1. ලෝකනායක වූ අප භාග්‍යවතුන් වහන්සේ සියලු ලෝක සත්වයාගේ හිතසුව පිණිස බුද්ධ කෘත්‍ය සම්පූර්ණ කොට වදාළා. උතුම් වූ පරම ශාන්තිය වූ අනුපාදිශේෂ පරිනිර්වාණයට පත්වීමේ අවස්ථාව පැමිණියා. පිරිනිවන් පෑම පිණිස පනවන ලද සයනෙහි සැතපී සිටියා.

2. වාදීන් අතර උත්තම වූ අප මහාමුනීන්ද්‍රයන් වහන්සේ එහි රැස් වූ මහාදෙව් පිරිස අතර තමන් වහන්සේ සමීපයෙහි සිටි සක් දෙවිඳුන් හට මෙය වදාළා.

3. ‘සිංහබාහු නමැති රජ්ජුරුවන්ගේ පුත්‍රයා වන විජය කුමාරයා සත්සියයක් පිරිවර සහිතව ලාට රටින් පිටත් වෙලා අද ලංකා දිවයිනට ගොඩ බැස්සා.

4. දේවේන්ද්‍රය, මාගේ බුද්ධ ශාසනය පිහිටන්නේ ලංකාද්වීපයේ ය. එනිසා පිරිවර සහිත ඔහුවත් ලංකාද්වීපයත් හොඳින් රකින්ට ඕනෑ.’

5. එතකොට සක්දෙවිඳු තථාගතයන් වහන්සේගේ වචනය ආදර සහිතව අසාගත්තා. ලංකාවේ ආරක්ෂාව උපුල්වන් දෙව්රජු හට භාර කළා.

6. සක්දෙවිඳුන්ගේ ඒ වචනයත් සමඟ උපුල්වන් දෙවියෝ එකෙණෙහි ම ලංකාවට පැමිණියා. ඔවුන්ට පෙනෙන මානයෙන් තාපසයෙකුගේ වෙස්ගෙන එක්තරා රුක්සෙවනක වාඩි වී හුන්නා.

7. විජය කුමාරයා ප්‍රමුඛ ඒ සියලු පිරිස තවුස් වෙස් ගෙන හුන් උපුල්වන් දෙවියන් වෙත ආවා. ‘භවත, මේ කවර නම් ඇති දිවයිනක් ද?’ කියා ඇසුවා. එතකොට තවුසා මෙය කිව්වා. ‘මේ දිවයිනට කියන්නේ ලංකා’ කියලයි.

8. මෙහි මනුස්ස වාසයක් නෑ. තොපට භයක් ඇති වෙන්නේ නෑ’ කියලා පැන් කෙණ්ඩිය ගෙන ඔවුන්ට පිරිත් පැන් ඉස්සා.

9. ඔවුන්ගේ අත්වල පිරිත් නූලුත් බැන්දා. අහසින් පිටත්ව ගියා. එතකොට කුවේණියගේ දාසියක වන සීසපාති නමැති යකින්න පැටවුන් වැදූ බැල්ලියකගේ වෙස් ගෙන ඔවුන් ඉදිරියේ පෙනී සිටියා.

10. එතන හිටපු අයෙක් ඒ බැල්ලිය පසුපසින් යන්ට සූදානම් වෙද්දී විජය රාජ පුත්‍රයා විසින් ඔහුව වැළැක්කුවා. නමුත් ගමක් තිබුනොතින් නොවැ බල්ලන් ඉන්නේ කියලා ඔහු ඒ බැල්ලියගේ පසුපසින් ගියා.

11. ඇයගේ ස්වාමි දියණිය කුවේණී නමැති යකින්නකි. කුවේණිය කපු කටින තාපසියකගේ වෙස් ගෙන රුක් සෙවනක වාඩි වී උන්නා.

