ශ්‍රී ඝන සුගත තථාගත අප ශාක්‍යමුනි භාග්‍යවතුන් වහන්සේ විසින් දෙව්මිනිසුන් හට සංසාර විමුක්තිය පිණිස සම්බුදු සසුන පිහිටුවන ලද්දේය. ඒ බුදු සසුනෙහි ශ්‍රාවක පිරිස භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වණක් පිරිසෙන් සමන්විතය. මෙකී සිව්වණක් පිරිසටම ශාස්තෘ වනාහී අප භාග්‍යවතුන් වහන්සේ පමණි.
භාග්‍යවතුන් වහන්සේ ගේ ශාස්තෘත්වය ආශ්චර්යය. අද්භූතය. උන්වහන්සේ නූපන් නිවන් මග උපදවති (අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදේතා). නොහටගත් නිවන් මග හටගන්වති (අසඤ්ජාතස්ස මග්ගස්ස සඤ්ජනේතා). ලොවෙහි කිසිවෙකු නොකියූ නිවන් මග පවසති (අනක්ඛාතස්ස මග්ගස්ස අක්ඛාතා). නිවන් මග මැනැවින් දනිති (මග්ගඤ්ඤූ). නිවන් මගෙහි තොරතුරු මැනැවින් ප්රකටව සිටිති (මග්ගවිදූ). නිවන් මග පෙන්වන්නට විස්මිත නිපුණ වෙති (මග්ගකෝවිදෝ).
ශ්‍රාවකයෝ වනාහී කවරහුද? ඒ ශ්‍රාවකවරු භාග්‍යවතුන් වහන්සේට මෙසේ පවසති. “ස්වාමීනී, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ නායක කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇත්තාහ” යනුවෙනි.
වරක් භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට සංක්ෂේපයෙන් ධර්මය වදාළහ. එය විස්තර වශයෙන් දැනගන්නට කැමැති වූ ඒ භික්ෂූහු මහා කච්චායන තෙරුන් සොයා ගියහ. එකල්හි මහා කච්චායන තෙරණුවෝ ඔවුන්ට මෙසේ පැවසූහ. “ඇවැත්නි, අරටුවෙන් ප්‍රයෝජන ඇතියෙක් අරටුවක් සොයා ගොස් සාරවත් අරටුව ඇති මහා වෘක්ෂයක් තිබියදී එය ඇත්හැර අතුපතරෙහි අරටුව සෙවීමක් බඳුව මා වෙතට පැමිණියේ නොවැ. ඇවැත්නි, ඒ භාග්‍යවතුන් වහන්සේ වනාහී දත යුත්ත දන්නා සේක (ජානං ජානාති). දැක්ක යුත්ත දක්නා සේක (පස්සං පස්සති). ලොව දකින ඇස ඇති සේක (චක්ඛුභූතෝ). හටගත් නුවණ ඇති සේක (ඤාණභූතෝ). හටගත් ධර්මය ඇති සේක (ධම්මභූතෝ). හටගත් ශ්‍රේෂ්ඨ බව ඇති සේක (බ්‍රහ්මභූතෝ). ධර්මය පවසන සේක (වත්තා). නොයෙක් අයුරින් පවසන සේක (පවත්තා). යහපත මතු කරවන සේක (අත්ථස්ස නින්නේතා). අමා බෙදන සේක (අමතස්ස දාතා). දහමෙහි හිමිකරු වන සේක (ධම්මස්සාමි). තථාගත වන සේක (තථාගතෝ)” යනුවෙනි.
එබඳු වූ භාග්‍යවතුන් වහන්සේ තම ශ්‍රාවකයන් අතර අග්‍ර භාවයට පත්වීම පිණිස පූරිත පාරමී බල ඇති උපතිස්ස කෝලිත දෙදෙන දෙසිය පණසක් පිරිවර ඇතිව වේළුවනයට පැමිණෙන කල්හි මෙසේ වදාළ සේක. “මහණෙනි, කෝලිත හා උපතිස්ස යන යහළුවෝ දෙදෙන එති. මේ දෙදෙන මාගේ අග්‍ර වූ ශ්‍රාවක යුගල වන්නේය. සොඳුරු ශ්‍රාවක යුගල වන්නේය” යනුවෙනි.
