පින්වතුනේ, පින්වත් දරුවනේ,
බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදුණු ඉතා සැදැහැවත් පිරිසක් එදා දඹදිව සිටියා. ඔවුන් අතරින් අනේපිඬු සිටුතුමා අග්‍ර වූ දායක පින්වතා වශයෙන් අගතනතුරු ලැබුවා. අනේපිඬු සිටුතුමාගේ කලින් නම සුදත්ත. ඔහු ඉතාමත් දක්ෂ ව්‍යාපාරිකයෙක්. දවසක් ඔහු ව්‍යාපාර කටයුතු සඳහා රජගහ නුවර බලා පිටත් වුනා. රජගහ නුවර සිටුවරයෙකුගේ නිවසක රාතී‍්‍ර ආහාර ගෙන සතුටු සාමීචි කථාවේ යෙදී සිටියදී බුදුරජාණන් වහන්සේ ගැන අසන්නට ලැබුනා.
බුදුරජාණන් වහන්සේ යන නාමය ඇසූ පමණින්ම මේ සුදත්ත සිටුතුමා උද්දාමයට පත් වුනා. වචනයෙන් කිව නොහැකි තරම්ම පී‍්‍රතියට පත්වුනා. “හරිම දුර්ලභයි… හරිම දුර්ලභයි… ඔව් මං අහල තිබෙනවා. බුදුවරයන් වහන්සේලා පහළ වෙන්නෙ ඉතාමත් කලාතුරකින් කියලා. ඇත්තෙන්ම මට ඒ බුදුරජාණන් වහන්සේව දැකගන්න ඇත්නම්, එක බණ පදයක් අහගන් ඇත්නම්, ඊට පස්සෙ මං මළත් කමක් නැහැ.” සුදත්ත සිටුතුමා එදා තම නවාතැනට ගියේ කිව නොහැකි තරම් පී්රතියකින්.
ඇත්තෙන්ම එදා මෙයාට නින්දා ගියේ නැහැ. බුදු ගුණ ගැනම හිත හිතා හිටියා. රාති‍්‍රයේ අවදි වුනා. වටපිට බලද්දී හොඳට එළිය වැටිල වගේ පෙනුනා. මෙතුමා එළිවුනා කියල හිතාගෙන බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න පිටත් වුනා. අතරමගදි සොහොන ළඟින් ගමන් කරද්දී සිතට පොඩි බයක් ආවා. එතකොටම කළුවර වෙලා ගියා. සුදත්ත සිටුතුමාට එළි වෙලා වගේ පෙනුනේ බුදු ගුණ සිතීමෙන් සිතේ ඇති වුන ප්‍රසන්න බව නිසයි. නමුත් ඇත්තටම තවමත් කළුවරයි. එකවරටම කළුවර වැටුණු වෙලාවේ සුදත්ත සිටුතුමා නැවතුනා. අහසින් හඬක් ඇසුනා.
“සතං හත්ථි සතං අස්සා – සතං අස්සතරී රථා
සතං කඤ්ඤා සහස්සානි – ආමුත්ත මණිකුණ්ඩලා
එකස්ස පදවීතිහාරස්ස – කලං නාග්ඝති සෝළසිං”සියයක් ඇතුන් ලැබුනද – සියයක් අසුන් ලැබුනද
වෙළඹුන් යෙදූ ලස්සන – රථ සියයකුත් ලැබුනද
මිණිකොඬොල් අහරණවලින් – යුතු කතුන් දහසකුත් ලැබුනද
උතුම් සම්බුදු සමිදුන් – බැහැදකින්නට තබන පියවර
සොළොස් කලාවෙන් බෙදා බැලුවද – එක් කලාවක් ගත්තද
එය වටිනවා හැම විට – අර සියලු දෙයටත් වඩා
මේ හඬ ඇසෙනවාත් සමඟම සුදත්ත සිටුතුමාට අයෙමත් බුදු ගුණ මතක් වෙන්න පටන් ගත්තා. භය නැතුව ගියා. කළුවර නැතුව ගියා. පාර තොට පැහැදිලිව පෙනෙන්න පටන් ගත්තා. ඔය විදිහට තුන් වතාවක්ම කළුවර වුනා. තුන් වතාවක්ම ඔය ගාථාව ඇසුනා. වේළුවනාරාමය දෙසට යද්දී බුදුරජාණන් වහන්සේ රුක් සෙවණක වැඩසිටියා. “පින්වත් සුදත්ත, මෙහි එන්න” කියලා කරුණාවෙන් කථා කළා. සුදත්ත සිටුතුමාට හරි සතුටුයි. බුදුරජාණන් වහන්සේ තමාගේ නමින්ම අමතා කථා කළා කියලා. උන්වහන්සේ ළඟට ගිහින් බිම දිගා වෙලා වන්දනා කළා. බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ඇසුවා. සෝවාන්ඵලයට පත් ශ්‍රාවකයෙක් බවට පත් වුනා.