12. බැල්ලිය පසු පසින් ගිය පුරුෂයාට පොකුණක් දකින්ට ලැබුනා. ඒ වගේ ම ගසක් යට වාඩි වී සිටින තාපසියකුත් දකින්ට ලැබුනා. ඉතින් ඔහු පොකුණෙන් වතුර නාලා, පැනුත් බිව්වා. නෙළුම් අලත් ගලවා ගත්තා.

13. නෙළුම් කොලේකට පැන් අරගෙන ගොඩට ආවා. එතකොට ම තවුසිය ‘එම්බා පුරුෂය, නුඹ මට ගොදුරක් වුනා. ඔහොම හිටු’ කියලා කිව්වා විතරයි. කණුවක ඇතෙකු බැන්ද සෙයින් යා ගත නොහැකිව හඬ හඬා නැවතී සිටගත්තා.

14. තවුස් වෙස් ගත් උපුල්වන් දෙව්රජුන් බැඳපු පිරිත් නූලේ තේජසින් කුවේණියට ඔහුව බිලිගන්ට පුළුවන් වුනේ නෑ. යකින්නි ඒ පිරිත් නූල තමන්ට දෙන්ට කියලා ඉල්ලා සිටියා. නමුත් ඒ මිනිසා එය ඈට දුන්නෙ නෑ.

15. යකින්නී හඬා වැළපෙන ඒ පුරුෂයාව අල්ලාගෙන උමගක හැංගුවා. මේ විදිහට එක් එක්කෙනා බැගින් එතැනට ආ හත්සිය දෙනාව ම උමගෙහි හැංගුවා.

16. ගිය කව්රුවත් ආපසු ආවේ නැති නිසා ඔවුන්ට අනතුරක්වත් උනාද කියලා විජය කුමාරයා තුළ භය සැක සංකා ඇති වුනා. ඔහු පඤ්චායුධයෙන් සන්නද්ධ වුනා. අනිත් අය ගිය පෙදෙසට ම යද්දී අලංකාර පොකුණ දකින්ට ලැබුනා.

17. පොකුණ ළඟට ගොස් බලද්දී පොකුණින් ගොඩට ආ පාද සටහන් තියෙනවා දැක්කා. ඒ අසල වාඩි වී ඉන්න තාපසියවත් දැක්කා. මාගේ සේවකයන් ව මේ තැනැත්තිය විසින් අල්ලා ගත්තාවත් දැයි සිතුවා.

18. ‘භවතී, කිම තී මාගේ සේවකයන්ව දැක්කේ නැද්ද?’ කියලා ඇහුවා. ‘රාජපුත්‍රය, සේවකයන්ගෙන් ඇති ඵලය කිම? මේ පොකුණට බැස පැන් වැළඳුව මැනව. ස්නානය කළ මැනව’ කියලා යකින්නී පිළිතුරු දුන්නා.

19. එතකොට විජය කුමාරයා ‘රාජපුත්‍රය කියා මා ඇමතීමෙන් මේ යකින්නිය නිසැකව ම මාගේ ජාතිය දන්නවා’ යැයි නිශ්චය කළා. ‘මම් සිංහබාහු රජ්ජුරුවන්ගේ පුත්‍ර වූ විජය කුමාරයා යි’ කියලා වහාම තමන්ගේ නම කියලා දුනු ඊතල අමෝරාගෙන ඒ යකින්නි ළඟට වේගයෙන් ආවා.

20. යකින්නී දුවන්ට පටන් ගත්තා. විජය කුමාරයා වේගයෙන් ඈ ලුහු බැන්දා. ඇගේ බෙල්ලේ දමාගෙන සිටි යකඩ වළල්ලෙන් ඈව ඇදලා ගත්තා. වම් අතින් කෙස් වැටියෙන් අල්ලා ගත්තා. දකුණු අතින්,

21. කඩුව ඔසවා ගත්තා. ‘මේ එම්බල දාසී, මාගේ සේවකයන් දීපිය, නැත්නම් තීව මෙතැන ම මරණවා’ කියලා කිව්වා. යකින්නි හොඳට භය වුනා. කුමාරයාගෙන් ජීවිතය ඉල්ලා සිටියා.

