1. වළගම්බා රජ්ජුරුවන්ගේ ඇවෑමෙන් ඛල්ලාටනාග රජ්ජුරුවන්ගේ පුත්‍ර වූ මහා චූලික මහා තිස්ස රජ්ජුරුවෝ ධාර්මිකව, ශාන්තව දහහතර අවුරුද්දක් ලංකා රාජ්‍යපාලනයේ යෙදුණා.

2. සිය අතින් උපයා ගන්නා දෙයින් දෙන දානය මහත්ඵලයි කියා රජ්ජුරුවන්ට අසන්නට ලැබුනා. රජකම ලැබූ පළමු අවුරුද්දේ ම කුලී වැඩකරන්නෙක් වගේ වෙස්වළාගෙන ගිහින්,

3. ඇල් වී කෙතක ගොයම් කැපීමේ කුලී වැඩ කරලා එයින් ලැබුණු වැටුපෙන් දන්පැන් සකසලා රජ්ජුරුවෝ මහා සුම්ම මහරහතන් වහන්සේට පිණ්ඩපාත දානයක් පූජා කරගත්තා.

4. ආයෙමත් වතාවක් රජ්ජුරුවෝ මලය රටේ අම්බට්ඨකෝළ ජනපදයට වෙස්වලාගෙන ගිහින් සොණ්ණගිරි කියන පර්වතය ආසන්නයේ තුන් අවුරුද්දක් උක් හකුරු හදන යන්ත්‍රයක බැලමෙහෙවර කළා. එයින් වැටුප් පිණිස ලැබුණු උක්සකුරු,

5. අනුරාධපුරයට ගෙන්නවාගෙන රජ්ජුරුවෝ භික්ෂු සංඝයා වහන්සේ උදෙසා මහා දානයක් පූජා කරගත්තා.

6. තිස් දහසක් භික්ෂූන් වහන්සේලාට සිවුරු රෙදි පූජා කළා. දොළොස් දහසක් භික්ෂුණීන් වහන්සේලාටත් සිවුරු රෙදි පූජා කළා.

7. රජ්ජුරුවෝ ඉතා යහපත් කොට පිහිටි විහාරයක් කරවා හැටදහසක් භික්ෂූන් වහන්සේලාට තුන්සිවුරු පූජා කරගත්තා.

8. තිස් දහසක් භික්ෂුණීන් වහන්සේලාටත් තුන් සිවුරු පූජා කරගත්තා. ඒ වගේම රජ්ජුරුවෝ මණ්ඩවාපි විහාරයත්, අභයගල්ලක විහාරයත් කෙරෙව්වා.

9. ඒ වගේම වංකාවට්ටකගල්ල විහාරයත්, දීඝබාහුකගල්ලක විහාරයත්, ජාලගාම විහාරයත් ඒ රජ්ජුරුවෝ ම යි කෙරෙව්වේ.

10. මෙසේ ශ්‍රද්ධාවෙන් යුක්තව මහාචූළිකමහාතිස්ස රජ්ජුරුවෝ නොයෙක් ආකාරයෙන් පින් රැස් කරගෙන දා හතර අවුරුද්දක රාජ්‍ය කාලයෙන් පස්සේ දෙව්ලොව ගියා.

11. වළගම්බා රජ්ජුරුවන්ගේ පුත් කුමාරයා වන මහානාග කුමාරයා ‘චෝරනාග’ යන නමින් ප්‍රසිද්ධ වුනා. මහාචූළික රජ්ජුරුවෝ රජකම් කරන කාලේ ඔහු සොරු කණ්ඩායමක් සමඟ සොරකමේ යෙදුනා.

12. මහාචූළික රජ්ජුරුවන්ගේ අභාවයෙන් පස්සේ චෝරනාග රජකමට පැමිණියා. ඔහු සොරකම් කරන කාලේ යම් විහාරයක තමන්ට නවාතැන් නොදී තිබුණා ද,

13. නුවණින් තොර වූ රජ්ජුරුවෝ ඒ විහාර දහඅටක් විනාශ කරවා දැම්මා. චෝරනාග රජ්ජුරුවෝ දොළොස් අවුරුද්දක් රජකම් කළා.

