1. උන්මාදචිත්‍රා කුමරියගේ අණ පරිදි දාසිය සිඟිති කුමාරයාව හොඳින් සැකසූ පැසෙක දමාගෙන ද්වාරමණ්ඩලයට හෙවත් දොරමඩලාවට යන්ට පිටත් වුනා.

2. එදා රාජකුමාරවරු උපතිස්ස ගමටත් දොරමඩලාවටත් අතර පිහිටි තුන්බරකන්දර නැමැති කැලෑබද පර්වත බෑවුමේ දඩයමේ ගිහින් සිටියා. එතකොට පැසක් ඔසවාගෙන එන මේ දාසියව දැක්කා. ‘ඔය පැසෙහි තී අරගෙන යන්නේ මොනවාද?’ කියලා ඔවුන් ඇසුවා.

3. ‘අනේ කුමාරවරුනි, මං මේ මාගේ දියණියට හකුරු කැවුම් අරගන දොරමඩලා යන ගමන්’ කියා ඈ පිළිතුරු දුන්නා. එතකොට රාජපුත්‍රයෝ ‘එහෙමනම් ඔය පැස බිමින් තියාපං’ කියා අණ කළා.

4. සිඟිති කුමාරයාගේ ආරක්ෂාවට පිටත්ව සිටි ගෝපකචිත්ත, කාලවේල යන යක්ෂයින් දෙන්නා එසැණින් ම විශාල ඌරෙකුගේ වේශයක් මවාගෙන ඒ රජකුමාරවරුන්ට පෙනෙන්ට සැලැස්සුවා.

5. රාජකුමාරවරු දාසිය අත්හැරලා ඌරා පසුපසින් ලුහුබැඳ ගියා. දාසිය සිඟිති කුමාරයාව රැගෙන දොරමඩලාවට ගියා. ඒ ගමේ සිටින අයකැමියා ගෝපකචිත්තගේ මිතුරෙකුව සිටි කෙනෙක්. ඔහුට කහවණු දහසයි සිඟිති කුමාරයාවයි දාසිය විසින් රහසේ ම භාර කළා.

6. ඒ දවසේ ම අයකැමියාගේ බිරිඳත් පුතෙකු බිහි කළා. ‘මාගේ බිරින්දෑ නිවුන් පුතුන් දෙදෙනෙකු බිහි කළා නොවැ’ කියලා ගමෙහි ප්‍රචාරය කළා. සිඟිති කුමාරයාව හොඳින් පෝෂණය කළා.

7. කුමාරයාට වයස අවුරුදු සතක් වෙද්දී ඔහුගේ මාමාවරුන්ට සිය නැගණිය වැදුවේ පුත් කුමරෙකු බවත් ඒ කුමරු දැන් දොරමඩලාවේ සිටින බවත් දැනගන්ට ලැබුනා. එතකොට ‘විලෙහි දියක්‍රීඩා කරමින් සිටින දරුවන් සමග කුමාරයාව මරාපියව්’ කියලා මිනිසුන්ව පිටත් කෙරෙව්වා.

8. ඒ විලේ ජලය ඇතුලේ ඉන්ද්‍රවාරණ නමැති ලොකු සිදුරක් සහිත රුකක් තිබුණා. සිදුරත් සහිත ඒ රුක් බෙණය ජලයෙන් වැසිලා තියෙනවා. පණ්ඩුකාභය කුමාරයා විල් දියේ කිමිදිලා ඒ සිදුරින් බෙණයට ඇතුලු වෙනවා. බොහෝ වෙලාවක් රැඳිලා ඉන්නවා.

9. පසුව ඒ කුමාරයා බෙණයෙන් නික්ම ළමයින් වෙත එනවා. ‘කොහේද හිටියේ කියලා ළමයින් අසද්දී බොරු කියලා රවට්ටනවා.

10. කුමාරයාව මරන්ට ආපු මිනිස්සු විල වටකළ දවසේ කුමාරයා ඇඳගෙන සිටි ඇඳුම පිටින් ම විලට බැස කිමිදුනා. වෙනදා වගේ ම ගිහින් ගස් බෙනයේ සැඟවුනා.