22. ‘ස්වාමීනී, මාගේ ජීවිතය දෙනු මැනව. මං ඔබවහන්සේට ලංකා රාජ්‍යය දෙන්නම්. ස්ත්‍රියක විසින් තම සැමියාට කළයුතු යම් දෙයක් ඇද්ද ඒවාත් කරන්නම්. ඔබවහන්සේ සිතන පතන සියලු දේ කර දෙන්නම්’ කියලා කියා සිටියා.

23. විජය කුමාරයා යළි කවදාවත් ම තමන්ට ද්‍රෝහී නොවන ලෙසට ඒ යක්ෂණිය ව දිවුරවා ගත්තා. ‘දැන් වහාම මගේ සේවකයන් අරගෙන වර’ යි කී සැණින් ම ඒ සේවකයන් ව රැගෙන ආවා.

24. මේ පිරිස යකින්නියට තමන්ට බඩගිනි ඇති බව පැවසුවා. එතකොට ඈ කලින් බිලිගත් වෙළඳුන් සතු වූ නැව්වල තිබුනු සහල් පැණි සකුරු ආදිය පෙන්නා දුන්නා.

25. සේවකයෝ බත් හා සූපව්‍යඤ්ජන ආදිය පිළියෙල කළා. රාජපුත්‍රයාව අනුභව කෙරෙව්වා. සියලු දෙනාත් අනුභව කළා.

26. විජය කුමාරයා ඒ භෝජනයේ අග්‍රභාගය යකින්නියට දුන්නා. එය අනුභව කළ ඈ ඒ රසයෙන් පිනාගියා. සිත් ඇද බැඳ ගන්නා හැඩරුවින් යුතු සොළොස් හැවිරිදි කන්‍යාවකගේ වෙස් ගත්තා.

27. සියලු ආභරණයෙන් සැරසිලා රාජපුත්‍රයා වෙත ගියා. ඒ රුක් සෙවනේ ඉතා වටිනා සයනයක් මැව්වා.

28. හාත්පස තිරරෙදිවලින් ආවරණය කෙරෙව්වා. උඩු වියනකින් අලංකාර කෙරෙව්වා. එය දැක්ක රාජ පුත්‍රයා අනාගතයේ තමන් ඇතුළු පිරිසට සලසාගත හැකි යහපත සලකා බලා,

29. ඈ සමඟ අඹුසැමියන් සේ හැසිරුනා. යහනෙහි සැපසේ සැතපුනා. සියලු සේවකයෝ වටතිරය පිරිවරාගෙන නිදාගත්තා.

30. එදා රාත්‍රියෙහි තූර්යනාදය ඇසුනා. ගී කියමින් විනෝදවන හඬක් ඇසුනා. විජය කුමාරයා තමා සමඟ සැතපෙන යකින්නිගෙන් ‘සොඳුර, මේ ශබ්දය කුමක් ද?’ කියා ඇසුවා.

31. ‘සියලු යකුන්ව මරවා මේ රාජ්‍යය මගේ මේ ස්වාමියාට දෙන්ට ඕනෑ. නමුත් මේ රට මනුෂ්‍යවාසයක් කෙරෙව්වා කියලා යක්කු මාව මරාදමාවි.’

32. මෙහෙම සිතපු යකින්නි රාජකුමාරයාට සතුට දනවන මෙය කිව්වා. ‘ස්වාමීනී, මෙහි සිරීශවාස්තු නම් යක්ෂ පුරයක් තියෙනවා.

33. එහි මහාකාලසේන නමින් ජ්‍යෙෂ්ඨ යකෙක් ඉන්නවා. ඒ යක්ෂයාට ලංකා පුරයෙන් පෝලමිත්තා නමැති යකිනි කුමරියක් කැන්දන් ආවා. ගොණ්ඩා නමැති ඇගේ මෑණියනුත් අද තෑගි භෝග අරන් ඇවිල්ලා.

