1. ඈත කාලයේ දඹදිව වංග රටෙහි වංග නමැති නගරයේ වංග නමින් රජෙක් සිටියා. කාලිංග රජ්ජුරුවන්ගේ දියණිය ඒ වංග රජු හට අග මෙහෙසිය බවට පත්වුනා.

2. වංග රජ්ජුරුවන්ගේ අගමෙහෙසියට එක් දුවක් උපන්නා. ඒ දියණිය අනාගතයේ මෘගරාජ වූ සිංහයෙකු සමග අඹුසැමියන් ලෙස ජීවත් වෙන බවට නිමිතිකරුවෝ අනාවැකි පළකළා.

3. ඇය අතිශයින් ම රූප ශෝභාවකින් යුක්තයි. එසේ ම කාමයට දැඩි ගිජු බවකින් යුක්තයි. ඇගේ ගතිගුණ ගැන ඇගේ පියා වන වංග රජුත් මව් වූ අගබිසවත් ලැජ්ජාවට පත්වුනා. ඈව පිළිකුල් කළා.

4. එතකොට ඈ නිදහසේ තමන් කැමති කැමති ලෙස වාසය කරන්ට කැමැත්තෙන් තනියම රාජ මාළිගාවෙන් පැනලා ගියා. කාටවත් හඳුනාගන්ට බැරි විදිහට වෙස් වලාගත්තා. මගධ රාජ්‍ය දෙසට ගමන් කරන ගැල් සමූහයකට එකතු වෙලා ඔවුන් සමග පිටත් වුනා.

5. එසේ ගමන් කරද්දී ලාට නමැති රටේ මහා වනාන්තරේ මැද දී සිංහයෙක් ගැල් සමූහය වෙත කඩා පැන්නා. ගැල් වල සිටිය මිනිසුන් හිස් ලූ ලූ අත වෙනත් තැන් වලට පැනලා දිව්වා. එතකොට සුප්පාදේවී නමැති ඈ සිංහයා එන දිසාවට දිව්වා.

6. සිංහයා ගවයෙකු මරා ගොදුර ඩැහැගෙන තමන්ගේ වාසස්ථානයට ආපසු යද්දී තමන් වෙතට දුවගෙන එන රාජ දියණියව දුර දී ම දැක්කා. දුටු මනින් ම ඈ කෙරෙහි රාගය ඇති වුනා. කන් පහතට නමාගෙන වලිගය සොලවමින් ඈ වෙතට ළං වුනා.

7. සුප්පාදේවී රාජ කන්‍යාව තමන් වෙත එන සිංහයාව දැකලා නිමිති කියන්නවුන් විසින් තමා ගැන කියූ අනාගත වාක්‍යය මතක් වුනා. එතකොට ඈ කිසි භයක් නැතිව තමන් වෙත ආ සිංහයාව සතුටු කරවමින් හිස පටන් වලිගය තෙක් ඒ සිංහයාගේ ශරීර අවයව පිරිමැද්දා.

8. ඇගේ ස්පර්ශයෙන් සිංහයා තුළ බලවත් ඇල්මක් ඇතිවුනා. එතකොට ඈ සිංහයාගේ පිටට ගොඩවුනා. ඈව පිටේ තබාගත් සිංහයා තමන්ගේ ගුහාවට ගියා. සුප්පා දේවිය සමග අඹුසැමියන් සේ හැසිරුනා.

9. සිංහයා සමග අඹුසැමියන් සේ හැසිරුනු සුප්පාදේවිය නමැති රාජ දියණිය ටික කලකින් පුතෙකු හා දුවක වශයෙන් නිවුන් දරු දෙදෙනෙකු ලැබුවා.

10. තම පුත් කුමාරයාගේ අත්පා ආදිය සිංහයෙකුගේ බඳුව ඉතා ජවසම්පන්නව තිබුණා. එනිසා ඈ තම පුත්‍රයාට සිංහබාහු යන නම දැම්මා. දියණියට සිංහසීවලී යන නම දැම්මා.

11. සිංහබාහු පුත්‍රයා වයස අවුරුදු දහසයක් වෙද්දී තමන් තුළ හටගත් සැකයක් සිය මෑණියන් වන සුප්පාදේවියගෙන් ඇසුවා. ‘මෑණියනි…. අප හා ඔබ වෙනමත් පියා වෙනමත් වශයෙන් වෙනස්ව පෙනෙන්නේ මක් නිසා ද?’

12. සුප්පාදේවිය සිදු වූ හැම දෙයක් ම සිය පුතාට කිව්වා. එතකොට ඔහු ‘මෑණියනි, ඇයි අපි මිනිසුන් ජීවත්වෙන පළාතට නොයන්නේ?’ කියලා ඇහුවා. ‘පුතණ්ඩ, තොපගේ පියා ගල් ලෙනෙන් පිටතට යද්දී විසාල ගලකින් අප වාසය කරන මේ ගල් ලෙන වසා දමනවා නොවැ’ කියා ඈ පිළිතුරු දුන්නා.

