01. සිය පියාණන් වූ බිම්බිසාර මහරජු මරවා මගධය රජකළ අජාසත් රජු සෙයින් ම ඒ අජාසත් රජුගේ පුත්‍රයා වූ උදායිභද්‍ර කුමාරයාත් සිය පීතෘ සෙනෙහස වනසාගෙන අසත්පුරුෂ මිත්‍රද්‍රෝහියෙකු වුනා. සිය පියාණන් වූ ඒ අජාසත් රජු ඝාතනය කෙරෙව්වා. ඊටපසු ඔහු මගධයෙහි දහසය වසරක් රජකම් කළා.

02. ඒ උදයභද්‍ර රජ්ජුරුවන්ට අනුරුද්ධ නමැති පුත්‍රයෙක් හිටියා. ඔහුත් සිය පියාණන් වූ උදායිභද්‍ර රජු මරවා රජකම ගත්තා. ඒ අනුරුද්ධ රජ්ජුරුවන්ට මුණ්ඩ නමැති පුත්‍රයෙක් හිටියා. ඔහුත් සිය පියාණන් වූ අනුරුද්ධ රජු මරවා මගධයෙහි රජකම ගත්තා.

03. අනුරුද්ධ, මුණ්ඩ යන ඒ අසත්පුරුෂ, මිත්‍රද්‍රෝහී, මිසදිටු ගත් රජවරු දෙන්නා මගධ රාජ්‍යයෙහි අටවසරක් රජකම් කළා.

04. ඒ මුණ්ඩ රජ්ජුරුවන්ට නාගදාසක නමින් පුත්‍රයෙක් හිටියා. ඔහුත් සිය පියාණන් වූ මුණ්ඩ රජුව ඝාතනය කෙරෙව්වා. ඒ පාපී රජු වසර විසි හතරක් මගධයෙහි රජකම් කළා.

05. එතකොට මගධ නගරවාසීන් ‘තම තමන්ගේ පියවරු මර මරා රජවෙන මේ වංශය නීච පරපුරක් නොවැ’ කියලා හොඳට ම කිපුනා. ඒ නගරවාසීන් එකතු වෙලා නාගදාසක රජුව බලයෙන් පහකෙරෙව්වා.

06. ඒ නගරවැසියෝ ඉතා යහපත් යැයි සම්මත ප්‍රසිද්ධ වූ සුසුනාග නමැති ඇමතිවරයාව සියල්ලන්ගේ හිතසුව කැමැතිව මගධ රාජ්‍යයෙහි යහපත් රජෙකු ලෙස අභිෂේක කළා.

07. ඒ සුසුනාග රජ්ජුරුවෝ මගධ රාජ්‍යයෙහි අභිෂේකය ලබා දහඅට අවුරුද්දක් රජකම් කළා. ඒ රජ්ජුරුවන්ට කාලාශෝක නමින් පුත්‍රයෙක් හිටියා. ඔහු විසි අට අවුරුද්දක් මගධයෙහි රජකම් කළා.

08. කාලාශෝක රජ්ජුරුවෝ මගධයෙහි අභිෂේක ලබා දස අවුරුද්දක් ගතවෙද්දී අපගේ සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු සීයක් ගත වුනා.

09. ඒ කාලයෙහි විසාලා මහනුවර වජ්ජින් අතරින් පැවිදිව වාසය කළ නොයෙක් භික්ෂූන් වහන්සේලා කරුණු දහයක් හොඳයි කියලා සම්මත කරගෙන සිටියා. එනම්, i. ගමනක් යද්දී අඟක ලුණු දමාගෙන යෑම කැපය, ii. ඉර අවරට ගොස් අඟල් දෙකක් ඉක්ම යනකම් දන් වැළඳීම කැපය, iii. ඒ වගේ ම මේ ගමෙන් වළඳා වෙනත් ගමකට යන අතරමගදී කලින් වළඳා ඉතිරි වූ දෙයක් නැවතත් වැළඳීම කැපය,

