1. ඔය ආකාරයට මහා සෑය කරවන්ට උවමනා දේවල් රැස් කරගන්ට පුළුවන් වුනාම වෙසක් පුන් පොහෝ දවසේ විසා නැකතේ දී මහා සෑයේ කටයුතු ආරම්භ කළා.

2. රජ්ජුරුවෝ මිහිඳු මහරහතන් වහන්සේ දෙවනපෑතිස් රජ්ජුරුවන් ලවා අනාගත වාක්‍ය සටහන් කරවා සිටවපු ගල්ටැඹ මහා සෑය පිහිටුවන තැනින් බැහැරට ඉවත් කෙරෙව්වා. සෑ බිම නොයෙක් අයුරින් ස්ථිරව පිහිටවනු පිණිස සත් රියනක් යටට සාරවා බුරුල් පස ඉවත් කෙරෙව්වා.

3. යෝධයන් ලවා ගල්කුට්ටි ගෙන්නවා, එතැන දම්මවා, ඒවාට කුළුගෙඩිවලින් පහර දී කුඩු කෙරෙව්වා.

4. හොඳ නරක විනිශ්චයෙහි දක්ෂ වූ රජ්ජුරුවෝ මහා ඇත්තු ගෙන්නවා ඔවුන්ගේ පාදයන් යටිපතුලේ සිට සමෙන් ආවරණය කරවා භූමිය සවිමත් වෙන්ට හොඳ හැටියට
පෑගෙව්වා.

5. හිමාලයේ අහස් ගඟ වැටෙන තැන හැම තිස්සේම තෙත්වෙලා තියෙන සියුම් මැට්ටක් තියෙනවා. ඒ හාත්පස තිස් යොදුනක පැතිරී තියෙනවා.

6. ඒ මැටි මොනතරම් මෙලෙක් ද යනු, ඒවාට කියන්නේ වෙඬරු (බටර්) හෙවත් නවනීත මැටි කියලයි. රහත් සාමණේරයන් වහන්සේලා ඉර්ධිබලයෙන් එතැනින් මැටි අරගෙන ආවා.

7. රජ්ජුරුවෝ ඒ නවනීත මැටි කුඩුකළ ගල් අතරේ කුස්තූර වැහෙන පරිදි ඇතිරෙව්වා. ඒ සියුම් නවනීත මැට්ට උඩින් ගඩොල් ඇතිරෙව්වා.

8. ඒ ගඩොල් තට්ටුවට උඩින් ගල් කැට මිශ්‍ර කළ ගොරෝසු සුණු බදාම තට්ටුවක් ඇතිරෙව්වා. එයට උඩින් කුරුවින්ද නැමැති ගල් වර්ගය ඇතිරෙව්වා. එයට උඩින් යකඩ දැලක් අතුරා ඒ මත ‘මරුම්බ’,

9. නමැති සුවඳ මැටි වර්ගයත්, ඉර්ධිමත් සාමණේරයන් ලවා හිමාලයෙන් ගෙන්නවා ඒවා ඇතිරෙව්වා. ඊට පස්සේ රජ්ජුරුවෝ ඒ මැට්ට මත පළිඟු ගල් ඇතිරෙව්වා.

10. පළිඟු අතුරාපු තැන ඊට උඩින් ගල් ඇතිරෙව්වා. හැම තැනම බදාමයෙන් කළ යුතු දේ නවනීත මැටියෙන්ම කළා.

11. ඊට පස්සේ රජ්ජුරුවෝ දිවුල් ගස්වල මැලියම් රසදියෙන් හොඳට කලවම් කරලා ඒ ලාටුව ගල් මත අතුරවා ඒ මත අඟල් අටක් ඝනකම තියෙන ලෝහ තහඩුවක් ඇතිරෙව්වා.

12. ඒ තහඩුව මත සිරියල් තලතෙලින් අනලා තට්ටුවක් තැවරුවා. ඒ මත අඟල් සතක් ඝනකම තියෙන රිදී තහඩුවක් ඇතිරෙව්වා.

13. ඔය ආකාරයෙන් අපගේ දුටුගැමුණු මහරජ්ජුරුවෝ ඉතා පහන් සිතින් යුතුව මහා සෑය පිහිටන ස්ථානයේ කළ යුතු මූලික කටයුතු කළා.

14. ඊට පස්සේ ඇසළ මාසයේ පුර පක්ෂයට අයත් දහහතර වන දවසේ (පොහොය දිනයට කලින් දා) මහා විහාරයේ බෙර හසුරුවා භික්ෂු සංඝයා වහන්සේව රැස් කරවා මෙහෙම කිව්වා.

