සබ්බපාපස්ස අකරණං – කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං – ඒතං බුද්ධානසාසනං

“සිත, කය, වදන යන තිදොරින් සිදුවන සියලු පාපයන් නොකිරීම ද, කුසල් දහම් උපදවා ගැනුම ද, තම සිත සියලු කෙලෙසුන්ගෙන් මුදවා පිරිසිදු කැරගැනුම ද යන මෙය සම්‍යක් සම්බුදුවරයන්ගේ අනුශාසනාව ය.”

අප භාග්‍යවතුන් වහන්සේ අද වන් වෙසක් පුන් පොහෝ දිනෙක, දඹදිව ගයාහි නිල්දළා හෝතෙර ඇසතු බෝරුක් සෙවණෙහි විදුරසුන් අරා වැඩහිඳ, ස්වයංභූඥානයෙන් සකල ක්ලේශයන් ප්‍රහාණය කොට උතුම් සම්‍යක් සම්බෝධිය සමධිගමය කොට, බරණැස ඍෂිපතන නම් මුවළැව්හි ධම්සක් පවත්වා දස දහස් ලෝ ධා ප්‍රකම්පිත කරවමින් කෘතයුග මහාමේඝයක් සෙයින් අමාදහම් වහරේ වස්වමින් අසංඛෙය්‍ය ගණන් දෙව්මිනිස්වගට අමා මහ නිවන් දක්වා අද වන් ම පොහො දිනෙක පිරිනිවි සේක.

ඒ බුදුරදුන් විසින් වදාරන ලද ධර්මය වූ කලී ‘වීර්යය’ පිළිබඳ දැක්වෙන ආදාසතලයක් වැන්න. දෙව් මිනිසුන් විසින් ස්වකීය සංසාර විමුක්තිය වෙනුවෙන් කළයුතු වීර්යය කෙසේ කටයුතු දැයි බුදුමුවින් ම අනන්ත අප්‍රමාණ ලෙස වර්ණනාවට පාත්‍ර කොට තිබේ.

යථෝක්ත ගාථාවෙන් කියැවෙනුයේ ද වීර්යය පිළිබඳව ය. හීන වැර ඇත්තහුට සසුන්මග බඹසර අභව්‍ය වූවකි. වීර්යය පිළිබඳ පසසනු වස් භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ ඔවදන කෙතරම් අගනේ දැයි බලන්න.

“මහණෙනි, මම් දෙවැදෑරුම් ගුණයන් තමා වෙත පමුණුවා ගැනුමෙන් ම දැනගතිමි. එහිලා සත්තිස් බෝධිපාක්ෂික ධර්ම සංඛ්‍යාත කුසල්දහම්හි අතෘප්ත බවෙන් යුතු වූයෙම් ද, එය පළමුවැන්න ය. ප්‍රධන් වීර්යයෙහිලා නොපසුබස්නා සැහැවි ඇත්තෙම් ද, එය දෙවැන්න ය.

මහණෙනි, මම් නොපසුබස්නා වීර්යයෙන් යුතු වූයෙම් ‘ඒකාන්තයෙන් මේ කයෙහි සම ද නහර ද ඇට ද ඉතිරි වෙතොත් ඉතිරි වේවා! මස් ලේ වියැළී යතොත් වියැළී යේවා! පුරුෂ වීර්යයෙන්, පුරුෂ පරාක්‍රමයෙන් ලැබිය යුතු යම් සත්‍යාවබෝධයක් වේ ද, ඒ සත්‍යාවබෝධයට නොපැමිණ වීර්යයෙහි නැවැත්මක් නොවන්නේ ම ය’ යි අදිටනින් වැර වැඩීමි. මහණෙනි, මවිසින් සාක්ෂාත් කරන ලද සම්‍යක් සම්බෝධිය වනාහී අප්‍රමාදී ව වීර්යයෙන් ලබන ලද්දකි. අනුත්තර යෝගක්ෂේම සංඛ්‍යාත නිර්වාණ ධාතුව පසක් කිරීම ද අප්‍රමාදී ව වීර්යයෙන් ම ලබන ලද්දකි.”