කෙමෙන් කෙමෙන් බුදු සසුනෙහි ශ්‍රාවක භික්ෂූහු ගණනින් වැඞී ගියහ. එකල්හී නවක භික්ෂූන් හික්මවාලිය හැකි වැඩිමහලු භික්ෂූන් පත්කිරීමේ ආවශ්යකතාවය ඇති විය. භාග්‍යවතුන් වහන්සේ මෙය පැණවූ සේක. “මහණෙනි, උපාධ්‍යාය භික්ෂුවක් පත්කරගැනීම අනුමත කරමි. මහණෙනි, උපාධ්‍යාය භික්ෂුව තමා යටතේ වසන සද්ධිවිහාරික භික්ෂුව කෙරෙහි පියෙකු සෙයින් පුත්‍ර චිත්තය උපදවා ගත යුත්තේය. සද්ධිවිහාරික භික්ෂුවද තම උපාධ්‍යාය කෙරෙහි මේ මාගේ පියාණෝය යන පීතෘ චිත්තය උපදවා ගත යුත්තේය” යනුවෙනි.
මෙම උපාධ්‍යාය පදවිය බුදු සසුනෙහි ඇතිවූ මුල්ම පදවියයි. එය නවක භික්ෂූන් සසුන් පිළිවෙතෙහි හික්මවනු පිණිසය. ඒ උපධ්‍යාය පදවිය පිණිස පත්වන ස්ථවිර භික්ෂුව උපසම්පදාවෙන් දසවස් තිබිය යුතු අතර ධර්ම විනයෙහි ව්‍යක්ත ප්‍රතිබල විය යුතුය. භික්ෂූන්ගේ ගණන වැඩිවීම හේතුවෙන් උපාධ්‍යායන් වහන්සේට පමණක් එය කළ නොහැකි විය. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ නියම කළ සේක. “මහණෙනි, ආචාර්ය භික්ෂුවක් පත්කරගැනීම අනුමත කරමි. මහණෙනි, ආචාර්ය භික්ෂුව තමා යටතේ වසන අන්තේවාසික භික්ෂුව කෙරෙහි පියෙකු සෙයින් පුත්‍ර චිත්තය උපදවා ගත යුත්තේය. අන්තේවාසික භික්ෂුවද තම ආචාර්යයන් වහන්සේ කෙරෙහි මේ මාගේ පියාණෝය යන පීතෘ චිත්තය උපදවා ගත යුත්තේය” යනුවෙනි.
මෙසේ ආචාර්ය බවට පත් භික්ෂුව ඇසුරේ නවක භික්ෂුව ගත කළ යුතුය. මෙය බුදු සසුනෙහි මුල්ම සාසනික පදවි දෙකය. එනම් උපාධ්‍යාය පදවියත් ආචාර්ය පදවියත් ය. එම පදවි දැරුවේ පියෙකුගේ කාර්යභාරයයි. නවක පැවිද්දා දෙස පුත්‍ර චිත්තයෙන් බැලිය යුතු දෙයකි. නවක භික්ෂුව ද ආචාර්ය උපාධ්‍යාය දෙස බැලිය යුත්තේ පුත්‍රයෙක් පියෙකු දෙස බලන ආකාරයෙනි.
මෙසේ ආචාර්ය උපාධ්‍යාය තෙරවරු ස්වකීය ශිෂ්‍ය අන්තේවාසික භික්ෂූන් කෙරෙහි ඔවුනොවුන්ට ගරුසරු ඇතිව උපකාරීව සමාන පැවතුම් ඇතිව වසමින් මේ බුදු සසුනෙහි ධර්ම විනය තුළ දියුණුවටත් වැඞීමටත් විපුල බවට පත්වීමටත් පැමිණෙන්නාහ (ඒවං තේ අඤ්ඤමඤ්ඤං සගාරවා සප්පතිස්සා සභාගවත්තිනෝ විහරන්තා ඉමස්මිං ධම්මවිනයේ වුද්ධිං විරූළ්හිං වේපුල්ලං ආපජ්ජිස්සන්ති). මෙසේ භික්ෂු ජීවිතය තුළ ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලා තුළ තිබිය යුතු සුදුසුකම් ද උන්වහන්සේ විසින් ඉටුකළ යුතු වත් ද ආචාර්ය උපාධ්‍යායන් යටතේ ධර්ම විනය හදාරන භික්ෂූන් විසින් ඉටුකළ යුතු වත්ද භාග්‍යවතුන් වහන්සේ විසින් නියම කරන ලදී.