15. “ස්වාමීනී, හෙට පසළොස්වක් පොහෝ දවසේ මහා සෑයේ මුල්ගල් තැබීමේ පුණ්‍යෝත්සවය සිදුකෙරෙනවා. අපගේ සියලු සංඝයා වහන්සේ මේ පින්කමට වඩින සේක්වා!

16. භාග්‍යවතුන් වහන්සේට පූජා පැවැත්වීමෙන් සිදුවෙන යහපත කැමති අපගේ මහජනතාව උපෝසථ සිල් සමාදන්ව, සුවඳ මල් ආදිය අරගෙන,

17. මහා සෑය පිහිටුවන උතුම් භූමියට හෙට පැමිණෙත්වා!” කියලා ඇමතිවරුන්වත් මහා සෑ භූමිය සැරසීමේ කටයුතු කරවන්ට කියලා යෙදෙව්වා.

18. රජ්ජුරුවන්ගෙන් ලැබුණු ආඥාවට අනුව අප ශාක්‍යමුනීන්ද්‍රයන් වහන්සේ කෙරෙහි ප්‍රිය ගෞරවාදර ඇති ඔවුන් පැමිණ නොයෙක් ආකාරයෙන් මහා සෑය පිහිටන බිම අලංකාර කළා.

19. රජ්ජුරුවෝ මුළු අනුරාධපුර නගරයත්, මෙහෙට (මහා විහාරයට) එන්ට තියෙන මාර්ගයත් නොයෙක් ආකාරයෙන් අලංකාර කෙරෙව්වා.

20. පොහෝ දා උදෑසන නුවරට ඇතුල්වන දොරටු සතරේ ජනයාව නහවන්ට උදව් වෙන බොහෝ මිනිස්සුත්, කෙස් රැවුල් කපන කරණවෑමියනුත්, හිස පීරා සරසන කපුවනුත් තැබ්බෙව්වා.

21. මහා ජනතාවගේ යහපතෙහි ඇලුනු අපගේ දුටුගැමුණු මහරජ්ජුරුවෝ මහජනතාවගේ ප්‍රයෝජනය පිණිස වස්ත්‍ර, සුවඳ මල්, ප්‍රණීත ආහාරපාන

22. යන මේවා තම තමන්ට කැමති පරිදි ගැනීමට පිළියෙල කරලා තිබුණා. අනුරපුර නගරවාසීනුත්, අවට ජනපදවාසීනුත් මහා සෑය පිහිටන බිමට පැමිණියා.

23. තම තමන් ලද තනතුරු අනුව නියමිත වූ වස්ත්‍රාභරණයන්ගෙන් සැරසුණු ඇමතිවරුන්ගේ ආරක්ෂාව මැද සුදුසු තැනට පැමිණ සිටි රජ්ජුරුවෝ,

24. ඉතා අලංකාර වස්ත්‍රාභරණයෙන් සැරසිලා දිව්‍ය කන්‍යාවන් වගේ සිටින නාටක ස්ත්‍රීනුත්, ඒ වගේම වටිනා වස්ත්‍රාභරණයෙන් සැරසුණු,

25. සතලිස් දහසක් මිනිසුනුත් පිරිවරාගෙන ආතත, විතත, විතතාතත, ඝන, සුසිර යන පංච තූර්යනාදයෙන් ගිගුම් දෙවමින් සක්දෙව් රජුගේ විලාශයෙන්,

26. තැන නොතැන ගැන දන්නා විචක්ෂණ බුද්ධියෙන් යුතු රජ්ජුරුවෝ මහා ජනයා සතුටු කරවමින් මහා සෑය පිහිටන ස්ථානයට සවස් වරුවේ සම්ප්‍රාප්ත වුනා.

27. ඊට පස්සේ රජ්ජුරුවෝ එක්දහස් අටක් සළු මැද බඳින ලද පියලි තැබ්බෙව්වා. ඒ සතර පැත්තෙන්,

28. රජ්ජුරුවෝ නොයෙක් අලංකාර වස්ත්‍ර ගොඩ ගැස්සෙව්වා. මංගල ලකුණු වශයෙන් මීපැණි, ගිතෙල්, උක් සකුරු ආදිය තැබ්බෙව්වා.

29. මේ අවස්ථාවට නොයෙක් රටවල්වලින් බොහෝ භික්ෂූන් වහන්සේලා වැඩම කළා. මේ ලංකාද්වීපයෙන් භික්ෂූන් වැඩිය වග අමුතුවෙන් කියන්ට ඕනෑද!

