෙව්වා.

37. ඒ මත තෙල් තවරපු මීහරක් සමක් විසුරුවලා දැම්මා. ගෝපුරයේ සැඟවී දෙමෙල්ලු විදින නොයෙක් ආයුධ පහරවල් කාගෙන හෙණ හඬ වගේ ගුගුරුවාගෙන ගිය ඇත්රජා,

38. දළ දෙකෙන්, වසා තිබූ දොර පලුව බින්දා. උළුවස්සට පයින් පහර දුන්නා. දොරබා සහිත ඒ මහා යකඩ දොර මහා හඬ නංවාගෙන බිම වැටුනා.

39. දොරටු තොරණ වන ගෝපුර උඩ තිබූ සියලු ගොඩනැගිලි සමූහය ඇතාගේ පිට මතට කඩා වැටෙද්දී නන්දිමිත්‍ර යෝධයා වහා පෙරට පැනලා තම බාහු බලයෙන් ඉවතට පෙරලුවා.

40. නන්දිමිත්‍ර යෝධයාගේ ක්‍රියාව දැකපු කඩොල් ඇත්රජා ඉතා සතුටට පත්වුනා. එදා නන්දිමිත්‍රයා දළෙන් අල්ලා තමන්ව පීඩාවට පත්කරවපු කරුණ ගැන හිතේ තිබූ වෛරය අත්හැරියා.

41. අපගේ උත්තම ඇත්රජා තමන්ගේ පිට උඩින් ම නන්දිමිත්‍ර යෝධයාව නංවාගෙන විජිතපුරයට කඩාවදින්ට හිතලා නැවතිලා යෝධයා දෙස බැලුවා.

42. ‘ඇතා සකස් කරපු මාර්ගයෙන් මං යන්නේ නෑ’ කියා සිතා නන්දිමිත්‍ර යෝධයා තමන්ගේ බාහු බලයෙන් ප්‍රාකාරයට පහර දුන්නා.

43. රියන් දහඅටක් උස ඒ පවුර දහස් රියනක් දුරට ගිහින් වැටුනා. නන්දිමිත්‍රයා තමන් කළ සපන්කම ගැන සුරනිමලා දෙස බැලුවා. සුරනිමල යෝධයාත් ඒ මාර්ගයෙන් බලකොටුවට වදින්ට සතුටු වුනේ නෑ.

44. සුරනිමල යෝධයා ප්‍රාකාරය උඩින් විජිතපුරය මැද්දට පැන්නා. එක එක දොරටුව කඩාගෙන ගෝඨයිම්බර යෝධයාත් මහාසෝණ යෝධයාත් ඇතුළට වැදුනා.

45. ඇත්රජා රථ රෝදයක් ගත්තා. නන්දිමිත්‍ර යෝධයා රථ කූඩුවක් ගත්තා. ගෝඨයිම්බර යෝධයා පොල් ගසක් උදුරලා ගත්තා. සුරනිමල යෝධයා කඩුවක් ගත්තා.

46. මහාසෝණ යෝධයා තල්ගසක් උදුරලා ගත්තා. ථේරපුත්තාභය යෝධයා මහා මුගුරක් ගත්තා. ඒ ඒ විධිවලින් තමන් හා සටනට ඇවිත් පහර දෙන දෙමලුන්ව සුණු විසුණු කළා.

47. දුටුගැමුණු රජ්ජුරුවන්ට විජිතපුරය ගන්ට මාස හතරක් ගතවුනා. එතනින් විජිතපුරයට කිට්ටුවෙන් තිබුන ගිරිලක නම් දෙමළ නගරයට ගිහින් ගිරිය කියන දෙමළ සෙන්පතියව අල්ලා ගත්තා.

48. එතැනින් රජ්ජුරුවෝ අනුරාධපුරයට යන්ට පිටත් වුනා. නමුත් අතරමගදී මහේල නගරය අත්පත් කරගන්නේ නැතුව අනුරාධපුරයට යන්නේ නෑ කියලා කඩොල් ඇතා කළ කුඤ්චනාදය තේරුම් ගත් රජ්ජුරුවෝ ආපහු හැරිලා ආවා. මහා දිය අගල් තුනකින් වට වී තිබුන වටේට ම කොළම් මල් වැල් ගාලකින් වැහිලා තිබූ මහේල නගරයට ගියා.