34. මේ ආවාහ මංගල්ලෙ නිසා ඒ සිරීශවාස්තු පුරයෙහි සත්දිනක මහා උත්සවයක් පැවැත්වෙනවා. එහි මහා යක් පිරිසක් රැස්වෙලා ඉන්නේ. මේ ඇහෙන්නේ ඔවුන්ගේ ශබ්දය තමා.

35. අද ම යකුන්ව මැරුව මැනව. මෙවැනි අවස්ථාවක් මීට පස්සෙ ලැබෙන්නේ නෑ’ කිව්වා. ‘මට යකුන් පෙනෙන්නේ නෑ නොවැ. මං කොහොමද ඔවුන්ව මරන්නේ?’ කියල රාජකුමාරයා ඇහැව්වා.

36. මං යම් තැනක ඉඳන් ශබ්දයක් කරන්නම්. එතකොට ඔබ එතැනට කඩුවෙන් කොටනු මැනව. මාගේ ආනුභාවයෙන් ඒ ආයුධය ඔවුන්ගේ ඇඟටයි වැටෙන්නේ.

37. යකින්නිගේ වචනය අසා ගෙන ඒ ආකාරයෙන් ම කටයුතු කොට සියලු යකුන් මරා දැම්මා. තමන් ම ජයග්‍රහණය ලබාගත්තා. මහා කාලසේන යක් රජුගේ පළඳනාව පැළඳගත්තා.

38. අනිත් යක් අමාත්‍යයන්ගේ පළඳනාවන් ඒ ඒ සේවක ජනයන්ට ගැලපෙන ලෙස පැළැන්දෙව්වා. සිරීශවස්තු නැමැති ඒ යක්පුරයෙහි කිහිප දිනක් වාසය කොට තම්බපණ්ණියට පැමිණියා.

39. විජය කුමාරයා ඒ ප්‍රදේශයෙහි තම්බපණ්ණි නමින් නුවරක් කෙරෙව්වා. තමන්ගේ අමාත්‍යවරුන් පිරිවරා ගෙන යකින්නිය සමග වාසය කළා.

40. එදා විජය ප්‍රමුඛ පිරිස නැවෙන් ඇවිත් බිමට ගොඩ බැස්සාට පස්සේ ඔවුන්ට අධික වෙහෙස හේතුවෙන් කලන්තේ හැදුනා. අත්වලින් භූමියට බරදීලා වාඩි වුනා.

41. තඹ පැහැගත් බිමෙහි තිබූ දූවිල්ලෙන් ඔවුන්ගේ අතුල් තඹ පැහැ ගත්තා. ඒ නිසා ඒ ප්‍රදේශයත්, ඒ දිවයිනත් තම්බපණ්ණි යන නාමයෙන් හැඳින්වුනා.

42. ඒ සිංහබාහු රජ්ජුරුවෝ කාටවත් අල්ලාගන්ට නොහැකි වූ සිංහයාව අල්ලාගත්තු නිසා ඔහුට ‘සිංහලයා’ යන නම පට බැඳුනා. සිංහබාහු රජුගේ සම්බන්ධය ඇති විජය කුමාරයාටත් ඔහුගේ පිරිසටත් ඔවුන්ගේ දරු මුණුබුරු, මී මුණුබුරු ආදී මුළු පරම්පරාවට ම අද දක්වා කියන්නේ ‘සිංහලයෝ’ කියලයි.

43. විජය කුමාරයාගේ ඇමතිවරු ජලපහසුව තිබුන ඒ ඒ තැන්වල ගම්මාන ඉදිකරගෙන වාසය කළා. කදම්බ නදී නැමැති කොළොම්හෝ ඉවුරට යාබදව අනුරාධ ඇමැතියා ඉදි කළ ගම්මානය අනුරාධගම නමින් හැඳින්නුවා.