(උපඤ්ඤාත සූත්‍රය – අංගුත්තර නිකාය)

මෙනයින් බලන සඳ අප භාග්‍යවතුන් වහන්සේගේ චරිතාපදානය වනාහී සකල මනුෂ්‍ය වර්ගයාගේ ඉතිහාසය තුළ අධිකතර වීර්ය බලපරාක්‍රමයෙන් හෙබි අසිරිමත් මිනිසෙකුගේ අද්භූත වීරවික්‍රමය පිළිබඳව සටහන් ව තිබෙන අනභිභවනීය වෘත්තාන්තයකි.

භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද ධර්මය තුළ ශ්‍රාවකයෙකු විසින් ද අකුසල් ප්‍රහාණයත් කුසලෝත්පාදනයත් කිරීමෙහිලා දැක්විය යුත්තේ කෙබඳු උත්සාහයක් දැයි මෙසේ වදාරා තිබේ.

“මහණෙනි, ඇසුරුගැසීමක් කරන කලෙක වුව, යම් භික්ෂුවක් සිය සිතෙහි නූපන් පාපී අකුසල් නූපදවීම පිණිසත්, උපන් පාපී අකුසල් ප්‍රහාණය කිරීම පිණිසත්, නූපන් කුසල් දහම්හි ඉපැද්ම පිණිසත්, උපන් කුසල් දහම් පවත්වා ගනු පිණිසත්, නොනැසීම පිණිසත්, වඩාත් දියුණු වීම පිණිසත්, මහත් බව පිණිසත්, පිරිපුන් බව පිණිසත් කැමැත්ත උපදවා ද, වෑයම් කැරේ ද, වැර අරඹා ද, සිත නගා සිටුවා ද, ප්‍රධන් වීර්යය කැරේ ද, එකල්හි ඒ භික්ෂුව අත්නොහළ දැහැනින් වසයි. සිය ශාස්තෘන් වහන්සේගේ අනුශාසනාව කරයි. ඔවදන් පිළිපදී. ලොවැස්සා පුදන දන්පැන්හි විපාකය ඵලරහිත නොකොට වළඳයි’ යි කියනු ලැබේ. යම් කෙනෙක් මහණෙනි, මෙකී වීර්යය බහුල වශයෙන් කරත් නම්, එහි විපාක ගැන කවර කථා ද?”

(අච්ඡරාසංඝාත වර්ගය – අංගුත්තර නිකාය)

සත්‍යාවබෝධයෙහිලා ශ්‍රාවකයෙකු තුළ තිබිය යුත්තේ කෙබඳු වීර්යයක් දැයි මෙසේත් උපමාවෙකින් දක්වන සේක. “මහණෙනි, යමෙකුගේ හැඳිවත හෝ හිස හෝ ඇවිළගත් කල්හි ඔහු විසින් කුමක් කටයුතු ද?”

“භාග්‍යවතුන් වහන්ස, යමෙකුගේ හැඳිවත හෝ හිස හෝ ඇවිළගත් කල්හි ඔහු විසින් ඒ හැඳිවත ම හෝ හිස ම හෝ නිවාගැනුම පිණිස අතිශය බලවත් කැමැත්තක්, වීර්යයක්, උත්සාහයක්, අධිකතර උත්සාහයක්, අත්නොහළ වීර්යයක්, සිහියක්, නුවණක් ඇතිව කටයුතු කළයුතු ය.”

භික්ෂූන් වහන්සේලා විසින් එසේ පිළිතුරු දුන් කල්හි භාග්‍යවතුන් වහන්සේ වදාළේ එයටත් වඩා දැඩි වීර්යයක් කුසල් ඉපදවීමෙහිලා දැක්විය යුතු බව ය. ඒ මෙසේ ය. “මහණෙනි, යමෙකුගේ හැඳිවත හෝ හිස හෝ ඇවිළගත් කල්හි, ඒ ගිනි ඇවිලීම පවා නොසලකා, නොමෙනෙහි කොට, මෙතුවක් කල් අවබෝධ නොකරන ලද චතුරාර්ය සත්‍ය ධර්මය ඒ වූ පරිදි අවබෝධ කරනු වස්…. සිහියත් නුවණත් ඇතිව කටයුතු කළයුතු ය. ඒ කවර චතුරාර්ය සත්‍යයක් පිණිස ද යත්; දුක නමැති ආර්ය සත්‍යය අවබෝධය පිණිස ය. (ත්‍රිවිධ තණ්හාව නමැති දුක් උපදවන හේතුව) දුක්ඛ සමුදයාර්ය සත්‍යය අවබෝධය පිණිස ය. (ඒ ත්‍රිවිධ තණ්හාව ම නොඉතිරි කොට නිරුද්ධ කිරීම) දුක්ඛ නිරෝධාර්ය සත්‍යය අවබෝධය පිණිස ය. (ඒ සඳහා පවත්නා ප්‍රතිපදාව වන ආර්ය අෂ්ටාංගික මාර්ගය) දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර්ය සත්‍යය අවබෝධය පිණිස ය.”

