01. අප භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු සතරවෙනි මාසයෙහි අපගේ මහාකස්සප මහරහතන් වහන්සේ ආදී මහරහතුන් විසින් පළමුවෙන් ම යම් සංගායනාවක් කළා ද, ඒ පළමු ධර්ම සංගායනාවට කියන්නේ ‘ථේරියා’ කියලයි. ඒ කියන්නේ තෙරුන් වහන්සේලාගේ දෙය කියලයි.

02. ඒ ථේරියා නම් වූ ථේරවාදය පමණ ම යි මුල් අවුරුදු සීය ඇතුළත තිබුනේ. දෙවන ධර්ම සංගායනාවෙන් පස්සෙයි අන්‍ය වූ ආචාර්යවාදයන් පහළ වුනේ.

03. දෙවන ධර්ම සංගායනාව සිදුකළ ඒ ස්ථවිරයන් වහන්සේලා විසින් දස වස්තුවෙහි පක්ෂ ගත් භික්ෂූන්ව පාප භික්ෂූන් වශයෙන් නිග්‍රහයට ලක් කළා. ඔවුන්ගේ ගණන දස දහසකි.

04. ඉතින් ඒ දෙවන ධර්ම සංගායනාව කළ භික්ෂූන්ගෙන් නිග්‍රහ ලැබූ කාරණය නිසා ඒ දස දහසක් භික්ෂූන් මහා සංඝයාට අයත් පිරිස යන අර්ථයෙන් මහාසංඝික නමින් වෙනම ආචාර්යවාදයක් ඇතිකරගත්තා. ඒ මහාසංඝික භික්ෂූන්ගෙන් කොටස් දෙකක් බිඳී ගියා. ගෝකුලිකවාදය කියා නිකායකුත් ඒකබ්බෝහාරික කියා නිකායකුත් වශයෙන් ආචාර්යවාද දෙකක් ඇතිවුනා.

05. ගෝකුලිකවාදී භික්ෂු නිකායේ තව කොටස් තුනක් කැඩී ගියා. ප්‍රඥප්තිවාදී යනුවෙන් නිකායකුත් බාහුලිකවාදී යනුවෙන් තව නිකායකුත් චේතියවාදී යනුවෙන් තව නිකායකුත් ඇතිවුනා. මහාසංඝික නිකායත් සමඟ එකතු කරගත් විට එතන භික්ෂු නිකාය හයක් තියෙනවා.

06. ආයෙමත් ස්ථවිරවාදී සංඝයාගෙන් බිඳිලා මහිංසාසක නමිනුත් වජ්ජිපුත්තක නමිනුත් මේ නිකාය දෙක ඇතිවුනා.

07. ඉතින් කලින් කියූ ලෙස බෙදී ගිය වජ්ජිපුත්තක නිකායට අයත් භික්ෂූන් තවත් සතර කොටසකට බෙදී ගියා. ඒ ධම්මුත්තරිය, භද්‍රයානික, ඡන්නාගරික සහ සම්මිතීය වශයෙනි.

08. ඒ වගේ ම මහිංසාසක භික්ෂු පිරිසට අයත් නිකායෙනුත් තව කොටස් දෙකක් බිහිවුනා. සර්වාස්ථිවාදී නිකායත් ධර්මගුප්තික නිකායත් වශයෙනි.

09. සර්වාස්තවාදී භික්ෂු නිකායෙන් කස්සපීය නමින් තවත් අලුත් නිකායක් බිහිවුනා. ඒ කස්සපීයවාදී භික්ෂු පිරිසෙන් වෙන්වෙලා සංක්‍රාන්තික නමින් තවත් භික්ෂු නිකායක් බිහිවුනා. ඒ සංක්‍රාන්තිකවාදී භික්ෂු නිකායෙන් බිඳීගොස් සූත්‍රවාදී නමින් නිකායකුත් බිහිවුනා.

10. මුල් ථේරවාදයෙන් බිඳීගිය මහිංසාසක නිකායේ සිට සූත්‍රවාදී නිකාය දක්වා භික්ෂු නිකායයන් එකොළහක් තියෙනවා. ස්ථවිරවාදය වෙනම ගත්තොත් ඔක්කොම දොළහක් වෙනවා. ස්ථවිරවාදී භික්ෂු නිකාය දොළසයි, කලින් කියූ මහාසංඝික භික්ෂු නිකාය හයයි එකතු කළ විට ආචාර්යවාද දහඅටකට සඟපිරිස භේදභින්න වී ගියා.

11. භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් වසර දෙසීයක් ඇතුළත මූලික ස්ථවිරවාදයෙන් වෙන් වූ ආචාර්යවාද නිකායයන් දාහතක් හටඅරගෙන තියෙනවා. ඒවායෙන් ඊට පසු තව තවත් ආචාර්යවාද සහිත නිකායයන් ඇතිවුනා.

12. හේමවතික නිකාය, රාජගිරික නිකාය, සිද්ධත්ථක නිකාය, පුබ්බසේලිය නිකාය, අපරසේලිය නිකාය වශයෙනුත්

13. වාජිරිය භික්ෂු නිකාය වශයෙනුත් තව දුරටත් දඹදිව භික්ෂු සංඝයා කොටස් හයකට බිඳී ගියා. ලංකාවෙහි මහාවිහාරයට අයිත් භික්ෂු සංඝයාගෙන් බිඳීගොස් ජේතවන විහාරයෙහි කුරුන්දකචුල්ල පිරිවෙන්වැසි දාඨාවේදක නම් භික්ෂුවක් ධම්මරුචි නිකාය බිහිකළා. කොළොම්බහාලක පිරිවෙන්වැසි දාඨාවේදක නම් භික්ෂුවක් ඒ ධම්මරුචි නිකායෙන් බිඳිලා සාගලික නිකාය වශයෙන් අලුත් නිකායක් හදාගත්තා.

සංඝයා වාද විවාද හේතුවෙන් ආචාර්ය කුලයන්ට බිඳීගිය විස්තරය නිමා විය.

14. කාලාශෝක රජ්ජුරුවන්ට පුත් කුමාරවරුන් දස දෙනෙක් හිටියා. ඒ සහෝදරයන් දස දෙනා අවුරුදු විසි දෙකක් පාටලීපුත්‍ර නගරයේ රාජ්‍ය අනුශාසනාව කළා.

15. ඒ සහෝදර දස දෙනාගේ රජකමෙන් පසු නන්ද නමින් රාජ පරම්පරාවක් බිහිවෙලා ඔවුන්ගේ රජවරු නව දෙනෙක් ක්‍රමයෙන් රාජ්‍ය පාලනයෙහි යෙදුනා. ඔවුනුත් වසර විසි දෙකක් රජකම් කළා.

16. විඩූඩභ රජු විසින් ශාක්‍යයන්ගෙන් පළිගැනීම පිණිස මහා ශාක්‍ය සංහාරයක් කළා. එයින් බේරුණු ශාක්‍යවරුන් හිමාලයට ගොස් සිය පරම්පරාව දිගටම ගෙනිච්චා. ඔවුන්ගේ රාජ සංකේතය වශයෙන් මොණරෙකුව තබාගත් නිසා ඔවුන්ගේ වංශය මෞර්ය වංශය නමින් ප්‍රකට වුනා. ඒ මෞර්ය වංශයේ උපන් නොයෙක් ශ්‍රී සෞභාග්‍යයෙන් යුක්ත වූ චන්ද්‍රගුප්ත නම් කුමාරයෙක් ප්‍රසිද්ධව සිටියා. ඔහුව රාජ්‍යත්වය සඳහා සුදුස්සෙක් බවට පත් කෙරෙව්වේ චාණක්‍ය නම් වූ බමුණෙකුයි.

17. ඉතින් ඒ චාණක්‍ය නම් වූ චණ්ඩ ක්‍රෝධ ගති ඇති බ්‍රාහ්මණයා මහලෝභීව සිටි නවවෙනි ධනනන්ද නම් රජ්ජුරුවන්ගෙන් එක්තරා අවස්ථාවක නින්දා අපහාසයට පත්වුනා. ඒ රාජ වංශය ම නැති කරලා අලුත් රජපරපුරක් බිහිකිරීම පිණිස මොහු කුමන්ත්‍රණය කළේ එදා සිටයි. එහි ප්‍රතිඵලයක් ලෙස චන්ද්‍රගුප්ත කුමාරයාව බලවත් කෙරෙව්වා. ධනනන්ද රජ්ජුරුවන්වත් ඝාතනය කෙරෙව්වා. චන්ද්‍රගුප්ත කුමාරයාව මුළු දඹදිව් තලයට ම රාජ්‍යානුශාසනාව පිණිස අභිෂේක කෙරෙව්වා.

18. ඒ චන්ද්‍රගුප්ත රජ්ජුරුවෝ විසි හතර අවුරුද්දක් පාටලීපුත්‍රයෙහි රජකම් කළා. ඔහුගේ ඇවෑමෙන් පස්සේ සිය පුත්‍ර වූ බින්දුසාර රජු විසි අට අවුරුද්දක් රජකම් කළා.

19. ඒ බින්දුසාර රජ්ජුරුවන්ට ප්‍රසිද්ධ පුත් කුමාරවරුන් එකසිය එක් දෙනෙක් සිටියා. ඒ සියලු පුත් කුමාරවරුන් අතරින් අසෝක කුමාරයා පුණ්‍ය තේජසිනුයි බල ඉර්ධියෙනුයි යුක්තව සිටියා.

20. ඒ අසෝක කුමාරයා විවිධ මෑණිවරුන්ගෙන් ලද ඒ සොයුරු කුමාරවරුන් අනූනව දෙනෙකුව ඝාතනය කෙරෙව්වා. මුළු මහත් දඹදිවට තනි රජෙක් බවට පත්වුනා.

21. ඒ අසෝක රාජයාගේ අභිෂේකයට කලින් අප භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාලා වසර දෙසිය දහ අටක් ගෙවීගොස් තිබුණා.

22. මහා යස පිරිවර ඇති අශෝක රජතුමා සතර අවුරුද්දකින් දඹදිව ම තනි රාජ්‍යයක් බවට පත්කරලා පාටලීපුත්‍ර නගරයේ දී තමන්ගේ රාජාභිෂේකය කරවා ගත්තා.

23. අශෝකයන්ගේ රාජාභිෂේකයත් සමඟ ම අහසේ වගේ ම පොළවෙත් යොදුනක් යොදුනක් (කිලෝ මීටර් 10ක් පමණ) ප්‍රදේශය පුරා නිරන්තරයෙන් තමන්ගේ ආඥාව පිහිටන රාජ ඉර්ධිය ඇතිවුනා.

24. දෙවිවරු දිනපතා හිමාලයේ මුදුනෙහි ඇති අනෝතප්ත විලෙන් මිහිරි පැන් අට කදක් රජ්ජුරුවන්ට අරගෙන ආවා. රජතුමා ඒවායෙන් කොටසක් ජනතාවටත් බෙදුවා.

25. ඒ වගේම දෙවිවරු හිමාල වන ප්‍රදේශයෙන් නාගලතා නමැති දැහැටි දඬුත් නොයෙක් දහස් ගණන් ජනයාට සෑහෙන පමණට අරගෙන ආවා.

26. ඒ හිමාල වනයෙන් ම බෙහෙත් නෙල්ලිත් ගෙනාවා. ඒ වගේම බෙහෙත් අරළුත් ගෙනාවා. ඒ වනයෙන් ම ඉතා පෙනුමැති සුවඳවත් වූ උතුම් රසැති ඉදුනු අඹත් ගෙනාවා.

27. දෙවිවරු වර්ණ පසකින් යුතු වස්ත්‍රත්, කහපාට වර්ණයෙන් යුතු අත්පිසිනා රෙදි පිළිත් දිව්‍ය වූ පාන වර්ගත් ඡද්දන්ත විලෙන් අරගෙන ආවා.

28. අසෝක රජ්ජුරුවන්ගේ පින් බලය නිසා භූතයන්ගේ මෙහෙයවීමෙන් පාටලීපුත්‍ර නගරයේ මුවන්, ඌරන්, පක්ෂීන් ආදී සතුන් මැරෙද්දි ඔවුන් රාජ මන්දිරයේ මුළුතැන්ගෙය ළඟට ඇවිදින් මැරෙනවා.

29. ඒ ප්‍රදේශයේ වාසය කරන දිවියෝ ගවයන්ට ගොදුරු කවන්ට වනයට රැගෙන ගොහින් නැවත ගවගාලට අරගෙන එනවා. මුවන්, ඌරන් වගේ සතුන් රජ්ජුරුවන්ගේ කෙත්වතු, වැව් ආදිය පාලනය කළා.

30. නාගයෝ නාගලෝකයෙන් දිව්‍යසළු බඳු මැස්මක් නොපෙනෙන පරිදි සමන් මලින් කළ වස්ත්‍ර අරගෙන ආවා. දිව්‍ය මහනෙල් මල් අරගෙන ආවා. සුවඳ විලවුන්, අඳුන් ආදියත් අරගෙන ආවා.

31. ගිරව් ද දිනපතා ඡද්දන්ත විලෙන් ම ගැල් අනූදහසක් පමණ වූ ඇල් හාල් අරගෙන ආවා.

32. ගිරවුන් විසින් ගෙනෙන ලද පොතු සහිත වූ ඇල්හාල් නොකැඩෙන ලෙසින් පොතු ඉවත් කළේ මීයන් විසිනුයි. රජ පවුලේ හැමෝට ම බත් පිළියෙල කළේ ඒ හාල් වලිනුයි.

33. මීමැස්සෝ වනාන්තරයෙන් ඇවිදින් ඉඩ ඇති තැන්වල නිතරම මීවද බැන්දා. අසෝක රජ්ජුරුවන්ගේ කම්මල් වැඩ කරන තැන්වල වළස්සු ඇවිදින් යකඩ වලට කුළු පහර ගැහුවා.

34. ඇසු ඇසූවන්ගේ සිත් පිණවීමට සමත් මිහිරි හඬ ඇති කුරවි කොවුලන් කියන කුරුල්ලෝ හිමාල වනයෙන් ආවා. ඔවුන් අශෝක රජ්ජුරුවන්ට ඇසෙන මායිමේ අතු අග හිඳ මිහිරි නාද පතුරවලා තමන් නොදක්වා ම යනවා.

35. අභිෂේක ලැබූ අශෝක රජ්ජුරුවෝ තමන් එක කුස උපන් තමන්ගේ බාල සොහොයුරා වූ තිස්ස කුමාරයා යුවරජ පදවියට අභිෂේක කළා.

ධර්මාශෝකයන්ගේ අභිෂේකය පිළිබඳ කතාව නිමා විය.