11. මිනිස්සු ඇවිත් එතන සිටි දරුවන් ඝාතනය කළා. ඒ දරුවන්ගේ ඇඳුම් ගණන් කොට සියලු දෙනා මැරූ බව තේරුම් ගත්තා. කුමාරයා ඇතුලු දරුවන් මරා දැම්මා කියලා රාජකුමාරවරුන්ට දැනුම් දුන්නා.

12. මිනිස්සු ආපසු හැරී ගිය විට පණ්ඩුකාභය කුමාරයා විලෙන් ගොඩට ඇවිත් අයකැමියාගේ ගෙදර ගියා. ඔවුන්ව අස්වැසුවා. කුමාරයා ක්‍රමයෙන් දොළොස් හැවිරිදි වියට පත්වුනා.

13. ඔහුගේ මාමාවරුන් වන රාජකුමාරවරුන්ට නැවතත් කුමාරයා ජීවත්වන බවට ආරංචි වුනා. එතකොට ඔවුන් දොරමඩලා ගමෙහි සිටින ගවයන් බලන සියලු ගොපලු දරුවන් ව මරවන්ට මිනිසුන්ව යෙදෙව්වා.

14. එදා ගවයන් බලන ළමයි දඩයමේ ගොසින් සිව්පාවෙකුව මරාගත්තා. සතාව පුළුස්සා ගන්ට ගින්දර රැගෙන එන්ට කියලා ඔවුන් කුමාරයාව ගමට පිටත් කෙරෙව්වා.

15. කුමාරයා ගෙදර ගිහින් අයකැමියාගේ පුත්‍රයාව පිටත් කෙරෙව්වා. ‘මගේ කකුල් රිදෙනවා. නුඹ ගොපල්ලන් ළඟට ගින්දර ගෙනියපන්.

16. එතකොට නුඹට එතනදී අඟුරින් පිළිස්සූ මස් කන්ට පුළුවන් නොවැ’ කියලා කිව්වා. කුමාරයාගේ වචනය ඇසූ ඔහු ගොපලු දරුවන් වෙත ගින්දර අරගෙන ගියා.

17. එසැණින් ම රාජකුමාරවරු එවපු මිනිස්සු ඔවුන්ව මරාදැම්මා. සියලු ගොපලු දරුවන්ව මරාදැමූ බව මාමාවරුන්ට දැනුම් දුන්නා.

18. කුමාරයාට වයස දහසය වෙද්දී ඔහුගේ මාමාවරුන්ට නැවතත් කුමාරයා ගැන දැනගන්ට ලැබුනා. උන්මාදචිත්‍රා මෑණියන් තව මසුරන් දහසක් අයකැමියාට දුන්නා. කුමාරයාගේ ආරක්ෂාවට විධිවිධානත් යෙදෙව්වා.

19. එතකොට අයකැමියා උන්මාදචිත්‍රා මෑණියන් විසින් එවන ලද සංදේශයට අනුව කළයුතු දේ පිළිබඳව පුත් කුමාරයාට දැනුම් දුන්නා. මසුරන් දහසකුයි දාසයෙකුයි සහිතව කුමාරයාව පණ්ඩුල බ්‍රාහ්මණයා ළඟට පිටත් කෙරෙව්වා.

20. තුන් වේදය පරතෙරට ඉගෙන ගත්, භෝග සම්පත් තියෙන, පණ්ඩුල නමැති බ්‍රාහ්මණයෙක් දකුණු ප්‍රදේශයේ පණ්ඩුල ගමෙහි වාසය කළා.

21. කුමාරයා පණ්ඩුල ගමට ගිහින් පණ්ඩුල බ්‍රාහ්මණයාව මුණගැසුනා. ‘දරුව, තෝ පණ්ඩුකාභය කුමාරයා ද?’ කියා ඇසුවා. ‘කළයුතු දෑ ඔබ දන්නවා නොවැ’ කියා කුමාරයා පිළිතුරු දුන්නා.

22. පණ්ඩුල බ්‍රාහ්මණයා කුමාරයාට හොඳින් සත්කාර කළා. ‘පුත්‍රය, තෝ රජබවට පත්වෙනවා. හරියට ම සැත්තෑ අවුරුද්දක් ලංකා රාජ්‍යය පාලනය කරනවා.