(චේල සූත්‍රය – සංයුත්ත නිකාය)

චතුරාර්ය සත්‍යාවබෝධයෙහිලා පවත්නා ආර්ය අෂ්ටාංගික මාර්ගය වූ කලී එක ම විමුක්ති මාර්ගය ය. “ඒසෝ’ව මග්ගෝ නත්ථඤ්ඤෝ – දස්සනස්ස විසුද්ධියා (ධම්මපදය) සත්‍යාවබෝධයෙන් පිරිසිදු බව ලබනු පිණිස මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පමණක් ම ඇත්තේය. අන් මගක් නැත්තේය.”

මෙකී ආර්ය අෂ්ටාංගික මාර්ගය ශ්‍රාවකයෙකු විසින් ප්‍රායෝගිකව භාවිතාවට ගැනීමේදී බෝධිපාක්ෂික ධර්මයන් තිස්හතකින් යුක්ත වන බව ධර්මයෙහි තවදුරටත් සඳහන් වේ. ඒ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම යනු මේවා ය. ‘සතර සතිපට්ඨාන, සතර සම්‍යක් ප්‍රධාන වීර්යය, සතර ඍද්ධිපාද, (ශ්‍රද්ධා විරිය සති සමාධි පඤ්ඤා යන) පංච ඉන්ද්‍රිය ධර්ම, (ඒ ඉන්ද්‍රිය ධර්මයන් බලවත් වීමෙන් උපදනා) පංච බල ධර්ම, සප්ත බොජ්ඣංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය’ වශයෙනි.

මේ බෝධිපාක්ෂික ධර්මයන්හි ඇතුළත් බොජ්ඣංග ධර්ම යනු මේවා ය. සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපෙක්ඛා යන බොජ්ඣංග ධර්මයන් ය.

බොජ්ඣංග යන වචනය භාග්‍යවතුන් වහන්සේ විසින් තෝරා ඇත්තේ මෙසේ ය. වරක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණි භික්ෂුවක් මෙය ඇසීය. “භාග්‍යවතුන් වහන්ස, ‘බොජ්ඣංග බොජ්ඣංග’ යි කියනු ලැබේ. බොජ්ඣංග වශයෙන් හඳුන්වනුයේ කවර කරුණකින් ද?”

“භික්ෂුව, බොජ්ඣංග යයි කියනු ලබන්නේ ‘චතුරාර්ය සත්‍යාවබෝධය පිණිස පවතී’ යන අරුතිනි. මෙකරුණෙහිලා යම් භික්ෂුවක් (පස් වැදෑරුම් නීවරණයන් සිතෙන් බැහැර වීමෙන් ලද) චිත්ත විවේකය ඇසුරු කොට, රාගය දුරු කිරීම ඇසුරු කොට, කෙලෙස් නිරුද්ධ කිරීම ඇසුරු කොට, නිර්වාණ ධාතුව කෙරෙහි නැමී ගිය සිතෙන් යුතුව, සති සම්බොජ්ඣංග භාවනාවෙහි යෙදේ. ධම්මවිචය… විරිය… පීති… පස්සද්ධි… සමාධි… උපෙක්ඛා සම්බොජ්ඣංග භාවනායෙහි යෙදේ.”