14. තමන්ගේ භාර්යාව වන අනුලා බිසව විසින් දෙනලද විෂ අනුභව කළ මොහු මරණයට පත්වුනා. ඒ පාපී තැනැත්තා ලෝකාන්තරික මහානිරයේ උපන්නා.

15. චෝරනාග රජ්ජුරුවන්ගේ මරණයෙන් පස්සේ මහාචූළික රජ්ජුරුවන්ගේ පුත් කුමාරයෙක් රජවුනා. ඒ රජ්ජුරුවෝ තිස්ස නමින් ප්‍රසිද්ධ වුනා. තිස්ස රජ්ජුරුවන්ට රජකම් කරන්ට පුළුවන් වුනේ අවුරුදු තුනයි.

16. චෝරනාග රජ්ජුරුවන්ගේ බිසොව වන අනුලා දේවිය ඉතාම නරක ගතිගුණවලින් යුක්තයි. ඈ මුලින්ම යුද භටයෙකු සමඟ රාගයෙන් ඇලී තමන්ගේ ස්වාමියා වන චෝරනාග රජ්ජුරුවන්ව මරාගත්තා.

17. රාගයෙන් ඇලී ගිය අනුලා බිසොව ඒ යුදභටයා ලවා ම තමන්ව මෙහෙසි තනතුරේ තැබූ තිස්ස රජ්ජුරුවන්ව වස කවා මරවා ගත්තා. ඊට පස්සේ ඈ යුදභටයාට රාජ්‍ය ලබා දුන්නා.

18. අනුරාධපුරයේ රාජ මාළිගාවේ ප්‍රධාන දොරටුපාලයාව සිටි ඒ සිව නැමැති යුදභටයා අනුලාව මෙහෙසිය කරගෙන අවුරුද්දකුත් මාස දෙකක් රජකම් කළා.

19. ඊට පස්සේ අනුලා බිසොව අනුරාධපුර නගරයේ සිටිය වටුක නැමැති දෙමළා කෙරෙහි රාගයෙන් ඇලී ගියා. ඈ ම සිව රජ්ජුරුවන්ට වස කන්ට දීලා මරවා වටුක දෙමළාව රජකමට පත්කළා.

20. ඒ වටුක දෙමළා රජගෙට යමින් එමින් සිටි රජුට හිතවත්ව සිටි නගර සැළසුම් ශිල්පියෙක්. වටුක දෙමළ රජ්ජුරුවෝ අනුලා බිසොව මෙහෙසිය හැටියට තබාගෙන අවුරුද්දකුත් මාස දෙකක්,

21. අනුරාධපුර නගරයේ රජකම් කළා. අනුලා බිසොව එහි පැමිණි මාළිගාවට දර අදින තරුණයා දැකලා ඔහු කෙරෙහි රාගයෙන් ඇලී ගියා.

22. ඈ වටුක දෙමළ රජ්ජුරුවන්ට වස දීලා මැරුවා. දර ඇදපු තරුණයාව දාරුභතිකතිස්ස නමින් රජකමට පත්කළා. ඔහු අනුලා බිසොව මෙහෙසිය කරගත්තා.

23. දාරුභතිකතිස්ස රජ්ජුරුවෝ අනුරාධපුරයේ අවුරුද්දකුත් මාසයක් රජකම් කළා. ඒ රජ්ජුරුවෝ මහමෙව්නා උයනේ පංචම්බ නම් මළුව ආසන්නයේ ඉක්මනින් පොකුණක් කෙරෙව්වා.

24. ඊට පස්සේ අනුලා බිසොව නීලිය නැමැති දෙමළ පුරෝහිත බ්‍රාහ්මණයා කෙරෙහි රාගයෙන් ඇලී ගියා. ඔහු සමඟත් නිදාගන්ට ආසා කළා.

25. ඈ දාරුභතිකතිස්ස රජ්ජුරුවන්ට වස දීලා මැරෙව්වා. නීලිය බ්‍රාහ්මණයාට රජකම අරගෙන දුන්නා. ඒ නීලිය දෙමළ බ්‍රාහ්මණයාත් රජවෙලා,

26. අනුලා බිසොව මහේසී තනතුරට පත්කළා. ඇයගෙන් නිතර උපස්ථාන ලබමින් ඒ රජ්ජුරුවෝ මේ අනුරාධපුරයෙහි හය මාසයක් රජකම් කළා.