36. අශෝක රජ්ජුරුවන්ගේ පියාණන් ව සිටි බින්දුසාර රජතුමා මහා බ්‍රහ්මයා විසින් ලොව මවන ලදැයි විශ්වාසයෙන් යුතුව සිටින බ්‍රහ්මභක්තික සැට දහසක් බ්‍රාහ්මණයන්ට භෝජන දුන්නා. අශෝක රජ්ජුරුවොත් තම පියාණන් සෙයින් වර්ෂ තුනක් පුරාවට ඒ බ්‍රාහ්මණයන්ට බොජුන් දුන්නා.

37. සන්සුන් බවින් තොර ඒ බ්‍රාහ්මණයන් අවිනීත අන්දමින් බොජුන් අනුභව කරන හැටි අශෝක රජතුමා සීමැදුරු කවුළුවේ සිට බලාගෙන සිටියා. දන් දීමේදී මීට වඩා විමසා බලා දීම පිණිස සුදුසු දක්ඛිණාර්හ නම් වූ දන් පිළිගැනීමෙහි යෝග්‍ය වූවන් හට දන් දීම හොඳ යැයි සිතුවා. තම තමන් කැමති මහණ බමුණන් කැඳවාගෙන එන්න. ඔවුන්ටත් දන් දෙමු කියා ඇමතියන්ව මෙහෙයෙව්වා.

38. එතකොට ඇමතිවරු ඒ ඒ තැනින් නොයෙක් මත දරන තවුසන්, පාසාණ්ඩිකයන් කැඳවාගෙන ආවා. යහපත් ප්‍රඥා ඇති අශෝක රජ්ජුරුවෝ ඔවුන්ව දන් ශාලාවෙහි වඩා හිඳුවලා ඔවුන් වළඳන ආකාරය විමසා බලාගෙන සිටියා. ඒ වළඳන අයුරින් ම ඔවුන් තුළ හරයක් නැතැයි තේරුම් ගත් රජ්ජුරුවෝ ඔවුන්ට සුදුසු වූ කෑම්බීම් දෙවා පිටත් කෙරෙව්වා.

39. මෙසේ සිත් පහදවන ආකාරයේ දක්ෂිණාර්හයන් දකින්ට නැතුව සිටි අශෝක රජ්ජුරුවෝ දිනක් සීමැදුරු කවුලුවෙන් එළිය බලාගෙන සිටියා. ඒ වෙලාවෙහි රාජාංගනය අසල වීදියෙන් ශාන්ත ඉඳුරන් ඇතුව, දමනය වූ ඉඳුරන් ඇතුව වඩින්නා වූ නිග්‍රෝධ නම් වූ රහත් භාවයට පත් කුඩා සාමණේරයන් වහන්සේව දැක්කා. උන්වහන්සේ කෙරෙහි රජ්ජුරුවන්ගේ සිත පැහැදුනා.

40. ඒ සාමණේරයන් වහන්සේ වෙන කවුරුවත් නොව බින්දුසාර රජ්ජුරුවන්ගේ සියලු පුත්‍රයන්ට වැඩිමහලුව සිටි සුමන කුමාරයාගේ පුත් කුමරා ය.

41. අශෝක රජ්ජුරුවෝ කලින් හිටියේ සිය පියාණන් දුන් උදේනි නුවර රාජ්‍යය කරමිනුයි. බින්දුසාර රජ්ජුරුවෝ ගිලන් වෙලා මරණාසන්න වූ විට අශෝකයන් උදේනි රාජ්‍යය අත්හැරලා පුෂ්පපුරය නම් වූ පාටලීපුත්‍රයට පැමිණියා.

42. අශෝකයන් පාටලීපුත්‍රයට ඇවිදින් බින්දුසාරයන් මිය ගියාට පස්සේ, නිග්‍රෝධ සාමණේරයන් වහන්සේගේ පියාණන් ව සිටි පාටලීපුත්‍රයේ හිටපු සුමන යුවරජු ඝාතනය කරවලා අගනුවර උතුම් රාජ්‍යය අල්ලාගත්තා.

43. සුමන යුවරාජ කුමාරයාගේ දේවිය හඳුන්වන්නේ සුමනා යන නමින්. ඒ වෙද්දී ඇය ගර්භනියක්. ඉතින් ඈ පාටලිපුත්‍ර නගරයේ නැගෙනහිර දොරටුවෙන් පිටවෙලා පලා ගියා.

44. ඉතින් ඈ සැඩොලුන්ගේ ගමට ගියා. ඒ සැඩොල් ගමේ ප්‍රධාන සැඩොලාගේ නිවසට නුදුරින් විශාල නුගවෘක්ෂයක් තිබුණා. මේ නුගරුකට අධිගෘහිතව බලසම්පන්න දෙවියෙක් හිටියා. ඒ දෙවියා ඈ වෙනුවෙන් නිවසක් මැව්වා. ‘සුමනාවෙනි, මෙහෙ එන්න’ කියා ඒ නිවසෙහි රඳවා ගත්තා.

45. එදා ම ඈට උතුම් පුත් රුවනක් ලැබුනා. ඈ තමන්ට දෙවියන්ගේ අනුග්‍රහය ලැබුණු නිසා ඒ උපකාරය සිහි කරමින් සිය පුත්‍රයාට ‘නිග්‍රෝධ’ යන නම තැබුවා.

46. එතකොට ඒ ගමේ ප්‍රධාන සැඩොලාට අලුත් නිවසත් සුමනා දේවියත් සිඟිත්තාත් දකින්ට ලැබුනා. ඔහුට සිතුනේ තමන්ගේ පළාතේ ප්‍රධාන ම දේවියක් තම ආසන්නයට පැමිණ සිටින බවයි. එනිසා ඔහු ඉතා ගෞරවයෙන් යුතුව ඇයට සත් අවුරුද්දක් හොඳාකාර ලෙස ඇප උපස්ථාන කළා.

47. දිනක් මහා වරුණ රහතන් වහන්සේට සත් හැවිරිදි වූ නිග්‍රෝධ කුමාරයාව දකින්ට ලැබුනා. උතුම් රහත් බව ලබා ගැනීමට තරම් වාසනා මහිමයක් මේ දරු සිඟිත්තා තුළ ඇති බව උන්වහන්සේට වැටහුනා. එනිසා දරුවා පැවිදි කිරීමට මෑණියන්ගෙන් විමසුවා.

48. මෑණියන්ගෙන් අවසරය ලැබූ සිඟිත්තාට පැවිදි වෙන්ට වාසනාව උදාවුනා. හිසබූගාන අවස්ථාවේ දී නිග්‍රෝධයන් උතුම් රහත් ඵලයට පත්වුනා. ඒ නිග්‍රෝධ රහත් සාමණේරයන් වහන්සේ දෙවෙනි දවසෙහි තම මෑණියන්ව බලන්ට පිටත් වුනා.

49. එදා දකුණු දොරටුවෙන් ඇතුලු වෙලා උතුම් පුරයට පැමිණිලා ඒ සැඩොල් ගමට යන මාර්ගයේ වඩිද්දී තමයි රාජාංගනය ඔස්සේ වැඩියේ.

50. ශාන්ත වූ ඉරියව්වලින් යුතුව වඩිමින් සිටි නිග්‍රෝධයන් වහන්සේ දුටු පමණින් රජ්ජුරුවන්ගේ සිත පැහැදුනා. පෙර ආත්මයෙහි එකට වාසය කළ නිසා උන්වහන්සේ කෙරෙහි මහත් ආදරයක් උපන්නා.

51. බොහෝම ඉස්සර කාලෙක මී පැණි විකුණන සහෝදර වෙළෙන්දන් තුන් දෙනෙක් සිටියා. ඔවුන්ගෙන් එක්කෙනෙක් මී පැණි විකුණනවා. දෙන්නෙක් වනයට ගිහින් මී වද කඩාගෙන පැණි අරගෙන එනවා.

52. එක් පසේබුදු රජාණන් වහන්සේ නමක් ශරීරයේ වූ වණ රෝගයකින් පෙළෙමින් සිටියා. ඒ පසේබුදුවරයන් වහන්සේට බෙහෙත් පිණිස තවත් පසේබුදුරජාණන් වහන්සේ නමක් මී පැණි සොයාගෙන පිඬුසිඟා වැඩියා.

53. ඉතින් ඒ පසේබුදුරජාණන් වහන්සේ පිණ්ඩපාත චාරිකාවෙන් නගරයට වැඩියා. එවේලෙහි දිය ගෙන යන එක්තරා දාසියක් දිය ගෙනෙන්ට පැන් තොටට යද්දි උන්වහන්සේව දැක්කා.

54. ඇය උන්වහන්සේ වෙත එළඹ පසඟ පිහිටුවා වැන්දා. ‘ස්වාමීනී, මේ අවේලාවෙහි පිඬුසිඟා වඩින්නේ කුමන දෙයක් අපේක්ෂාවෙන්දැ’යි විමසුවා. එතකොට උන්වහන්සේ මී පැණි වල අවශ්‍යතාවය වදාළා. ‘ස්වාමීනී, අර තියෙන්නේ මී පැණි වෙළඳ සැලක්. එතනට වැඩිය මැනව’ කියලා පෙන්වා පැවසුවා.

55. පසේබුදුරජාණන් වහන්සේ ඒ වෙළඳසැලට වැඩියා. එතකොට වෙළෙන්දා උන්වහන්සේ කෙරෙහි සිත පහදවා ගත්තා. පාත්‍රයට මී පැණි පුරවද්දි ඒ පාත්‍ර කටින් පැණි උතුරලා යනකම් මී පැණි පූජා කළා.

56. ඒ වෙලාවේ පාත්‍රයෙහි පිරී ඇති මී පැණිත් එය උතුරා බිමට වැටී ගිය මී පැණිත් දැකපු ඒ වෙළෙන්දාට මහත් සතුටක් ඇතිවුනා. ඔහු මෙබඳු ප්‍රාර්ථනාවක් කළා.

57. ‘මේ මී පැණි දානය හේතුවෙන් මට මේ දඹදිව තනි රජ කෙනෙක් වෙන්ට ලැබේවා! මාගේ ආඥාව ආකාසයෙහි යොදුනක් දුර පැතිරේවා! පොළවෙහිත් යොදුනක් දුර පැතිරේවා!’

58. ඉතිරි සහෝදරයන් දෙදෙනා මී වද කඩාගෙන මී පැණි අරගෙන ආවා. එතකොට අර වෙළෙන්දා මෙහෙම කිව්වා. ‘අද හිස මුඩු කළ, කසාවත් පෙරවූ ශ්‍රමණයන් වහන්සේ නමක් වැඩියා නොවැ. උන්වහන්සේට මී පැණි වල අවශ්‍යතාවයක් තිබුණා. මං මී පැණි පූජා කරගත්තා. ඔබත් මං වගේ ම මේ මී පැණි වලට අයිතිකාරයෝ නොවැ. ඒ නිසා මේ දානය අනුමෝදන් වෙන්ට ඕනෑ.’

59. ඔවුන්ගෙන් වැඩිමහලු සහෝදරයා ඒ ගැන සතුටු වුනේ නෑ. ‘ඔබ කියන ඔය පුද්ගලයා සැඩොලෙක් ම වෙන්න ඇති. සැඩොල්ලු නොවැ හැමදෑම කසාවත් පොරවාගෙන ඉන්නේ’ කියලා කිව්වා.

60. මද්දුමයාත් සතුටට පත්වුනේ නෑ. ‘ඔය කියන නුඹගේ පසේබුදුන් මුහුදෙන් එතෙරට දමන්ට එපායැ’ කියලා කිව්වා. නමුත් මී පැණි දානය පිළිගත්ත උත්තමයා ගැන නොසතුටු වදන් පැවසුවත් ආයෙමත් පින් අනුමෝදන් කරන ඔහුගේ වචනය අහලා මහත් සන්තෝෂයට පත්වෙලා අනුමෝදන් වුනා.

61. එතකොට වෙළඳසැල පෙන්වූ දිය අදින දාසිය මෙහෙම සිතුවා. ‘අපගේ ආර්යයන් වහන්සේට මී පැණි දුන්නොත් හොඳයි. නොදුන්නොත් ණයට හරි අරගෙන මං පූජා කරනවා’ කියලා බලාපොරොත්තුවෙන් සිටියා. පසේබුදුන් ආපසු වඩිද්දී ‘ස්වාමීනී, මී පැණි ලැබුනාද කියලා ඇහුවා. ඔවුන් ප්‍රාර්ථනා කළ කරුණුත් දැනගත්තා. එතකොට ඈ මී පැණි පූජා කළ වෙළෙන්දාගේ බිසව වෙන්ටත් තමන්ගේ අත්පා සන්ධි නොපෙනෙන අයුරින් අතිශය රූපවත්ව තිබෙන්ටත් ප්‍රාර්ථනා කළා.

62. ඒ කාලේ මී පැණි පිදූ වෙළෙන්දා අශෝක රජ්ජුරුවන් බවට පත්වුනා. අසන්ධිමිත්‍රා දේවිය වෙලා සිටියේ එතන සිටිය දිය ගෙන යන දාසිය යි. සැඩොලා කියා පසේබුදුන්ට අගරු කළ වැඩිමහලු වෙළෙන්දා සැඩොල් ගමේ උපන්න නිග්‍රෝධ කුමාරයා යි. මුහුදෙන් එතෙරට යවන්ට ඕනෑ කියූ මද්දුමයා ලංකාවේ දෙවනපෑතිස් රජු වෙලා උපන්නා.

63. සැඩොල් කථාව කියපු නිසා සැඩොල් ගමේ උපන්නා. නමුත් එදා පින් අනුමෝදන් වෙලා උතුම් නිවන ප්‍රාර්ථනා කළ නිසා සත් අවුරුදු වයසේදී නිවන් අවබෝධ කළා.

64. සාමණේරයන් වහන්සේ කෙරෙහි බලවත් ප්‍රේමයකින් යුක්ත වූ ඒ රජ්ජුරුවෝ ඉතා ඉක්මනින් ම උන්වහන්සේ කැඳවාගෙන එන්ට කියලා ඇමතියන් යැව්වා. එතකොට උන්වහන්සේ ශාන්ත ගමනින් ම එහි වැඩියා.

65. මාළිගාවට වැඩම කළ සාමණේරයන් වහන්සේට රජ්ජුරුවෝ මෙහෙම කිව්වා. ‘ප්‍රිය දරුව, ඔබට ගැලපෙන ඕනෑම ආසනයක හිඳගත මැනව’ කියලා. එතකොට සාමණේරයන් වහන්සේ වටපිට බැලුවා. වෙනත් භික්ෂූන් වහන්සේ නමක් පෙනෙන්ට නැහැ. උන්වහන්සේ එතැන තිබුන ලොකුම ආසනය වන සිංහාසනය වෙත වැඩියා.