(භික්ඛු සූත්‍රය – සංයුත්ත නිකාය)

මෙකී බෝධ්‍යාංග ධර්මයන් ශ්‍රාවකයෙකුගේ ප්‍රතිපදාව තුළ කිසිදු කලෙක හේතු ප්‍රත්‍ය රහිතව, ඉබේ නොහටගනී. එසේ ම බාහිර කෙනෙකුගේ බලහත්කාරයේ යෙදවීමකින් ද නොහටගනී. මේ බෝධ්‍යාංග ධර්මයන් උපදිනුයේ ද හේතු ප්‍රත්‍ය සහිතව ම ය. උපකාරක ධර්මයන්ගෙන් ලත් අනුග්‍රහයෙන් ම ය. “මහණෙනි, ආහාරය උපකාරයෙන්, ආහාර ප්‍රත්‍යයෙන් මේ කය පවත්නේ යම්සේ ද, නිරාහාරව නොපවත්නේ යම්සේ ද, එසේ ම මහණෙනි, සප්ත බෝධ්‍යාංග ධර්මයන් පවතිනුයේ ආහාර සහිතව ය. උපකාරක ධර්ම සහිතව ය. සප්ත බෝධ්‍යාංග ධර්මයෝ නිරාහාරව නොපවතිත්…. මහණෙනි, නූපන් විරිය සම්බොජ්ඣංගයේ ඉපැද්ම පිණිසත්, උපන් විරිය සම්බොජ්ඣංගය භාවනාවෙන් පිරිපුන් වීම පිණිසත් හේතු වන ආහාරය කුමක්ද?

මහණෙනි, ආරම්භධාතු නමින් පටන් ගත් වීර්යයක් ඇත්තේය. නික්කමධාතු නමින් පටන් ගත් වීර්යය බාධා මැඩගෙන තවදුරටත් පවත්වා ගන්නා වීර්යයක් ඇත්තේය. පරක්කමධාතු නමින් සිය දිවි පරදුවට තබා ඉතා දැඩිව යොදවන ලද වීර්යයක් ඇත්තේය. මෙහිලා නුවණින් මෙනෙහි කිරීම හෙවත් යෝනිසෝ මනසිකාරය ම බහුලව යෙදිය යුතුය. මෙය වනාහී නූපන් විරිය සම්බොජ්ඣංගයේ ඉපැද්ම පිණිසත්, උපන් විරිය සම්බොජ්ඣංගය භාවනාවෙන් සම්පූර්ණ කැරගැනීම පිණිසත් පවත්නා ආහාරය වේ.”

(කාය සූත්‍රය – සංයුත්ත නිකාය)

මෙයින් පැහැදිලිව පෙනෙනුයේ ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි යෙදෙන ශ්‍රාවකයෙකු විසින් බෝධ්‍යාංග ධර්මයක් වශයෙන් වීර්යය භාවිත කිරීම පිළිබඳව ඔහු විසින් මනාව දැන සිටිය යුතු බව ය. එහිලා යෝනිසෝ මනසිකාරය කෙසේ උපස්ථම්භක වන්නේ දැයි වටහාගැනීමට මේ දෙසුම ඉතා වැදගත් ය.

“මහණෙනි, භාවනානුයෝගී භික්ෂුවගේ සිත යම් අවස්ථාවක සැඟව ගියේ ද (භාවනා මනසිකාරය නොවැටහී යාම, හේතු ප්‍රත්‍යයන් විමසිය නොහැකි පරිදි ගැඹුරු නින්දකට පිවිසීමක් බඳු වීම) ඒ අවස්ථාව පස්සද්ධි සම්බොජ්ඣංගය වැඩීමට කාලය නොවේ. සමාධි සම්බොජ්ඣංගය වැඩීමට කාලය නොවේ. උපෙක්ඛා සම්බොජ්ඣංගය වැඩීමට කාලය නොවේ. මක් නිසා ද යත්; සිත සැඟව ගිය නිසා ය. ඒ අවස්ථාවෙහි යථෝක්ත බෝධ්‍යාංග ධර්මයන් යෙදවීමට ගියහොත් සැඟවුණු සිත භාවනා මනසිකාරයට යළි නගා ගත නොහැකිය.

මහණෙනි, එය මෙබඳු දෙයකි. පුරුෂයෙක් ගිනි ස්වල්පයක් දල්වනු කැමති වේ. ඒ සඳහා ඔහු අමු තෘණත් දමයි. අමු ගොමත් දමයි. අමු දරත් දමයි. දිය මුසු සුළඟත් දෙයි. පසුත් විසුරුවයි. එකල්හි මහණෙනි, ඒ පුරුෂයා ස්වල්ප වූ ගින්න දල්වා ගැනීමට සමත් වේ ද?”

“ස්වාමීනී, එය නොවේ ම ය.”