10. iv. මහ ආවාසයක් වන විහාරයක ලොකු සීමාවක් තුළ වෙන් වෙන්ව පොහොය කර්ම කිරීම කැපය, v. සංඝයාගේ කැමැත්ත නොගෙන විනය කර්මයක් කිරීමෙන් පසු ඒ පිළිබඳ පවසා කැමැත්ත ගැනීම කැපය, vi. තමන්ගේ ආචාර්ය පරපුරෙන් කරගෙන ආ දෙය එසේම කරගෙන යෑම කැපය, vii. දන් වැළඳීමෙන් පසු වෙනත් අසුනක වාඩි වී කිරි බවට පත් නොවූ නොමේරූ කිරි වැළඳීම කැපය, viii. සුරා බවට පත් නොවූ තෙලිජ්ජ පානය කිරීම කැපය, ix. වාටිය මසා නොමැති වාඩි වීමට ගන්නා නිසීදනයක් පරිහරණය කිරීම කැපය, x. රන් රිදී මිල මුදල් පිළිගෙන පරිහරණය කිරීම කැපය යන කරුණු දහය ය.

11. ඒ විසාලා නුවරවැසි භික්ෂූන් දැනුවත්ව ම කැප නොවූ දේ කැප යැයි සම්මත කිරීමෙන් ලැජ්ජාව සිඳගත් නිසා අලජ්ජී නමින් හැඳින්වුනා. ඔවුන් ඒ කරුණු දහය කැප යැයි ප්‍රසිද්ධියට පත්කළා. එය අසන්නට ලැබුණු යස නමැති තෙරුන් වහන්සේ වජ්ජි ජනපදයන්හි චාරිකාවෙහි වැඩියා.

12. කාකණ්ඩ නම් බ්‍රාහ්මණයාගේ පුත්‍රයා වූ ඒ ෂඞ් අභිඥා බලයෙන් යුක්ත වූ යස තෙරුන් වහන්සේ මෙම දස කරුණ පිළිබඳව විනය අර්බුදය සංසිඳවන්නට උත්සාහ කරමින් විසල් පුරයෙහි මහ වනයේ කූටාගාර විහාරයට වැඩියා.

13. ඒ වජ්ජිපුත්තක භික්ෂූහු විසල්පුර මහවනයේ කූටාගාර විහාරයෙහි සංඝයාගේ පොහොයගේ මැද ජලය පිරවූ රන් පැහැති පාත්‍රයක් තැබුවා. ‘උපාසකවරුනි, සංඝයාගේ ප්‍රයෝජනය පිණිස රන් කහවණු ආදිය පූජා කරව්’ කියලා කිව්වා.

14. එතන සිටි යස තෙරුන් වහන්සේ ‘උපාසකවරුනි, එපා රන් කහවණු ආදිය පූජා කරන්ට. ඒවා සංඝයාට පිළිගැනීමට කැප නෑ’ කියලා එය වැළැක්වුවා. එතකොට ඒ වජ්ජිපුත්තක භික්ෂූන් ගිහියන්ට තමන් අතින් වරදක් වූ විට සංඝයාගේ අනුමැතියෙන් ඒ ගිහියන් ළඟට ගොස් ඒ වරදට සමාව ගැනීමට නියම කිරීමේ විනය කර්මය වන පටිසාරණීය කර්මය යස තෙරුන්ට කළා.

15. එතකොට යස තෙරුන් වහන්සේ විනයෙහි සඳහන් පරිදි ඒ ගිහියන්ගේ සමාව ගැනීමේ කටයුත්තට තමන් සමඟ යෑම පිණිස අනුදූත භික්ෂුවක් ඉල්ලා ගත්තා. ඒ භික්ෂුවත් සමග විසල්පුරයට වැඩියා. තමන් පැවසූ කරුණෙහි ඇති ධර්මානුකූල බව විසල්පුරවාසී උපාසකවරුන්ට පහදා දුන්නා.

16. ඒ අනුදූත භික්ෂුව යස තෙරුන් සමඟ ආපසු ඇවිත් විසල්පුර භික්ෂූන්ට කියාසිටියේ තමන්ගේ කතාව ධර්මයට එකඟ වූ බවත් මිල මුදල් පිළිගැනීම අධර්මය බවත් ඒ විසල්පුර රජු සහිත නගරවාසීන්ව යස තෙරුන් දැනුවත් කළ බවයි. එයින් කෝපයට පත් ඒ භික්ෂූන් යස තෙරුන්ව විනය කර්මයක් තුළින් සංඝයාගෙන් නෙරපීම පිණිස සූදානම්ව යස තෙරුන් සිටි කුටිය වටකළා.