23. එනිසා පුත්‍රය, හොඳින් ශිල්ප ඉගෙන ගත මැනව’ කියලා කුමාරයාට ශිල්ප ඉගැන්වීම කෙරෙව්වා. පණ්ඩුකාභය කුමාරයා ඒ බ්‍රාහ්මණයාගේ පුත්‍රයා වන චන්ද කුමාරයාත් සමග වහ වහා ශිල්ප ඉගෙන ගෙන අවසන් කළා.

24. පණ්ඩුල බ්‍රාහ්මණයා බලසේනා රැස්කරගැනීම පිණිස කුමාරයාට මසුරන් ලක්ෂයක් දුන්නා. කුමාරයාත් බලසේනා පන්සීයක් රැස්කරගත් පසු,

25. පණ්ඩුල බ්‍රාහ්මණයා මෙහෙම කිව්වා. ‘යම් කුමාරිකාවක් තමන් අතට ගත් කොළපත් රන්තැටි බවට පත්වෙනවා දැක්කොත්, ඒ කුමාරිකාව තමන්ගේ රාජ මහේෂිකාව කරගත මැනව. ඒ වගේ ම මාගේ පුත්‍ර චන්ද ව පුරෝහිත බ්‍රාහ්මණ තනතුරටත් පත් කළ මැනව.’

26. මෙසේ පවසා ධනයත් දී යුධභටයන් සහිත වූ කුමාරයාව පිටත් කෙරෙව්වා. පින්වත් කුමාරයා ‘මම තමයි පණ්ඩුකාභය කුමාරයා’ කියලා කෑ ගසා තමන්ගේ නම අස්සවලා පිටත් වුනා.

27. කසාගල පර්වතය ආසන්නයේ පණ නමැති නගරයක් තිබුණා. එහි වාසය කරන පුහුණුව ලත් යුද භටයන් සත්සියයකුත් කුමාරයාට ලැබුනා. සියල්ලන්ට ම ආහාරපානත් ලැබුනා.

28. එතැනින් නික්මුනු කුමාරයා එක්දහස් දෙසීයක යුධභට පිරිසක් පිරිවරාගෙන ගිරිකණ්ඩක නමැති පර්වතයට ගියා.

29. එහි ගිරිකණ්ඩසිව නමැති පණ්ඩුකාභය කුමාරයාගේ මාමා කෙනෙක් ඉන්නවා. ඔහු සිය පියා වූ පණ්ඩුවාසුදේව මහරජු විසින් ප්‍රදානය කළ ඒ ප්‍රදේශය භුක්ති විඳිනවා.

30. එදා ඒ ගිරිකණ්ඩසිව ක්ෂත්‍රියයා කිරිය සියයක් හෙවත් හාරසිය අමුණක ප්‍රමාණයෙන් යුතු මහකුඹුරු යායෙහි ගොයම් කප්පවමින් සිටියා. ඔහුට පාලී නමැති ඉතා රූපසම්පන්න ක්ෂත්‍රිය දූකුමාරිකාවක් ඉන්නවා.

31. එදා පාලී කුමරිය අලංකාර යානාවක නැගලා මහත් පිරිවර සේනාවක් සමග සිය පියාණන් උදෙසා පිළියෙල කළ බතත්, ගොයම් කපන්නවුන්ට පිළියෙල කළ බතත් රැගෙන එමින් සිටියා.

32. පණ්ඩුකාභය කුමාරයාගේ මිනිස්සු කෙතට යමින් සිටි මනා රූ ඇති කුමාරිකාව දැක්කා. දැකලා කුමාරයාට දැනුම් දුන්නා. කුමාරයා වහාම එතැනට ගියා.

33. කුමාරියගේ පිරිවර ජනයා දෙපැත්තට බෙදෙන ලෙසින් පිරිස් සහිත වූ තමන්ගේ යානය පාලී කුමරිය ළඟට එළඹෙව්වා. ඒ කුමරියගෙන් ‘කොහේද යන්නේ?’ කියලා ඇහුවා.

34. ඇය විසින් සියලු විස්තර කිව්වා. පණ්ඩුකාභය කුමාරයාට කුමරිය පිළිබඳ සිතක් ඇතිවුනා. ‘අපටත් හරි බඩගිනියි නොවැ. කරුණාකර අපටත් බත් දෙනවාද?’ කියා කුමාරයා ඇසුවා.