44. අනුරාධගමට උතුරින් පිහිටි ගම්භීර නැමැති ගං ඉවුරට යාබදව උපතිස්ස නැමැති පුරෝහිත බ්‍රාහ්මණයා විසින් ඉදිකළ ගම්මානය උපතිස්ස ගම නමින් හැඳින්නුවා.

45. වෙනත් අමාත්‍යවරු තුන්දෙනෙක් උජ්ජේනි, උරුවේල, විජිත නගරය නමින් ගම්මාන තුනක් ඉදි කරගෙන වාසය කළා.

46. අලුත් ජනපදවල ජනයා වාසය කරන්ට සලස්වලා, ඒ සියලු ඇමතිවරු විජය කුමාරයා ළඟට රැස්වෙලා ’ස්වාමීනී, රාජ්‍යයෙහි අභිෂේකය ලබනු මැනව’ කියා ඉල්ලා සිටියා.

47. විජය රාජපුත්‍රයා රාජාභිෂේකය ලබන්ට කැමති වුනේ නෑ. ක්ෂත්‍රිය චාරිත්‍ර අනුව රාජාභිෂේකයේ දී රජු සමග මෙහෙසියකුත් අභිෂේක ලබනවා. මෙහි ක්ෂත්‍රිය රාජ කන්‍යාවක් නැති ව එය කරන්ට පුළුවන්කමක් නැති නිසයි අකමැති වුනේ.

48. එතකොට අමාත්‍යවරු තමන්ගේ ස්වාමියාගේ අභිෂේකය පිළිබඳව ආදර සහිත වුනා. දුකසේ කළ යුතු ඒ කාර්යයේදී එහි යහපත සලකාගෙන තව තවත් දිවි කැප කොට උනන්දු වුනා.

49. මැණික්, මුතු ආදී ඉතාමත් ම වටිනා තෑගිභෝග සෑහෙන්ට පිළියෙල කරවාගෙන දකුණු දඹදිව මධුරා පුරයට දූතයන්ව පිටත් කළා.

50. ඒ, ස්වාමි භක්තියෙන් යුක්තව තම ස්වාමියා වූ විජය රාජ පුත්‍රයාට පඬි රජ්ජුරුවන්ගේ දියණිය ලබා ගැනීමට ත්, අනිත් අමාත්‍යවරුන්ටත්, ජනයාටත් අනිත් ක්ෂත්‍රිය වංශික දියණිවරුන් ලබා ගැනීමටත් ය.

51. රාජදූතයෝ ඉක්මනින් නැවෙන් ගොස් මධුරා පුරයට පැමිණියා. පඬි රජ්ජුරුවන්ව බැහැ දැකලා, තමන් ගෙනා තුටු පඬුරුත්, සන්දේශයත් ඉදිරිපත් කළා.

52. එය අසා පඬිරජ්ජුරුවෝ ඇමතිවරුන් කැඳවා මේ පිළිබඳව සාකච්ඡා කළා. තමන්ගේ රාජ දියණියත්, ඇමතිවරුන්ගේ ක්ෂත්‍රිය වංශික දියණිවරුන් වත් ලංකාදීපයට යවන්ට කැමැති වුනා.

53. ඔය ආකාරයට ක්ෂත්‍රිය කන්‍යාවන් අනූනව දෙනෙක් ලැබුනා. ඊටපසු රජ්ජුරුවෝ අඬ බෙර ගැස්සෙව්වා. මේ මධුරා නුවර මිනිසුනි, තමන්ගේ දූවරුන්ව ලංකාවෙහි අලුත් රාජ්‍යයට පිටත් කොට යවන්ට කැමැති නම්,

54. තම දූවරුන්ව දෙගුණයක් කොට රෙදි අන්දවාගේ දොරකොට සිටුවා නවත්වන්ට ඕනෑ! ඒ සලකුණින් අපි ඒ දූවරුන්ව හඳුනා ගන්නවා!’ යි ප්‍රකාශ කෙරෙව්වා.