17. යස තෙරුන් වහන්සේ අහසට පැන නැගී කොසඹෑ නුවර ඝෝෂිතාරාමයට වැඩියා. පාවා නුවරවාසී භික්ෂූන්ටත් අවන්ති නුවරවාසී භික්ෂූන්ටත් මේ අර්බුදය සංසිඳවීම පිණිස වහා දූත භික්ෂූන් පිටත් කළා.

18. යස තෙරුන් වහන්සේ එසේ දූත භික්ෂූන් පිටත් කොට යැව්වා. තමන් වහන්සේ අහෝගංග පර්වතයෙහි සාණ වනයෙහි වැඩසිටි සම්භූත මහරහතන් වහන්සේට ඒ සියල්ල පවසා සිටියා.

19. එතකොට පාවා නුවරවාසී තෙරුන් වහන්සේලා සැට නමකුත් අවන්ති රටවාසී තෙරුන් වහන්සේලා අසූ නමකුත් වන ඒ සියලු මහ රහතන් වහන්සේලා අහෝගංග පර්වතයට අහසින් වැඩියා.

20. ඒ අහෝගංග පර්වතයට ඒ ඒ තැනින් සාකච්ඡා කොට රැස්වූ කෙලෙස් හුල් නැති සියලු භික්ෂූන් වහන්සේලාගේ ගණන අනූදහසක් වුනා.

21. ඒ තෙරුන් වහන්සේලා විනයගරුක සංඝයාගේ එකතු වීමට ප්‍රමුඛ කාලය බව දැනගත්තා. ඒ අවධියේ සෝරෙය්‍ය ජනපදයෙහි වැඩසිටි ධර්ම විනයෙහි බහුශ්‍රැත වූ රේවත මහරහතන් වහන්සේව බැහැදැකීමට පිටත් වුනා.

22. රේවත මහරහතන් වහන්සේට මෙම විනය අර්බුදය පිළිබඳව කරුණ දිව්‍ය ශ්‍රවණයෙන් අසන්ට ලැබුනා. උන්වහන්සේ හුදෙකලාවේ ගමන් කිරීම තමන්ට පහසුවක් බව දැන එයට කැමති වෙලා එසැණින් ම විසාලා මහනුවර බලා වැඩවීමට සෝරෙය්‍ය ජනපදයෙන් පිටත්ව වැඩියා.

23. ඒ රේවත මහරහතන් වහන්සේ උදේ උදේ නික්මී වැඩි තැනට අර භික්ෂූන් වහන්සේලා සවස සවස පැමිණෙමින් අවසානයේදී සහජාතිය නම් ස්ථානයේදී මුණගැසුනා.

24. එහිදී රේවත මහරහතන් වහන්සේ භික්ෂූන්ට ධර්ම කථාව වදාළා. ඒ ධර්මශ්‍රවණයෙහි අවසානයේදී සම්භූත තෙරුන් වහන්සේ විසින් විසාලා මහනුවර භික්ෂූන් තුළ ඇති වී තිබෙන තත්වය උතුම් රේවත තෙරුන් හට පවසන්නට කියා යස තෙරුන්ට පැවරුවා.

25. එතකොට යස තෙරුන් රේවත මහරහතන් වහන්සේගෙන් විසාලා මහනුවර වජ්ජී භික්ෂූන් කැප යැයි සම්මත කරගෙන සිටින කරුණු දහය විනයට අනුකූල වන කැප දෙයක් දැයි අසා සිටියා. මහරහතන් වහන්සේ එය විනයට අනුකූල නැති අකැප දෙයක්ය කියා ප්‍රතික්ෂේප කළා. මෙසේ මේ විනය අර්බුදය ඇසූ රේවත මහරහතන් වහන්සේ අපි මෙය මෙසේ වීම වළක්වමු කියලා වදාළා.