30. මහා සිසු පිරිසක් ඇති ඉන්දගුත්ත මහරහතන් වහන්සේ අසූදහසක් තෙරුන් වහන්සේලා සමඟ රජගහ නුවරින් මෙහි වැඩම කළා.

31. ධම්මසේන මහරහතන් වහන්සේ දොළොස්දහසක් තෙරුන් වහන්සේලා සමඟ බරණැස ඉසිපතනයේ සිට මහා සෑය පිහිටන භූමියට වැඩම කළා.

32. පියදස්සී මහරහතන් වහන්සේ සැට දහසක් තෙරුන් වහන්සේලා සමඟ සැවැත් නුවර ජේතවනාරාමයේ සිට මෙහි වැඩම කළා.

33. බුද්ධරක්ඛිත මහරහතන් වහන්සේ විශාලා මහනුවර මහාවනයේ කූටාගාරශාලා විහාරයේ සිට දහඅටදහසක් තෙරුන් වහන්සේලා සමඟ මෙහි වැඩම කළා.

34. ධම්මරක්ඛිත මහරහතන් වහන්සේ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයේ සිට තිස් දහසක් භික්ෂූන් වහන්සේලා සමඟ මෙහි වැඩම කළා.

35. සංඝරක්ඛිත මහරහතන් වහන්සේ උදේනි නුවර දක්ඛිණගිරි විහාරයේ සිට යතිවරයන් වහන්සේලා හතලිස් දහසක් සමඟ මෙහි වැඩම කළා.

36. මිත්තිණ්ණ නැමැති මහරහතන් වහන්සේ පාටලීපුත්‍ර නගරයේ අශෝකාරාමයේ සිට භික්ෂූන් වහන්සේලා එක්ලක්ෂ සැටදහසක් සමඟ මෙහි වැඩම කළා.

37. උත්තිණ්ණ නැමැති මහරහතන් වහන්සේ කාශ්මීර මණ්ඩලයේ සිට දෙලක්ෂ අසූ දහසක් භික්ෂූන් වහන්සේලා සමඟ මෙහි පැමිණියා.

38. මහා නුවණැති මහාදේව නැමැති මහරහතන් වහන්සේ සාරලක්ෂ සැට දහසක් භික්ෂූන් වහන්සේලා සමඟ පල්ලාභෝග රාජ්‍යයේ සිට මෙහි වැඩම කළා.

39. ග්‍රීක ජාතික මහා ධම්මරක්ඛිත මහරහතන් වහන්සේ ඒ කාලේ සිරියාවේ පිහිටි ග්‍රීක (යෝනක) රාජ්‍ය වන ඇලෙක්සැන්ඩි්‍රයාවේ සිට තිස් දහසක් භික්ෂූන් වහන්සේලා සමඟ මෙහි වැඩම කළා.

40. උත්තර මහරහතන් වහන්සේ වින්ධ්‍යා වනයේ වත්තනිය සේනාසනයේ සිට හැටදහසක් භික්ෂූන් වහන්සේලා සමඟ මෙහි වැඩම කළා.

41. චිත්තගුත්ත මහරහතන් වහන්සේ ගයාවේ බෝධිමණ්ඩල වජිරාසන විහාරයේ සිට තිස් දහසක් භික්ෂූන් වහන්සේලා සමඟ මෙහි වැඩම කළා.

42. චන්දගුත්ත මහරහතන් වහන්සේ වනවාස ප්‍රදේශයේ සිට අසූදහසක් භික්ෂූන් වහන්සේලා සමඟ මෙහි වැඩම කළා.

43. සූරියගුත්ත මහරහතන් වහන්සේ දකුණු දඹදිව කෛලාස මහා විහාරයේ සිට අනූහය දහසක් භික්ෂූන් වහන්සේලා සමඟ මෙහි වැඩම කළා.

44. ලංකාදීපවාසී භික්ෂූන් වහන්සේලා මෙහි වැඩිය ගණන සංඛ්‍යාවකට සීමා කරලා පුරාණ ආචාර්යයන් වහන්සේලා විසින් කියලා නෑ.

45. ඒ මහා සෑයට මංගල ගඩොල් පිහිටුවීමේ උත්සවයට සහභාගී වී වදාළ සියලු භික්ෂූන් වහන්සේලාගෙන් රහතන් වහන්සේලා පමණක් අනූහය කෝටියක්ය කියලයි කියන්නේ.