49. එක දොරටුවෙකින් පමණක් ඇතුල් වෙන්ට තිබුනු මහේල නගරයට පිවිසීම ඉතාම දුෂ්කරයි. රජ්ජුරුවෝ මහේල නගරාසන්නයේ මාස හතරක් වාසය කළා. නගරය ඇතුළට චරපුරුෂයන් යවලා ව්‍යාජ ප්‍රවෘත්ති පතුරවලා උපායශීලීව මහේල දෙමළ සෙන්පතියාව අල්ලා ගත්තා.

50. එතැනින් අනුරාධපුරය බලා එන රජ්ජුරුවෝ කසාගලින් එහා පැත්තේ කඳවුරු පිහිටුවා ගත්තා.

51. පොසොන් මුල් මාසයෙහි කසාගල පාමුල පජ්ජෝත නමින් වැවක් කළා. ඒ වැවේ ජල ක්‍රීඩා කළා. එතැන ඉදිවූ ගම්මානය පෝසෝන නුවර නමින් හැඳින්වුනා.

52. දුටුගැමුණු රජ්ජුරුවෝ අනුරාධපුරය අත්පත් කරගන්ට යුද්ධ පිණිස පැමිණි බව ඇසූ එළාර රජ්ජුරුවෝ ඇමතිවරුන් රැස් කරලා මෙහෙම කිව්වා.

53. ‘ඔය දුටුගැමුණු රජ්ජුරුවෝ කියන්නේ යෝධයෙක්. ඒ වගේ ම ඔහුට තවත් බොහෝ යෝධයෝ ඉන්නවාලු. ඇමතිවරුනි, අපි දැන් මොකක්ද කළයුත්තේ? අපේ මේ අය මේ ගැන මොකක්ද හිතන්නේ?’

54. එතකොට එළාර රජ්ජුරුවන්ගේ දීඝජන්තු යෝධයා ප්‍රධාන යෝධයෝ ‘අපි හෙට ම යුද්දේ කරන්ට ඕනෑ’ කියලා තීරණේකට ආවා.

55. දුටුගැමුණු රජ්ජුරුවොත් සිය මෑණියන් වූ විහාර මහා දේවී සමග සාකච්ඡා කරලා ඇගේ උපදෙස් පිරිදි බලකොටු තිස් දෙකක් කෙරෙව්වා.

56. විහාර මහා දේවියගේ උපදෙස් පිරිදි සේසත් දරා සිටින දුටුගැමුණු රජ්ජුරුවන්ගේ රූපය සැකසූ ලී ප්‍රතිමා තිස් දෙකක් කරවලා ඒ ඒ බලකොටු වල තැබ්බෙව්වා. ඇතුල් බලකොටුවක රජ්ජුරුවෝ සිටියා.

57. සන්නාහෙන් සන්නද්ධ වූ එළාර රජ්ජුරුවෝ මහා පර්වත නමැති ඇතාගේ පිට මත නැගුනා. මහා බල සේනා වාහන සමග එහි පිටත් වුනා.

58. යුද්ධ පවතිද්දී මහා බලයකින් යුක්ත දීඝජන්තු දෙමළ සෙන්පතියා කඩුවක් සහ පලිහක් අතට ගෙන භයානක විදිහට යුද්ධ කරමින්,

59. දහඅට රියනක් අහසට උඩ පැනලා එක කඩු පහරින් රජ්ජුරුවන්ගේ රූපය කඩලා පළවෙනි බලකොටුව බින්දා.

60. මේ විදිහට ඉතිරි බලකොටුත් බින්ද මහබලැති දීඝජන්තු දෙමළ සෙන්පතියා දුටුගැමුණු රජ්ජුරුවන් සිටි බලකොටුවට ආවා.