ආපසු සැවැත් නුවර බලා පිටත් වුන සුදත්ත සිටුතුමා සැවැත් නුවරට වඩින බුදුරජාණන් වහන්සේ ප්‍රධාන ශ්‍රාවක සංඝරත්නයට නිරතුරුව දන්පැන් පිදුවා. දුගී මගී අසරණ අයටත් දන්සැල් දුන්නා. මේ නිසාම මේ සුදත්ත සිටුතුමා අනේපිඬු සිටුතුමා නමින් ප්‍රසිද්ධ වුනා. පස්සෙ කාලෙක අනේපිඬු සිටුතුමා තමා පදිංචිව සිටි සැවැත් නුවරින් බුදුරජාණන් වහන්සේ උදෙසා ආරාමයක් තනවා පූජා කරන්න කල්පනා කළා. ජේත නම් කුමාරයෙකුට අයිති ඉතාම ලස්සන උද්‍යානයක් තිබෙනවා. සැවැත් නුවරට දුරත් නැහැ. ළඟත් නැහැ. නිශ්ශබ්දතාවයත් තිබෙනවා.
අනේපිඬු සිටුතුමාගේ සිත ගියේ මේ ජේත කුමාරයාගේ උද්යනයටමයි. ජේත කුමාරයා මේ උයනට හරි ආසයි. කිසිසේත් විකුණන්න කැමැති වුනේ නැහැ. දිනක් අනේපිඬු සිටුතුමා ජේත කුමාරයා මුණ ගැහෙන්න ගියා. උද්‍යානය විකුණනවා නේද කියලා බල කරමින් අහන්න පටන් ගත්තා. අන්තිමේ දී ජේත කුමාරයා කිව්වා “සිටුතුමනි, ඔහොම නොවේ, මං මගේ උද්‍යනය පුරාවට රන්කාසි ඇතිරුවත් දෙන්නේ නැහැ” කියලා. එතකොට අනේපිඬු සිටුතුමා කිව්වා “ජේත කුමාරයා… හරි හරි… ඔන්න එහෙනම් මං උද්‍යනය ගත්තා.” ජේත කුමාරයා මෙහෙම ඇහුවා “සිටුතුමනි, ඒ කොහොමද?” “ඇයි කුමාරය, දැන් ඔබ කිව්වේ රන්කාසි ඇතිරුවත් දෙන්නෙ නැහැ කියලා. දැන් මං හෙට උදේ ඉඳලා රන්කාසි අතුරන්න පටන් ගන්නවා.” ජේත කුමාරයා විශ්වාස කළේ නැහැ.
නමුත් පසුවදා උදේ බලද්දී අනේපිඬු සිටුතුමාගේ සේවකයන් කරත්තවලින් රන්කාසි පටවාගෙන ඇවිදින් ජේත කුමාරයාගේ උයනේ අතුරන්න පටන් ගත්තා. අන්තිමේදී ජේත කුමාරයාගේ උයනේ කොටසක් ඉතුරුවෙද්දී රන්කාසි ඉවර වුනා. ජේත කුමාරයා කල්පනා කළා. “මේක නම් මහා පුදුම දෙයක්. ශ්‍රද්ධාව තියෙනවා කියලා කෙනෙකුට මෙහෙම වියදම් කරන්න පුළුවක්ද. රන්කාසි අතුරාගෙන යද්දී සිටුතුමා පී‍්‍රතියෙන් සිනහ වුනා. හරිම පුදුමයි. මේ මනුස්සයාට ලෝභකම කියල දෙයක් නැද්ද? හම්බකරපු දේවල් මෙහෙම වියදම් කරන්න නම්, මීට වඩා වටිනා දෙයක් මෙයාට ලැබිලා ඇති.”
ජේත කුමාරයා අනේපිඬු සිටුතුමා ඇමතුවා “පින්වත් සිටුතුමනි, ඇත්තෙන්ම ඔබේ මේ පරිත්‍යාගය ගැන මට පුදුමයි. අර ඉතුරු වෙච්ච කොටසට රන්කාසි අතුරන්න ඕන නැහැ. හැබැයි මං පොඩි ඉල්ලීමක් කරන්නම්. විහාරෙ හැදුවට පස්සෙ මේ උද්‍යානයට මගේ නම දාන්න කැමැතිද?” අනේපිඬු සිටුතුමා එයට කැමැති වුනා. ඊට පස්සේ ජේත කුමාරයාගේ වනයේ සැදූ ආරාමය යන නමින් ජේතවනාරාමය වශයෙන් හැඳින්වූවා.