26. විසාලා නුවරවැසි දොස් සහිත වජ්ජිපුත්තක භික්ෂූන්ට මෙය දැනගන්ට ලැබුනා. තමන්ගේ අදහසට පක්ෂවත් ප්‍රධාන සඟ පිරිසක් රැස්කරගැනීමේ බලාපොරොත්තුව ඇතිවුනා. ඒ අනුව ශ්‍රමණයන් හට ගැලපෙන සිවුරු ආදී බොහෝ පිරිකර බඩුත් රැගෙන රේවත මහරහතන් වහන්සේ බැහැදකින්ට ආවා.

27. ඒ විසල්පුරවාසී භික්ෂූන් සහජාතිය නම් ස්ථානයට ඉක්මන් කරලා නැවෙන් පැමිණුනා. දන් වළඳන වේලාව පැමිණිය නිසා එහිදී දානය වැළඳුවා.

28. ඒ අවස්ථාවෙහි, පිරිනිවන් පා වදාළ ආනන්ද මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුවක් වූ සාළ්හ නම් රහතන් වහන්සේ වැඩසිටියේත් සහජාති නම් ප්‍රදේශයේ. උන්වහන්සේ මේ අර්බුදය විසඳන්ට මුල් වන පාවා නුවරවැසි භික්ෂූන් වහන්සේලා ධර්මානුකූලව කරුණු කියන පිරිසක්දැයි සිත යොමුකොට නුවණින් බැලුවා.

29. එතකොට මහා බ්‍රහ්මයා ඒ සාළ්හ තෙරුන් අභියස පෙනී සිට ධර්මය තුළ සිටිනු මැනවැයි පැවසුවා. ඒ සාළ්හ තෙරුන් වදාළේ තමන් වහන්සේ නිරන්තරයෙන් ධර්මය තුළ පිහිටා සිටින සිතකින් ඉන්න බවයි.

30. කලින් කියූ විසල්පුරවාසී දොස් සහිත වජ්ජිපුත්තක භික්ෂූන් වහන්සේලා තමන්ගේ පිරිකරත් රැගෙන රේවත මහරහතන් වහන්සේව බැහැදැක්කා. පිරිකර ප්‍රතික්ෂේප කළ උන්වහන්සේ ඒ දොස් සහිත භික්ෂූන්ගේ පක්ෂය ගත් තමන්ගේ ශිෂ්‍ය භික්ෂුවකුත් ‘තොප මාවත් අධර්මයේ යොදවන්ට එනවාද?’යි කියා නෙරපා දැම්මා.

31. එතකොට ඒ දොස් සහිත භික්ෂූන්ට තමන් සඳහා පක්ෂපාතී පිරිසක් හදාගන්ට බැරිවුනා. සහජාති නම් ස්ථානයෙන් පිටත් ව විසාලාවට ගොස් එතනින් පුෂ්ප පුරය නම් වූ පාටලීපුත්‍ර නුවරට ගියා. කාලාශෝක මහරජ්ජුරුවන්ට මෙහෙම කිව්වා.

32. “අපගේ ශාස්තෘන් වහන්සේගේ උතුම් සුගන්ධ කුටිය රැකබලා ගනිමින් වජ්ජි භූමියෙහි විසාලා මහනුවර මහාවනයේ කූටාගාර විහාරයේ සිටින්නේ අප ය.

33. මහරජ්ජුරුවෙනි, අපගේ කූටාගාර විහාරය අල්ලා ගන්ට ඕනෑය කියා ග්‍රාමවාසී භික්ෂූන් එහි පැමිණෙමින් ඉන්නවා. ඔවුන්ගේ ඒ ක්‍රියාව වළක්වනු මැනව.”

34. එසේ කාලාශෝක රජ්ජුරුවන්ව නොමග යවා ඒ භික්ෂූන් විසාලාවෙහි කූටාගාර විහාරයට ගියා. රේවත මහරහතන් වහන්සේ සමීපයෙහි මේ සහජාති නම් ස්ථානයෙහි,

35. රැස් වූ එකොළොස් ලක්ෂ අනූදහසක් වූ භික්ෂූන් වහන්සේලා මේ සහජාති නම් ස්ථානයේදී ම අර වජ්ජි භික්ෂූන් අනුගමනය කරමින් සිටින දස වස්තුවෙන් හටගත් අර්බුදය විසඳනු මැනවයි රේවත තෙරුන්ට පැවසුවා.