61. එතකොට මහාබල සම්පන්න සූරනිමල යෝධයා දුටුගැමුණු රජ්ජුරුවන් සිටින දෙසට යන දීඝජන්තුට තමන්ගේ නම අස්සවලා කෑගැසුවා.

62. ‘එම්බල පුලුටු දෙමළෝ, තෝ යුද්ධ කරන්ට ආසා නම් වෙන පැත්තක නොගිහින් සූරනිමල වන මා කරා වර’ යනුවෙන් කියූ වචනයෙන් හොඳට ම කිපුණු දීඝජන්තු ‘මෙතැන ම තෝව මරණවා’ කියල කඩුව අමෝරා ගෙන අහසට පැන නැංගා. තමන් වෙතට වේගයෙන් පනින දීඝජන්තු දෙසට පළිහ ඇල්ලුවා.

63. ‘මේකාව පළිහත් එක්කම මරන්ට ඕනෑ’ කියලා පළිහට වැරෙන් කඩුවෙන් පහර දෙනකොට ම සූරනිමල යෝධයා පළිහ අතහැරියා.

64. පළිහ අත්හැරිය ගමන් දීඝජන්තු එතැනම වැටුනා. වහා නැගිට්ට සූරනිමල බිම වැටුන දීඝජන්තු දෙමළ සෙන්පතියාට කඩුපහර දුන්නා.

65. එතකොට ඵුස්සදේව යෝධයා කන් බිහිරි කරවන හඬින් හක් ගෙඩිය පිම්බා. දෙමළ සේනාව බිඳී ගියා. එළාර රජ්ජුරුවොත් එතනින් ම නැවතුනා. ඒ සටනේදී දෙමලු බොහෝ දෙනෙක් මැරුනා.

66. ඒ යුද්ධයේ දී වැව් ජලය ලේ විලක් වගේ පෙනුනා. මියගියවුන්ගේ ලෙයින් කැලතී ගිය ඒ වැව එදා සිට ‘කැලැත්තෑවැව’ නමින් ප්‍රසිද්ධ වුනා.

67. දුටුගැමුණු රජ්ජුරුවෝ ඒ යුධ පිටියේ අඬබෙර හැසිරෙව්වා. ‘මං හැර වෙන කවුරුවත් එළාර රජුව මරන්නේ නෑ’ කියලා.

68. සන්නාහයෙන් සන්නද්ධ වූ දුටුගැමුණු රජ්ජුරුවෝ සන්නද්ධ වූ කඩොල් ඇතා පිට නැගී පලායන එළාර රජු ලුහු බඳිමින් අනුරාධපුරයේ කුඹල්ගමට බටහිරින් නගරයට පිවිසෙන දකුණු දොරටුව තෙක් ආවා.

69. අනුරාධපුර දකුණු දොරටුවේදී රජවරු දෙන්නා යුද්ධය පටන් ගත්තා. එළාර රජ්ජුරුවෝ තෝමරයෙන් දමලා ගැහුවා. දුටුගැමුණු රජ්ජුරුවෝ එය වැළැක්කුවා.

70. දුටුගැමුණු රජ්ජුරුවෝ තමන්ගේ කඩොල් ඇතා ලවා එළාර රජ්ජුරුවෝ ඔසොවාගෙන හිටිය පර්වත ඇතාට දළෙන් ඇන්නුවා. එළාර රජ්ජුරුවන්ට තෝමරයෙන් දමලා ගැසුවා. එතකොට ඇතාත් සමඟ රජ්ජුරුවෝ ඇදගෙන වැටුනා.

71. දිනාගත් යුද්ධය ඇති, මහා බලසේනා වාහනයන්ගෙන් යුක්ත අපගේ දුටුගැමුණු රජ්ජුරුවෝ ලංකාව එකම ඡත්‍රයක් යටතට අරගෙන අනුරාධපුර නගරයට පිවිසියා.