27. අනුලා රාජකාන්තාව නිලීය රජ්ජුරුවන්වත් වස දීලා මරාගත්තා. ඊට පස්සේ අනුලා බිසොව ම රජවුනා. මාස හතරක් යුදභටයන් තිස් දෙදෙනෙක් සමඟ සිතුමනාපේ වාසය කළා.

28. මහාචූළික රජ්ජුරුවන්ගේ දෙවෙනි පුත්‍රයා වන කූටකණ්ණතිස්ස කුමාරයා අනුලා දේවියට භයෙන්,

29. රාජමාළිගාවෙන් පළාගියා. පැවිදි වුනා. සුදුසු කාලයේදී බලසෙනඟත් සමඟ මෙහි ඇවිත් දුෂ්ට සිතක් ඇති අනුලාව මරවා,

30. රජකම ලැබූ කූටකණ්ණතිස්ස රජ්ජුරුවෝ අවුරුදු විසි දෙකක් ලංකා රාජ්‍යය කළා. ඒ රජ්ජුරුවෝ මිහින්තලේ සෑගිරියේ මහා උපෝසථාගාරයක් කෙරෙව්වා.

31. ඒ පෝයගෙට ඉදිරියෙන් ගලෙන් ස්ථූපයක් කෙරෙව්වා. ඒ රජ්ජුරුවෝ ම සෑගිරියේ එතැන ම බෝධීන් වහන්සේ නමක් රෝපණය කෙරෙව්වා.

32. පෙලගාම නමින් විහාරයකුත් ගඟ අද්දර කෙරෙව්වා. එතන ම වණ්ණක නමින් මහා ඇලපාරක් කැණෙව්වා.

33. අම්බදුග්ගම මහා වැවත්, භයෝලුප්පල නම් වැවත් කෙරෙව්වා. අනුරාධපුර නගර ප්‍රාකාරයත්, සත් රියනකට උස්සලා කෙරෙව්වා.

34. අසංවර අනුලා බිසොව ආදාහනය කළ තැනින් ටිකක් ඈතට වෙන්ට කටුකොහොල් අරවා මාළිගයක් කෙරෙව්වා.

35. පද්මස්වර නමින් වනෝද්‍යානයක් නගරයේ ම කෙරෙව්වා. රජ්ජුරුවන්ගේ මෑණියෝ දත් ධෝවනය කරලා බුද්ධ ශාසනයේ පැවිදිවුනා.

36. රජකුලයට අයත් නිවසක ආසන්නයේ මෑණියන් වෙනුවෙන් භික්ෂුණී ආරාමයක් කෙරෙව්වා. එය රාජමාතාව උදෙසා කළ නිසා ‘දන්තගේහ’ නමින් ප්‍රසිද්ධ වුනා.

37. කූටකණ්ණතිස්ස රජ්ජුරුවන්ගේ අභාවයෙන් පස්සේ ඒ රජ්ජුරුවන්ගේ භාතිකාභය නැමැති පුත් කුමාරයා රජකමට පත්වුණා. ඒ රජ්ජුරුවෝ විසි අට වර්ෂයක් රජකම් කළා.

38. මහාදාඨික රජ්ජුරුවන්ගේ සහෝදරයෙක් වන නිසා මේ රජ්ජුරුවන්ගේ නාමය ‘භාතික රජ්ජුරුවෝ’ නමින් දිවයිනේ ප්‍රසිද්ධ වුනා. මේ රජ්ජුරුවෝ ධාර්මිකයි.

39. රජ්ජුරුවෝ ලෝවාමහා ප්‍රාසාදයේ අළුත්වැඩියා කටයුතු කෙරෙව්වා. මහා සෑයේ පේසා වළලු දෙකත්, ථූපාරාමයේ පොහොය ගෙයත් කෙරෙව්වා.