66. ඒ සිංහාසනය වෙත සාමණේරයන් වැඩම කරද්දි රජ්ජුරුවෝ මෙහෙම හිතුවා. ‘අද මේ සාමණේරයෝ මාගේ නිවසෙහි අධිපති බවට පත්වෙනවා නොවැ’ කියලා.

67. අශෝක මහරජ්ජුරුවන්ගේ අතින් අල්ලාගෙන සාමණේරයෝ සිංහාසනයට ගොඩවුනා. සුදු සේසත යට තියෙන රාජාසනයෙහි වාඩිවුනා.

68. අශෝක රජ්ජුරුවෝ ඔය විදිහට රාජාසනයෙහි වැඩඉන්න සිඟිති සාමණේරයන් වහන්සේගේ ශාන්ත වූ ඉරියව් කෙරෙහි පැහැදිලා උන්වහන්සේට මහත් ගරුසරු දක්වලා අතිශයින් ම සන්තෝෂයට පත්වුනා.

69. තමන් උදෙසා පිළියෙල කරන ලද රාජකීය ඛාද්‍ය භෝජ්‍යවලින් සාමණේරයන් වහන්සේට හොඳාකාර ලෙසින් දන්පැන් පිළිගැන්වුවා. සාමණේරයන්ගෙන් සම්බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයක් තමන්ට පවසන්ට යැයි කියා සිටියා.

70. එතකොට ඒ සාමණේරයෝ අශෝක රජ්ජුරුවන්ට උතුම් ධම්ම පදයෙහි ඇතුළත්ව තිබෙන මනහර බුද්ධ දේශනාවක් වන අප්‍රමාද වර්ගයට අයත් ගාථාවන් තේරුම් සහිතව කියලා දුන්නා. එය ඇසූ රජ්ජුරුවෝ අප භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ ශාසනය පිළිබඳව පැහැදීමට පත්වුනා.

71. ‘ශ්‍රමණ දරුවන් වහන්ස, අද පටන් නිතිපතා මං ඔබවහන්සේට දානය පාත්‍රා අටක් පූජා කරනවා’ එතකොට සාමණේරයෝ මෙහෙම කිව්වා. ‘මහරජ්ජුරුවනි, මං ඒ දාන පාත්‍රා අට මාගේ උපාධ්‍යායන් වහන්සේට පූජා කරනවා’ කියලා.

72. එතකොට රජ්ජුරුවෝ නැවතත් දාන පාත්‍රා අටක් උන්වහන්සේට පූජා කළා. සාමණේරයෝ ඒ පාත්‍රා අට තමන්ගේ ආචාර්යයන් වහන්සේට පූජා කළා. එතකොට රජ්ජුරුවෝ ආයෙමත් දානෙ පාත්‍රා අටක් සාමණේරයන්ට පූජා කළා. එතකොට උන්වහන්සේ ඒ දානෙ පාත්‍රා අට භික්ෂු සංඝයාට පූජා කළා.

73. එතකොට රජ්ජුරුවෝ ආයෙමත් දාන පාත්‍රා අටක් අපගේ නිග්‍රෝධයන් වහන්සේට පූජා කළා. මහා නුවණැති උන්වහන්සේ නිශ්ශබ්දතාවයෙන් යුක්තව ඒ අදහස පිළිගත්තා. මෙසේ දාන පාත්‍රා තිස් දෙකකින් පිදුම් ලද නිග්‍රෝධයන් වහන්සේ පසුවදා තමන් වහන්සේත් ඇතුලුව භික්ෂූන් වහන්සේලා තිස් දෙනමක් මාළිගයට වැඩම කළා.

74. එතකොට රජ්ජුරුවෝ සිය අතින් ම දානය පූජා කරගත්තා. එදා අපගේ නිග්‍රෝධයන් වහන්සේ මහජනයා සහිත රජ්ජුරුවන්ට ධර්මය දේශනා කළා. තිසරණයෙන් යුක්තව පංචසීලයෙහි පිහිටෙව්වා.

ධර්මාශෝක අධිරාජයාගේ නිග්‍රෝධ සාමණේරයන් බැහැදැකීම පිළිබඳ කථාව නිමා විය.

75. එදායින් පස්සේ දවසක් දවසක් ගානේ සංඝයා දෙගුණය බැගින් වැඩි කරමින් දන් පූජා කළා. අනුක්‍රමයෙන් හැටදහසක් දක්වා භික්ෂූන් වහන්සේලා රජගෙයි දන් වැළඳුවා.

76. කලින් හැටදහසක් අන්‍ය තීර්ථකයන්ට අශෝක රජ්ජුරුවෝ දන් දුන්නා නොවැ. ඔහු තෙරුවන් සරණ ගියාට පස්සේ ඒ අන්‍ය තීර්ථකයන් බැහැර කරවලා හැටදහසක් භික්ෂූන් වහන්සේලාට රජමැදුරේ නිතිපතා වැළඳෙව්වා.

77. රජ්ජුරුවෝ සැටදහසක් භික්ෂූන්ට රජගෙහි දන් වළඳවන්නට කැමැත්තෙන් ඒ කටයුතු ඉක්මන් කෙරෙව්වා. මහානීය වූ ඛාද්‍ය භෝජ්‍යයන් පිළියෙල කෙරෙව්වා.

78. ඉතින් රජ්ජුරුවෝ නගරය අලංකාර කෙරෙව්වා. සංඝයා බැහැදකින්ට ගොසින් දානයට ආරාධනා කළා. රජ මාළිගයට වඩම්මාගෙන දන්පැන් පූජා කරගත්තා. ශ්‍රමණයන්ට කැපසරුප් පිරිකරක් පූජාකරගත්තා.

79. ශාස්තෘන් වහන්සේ විසින් වදාරන ලද ධර්මය කොපමණ ප්‍රමාණයකින් යුක්ත දැයි සංඝයාගෙන් විමසුවා. එතකොට අපගේ මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ ඔහුට මෙකරුණ වදාළා.

80. ‘මහරජ්ජුරුවෙනි, අප භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය අසූහාර දහසක ධර්මස්කන්ධයෙන් යුක්තයි.’ කියලා ‘ස්වාමීනී, මං ඒ අසූහාර දහසක් ධර්මස්කන්ධයන්ගෙන් එක් එක් ධර්මස්කන්ධයක් වෙනුවෙන් වෙන වෙනම විහාරයන් තනවලා පූජා කරන්ට ඕනෑ’ කියලා රජ්ජුරුවෝ කිව්වා.

81. එතකොට රජ්ජුරුවෝ එක දවසකින් ම අනූහය කොටියක් ධනය ලබාදීලා දඹදිව් තලයේ අසූහාර දහසක් නගරවල අසූහාර දහසක් විහාරයන් තනවන්ට කියලා ඇමතියන්ට අණ කළා.

82. ඒ ඒ නගර රාජධානිවල සිටින ප්‍රාදේශීය රජවරුන් විසින් විහාර කර්මාන්තය පටන් ගත්තා. අශෝක රජ්ජුරුවෝ තමන් ම පාටලීපුත්‍ර නගරයෙහි අශෝකාරාමය කරවන්ට පටන් ගත්තා.

83. ධර්මාශෝක රජ්ජුරුවෝ බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයෙන් යුක්ත උතුම් බුද්ධ ශාසනයෙහි පහන් වූ සිතින් යුතු වුනා. නිග්‍රෝධයන් වහන්සේටත් ගිලන් භික්ෂූන් වහන්සේලාටත් වෙන් වෙන් වශයෙන් දිනපතා කහවණු ලක්ෂය බැගින් වෙන් කළා.

84. බුදුරජාණන් වහන්සේගේ නාමයෙන් පූජා කරන ලද ධනය මුල්කොට නොයෙක් ස්ථූප පූජා පැවැත්වුවා. නොයෙක් විහාරයන්ට ද විවිධාකාර වූ පූජාවන් හැම කාලයේ ම සිදුකළා.

85. ශ්‍රී සද්ධර්මයේ නාමයෙන් පූජා කරන ලද ධනයෙන් මිනිස්සු චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස යන සිව්පසය ධර්මධර භික්ෂූන් වහන්සේලා වෙත ලැබෙන්ට සැලැස්සුවා.

86. අනෝතප්ත විලෙන් ගෙන එන පැන්කද අටෙන් පැන්කද හතරක් සංඝයාට පූජා කළා. ත්‍රිපිටකධර භික්ෂූන් වහන්සේලා සැට නමකට එක් පැන්කදක් දිනපතා පූජා කරගත්තා.

87. එක් පැන් කදක් අසන්ධිමිත්‍රා රජ බිසවගේ ප්‍රයෝජනය පිණිස ලබාදුන්නා. අනිත් පැන් කදවල් දෙක පමණක් රජ්ජුරුවන්ගේ ප්‍රයෝජනයට ගත්තා.

88. දිනපතා ම භික්ෂූන් වහන්සේලා සැටදහසකටත් සොළොස් දහසක් ස්ත්‍රීන්ටත් නාගලතා නම් දැහැටි ලබාදුන්නා.

89. එක දවසක් රජතුමාට ඒ කාලයේ කකුසඳ, කෝණා- ගමන, කාශ්‍යප, ගෞතම යන සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දුටු මේ කල්පයට ම ආයුෂ තිබෙන මහාකාල නමැති මහා ඉර්ධිමත් නාගරාජයෙකු පිළිබඳව,

90. අසන්ට ලැබුනා. එතකොට රජතුමා ස්වර්ණසංඛලික බන්ධනය නමැති රන්දම යවලා ඔහුව තමන්ගේ මාළිගයට ගෙන්වා ගත්තා. සුදු සේසත යට,

91. රාජකීය අසුනෙහි වඩාහිඳෙව්වා. නොයෙක් මල් වර්ගයන්ගෙන් පූජා කෙරෙව්වා. දහසය දහසක් ස්ත්‍රීන් පිරිවරාගෙන සිටි රජතුමා ඒ නාගරාජයා අමතා මෙහෙම කිව්වා.

92. ‘පින්වත් නාරජ්ජුරුවනි, සද්ධර්ම චක්‍රවර්තී වූ අනන්ත ඤාණ ඇත්තා වූ, මහාඍෂිවරයාණන් වූ, අපගේ සර්වඥ රාජයන් වහන්සේගේ රූපකාය විලාශය මා හට පෙන්වුව මැනව’ කියලා.

93. දෙතිසක් වූ මහාපුරුෂ ලක්ෂණයන්ගෙන් සෝභමාන වූ, අසූවක් වූ අනුව්‍යඤ්ජන ලක්ෂණවලින් අලංකාර වූ, හාත්පසින් විහිදී ගිය බ්‍යාමප්‍රභාෂ්වරයෙන් යුක්ත වූ, කේතුමාලාවකින් සුන්දර වූ,

94. ඉතා සිත්කලු වූ බුදුරජාණන් වහන්සේගේ රූපකාය ඒ නාගරාජයා මවලා පෙන්නුවා. එය දුටු අශෝක රජ්ජුරුවෝ විස්මයෙන් පිනා ගියා.

95. ‘මේ නාරජ්ජුරුවන් විසින් මවන ලද අප සර්වඥයන් වහන්සේගේ රූපකාය මෙබඳු නම් තථාගතයන් වහන්සේගේ ජීවමාන රූපකාය කෙබඳු වන්ට ඇද්දෝ හෝ’යි මහත් ප්‍රීතියකින් පිනා ගියා.

96. එතකොට රජ්ජුරුවෝ ඒ මවන ලද අප භාග්‍යවතුන් වහන්සේගේ අතිශය සුන්දර වූ රූපකාය උදෙසා දින හතක් මුළුල්ලෙහි නිරාහාරව බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුක්තව ඇසිපිය නොහෙළා ඒ බුදුරජුන්ගේ රූපය දෙස බලමින් නේත්‍ර පූජා නමින් මහා පූජාවක් කෙරෙව්වා.

ධර්මාශෝක නිරිඳුන් බුද්ධාගම වැළඳගැනීම ගැන කථාව නිමා විය.

97. අසෝක රජ්ජුරුවෝ ඔය ආකාරයෙන් මහා ශ්‍රද්ධාවන්තයෙක් වුනා. මහානුභාව ඇති කෙනෙක් වුනා. දෙවන ධර්ම සංගායනාව කළ ඉර්ධිවශී භාවයට පත් රහතන් වහන්සේලා කලින් ම අනාගතයෙහි සසුන බබුළුවන මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ ගැනත් ධර්මාශෝක නිරිඳු ගැනත් දිවැසින් දැකලා තිබුණා.

98. දෙවන ධර්ම සංගායනාව කළ රහතන් වහන්සේලා අනාගතය බලද්දී ඒ ධර්මාශෝක රජුගේ කාලයේ නානාලබ්ධීන්ට හසුව බුදු සසුන අවුල් වී ශාසනෝපද්‍රවයක් ඇතිවන බව දැක වදාළා.

99. එකී ශාසනෝපද්‍රවයේදී එයට මැදිහත් වී බේරාගන්ට පුළුවන් කෙනෙක් ඇත්දැයි සොයා බලද්දී සකල කාමාවචර දිව්‍ය ලෝකයක එබඳු කාර්යයකට බලසම්පන්න දෙවියෙක් සිටියේ නෑ. නමුත් බ්‍රහ්ම ලෝකයෙහි ආයුෂ ගෙවී ගොස් සිටි තිස්ස නම් බ්‍රහ්ම රාජයාව දකින්ට ලැබුනා.

100. එතකොට ඒ දෙවන ධර්ම සංගායනාව කළ රහතන් වහන්සේලා තිස්ස බ්‍රහ්මයා කරා වැඩම කළා. මහා නුවණැති ඒ තිස්ස බ්‍රහ්මයාට මිනිස් ලෝකයෙහි උපත ලබා ඒ වන විට ඇතිවන ශාසන උපද්‍රවය නැති කරදෙන්ට කියලා ඉල්ලා සිටියා.

101. ගෞතම බුදු සසුන බබළවනු කැමති ඒ තිස්ස නම් වූ බ්‍රහ්මරාජයා තමන් එසේ කරන බවට රහතන් වහන්සේලාට ප්‍රතිඥා දුන්නා. මෙසේ තිස්ස බ්‍රහ්මයාගෙන් ප්‍රතිඥාව ගත් ඒ රහතන් වහන්සේලා සෝණ තෙරුන්ගේ සද්ධිවිහාරික වූත් උපාලි තෙරුන්ගේ පරපුරෙහි වූත් පටිසම්භිදා රහත්භාවය ලබාසිටි සිග්ගව, චණ්ඩවජ්ජි නම් වූ තරුණ භික්ෂූන් වහන්සේලා දෙනමට මෙසේ වදාළා.