72. හාත්පස යොදුනක ප්‍රමාණයේ නගරයෙහි අඬබෙර ගස්සවලා ජනයා රැස් කෙරෙව්වා. එළාර රජ්ජුරුවන්ගේ දේහයට පුද සත්කාර කෙරෙව්වා.

73. රජ්ජුරුවන්ගේ ශරීරය බිම වැටුන තැන කූටාගාරයක් කරවා එහි දේහය තැන්පත් කරලා ආදාහන කෘත්‍යය කළා. එතැන චෛත්‍යයක් කෙරෙව්වා. ගරු සරු දක්වන්ට නියම කළා.

74. අද පවා ලංකාවේ රජවරු එළාර සෑය අසළින් ගමන් කරද්දී දුටුගැමුණු රජ්ජුරුවන්ගේ රාජාඥාවට ගරු කරලා එතැනට ගරු සරු දැක්වීම් වශයෙන් තූර්ය භාණ්ඩ ආදිය වාදනය කරන්නේ නෑ.

75. ඔය විදිහට තිස් දෙකක් දෙමළ රජවරු අල්ලාගෙන දුටුගැමුණු රජ්ජුරුවෝ ලංකා රාජ්‍යය එක් ඡත්‍රයක් යටතට පත් කළා.

76. දුටුගැමුණු රජ්ජුරුවෝ විජිතපුරය අත්පත් කරගත්විට දීඝජන්තු නමැති යෝධයා තමන්ගේ බෑණා කෙනෙකුන් යෝධයෙක් බව එළාර රජ්ජුරුවන්ට දැනුම් දීලා,

77. තමන්ගේ භල්ලුක නමැති ඒ බෑණාට ලංකාවට සේනාවක් අරගෙන එන්ට කියලා පණිවිඩයක් යැව්වා. එය ඇසූ භල්ලුකයා,

78. එළාර රජ්ජුරුවන්ගේ ආදාහනය කළ දවසේ පටන් සත්වෙනි දවසේ හැට දහසක සේනාවක් සමග මෙහි ගොඩබැස්සා.

79. ගොඩබැස්ස ඔහුට එළාර රජ්ජුරුවෝ පැරදුනා යන කරුණ අසන්ට ලැබිලත් ලැජ්ජාවෙන් යුක්ත වෙලා යුද්ධ කරන්ට ඕනෑ කියලා මාතොටින් මෙහි ආවා.

80. කොළඹහාලක කියන ගමට ඇවිත් කඳවුරු බැඳගත්තා. අපගේ දුටුගැමුණු රජ්ජුරුවෝ තව ආක්‍රමණකාරී සේනාවක් ආ වග අසා ඔවුන් හා යුද්ධයට නික්මුනා.

81. සන්නාහයෙන් සන්නද්ධ වෙලා කඩොල් ඇතා පිටේ නැගලා ඇත්, අස්, රථ, පාබල යන සේනාවන්ගෙන් අඩු නැතිව

82. ලංකාදීපයේ අග්‍ර දුනුවායාව සිටි උන්මාද ඵුස්සදේව යෝධයා පංචායුධයෙන් සන්නද්ධ වෙලා කඩොල් ඇතා පිටේ රජ්ජුරුවන්ට පිටිපස්සෙන් වාඩි වෙලා හිටියා. අනිත් යෝධයෝත් පිටිපස්සෙන් ආවා.

83. බිහිසුණු මහා යුද්ධය පවතින වේලේ එතැන සන්නද්ධ වෙලා සිටිය භල්ලුක යෝධයා දුටුගැමුණු රජ්ජුරුවන්ගේ ඉදිරියට ආවා. එතකොට උපායෙහි දක්ෂ වූ කඩොල් ඇත්රජා,

84. වේගය අඩුකරලා හෙමින් හෙමින් පසුබසින්ට පටන් ගත්තා. සේනාවත් කඩොල් ඇතාත් සමග සෙමින් සෙමින් පසුබැස්සා.

85. එතකොට රජ්ජුරුවෝ ‘එම්බා ඵුස්සදේවයෙනි, මීට කලින් මං මේ ඇත්රජා එක්ක යුද්ධ විසි අටකට ගියා. ඒ එකකදිවත් මේ විදිහට පසුබැස්සේ නැහැ නොවැ. අද මොකොද මේ…?’