35. එතකොට ඈ යානාවෙන් බැස්සා. නුගරුක් සෙවනේ ඉඳගත් ක්ෂත්‍රිය රාජකුමාරයාට රන් තලියක දැමූ බත පිළිගැන්නුවා.

36. කුමාරයාගේ පිරිවර ජනයාට බත් දීම පිණිස ඒ නුග රුකෙන් ලොකු නුගපත් කැඩුවා. එසැණින් ම ඈ කඩන ලද නුග පත්‍රයන් රන් බඳුන් බවට පත්වුනා.

37. එය දුටු රාජපුත්‍රයාට පණ්ඩුල බ්‍රාහ්මණයා කිවූ අනාවැකිය මතක් වුනා. තමාගේ රාජමහේෂිකාව වෙන්ට සුදුසු වූ ක්ෂත්‍රිය කන්‍යාවක් ලැබුනා නොවැ කියලා කුමාරයා සතුටට පත්වුනා.

38. ඈ සියලු දෙනාට ම බත් අනුභව කෙරෙව්වා. නමුත් බත් අවසන් වුනේ නෑ. බත් බඳුනෙහි අඩු වී පෙනුනේ එක් කෙනෙකු උදෙසා ගත් බත් කොටසක් විදිහටයි.

39. මෙවැනි පුණ්‍ය ගුණයෙන් උපලක්ෂිත වූ සැබෑ ලෙසට ම කන්‍යාවක් වූ කුමාරිකාව එදා සිට ස්වර්ණපාලී නමින් හැඳින්වුනා.

40. පණ්ඩුකාභය කුමාරයා ඒ ස්වර්ණපාලී කුමරිය සිය යානාවට නග්ගවාගත්තා. මහත් යුධභට සේනාව ද පිරිවරාගෙන කිසි භයක් සැකක් නැතිව පිටත් වෙලා ගියා.

41. එතකොට සිය දියණිය පැහැරගෙන ගිය පුවත ගිරිකණ්ඩසිව ක්ෂත්‍රියයාට අසන්ට ලැබුනා. ඔවුන්ව අල්ලා ගැනීම පිණිස අවිගත් සියලු මිනිසුන්ව පිටත් කළා. ඔවුන් ගිහින් කෝලාහල කළා. නමුත් පණ්ඩුකාභය කුමාරයාගේ භටයන් ඔවුන්ට තර්ජනය කළ නිසා ආපසු හැරී ගියා.

42. ඔවුන් කෝලාහල කළ ප්‍රදේශය එදා සිට කලහ නගරය නමින් හැඳින්වුනා. මේ සිදුවීම අසන්ට ලැබුනු පාලී කුමාරියගේ සහෝදරයන් පස් දෙනාත් පණ්ඩුකාභය කුමාරයා ඇතුලු පිරිස සමග යුද්ධ කරන්ට පැමිණියා.

43. එතකොට පණ්ඩුල බ්‍රාහ්මණයාගේ පුත්‍රයා වූ චන්ද කුමාරයා තනියම ඔවුන් සියලු දෙනාවම මැරෙව්වා. ඔවුන් යුද්ධ කළ ස්ථානය එදා සිට ලෝහිතවාහඛණ්ඩ හෙවත් ලේවාකඩ කියලා හැඳින්වුනා.

44. මහත් බලසේනාවකින් යුක්ත වූ පණ්ඩුකාභය කුමාරයා එතැනින් නික්මුනා. ගංගාවෙන් එතෙර වී දෝලපබ්බත හෙවත් දෝලංග නම් පර්වතයට ගියා.

45. එහි සතර අවුරුද්දක් වාසය කළා. උන්මාදචිත්‍රාගේ පුත්‍රයා වන පණ්ඩුකාභය කුමාරයා එහි වාසය කරන බව නැවතත් කුමාරයාගේ මාමාවරුන්ට ආරංචි වුනා. එතකොට අභය රජ්ජුරුවන්ව උපතිස්ස ගමෙහි ම නවත්තලා අනිත් මාමාවරු කුමාරයා සමග යුද්ධ කිරීම පිණිස පිටත් වුනා.

