පැතිර යන භයානක කොවිඩ් වසංගතය දුරුවී “සියලු දෙනා නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා! සුවපත් වෙත්වා!” යන මහත් වූ කරුණා සිතින් යුක්තව, අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රධාන ගරුතර මහාසංඝරත්නයේ මූලිකත්වයෙන් කොරෝනා රෝගීන් 1000 කට පමණ ප‍්‍රතිකාර ලැබිය හැකි පරිදි කුණ්ඩසාලේ මහමෙව්නා භාවනා අසපුවේ ඉදි වෙමින් පැවති සුවිසල් ධර්ම ශාලාව, කොරෝනා ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස සකස්කොට ශ‍්‍රී ලංකා රජයේ සෞඛ්‍ය අංශ වෙත නිල වශයෙන් භාරදීම අද (2021.06.12 ) දින සිදුවිය.

ඉදිවෙමින් පැවති සුවිසල් ධර්ම ශාලාව සති තුනක පමණ කාලයකදී ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස පරිවර්තනය කිරීමේදී, ශ්‍රමයෙන් ‌දායක වූ ශ්‍රි ලංකා යුධ හමුදාවේ නිලධාරීන් හා සෙබළ සැමට ද, මුදල් පරිත්‍යාග කළ දෙස් විදෙස් සැදැහැවතුන්ට ද, ධර්ම ශාලාව ඉදිකිරීම පිණිස ඇප උපකාර කළ සියලු දෙනාට ද, නන් අයුරින් උපකාර කළ කුණ්ඩසාලේ මහමෙව්නාව භාවනා අසපුවේ උපස්ථාන කමිටුව, යොවුන් සභාව සහ සුවසේවා සංවිධානයේ සාමාජික සාමාජිකාවන්ට ද, දැකබලා සතුටුවන ඔබ සැමට ද මේ උදාර ගිලානෝපස්ථානමය පින එක සේ අනුමෝදන් වෙත්වා!

උතුම් තුනුරුවනේ අනන්ත ආශිර්වාදයෙන්, දෙවියන්ගේ රැකවරණයෙන්, මේ උදාර ගිලානෝපස්ථානමය පින්කමේ පුණ්‍යානුභාව බලයෙන් සියලුදෙනාට නිදුක් නීරෝග සැප සැලසේවා! කොරෝනා වසංගතය වහ වහා අප මාතෘ භූමියෙන් තුරන් වේවා! උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම පිණිස ම මේ පිනත් හේතු උපකාර වෙත්වා!

තෙරුවන් සරණයි!