40. තමන්ට ලැබෙන බදු මුදල්වලින් නගරය වටේ යොදුනක ප්‍රමාණයට සමන් පිච්ච මලුත්, ඉද්ද මලුත් රෝපණය කෙරෙව්වා.

41. රජ්ජුරුවෝ මහා සෑයේ පාදමේ සිට ඡත්‍රය මුදුන දක්වා අඟල් සතරක පමණ ඝනකමට සුවඳ මැටි,

42. ආලේප කරවා සමන් මල් නටුවෙන් පරෙස්සමින් සුවඳ මැට්ටට ඇතුල් කරලා මුළු මහා සෑය ම එකම මල් ගුලාවක් කරලා පූජා කළා.

43. තවත් දවසක අඟල් දෙකක් ගණකමට මනෝසීල හෙවත් සිරියල් ආලේප කරවා කලින් වගේම මහා සෑය වැහෙන්ට මල් අමුණලා පූජා කළා.

44. තවත් දවසක පඩිපෙලේ සිට මුදුනේ ඡත්‍රය දක්වාම මහා සෑය මල්වලින් පිරී යන සේ අතුරලා මහා සෑය මලින් වැස්සුවා.

45. තවත් දවසක යන්ත්‍ර මාර්ගයෙන් අභය වැවේ ජලය මහා සෑයේ මුදුන තෙක් උඩට විහිදුවලා මහා සෑයට ජලය ඉස්සවමින් මහා සෑය පැන් පහසු කරවමින් ජල පූජාවක් කළා.

46. ගැල් සියයක මුතු ගෙනැවිත් සියුම් වෙන්ට තෙලින් පරෙස්සමින් අඹරවලා සුණු පිඬු කරලා මහා සෑයේ මුතුපාටට දිලිසෙන සුදින් ආලේප කළා.

47. රෝම රටට දූතයන් යවලා ඒ රටෙන් ගෙනා පබළුවලින් මහාසෑය වැහෙන්ට දැලක් පළන්දවලා එහි සන්ධිවල තැනින් තැන කරත්ත රෝද තරමේ රත්තරනින් කළ නෙළුම් මල්,

48. සවිකරවා ඒ නෙළුම් මල් කෙමියෙන් මුතු වැල් මිටි පහළට වැක්කෙරෙන්ට සකස් කරවා ඒ කෙළවරේ රන් නෙළුම් එල්ලලා මහාසෑයට පූජා කළා.

49. රජ්ජුරුවන්ට මහා සෑයේ ධාතු ගර්භයේ රහතන් වහන්සේලා වැඩහිඳ සාමූහිකව සූත්‍ර ධර්මයන් සජ්ඣායනා කරන හඬ අසන්ට ලැබුනා. මහා සෑය වටේම ගිහින් බැලුවා ගණසජ්ඣායනා කරන සඟ පිරිස් දකින්ට නෑ. “මේ මහා සෑ ධාතු ගර්භයෙන් ම යි ඒ හඬ ඇසෙන්නේ. ඒ ධාතු ගර්භය නොදැක මම මෙතනින් නැගිටින්නේ නෑ” කියලා දැඩිව අධිෂ්ඨාන කරගෙන,

50. නැගෙනහිර වාහල්කඩ ළඟ ආහාර නොගෙන මහා සෑය දෙසට හිස යොමා වැතිරුනා. රහතන් වහන්සේලා දොරක් මවලා භාතිකාභය රජ්ජුරුවන්ව ධාතුගර්භය ඇතුළට ගත්තා.

51. රජ්ජුරුවෝ ඒ ධාතු ගර්භයේ අලංකාර සියල්ල ම දැකලා පිටතට පැමිණියට පස්සේ ඒ ආකාරයට ම සිතුවම් අඳින වස්ත්‍රවල ඒවා සිතුවම් කරලා පූජා කළා.

52. මධුගන්ධ නමින් පූජාවක් කෙරෙව්වා. කළස්වල සුවඳ පුරවා එහි මල්මිටි දමා පූජාවක් කෙරෙව්වා. සුවඳ දියෙනුත්, අඳුන් සිරියල්වලිනුත්, ඒ වගේම මනෝසීලවලිනුත් පූජාවක් කෙරෙව්වා.