ගෞතම බුදු සසුනෙහි ඒ ඒ ධර්මයන් පිළිබඳ කුසලතා ලත් සිව්වණක් පිරිසක් ද එකල පහළව සිටියහ. එහිදී භාග්‍යවතුන් වහන්සේ ඒ ඒ ධර්මයන්ගේ විශේෂභාවයට පත් වූ ශ්‍රාවකයන් හට අග්‍ර බව දුන් සේක. ඒ මෙසේය “මහණෙනි, අඤ්ඤාකොණ්ඩඤ්ඤ නම් යම් භික්ෂුවක් වෙයිද පැවිදිව බොහෝ කල් ගත කළ මාගේ ශ්‍රාවක භික්ෂූන් අතර මේ භික්ෂුව අග්‍ර වෙයි. මහණෙනි, සාරිපුත්ත නම් යම් භික්ෂුවක් වෙයිද, මහා ප්‍රඥා ඇති මාගේ ශ්‍රාවක භික්ෂූන් අතර මේ භික්ෂුව අග්‍ර වෙයි. මහණෙනි, මහා මොග්ගල්ලාන නම් යම් භික්ෂුවක් වෙයිද, ඉර්ධිමත් වූ මාගේ ශ්‍රාවක භික්ෂූන් අතර මේ භික්ෂුව අග්‍ර වෙයි. මෙසේ විශේෂ කුසලතාවන්ගෙන් අග්‍රභාවයට පත්වූ භික්ෂූන් පත්කිරීමේදී වඩාත් කුසලතා දිස් වූයේ ආනන්ද තෙරුන්ගෙනි.
“මහණෙනි, ආනන්ද නම් යම් භික්ෂුවක් වෙයිද, මාගේ බහුශ්‍රැත වූ ශ්‍රාවක භික්ෂූන් අතර මේ භික්ෂුව අග්‍ර වෙයි. මහණෙනි, මාගේ මනා සිහි ඇති ශ්‍රාවක භික්ෂූන් අතර…. මාගේ මහත් වැටහීම් ඇති ශ්‍රාවක භික්ෂූන් අතර…. මාගේ නුවණින් දිරිමත් වූ ශ්‍රාවක භික්ෂූන් අතර….. මාගේ උපස්ථායක ශ්‍රාවක භික්ෂූන් අතර මේ භික්ෂුව අග්‍ර වෙයි” යනුවෙනි.
බුද්ධ කාලීන භික්ෂූන් අතර භික්ෂුවක් උපසම්පදාවෙන් දසවස් ඉක්මවූ කල්හි ඒ භික්ෂුව අයත් වූයේ ස්ථවිර භික්ෂූන්ගේ ගණයටයි. නමුත් උපසම්පදාවෙන් වැඩිමහල් වූ පමණින් ස්ථවිර වශයෙන් හැඳින්වූවද ස්ථවිර බවට පත්වීම පිණිස භාග්‍යවතුන් වහන්සේ තවත් සුදුසුකම් නියම කළහ.
වරක් භාග්‍යවතුන් වහන්සේ නේරංජරා නදී තෙර අජපල් නුගරුක් සෙවණෙහි වැඩසිටියදී බොහෝ වයසට පත් ප්‍රභූ බ්‍රාහ්මණ පිරිසක් උන්වහන්සේ බැහැදකින්නට පැමිණියහ. එකල්හී ඒ බමුණන්ගේ වයෝවෘද්ධ භාවයට උන්වහන්සේ ගරු කළේ නැතැයි කියා ඒ බමුණු පිරිස භාග්‍යවතුන් වහන්සේට දොස් කියන්නට වූහ. භාග්‍යවතුන් වහන්සේ වැඩිමහලු බවට හෙවත් ස්ථවිර බවට පත්වීමට සිව්කරුණක් අවශ්‍ය බව පවසා සිටියහ. එනම් උපසම්පදා සීලයෙහි මනාකොට හික්මී සිටින බවත් ධර්මය ඉතා මැනැවින් හදාරා ඇති බවත් ධ්‍යාන සතර ම සුවසේ ලබාසිටින බවත් ආශ්‍රවයන් නසා නිකෙලෙස්ව සිටිය යුතු බවත්ය.