86. ‘දේවයන් වහන්ස, අපට විශිෂ්ට ජයක් ලැබෙනවා ම යි. ඒකයි මේ හස්තියා ජයභූමියක් බලමින් පසුබසින්නේ. ජය භූමියේදී නවතීවි.’

87. කඩොල් ඇතා පසුබැසගෙන ඇවිත් සොහොන් බිමට උතුරු පැත්තෙන් පිහිටා තිබූ පුරදේවගේ දෙවොලට පැත්තකින් මහාවිහාර ඇතුලු සීමාවෙහි නොසැලී සිටගත්තා.

88. ඇත්රජා එතැන නැවතුනාට පස්සේ භල්ලුක දෙමළ යෝධයා අපේ දුටුගැමුණු රජ්ජුරුවන් ඉදිරියට ඇතා පිටින් ඇවිත් ‘රජ්ජුරුවෙනි, මොකෝ ඔය පස්සට යන්නේ?’ කියලා අපහාස කළා.

89. එතකොට දුටුගැමුණු රජ්ජුරුවෝ කඩුපතින් මුව වසාගෙන ‘නිවට පර දෙමළෝ, තෝ කවුද?’ කියලා කෑ ගහලා ඇසුවා. එකෙණෙහි ම භල්ලුක යෝධයා ‘මේ රජ්ජුරුවන්ගේ මුඛයට ම විදින්ට ඕනෑ’ කියලා හීයක් විද්දා.

90. කඩුතලයේ වැදුනු හීය බිමට වැටුනා. රජ්ජුරුවන්ගේ මුවට හීය වැදුනා කියලා හිතපු භල්ලුකයා මහත් සේ හඬ නගා ජය ඝෝෂා කළා.

91. දුටුගැමුණු රජ්ජුරුවන්ගේ පස්සෙන් වාඩි වී හුන් මහා බලසම්පන්න ඵුස්සදේව යෝධයා රජ්ජුරුවන්ගේ කන පැළඳ සිටි කුණ්ඩලාභරණයේ වැදීගෙන යන්ට කට ඇරගෙන ජය ඝෝෂා කරන භල්ලුකයාගේ මුඛයට හීයක් විද්දා.

92. ඇතා පිටේ ම රජ්ජුරුවන්ගේ පැත්තට පා දිගුකොට වැටෙමින් සිටින භල්ලුකයාගේ දණහිසට තවත් හීයක් විද්දා.

93. ඔය විදිහට සැහැල්ලු අත් ඇති ඵුස්සදේව යෝධයා දුටුගැමුණු රජ්ජුරුවන්ගේ පැත්තට වැඳ නමස්කාර කරගෙන වැටෙන ආකාරයෙන් හෙලුවා. භල්ලුකයා වැටුන එතැනදී දුටුගැමුණු රජ්ජුරුවන්ගේ සේනාව ජය ඝෝෂා පැවැත්තුවා.

94. ඵුස්සදේව යෝධයා එතැනදී ම රජ්ජුරුවන්ගේ කුණ්ඩලාභරණයේ වැදීගෙන යන්ට අනවසරයෙන් හීය විදීමේ තමන්ගේ වරද දක්වන්ට තමන් ම කන් පෙත්ත කපාගෙන අතට ලේ පතක් අරගෙන,

95. දුටුගැමුණු රජ්ජුරුවන්ට පෙන්නුවා. එය දැකපු රජ්ජුරුවෝ ‘මේ ලේ මොනවාද?’ කියලා ඇහුවා. ‘මං රජ්ජුරුවන් වහන්සේගෙන් දඬුවම් ලැබිය යුතු කෙනෙක්’ කියලා රජ්ජුරුවන්ට පිළිතුරු දුන්නා.