53. චෛත්‍ය මළුවෙහි ඒ මනෝසීලවලට මල්වැසි වස්සවලා ගොප්මස පමණ දක්වා පිරුණට පස්සේ මහනෙල් මල්මිටි තබලා පූජාවක් කළා.

54. මුළු මහා සෑ මළුව පුරාම සුවඳ මැටි පුරවලා එහි සිදුරු හදලා මහනෙල් මල් මිටි සිටවලා පූජාවක් කෙරෙව්වා.

55. මහා සෑ මළුවෙන් වතුර බසින මාර්ගයන් වස්සවා සෑ මළුවේ ගිතෙල් පුරවා පට රෙදිවලින් කළ පහන් වැටියෙන් මළුව පුරාම පහන් දල්වලා ඒ පහන් සිළුවෙන් මහා සෑය පූජා කළා.

56. ඒ විදිහටම මී තෙල්වලිනුත්, තල තෙල්වලිනුත් පුරවා, ඒ විදිහටම පට රෙදිවලින් පහන් වැටි තනවලා බොහෝ පහන් දල්වලා ඒ පහන් සිළුවෙන් මහා සෑය පූජා කළා.

57. ඔය කියපු පිළිවෙලින් භාතිකාභය රජ්ජුරුවෝ හත්පාර හත්පාර ගානේ මහාසෑයට වෙන වෙනම පූජාවන් පැවැත්තුවා.

58. වර්ෂයක් පාසා මහා සෑයේ සුණු ආලේප කිරීමේ උතුම් මංගල්‍යය කළා. ඒ විදිහටම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේටත් බෝධි ස්නාන පූජා නමින් පැන්පහසු කරවීමේ පූජාවක් කළා.

59. විසි අට අවුරුද්දක් ම වෙසක් මහා පුණ්‍යෝත්සවය උදාර අයුරින් කළා. සාමාන්‍ය පූජාවන් අසූ හාර දහසක් කෙරෙව්වා.

60. නැට්ටුවන් යොදවා කරන සැණකෙලි කෙරෙව්වා. මහා සෑයට නොයෙක් තූර්යනාදයන්ගෙන් පූජා පැවැත්තුවා. ශ්‍රද්ධාවෙන් ඉපිල යමින් නොයෙක් අයුරින් පූජාවන් කළා.

61. දවසට තුන් වතාවක් බුද්ධෝපස්ථානය පිණිස මහාසෑයට ගියා. දවසට දෙවරක් බෙර වැයුම් සහිතව මල් පූජාව නොකඩවා කළා.

62. පෙරහැර දාන, පවාරණ දාන ආදියත්, තෙල් – පැණි – වස්ත්‍ර – පහන් ආදී ශ්‍රමණයන් වහන්සේලාට ගැලපෙන පිරිකරත් පූජා කළා.

63. සංඝයාට චෛත්‍ය අලුත්වැඩියාවට අවශ්‍ය වියදම් පිණිස බොහෝ කුඹුරු පූජා කළා. ලංකාව පුරාම පිහිටි චෛත්‍යස්ථානවලට කුඹුරු පූජා කළා.

64. සෑගිරියේ දහසක් වූ භික්ෂුසංඝයාට භාතිකාභය රජ්ජුරුවෝ හැමකල්හිම සලාකබත් දානය පූජා කෙරෙව්වා.

65. ඒ වගේම රජ්ජුරුවෝ මනරම් වූ චිත්ත ප්‍රාසාදයේත්, මැණික් ප්‍රාසාදයේත්, මුචල ප්‍රාසාදයේත් යන උපස්ථාන ප්‍රාසාද තුනේත්, ඒ වගේම පියුම්ඝරයේත්, ඡත්ත ප්‍රාසාදයේත්,

66. යන පස් තැනෙහි ග්‍රන්ථ ධුරයෙන් යුතු භික්ෂූන් වහන්සේලා වළඳවමින් සැමදා ධර්ම ගෞරවයෙන් යුතුව සිව්පසයෙන් උපස්ථාන කළා.