102. ‘තව අවුරුදු එකසිය දහඅටකට පස්සේ ගෞතම බුද්ධ ශාසනයට මහත් උපද්‍රවයක් ඇතිවෙනවා. එය සංසිඳුවන්නට ඒ කාලයේදී අපි ජීවතුන් අතර නැහැ.

103. ඇවැත්නි, ඔබ දෙවන ධර්ම සංගායනාවට සහභාගී වුනේ නැති නිසා මේ අර්බුදය විසඳීමේදී අපට සහය නොදුන්න නිසාත් ඔබ දඬුවම් ලැබීමට සුදුසුයි. ඒ නිසා අපි ඔය දෙනමට දඬුවමක් කරනවා.

104. ගෞතම බුද්ධ ශාසනය බබුළුවාලීම පිණිස මහා ප්‍රඥාවකින් යුක්ත වූ තිස්ස නමැති බ්‍රහ්ම රාජයෙක් මොග්ගලී බ්‍රාහ්මණයාගේ නිවසෙහි ළඟදීම පිළිසිඳ ගන්නවා.

105. එතකොට ඔය දෙනමගෙන් එක් නමක් සුදුසු කාලයෙහි දී ඒ තිස්ස කුමාරයාව පැවිදි කරන්ට ඕනෑ. අනිත් නම ඉතා යහපත් ආකාරයෙන් ශ්‍රී සම්බුද්ධ වචනය තිස්සයන් හට උගන්වන්ටත් ඕනෑ.’

106. උපාලි තෙරුන් වහන්සේගේ ශිෂ්‍ය වූ දාසක නම් ස්ථවිර නමක් සිටියා. ඒ දාසක තෙරුන්ගේ ශිෂ්‍ය වූ සෝණ නම් ස්ථවිර නමක් සිටියා. සිග්ගව, චණ්ඩවජ්ජි කියන තරුණ භික්ෂූන් වහන්සේලා දෙදෙනා සෝණ ස්ථවිරයන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ ය.

107. ප්‍රථම ධර්ම සංගායනාව සිදු කොට පසුකාලෙක විසාලා මහනුවර දාසක නමින් බ්‍රාහ්මණයෙක් සිටියා. ශිෂ්‍යයන් තුන්සියයක් අතරින් ඔහු ප්‍රධාන වුනා. තම බ්‍රාහ්මණාචාර්යවරයා සමීපයේ ඔහු වාසය කළා.

108. ඔහු දොළොස් අවුරුදු වියේදී ඍග්, යජූර්, සාම් කියන තුන් වේදයෙහි පරතෙරට ගියා. තමාත් ඒ ශිෂ්‍ය පිරිස සහිතව වාසය කළා. දවසක් විසාලා මහනුවර වාලුකාරාමයෙහි වැඩසිටින,

109. උපාලි මහරහතන් වහන්සේව දකින්ට ලැබුනා. උන්වහන්සේ ළඟ වාඩි වී වේදයෙහි නොපැහැදිලි තැන් විමසුවා. එතකොට උන්වහන්සේ ඒ සියල්ලට හොඳින් පිළිතුරු දුන්නා.

110. ‘පින්වත් තරුණය, සියලු ධර්මයන් ඇතුළත් වන එක් ධර්මයක් තියෙනවා. එහි සියලු ධර්මයන් බැසගන්නවා. ඒ සියලු ධර්මයන් ඇතුළත් වන එක් ධර්මය කුමක්ද?’ කියලා උපාලි මහරහතන් වහන්සේ දාසක තරුණයාගෙන් ඇහුවා.

111. මේ ප්‍රශ්නය අසන ලද්දේ නාමය සඳහා යි. නමුත් එය දාසක තරුණයාට තේරුනේ නෑ. එතකොට ‘ඒ මන්ත්‍රය මොකක්ද?’ කියලා තෙරුන්ගෙන් ඇසුවා. ‘ඒක බුද්ධ මන්ත්‍රයක්’ කියලා තෙරුන් වහන්සේ පිළිතුරු දුන්නා.

112. ‘අනේ ඒ මන්ත්‍රය අපට දෙන්නැ’යි කියා හිටියා. ‘අපි වගේ ශ්‍රමණ වෙස් ගත්තෝතින් දෙන්නම්’ කිව්වා. එතකොට ඒ දාසක තරුණයාට මන්ත්‍රය ඉගෙන ගැනීමෙහි වාසිය සලකලා ගුරුවරයාගෙනුත් අවසර ගත්තා. ඒ විදිහට ම මව්පියන්ගෙනුත් අවසර ගත්තා.

113. තරුණයන් තුන්සීයක් සහිත වූ දාසක බ්‍රාහ්මණ මානවකයා උපාලි මහරහතන් වහන්සේ ළඟ පැවිදි වුනා. සුදුසු කාලයේදී උපසම්පදාවත් ලබාගත්තා.

114. දහසක් ක්ෂීණාස්‍රවයන් වහන්සේලා අතරේ දාසක ස්ථවිරයන් වහන්සේ වැඩිමහල් භික්ෂුව වුනා. උන්වහන්සේලාට සියලු තුන් පිටකය උගන්වා වදාළේ උපාලි මහරහතන් වහන්සේය.

115. උපාලි මහරහතන් වහන්සේ සමීපයේ තුන් පිටකය ඉගෙනගත් අනෙකුත් මාර්ගඵලලාභී මෙන්ම පෘථග්ජන භික්ෂූන්ගේත් ගණන මෙපමණකැයි කියන්ට බැහැ.

116. කාසි ජනපදයෙහි ගැල් නායකයෙකුගේ පුතෙක් සිටියා. ඔහුගේ නම සෝණක. ඒ කාලයේ ඒ සෝණක කුමාරයා තමන්ගේ මව්පිය ආදී පිරිසත් සමග වෙළඳාම් පිණිස ගිරිබ්බජ නම් වූ රජගහ නුවරට ගියා.

117. ඒ වෙද්දී සෝණක කුමාරයාගේ වයස අවුරුදු පහළොවයි. ඔහු තම යහලු තරුණයන් පනස් පස් දෙනෙක් සමග රජගහ නුවර වේළුවනයට ගියා.

118. ඒ වේළුවනයෙහි රහතන් වහන්සේලා පිරිවරාගෙන වැඩහුන් දාසක රහතන් වහන්සේව දුටු පමණින් සිත පැහැදුනා. තමන්ව පැවිදි කරගන්ට කියලා ඉල්ලා සිටියා. එතකොට දාසක තෙරුන් වහන්සේ මව්පියන්ගෙන් අවසර අරන් එන්ට කියලා කිව්වා.

119. එතකොට සෝණක කුමාරයා මව්පියන් කැමති කරවා ගන්ට බැරුව තුන් වේලක් ආහාර අනුභව නොකොට සිටියා. අන්තිමේදී මව්පියන්ගෙන් පැවිද්දට අවසර ඉල්ලාගෙන වේළුවනයට ආවා.

120. ඒ පණස් පහක් කුමරවරුන් සමග ආ සෝණ කුමාරයා දාසක මහරහතන් වහන්සේ ළඟ පැවිදි වුනා. උපසම්පදාවත් ලබාගත්තා. තුන් පිටකයත් ඉගෙන ගත්තා.

121. දාසක තෙරුන්ගේ ශිෂ්‍ය භික්ෂූන් වූ ත්‍රිපිටකධාරී දහසක් රහතන් වහන්සේලා අතරේ වැඩිමහලු භික්ෂුව හැටියට සෝණක මහරහතන් වහන්සේ වැඩසිටියා.

122. පෙර පාටලීපුත්‍රයෙහි ඉතා ප්‍රඥාවන්ත වූ සිග්ගව නමැති අමාත්‍ය පුත්‍රයෙක් සිටියා. ඒ වෙද්දි ඔහුට වයස දහඅටයි.

123. සීත කාලය, උෂ්ණ කාලය සහ වැසි කාලය යන ඍතු තුනට ගැලපෙන ප්‍රාසාද තුනක ඔහු කලින් කලට පිරිස සහිතව වාසය කළා. ඔහුගේ යහලුවා ද චණ්ඩවජ්ජී නම් අමාත්‍ය පුත්‍රයෙකි.

124. පන්සීයක් පිරිවර පුරුෂයන් ඇතුව ඔවුන් කොසඹෑ නුවර කුක්කුටාරාමයට ගියා. එහිදී සෝණක මහරහතන් වහන්සේව දැකගන්නට ලැබුනා.

125. ඒ අවස්ථාවෙහි මනාලෙස රැකගත් ඉන්ද්‍රියයන් ඇති සෝණක මහරහතන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් වැඩසිටියා. තෙරුන්ට වන්දනා කළ නමුත් ඔවුන් සමඟ කතාබස් කළේ නෑ. එසේ කතා නොකර සිටින්නේ මක් නිසාදැයි ඔවුන් සංඝයාගෙන් ඇසුවා.

126. එතකොට සංඝයා ඒ තරුණයන්ට පැවසුවේ සමාපත්තියට සමවැදී සිටින අවස්ථාවෙහි කිසිවෙකු හා කතා නොකරන බවයි. සමාපත්තියෙන් නැගිටින්නේ කොහොමදැයි කියලා භික්ෂූන් වහන්සේලාගෙන් ඇසුවා.

127. බුදුරජාණන් වහන්සේ එම භික්ෂුවට අමතන අවස්ථාවෙදිත්, කිසියම් කරුණකට සංඝයා කැඳවන අවස්ථාවෙදිත්, සමාපත්ති සමවදින්ට පෙර අධිෂ්ඨාන කළ කාල පරිච්ඡේදය අවසන් වුන අවස්ථාවේදීත්, ආයුෂය ගෙවී ගිය අවස්ථාවේදීත්,

128. නිරෝධ සමාපත්තියෙන් නැගිටින බව පහදා දුන්නා. භික්ෂූන් වහන්සේලා ඒ තරුණයන්ට නිවන් අවබෝධයට ඇති වාසනා සම්පත්තිය දැක සෝණක මහරහතන් වහන්සේට සංඝයාගේ පණිවිඩයක් යැව්වා. එතකොට උන්වහන්සේ සමාපත්තියෙන් නැගිට එතැනට වැඩම කළා.

129. ‘ස්වාමීනී, ඔබවහන්සේ අප වන්දනා කළාට පස්සේ කතා නොකළේ මක් නිසාදැ’යි කියලා කුමාරයෙක් ඇසුවා. ‘වැළඳිය යුතු දෙයක් වැළඳුවා නොවැ’ කියලා රහතන් වහන්සේ පිළිතුරු දුන්නා. ‘අනේ අපටත් එය වළඳවන්ට’ කියා තරුණයන් ඉල්ලා සිටියා.

130. ‘අප වගේ අය වුනෝතින් නම් වළඳවන්ට පුළුවනි’ කියලා පිළිතුරු දුන්නා. එතකොට සිග්ගව කුමාරයා පැවිද්ද පිණිස මව්පියන්ගෙන් අවසර ගත්තා.

131. චණ්ඩවජ්ජි කුමාරයාත් පන්සීයක් සිය පිරිවර සමග අවසර අරගෙන සෝණක තෙරුන් සමීපයෙහි පැවිදි වුනා. උපසම්පදාවත් ලබාගත්තා.

132. ඒ සිග්ගව, චණ්ඩවජ්ජි දෙදෙනා වහන්සේ සිය උපාධ්‍යාය වූ සෝණක තෙරුන් ළඟ තුන් පිටකය ඉගෙන ගත්තා. මහත් උත්සහයෙන් සය වැදෑරුම් අභිඥාවන් වන 1. ඉර්ධිප්‍රාතිහාර්යය ලබන ඤාණය 2. චුතූපපාත ඤාණය 3. දිව්‍ය ශ්‍රවණ ඤාණය 4. අනුන්ගේ සිත් දැනගන්නා ඤාණය 5. පෙර විසූ කඳ පිළිවෙල දන්නා ඤාණය 6. අර්හත්වයට පත්වීමෙන් ආශ්‍රවයන් ක්ෂය වූ බව දන්නා නුවණ යන ෂඞ් අභිඥා ලබාගත්තා.

133. සිග්ගව රහතන් වහන්සේ මොග්ගලී බ්‍රාහ්මණයාගේ නිවසෙහි තිස්ස බ්‍රහ්මයා බ්‍රහ්ම ලෝකයෙන් චුතව මිනිස් මවුකුසක පිළිසිඳ ගත් බව දැනගත්තා. එතැන් පටන් උන්වහන්සේ ඒ නිවසට සත් හවුරුද්දක් නොකඩවා ම පිණ්ඩපාතේ වැඩියා.

134. ඒ සත් අවුරුද්ද පුරාවට ‘මෙතැනින් යන්න’ යන වචනයවත් ඒ බ්‍රාහ්මණ ගෙදරින් ලැබුනේ නෑ. නමුත් අටවෙනි අවුරුද්දෙහි දවසක ‘මෙතැනින් යන්න’ කියන වචනය ඔවුන්ගෙන් ලැබුනා.

135. එදා සිග්ගව තෙරුන් වහන්සේ ඒ නිවසින් එළියට වඩිද්දී පිටතට ගොස් ගෙදර පැමිණෙමින් සිටි මොග්ගලී බ්‍රාහ්මණයාට දැකගන්ට ලැබුනා. ‘අපගේ ගෙදරින් කිසිවක් ලැබුනාදැ’යි උන්වහන්සේගෙන් ඇසුවා. ‘එසේය බ්‍රාහ්මණය’ කියලා උන්වහන්සේ පිළිතුරු දුන්නා.

136. එතකොට මොග්ගලී බ්‍රාහ්මණයා ගෙදරට ගොස් කිසි දෙයක් අර මහණුන්නාන්සේට දුන්නාදැයි ඇසුවා. කිසිවක් නොදුන් බව අසා දෙවන දවසේ තෙරුන් වහන්සේ පිඬුසිඟා ගෙදරට වැඩිය විට බොරු කීම ගැන උන්වහන්සේට ගරහන්ට ඕනෑ කියා බලාපොරොත්තුව සිටියා.

137. දෙවෙනි දවසේ තෙරුන් වහන්සේ ඒ ගෙදරට වැඩියා. මොග්ගලී බ්‍රාහ්මණයා තමන් කිසිවක් නොදී කිසිවක් ලැබුනා කියා බොරු කිව් බවට චෝදනා කළා. ‘පින්වත් බ්‍රාහ්මණය, එය බොරුවක් නොවේ. පසුගිය සත් අවුරුද්ද පුරාවට ඔබ නිවසින් මෙතනින් යන්ට කියන වචනයවත් ලැබුනේ නෑ. නමුත් ඊයේ ඒ වචනය ලැබුනා. අපේ ගෙදරින් කිසිවක් ලැබුනාදැයි ඇසූ විට එසේය බ්‍රාහ්මණය කියා මා පැවසුවේ ඒ නිසයි’ කියලා පිළිතුරු දුන්නා. උන්වහන්සේගේ පිළිතුරට මොග්ගලී බ්‍රාහ්මණයා ඉතාමත්ම පැහැදුනා. එදා තමන් උදෙසා සැකසූ බතින් තෙරුන් වහන්සේට උපස්ථාන කළා. දිනපතා ඒ නිවසේ ම දානය දෙන්නට පටන් ගත්තා.