මුල් කාලීන භික්ෂු සමාජය තුළ ස්ථවිර යන නාමය භාග්‍යවතුන් වහන්සේ විසින් පොදුවේ යොදන ලද්දේ ‘ගරුසරු දැක්විය යුතු භික්ෂුව’ යන අරුතිනි. හුදෙක් වැඩිමහලු බවම නොවේ. ඇතැම් අවස්ථාවන්හිදී භාග්‍යවතුන් වහන්සේ අග්‍ර ශ්‍රාවක භික්ෂූන් හට ප්‍රශංසා මුඛයෙන් මෙසේත් වදාරන සේක. “මහණෙනි, සාරිපුත්තයෝ දරුවන් බිහිකරන මව් වැනිය. භික්ෂූන් සෝවාන් ඵලය පිණිස හික්මවත්. මහා මොග්ගල්ලානයෝ බිහිවූ දරුවන් ඇතිදැඩි කරන කිරිමව් වැනියහ. භික්ෂූන් ඉහළ මගඵලයට හික්මවත්” යනුවෙනි.
ඇතැම් අවස්ථාවන්හි දී භාග්‍යවතුන් වහන්සේ සාරිපුත්ත මහ රහතුන් පිළිබඳව මෙසේ වදාරති. “මහණෙනි, සාරිපුත්තයෝ පණ්ඩිතයහ. සාරිපුත්තයෝ මහාප්රාඥයහ” යනුවෙනි. එමෙන්ම ‘ධම්මසේනාධිපති’ යන නම ද සාරිපුත්තයන් වහන්සේට ලැබී තිබේ. වරක් එක්තරා පිරිවැජියෙක් ආනන්ද තෙරුන්ට ‘මහාචාර්ය ආනන්දයෝ’ යි පැවසීය. එකල සමාජයෙහි භාවිත වූ බ්‍රාහ්මණ යන වචනයද රහත් භික්ෂූන් හට ගෞරවාර්ථයෙන් භාග්‍යවතුන් වහන්සේ භාවිත කළහ. වරක් අංගුලිමාල තෙරුන් හට මෙසේ වදාළහ. “බ්‍රාහ්මණය, ඔබ ඉවසන්න” යනුවෙනි.
භාග්‍යවතුන් වහන්සේ ජීවමාන අවදියෙහි සියලු වැඩිහිටි ස්ථවිර භික්ෂූන් හැඳින්වීමට ව්‍යවහාර කරන ලද්දේ ‘ආයස්මා’ යන වචනයයි. ‘ආයස්මා සාරිපුත්තෝ, ආයස්මා මහා මොග්ගල්ලානෝ, ආයස්මා මහා කස්සපෝ’ යනාදී වශයෙනි. උපසම්පදාවෙන් තමන්ට වඩා බාල භික්ෂුවට වැඩිමහලු භික්ෂූව විසින් ව්‍යවහාර කරන ලද්දේ ‘ආවුසෝ’ යන වචනයයි. එය සිංහලට ‘ඇවත’ යනුවෙන් නගා ඇත. බොහෝ භික්ෂූන් ඔවුනොවුන් ඇමතීමේදී වැඩිමහලු බාල භේදයකින් තොරව ආවුසෝ යන වචනය ව්‍යවහාර කොට තිබේ. වර්තමානයෙහි ලෝකයෙහි භික්ෂූන්ට පොදුවේ ව්‍යවහාර වන ‘භන්තේ (ස්වාමීනී-වහන්ස)’ යන ගෞරව පදය එකල ව්‍යවහාර වූයේ භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් පමණි.
අපගේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාන අවස්ථාවෙහිදී මෙසේ වදාළහ. “ආනන්දයෙනි, දැන් වනාහී භික්ෂූහු ඔවුනොවුන් හට ‘ආවුසෝ’ යන පදයෙන් ව්‍යවහාර කරගනිති. මාගේ ඇවෑමෙන් පසු එය මෙසේ ව්‍යවහාර නොකළ යුත්තේය. උපසම්පදාවෙන් වැඩිමහලු ස්ථවිර භික්ෂුව තමන්ට වඩා බාල භික්ෂුවට නමින් හෝ ගෝත්‍ර නාමයෙන් හෝ ආවුසෝ යන පදයෙන් හෝ ඇමතිය යුත්තේය. බාල භික්ෂුව විසින් ස්ථවිර භික්ෂුවට ‘භන්තේ’ කියා හෝ ‘ආයස්මා’ කියා හෝ ඇමතිය යුත්තේය” යනුවෙනි.
බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසු ප්ර්රථම මහා සංගීතිය කරවන ලද්දේ මහා කස්සප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙනි. එහිදී උන්වහන්සේ භික්ෂු සංඝයා අමතන ලද්දේ මෙසේය. ‘සුණාතු මේ ආවුසෝ සංඝෝ’ ‘ඇවැත් සංඝ තෙමේ මාගේ වචනය අසාවා !’ යනුවෙනි. ආනන්ද තෙරුන් ස්ථවිර භික්ෂූන් අමතා ඇත්තේ මෙසේය. ‘සුණාතු මේ භන්තේ සංඝෝ’ ‘ස්වාමීනී, සංඝ තෙමේ මාගේ වචනය අසාවා!’ යනුවෙනි. මෙයින් පෙනෙන්නේ භාග්‍යවතුන් වහන්සේ ගේ නියමය පරිදි භික්ෂු සංඝයා කලින් පැවති ව්‍යවහාරය වහා වෙනස් කරගත් බවයි. නමුත් ඒ ඒ භික්ෂූන් ගැන හැඳින්වීමේදී ස්ථවිර භික්ෂූන්ට කලින් පරිදිම ආයස්මා යන වචනය භාවිත කොට තිබේ. “අථ ඛෝ ආයස්මා මහා කස්සපෝ සංඝං ඤාපේති” ‘එකල්හි ආයුෂ්මත් මහා කස්සප තෙරණුවෝ සංඝයාට දැනුම් දුන්නාහ’ යනුවෙනි.
මෙසේ පෞරාණික ශාසනික සම්ප්රදාය තුළ බොහෝ වාගාඩම්බරයෙන් යුතු සංස්කෘත ගාඪ ශෛලියට අයත් විචිත්‍ර නාමයන් සංඝයා අතර භාවිත වුන බවක් නොපෙනේ. අපට පැරණි බෞද්ධ සම්ප්රදාය තුළ ස්ථවිර භික්ෂූන්ට යොදන ලද පළමු ගෞරව නාමය පෙනෙන්නේ මහා කස්සප මහ රහතන් වහන්සේ වෙත යොදන ලද මෙයයි.
“පරිනිබ්බුතම්හි සම්බුද්ධේ – ථේරෝ කස්සපව්හයෝ
ආමන්තයී භික්ඛු ගණං – සද්ධම්මමනුපාලකෝ”
‘සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවී කල්හී සද්ධර්මයෙහි අනුපාලක වූ කාශ්‍යප නම් තෙරණුවෝ භික්ෂු සංඝයා ඇමතූ සේක’ යනුවෙනි. මෙහි මහා කස්සපයන් වහන්සේට සද්ධර්මයෙහි අනුපාලක යන ගෞරව නාමය ලබාදී තිබේ. එමෙන්ම ආනන්ද තෙරුන්ට ද ‘වේදේහමුනි’ යන නමත් ‘කෝසාරක්ඛං’ හෙවත් ‘ධර්ම භාණ්ඩාගාරික’ යන ගරු නාමයත් ලැබී තිබේ. ලක්දිව බුදු සසුන පිහිටවූ මහා මහින්ද මහ රහතුන්ට ද ‘දීපප්පසාදක’ යන ගෞරව නාමයෙන් උන්වහන්සේ හඳුන්වා තිබේ.
අපගේ භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩසිටියදී සංඝයාගේ ප්‍රධානියා, අනුශාසකවරයා හා නේතෘ වූයේ උන්වහන්සේ පමණි. උන්වහන්සේගේ නියමය සංඝයාගේ ගෞරවනීය පිළිගැනීම විය. එය ශාස්තෘ හා ශ්‍රාවක බවේ පූජනීය සම්බන්ධයයි. නිතර ශ්රාවකයා සිතුවේ ‘අහං න ජානාමි, භගවා ජානාති’ ‘මම නොදනිමි, භාග්‍යවතුන් වහන්සේ දන්නා සේක’ යනුවෙනි. පැහැදිලිව ම සංඝයාගේ නායකයා, සංඝරාජ වූයේ භාග්‍යවතුන් වහන්සේය. ඒ බව භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාන අවස්ථාවේ වදාළ මේ ප්‍රකාශයෙන් පැහැදිලි වේ.