36. ප්‍රශ්නය හටගත්තු තැන මිසක් වෙනත් තැනකදී එය විසඳීම ගැන රේවත මහරහතන් වහන්සේ රුචි කළේ නෑ. එනිසා ඒ රේවත තෙරුන් වහන්සේත් සියලු භික්ෂූනුත් එතැනින් විසාලා මහනුවරට වැඩියා.

37. නොමග යවා සිටි කාලාශෝක රජ්ජුරුවෝ “ඒ කූටාගාර විහාරයට බලෙන් ආපු ග්‍රාමවාසී භික්ෂුන්ව නෙරපව්. එහි කලින් සිටි භික්ෂූන්ට එම විහාරය ආපසු දෙව්” කියලා ඇමතිවරුන් ව පිටත් කෙරෙව්වා. දෙවියන්ගේ දේවානුභාවය නිසා ඔවුන් මංමුළා වුනා. වෙන වෙන තැන් වලට ගියා.

38. ඇමතිවරුන් යවාපු එදා රාත්‍රියේ කාලාශෝක රජ්ජුරුවෝ නින්දේ දී සිහිනයක් දැක්කා. තමන් ලෝකුඹු නිරයේ වැටිලා දුක් විඳින විදිහටයි දැක්කේ.

39. අතිශයින් ම භයට පත් වී සිටි ඒ රජ්ජුරුවන්ව අස්වසාලන්ට ඔහුගේ නැගිණියක වන නන්දා නම් රහත් භික්ෂුණීන් වහන්සේ මාළිගයට අහසින් වැඩම කළා.

40. “මහරජ්ජුරුවෙනි, ඔබ විසින් බරපතල අකුසල කර්මයක් කරගෙන තියෙනවා නොවැ. එනිසා ධාර්මික පක්ෂයේ සිටින මහා සංඝයා වහන්සේලා කමා කරවා ගන්ට. උන්වහන්සේලාගේ පක්ෂය ගෙන බුද්ධ ශාසනයට අනුග්‍රහ දක්වන්ට.

41. ඔය විදිහට කළොත් ඔබතුමාට යහපතක් වෙනවා ම යි” කියලා ඒ භික්ෂුණිය ආපසු වැඩියා. පසුදින උදෑසනින් ම කාලාශෝක රජ්ජුරුවෝ විසාලා මහනුවර බලා පිටත් වුනා.

42. විසාලා මහනුවර මහවනයේ කූටාගාර ශාලාවට ගියා. මහා සංඝයා වහන්සේව රැස්කෙරෙව්වා. දෙපක්ෂයේ ම වාදයට හොඳින් සවන් දුන්නා. ධර්මවිනයානුකූලව දස වස්තු අකැපයි කියා පෙන්වා දුන් භික්ෂූන් වහන්සේලාගේ පක්ෂය ගන්ට රජ්ජුරුවෝ කැමති වුනා.

43. කාලාශෝක රජ්ජුරුවෝ ඒ සියලු ධාර්මික භික්ෂූන්ව කමාකරවා ගත්තා. තමාත් ධාර්මික භික්ෂූන්ගේ පක්ෂයේ සිටින බව පැවසුවා. ‘මාගේ ආඥාවත් ඔබවහන්සේලාගේ ධර්ම විනිශ්චයත් එකම පක්ෂයේ සිටින නිසා කිසි සංකාවක් නැතුව කැමති පරිදි,

44. බුද්ධ ශාසනයේ දියුණුවට කටයුතු කරන්ට’ කියලා කිව්වා. ඒ ධාර්මික භික්ෂූන් වහන්සේලාගේ ආරක්ෂාවත් සැලැස්සුවා. තමන්ගේ පාටලීපුත්‍ර නගරයට පිටත් වුනා.

45. දස වස්තුවේ කැප අකැප බව පිළිබඳව පැහැදිලි විනිශ්චයකට පැමිණීමට සංඝයා වහන්සේ ඒ අවස්ථාවෙහි රැස්වුනා. එහිදී සංඝයා මැද කොණක් පොටක් නොමැති නොයෙක් කතාබහ ඇතිවුනා.