46. ඒ භික්ෂූන් වහන්සේලා මහා සෑ පිහිටුවන භූමිය වටකරගෙන රජ්ජුරුවන්ට මැද සිටින්ට ඉඩකඩ තබලා වැඩ සිටියා.

47. එතැනට සැපත් වුණු අපගේ දුටුගැමුණු මහාරජ්ජුරුවෝ ඒ ආකාරයෙන් වැඩසිටින භික්ෂු මහා සංඝයා වහන්සේව දැකලා මහත් සතුටට පත්වෙලා උන්වහන්සේලාට පහන් සිතින් වන්දනා කළා.

48. මහා සෑ පිහිටුවන භූමියට සුවඳ මල් පූජා කරලා, තුන් වටයක් පැදකුණු කරලා, ඒ මැද මංගල ලකුණ සහිත පුන් කලස් පිහිටුවා ඇති තැනට පිවිසියා.

49. ඒ මැද රනින් කළ හුලක අමුණන ලද ඉතා පිරිසිදුව සකස්කරපු වටේට කරකැවිය හැකි රිදී දණ්ඩක් කරවා තිබුණා. එතැනදී පිරිසිදු ශ්‍රද්ධාවෙන් යුතු, නිර්මල ප්‍රීතිවේගයෙන් උදම් වූ අපගේ රජ්ජුරුවෝ,

50. ලෝ සතුන්ගේ යහපතට හේතුවෙන මහාසෑය කරවීමේ සිතින් යුක්තව මව්පිය දෙපාර්ශවයෙන්ම පිරිසිදු, මව්පියන් ජීවමානව සිටින, මනාකොට සැරසුණු අමාත්‍යයෙකු ලවා,

51. මහා සෑය පිහිටුවන භූමි ප්‍රදේශයේ ඉතා විශාල ලෙස සීමාව ලකුණු කිරීම පිණිස මනාව සකස් කළ භූමියේ කලින් කියන ලද රිදී දණ්ඩ කරකවන්ට පටන් ගත්තා.

52. එතකොට අනාගතය දකිනා මහා ඉර්ධිමත් සිද්ධාර්ථ නැමැති මහරහතන් වහන්සේ එහෙම ඉතා විශාල ලෙස සීමාව ලකුණු කරමින් සිටිය රජ්ජුරුවන්ව වැළැක්වුවා.

53. ඉදින් අපගේ රජ්ජුරුවෝ මේ තරම් මහා විශාල වූ ස්ථූපයක් කරවන්ට පටන් ගත්තොත් මහා සෑයේ වැඩ අවසන්වෙන්ට කලින් මරණයට පත්වේවි.

54. ඒ වගේම අනාගතයේ මහාසෑයේ පිළිසකර කටයුතු කරන එකත් ගොඩාක් දුෂ්කර වේවි. අනාගතයේ සිදුවිය හැකි මේ කරුණු දෙක දැකලා මහරහතන් වහන්සේ රජ්ජුරුවන්ට අධික විශාලත්වයෙන් රවුම සැකසීම වැළැක්වූ බව පවසා සිටියා.

55. සංඝයා වහන්සේගේ අනුමැතිය නිසාත්, සිද්ධත්ථ මහරහතන් වහන්සේ කෙරෙහි ඇති ගෞරව භක්තිය නිසාත්, රජ්ජුරුවෝ අතිවිශාල වූ චෛත්‍යයක් කරවන්ට ආසා කළත් තෙරුන් වහන්සේගේ වචනය පිළිගත්තා.

56. ඒ මහරහතන් වහන්සේගේ උපදෙස් පරිදි අපගේ රජ්ජුරුවෝ උන්වහන්සේ පෙන්වා වදාළා අයුරින් මධ්‍යම ප්‍රමාණයෙන් මහා සෑ වටය මුල් ගල් තැබීමට සළකුණු කළා.

57. පසුනොබසින වීරියෙන් යුක්ත වූ අපගේ රජ්ජුරුවෝ රන් කළස් අට බැගිනුත්, රිදී කළස් අට බැගිනුත් සෑ පිහිටන මැද තැබ්බෙව්වා.

58. ඒ රන් රිදී දහසය කළස් වටේට නැවුම් කළගෙඩි එක්දහස් අටක් තැබ්බෙව්වා. ඊට පස්සේ අළුත් වස්ත්‍ර එකසිය අට බැගින් අට තැන තැබ්බෙව්වා.