46. ඔවුන් ඇවිත් දිඹුලාගලට නොදුරු එක්තරා ගම්මානයක කඳවුරු බැඳගත්තා. මාමාවරු බැණා සමඟ යුද්ධ කළා. එතකොට බෑණා සිය මාමාවරුන්ව,

47. ගංගාවෙන් මෙතෙර දක්වා පලවා හැරියා. එතැන ම කඳවුරු බැඳගෙන නැවතුනා. පණ්ඩුකාභය කුමාරයා එහි දෙවසරක් වාසය කළා.

48. මාමාවරුන් නැවත උපතිස්ස ගමට හැරී ගොස් පණ්ඩුකාභය විසින් තමන්ව පලවා හැරිය බව අභය රජ්ජුරුවන්ට කියා සිටියා. රජ්ජුරුවෝ කුමාරයාට රහස් සන්දේශයක් පිටත් කළා.

49. ‘තෝ ගඟෙන් එතෙර ප්‍රදේශය භුක්ති විඳපන්. ගඟෙන් මේ පැත්තට එන්ට එපා’ කියලා. එය ආරංචි වුන ගමන් රජ්ජුරුවන්ගේ සහෝදර කුමාරවරු නව දෙනා හොඳට ම කෝපයට පත්වුනා.

50. ‘තෝ තමයි බොහෝ කලක් තිස්සේ උන්මාදචිත්‍රාට කන්‍යා අවධියේ ඉඳන් උදව් කළේ. දැන් තෝ අපට සතුරු වූ ඒ මහාසොරාට රටත් පාවා දෙන්ට හදනවා. දැන් තෝවයි අපි මරන්නේ’ කියලා කිව්වා.

51. එතකොට අභය රජ්ජුරුවෝ ඔවුන්ට රාජ්‍යය භාරදුන්නා. සහෝදර කුමාරවරු නව දෙනාම එකතු වෙලා තිස්ස නමැති තම සොයුරාව ලංකා රාජ්‍යයෙහි අධිපති බවට පත්කළා.

52. අන්‍යයන් හට අභය දානය ලබාදුන් ඒ අභය රජ්ජුරුවෝ උපතිස්ස ගමෙහි විසි අවුරුද්දක් රාජ්‍යය පාලනය කළා.

53. සිරීශවස්තු නගරයේ දී විජය කුමරු සමඟ කළ සටනින් මිය ගිය ජුතින්ධර නමැති යක්ෂයාගේ බිරිඳව සිටි චේතියා නමැති යකින්නක් ඒ දිනවල දිඹුලාගල වාසය කළා. ඈ තිඹිරියඟන නමැති විල අසල වෙළඹකගේ වෙස් ගෙන සැරිසැරුවා.

54. කුමාරයාගේ එක් භටයෙක් ‘මුළුමනින්ම සුදු පැහැයෙන් යුතු, රතු පැහැයෙන් යුතු පාදයන් ඇති, ඉතාම ලස්සන වූ වෙළඹක් අසවල් තැන හැසිරෙනවා’ කියලා කුමාරයාට සැළකළා.

55. එතකොට කුමාරයා රැහැන්පොටක් රැගෙන වෙළඹව අල්ලාගන්ට ළඟට ගියා. තමාගේ පසුපසින් එන කුමාරයාගේ තේජස නිසා වෙළඹ වෙස් ගත් යකින්නිය බියට පත්වුනා.

56. ඇය අතුරුදහන් නොවී දුවන්ට පටන් ගත්තා. කුමාරයා වෙළඹ පසුපසින් අල්ලාගන්ට දිව්වා. එතකොට වෙළඹ තිඹිරියඟන විල වටා සත්වටයක් දිව්වා. කුමාරයත් පස්සෙන් දුවගෙන ගියා.

57. එතකොට වෙළඹ මහාගංගාවට පැන්නා. ගඟෙන් එතෙර වෙලා එතනින් දිඹුලාගල පර්වතයට දිව්වා. ඒ පර්වතය වටා සත්වටයක් දිව්වා.