138. ක්‍රමයෙන් ඒ ගෙදර සියලු දෙනා උන්වහන්සේ ගැන ගොඩාක් පැහැදුනා. බ්‍රාහ්මණයා නිතිපතා උන්වහන්සේව තම නිවසෙහි වඩාහිඳුවාගෙන දන් වැළඳෙව්වා.

139. මෙසේ ක්‍රමක්‍රමයෙන් කාලය ගත වෙද්දී තිස්ස කුමාරයාට වයස අවුරුදු දහසයක් වුනා. ඔහු දැන් ත්‍රිවේද සාගරයෙහි පරතෙරට ගිය කෙනෙක්.

140. සිග්ගව තෙරුන් වහන්සේ දැන් මොහු සමග කතා කරන්ට සුදුසු අවස්ථාව පැමිණුනා යැයි අවබෝධ කරගත්තා. එදා පිඬුසිඟා වැඩිය උන්වහන්සේ තිස්ස මාණවකයා වාඩිවෙන විශේෂ ආසනය පමණක් පෙනෙන්ට සලස්වලා අනෙක් සියලු ආසන නොපෙනෙන්ට සැලැස්සුවා.

141. බ්‍රහ්ම ලෝකයෙන් ඇවිත් ඉපදුන නිසා තිස්ස මාණවකයා පිරිසිදු බවට හරීම කැමතියි. එනිසා ඔහු තමන් ගෙදර නැති වෙලාවට සිය වාඩි වෙන ආසනය වෙන ම පිරුවටයකින් වහලා එල්ලලා තියනවා.

142. තෙරුන් වහන්සේ වැඩ සිටිද්දී ඒ පිය බ්‍රාහ්මණයා සහිත ගෙදර කිසිවෙකුට වෙන ආසනයක් දැකගන්ට තිබුනේ නෑ. එතකොට කලබල වූ ඔවුන් අර තිස්ස බ්‍රාහ්මණ කුමාරයා වාඩිවෙන ආසනය තෙරුන් වහන්සේට පිළියෙල කරලා දුන්නා.

143. තිස්ස කුමාරයා තමන්ගේ බ්‍රාහ්මණ ආචාර්යවරුන් ළඟ සිට ආපසු ගෙදර පැමිණෙද්දී තෙරුන් වහන්සේ තමන්ගේ ආසනයේ වාඩි වී ඉන්නවා දැකලා කෝපයට පත්වුනා. තමන්ගේ අකමැත්ත ප්‍රකාශ කරන වචන නිකුත් කළා.

144. එතකොට සිග්ගව මහරහතන් වහන්සේ ‘පින්වත් මාණවකය, කිම? මන්ත්‍ර දන්නවාදැ’යි ඇසුවා. එතකොට කුමාරයාත් ‘කිම? තමුන්නාන්සේ දන්න මන්ත්‍ර තිබේදැ’යි පෙරළා ප්‍රශ්න කළා.

145. තෙරුන්නාන්සේ ‘මමත් මන්ත්‍ර දන්නවායැ’යි පිළිතුරු දුන්නා. එතකොට ඒ තිස්ස මාණවකයා තෙරුන් වහන්සේ ගෙන් වේදයෙහි ගැටමුසු තැන් ගැන ඇසුවා. තෙරුන් වහන්සේ ඒ සියල්ලට ම හොඳාකාරව පිළිතුරු දුන්නා.

146. තෙරුන් වහන්සේ ගිහි ගෙදර සිටිද්දී වේදයෙහි පරතෙරට ගිහිල්ලයි සිටියේ. සතර පටිසම්භිදාවෙන් යුක්ත වූ උන්වහන්සේට කිම පිළිතුරු නොදෙන්නට කාරණයක් ඇත්තේද!

යස්ස චිත්තං උප්පජ්ජති, න නිරුජ්ඣති
තස්ස චිත්තං නිරුජ්ක්‍ධිස්සති, න උප්පජ්ජිස්සති
යස්ස වා පන චිත්තං නිරුජ්ක්‍ධිස්සති, න උප්පජ්ජිස්සති
තස්ස චිත්තං උප්පජ්ජති, න නිරුජ්ඣතී’ති

මෙය වනාහී තෙරුන් වහන්සේ විසින් තිස්ස මාණවකයාගෙන් ඇසූ ප්‍රශ්නය යි. මේ සියල්ල රහතන් වහන්සේගේ පිරිනිවන් පාන අවස්ථාවේ ඇති සිත ගැන ඇසීම යි. “යම් රහතන් වහන්සේ නමකගේ සිත උපදී ද, එය නිරුද්ධ වෙන අවස්ථාවට පත්නොවී තිබෙන නිසා නිරුද්ධ නොවේය. නිරුද්ධ වෙන අවස්ථාවට පැමිණි විට යළි අනාගතය උදෙසා සිතක් පහළ නොවන හෙයින් නූපදින්නේය. අනාගත අවස්ථාවෙහි නූපදින හෙයින් අනාගතයෙහි නිරුද්ධ වෙන්නට සිතක් ද නැත්තේය. එනිසා අනාගතයෙහි ඒ රහතන් වහන්සේට සිතක් නූපදින්නේය. නිරුද්ධ ද නොවන්නේය” වශයෙනි.

147. මෙසේ යමකප්‍රකරණයෙහි චිත්ත යමකයෙහි ඇති ප්‍රශ්නය විශාරද වූ තෙරුන් වහන්සේ අර තිස්ස කුමාරයාගෙන් ඇසුවා. එතකොට අන්ධකාරයෙහි උඩ යට පෙනෙන්නේ නැති සෙයින් මොහුට කිසිම දෙයක් නොවැටහී ගියා. එතකොට ඒ කුමාරයා මෙහෙම ඇහුවා.

148. ‘භික්ෂුව, මොකක්ද ඒ මන්ත්‍රය?’ ‘ඒක බුද්ධ මන්ත්‍රයක්.’ ‘එහෙමනම් ඒ මන්ත්‍රය අපටත් දෙන්ට.’ ‘අප වගේ පැවිදි වුනෝතින් මන්ත්‍රය දෙන්ට පුළුවනි.’

149. මන්ත්‍රය ඉගෙන ගැනීමට ආසාවෙන් මව්පියන් ගෙන් අවසර ගත් ඔහු සිග්ගව රහතන් වහන්සේ ළඟ පැවිදි වුනා. තෙරුන් වහන්සේ ඒ තරුණයා පැවිදි කොට ඔහුට දෙතිස් කුණප භාවනාව ගැන මුලින් ම අසුභ කර්මස්ථානය ඉගැන්නුවා.

150. මහානුවණැති තිස්ස සාමණේරයෝ දිගට ම දෙතිස් කුණප භාවනාව කිරීම නිසා සුළු කලකින් සෝවාන් ඵලයට පත්වුනා. තෙරුන් වහන්සේ තම ශිෂ්‍ය සාමණේරයන් සෝවාන් ඵලයට පත් වූ බව දැනගත්තා. ඒ සාමණේරයන් හට වැඩිදුරටත් ඉගැන්වීමට,

151. චණ්ඩවජ්ජි තෙරුන් ළඟට පිටත් කළා. ඒ සාමණේරයන් වහන්සේ චණ්ඩවජ්ජි තෙරුන් වෙත ගොස් සූත්‍ර පිටකයත් අභිධර්ම පිටකයත් ඉගෙන ගත්තා.

152. සිග්ගව තෙරුන් වහන්සේ සුදුසු කාලයේ උපසම්පදාව ලබාදීලා විනය පිටකයත් අනිත් පිටක දෙකත් යන තුන් පිටකය ම හොඳින් ප්‍රගුණ කෙරෙව්වා.

153. මෙසේ ත්‍රිපිටකධාරීව සිටි ඒ තරුණ තිස්ස භික්ෂුව විදර්ශනා භාවනාව දියුණු කොට අභිඥා සයකින් යුක්තව අර්හත් ඵලයට පත්වුනා. මහා තෙරුන් වහන්සේ නමක් බවට ද ක්‍රමයෙන් පත්වුනා.

154. ඒ මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ සඳ මඬලක් සෙයින්, හිරු මඬලක් සෙයින් අතිශයින් ම ප්‍රසිද්ධියට පත්වුනා. ලෝකයා උන්වහන්සේගේ වචනය සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ වචනයක් ලෙසින් මහත් හරසරින් පිළිගත්තා.

මොග්ගලීපුත්තතිස්ස තෙරුන්ගේ පහළවීම පිළිබඳ කථාව නිමා විය.

155. එක් දවසක් පාටලීපුත්‍රයෙහි සිටි යුවරජතුමා මුව දඩයමේ ගියා. වනාන්තරයේ කෙළි දෙලෙන් කල් යවන මුවන් ව දකින්ට ලැබුනා. එතකොට ඔහුට මෙහෙම හිතුනා.

156. ‘වනාන්තරයේ තණකොළ කකා ඉන්න මුවන් පවා සතුටින් කෙළිදෙලෙන් වාසය කරනවා. එහෙම එකේ සැපසේ ලබන සිව්පසය ඇතුව වාසය කරන භික්ෂූන් වහන්සේලාට මේ වගේ සතුටින් කෙළිදෙලෙන් වාසය කිරීමක් නැත්තේ මක් නිසාද?’ කියලා.

157. ඉතින් ඔහු මාළිගයට ගිහින් අශෝක රජ්ජුරුවන්ට තමන්ගේ සිතේ ඇතිවුන අදහස කියා සිටියා. එතකොට රජතුමා ඔහුට එය තේරුම් කරදීම පිණිස සත් දිනකට රාජ්‍යය ප්‍රදානය කළා.

158. ‘එම්බා කුමාරය, තොප මේ සත් දිනක් මේ රාජ්‍ය ශ්‍රීය අනුභව කළ යුතුයි. මේ සත් දින ඇවෑමෙන් තොපව ඝාතනයට පත් කරනු ලබන්නේය’ කියලා රජතුමා කිව්වා.

159. හත් දවස ඇවෑමෙන් පස්සේ රජ්ජුරුවන් ඉදිරියට පැමිණියේ වැහැරී ගිය සිරුරු ඇති යුවරජුය. එතකොට රජතුමා ‘මේ වැහැරිලා සිටින්නේ මක් නිසාදැ’යි ඇසුවා. ‘දේවයන් වහන්ස, මරණයට ඇති භය නිසා’ය කියලා කිව්වා.

160. ‘ඉතින් සත් දවසකින් මැරෙන බව දැන ඔබ කෙළිදෙලෙන් වාසය කළේ නෑ. එහෙම නම් හැම කල්හි ම මරණසතිය වඩන්නා වූ මේ භික්ෂූන් වහන්සේලා හොඳට වළඳා විනෝදයෙන් වාසය කරන්නේ කෙසේද?’ කියලා ඇසුවා.

161. එතකොට යුවරජ්ජුරුවෝ තම සහෝදර රජු විසින් පැවසූ කාරණය අහලා බුද්ධ ශාසනය කෙරෙහි පැහැදීමට පත්වුනා. ආයෙමත් දවසක් මුව දඩයමේ ගිය රජතුමාට ශාන්ත ඉඳුරන් ඇති තෙරුන් වහන්සේ නමක් ඒ වනාන්තරයේ දී දකින්ට ලැබුනා.

162. උන්වහන්සේ රුක් සෙවණක වාඩි වී සිටියා. මහා හස්තිරාජයෙක් ඒ මහාධම්මරක්ඛිත මහරහතන් වහන්සේට සල් අත්තකින් පවන් සලමින් සිටියා.

163. එතකොට නුවණැති යුවරජ්ජුරුවෝ මෙහෙම හිතුවා. ‘අනේ මම මේ තෙරුන් වහන්සේ සෙයින් උතුම් බුද්ධ ශාසනයේ පැවිදි වෙලා මේ අයුරින් වනාන්තරයේ වාසය කරන්නේ කවද්ද!’ කියලා.

164. ඔහුගේ සිතුවිලි දැනගත් තෙරුන් වහන්සේ වඩාත් පහදවාලීම පිණිස ඔහුට පෙනෙන්ට ආකාසයෙන් වැඩියා. අශෝකාරමයෙහි පිහිටි පොකුණෙහි ජලය මත සිටගත්තා.

165. උන්වහන්සේ වැලක දමන සෙයින් උතුම් සිවුරු අහසෙහි තිබ්බා. පොකුණට බැහැලා හොඳින් අත්පා සෝදාගෙන ස්නානය කළා.

166. ඉතින් යුවරජ්ජුරුවෝ ඒ ඉර්ධියත් දැක්කා. දැකලා ගොඩාක් ම පැහැදුනා. ඉතා නුවණැති ඔහු අද ම මං පැවිදි වෙන්ට ඕනෑය කියලා නුවණින් යුතුව තීරණයක් ගත්තා.

167. මහරජ්ජුරුවන් ළඟට ගියා. ඉතා ආදරයෙන් යුක්තව පැවිදි වෙන්ට අවසර ඉල්ලුවා. ඔහුව පැවිදි බවෙන් වළක්වන්ට නොහැකි වූ රජ්ජුරුවෝ ඔහුත් රැගෙන,

168. මහත් පිරිවර සමග විහාරයට ගියා. එහි දී යුවරජ්ජුරුවන් මහාධම්මරක්ඛිත රහතන් වහන්සේ ළඟ ගෞතම බුදු සසුනෙහි පැවිදි බව ලබාගත්තා.

169. ඔහු පැවිදි වෙද්දි තව හාරලක්ෂයක පිරිවරකුත් පැවිදි වුනා. ඒ විස්තර අසා පැවිදි වූ පිරිස ගණනින් කියන්ට අමාරුයි.

170. අග්ගිබ්‍රහ්ම යන නමින් ඉතා ප්‍රසිද්ධ වූ බෑනා කෙනෙක් අශෝක රජ්ජුරුවන්ට සිටියා. රජ්ජුරුවන්ගේ දියණිය වන සංඝමිත්තා කුමරියගේ ස්වාමියා වූයේ ඔහු ය.

171. ඔහුගේත් ඇයගේත් පුත්‍රයා වූයේ සුමන නමැති කුමාරයා ය. සුමන කුමාරයාත් රජ්ජුරුවන්ගෙන් අවසර ගෙන යුවරජු පැවිදි වෙන දවසේ පැවිදි වුනා.