13. එතකොට සිංහබාහු කුමාරයා මහා ගුහාව වසන ඒ ගල් පියන කර මත තබාගෙන එක් දවසක් තුළ යොදුන් පණහක් දුරට ගොහින් ආපසු ආවා.

14. දවසක් සිංහයා ගොදුරු සොයාගෙන පිටත් වුනාට පස්සේ සිංහබාහු කුමාරයා තම මෑණියන්ව දකුණු උරහිස මත තියාගත්තා. නැගණියන්ව වම් උරහිස මත තියාගත්තා. ඉතා ඉක්මණින් ඒ ගල් ලෙනෙන් නික්ම පැනලා ගියා.

15. කොළ අතු ඇඳගත් ඔවුන් එක්තරා පිටිසර ගම්මානෙකට ආවා. ඒ ගම්මානේ සුප්පාදේවියගේ මාමාගේ පුත්‍රයෙකු වූ අනුර නමැති සෙනෙවියා වාසය කළා.

16. වංග රජ්ජුරුවන්ගේ සෙන්පතියෙකු වූ අනුර නමැත්තා ඒ පිටිසර ගම්මානේ වැඩකටයුතු සංවිධානය කරමින් නුග රුක් සෙවණක වාඩි වෙලා සිටියා.

17. එතැනට පැමිණි මොවුන් දුටු අනුර සෙන්පතියා ‘නුඹලා කොහි ඉන්න පිරිසක් ද?’ කියා ඇහුවා. ‘අපි වනාන්තරේ ඉන්න අය’ කියලා ඔවුන් පිළිතුරු දුන්නා. එතකොට ඒ සෙන්පතියා ඔවුන්ට ඇඳගන්ට වස්ත්‍ර ලබාදුන්නා.

18. ඔවුන්ගේ පින් බලයෙන් තමන්ට ලැබුණු වස්ත්‍ර වංග රටේ ඉතා වටිනා පට වස්ත්‍ර බවට පත්වුනා. තල් කොළවලින් ගොටු තනලා ඔවුන්ට ආහාර දුන්නා. ඒවා රන් බඳුන් බවට පත්වුනා.

19. මේ අද්භූත සිදුවීම් දෙක නිසා අනුර සෙනෙවියා මහත් පුදුමයට පත්වුනා. ‘නුඹලා කවුද?’ කියා ප්‍රශ්න කළා. එතකොට ඈ ‘මම වගු රජ්ජුරුවන්ගේ දියණියව සිටි සුප්පාදේවිය යි’ කියලා පිළිතුරු දුන්නා.

20. අනුර සෙනෙවියා ඈ තම පියාගේ නැගණියගේ දියණිය බව හඳුනාගත්තා. ඔවුන්ව යානයක නංවාගෙන වංග නුවරට ගෙන ගියා. සුප්පාදේවිය තම බිරිඳ වශයෙන් තබාගත්තා.

21. එදා සිංහයා ඉක්මනින් ම ගල්ලෙනට ගියා. තුන් දෙනා ම දකින්ට හිටියේ නෑ. දරු දුක නිසා ශෝකයෙන් පෙලුනු ඔහු කිසි ගොදුරක් ආහාරයට ගත්තෙත් නෑ. වතුර බිව්වෙත් නෑ.

22. සිංහයා තම දරුවන් සොය සොයා පිටිසර ගම්මානවලට ගියා. ඔහු යන්නේ යම් යම් ගමකට ද ඒ ඒ ගම්මානය පාලු කරලා දානවා.

23. පිටිසර ගම්වැසි මිනිස්සු රාජාංගනයට රැස්වෙලා රජ්ජුරුවන්ට මේ කාරණය දැනුම් දුන්නා. ‘දේවයන් වහන්ස, ඔබවහන්සේගේ රට සිංහයෙක් විනාශ කරනවා. ඒ සිංහයාව විනාශ කරන්ට’ කියලා.

24. ඒ සිංහයාව මැඩලන්න හැකි ශූර පුරුෂයෙක් සොයා ගන්ට බැරිවුනා. එතකොට ඇතෙකු පිටේ දහසින් බැඳි පියල්ලක් තිබ්බා. ‘සිංහයාව අල්ලා ගන්නා තැනැත්තා මෙය ගනීවා!’ කියලා නුවර පුරා අඬබෙර ගැස්සුවා.