“මහණෙනි, අවස්ථාවට අනුකූල නොවන ලෙස බෝධ්‍යාංග භාවනායෙහි යෙදීම ද එබඳු ය. යම් කලෙක භික්ෂුවගේ සිත සැඟව ගියේ ද, ඒ, පස්සද්ධි සම්බොජ්ඣංගය හෝ සමාධි සම්බොජ්ඣංගය හෝ උපෙක්ඛා සම්බොජ්ඣංගය හෝ වැඩීමට නිසි කාලය නොවේ. ඒ වනාහී ධම්මවිචය සම්බොජ්ඣංගය වැඩීමට කාලය යි. විරිය සම්බොජ්ඣංගය වැඩීමට කාලය යි. පීති සම්බොජ්ඣංගය වැඩීමට කාලය යි. මේ තුන් බොජ්ඣංග ධර්මයන් වැඩීම තුළින් සැඟව ගිය සිත නැවත භාවනා මනසිකාරයට නගාගත හැකිය.

මහණෙනි, එය මෙබඳු දෙයකි. ගිනි ස්වල්පයක් දල්වනු කැමති පුරුෂයෙක් ඒ සඳහා වියළි තෘණත් දමයි. වියළි ගොමත් දමයි. වියළි දරත් දමයි. මුවින් සුළඟත් පිඹියි. පස් නොවිසුරුවයි. එකල්හි මහණෙනි, ඒ පුරුෂයා ගිනි දල්වා ගැනීමට සමත් වේ ද?”

“එසේය ස්වාමීනී.”

“එසෙයින් ම මහණෙනි, යම් විටෙක සිත සැඟව ගියේ ද, ඒ වනාහී ධම්මවිචය සම්බොජ්ඣංගය වැඩීමට කාලය යි. විරිය සම්බොජ්ඣංගය වැඩීමට කාලය යි. පීති සම්බොජ්ඣංගය වැඩීමට කාලය යි.”

(අග්ගි සූත්‍රය – සංයුත්ත නිකාය)

බොජ්ඣංග භාවනාව වැඩීමේදී යෝනිසෝ මනසිකාරය ම බහුල වශයෙන් යෙදිය යුතු බවට භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ මේ නිසා ය. මෙවැනි අවස්ථාව-කදී යෝනිසෝ මනසිකාරයෙන් තොරව බෝධිපාක්ෂික ධර්මයන් යෙදවිය නොහැකි වේ.

මෙහිලා වඩාත් පැහැදිලි කරුණක් නම්, බොජ්ඣංග ධර්මයන් වශයෙන් ‘සතිය’ හැම කල්හි ම පැවැත්විය යුතු බව යි. සිහිනුවණින් තොරව යෝනිසෝ මනසිකාරය නූපදී. යෝනිසෝ මනසිකාරයෙන් තොරව බොජ්ඣංග ධර්ම නූපදී.

චතුරාර්ය සත්‍යාවබෝධය පිණිස ශ්‍රාවකයෙකුගේ සිත සකස් වනුයේ මෙකී ධර්මයන් පදනම් කොට ය. නීවරණයන්ගෙන් මුදවාගත් සමාධිමත් සිත, යෝනිසෝ මනසිකාරයෙහි බහුලව යෙදවීම හේතුවෙන් සත්‍යාවබෝධයත් විමුක්තියත් සාක්ෂාත් කිරීමේ භාග්‍යය ලබයි.

“මහණෙනි, මේ සප්ත බෝධ්‍යාංග ධර්මයෝ නිවන් මග නොඅවුරත්. නිවන් මග නොවසත්. සිත නොකෙලෙසත්. මේ බෝධ්‍යාංග ධර්මයන් භාවනා වශයෙන් වැඩීමෙන්, බහුලව ප්‍රගුණ කිරීමෙන් චතුරාර්ය සත්‍යාවබෝධය නමැති විද්‍යාවත්, තෘෂ්ණා නිරෝධය නමැති විමුක්තියත් සාක්ෂාත් කිරීම පිණිස පවතී.”

(අනීවරණ සූත්‍රය – සංයුත්ත නිකාය)

කෙනෙකු වීර්යය ඉපදවීමෙහිලා කෙතරම් දක්ෂ ද, අවශේෂ බෝධ්‍යාංග ධර්මයන් යෝනිසෝ මනසිකාරය තුළින් අවස්ථානුරූපී ව භාවිතාවෙහි යෙදීමට ද එතරම් ම දක්ෂ විය යුතුය.

✍️ පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