58. ආයෙමත් විල දෙසට දුව ඇවිත් තිඹිරියඟන විල වටා නැවත තුන් වටයක් දිව්වා. ආයෙමත් කසාතොටින් ගංගාවට බැස්සා. ඒ ගංගාවෙහි දී ම,

59. කුමාරයා වෙළඹගේ වලිගයෙන් අල්ලා ගත්තා. ඒ වගේ ම දියෙහි ගසාගෙන යන තල් පත්‍රයකුත් ගත්තා. කුමාරයාගේ පුණ්‍යානුභාවය නිසා ඒ තල්පත මහා කඩුවක් බවට පත්වුනා.

60. එතකොට කුමාරයා කඩුව ඔසවාගෙන ‘මං තී මරනවා’ කියලා වෙළඹට කිව්වා. බියට පත් වෙළඹ ‘අනේ ස්වාමීනී, මාව මරන්ට එපා. මං ඔබට ලංකා රාජ්‍ය බලය ලබාදෙන්නම්’ කියලා කිව්වා.

61. පණ්ඩුකාභය කුමාරයා වෙළඹගේ බෙල්ලෙන් අල්ලාගෙන කඩුතුඩින් ඇගේ නාසය විද්දා. රැහැන් පටින් බැඳගත්තා. එතැන් පටන් යකින්නි කුමාරයාගේ වසඟයට පත්වුනා.

62. මහා බල ඇති කුමාරයා වෙළඹගේ පිට නැගී දිඹුලාගලට ගියා. දිඹුලාගල පර්වතයෙහි සතර අවුරුද්දක් වාසය කළා.

63. ඊට පසු කුමාරයා බලසෙන් සහිත ව දිඹුලාගලින් නික්ම ආවා. අරිට්ඨ පර්වතය හෙවත් රිටිගලට පැමිණියා. අනාගතයෙහි මාමාවරුන්ගෙන් කොයි මොහොතක හෝ යුද්ධයක් පැමිණිය හැකි හෙයින් යුධ කාලය බලාපොරොත්තුවෙන් සත් අවුරුද්දක් රිටිගල වාසය කළා.

64. අභය සහ ගිරිකණ්ඩසිව යන මාමාවරු දෙන්නා හැර ඔහුගේ අනිත් මාමාවරු අට දෙනා ම යුද්ධයට සැරසිලා රිටිගල පර්වතය වෙත ආවා.

65. නගරක නම් ගම්මානයේ ඔවුන් කඳවුරු බැඳගත්තා. සෙන්පතියෙකුට සේනා ලබා දී රිටිගල පර්වතය හතරවටින් ම වට කළා.

66. එතකොට පණ්ඩුකාභය කුමාරයා සතුරන් සතර අතින් ම වටකරගෙන සිටින නිසා දැන් තමා කුමක් කළ යුතුදැයි චේතියා යකින්න සමඟ සාකච්ඡා කළා. යකින්නියගේ උපදෙස් මත රජවරුන් පරිහරණය කරන බඩුත් තුටු පඬුරුත් ආයුධත් මාමාවරුන් වෙත භාරදුන්නා.

67. මේවා ඔක්කොම ගනු මැනව. මං ඔබලාගෙන් සමාව ගන්නවා කියා කුමාරයා තම බලසෙනඟ ඉස්සෙල්ලාම මාමාවරුන් ළඟට පිටත් කොට යැව්වා.

68. එතකොට කුමාරයාව රැවටීමට මාමාවරු විශ්වාසවන්ත බවක් මතුපිටින් පෙන්වද්දී කුමාරයා වෙළඹ යකිනියගේ පිට මත නැගී මහා බලසේනාවක් පෙරටු කරගෙන,

69. යුද්ධයට පිවිසුනා. එතකොට යකින්නි බිහිසුණු හඬින් කෑගැසුවා. ඒත් එක්ක ම රජවරුන් ළඟට ගිය තමන්ගේ සේනාවත් තමා හා සිටින සේනාවත් එක්වන් මහා හඬින් කෑගැසුවා.

70. කුමාරයාගේ සියලු පිරිස පරසතුරු සේනාවට අයත් බොහෝ මිනිසුන්වත් මාමාවරුන් අට දෙනාවත් ඝාතනය කළා. ඔවුන්ගේ සියලු හිස් ගොඩකට ගැසුවා.

