පොළොව පෙරලීගෙන එන හඬ ඇසී පලා ගිය සාවාගේ කතාව

පින්වතුනේ, පින්වත් දරුවනේ,ලෝකයේ බොහෝ දෙනෙක් යමක් ඇසූ දුටු පමණින් ඒ ගැන විමසා තෝරාබේරා බැලීමක් නැතිව එක්වරම පිළිගන්නවා. සමහර විට තමන් මහා බරපතල ලෙස සිතාගත් දෙය මහා බොරුවක් වෙන්ට පුළුවනි. මහා රැවටීමක් වෙන්ට පුළුවනි. එවන් අවස්ථාවක ප්‍රඥාවන්ත සත්පුරුෂයෙකුගේ උපකාරයක් නොලැබුනොත් මිත්‍යාවට රැවටී සිටින උදවිය ඒ මිත්‍යාව තුළින් ම විනාශයට පත් වෙන්ටත් ඉඩ තියෙනවා. දද්දභ ජාතකය එබඳු කතාවක්.

ඒ දිනවල අපගේ භාග්‍යවතුන් වහන්සේ වැඩ වාසය කොට වදාළේ සැවැත්නුවර ජේතවනයේ. ඔය කාලේ ජේතවනය සමීපයේ ශරීරයට නොයෙක් දුක් දෙමින් තපස්චර්යාවන් කරන බොහෝ තීර්ථක තවුසන් වාසය කළා. පුරාවට කටු ගැසූ ලෑලි තට්ටු මත ඔවුන්ගෙන් සමහර අය නිදාගෙන ඉන්නවා. තවත් සමහර අය හිසමතත් ගිනි කබලක් තියාගෙන තමා වටේත් ගිනි ගොඩවල් ගසාගෙන සිරුර තවනවා.

එදා බොහෝ භික්ෂූන් වහන්සේලා සැවැත් නුවර පිඬු සිඟා වැඩියා. ජේතවනයට ආපසු වඩින අතරමඟ කලින් කියූ ආකාරයේ නොයෙක් තපස් චර්යාවෙන් සිරුර පෙළමින් විමුක්තිය සොයන අන්‍ය තීර්ථකයන්ව දැක ගන්ට ලැබුනා. ඉතින් ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේ බැහැදැක වන්දනා කොට මෙය කියා සිටියා.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, අපට අද ගොඩාක් තවුසන් නොයෙක් ආකාරයෙන් සිරුරට දුක් දෙමින් තපස් කරන හැටි දැකගන්ට ලැබුනා. ඔය අන්‍ය තීර්ථකයන්ගේ ව්‍රත සමාදන්වීම්වල කිසියම් ප්‍රයෝජනයක් ඔවුන්ට තියෙනවා ද?”

“මහණෙනි, ඔය වෙහෙසෙන දෙයින් ඔවුන්ට කිසිම ප්‍රයෝජනයක් නෑ. කිසිම විශේෂයක් උපදවාගන්ට බෑ. මහා බරපතල විදිහට වෙහෙස වෙවී, සොය සොයා යන්නේ වැසිකිළි වලකට යන පාරක යනවා වගේ. ඔය තීර්ථකයන්ගේ වැඩෙත් පොළොව පෙරලෙනවා ය කියා ශබ්දයට භයවෙලා දුවපු සාවාගේ කතාවට දෙවෙනි නෑ. නොසොයා නොබලා නොවිමසා කරන්නන් වාලේ අන්ධානුකරණයෙන් කිරීමක් තියෙන්නේ.”

“අනේ ස්වාමීනී, ශබ්දයට භය වෙලා පොළොව පෙරලීගෙන එනවා ය කියා දිවීම ගැන කතාවක් අපි කලින් අහලා නෑ. එය අපට කියා දෙන සේක්වා!” කියා භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. භාග්‍යවතුන් වහන්සේ මේ අතීත කතාව ගෙනහැර දක්වා වදාළා.

