දඹදිව බුද්ධගයාවේ නේරංජනා නදීතෙර සුපිහිටි මහමෙව්නාව බුදුනුවණ භාවනා අසපුවේ වාර්ෂික කඨින චීවර පූජා පූණ්‍යෝත්සවය සහ මහත් ශ‍්‍රද්ධාවෙන් යුතුව ඉදිකළ බුද්ධගයා බුදුනුවණ සෑ රජුන් ගෞතම බුදු සසුනට පූජා කිරීමේ පුණ්‍ය මහෝත්සවය පසුගිය ඔක්තෝබර් 28 දින ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා මහෝපාධ්‍යාය, ශ‍්‍රී කල්‍යාණිවංශ නිකායේ මහානායක ධුරන්දර පරම පූජනීය දොඩම්පහළ චන්දසිරි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සහ අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් 500 නමකට අධික වූ මහ සඟරුවනේ ආශිර්වාද මධ්‍යයේ මහත් හරසරින් පැවැත්වුණි.

මෙම කඨින චීවර පූජාවේ සහ මහාසෑ පූජාවේ ප්‍රධාන දායකත්වය දරන ලද්දේ කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුවේ සැදැහැවත් දායක පින්වතුන් සහ ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ මාසික ධර්මදාන සාමාජිකත්වය දරන පින්වතුනුත් විසිනි.

එදින ඉන්දියානු සහ විදේශීය ස්වාමීන් වහන්සේලා 500 නමක් විෂයෙහි වටිනා පරිෂ්කාර සහිතව සංඝගත දක්ෂිණාව පූජා කරන්නට යෙදුණේ බුද්ධග්‍යාන් භාවනාශ්‍රම භූමියේ ඉදිවූ අභිනව තෙමහල් ධර්මශාලා ගොඩනැගිල්ලේ දී ය. ඔක්තෝබර්  30 වන දින බුදුනුවණ අසපුවේ ඉරිදා දහම් පාසලේ අධ්‍යාපනය ලබන දරුදැරියන්ගේ පවුල් 600 කට වියළි ආහාර පාර්සල් ලබාදීම ද සිදු කෙරිණි. එදින ම රාත්‍රියේදී මහාසෑ වන්දනාවක් සහ හින්දි භාෂාවට පරිවර්තනය කරන ලද මහා සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සනාවට අයත් කොටස බුදුනුවණ අසපුවේ දහම් පාසැල් දරු දැරියන් විසින් ඉතා සොඳුරු අයුරින් සජ්ඣායනා කරන ලදී.

මෙම කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය සඳහා දායකත්වය ලබාදුන්, උදව් උපකාර කළ සියලු දෙනාටත්, අඩි 45 ක් පමණ උසැති මෙම මහා සෑ රජුන් තනවන්නට නොයෙක් අයුරින් දායකත්වය දැරූ සැදැහැති සියලූම දෙනාටත් මේ ‍ගෞතම බුදු සසුනේදීම සුවසේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාව උදාවේවා! සියලු දෙනා මේ මහා පින සතුටු සිතින් අනුමෝදන් වෙත්වා!