55. ඔය ආකාරයට බොහෝ කන්‍යාවන් ලැබුනා. ඒ දියණිවරුන් අයත් පවුල් නොයෙක් තෑගි භෝගවලින් සතුටු කෙරෙව්වා. ඊට පසු දියණිය ඇතුලු සියලු කන්‍යාවන්ට පාවිච්චියට උවමනා නොයෙකුත් බඩුබාහිර දීලා, සියලු අලංකාර ආභරණවලින් සැරසෙව්වා.

56. ඒ සියලු කන්‍යාවන් සුදුසු පරිදි නොයෙක් සත්කාර ලැබුවා. රජ කෙනෙකුට සුදුසු පරිදි ඇත්තු, අශ්වයන්, රථ, දක්ෂ රියැදුරන්,

57. දහඅටක් වූ ශිල්ප ශාස්ත්‍ර පරම්පරාවන්ට අයත් පවුල් දහසකුත්, සංදේශයකුත් දීලා සතුරන් දිනූ විජය කුමාරයා වෙත පිටත් කළා.

58. රාජනුග්‍රහය ලැබූ ඒ සියලු මහජනයා දකුණු දඹදිව මධුරාපුරාසන්න තොටුපලින් නැව් නැග්ගා. ලංකාවේ මහතොටට ගොඩ බැස්සා. එනිසා ම ඔවුන් ගොඩ බැස්ස තොටුපළට මහාතිත්ථ හෙවත් මහතොට කියලා කියනවා.

59. ඒ වෙද්දී කුවේණී යකින්නට විජය කුමාරයා නිසා ජීවහත්ථ නැමැති පුතෙකුයි, දිපෙල්ලා නැමැති දුවකුයි ලැබිලා සිටියා. මෙහෙසියක් ලෙස අභිෂේක ලබන්ට සුදුසු රාජකන්‍යාවක් පැමිණිය බව කුමාරයාට අසන්ට ලැබුනා. ඔහු යකින්නිට මෙය කිව්වා.

60. ‘සොඳුරිය, දැන් ඔබ පුතාවත් දුවවත් මෙහි තියලා පිටත් වෙන්ට ඕනෑ. මිනිස්සු හැමදාම අමනුෂ්‍යයන්ට බියයි නොවැ’

61. විජය කුමාරයාගේ ඒ කතාව අසා යකුන්ගෙන් තමාට සිදුවියහැකි අනතුරු ගැන කුවේණි යකින්නි භයට පත්වුනා. එතකොට විජය කුමාරයා ‘ඒ ගැන ඔතරම් සිතන්ට එපා! මං තිට බලි දහසක් ලැබෙන්ට සලස්සනවා’ කියලා කිව්වා.

62. යකින්නි නැවත නැවතත් ඉල්ලලා දරු දෙදෙනා තමන් ළඟට ගත්තා. ඈ හොඳට ම බියට පත්ව සිටියත් වෙන යන්ට තැනක් නැති නිසා ඈ කලින් හිටිය ලංකාපුර නැමැති යක්ෂ ජනපදයට ම ගියා.

63. දරුවන් දෙන්නා ලංකාපුරයෙන් පිටත තැනක වාඩිකෙරෙව්වා. ඈ තනියම යක්පුරයට ඇතුල්වුනා. එතකොට ඈ ඔත්තු බලාගෙන යන්ට සොරෙන් ආ බව සිතා යක්කු හොඳට ම භය වුනා.

64. ලංකාපුරයේ යක්කු කැළඹිලා ගියා. එතකොට ම එක්තරා දරුණු යක්ෂයෙක් එක් පැහැර ගැසූ ඇතුල් පහරකින් යකින්නිය මරලා දැම්මා.