172. මහාජනයාගේ යහපත පිණිස හේතුභූත වූ යුවරාජයාගේ පැවිද්ද සිද්ධ වුනේ ඒ අශෝක රජ්ජුරුවන් රාජාභිෂේකය ලබා සතරවැනි අවුරුද්දේය.

173. නිවන් අවබෝධය පිණිස සසරෙහි රැස්කරගත් වාසනා සම්පත් ඇති ඒ යුවරජු එහි ම උපසම්පදා වුනා. සාසන බ්‍රහ්මචරියාවෙහි වීරිය වැඩුවා. සය වැදෑරුම් අභිඥාවෙන් යුතු රහතන් වහන්සේ නමක් බවට පත්වුනා.

174. අසූහාර දහසක් නගර වල ඉදිකිරීමට පටන් ගත් සියලු මනෝරම්‍ය වූ විහාර කර්මාන්තයන් තුන් අවුරුද්දක දී හොඳාකාර ලෙසින් සම්පූර්ණ වුනා.

175. විහාර කර්මාන්තය සොයා බැලූ ඉන්ද්‍රගුප්ත රහතන් වහන්සේගේ මහා ඉර්ධි බලයේ සහාය නිසා අශෝකාරාමය නමැති රම්‍ය වූ විහාරයත් ඉක්මනින් සම්පූර්ණ වුනා.

176. තුන් ලොව දිනූ භාග්‍යවතුන් වහන්සේ විසින් පරිභෝග කරන ලද ඒ ඒ ස්ථානයෙහි රජ්ජුරුවෝ රම්‍ය වූ චෛත්‍යයන් කෙරෙව්වා.

177. අවට අසූහාර දහසක් නගරයන්හි විහාර කර්මාන්තය අවසන් වූ බවට දැනුම් දෙන සියලු සංදේශයන් එකම දවසේ රැගෙන ආවා.

178. ඒ ඒ සන්දේශයන් ඇසූ මහා තේජසින් හා ඉර්ධි වික්‍රමයෙන් යුක්ත වූ මහරජ්ජුරුවෝ සියලු ආරාමයන්වල මහා පූජාව එකම දවසේ සිද්ධ කරන්ට කැමති වුනා.

179. එතකොට රජ්ජුරුවෝ අඬබෙර පැතිරෙව්වා. මෙයින් සත් දවසකට පස්සේ හැම ප්‍රදේශයක ම සියලු විහාරාරාමයන්ගේ පූජාව එකම දවසේ වේවා!

180. යොදුනක් යොදුනක් පාසා දඹදිව මහා දන්සැල් දෙත්වා! සියලු ගම්වලට යන, ආරාමයන්ට යන මාර්ගයන් අලංකාර කරත්වා!

181. සියලු විහාරයන්හී වැඩවාසය කරන භික්ෂු සංඝයා වහන්සේට කැප අකැප කාලය හොඳින් හඳුනාගෙන තම තමන්ට හැකි පමණින් මහාදන් පවත්වත්වා!

182. දැල්වෙන පහන් මාලාවන්ගෙනුත් මල්මාලාවන් ගෙනුත් ඒ ඒ තැන අලංකාර කරත්වා! හැම තැන්හි ම නොයෙක් ආකාරයෙන් උපහාර කොට පංච තූර්ය නාදය පතුරවත්වා!

183. සියල්ලෝ ම උතුම් උපෝසථ සිල් සමාදන් වී භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසත්වා! නොයෙක් ආකාරයෙන් සිත් වූ පරිදි පුද පූජාවන් කරත්වා!

184. එතකොට සියලු දෙනා ම ඒ අඬබෙර හඬට සවන් දීලා සෑම තැනක ම සියලු ආකාරයෙන් ඉල්ලා සිටි කරුණු වලටත් වඩා වැඩියෙන් දෙව්ලොව දක්වන පූජෝත්සව සෙයින් මහත් රම්‍ය වූ පූජාවන් පිළියෙල කළා.

185. එදා මහරජ්ජුරුවෝ සියලු රාජාභරණයන්ගෙන් අලංකාරව සැරසිලා තම අන්තඃපුර ස්ත්‍රීන් සමග, තම ඇමතියන් සමග ඇත්, අස්, රිය, පාබල යන චතුරංගිනී සේනාව සමග පිරිවරාගෙන සිටියා.

186. පංචතූර්ය වාදන ආදියෙන් මහපොළොව ගිගුම් ගන්වමින් රජ්ජුරුවෝ තමන් විසින් කරන ලද අශෝකාරාමයට සැපත් වුනා. උතුම් වූ සංඝයා වහන්සේට වන්දනා කොට සංඝයා මැද සිටගත්තා.

187. ඒ අවස්ථාවෙහි රැස්වූ සංඝයා වහන්සේ ගණනින් අසූ කෝටියක් වුනා. උන්වහන්සේලා අතර ක්ෂීණාශ්‍රව වූ රහතන් වහන්සේලා ලක්ෂයක් වැඩසිටියා.

188. එතනට රැස් වූ භික්ෂුණීන් වහන්සේලා ගණන අනූ ලක්ෂයක් වුනා. ඒ භික්ෂුණීන් අතර ක්ෂීණාශ්‍රව වූ රහත් භික්ෂුණීන් දහසක් සිටියා.

189. ඒ රහතන් වහන්සේලා ධර්මාශෝක රජ්ජුරුවන් තුළ බුද්ධ ශාසනය කෙරෙහි චිත්ත ප්‍රසාදය දියුණු වීම පිණිස ‘ලෝක විවරණ පූජා’ නමින් ප්‍රාතිහාර්යයක් කළා.

190. තමන් බෞද්ධ වෙන්ට කලින් රජකම ලැබීම පිණිස පව් කළ බැවින් මේ රජ්ජුරුවන් ප්‍රසිද්ධව සිටියේ චණ්ඩාශෝක යන නමිනුයි. බෞද්ධ වීමෙන් පසු අනේක වූ පින්කම් කිරීම හේතුවෙන් මොහු ධර්මාශෝක නමින් ප්‍රසිද්ධියට පත්වුනා.

191. එදා රජ්ජුරුවෝ මහා සාගරය කෙළවර කොට ඇති දඹදිව පුරා පිහිටි සියලු විහාරයන්වල කෙරෙන අලංකාර පුද පූජාවන් ලෝක විවරණ ප්‍රාතිහාර්යය හේතුවෙන් සිය ඇසින් ම දැකගත්තා.

192. එතකොට ඒවා දුටු රජ්ජුරුවෝ අතිශයින් ම සතුටට පත්වුනා. සංඝයාට වන්දනා කොට වාඩිවුනා. ‘ස්වාමීනී, මේ මහා සුගත ශාසනයෙහි පරිත්‍යාග කරපු අය අතර අග්‍ර කවුරුදැ’යි අසා සිටියා.

193. ඒ අවස්ථාවෙහි මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ රජ්ජුරුවන්ගේ ප්‍රශ්නයට පිළිතුරු දුන්නා. ‘මහරජ්ජුරුවනි, අප සුගත තථාගතයන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලයේදීවත් ඔබට සමාන වූ ත්‍යාගවන්තයෙක් බුද්ධ ශාසනයෙහි සිටියේ නෑ’ කිව්වා.

194. ඒ වචනය ඇසූ රජ්ජුරුවෝ මහත් සතුටට පත්වුනා. ‘එසේ වී නම් ස්වාමීනී, මා වැනි කෙනෙක් බුද්ධ ශාසන දායාදය ලැබුවෙක් නේදැ’යි තෙරුන් වහන්සේගෙන් ඇසුවා.

195. එතකොට මහරහතන් වහන්සේ ඒ ධර්මාශෝක නරේන්ද්‍රයාගේ පුත්‍ර වූ මහින්ද කුමාරයාගේත් රාජ දියණිය වන සංඝමිත්තා කුමරියගේත් නිවන අවබෝධයට සුදුසු වූ පුණ්‍ය වාසනා සම්පත් ඔවුන් තුළ රැස් වී ඇතිබව දැනගෙන,

196. ඔවුන් විසින් අනාගතයේ කරනු ලබන්නා වූ ගෞතම බුද්ධ ශාසනය බැබලවීමට හේතුවන කරුණු දැනගෙන ඒ ශාසනධුරන්ධර මහරහතන් වහන්සේ රජ්ජුරුවන්ට මෙහෙම කිව්වා.

197. ‘මහරජ්ජුරුවනි, ඔබ මහා ත්‍යාගවන්තයෙක් වුනත් බුද්ධ ශාසනයෙහි දායාදය ලැබූවෙක් නොවෙයි. ඔබ සිව්පසය පුදන දායකයෙක් පමණයි.

198. මහරජ්ජුරුවනි, යමෙක් තමන්ගේ පුත්‍රයෙකු හෝ දියණියක හෝ බුදු සසුනෙහි පැවිදි කරවනවා නම් ශාසනදායාදය ලැබුවෙක් වන්නේ ඔහු ය. හුදෙක් සිව්පස දායකයෙක් වූ පමණින් ශාසන දායාදයට හිමිකරුවෙක් වන්නේ නෑ.

199. එතකොට ධර්මාශෝක රජ්ජුරුවන්ට ගෞතම බුද්ධ ශාසනයෙහි දායාදය ලබන්නට මහත් ආසාවක් ඇතිවුනා. මහින්ද රාජ කුමාරයාගෙනුත් සංඝමිත්තා රාජ දියණිය ගෙනුත් මෙහෙම ඇහුවා.

200. ‘කිම? මාගේ දරුවෙනි, තෙපි පැවිදි වන්නහුද? බුදු සසුනේ පැවිද්ද වනාහී ඉතා උතුම් දෙයක් නොවැ’ කියලා කිව්වා. පිය රජ්ජුරුවන්ගේ වචනය ඇසූ දරුවන් පිය රජුන්ට මෙහෙම පිළිතුරු දුන්නා.

201. ‘දේවයන් වහන්ස, ඔබවහන්සේ කැමති වන සේක් නම් අපි අද වුනත් පැවිදි වෙන්ට කැමතියි. ගෞතම බුදු සසුනෙහි පැවිදි බව ලැබීමෙන් අපටත් ඔබවහන්සේටත් ලාභයක් ම යි වන්නේ.

202. යුවරජ්ජුරුවන් පැවිදි වෙච්ච දවසේ ඉඳලා මහින්ද කුමාරයා සිටියේ පැවිදි වෙන්ට කැමැත්තෙන් ම යි. සිය ස්වාමියා වූ අග්ගිබ්‍රහ්ම කුමාරයා පැවිදි වෙච්ච දවසේ ඉඳලා සංඝමිත්තා කුමරිය සිටියේ පැවිදි වෙන්ට කැමැත්තෙන් ම යි.

203. ධර්මාශෝක රජ්ජුරුවෝ හිස් වූ යුවරාජ පදවිය මහින්ද කුමාරයාට දෙන්ට කැමැත්තෙන් සිටියත් මිහිඳු කුමාරයා ඒ යුවරජ පදවියට වඩා පැවිදි වීම ගැන ගොඩාක් ම ආසා කළා.

204. බුද්ධි බලයෙනුත් රූප බලයෙනුත් බබලන මිහිඳු නමැති ප්‍රිය පුත්‍රයාත් සංඝමිත්තා නමැති රාජ දියණියත් මහත් ගරු සත්කාර සහිතව ගෞතම බුද්ධ ශාසනයෙහි පැවිදි කෙරෙව්වා.

205. ඒ වෙද්දි පියරජු සතුටු කරවන මිහිඳු කුමාරයාට වයස අවුරුදු විස්ස යි. සංඝමිත්තා රාජ දියණියට වයස අවුරුදු දහඅට යි.

206. මිහිඳු කුමාරයා පැවිදි වූ දවසේ ම ඔහුගේ උපසම්පදාවත් ලැබුනා. ඒ රාජ දියණියට පැවිද්දයි සික්ඛමානාවක් ලෙසින් ශික්ෂාපද සමාදන් වීමයි එදාම ලැබුනා.

207. මිහිඳු කුමාරයාගේ උපාධ්‍යායන් වහන්සේ වූයේ මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ ය. මහාදේව තෙරුන් වහන්සේ කුමාරයාව පැවිදි කළා. මජ්ඣන්තික තෙරුන් වහන්සේ,

208. උපසම්පදාවේදී කර්ම වාක්‍ය පැවසුවා. උපසම්පදා මාලකයෙහි දී මිහිඳු නමැති නවක උපසම්පදාලාභී භික්ෂුව සතර පටිසම්භිදාවෙන් යුක්තව අර්හත් ඵලයට පත්වුනා.

209. සංඝමිත්තා කුමරිය පැවිදි වන විට ඇයගේ උපාධ්‍යාය භික්ෂුණිය වූයේ ධම්මපාලා තෙරණිය යි. ඇයගේ ආචාර්ය භික්ෂුණිය වූයේ ආයුපාලී තෙරණිය යි. ඒ සංඝමිත්තාවෝ කිහිප දිනකින් උතුම් අර්හත්වයට පත්වුනා.

210. රහත් ඵලයට පත් වූ මිහිඳු තෙරුණුත් සංඝමිත්තා භික්ෂුණියත් යන දෙදෙනා වහන්සේ ම ලංකාද්වීපයේ බුද්ධ ශාසනය බබුළුවන්නට බොහෝ උපකාරී වුනා. මෙතුමන් වහන්සේලා පැවිදි වෙද්දී ධර්මාශෝක රජ්ජුරුවන් රාජාභිෂේකය ලබා අවුරුදු හයයි.

211. ලංකාද්වීපය ම බුදු සසුනෙහි පැහැදීමට පත් කළ දීපප්පසාදක වූ මිහිඳු මහරහතන් වහන්සේ පැවිදි උපසම්පදාව ලබා තුන් අවුරුද්දක් ඇතුළත සිය උපාධ්‍යාය වූ මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ වෙතින් තුන් පිටකය ම ඉගෙන ගත්තා.

212. ඒ භික්ෂුණිය සඳරේඛාවක් වගේ වුනා. මහින්ද භික්ෂුව හිරු මඬල වගේ වුනා. ඒ කාලයෙහි මේ දෙදෙනා වහන්සේ ම ශ්‍රී සම්බුද්ධ ශාසනය නමැති ගගන තලයෙහි සෝභමානව වැඩ සිටියා.

213. එක් කලෙක පාටලීපුත්‍ර නගරයෙන් වනයට ගොස් වනාන්තරයෙහි ඇවිදිමින් සිටි එක්තරා පුද්ගලයෙක් සිටියා. මොහු වනයෙහි සිටි කුන්තකින්නරී නමින් හඳුන්වන කිඳුරියක් සමග අඹුසැමියන් වශයෙන් වාසය කළා.