“මහණෙනි, ගොඩාක් ඉස්සර කාලෙක බරණැස් පුරේ බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙක් රාජ්‍ය විචාරමින් සිටියා. ඔය කාලේ මහාබෝධිසත්වයෝ සිංහයෙක් ව ඉපදිලා මහා වනාන්තරේ වාසය කළා. ඔය දවස්වල බටහිර මුහුද අසල බෙලිගස්වලින් ද යුක්ත වූ තල්ගස් යායක් ඇති තල් වනයක් තිබුනා. ඔය වනේ එක්තරා බෙලි ගසක් යට පිහිටි තල් පැලයක සෙවනේ සාවෙක් වාසය කළා.

දවසක් මේ සාවා වනේ ඇවිද උඳුපියලිය කාලා පැන් බීලා ඇවිත් තල් ගසේ තල් කොලයක් යට හාන්සි වෙලා මෙහෙම කල්පනා කරමින් සිටියා. “අනේ හැබෑටම… බැරිවෙලාවත් මේ සා විශාල මේ මහා පොළොව පෙරලුනොත් මං දුවන්නේ කොයිබට ද?” කියලා. ඔහොම සිත සිතා ඉන්නකොටම බෙලි ගසින් මහා බෙලි ගෙඩියක් හාවා සිටිය තල් කොළය මතට දඩාං යන බිහිසුණු ශබ්දය දීගෙන වැටුනා. සාවා උඩ වීසිවෙලා බිම වැටුනා වගේ වුනා. හොඳටෝම භය බිරාන්ත වුනා. උන්නු තැනින් අහකට විසික් වුනා. මහා මරණභයක් හටගත්තා.

“හපේ අප්පෝ… මං ඉවරෝ… මහපොළොව පෙරලීගෙන එනවෝ” කියලා ඒ ගස පැත්තේවත් නොබලා එක පිම්මේ කඩාගෙන බිඳගෙන දුවන්ට පටන්ගත්තා. එතකොට අසල සිටිය තව සාවෙක් “හපොයි… ඔහේට මක් වුනැයි…? මොකෝ මේ මහා භීතියකින් පණ කඩාගෙන දුවන්නේ?” කියලා ඇහැව්වා. “මගෙන් අහන්ට නම් එපෝ… අපි විනාශයි!” කියලා හාවා දිගටම දිව්වා. “හපොයි… හපොයි… මහා භයානක විපැත්තියක් වගේ” කියලා එතකොට ඒ සාවාත් අර සාවාගේ පස්සෙන් දිව්වා. දුවන ගමන් ඇහැව්වා “අනේ කියාපං… මොකදෑ උනේ!” එතකොට සාවා මොහොතක් ගමන වේගෙ අඩුකරලා තල්ගස පැත්ත නොබලාම “ආං අර පැත්තෙන් මහපොළොව පෙරලීගෙන එනවෝ… හයියෝ!” කියාගෙන දිව්වා. මෙය දුටු අනිත් හාවොත් හොඳටෝම භය වුනා. එක රංචුවට ම පණ කඩාගෙන දුවන්ට තියාගත්තා. මේ විදිහට දුවන හා පිරිස දහස් ගණනක් වුනා.

එතකොට මුවෙක් මෙයාලා දුවනවා බලාගෙන සිටියා. “බොලා මොකෝ මේ දුවන්නේ?” කියලා ඇහැව්වා. “හැයි… ඔය ඇහෙන් නැද්ද පොළෝ තලේ පෙරලෙනවෝ” කියාගෙන දිව්වා. එතකොට මුවාත් භයවෙලා මෙයාලත් එක්ක දුවන්ට තියාගත්තා. මහා තැතිගැනීමකින් දුවන මේ පිරිසට ඌරෙකුත් එකතු වුනා. තව ටික දුරක් යද්දී ගෝණෙකුත් එකතු වුනා. මී ගවයොත් එකතු වුනා. ගවයොත් එකතු වුනා. කැලේ සිටිය වෙනත් සිංහයෙකුත් එකතු වුනා.

හස්තිරාජයෙක් මේ දුවන පිරිස දැක්කා. “හෝ… හෝ… මොකදෑ මේ පණ කඩාගෙන දුවන්නේ?” කියලා ඇහැව්වා. “පේන්නැද්ද… පොළෝ තලේ පෙරලීගෙන එනවා!” කියලා සත්තුන්ගෙන් පිළිතුරු ලැබුනා. සත්තු සේනාව එක පිම්මේ පණ කඩාගෙන දුවද්දී ඔවුන්ගේ මුළු පිරිස යොදුනක් විතර දුරට දික් වුනා.