67. පුරාණ රජදරුවන් විසින් නියම කරන ලද බුද්ධ ශාසනය පිළිබඳ යම්කිසි පුණ්‍ය කර්මයක් ඇත්නම් භාතික රජ්ජුරුවෝ ඒ සියල්ල නොපිරිහෙලා ඉෂ්ට කළා.

68. ඒ භාතික රජ්ජුරුවන්ගේ අභාවයෙන් පස්සේ ඔහුගේ මළනුවන් වන මහාදාඨිකමහානාග නැමැති රජ්ජුරුවෝ රජකමට පත්වුනා.

69. ඒ මහාදාඨික රජ්ජුරුවෝ දොළොස් අවුරුද්දක් රජකම් කළා. නොයෙක් ආකාර වූ පින් පිහිට කරගෙන සිටි ඒ රජ්ජුරුවෝ මහාසෑයේ ගලින් කළ පේසාවළල්ලට පහලින් කිඤ්ජක්ඛ නැමැති පියුම් කැටයම් කළ ගල් ඇතිරෙව්වා.

70. වැලි මළුව විශාල කරවා සැකසුවා. ලංකාවේ සෑම විහාරයකට ම ධර්මාසන කෙරෙව්වා.

71. ඒ රජ්ජුරුවෝ මිහින්තලේ අම්බස්ථල මහාථූපය කෙරෙව්වා. එහි නෙරා සිටින තැන් කරවා, සෑ බැම්ම සවිමත්ව නොපිහිටන විට භාග්‍යවතුන් වහන්සේගේ ගුණ සිහි කරමින්,

72. තමන්ගේ ජීවිතය පූජා කරලා එතන වැතිරුනා. එහි බැම්ම ස්ථිරව පිහිටුවා සෑයේ කටයුතු සම්පූර්ණ කළා.

73. ඉතා දක්ෂ ශිල්පීන් ලවා සියුම් කැටයම් කරවා අඹතල මහා සෑයේ සතර දොරටුවේ රුවන්කණු සතරක් කෙරෙව්වා.

74. චෛත්‍යයට රන් කම්බිලියෙන් කළ, නොයෙක් රුවනින් කළ කඤ්චුකයක් පළන්දලා, රන් බුබුළුවලින් කළ මුතුවැලක් එල්ලුවා.

75. සෑගිරිය පර්වතය අවට යොදුනක් පමණ දුර අලංකාර ලෙස ගමන් මාර්ග සතරක් කරවා සතර පැත්තේ දොරටු සතරක් තැනෙව්වා.

76. වීදිය දෙපැත්තේ සල්පිල් කරවා, ධජ – මල්කරඬු – තොරණ් ආදියෙන් ඒ ඒ තැන සැරසෙව්වා.

77. අවට හැමතැන ම පහන් පේළිවලින් බබළන්ට සැලැස්සුවා. නැට්ටුවන්ගේ රැඟුම්, ගී ගැයුම්, වාදන ආදිය කෙරෙව්වා.

78. කොළොම්හොයේ පටන් සෑගිරිය දක්වා මාර්ගයේ පා දෝවනය කරමින් යන්ට පුළුවන් විදිහට කළාල ඇතිරෙව්වා.

79. ඒ මාර්ගයේ නැටුම්, ගැයුම්, වැයුම්, නාටකයන් ආදිය කෙරෙව්වා. නගරයේ දොරටු සතරේ මහා දන් දුන්නා.

80. මුළු ලක්දිව නිරතුරුව පහන් පෙළින් ආලෝක කළා. හාත්පස මුහුදේත් යොදුනක් ඇතුළත පහුරු බැඳ, කණු සිටුවා, ඒ ඒ තැන්වල පහන් දැල්ලෙව්වා.

81. අම්බස්ථල මහාසෑයට ඒ මහා දාඨික රජ්ජුරුවන් විසින් කරවන ලද ඒ සුන්දර වූ මහා පූජාව ‘ගිරිභණ්ඩ මහාපූජාව’ කියලත් කියනවා.

82. ඒ පූජාව වෙනුවෙන් වැඩම කළ භික්ෂූන් වහන්සේලාට රජ්ජුරුවෝ අට තැනක දන්පොළවල් පිහිටෙව්වා.