214. එසේ වාසය කිරීම හේතුවෙන් ඒ කිඳුරිය පුතුන් දෙදෙනෙකුත් බිහිකළා. ලොකු පුතාගේ නම තිස්ස ය. පොඩි පුතා සුමිත්ත නමින් හැඳින්වුනා.

215. මහාවරුණ මහරහතන් වහන්සේගේ කාලයෙහි මේ තිස්ස, සුමිත්ත දෙදෙනා උන්වහන්සේ ළඟ පැවිදි වුනා. සයවැදෑරුම් අභිඥා ලබාගනිමින් දෙදෙනා ම උතුම් අර්හත්වයට පත්වුනා.

216. ඒ වැඩිමහලු වූ තිස්ස තෙරුන් හට ගෝණුසු විසක් නිසා පාදයෙහි ඉතා වේදනාවෙන් යුක්ත වූ තුවාලයක් ඇතිවුනා. තම සොයුරු වූ සුමිත්ත තෙරුන්ගෙන් බෙහෙත් පිණිස පතක් පමණ ගිතෙල් ටිකක් ඕනෑය කියා කිව්වා.

217. එතකොට සුමිත්ත තෙරුන් වහන්සේ ගිලන් පිණිසවත් රජ්ජුරුවන්ට දැනුම් දෙන්ට හෝ ගිතෙල් ටිකක් සොයා ගැනීම පිණිස සවස් වරුවෙහි පිඬුසිඟා යෑමට ඇති අකමැත්ත නිසාත් ප්‍රතික්ෂේප කළා.

218. එහෙමනම් පිඬුසිඟා යද්දි ගිතෙල් ටිකක් ලැබුනොත් එය අරන් එන්ට කියා තිස්ස තෙරුන් වහන්සේ ඉතා උත්තම වූ සුමිත්ත තෙරුන් වහන්සේට පැවසුවා.

219. එදා පිණ්ඩපාතයේ වඩිද්දී ඒ සුමිත්ත තෙරුන් වහන්සේට පතක් පමණ වූ ගිතෙල් ටිකක් ලැබුනේ නෑ. අන්තිමේදී ගිතෙල් කල සීයකින්වත් සුව කරන්ට නොහැකි විදිහට රෝගය අසාධ්‍ය වුනා.

220. ඒ අසනීපයෙන් ම තිස්ස මහරහතන් වහන්සේ ආයුෂ ක්ෂය වීමට පත්වුනා. අනිත් භික්ෂූන් වහන්සේලාට චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස අප්‍රමාදී වෙන්ට ඕනෑ කියා තමන්වහන්සේ පිරිනිවන් පාන්ට සිතින් අධිෂ්ඨාන කළා.

221. තිස්ස රහතන් වහන්සේ අහසට පැන නැගී අහසෙහි වාඩිවුනා. තේජෝ ධාතුවට සමවැදී ගිය ධ්‍යානයෙන් යුතුව තමන් වහන්සේ කැමැති පරිද්දෙන් ශරීරය පිළිබඳ ව අධිෂ්ඨාන කොට පිරිනිවන් පෑවා.

222. මෙසේ පිරිනිවන් පෑමේදී රහතන් වහන්සේගේ සිරුරින් නික්මී ගිය ගිනිදැල්වලින් මුළු සිරුරේ ම මාංශයන්වත් අළුවත් ඉතිරි නොවී දැවී ගියා. අස්ථිධාතු පමණක් ඉතිරි වුනා.

223. ධර්මාශෝක රජ්ජුරුවන්ට තිස්ස තෙරුන් පිරිනිවන් පෑවේ ඒ අයුරින් ය කියා අසන්ට ලැබුනා. මහාජනකාය ද පිරිවරාගත් ඔහු තමන්ගේ ආරාමය වන අශෝකාරාමයට ගියා.

224. රජ්ජුරුවන් හස්තිරාජයාගේ පිට මත සිට ගෙන අහසේ තිබූ ධාතූන් වහන්සේලා පහළට වැඩැම්මුවා. ඒ ධාතූන් වහන්සේලාට සත්කාර සම්මාන පවත්වලා ‘උන්වහන්සේ පිරිනිවන් පාන්ට හේතු වූ රෝගය කිමෙක් ද?’ කියලා සංඝයාගෙන් ඇසුවා.

225. බෙහෙත් පිණිස පතක් පමණ ගිතෙල් සොයා ගන්ට බැරිවීමෙන් රෝගය උත්සන්න වී පිරිනිවන් පා වදාළ බව ඇසූ රජ්ජුරුවෝ මා වැනි රජෙක් සිටිද්දීත් භික්ෂූන්ට බෙහෙත් නැති වුනා කියා මහත් සංවේගයට පත්වුනා. නුවර සතර වාසල්කඩ අසල විශේෂ පොකුණු කරවා ඒවා බෙහෙත් ඖෂධවලින් පිරෙව්වා.

226. භික්ෂු සංඝයා වහන්සේට ගිතෙල් මී පැණි ආදී කිසි බෙහෙතක් අඩුපාඩුවක් වෙන්ට එපාය කියලා දිනපතා භික්ෂු සංඝයාට බෙහෙත් දුන්නා.

227. තිස්ස තෙරුන්ගේ සහෝදර වූ සුමිත්ත මහරහතන් වහන්සේත් සක්මන් මළුවේ සක්මන් කරන ඉරියව්වේ දී ම පිරිනිවන් පෑවා. උන්වහන්සේගේ පිරිනිවන් පෑමෙනුත් මහාජනයා බුද්ධ ශාසනය පිළිබඳ තවතවත් වැඩියෙන් පැහැදුනා.

228. ලෝකයාගේ යහපත කැමැතිව වැඩ සිටි කුන්ති කිඳුරියගේ පුත්‍රයන් වූ ඒ රහතන් වහන්සේලා දෙනම පිරිනිවන් පාද්දී ධර්මාශෝක රජ්ජුරුවන් අභිෂේකය ලබා අවුරුදු අටයි.

229. මේ හේතුව නිසා සංඝයාට වඩ වඩාත් සිව්පස ලාභය බොහෝ සෙයින් ම ලැබුනා. පසුව පැහැදුනු ජනතාවත් සංඝයාට මහත් ලාභ සත්කාර පැවැත්තුවා.

230. අන්‍ය තීර්ථක තාපස, පරිබ්‍රාජක, පාෂාණ්ඩ ආදීන්ට ලැබෙමින් තිබූ සත්කාර නැතිවෙලා ගියා. පහසුවෙන් සිව්පසය ලාභය අපේක්ෂාවෙන් ඒ තීර්ථකයෝ තමන් ම සිවුරු පොරොවා ගෙන ආර්ය පැවිද්ද ලබා සිටි නිර්මල භික්ෂූන් අතරට එක්ව වාසය කළා.

231. තමන් ම සිව්රු පොරොවා ගෙන සංඝයා අතර සිටි ශ්‍රමණවේශධාරීන් බණ කියද්දී බුද්ධවචනය මෙය ය කියලා තම තමන්ගේ මතිමතාන්තර කියන්ට පටන් ගත්තා. ඔවුන් කැමති පරිදි තමන්ගේ ගිනිපිදීම් ආදී දේත් කරගෙන ගියා.

232. එතකොට අෂ්ටලෝක ධර්මයෙන් නොසැලෙන ස්ථිරව පිහිටි ගුණ ඇති මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ මේ ඉතාමත් බරපතල වූ මේ ශාසනික අර්බුදය දැක්කා.

233. අනාගතයේ ඉතා දුර පෙනෙන මහරහතන් වහන්සේ මේ ශාසනික අර්බුදය සංසිඳුවීමට අවස්ථාවක් බලාපොරොත්තුවෙන් සිටියා. මිහිඳු මහරහතන් වහන්සේට තමන් යටතේ සිටි මහා භික්ෂු පිරිස භාර කළා.

234. ගංගා නම් වූ මහාගංගාවට උඩු පැත්තේ පිහිටි අහෝගංග පර්වතයට වැඩම කොට විවේකීව සත් වර්ෂයක් වැඩසිටියා.

235. තමන්ම සිවුරු පොරොවා ගෙන සිටි තීර්ථකයන් බොහෝ පිරිසක් සිටියා. ඔවුන් සංඝයාගේ අවවාද වලට අකීකරු වුනා. සැබෑ භික්ෂූන් නොවන බව පෙන්නා දීලා ධර්මානුකූලව ඔවුන්ව සංඝයාගෙන් බැහැර කරන්ට භික්ෂූන් වහන්සේලාට බැරිවුනා.

236. ඔවුන්ගේ දඩබ්බර ක්‍රියාකාරකම් හේතුවෙන් දඹදිව සියලු විහාරආරාමවල භික්ෂූන් වහන්සේලා සත් අවුරුද්දක් ම පොහොය කිරීම් ආදී විනය කර්මයන් කරන්ට නොහැකිව සිටියා.

237. මහා යසපිරිවර ඇති ධර්මාශෝක මහරජ්ජුරුවන්ට භික්ෂූන්ගේ පොහොය නොකිරීම ගැන දැනගන්ට ලැබුනා. උතුම් වූ අශෝකාරාමයට එක් අමාත්‍යවරෙයෙක් පිටත් කෙරෙව්වා.

238. ‘එම්බා අමාත්‍යය, මාගේ අශෝකාරාමයෙහි පොහෝ පවුරුණු ආදිය නොකිරීමට හේතු වූ අර්බුදය සංසිඳුවාලව. භික්ෂු සංඝයා ලවා පොහොය කිරීමාදිය කරන්ට සලස්සව’ කියලා පිටත් කෙරෙව්වා.

239. ඒ ඇමැති මඳ නුවණින් යුතු කෙනෙක්. ඔහු අශෝකාරාමයට ගිහින් භික්ෂු සංඝයාව රැස් කෙරෙව්වා. ‘නුඹලා දැන් පොහොය කරව්!’ කියලා රාජහසුන ඇස්සෙව්වා.

240. ‘හොරට සිවුරු පොරොවා ගෙන සිටින අන්‍යතීර්ථකයන් එක්ක අපි පොහොය කරන්නේ නෑ’ කියා භික්ෂු සංඝයා වහන්සේ ඒ මෝඩ සිතින් යුතු අමාත්‍යයාට පිළිතුරු දුන්නා.

241. එතකොට ඒ අමාත්‍යයා ‘හොඳයි එහෙනම් මං පොහොය කරවන්නම්’ කියලා කඩුවක් ගෙන පිළිවෙළින් වැඩසිටි ස්ථවිර භික්ෂූන් වහන්සේලා කීප නමකගේ ම හිස ගසා දැම්මා.

242. කලින් යුවරාජව සිටි ධර්මාශෝක නිරිඳුන්ගේ සහෝදර වූ තිස්ස මහරහතන් වහන්සේ මෙය දැක්කා. වහා පෙරට වැඩ ඊළඟට කඩු පහරට මුහුණ දීම පිණිස ඔහුට ළඟම වූ ආසනයෙහි වාඩිවුනා.

243. තිස්ස තෙරුන් දුටුව ඒ අමාත්‍යයා ආපසු ගිහින් මහරජ්ජුරුවන්ට දැනුම් දුන්නා. ඒ සියලු විස්තර ඇසූ ධර්මාශෝක රජුගේ සිරුරේ මහත් දාහයක් හටගත්තා.

244. මහත් සේ සසල වී ගිය සිතින් යුතු රජ්ජුරුවෝ වහ වහා භික්ෂූන් වහන්සේලා බැහැදකින්ට ගියා. ‘අනේ ස්වාමීනී, මා භික්ෂූන් ඝාතනය කරවන්ට කිසිවෙක් එව්වේ නෑ. මේ කරන ලද දේ නිසා පව් රැස් වුනේ කාටදැ’යි කියා ඇසුවා.

245. ඒ භික්ෂූන් අතර සිටි නුවණ මඳ භික්ෂූන් ‘මහරජ්ජුරුවෙනි, මෙයින් තොපට පව් රැස්වුනා’ කියලා කිව්වා. ඇතැම් භික්ෂූන් කිව්වේ තොපටත් අමාත්‍යයාටත් දෙපැත්තට ම පව් සිදු වූ බවයි. නමුත් නුවණැති භික්ෂූන් වහන්සේලා ‘මහරජ්ජුරුවෙනි, මේ අමාත්‍යයා එහි ගොස් භික්ෂූන් නසාවා! යන සිත ඔබට ඇති වුනාද කියලා ඇහැව්වා. ‘මා තුළ එබඳු චේතනාවක් ඇති වුනේ නෑ’ කිව්වා. ‘භික්ෂු සංඝයා සමගිව පොහොය කරත්වා! යන චේතනාවෙන් ම ඔහුව පිටත් කළා’ කියා කිව්වා. ‘මෙහිලා කුසල් සිතක් මිසක් භික්ෂූන් ඝාතනය කරවීමේ චේතනාවක් ඔබට නැති නිසා පව් සිදුවුනේ නෑ’ කිව්වා.

246. එය ඇසූ මහරජ්ජුරුවෝ මෙහෙම ඇහැව්වා. ‘ස්වාමීනී, මා තුළ ඇති වූ මේ විමතියන් දුරුකොට යළි බුද්ධ ශාසනය නගා සිටුවන්නට සමත් භික්ෂූන් වහන්සේ නමක් වැඩ ඉන්නවා ද?’ කියලා.

247. ‘මහරජ්ජුරුවෙනි, ඔබගේ ඔය සියලු අදහස් සඵල කරදිය හැකි මොග්ගලීපුත්ත තිස්ස මහා තෙරපාණන් වහන්සේ වැඩසිටිනවා’ කියලා පිළිතුරු දුන්නා. එය ඇසූ රජ්ජුරුවන්ගේ සිතෙහි උන්වහන්සේ කෙරෙහි මහත් ආදරයක් හටගත්තා.

248. එතකොට රජ්ජුරුවෝ එදා ම එක් නමකට දහස බැගින් පිරිවර ඇති භික්ෂූන් වහන්සේලා සතර නමකුයි, එක් අමාත්‍යයෙකුට දහස බැගින් පිරිවර ඇති අමාත්‍යවරු සතර දෙනෙකුයි තෙරුන් වහන්සේ වැඩමවාගෙන එන්ට කියලා පිටත් කෙරෙව්වා.

249. තමන්ගේ වචනයෙන් තෙරුන් වහන්සේ වැඩමවාගෙන එන්ට එදින ම ඒ දහස් ගණන් පිරිස පිටත් කළා. ඔවුන්ගේ ආරාධනාවට වුනත් උන්වහන්සේ වැඩම කළේ නෑ.