එදා බෝධිසත්වයෝ මේ දුවගෙන යන පිරිස දිහා බලා “කොහිදෑ තොපි මේ දුවන්නේ බොලව්?” කියලා ඇසුවා. “හැයි… ඕං… මහපොළොව පෙරලෙනවා” කියාගෙන ඔවුන් නොනැවතී ගියා. බෝධිසත්වයෝ මෙහෙම හිතුවා. “ම්… ම්… ඒක කොහොමෙයි වෙන්නේ? ඒක වෙන්ට බෑ. ඔව්… මේ පොළොව පෙරලෙන්ට බෑ. කවුරුහරි මොකාක්හරි දේකට මුළාවෙලා වෙන්ට ඕනෑ. මං මේකට මැදිහත් නූනොත් මේකුන් ඔක්කෝම දුවන්නේ මුහුද දිහාවට නොවැ. මහා විනාසයක් වේවි. මේකුන්ව බේරගන්ට ඕනෑ” කියලා වේගයෙන් දුවගෙන ගිහින් එක්තරා කඳු ගැටයකට නැගලා “හේයි… නවත්තාපියව් තොපේ ඔය දිවිල්ල!” කියලා මහා හඬින් කෑ ගසා තුන් යලක් සිංහනාද කළා. සිංහනාදයට භය වූ සියලු සත්තු හැකිලී ගොහින් නැවතුනා. සිංහයා සතුන් ළඟට ආවා.

“හා… දැන් කියාපිය… කොහෙදෑ තොපි මේ දුවන්නේ?”

“ම්… මේ… මේ… මහාපොළොව… පෙ… පෙරලෙනවාලු.”

“හරි… කවුද පොළොව පෙරලෙනවා ඉස්සෙල්ලාම දැක්කෙ?”

“අපේ මේ ඇත්රාජයා දැකලා තියෙන්නේ.”

“අනේ නෑ… මං නෙවි… අර සිංහයාලු දැක්කේ.”

“හපොයි නෑ… මං දැක්කෙ නෑ… මට කීවෙත් මේ ව්‍යාඝ්‍රයායි.”

“මට කඟවේණායි කීවේ… නැත්නම් මං මේ අලකලංචි මොකෝවත් දන්නෑ…”

“හා… මට කීවේ අර ගවයා… මේ ගවයෝ… තෝ නොවැ මට කීවේ දුවාපිය පොළෝ තලේ පෙරලෙනවා කියාලා.”

“අනේ මං දන්නවා යැ… මේ… මේ ඉන්නෙ… මේ මී ගවයා මට කීවේ…”

“මට කීවේ… ආං අර ගෝණතඩියා! මං මොකෝවත් දැනං හිටියේ නෑ.”

“ඕ… උඹට මං කීවේ… මට අර හූරුමොටා කීවේ. ඒ නිසයි… මොකෝ මං දැක්කා යැ.”

“අනේ මං දන්නේ නෑ මේ වගක්… ඔය ඉන්නේ මුව නාම්බා. ඕකා තමයි මේකට වග කියන්ට ඕනෑ.”

“ඕං… බලාපල්ලා… තොපි මාව අල්ලාගත්තා… අනේ මං නෙවි… ඔය ඉන්නෙ ගැහ ගැහි… මේ හා රැළ… ඕකුං තමා මේ වැඬේ පටන්ගත්තේ.”

“හනේ… අපි දන්නෙත් නෑ… ඔය ඉන්නේ ඇස් ගෙඩි දෙක ලොකු කොරාන, කන් උස්සාන, ගැහි ගැහී… කටින් සෙම දදා… ඕං… ඔය සාවා තමයි අපට කීවේ.”

“හා… උඹද ඕක දැක්කේ… කියාපං පැටියෝ… උඹ කොහොමෙයි මේ පොළෝ තලේ පෙරලෙන හැටි දැක්කේ?”