25. රජ්ජුරුවෝ මුලින් කහවණු දහසක් දෙනවා කිව්වා. දෙවනුව කහවණු ගණන දෙදහසක් කළා. තුන්වෙනුව කහවණු තුන් දහසක් කළා. මෙසේ ප්‍රචාරය වෙද්දී ඒ කහවණු ලබාගන්නට මෑණියන්ගෙන් ඇසුවා. මෑණියන් පළමු වතාවෙත් දෙවන වතාවෙත් යන අවස්ථා දෙකේ දී ම ඔහුව වැළැක්කුවා.

26. තුන්වන වතාවේ අඬබෙර ගසද්දී සිංහබාහු කුමාරයා මෑණියන්ගෙන් ඇසුවේ නෑ. සිය පියා වන සිංහයාව ඝාතනය කිරීම පිණිස කහවණු තුන්දහසක පියල්ල අරගත්තා.

27. රාජ සේවකයන් සිංහබාහු කුමාරයාව වංග රජ්ජුරුවන්ට ඉදිරිපත් කළා. රජ්ජුරුවෝ මෙය කිව්වා. ‘ඉදින් යම් රටක දී තොප සිංහයාව ඇල්ලුවොත් ඒ රට ම තොපට දෙනවා’ කියලා.

28. සිංහබාහු කුමාරයා සිංහයා ඉන්න ගල්ලෙනේ දොරකඩට ගියා. පුත්‍ර ප්‍රේමයෙන් යුතුව තමන් වෙත එන සිංහයාව දුර දී ම දැක්කා. එතකොට සිංහබාහු කුමාරයා සිංහයාට හීයක් විද්දා.

29. සිංහයා තුළ දරු සෙනෙහසින් උපන් මෙත් සිතේ අනුහසින් තමන්ගේ නළල මත වැදුනු ඒ ඊ තලය නැවත හැරී ගොස් කුමාරයාගේ පාමුල වැටුනා.

30. කුමාරයා ඒ විදිහට තුන් වරක් ම විද්දා. එහෙයින් සිංහයාගේ මෙත් සිත නැති වෙලා කෝපයට පත්වුනා. සතරවන වතාවේ විදපු ඊතලය සිංහයාගේ නළලට වැදී කය සිදුරු කරගෙන ගිහින් පොළවට වැටුනා.

31. සිංහබාහු කුමාරයා සිංහයාගේ කේසර සහිත වූ හිස රැගෙන වංග පුරයට ගියා. ඒ වෙද්දී වංග රටේ රජ්ජුරුවෝ මිය ගිහින් දින හතක් ගතවෙලා තිබුණා.

32. රජ්ජුරුවන්ට වෙන දරුවන් සිටියෙත් නෑ. සිංහබාහු කුමාරයා සිංහයාව නැසීමේ ක්‍රියාව නිසා ප්‍රසිද්ධයටත් පත්ව සිටියා. ඔහු මිය ගිය රජ්ජුරුවන්ගේ මුණුබුරෙකු වන බවත් අසන්ට ලැබුනා. ඒ වගේ ම ඔහුගේ මව රජ්ජුරුවන්ගේ එකම දියණිය වන සුප්පාදේවිය බවත් දැනගන්ට ලැබුනා.

33. සියලු ඇමතිවරු එක්රැස් වුනා. තනි අදහසක් ඇති කරගත්තා. ‘ඔබ අපගේ රජ්ජුරුවෝ බවට පත් වෙන්ට ඕනෑ’ කියලා සිංහබාහු කුමාරයාට කියා සිටියා.

34. එතකොට සිංහබාහු කුමාරයා ඒ රාජ්‍යය පිළිඅරගත්තා. තමන්ගේ මෑණියන්ගේ ස්වාමියාව සිටි අනුර සෙනෙවියාට රාජ්‍යය භාර දුන්නා. තමන් සිය නැගණිය වන සිංහසීවලී කුමාරිය රැගෙන තමන් උපන් ප්‍රදේශය බලා පිටත් වුනා.

35. ‘සිංහපුරය’ නමින් එහි අලුතින් නගරයක් නිර්මාණය කළා. සියක් යොදුන් වනය එළි පෙහෙලි කරවා ජලපහසුව ඇති තැන් වල අලුත් ගම්මාන පිහිටෙව්වා.

36. ලාට රටෙහි තමන් ම ඉදි කළ සිංහපුර නගරයෙහි රජ වූ සිංහබාහු රජ්ජුරුවෝ සිංහසීවලී කුමරිය අගමෙහෙසී තනතුරට පත් කරවාගෙන රාජ්‍යය කළා.

37. සිංහසීවලී බිසොව සුදුසු කාලයේ දී නිවුන් පුත්‍රයන් දෙදෙනා බැගින් දහසය වතාවක් දරුවන් වැදුවා. ඒ දරුවන්ගෙන් වැඩිමලා වූයේ විජය කුමාරයා ය.