83. ඒ අට තැන රන් බෙර ගස්සවා විසිහතර දහසක් භික්ෂූන් වහන්සේලාට මහා දන් පැවැත්තුවා.

84. තුන් සිවුරු සය වතාවක් දුන්නා. බන්ධනගත සත්වයන් නිදහස් කෙරෙව්වා. හැම වෙලාවේ ම සතර දොරටුවේ කරණවෑමියන් ලවා රැවුල් කැප්පෙව්වා.

85. පෙර රජවරුන් විසින් පවත්වාගෙන ආ සියලු පින්කම් ද, තමන්ට වැඩිමහළු සහෝදර භාතික රජ්ජුරුවන් පවත්වාගෙන ආ සියලු පින්කම් ද සියල්ල ම එපරිද්දෙන් ම මහාදාඨික රජ්ජුරුවෝ ඉටු කළා.

86. තමාත්, දේවියත්, ගාමිණී අභය හා තිස්ස යන පුත්කුමාරවරුන් දෙන්නාත්, මගුල් ඇතාත්, මගුල් අශ්වයාත් සංඝයා විසින් වළක්වද්දීත් සංඝයාගේ දාසයන් ලෙසට පැවරුවා.

87. භික්ෂූන් වහන්සේලාට කහවණු සය ලක්ෂයක් වටිනාකම ඇති සිවුරු පිරිකර ආදිය පූජා කළා. භික්ෂුණීන් වහන්සේලාට කහවණු ලක්ෂයක් වටිනාකම ඇති සිවුරු පිරිකර පූජා කළා.

88. කරුණු ගැලපීමෙහි දක්ෂ වූ රජ්ජුරුවෝ විවිධාකාර කැප භාණ්ඩ පූජා කරලා තමාවත්, අනිත් බිසොව ආදී පිරිසත් සංඝයාගේ දාසභාවයෙන් අරවා ගත්තා.

89. රජ්ජුරුවෝ රුහුණු ජනපදයේ කාලායන නම් කඳු මුදුනේ මණිනාග පර්වතය නමින් විහාරයකුත්, කළන්ද නමින් විහාරයකුත් කෙරෙව්වා.

90. කුබුකන්දන හොය ඉවුරේ සමුද්‍රවිහාරය නමින් විහාරයකුත්, රුහුණේම හුවාව නැමැති කඳු මුදුනේ චූළනාග පර්වතය නමින් විහාරයකුත් කෙරෙව්වා.

91. තමන් විසින් කරවන ලද පාසාණදීපක විහාරයේදී තමන්ට පැන් ගෙනැවිත් දුන් සාමණේරයන්ගේ,

92. මනා සංවර වූ ඇවැතුම් පැවැතුම් ගැන පැහැදී හාත්පස යොදුන් අටක නින්දගමක් සංඝභෝගයක් කොට රජ්ජුරුවෝ ඒ විහාරයට පූජා කළා.

93. මණ්ඩවාපි විහාරයේ දී රජ්ජුරුවන්ට පැන් ගෙනැවිත් දුන් සාමණේර නමකගේ සංවරකමට පැහැදුණු රජ්ජුරුවෝ ඒ විහාරයටත් නින්දගමක් සංඝභෝගයක් වශයෙන් පූජා කළා.

94. ඔය ආකාරයෙන් මහාදාඨිකමහානාග රජ්ජුරුවෝ වගේ යහපත් නුවණක් ඇති අය බොහෝ සම්පත් ලබාගෙන ඒ ඉසුරුවලින් මත්නොවී, ප්‍රමාදයටත් පත්නොවී, අධික කාමපිපාසා දුරුකරගෙන, ජනයා පීඩාවට පත්නොකොට, පින්කම්වල ඇලී වාසය කරමින් විවිධ වූ බොහෝ පින්කම් මනා පහන් සිතින් යුක්තව ම කරන්ට ඕනෑ.

සත්පුරුෂ ජනයන්ගේ ප්‍රසාදයත් සංවේගයත් ඇතිකරනු පිණිස කරන ලද මහාවංශයෙහි රජවරු එකොළොස් දෙනෙකුගේ පාලනය නම් වූ තිස්හතරවෙනි පරිච්ඡේදය යි.