“එහෙමයි… ස්වාමී… මං… මං… දැක්කා… හ… හප්පේ.. එහෙම භයානක දෙදුරුම්කන සද්දයක්!”

“ඕ… එහෙනම් කියාපං බලන්ට… ඒ භයානක සද්දය ඇහෙද්දී උඹ කොයිබද හිටියේ?”

“හනේ මං… මං… මහ සයුරට බටහිරින් අර… අර බෙලි ගස් මංඩියක් තියෙන්නේ… ඒක තල්වනයක් නොවැ. එතන විශාල බෙලි ගහක් තියෙනවා නොවැ. ආං එතැන තල් පැළයක් තියෙනවා ඒ තල් පැළේ තල් කොළයක් සෙවනේ මං… හාන්සි වෙලා උන්නා. හප්පේ… මං… නිකාං… නිකමට වාගේ සිතුවේ… දැන් බැරිවෙලාවත් මහා පොළොව පෙරලුනෝතින් දුවන්නේ කොයිබද කියලා… හප්පේ එතකොටම… මේං… බලන්ට ස්වාමි… මයෙ හිරි ගඩු පිපෙන හැටි. හප්පා… එතකොටම මහා භයානක සද්දයක් දීගෙන පොළොව පෙරලෙන්ට පටන්ගත්තා නොවැ. මං පස්ස නොබලාම දුවන්ට තියාගත්තු ගමන තමයි මේ…”

“ඕ… හෝ… හරි ජංජාලයක් නොවැ උඹට වෙලා තියෙන්නේ… හා ඒකට කමක් නෑ… අනිත් තොපිලා හැමෝම ඔහෝම හිටපල්ලා… මං මේකත් එක්ක ගොහින් බලාන එඤ්ඤං. හා… හා පැංචෝ… මෙහෙවර… ම්… නැගපිය මයෙ පිටේ. හොඳට හයියෙන් කේසර අල්ලාගං… අපි දෙන්නා ගොහින් මේකේ ඇත්ත නැත්ත බලාන එන්නම්… තොපිලා විවේක ගනිල්ලා.

ඉතිං සිංහයා හාවාත් පිටේ තියාගෙන තල් වනය බලා වේගයෙන් ගියා. තල්වනයේදී හාවා බිමට බැස්සුවා. “හා… වර දැං… පෙන්නාපිය පොළොව පෙරලෙනවා දුටු තැන…”

“අනේ ස්වාමී… මට නම්… බෑ… හාපෝ… මට ඒ පැත්තට යන්ට බයායි.

“මේං… මෙහෙ වර… භය නොගෙන වර… මං ඉන්නවා නොවැ.”

එතකොට සාවා ඒ බෙලිගසට ළං වෙන්ට බැරිව ඈතින් සිට “ඕං… ඔතනයි… ස්වාමී… පොළොව පෙරලෙන්ට පටන් අරන් බිහිසුණු හඬ මතුවුනේ” කියලා මේ පළමු ගාථාව කීවා.

අනේ ස්වාමී මා වාසය කළේ අන්න තැන
දඩිං බිඩිං කියා පොළොව දෙදුරුම් කාගෙන
ආ තැන ම යි බිහිසුණු හඬ මතු වී ආ තැන
මං දන්නෑ අපට පාත් වී ගිය මේ හෙණ