38. මෙසේ ඇයට ලැබුණු සියලු දරුවන්ගේ ගණන තිස්දෙකයි. ඇයගේ දෙවන පුත්‍රයා සුමිත්ත නමින් හැඳින්වුනා. සිංහබාහු රජ්ජුරුවෝ සුදුසු කාලයේ දී විජය කුමාරයාව යුවරජු වශයෙන් අභිෂේක කළා.

39. විජය යුවරජු විෂමාචාර ගතිගුණවලින් යුක්ත වුනා. ඔහුට ම ගැලපෙන පිරිසකුත් සිටියා. ඔවුන් අන්‍යයන්ට ඉවසිය නොහැකි ආකාරයේ නොයෙක් සැහැසි ක්‍රියාවල යෙදුනා.

40. මහජනයා යුවරජුන් ගැන කිපුනා. රාජාංගණයට රැස්වෙලා උද්ඝෝෂණය කරලා සිංහබාහු රජ්ජුරුවන්ට විජය කුමාරයාගේ සාහසික ක්‍රියා ගැන දැනුම් දුන්නා. රජ්ජුරුවෝ විජයගේ පිරිසටත් එවැනි සැහැසි දේ නොකරන ලෙස අවවාද කළා. පුත්‍රයාට හොඳින් අවවාද කළා.

41. පළමු අවවාදයෙන් කීකරු නොවූ ඔවුන් නැවතත් සැහැසි ලෙස හැසිරුනා. මහජනයා රැස්ව රජ්ජුරුවන්ට කරුණු කිව්වා. දෙවන වතාවෙත් අවවාද කළා. එයින් පලක් වුනෙත් නෑ. මහජනයා රැස්වෙලා රජ්ජුරුවන්ට කරුනු කිව්වා. මහරජ්ජුරුවෝ තුන්වෙනි වතාවෙත් ඔවුන්ට අවවාද කළා. එයින් පලක් වුනෙත් නෑ. අන්තිමේ දී හොඳට ම කිපුණු මහජනයා “මහරජ්ජුරුවෙනි, ඔබගේ පුත්‍රයාව නසා දමනු මැන” කියා ඉල්ලා සිටියා.

42. සිංහබාහු රජ මහජනයාගේ හඬට කන් දුන්නා. තම පුත්‍රයා වන යුවරජව සිටි විජය කුමාරයත්, සත්සියයක් වූ ඔහුගේ පිරිවරත් ඇල්ලුවා. ඔවුන්ගේ හිස අඩක් මුඩු කෙරෙව්වා.

43. නැවකට ගොඩ කෙරෙව්වා. මහාසාගරයට මුදා හැරියා. ඒ විදිහට ම ඔවුන්ගේ බිරින්දෑවරුන්වත්, කුමාරවරුන්වත් වෙන ම නැව්වල නග්ගලා මුහුදට පිටත් කෙරෙව්වා.

44. එතකොට එසේ නැව්වල නංවා මුහුදට යවන ලද ඒ මිනිස්සුත්, ස්ත්‍රීනුත්, ඔවුන්ගේ දරුවනුත් වෙන් වෙන් දිවයින් වලට ගොඩ බැස්සා. ඒ තැන්වල වාසය කළා.

45. කුමාරවරුන් ගොඩ බැස්ස දිවයින ‘නග්ගදීප’ යන නමින් ප්‍රසිද්ධ වුනා. භාර්යාවන් ගොඩ බැස්ස දිවයින ‘මහිලා දිවයින’ නමින් ප්‍රසිද්ධ වුනා.

46. විජය ඇතුලු පිරිස සිටිය නැව දඹදිව සුප්පාරක පටුනට ගොඩ බැස්සා. නමුත් ඒ පිරිසේ ඇති නොයෙකුත් සාහසික ක්‍රියා නිසා සුප්පාරක පටුනේ මිනිසුන් මොවුන්ව නසන්ට සුදානම් වුනා. භයට පත් මේ පිරිස ආයෙමත් නැව් නැග්ගා.

47. ස්ථිර ප්‍රඥා ඇති විජය නම් කුමාරයා තම්බපණ්ණි දිවයිනට ගොඩබැස්සා. උපවර්තන සල් වනයේ ප්‍රධාන මාවත දෙපසින් එකිනෙකට ගැලපෙන ලෙස යුගල වශයෙන් පිහිටුවා තිබූ සල්ගස් අතරේ පනවන ලද සයනයෙහි සැතපී වදාළ අප තථාගත භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා වදාළේ ද එදා ය.

සත්පුරුෂ ජනයන්ගේ ප්‍රසාදයත් සංවේගයත් ඇතිකරනු පිණිස කරන ලද මහාවංශයෙහි විජය කුමාරයාගේ සම්ප්‍රාප්තිය නම් වූ සයවෙනි පරිච්ඡේදය යි.