250. උන්වහන්සේ නොවඩින බවයි රජ්ජුරුවන්ට දැනුම් දුන්නේ. එතකොට රජ්ජුරුවෝ ආයෙමත් එක් නමකට දහස බැගින් පිරිවර භික්ෂූන් සහිත ස්ථවිරයන් වහන්සේලා අට නමකුයි, එක් අමාත්‍යයෙකුට පුරුෂයන් දහස බැගින් වූ අමාත්‍යවරු අට දෙනෙකුයි පිටත් කෙරෙව්වා. ඒ වතාවේදිත් තෙරුන් වහන්සේ වැඩම කළේ නෑ.

251. එතකොට රජ්ජුරුවෝ භික්ෂූන්ගෙන් මෙහෙම ඇහැව්වා. ‘ස්වාමීනී, අපගේ තෙරුන් වහන්සේ වඩම්මවා ගන්ට පිළිවෙළක් නැද්ද?’ කියලා. භික්ෂූන් වහන්සේලා තෙරුන් වහන්සේ වඩම්මා ගන්ට නම් ආරාධනා කළයුතු ක්‍රමය ගැන කියලා දුන්නා.

252. ‘ස්වාමීනී, අප භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය පිරිහීගෙන යයි. ඒ උතුම් බුදු සසුන යළි නගා සිටුවීම පිණිස අපට උපකාරී වුව මැනව’ කියා මහරජ්ජුරුවෙනි ඔය අයුරින් ඇරයුම් කළෝතින් අපගේ ස්ථවිරෝත්තමයන් වහන්සේ වැඩම කරාවි.

253. ඒ වතාවේ රජ්ජුරුවෝ එක් භික්ෂුවකට දහසක් පිරිවර භික්ෂූන් සහිතව මහාස්ථවිරයන් වහන්සේ දහසය නමකුත්, එක් ඇමතියෙකුට පුරුෂයන් දහස බැගින් කොට අමාත්‍යවරු දහසය දෙනෙකුත් වශයෙන් පිරිසක් භික්ෂූන් වහන්සේලා පැවසූ අයුරින් ආරාධනාව ඇතිව පිටත් කෙරෙව්වා.

254. අපගේ මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ ගොඩාක් වයසකයි කියලා දැනගන්ට ලැබුනා. ඒ වගේ ම සතුන් යොදවන ලද වාහනයක් මතින් වඩින්නේ නෑ කියලත් දැනගන්ට ලැබුනා. “එසේ නම් දරුවෙනි ගංගා නම් ගඟින් නැව් පසුරක නංවාගෙන දෙගං ඉවුරේ රැකවරණ දම්මවලා වඩමවාගෙන එන්ට” කියලා රජ්ජුරුවෝ දැනුම් දුන්නා.

255. ඔවුන් ගිහින් ඒ කාරණය තෙරුන් වහන්සේට සැළකළා. අප මහරහතන් වහන්සේ එය ඇසූ සැණින් ම වැඩසිටි අසුනෙන් නැගිට වදාළා. උන්වහන්සේව වඩමවා ගෙන ආ නැව් පසුර පාටලීපුත්‍ර නගරාසන්නයේ තොටුපළට සේන්දු වුනා. මහරජ්ජුරුවෝ උන්වහන්සේව පිළිගැනීමට පෙර ගමන් කළා.

256. රජ්ජුරුවෝ දණක් පමණ වතුරට බැස්සා. නැවෙන් ගොඩට වඩින මහරහතන් වහන්සේ කෙරෙහි මහත් ගෞරවාදරයෙන් යුක්තව තමන්ගේ දකුණු අත තෙරුන් වහන්සේට දිගු කළා.

257. මහරජ්ජුරුවන් කෙරෙහි මහත් අනුකම්පා ඇති, දන් ලැබීමෙහි අතිශයින් සුදුසු වූ, අපගේ මහරහතන් වහන්සේ අනුකම්පාවෙන් ම රජ්ජුරුවන්ගේ දකුණු අතෙහි එල්ලී ගත් වාරුවෙන් යුතුව නැවෙන් ගොඩට වැඩියා.

258. රජ්ජුරුවෝ ඉතා සතුට වඩවන රාජඋද්‍යානයට තෙරුන් වහන්සේව වඩමවා ගත්තා. තෙරුන් වහන්සේගේ පා ධෝවනය කරවලා, පාදයන්හි තෙල් ගල්වලා පසෙකින් වාඩිවුනා.

259. ශාසන අනුග්‍රහයත්, තමන්ගේ විමතිය දුරුකිරීමත් යන කරුණු වලට තෙරුන් වහන්සේ තුළ ඇති දක්ෂතාව විමසන්ට ඕන කියලා රජ්ජුරුවන්ට සිතුනා. ‘ස්වාමීනී, මම ප්‍රාතිහාර්යයක් දකින්ට කැමතියි’ කියලා කිව්වා.

260. ‘මහරජ්ජුරුවෙනි, මොන වගේ ප්‍රාතිහාර්යයක් ද දකින්ට ආසා?’ ‘ස්වාමීනී, මහපොළොව සෙලවෙනවායි දකින්ට ආසා’ කියලා පිළිතුරු දුන්නා. ‘මහරජ්ජුරුවෙනි, මුළු මහත් පොළෝ තලය ම සෙලවෙනවා දකින්ටද ආසා, එහෙම නැත්නම් එක් ප්‍රදේශයක් පමණක් සෙලවෙනවා දකින්ට ද?’

261. ‘ස්වාමීනී, ඔය ප්‍රාතිහාර්ය දෙකින් වඩාත් අසීරු කුමක් ද?’ ‘මහරජ්ජුරුවෙනි, එක් ප්‍රදේශයක් පමණක් සෙලවෙන්ට සැලැස්සීම යි අසීරු’ ‘එහෙමනම් ස්වාමීනී, මං එක් ප්‍රදේශයක් පමණක් සොලවා දමන ප්‍රාතිහාර්යය දකින්ටයි ආසා.’

262. එතකොට අපගේ මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ යොදුනක ප්‍රදේශය සීමා කෙරෙව්වා. ඒ ඇතුළත සතර දිසාවේ රථයකුත්, අශ්වයෙකුත්, මිනිසෙකුත්, ජලය මුවවිට දක්වා පුරවන ලද පාත්‍රයකුත් තැබ්බෙව්වා.

263. එසේ තබ්බවපු රථ ආදියත්, අඩක් අඩක් හසුවෙන සේ යොදුනක ප්‍රමාණ වූ මහපොළොව සෙලවෙන ආකාරය ඒ උයනෙහි වාඩි වී සිටි රජ්ජුරුවන්ට ඉර්ධි බලයෙන් දකින්ට සැලැස්සුවා.

264. ඊට පස්සේ තමන්ගේ ඇමැතියෙකු විසින් භික්ෂූන් වහන්සේලා ඝාතනය කරවපු පාපය තමන්ටත් අයිති වුනාද නැද්ද කියලා රජ්ජුරුවන් අපගේ තෙරුන් වහන්සේගෙන් ඇහැව්වා.

265. එතකොට අප තෙරුන් වහන්සේ ‘මහණෙනි, මම චේතනාව කර්මය යැයි කියමි’ යන බුද්ධ වචනය පෙන්වා වදාළා. කිළිටි චේනාවක් නොමැතිව සිටි නිසා පාප කර්මයකට කාරණාවක් නැතැයි අවබෝධ කරවා දුන්නා. තිත්තිර ජාතකයෙනුත් තවදුරටත් කරුණු පහදලා දුන්නා.

266. අපගේ මහරහතන් වහන්සේ මනෝරම්‍ය වූ රාජ උද්‍යානයෙහි සතියක් වැඩ සිටියා. ඒ කාලය තුළ සම්බුදු රජාණන් වහන්සේගේ සුන්දර වූ ධර්මය කියලා රජ්ජුරුවන්ව ධර්මයෙහි හික්මවා වදාළා.

267. ඒ සතිය ඇතුළත ධර්මාශෝක රජ්ජුරුවෝ යකුන් දෙදෙනෙකු පිටත් කරවලා දඹදිව වසන ධර්මවාදී අධර්මවාදී සියලු භික්ෂූන් රැස් කෙරෙව්වා.

268. සත්වන දවසේ දී තමන් විසින් කරවන ලද රම්‍ය වූ අශෝකාරාමයට ගොස් සියලු භික්ෂු සංඝයා රැස් කෙරෙව්වා.

269. කඩතුරාවක් ඇතුළ තමාත් මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේත් පමණක් සිටියා. එක් එක් මතවාද දරන්නා වූ භික්ෂූන් වහන්සේලා වෙන් වෙන්ව තමන්ගේ සමීපයට කැඳවා ගත්තා.

270. එතකොට රජ්ජුරුවෝ ‘ස්වාමීනී, සුගත වූ තථාගත බුදුරජාණන් වහන්සේ කවර මතයක් පවසන සේක් දැයි’ කියා ඒ ඒ භික්ෂුව ගෙනත් අසනවා. එතකොට ඒ භික්ෂූන් වහන්සේලා බාහිර සාසනවලට අයත් මතිමතාන්තරයන් කියමින්, සදාකාලික ආත්මයක් ගැන කියන හෙයින් සුගතයන් වහන්සේ ශාස්වතවාදී ය යනාදී වශයෙන් තම තමන්ගේ මත කියන්ට පටන් ගත්තා.

271. එතකොට රජ්ජුරුවෝ මිත්‍යාදෘෂ්ටික වූ ඒ සියලු භික්ෂූන් ව සිවුරු හැරෙව්වා. එසේ සිවුරු හරවාලූ පිරිස සැට දහසක් වුනා.

272. ‘ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ කවර දහමක් දෙසන සේක් ද?’යි ඇසූ විට ධර්මවාදී භික්ෂූන් මෙහෙම කිව්වා. ‘මහරජ්ජුරුවෙනි, අපගේ සුගතයන් වහන්සේ ස්කන්ධ, ධාතු, ආයතනාදී වශයෙන් බෙද බෙදා ධර්මය වදාළ හෙයින් විභජ්ජවාදී වන සේකැ’යි කියලා.

273. එතකොට මහරජ්ජුරුවෝ ‘ස්වාමීනී, අපගේ සුගතයන් වහන්සේ විභජ්ජවාදී වන සේක් ද?’යි මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගෙන් ඇසුවා. ‘එසේය, මහරජ්ජුරුවෙනි,’ කියා වදාළා. එතකොට රජතුමා එසේ පිළිතුරු දුන් භික්ෂූන් ධර්වාදීන් බව දැන සතුටට පත් වුනා.

274. ‘ස්වාමීනී, දැන් සංඝයා වහන්සේ පිරිසිදු බවට පත් වී සිටිනවා නොවැ. එහෙයින් සංඝයා වහන්සේ පොහොය උපෝසථ කරන සේක්වා!’යි රජ්ජුරුවෝ අපගේ මහතෙරුන් වහන්සේට පැවසුවා.

275. රජ්ජුරුවෝ සංඝයා වහන්සේට ආරක්ෂාව සලස්වලා සුන්දර වූ පාටලීපුත්‍ර නගරයට සැපත් වුනා. එතකොට සංඝයා වහන්සේත් සමගිව පොහොය උපෝසථ කළා.

276. අපගේ මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ නොයෙක් ගණනින් යුතු භික්ෂු සංඝයා අතරින් බිය තැතිගැනීම් නැති විශාරදභාවයට පත්, සය වැදෑරුම් අභිඥා ඇති, ත්‍රිපිටකධාරී, සතර පටිසම්භිදාලාභී,

277. රහත් භික්ෂූන් වහන්සේලා දහස් නමක් තෝරා ගත්තා. ඒ තුන්වන ධර්ම සංගායනාව කිරීම පිණිසයි. උන්වහන්සේලා විසින් අශෝකාරාමයේදී තුන්වන ධර්ම සංගායනාව කරනු ලැබුවා.

278. අපගේ මහා කස්සප මහරහතන් වහන්සේ ප්‍රථම ධර්ම සංගායනාව කරන ලද්දේ යම් අයුරින් ද, යස මහ තෙරුන් වහන්සේ දෙවන ධර්ම සංගායනාව කරන ලද්දේ යම් අයුරින් ද, එසෙයින් ම අපගේ මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ ද තුන්වෙනි ධර්ම සංගායනාව කොට වදාළා.

279. ඒ තුන්වන ධර්ම සංගායනා මණ්ඩපයේ දී මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ අන්‍ය වූ අධර්මවාදී මතිමතාන්තරයන් මර්දනය කරන්නා වූ කථාවස්තු නමැති ප්‍රකරණය වදාළා.

280. මේ විදිහට ධර්මාශෝක රජ්ජුරුවන් විසින් සලසන ලද ආරක්ෂාව ඇතිව රහතන් වහන්සේ දහස් නමකගේ සහභාගීත්වයෙන් කරන ලද මේ තුන්වන ධර්ම සංගායනාව නව මාසයකින් නිමාවට පත්වුනා.

281. ඒ වන විට ධර්මාශෝක රජු රාජාභිෂේක කොට දාහත් අවුරුද්දකි. මොග්ගලීපුත්තතිස්ස නැමැති අපගේ සංඝර්ෂීන් වහන්සේ උපසම්පදාව ලබා වස් සැත්තෑ දෙකක් ඇතිව වැඩහුන් සේක. උන්වහන්සේ මහාපවාරණයේ දී සංගායනාව සමාප්ත කොට වදාළා.

282. එතකොට ගෞතම බුදුසසුන බොහෝ කල් පවතින ආකාරයෙන් සිදු වූ මේ තුන්වන ධර්ම සංගායනාව අවසානයේ දී සාදුකාර දෙන්නියක සෙයින් මහාපොළව කම්පාවට පත් වුනා.

283. ගෞතම සම්බුදු සසුන නගාසිටුවීම එකම කාරණය කොට තිස්ස බ්‍රහ්මරාජයා ඉතා මනෝඥ වූ බ්‍රහ්ම විමානය අත්හැර පිළිකුල් දනවන සුළු මිනිස් ලොවේ අවුත් පිළිසිඳ ගත්තා. තමා විසින් සම්පූර්ණ කළ යුතු නිවන් මග සම්පූර්ණ කොට උතුම් අර්හත්වයට පත් ව සිටි අප තිස්ස තෙරණුවෝ ගෞතම බුදු සසුනෙහි දියුණුව පිණිස හේතු වූ ධර්ම සංගායනාව කොට වදාළා. වෙන කවුරු නම් බුද්ධ ශාසනය තුළ කළ යුතු දේ පිළිබඳ ප්‍රමාද වෙයි ද!

සත්පුරුෂ ජනයන්ගේ ප්‍රසාදයත් සංවේගයත් ඇතිකරනු පිණිස කරන ලද මහාවංශයෙහි තුන්වන ධර්ම සංගායනාව නම් වූ පස්වෙනි පරිච්ඡේදය යි.