“ආනන්දයෙනි, ඔබට මෙසේ සිතෙන්නට පුළුවනි. ‘බුද්ධ වචනය අතීතයට ගිය ශාස්තෘවරයෙකුගේය. ඒ අපගේ ශාස්තෘවරයා දැන් නැත්තේය’ යනුවෙනි. ආනන්දයෙනි, එකරුණ මෙසේ නොදැක්ක යුත්තේය. ආනන්දයෙනි, මා විසින් යම් ධර්මයක් දෙසන ලද්දේ ද, යම් විනයක් පණවන ලද්දේ ද, මාගේ ඇවෑමෙන් ඒ ධර්ම විනය ඔබගේ ශාස්තෘ වන්නේය” යනුවෙනි. භාග්‍යවතුන් වහන්සේ සංඝයාගේ නායකත්වය පැහැදිලිවම ධර්මයටත් විනයටත් පවරා තිබේ.
අධාර්මික ක්‍රම වලින් ලාභසත්කාර කීර්ති ප්‍රශංසා ලබාගත් දේවදත්තට සංඝයාගේ ප්‍රධානියා වෙන්නට ආසාවක් ඇති වූයේය. ‘මම භික්ෂු සංඝයා පාලනය කරන්නෙමි’ යන සිතිවිල්ල සිතූ පමණින් ඔහුගේ සියලු ඉර්ධි බල පිරිහී ගියේය. නමුත් සංඝයාගේ පාලනයට ආසා කළ ඔහු භාග්‍යවතුන් වහන්සේගෙන් මෙසේ ඉල්ලීමක් කළේය. “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ දැන් දිරා ගිය සේක. වයෝවෘද්ධ සේක. මහලු සේක. පිළිවෙළින් වයස්ගත වූ සේක. ස්වාමීනී, දැන් භාග්‍යවතුන් වහන්සේ මෙලොවදී ලබන විමුක්ති සැප විහරණයෙන් යුතුව සංඝයාගේ පරිපාලනයෙහි උත්සාහ රහිතව වසන සේක්වා. භික්ෂු සංඝයාගේ නායකත්වය මට පවරා දෙන සේක්වා. මම භික්ෂු සංඝයා පාලනය කරන්නෙමි” යනුවෙනි.
භාග්‍යවතුන් වහන්සේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ විට දෙව්දත් තෙමේ තුන් වර දක්වා එය ඉල්ලා සිටියේය. ඒ හැමවිටම ප්‍රතික්ෂේප කොට වදාළ භාග්‍යවතුන් වහන්සේ මෙසේ පිළිතුරු දුන්හ. “දේවදත්ත, මම භික්ෂු සංඝයාගේ නායකත්වය සාරිපුත්ත මොග්ගල්ලානයන්ටවත් පවරා නොදෙමි. එසේ ඇති කල්හී මිථ්‍යාජීවිකාවෙන් දිවි ගෙවන ඔබට සංඝයාගේ නායකත්වය භාරදීම ගැන කුමක් කියන්නද?” යනුවෙනි.
මෙයින් පෙනෙන්නේ භික්ෂු සංඝයාගේ නායකත්වය පුද්ගලයෙකුගේ භාරකාරත්වයට පත්කිරීමට භාග්‍යවතුන් වහන්සේ කිසිසේත් කැමති නොවූ බවයි. එය වඩාත් තහවුරු වන්නේ අවසන් මොහොතේදී භික්ෂු සංඝයාගේ නායකත්වය ධර්මයටත් විනයටත් පැවරීම නිසාය. බුද්ධ කාලීන භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ දැරූ අදහසෙහි මනාව රැඳී සිටියහ.
වරක් ගෝපක මොග්ගල්ලාන නම් බමුණෙක් අනඳ තෙරුන්ගෙන් අසා සිටියේ බුදුරජුන්ට සමකළ හැකි ඤාණයෙන් ගුණයෙන් යුතු භික්ෂුවක් සංඝයාගේ නායකත්වය දරන්නේද කියාය. එබඳු භික්ෂුවක් නැති බව පැවසූ විට නැවත හේ අසා සිටියේ භාග්‍යවතුන් වහන්සේ විසින් ‘මාගේ ඇවෑමෙන් ඔබට මේ භික්ෂුව පිළිසරණ වන්නේය’ කියා කිසියම් භික්ෂුවක් පත්කොට තිබේද කියාය. එයත් නැති බව පැවසූ විට සංඝයා විසින් කිසියම් ස්ථවිර භික්ෂුවක් සංඝයාගේ ප්රධානත්වයට පත්කරගෙන තිබේදැයි අසා සිටියේය. එසේත් නැතැයි කී කල්හී එසේ නම් මෙසේ පුද්ගලයෙකුගේ නායකත්වයක් නොමැතිව කිසි පිහිටක් නැති සසුනක මෙතරම් සමගියෙන් වසන්නේ කෙසේදැයි ඇසුවේය. එවිට අනඳ තෙරණුවෝ මෙසේ පිළිතුරු දුන්හ. “බමුණ, අපි පිහිට නැති අය නොවෙමු. අපි පිහිට ඇති අය වෙමු. අපි ධර්මය පිළිසරණ කොට සිටිමු….. බමුණ, අප බුදුරජුන් විසින් වදාරණ ලද දස ප්‍රසාදනීය ධර්මයන් යම් භික්ෂුවක් තුළ දකින්නට ලැබෙයිද අපි එකලත් මෙකලත් ඒ භික්ෂූන්ට සත්කාර කරමු. ගෞරව කරමු. බුහුමන් කරමු. පුදමු. සත්කාර ගරුකාර කොට ඇසුරුකොට වසමු” යනුවෙනි.