46. සංඝයා වහන්සේ අතර හටගත්තු ඒ නොයෙක් කතාබහ තිබෙද්දී එතනට වැඩම කළ රේවත මහරහතන් වහන්සේ සංඝයා අතර පෙනී හිටියා. සංඝයාගෙන් එම අර්බුදය බැහැර කරවලා දෙපක්ෂයෙන් ම සතර නම බැගින් විනයධරයන් තෝරාගෙන කරනු ලබන උබ්භාහික විනය කර්මයෙන් සමථයට පත්කරන්ට තීරණය කළා.

47. බටහිර දිසාවෙහි වැසි භික්ෂූන්ගෙන් ද සතර නමක් තෝරාගත්තා. පාවා නුවරවැසි භික්ෂූන්ගෙනුත් සතර නමක් තෝරාගත්තා. ඒ භික්ෂූන් අට නම තෝරාගත්තේ දස වස්තුව අකැප ද කැපද යන්න පිළිබඳව තීරණයක් ගැනීමටයි.

48. සබ්බකාමී, සාළ්හ, ඛුජ්ජසෝභිත, වාසභගාමික යන මේ තෙරුන් වහන්සේලා සතර නම බටහිර දිග වාසය කරන භික්ෂූන් වෙනුවෙන් තෝරාගත්තා.

49. පාවා නුවරවැසි භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් රේවත, සාණ වනවාසී සම්භූත, කාකණ්ඩපුත්‍ර යස සහ සුමන යන මේ තෙරුන් වහන්සේලා සතර නම තෝරාගත්තා.

50. අට නමක් වූ මේ අර්හත්වයට පත් වූ තෙරුන් වහන්සේලා ඒ දස වස්තුව පිළිබඳව තීරණයකට පැමිණීම පිණිස නිශ්ශබ්දතාවයෙන් යුක්ත වූ අවුල් වියවුල් නැති විසාලා මහනුවර වාලුකාරාමයට වැඩම කළා.

51. ඒ වාලුකාරාමයෙහි වැඩසිටි අජිත නමැති නවක භික්ෂූන් වහන්සේ නමක් විසින් යහපත් ලෙස ආසන පැණෙව්වා. අප මහා මුනීන්ද්‍රයන් වහන්සේගේ අදහස් මොනවාදැයි හොඳාකාරව දන්නා මහතෙරුන් වහන්සේලා ඒ අසුන්හි වැඩ සිටියා.

52. ප්‍රශ්න විමසීම පිළිබඳ කරුණු වලදී ඉතා දක්ෂ වූ රේවත මහරහතන් වහන්සේ ඒ දස වස්තුවෙහි තිබෙන කාරණා එකක් එකක් පාසා සබ්බකාමී තෙරුන් වහන්සේගෙන් විමසා වදාළා.

53. රේවත තෙරුන් වහන්සේ විසින් විමසන ලද සබ්බකාමී මහතෙරුන් වහන්සේ පිළිතුරු දුන්නා. දස වස්තුවට අයත් සියල්ල ම කැප නැති බවට බුද්ධ දේශනාවලින් කරුණු පෙන්නුවා.

54. ධර්ම විනයට අනුකූල නොවේ යැයි ඒ දස වස්තුවෙන් හටගත් අර්බුදය බැහැර කරලා එතනින් නික්මුනා. නැවත විසාලා මහනුවර මහවනයේ කූටාගාර විහාරයට වැඩියා. එතනදිත් කලින් විදිහට ම ප්‍රශ්න ඇසීමත් බුද්ධ වචනය තුළින් විසඳා එය අකැප බව විනිශ්චය කිරීමත් කළා.

55. ඒ විනිශ්චයකාරක මහා තෙරුන් වහන්සේලා අට නම දස වස්තුව කැපසරුප් දේ ලෙස ප්‍රසිද්ධියට පත් කළ දොස් සහිත වූ දස දහසක් භික්ෂූන්ට නිග්‍රහ කළා.

56. ඒ කාලයේ මහා පෘථිවියෙහි සංඝස්ථවිරයන් වහන්සේ ලෙස වැඩසිටියේ සබ්බකාමී මහරහතන් වහන්සේය. උන්වහන්සේ උපසම්පදාව ලබා එකසිය විසි අවුරුද්දක වස් ඇතුව වැඩසිටියා.