65. කුවේණිගේ මාමා වූ යකෙක් ලංකාපුරයෙන් පිටතට ආවා. පිටත සිටින දරු දෙන්නා දකින්ට ලැබුනා. ‘තොපි කාගේ දරුවන් ද?’ කියලා ප්‍රශ්න කළා.

66. ‘අපේ මැණියන් කුවේණිය යි’ කියලා කිව්වා. ‘මෙතැන තොපේ මෑණියන් ව මරලා දැම්මා. තොපිව දැක්කොත් මරා දමාවි. ඉක්මනින් පැනගනින්’ කියලා යක්ෂයා පැවසුවා.

67. එතකොට ඔවුන් දෙන්නා ඉක්මනින් ම ඒ ප්‍රදේශයෙන් පැනගත්තා. සමන්කුළු පව්ව පාමුල වනයේ වාසය කළා. තරුණයෙකු බවට පත් ඒ පුත්‍රයා ඒ තමාගේ නැගණිය සමඟ පවුල් ජීවිතයක් පටන් ගත්තා.

68. තම දරුවන් සමන්කුළු පව්වේ පාමුල ඉන්න බව දැනගත් විජය රජතුමා ඔවුන්ට ඒ කඳු ප්‍රදේශයේ ම වාසය කරන්ට අනුමැතිය දුන්නා. ඊටපස්සේ ඔවුන් දූපුතුන් ඇති කරගෙන දරුපරපුරක් බිහි කළා. ලංකාවේ වැද්දන්ගේ ආරම්භය ඇති වුනේ ඔය ආකාරයට යි.

69. පඬි රජ්ජුරුවන්ගේ දූතයෝ තමන් ගෙනා රාජකීය තුටු පඬුරු විජය කුමාරයාට පිළිගැන්නුවා. රාජකන්‍යාව පෙරටු කොට ඒ කන්‍යාවන් ද ලබාදුන්නා.

70. විජය කුමාරයාත් රාජදූතයන්ට ගෞරව සම්මාන දැක්කුවා. ඒ ඒ ඇමැතිවරුන් හට තම තමන්ගේ වංශයන්ට ගැලපෙන විදිහට ඒ කන්‍යාවන් භාර දුන්නා.

71. සියලු අමාත්‍යවරුන් රැස්වුනා. ක්ෂත්‍රිය රාජපරම්පරාවල සිදුකෙරෙන විධීන්ට අනුකූලව විජය කුමාරයාව ලංකා රාජ්‍යයෙහි රජු ලෙස අභිෂේක කෙරෙව්වා. මහා සැණකෙළියක් කළා.

72. ඊටපසු විජය රජ්ජුරුවෝ දකුණු දඹදිව පඬි රජ්ජුරුවන්ගේ දියණිය මහත් උත්සවාකාරයෙන් රාජමහේෂිකාව හැටියට අභිෂේක කළා.

73. අමාත්‍යවරුන්ට ධනය ලබාදුන්නා. සිය මාමණ්ඩිය බවට පත් වූ දකුණු දඹදිව මධුරා රජ්ජුරුවන්ට අවුරුදු පතා කහවනු දෙලක්ෂයක් අගනා හක්ගෙඩිත් මුතුත් යැව්වා.

74. විජය රජ්ජුරුවෝ මේ දිවයිනට ගොඩ බසින්ට පෙර තිබුනු දරුණු ගතිගුණ අත්හැරියා. ධර්මයෙන් හා සාමයෙන් යුක්තව ලංකාරාජ්‍යයට අනුශාසනා කළා. තමන්ගේ තම්බපණ්ණි නගරයේ සිට තිස් අට වර්ෂයක් රජකම් කළා.

සත්පුරුෂ ජනයන්ගේ ප්‍රසාදයත් සංවේගයත් ඇතිකරනු පිණිස කරන ලද මහාවංශයෙහි විජය රජ්ජුරුවන්ගේ අභිෂේකය නම් වූ සත්වෙනි පරිච්ඡේදය යි.