අනේපිඬු සිටුතුමාගේ පවුලේ සියලු දෙනාම පාහේ මඟඵල ලැබුවා. තමන්ගේ දරුවන්, ලේලිලා, බෑණලා, කවුරුත් මඟඵල ලාභී ශ්‍රාවකයන් වෙනවා කියන්නේ මොන තරම් වසනාවක්ද? අනේපිඬු සිටුතුමාට ඒ වාසනාව ලැබුනා. අනේපිඬු සිටුතුමාට දියණිවරු තුන් දෙනෙක් හිටියා. වැඩිමහළු කෙනා මහා සුභද්‍රා, මද්දුම දියණිය චුල්ල සුභද්‍රා, බාල දියණිය සුමනාදේවී.
ඉතින් මේ බාල දියණිය අසනීප වුනා. අසාධ්‍ය තත්වයට පත් වුනා. මරණාසන්න වුනා. එතකොට ඒ දියණිය මෙහෙම කල්පනා කළා. “මේ ජීවිතය අස්ථිර දෙයක්මයි. තමන්ගේ වසඟයේ පවත්වන්න පුළුවන්කමක් නැහැ. මට මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන මාර්ගයමයි දියුණු කරගන්න ඕන. ඇත්තෙන්ම මගේ පියාණන් වැඩිපුර උනන්දු වෙන්නේ දන් දීම ගැනමයි. ධර්මාවබෝධය ගැන තවත් උනන්දු කරවන්න මට පුළුවන් වුනොත් එ්ක තමයි මට පියා වෙනුවෙන් දෙන්න තියෙන දේ.”
සුමනාදේවිය මෙහෙම කල්පනා කර කර සිටිද්දී අනේපිඬු සිටුතුමා තම බාල දියණියගේ රෝගාතුර වීම ගැන කණස්සල්ලෙන් වගේ එතැනට පැමිණියා. මෙහෙම ඇහුවා “මගේ පින්වත් දුව, සුමනා” “ඇයි පින්වත් මලණුවනි” කියලා සුමනාදේවිත් පිළිතුරු දුන්නා. මේ පිළිතුරෙන් අනේපිඬු සිටුතුමා පුදුමයෙන් වගේ තම දියණිය දෙස බලා සිටියා. දියණිය මෙසේ පවසන්නේ මක් නිසාද කියා ඔහුට තේරුනේ නැහැ. “අනේ මගේ දුවේ, ඔයාට අසනීප තත්වය හොඳටම වැඩියි නේද? ඒ නිසා නේද ඔයා ඔහොම දොඩන්නේ?” එතකොට සුමනා දේවිය කිසි කලබලයක් නැතුව මේ පිළිතුර දුන්නා. “නැහැ මළණුවනි, මං මේ අසනීපය නිසා දොඩවනවා නොවෙයි.” එහෙත් අනේපිඬු සිටුතුමාට තම දියණිය කියන දෙය තේරුනේ නැහැ. “එතකොට පින්වත් දුවේ, ඔයා මරණයට භය නැද්ද?” “නැහැ මලණුවනි, මං මරණයට භය කෙනෙක් නොවේ” කියලා සුමනා දේවිය දෑස් පියාගත්තා. මරණයට පත් වුනා.
සිටුතුමා මේ ගැන දිගින් දිගට කල්පනා කළා. මගේ දුව බොළඳ කෙනෙක් නොවේ. ලොකු අර්ථයක් ඇතුවයි මෙහෙම කථා කළේ. මං මේ කාරණය බුදුරජාණන් වහන්සේගෙන් අහනවා කියලා හිතා ගත්තා. සුමනා දේවියගේ අවසන් කටයුතුවලින් පස්සේ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ගිය අනේපිඬු සිටුතුමා මෙකරුණ සැළ කළා. බුදුරජාණන් වහන්සේ සිටුතුමාට පැහැදිලි කළා,
“පින්වත් සිටුතුමනි, ඔය සුමනා දේවිය පොඩි දැරිවියක් වුනාට ඉතාමත් ඥානවන්තයි. ඔබට කල්පනා කරන්න යමක් අවසන් මෙහොතේ ලබා දුන්නා. ඇය සකදාගාමී වෙලා හිටියේ. ඔබ සොතාපන්න වුන කෙනෙක්. ධර්මය තුළ ඇය වැඩිමහලුයි. එය තේරුම් කර දෙන්නටයි මලණුවනි කියා ඔබව ඇමතුවේ. ඒක ඇය ආඩම්බරකමින් කළා නොවෙයි. ඔබව ධර්ම මාර්ගයෙහි උනන්දු කරවීම පිණිසයි ඇය එසේ පැවසුවේ. දැන් ඇය ඉතාම සතුටින් තුසිත දෙව්ලොව ඉපදිලා පී‍්‍රතියෙන් ඉන්නවා. පින් නිසා ලබන සතුට කොතරම් සැනසිල්ලක්ද?” ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ ගාථාව වදාළා.