96. ‘රාජදණ්ඩය ලබන්ට තොපගෙන් වූ වරද කිමෙක් ද?’ ‘දේවයන් වහන්ස, මං කිසි අවසරයක් නොගෙන ඔබවහන්සේගේ කුණ්ඩලාභරණයේ වැදෙන විදිහට හීය විද්ද එක දෝෂය යි. ‘සහෝදරය, වරදක් නැති දෙයක් ගැන වරදක් ය යන හැඟීමෙන් මොකක්ද මේ කරගත්තේ?

97. මෙසේ කියූ කළගුණ දත් අපගේ දුටුගැමුණු රජ්ජුරුවෝ ‘ඵුස්සදේවයෙනි, හීය විදීමෙන් මට යහපතක් ම යි වුනේ. ඊට සුදුසු සත්කාරයන් නුවරට ගිය විට තොපට ලැබෙන්නේය’ කියා ඔහුට පැවසුවා.

98. යුද්ධයෙන් සියලු දෙමළ සේනාව මැරුම් කෑවා. රජ්ජුරුවන්ට ජය ලැබුනා. රජ්ජුරුවෝ රාජ ප්‍රාසාදයට නැගී සිංහාසනයේ අසුන් ගෙන සිටියා.

99. නැටුම් දක්වන පිරිසත්, ඇමැති පිරිසත් මැද ඵුස්සදේව යෝධයා භල්ලුකට විදපු හීය ගෙන්නුවා. ඒ ඊය උඩු අතට කෙලින් හිටවලා,

100. කහවණුවලින් ඒ හීය වැහෙන කල් ම ගොඩ ගස්සවලා ඒ අවස්ථාවේ ම ඵුස්සදේව ගෙන්නලා තෑගි දුන්නා.

101. සුවඳ දුම් පැතිරෙන, පහන් ආලෝකයෙන් බැබළෙන, අලංකාර වූ ඒ රාජප්‍රාසාදයේ නොයෙක් සුවඳ ලීයෙන් සැකසුනු අසුනෙහි වාඩි වී සිටින දුටුගැමුණු නරේන්ද්‍රයා,

102. දිව්‍ය අප්සරාවන් බඳු නාටක් ස්ත්‍රීන්ගේ රැඟුම් බලමින් ඉතා වටිනා මුදු සොඳුරු ඇතිරිලි අතුරා ඇති යහන් ගබඩාවේ,

103. සැතපී සිටිමින්, මහා ශ්‍රී සම්පත්තියෙන් වාසය කරද්දී පවා ‘මේ යුද්ධයක් නිසා ඇත්, අස්, රිය, පාබල යන මෙයින් යුක්ත අතිවිශාල යුද සේනාවක් මරණයට පත්වුනා නොවැ’ කියලා මතක් වෙන්ට පටන් ගත්තා. මේ නිසා සිතට කිසි සතුටක් ලැබුනේ නෑ.

104. පුවඟු දිවයිනේ වැඩ වසන රහතන් වහන්සේලා අපගේ දුටුගැමුණු රජ්ජුරුවන්ගේ මේ ශෝකාකූල අදහස් දැනගත්තා. රජ්ජුරුවන්ව අස්වසාලන්ට රහතන් වහන්සේලා අට නමක් ලංකාවට එව්වා.

105. උන්වහන්සේලා මධ්‍යම රාත්‍රියෙහි රාජප්‍රාසාදයේ දොරටුව ළඟට අහසින් ගොඩ බැස්සා. තමන් අහසින් වැඩිය බව රජ්ජුරුවන්ට දන්වලා ප්‍රාසාදයට නැග වදාළා.

106. දුටුගැමුණු රජ්ජුරුවෝ උන්වහන්සේලාට වන්දනා කරලා ආසනවල වඩා හිඳෙව්වා. නොයෙක් අයුරින් සත්කාර දක්වලා උන්වහන්සේලා මේ වැනි වෙලාවක වැඩම කිරීමේ කාරණාව ඇහැව්වා.