57. සබ්බකාමී, සාළ්හ, රේවත, ඛුජ්ජසෝභිත, කාකණ්ඩපුත්‍ර යස, සාණ වනවාසී සම්භූත යන,

58. මේ තෙරුන් වහන්සේලා සය නම අපගේ ආනන්ද මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ය. වාසභගාමික සහ සුමන යන තෙරුන් වහන්සේලා දෙනම,

59. අනුරුද්ධ මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ය. මහා වාසනාවකින් යුතු මේ ස්ථවිරයන් වහන්සේලා අට නම අපගේ භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩසිටියදී උන්වහන්සේව දකින්ට පින් තිබූ තෙරවරු ය.

60. එදා දස දහසක් වූ දොස් සහිත භික්ෂූන් ද ඇතුලු කොට විසාලා මහනුවර මහවනයේ කූටාගාර විහාරයට රැස්වූ භික්ෂූන්ගේ ගණන දොළොස් ලක්ෂයක් වුනා. ඒ සියලු භික්ෂූන් වහන්සේලා අතර අග්‍රව වැඩසිටියේ රේවත මහරහතන් වහන්සේ ය.

61. එතකොට ඒ රේවත මහරහතන් වහන්සේ මෙවැනි අර්බුදයන්ගෙන් තොරව සද්ධර්මය බොහෝ කාලයක් සුවසේ පවත්වනු පිණිස ධර්ම සංගායනාවක් කරන්නට කල්පනා කළා. ඒ සියලු භික්ෂූන් වහන්සේලා අතුරින්,

62. අර්ථ, ධර්ම, නිරුක්ති, පටිභාන යන සතර පටිසම්භිදාවෙන් යුක්ත වූ ත්‍රිපිටකධාරී වූ රහතන් වහන්සේලා සත්සිය නමක් තෝරාගත්තා.

63. ඒ සියලු රහතන් වහන්සේලා වාලුකාරාමයට රැස්වුනා. කාලාශෝක රජ්ජුරුවන්ගෙන් රැකවරණ ලැබුනා. රේවත මහරහතන් වහන්සේ මුල්කොට ඒ තෙරුන් වහන්සේලා දෙවන ධර්ම සංගායනාව කළා.

64. කලින් ධර්ම සංගායනාව කළ පරිද්දෙන් ම සංගායනාව කළා. බුද්ධ පරිනිර්වාණයෙන් පසු කුමාර කාශ්‍යප මහරහතුන් විසින් පායාසී රජුට දේශනා කළ පායාසී සූත්‍ර ආදියත් එක් කළා. මෙසේ දෙවන ධර්ම සංගායනාව මාස අටකින් නිමාවට පත් කළා.

65. ඔය විදිහට මහා කීර්තිමත්ව වැඩසිටි ඒ රහතන් වහන්සේලා දෙවන ධර්ම සංගායනාව කළා. රාගාදී සියලු දෝෂයන් ක්ෂය කොට රහත් බවින් යුතුව වැඩසිටි උන්වහන්සේලා පිරිනිවීමට සුදුසු කාලයේ දි පිරිනිවන් පෑවා.

66. ඔය විදිහට පරම ප්‍රඥාව නම් වූ රහත් බවට පැමිණීමට යුතු වූ උත්තමයන් රහත් බවට පැමිණියා. තුන් ලෝකයට ම හිතසුව පිණිස වැඩ සැලැස්සුවා. ලෝකනාථ මුනිඳාණන්ගේ ඖරස පුත්‍රයන් වහන්සේලා උන්වහන්සේලා ය. සියලු සංස්කාර ධර්මයන්ගේ හරයක් නැති බව පෙන්වමින් උන්වහන්සේලාත් නිරතුරුව සිහි කරන්නා වූ මරණසතියෙන් යුක්තව පිරිනිවන් පා වදාළා. මේ කාරණය ද ඉතා මැනවින් සිහිකොට මෙය අසන්නවුනුත් මරණසතිය වැඩීම පිණිස අප්‍රමාදී වෙන්ට ඕනෑ.

සත්පුරුෂ ජනයන්ගේ ප්‍රසාදයත් සංවේගයත් ඇතිකරනු පිණිස කරන ලද මහාවංශයෙහි දෙවන ධර්ම සංගායනාව නම් වූ සිව්වෙනි පරිච්ඡේදය යි.