ඉද නන්දති පෙච්ච නන්දති – කතපුඤ්ඤෝ උභයත්ථ නන්දති
පුඤ්ඤං මේ කතන්ති නන්දති – භිය්‍යෝ නන්දති සුග්ගතිං ගතෝතමා විසින් රැස් කරගත් – පින් ගැන සිහිපත් වෙන විට
සතුටු වෙවී සැප විඳිමින් – නිතර සතුටු වෙයි එනිසා
මමත් බොහොම පින් කෙරුවා – කියමින් තුටු වෙන මිනිසා
දෙව්ලොව සැප විඳිනා කල – බොහෝ සතුටු වෙයි එනිසා
පින්වතුනේ, පින්වත් දරුවනේ, දෙවිවරුන් අතර මෙන්න මෙහෙම කථාබහක් වෙනවා. “අහෝ! භවත්නි, පී‍්‍රතියි… ලොවට වසනාවක්මයි. බුදු සසුන බබලන කාලවලදී දෙව්ලොව පිරී යනවා. එහෙත් භවත්නි, බුදු සසුන පිරිහී යන කාලෙට දිව්‍යලෝක දෙවිවරුන්ගෙන් හිස් වෙනවා.” කියලා. මේ කියමනේ ලොකු තේරුමක් තියෙනවා. ඒ තමයි තෙරුවන් සරණ ගිය සිල්ගුණදම් රකින බොහෝ දෙනෙක් දෙව්ලොව උපදින බව. නමුත් බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ දෙවියන් ගැන වැරදි විදිහටයි. දිව්‍ය ලෝකවල ගිහින් වැඩක් නැහැ. පිනක් දහමක් කරන්න බැහැ. දෙවියන්ට නිවන් දකින්නත් බැහැ. මහඵල ලබන්නත් බැහැ කියලයි. මෙය ඉතාම වැරදි අදහසක්.
දැන් ඔබ දකින්න ඇති මිනිස් ලොව මඟඵල ලැබූ පින්වත් උදවිය මරණින් මතු දිව්‍ය ලෝකවල උපත ලබා සැප සේ සිටින ආකාරය. මේ ගාථාවලින් විස්තර කරන්නෙත් ඒකමයි. එහෙම නම් දිව්‍ය ලෝකයේ උපත ලැබීම ධර්මයෙහි හැසිරුණු අපට විශේෂයෙන්ම ලැබෙන දෙයක් බව අපට පෙන්නවා. දැන් මේ සුමනා දේවිය පවා තුසිත දෙවියන් අතරේ ඉපදුනා. දැන් සතුටින් කල් ගෙවනවා. සුමනා දේවිය මිනිස් ලොවදීත් සකදාගාමී තත්වයට දියුණු වෙලා හිටියා. ඇයට දෙව්ලොවදීත් ඉතුරු මාර්ගඵල දියුණු කරගන්න පුළුවන්. දෙවියන්ට මඟඵල ලබන්න බැරිනම් මඟඵල නොලබන ලොවක මඟඵල ලාභී ශ්රාවකයින් උපදීවිද? මේ නිසා මේ ගැන නොදන්නා බොහෝ දෙනෙක් දෙව්ලොව උපත පවා අහිමි කරගන්නවා.
මිනිස් ලොව වුනත් යළි යළි උපදින එක දුර්ලභ දෙයක්මයි. මෙලොව පරලොව දෙකේම සතුටක් ලබන්න පුළුවන් වෙන්නේ පින් කරපු කෙනාට විතරයි. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් පින්කරපු කෙනා හැටියට පෙන්වා වදාළේ මඟඵල ලාභී ශ්රාවකයාව නෙවේද? ජීවිතයේ රැකවරණය පිණිස කෙනෙකුට අනුගමනය කළ හැකි එකම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. සීල, සමාධි, ප්‍රඥා තුළ තම නිවන් මග දියුණු කර ගැනීමට සම්මා දිට්ඨියෙන් යුතු ආර්ය ශ්රාවකයෙකුට නිසැකවම කරන්න පුළුවන්.
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ
බොහොම පිං