මෙසේ ධර්මය ම පිදුම් ලබමින් වාසය කළ එකල භික්ෂු සංඝයාගේ ජීවිතය දෙවන ධර්ම සංගායනාවෙන් පසු වෙනස්ව ගියේය. ධර්ම විනය පසෙකලා මූලික භික්ෂු සංඝයාට විරුද්ධව ‘මහා සංඝික’ නමින් වෙනම භික්ෂු පිරිසක් ඇතිවූයේය. එය මහායානයේ උපතයි. සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය බව ප්‍රකට කරමින් ධර්ම විනය නායකත්වය යටතේ සිටි භික්ෂු සංඝයා පුද්ගල නායකත්වයකට හසුවූයේය. එහෙත් සංඝයාගේ මුල් පරපුර වන ස්ථවිරවාදී භික්ෂු වංශය එහි මුල් ස්වරූපය රැකගන්නට බොහෝ සේ වෙහෙසුනේය.
මහායානික භික්ෂූන් විසින් සාරිපුත්තයන් වහන්සේ ගේ උපන් ගමෙහි නාලන්දා විශ්ව විද්‍යාලය අරඹන ලද්දේය. එහි උගත් භික්ෂූන්ට පණ්ඩිත යන ගෞරව නාමය දෙන ලදී. එහි ප්‍රධානියා කුලපති නාමයෙන් ද දෙවැනියා උප කුලපති නාමයෙන්ද හඳුන්වනු ලැබූහ. එකල ඒවා ඉතා බලසම්පන්න පදවි වෙති. ආචාර්ය යන නාමයද උපාධිය පිණිස දෙන ලද අතර යම් යම් විෂයන් පිළිබඳව විශාරද වූවන් හට ඉතා වැදගත් නාමයක් වශයෙන් ‘භට්ටාචාර්ය’ පදවිය දෙන ලදී. නාලන්දාවෙහි අධ්‍යයන භාෂාව සංස්කෘත වූ හෙයින් නොයෙක් අලංකාරෝක්තීන්ගෙන් ගහන වූ සංස්කෘත රීතීන් ව්‍යවහාරයට පැමිණියේය. වාද විවාදයන්ගෙන් ජය ගන්නා භික්ෂූන්ට විශේෂ නම්බුනාම පදවි ඨානාන්තර ලැබුනි. නින්දගම් ලැබුනි. රාජ වරප්‍රසාද ලැබුනි.