59. ඊට පස්සේ අට පැත්තේ රනින් කළ ගඩොල් තැබුවා. ඒ රන් ගඩොල් පිරිවරා සිටින විදිහට රිදී ගඩොල් එකසිය අට බැගින් තැබ්බෙව්වා. ජීවමාන මව්පියන් ඇති, ජාති සම්පන්න වූ, නොයෙක් අයුරින් සැරසූ ඇමැති පුත්‍රයෙක් ලවා,

60. රන් ගඩොල්වලින් එකක් ගෙන්වාගෙන, මිත්තසේන මහරහතන් වහන්සේ නැගෙනහිර පැත්තේ සෑ වට රේඛාව සළකුණු කළ තැන සුවඳ මැටි පිඬක් තබා වදාළා. ජයසේන මහරහතන් වහන්සේ ඒ මත පැන් ඉස එය සැන්දකින් සමකොට වදාළා.

61. මෙසේ උතුම් මංගල ආකාරයෙන් සකස් වූ තැන ඒ ඇමති පුත්‍රයා ලවා මංගල ගඩොල පිහිටෙව්වා. මහා සුමන මහරහතන් වහන්සේ එතැනට දෑ සමන් මල් පූජා කළා.

62. ඒ මොහොතේ මුහුද කෙළවර දක්වා මහපොළොව කම්පා වුනා. ඉතිරි රන් ගඩොල් සතත් අනිත් දිශාවන් සතෙහි කලින් ආකාරයට ම උතුම් මංගල ආකාරයෙන් සැකසූ තැන්වල අමාත්‍ය පුත්‍රයන් ලවා පිහිටෙව්වා.

63. ඔය ආකාරයෙන් ඇසළ මස පුර පක්ෂයෙහි කටයුතු සම්මත කරගෙන පුන් පොහෝ දවසේ මංගල ගඩොල් පිහිටුවීම සිදුකළා.

64. රජ්ජුරුවෝ එහි සතර දිශාවේ ම වැඩසිටියා වූ නිකෙලෙස් මහතෙරුන් වහන්සේලාට වන්දනා කරලා පූජාවන් පවත්වලා ඉතා සතුටින් යුතුව ක්‍රමයෙන්,

65. ඊසාන දෙසට ගිහින් පියදස්සී මහරහතන් වහන්සේට වන්දනා කරලා, උන්වහන්සේ සමීපයෙහි එකත්පස්ව සිටගත්තා.

66. පියදස්සී මහරහතන් වහන්සේ මේ මංගල අවස්ථාවේ සතුට වර්ධනය කරවමින් රජ්ජුරුවන්ට ධර්මය දේශනා කොට වදාළා. තෙරුන් වහන්සේ වදාළ බණටික මහජනයාට ඉතාම ප්‍රයෝජනවත් වුනා.

67. සතළිස් දහසක් දෙනෙකුට ශ්‍රද්ධාව උපදින ආකාරයට ධර්මාවබෝධ වුනා. සතළිස් දහස් දෙනෙක් සෝවාන් ඵලයට පත්වුනා.

68. දහසක් දෙනා සකදාගාමී වුනා. එපමණම පිරිසක් අනාගාමී වුනා. එතැන සිටි ගිහි ජනයා අතර දහසක් දෙනා රහත් ඵලයට පත්වුනා.

69. දහඅටදහසක් භික්ෂූන් වහන්සේලාත්, දහහතර දහසක් භික්ෂුණීන් වහන්සේලාත් රහත් ඵලයෙහි පිහිටියා.

70. ඔය ආකාරයෙන් දුටුගැමුණු රජ්ජුරුවන් වහන්සේව ආදර්ශයට ගෙන, උතුම් රතනත්‍රයෙහි පහන් සිතින් යුක්තවූ බුද්ධිමත් මනුෂ්‍යයා දානාදී පින්කම් කිරීම පිණිස, ත්‍යාගයට යොමු වූ සිතින් යුක්ත විය යුතුයි. ලෝකයාගේ මෙලොව පරලොව දෙකෙහි යහපත උදාකරදීම උතුම් ම දෙය බව අවබෝධ කරගෙන, ශ්‍රද්ධාදී නොයෙක් උතුම් ගුණධර්මයන්ට ඇළුම් කරන්ට ඕනෑ.

සත්පුරුෂ ජනයන්ගේ ප්‍රසාදයත් සංවේගයත් ඇතිකරනු පිණිස කරන ලද මහාවංශයෙහි රුවන්වැලි මහාසෑයේ සමාරම්භක කටයුතු නම් වූ විසිනවවෙනි පරිච්ඡේදය යි.