සාවාගේ මේ කියමන ඇසූ සිංහයා බෙලි රුක යටට ගියා. හාවා හාන්සි වී සිටි තල්ගස යට හොඳට විපරම් කළා. තල් කොළය මත වැටී පොළොවට වැටුනු මහා බෙලිගෙඩියක් එතැන තියෙනවා දුටු සිංහයා හිනැහෙන්ට පටන් ගත්තා. “හිහ්… හිහ්… හී… හරි… හරි… මං කාරණාව හොයාගත්තා. “අනේ… බොලාට නම්… මොළේ ඩිංගිත්ත කුලප්පු වූ හැටි නං යසයි… හා… හා… දැන් නැගපං මයෙ පිට උඩට… කේසර හයියෙන් අල්ලා ගනිං. ඉක්මනින් යන්ට එපායැ. මෙලහකට අනිත් එවුනුත් භයට මක්කරගෙන ද දන්නෑ” කියලා හාවාත් පිටේ තියාන ආපසු හිටි තැනට ම දුවගෙන ආවා. අනිත් සත්තු සේනාව නොඉවසිල්ලෙන් මග බලාන හිටියා. සිංහයා ඇවිත් සාවා බිමට බස්සවා පිරිස ඇමතුවා.
“හහ්… හහ්… හා… හිහ්… හිහ්… හී… මේ… මේ… හා පුංචා නිදා උන්නු තල්කොළේ උඩට බෙලි ගෙඩියක් වැටිලා නොවැ. ඒ වෙලාවේ මේකා අහස පොළොව ගැටලන්ට තරමට කල්පනා කොර කොර ඉඳලා තියෙන්නේ ‘හප්පෝ… දැන් බැරිවෙලාවත් මහපොළොව පෙරලීගෙන ආවොත් දුවන්නේ කොයිබද’ කියලයි… හිහ් හී… එතකොට ම යි බෙලි ගසෙන් බෙලි ගෙඩියක් තල් කොළේ උඩට වැටිලා තියෙන්නේ. ඒ සද්දෙටයි මේකා මුළා වුනේ. තව පොඞ්ඩෙන් තොපි ඔක්කෝම දුවලා නවතින්නේ මහසාගරේ. තොපි මුහුදු රැල්ලට ගසාගෙන ගොහින් මහා වින්නැහියක් වෙන්ට තිබ්බා” කියා සිංහයා ඔවුන් මුළාවට පත්ව සිටි මහා විපතකින් බේරගත්තා.

මෙය වදාළ අපගේ භාග්‍යවතුන් වහන්සේ මේ ගාථාවන් වදාළා.

බෙලි ගෙඩියක් තල්පත මත වැටෙනවා ඇසූ
සාවා භය වුනා පොළොව පෙරලෙන හඬ යයි කියා
දිව්වා පණ රැකගන්නට යළි ඒ දෙස නොම බලා
ඔහුගේ බස් ඇසූ අනිත් සියලු සතුන් භය වුනා

අනුන්ගේ ඇසූ හැම දේ ගෙඩිය පිටින් ගිලගෙන
ඇත්ත නැත්ත ගැන කිසිවක් – සොයා බලා නොම ගෙන
කියන සියලු දේ හැබෑය කියා ඔවුන් පිළිගෙන
වැටුනා මහ කරදරේක මෝඩ රැලක් විලසින

සීලයෙකින් යුතුව ඇලී ඉන්ද්‍රිය සංවරයට
නුවණ ඇතිව තමන් කරන දේ මැනවින් දැනගෙන
තමා තුළ ම මුළා නොවී නුවණත් ඇති කරගෙන
නුවණැත්තෝ වැඩ කරත් ය – කෙලෙසුන්ගෙන් දුරුවන
අනුන්ගේ බොරු බස් අසා – තම ඉරණම ඔවුන්ට ම පවරා
මුළාවෙලා වැඩ නොකරත් නුවණැත්තෝ

මහණෙනි, ඔය අන්‍යතීර්ථකයන්ට වැරදුනේ ඔවුන් ඇසුවේ වැරදි දහමක් නිසා. ඔවුන් ඇසූ දේ නොසොයා, නොබලා, නොවිමසා පිළිගෙන අන්ධානුකරණයෙන් කටයුතු කිරීම නිසා තමන් තුළ ම යි මුළාව ඇති වුනේ.

මහණෙනි, එදා හාවාගේ බස් අසා මුළාවෙලා මහා කරදරේක වැටී සිටින සතුන්ට සිහිනුවණ උපදවා ඔවුන්ව විපතින් බේරාගත් සිංහයා වෙලා සිටියේ මම” යි කියා භාග්‍යවතුන් වහන්සේ මේ ජාතකය නිමවා වදාළා.

සරල සිංහල පරිවර්තනය – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

මෙවැනි ලස්සන ජාතක කථා කියවන්න කැමැති නම්  පිවිසෙන්න  >>> 

දද්දභ,,,  දද්දභ ,,, දද්දභ,,, දද්දභ  ,,,දද්දභ,,,  දද්දභ ,,,  දද්දභ,,