107. ‘රජ්ජුරුවෙනි, අපව එව්වේ පුවඟුදීපවාසී සංඝයා වහන්සේ යි. අපි ආවේ ඔබතුමාව සංසිඳුවන්ට යි’ එතකොට රජ්ජුරුවෝ උන්වහන්සේලාට නැවත මෙහෙම කිව්වා.

108. ‘ස්වාමීනී, මට සන්සිඳීමක් ඇති වෙන්නේ කොහොමද? මේ යුද්ධෙ නිසා සිව්රඟ සේනාවේ අක්ෂෝහිනී ගණනින් කියා කිය යුතු අතිවිශාල සේනාවකගේ ජීවිත හානි වුනා නොවැ.’

109. ‘මහරජ්ජුරුවෙනි, යුද්ධයේ දී සිදු වුන දෙයින් තොපට සුගතියෙහි උපදින්ට හෝ නිවන් අවබෝධයට හෝ අන්තරායක් වෙලා නෑ. මහරජ්ජුරුවෙනි, මෙහි දී ඔබ වගකිව යුතු වන්නේ මිනිසුන් එකහමාරකට යි.

110. එක්කෙනෙක් තිසරණයෙහි පිහිටා සිටියා. අනිත් එක්කෙනා තිසරණ සහිත පන්සිල් සමාදන්ව සිටියා. අනිත් හැමෝ ම මිථ්‍යා දෘෂ්ටියෙන් යුක්තයි. දුස්සීලයි. ඔවුන් සතුන් වගේ නොවැ.

111. මහරජ්ජුරුවෙනි, ඔබ නොයෙක් ආකාරයෙන් බුද්ධ ශාසනය බබුළුවනවා. ඒ නිසා සිතේ තිබෙන ඔය පසුතැවිල්ල දුරුකරගත මැනව.’

112. මේ විදිහට රජ්ජුරුවන්ගේ සෝකය සංසිඳුවා පිනට සිත යොමුකරවීම පිණිස කරුණු කීමෙන් ඒ රහතන් වහන්සේලා විසින් රජ්ජුරුවන්ව අස්වැසුවා. උන්වහන්සේලාට වන්දනා කොට පිටත් කරවා හැරිය රජ්ජුරුවෝ නැවත යහනේ සැතපී මෙහෙම සිතුවා.

113. සංඝයාට පූජා නොකොට කවරදාකවත් ආහාර අනුභව කරන්ට එපාය කියලා අප කුඩා අවදියේ ම අපගේ මව්පියන් අප ලවා දිව්රවා ගත්තා.

114. මං සංඝයා වහන්සේට පූජා නොකොට බත් අනුභව කළ අවස්ථාවක් තියෙනවද කියලා සිහි කරද්දී තමා විසින් එකම උදෑසනක එක් ලුණු මිරිසක් වළඳා තිබෙන බව මතක් වුනා.

115. එදා මෙදා තුර මට අමතක වීමකින් සංඝයාට පූජා කළ යුතු කොටස වෙන් නොකර මිරිස්වැටියක් අනුභව කළ නිසා මා විසින් එයට දඬුවම් ලැබිය යුතුයි කියලා කල්පනා කළා.

116. කෝටි ගණන් මිනිසුන් මැරෙන මේ යුද්ධය කාමයන්ගේ ආදීනවය බව සත්පුරුෂයා මෙනෙහි කරන්ට ඕනෑ. ඒ වගේ ම සත්පුරුෂයා සියලු සංස්කාරයන්ට අයත් මේ අනිත්‍ය ලක්ෂණය ගැනත් හොඳට නුවණින් සලකන්ට ඕනෑ. එබඳු තැනැත්තා වැඩිකල් නොයා මෙබඳු දුක් ඇති සංසාරයෙන් අත් මිදී නිවනට පැමිණෙනවා ඇති.

සත්පුරුෂ ජනයන්ගේ ප්‍රසාදයත් සංවේගයත් ඇතිකරනු පිණිස කරන ලද මහාවංශයෙහි දුටුගැමුණු රජ්ජුරුවන්ගේ විජයග්‍රහණය නම් වූ විසිපස්වෙනි පරිච්ඡේදය යි.