කාලයාගේ ඇවෑමෙන් රාජබලයත් භික්ෂු සංඝයාගේ නායකත්වයත් අන්‍යෝන්‍ය වශයෙන් බැඳී ගියේය. විශේෂයෙන් තායිලන්තය, බුරුමය, කාම්බෝජය, ලාඕසය වැනි රටවල සංඝරාජ පදවි ද බිහිවූයේය. රාජ බලය විසින් භික්ෂූන්ව රජු හා සමාන තනතුරු වලට පත්කරවන ලද්දේය. පැරකුම් රජු දවස ලංකාවෙහි ද තුන් නිකාය එක්සේසත් කොට දිඹුලාගල කාශ්‍යප නාහිමියන්ට සංඝරාජ පදවිය පිරිනමා තිබේ. මෙසේ බෞද්ධ සම්ප්රදාය තුළ රජ කෙනෙකු විසින් තෙරනමකට සංඝයාගේ රජු යන අරුතින් සංඝරාජ පදවිය පිරිනැමීමේ ඇරඹුනේය. මහායානික භික්ෂු ප්‍රතිපදාවන්ගෙන් දැඩි ලෙස බලපෑ මෙම අදහස් මහායාන රටවල බලවත්ව පැවතුනේය. ටිබෙටයෙහි රාජ්‍ය නායකත්වයත් භික්ෂු නායකත්වයත් තනි පුද්ගලයෙකුට හිමි විය. මෙකල එහි නායකත්වය දරන්නේ දලයිලාමා තුමාය. ලංකාවේද කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස තායිලන්තයෙන් සංඝයා වැඩමවා වැලිවිට සරණංකර මාහිමියන් ඇතුලු ලාංකික භික්ෂූන් උපසම්පදා කරවීමෙන් පසු වැලිවිට සරණංකර මාහිමියන් වෙත සංඝරාජ පදවිය පිරිනමන ලදී. වල්පොල රාහුල හිමියන්ගේ භික්ෂූන්ගේ උරුමය යන පොතේ ඇති විස්තරයට අනුව ඉංග්‍රීසි ආණ්ඩුව යටතට ලංකාව පත්වූ අවදියෙහි භික්ෂූන්ගේ පක්ෂපාතීත්වය ඉංග්‍රීසි ආණ්ඩුවට ලබාගැනීම පිණිස එංගලන්තයේ කතෝලික පල්ලියේ පවතින ප්‍රාදේශීය බිෂොප්වරුන් පත්කරන ආකාරයට ලාංකික භික්ෂූන්ට ප්‍රාදේශීය නායකත්වයන් පිරිනමන්නට පටන් ගත්හ. එයින් ආරම්භ වූ ප්‍රාදේශීය නායකත්ව පදවි පිරිනැමීම ඒ ඒ නිකායික භික්ෂූන් හට ගෞරව සම්මාන පිදීම වශයෙන් මේ දක්වා ම ක්‍රියාත්මකව පවතී. නමුත් වර්තමානයෙහි පදවි ඨානාන්තර පිරිනමනු ලබන්නේ ඒ ඒ නිකායික සංඝයාගේ ගෞරවය දියුණු කරනු පිණිසය. මෙසේ ථේරවාද රටවල් වල නොයෙක් අයුරින් සංඝ නායකත්ව සංකල්පය වර්තමානයේ ක්‍රියාත්මක වෙයි. බුරුම රජයෙන්ද අග්ගමහා පණ්ඩිත යන ගෞරව නාමය ද වෙනත් ගෞරව නාමයන්ද ලොව ථේරවාදී භික්ෂූන්ට පිරිනමනු ලබයි. දැනට තායිලන්තයේ සංඝරාජ පදවිය ඉතා බලසම්පන්න තනතුරක් වශයෙන් ක්‍රියාත්මක වෙයි. කාම්බෝජයේ සංඝරාජවරු හතර දෙනෙක් වැඩසිටිති. ඉන්දියාවේ සාධුවරුන් අතර ද ඒ ඒ නිකායවල්හී නායක පදවි පිරිනැමීම කරනු ලැබේ. ඔවුන්ගේ නායකත්වයට ද තම නමට පෙර ගෞරව නම් රාශියක් දමනු ලැබේ. ‘ශ්‍රී මහා මණ්ඩලේශ්වර, පණ්ඩිත ශිරෝමනී, ධර්ම වාගීශ්වර, මහා වේදන්තාචාර්ය, ශිවාභිනත, නරසිංහ, භාරතී, සරස්වතී, සත්චිදානන්ද, ජගදාචාර්ය, සංකරාචාර්ය, මහාගුරු’ යනාදී නම් රාශියක් පවසා අවසානයෙහි නම කියනු ලැබේ. එම සංස්කෘත ව්‍යවහාරයෙහි බලපෑම සියලුම ථේරවාදී රටවලටද යම්කිසි ප්‍රමාණයකට ලැබී ඇතැයි සිතේ. මේ අනුව බලනවිට සංස්කෘත සාහිත්‍යයේත් මහායානයේත් බලපෑම හේතුවෙන් ගෞරවනාම භාවිතයත් ඒ ඒ රාජ්‍ය පාලන බලපෑම හේතුවෙන් සංඝරාජ පදවියත් ආරම්භ වී මේ දක්වා එය බොහෝ බෞද්ධ රටවල භාවිත වන බව පෙනේ.
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සඟරාවක පළකිරීම සඳහා ලියන ලද ශාස්ත්‍රීය ලිපියකි.