71. සේනාපති පලා ගිහින් වනලැහැබකට රිංගුවා. එදා සිට ඒ වනලැහැබ සේනාපති රිංගූ තැන යන අරුතින් සේනාපතිගුම්බක යන නමින් ප්‍රසිද්ධ වුනා.

72. යුද්ධයේ දී මරන ලද මිනිසුන්ගේ හිස් ගොඩගසා තිබුන තැන උඩින් ම තිබුනේ මාමාවරුන්ගේ හිස් රැසයි. එය දුටු කුමාරයා ‘මෙතන ලබුගොඩක් වගේ නොවැ’ කියලා කිව්වා. එතැන් පටන් කලින් නගරක නමැති ගම්මානයට ලබුගම යන නම ලැබුනා.

73. ඔය ආකාරයට දිනාගත් යුද්ධය ඇති ඒ පණ්ඩුකාභය කුමාරයා තම මෑණියන්ගේ මව වන භද්දකච්චානා දේවියගේ සොහොයුරෙකු වූ තමන්ගේ සීයා කෙනෙකු වන අනුරාධ ක්ෂත්‍රියයා වසන තැනට පිටත්වුනා.

74. එතකොට ඒ අනුරාධ සීයා තමන් වාසය කළ රජගෙය කුමාරයාට දුන්නා. තමන් වෙන තැනක පදිංචියට ගියා. කුමාරයා ඒ රජගෙයි වාසය කළා.

75. පණ්ඩුකාභය කුමාරයා නිමිත්තපාඨකයින්වත් වාස්තු විද්‍යා ශිල්පීන්වත් කැඳෙව්වා. ඒ අනුරාධ ගම්මානය ම උසස් නගරයක් ලෙස නිර්මාණය කළා.

76. විජය කුමාරයා සමග ආ අනුරාධ ඇමතියාත් භද්දකච්චානා දේවියගේ සහෝදරයා වූ අනුරාධ කුමාරයාත් යන මේ අනුරාධයන් දෙදෙනා වාසය කළ නිසාත් අනුර නැකතින් නගරය පිහිටවූ නිසාත් එම නගරය අනුරාධපුර නමින් හැඳින්වුනා.

77. මාමාවරුන්ගේ රාජ්‍ය ඡත්‍රය අනුරාධගමට ගෙන්නුවා. අනුරාධපුරයෙහි ඉබේ හටගත් විලක් තියෙනවා. ඒ විලේ ජලයෙන් ඒ සේසත සේදෙව්වා. ඒ විලෙහි ම ජලයෙන්,

78. පණ්ඩුකාභය කුමාරයා තමන්ගේ රාජ්‍යාභිෂේකය කෙරෙව්වා. ස්වර්ණපාලී දේවිය රාජ මහේෂිකාව ලෙස අභිෂේක කළා.

79. චන්ද කුමාරයාට චාරිත්‍රානුකූලව පුරෝහිත තනතුර දුන්නා. අනිත් සේවකාදීන්ට සුදුසු අයුරින් තනතුරු ලබාදුන්නා.

80. තමන්ගේ මෑණියන්ටත් තමන්ටත් උපකාර කළ නිසා එය සිහි කොට තමන්ගේ වැඩිමහලු මාමා වන කලින් සිටි අභය රජ්ජුරුවන්ව මරණයට පත්කෙරෙව්වේ නෑ.

81. ඔහුට රාත්‍රියෙහි රජකම දුන්නා. ඔහු නගරාරක්ෂකයෙක් වුනා. එතැන් පටන් අනුරාධපුර නගරයෙහි නගරගුත්තික තනතුර ඇතිවුනා.

82. ස්වර්ණපාලී දේවියගේ පියා වූ තම මාමණ්ඩිය වන ගිරිකණ්ඩසිව ක්ෂත්‍රියයාට ගිරිකණ්ඩසිව ප්‍රදේශය ම ඔහුගේ පාලනයට ලබාදුන්නා.

83. ඉබේ හටගත් යම් විලකින් ඡත්‍රය ධෝවනය කෙරෙව්වේද, තමන්ගේ අභිෂේකය කෙරෙව්වේද, එම විල ලොකුවට සාරවා බොහෝ ජලය රැඳි තැනක් බවට පත් කෙරෙව්වා. ඒ විලේ ජලයෙන් තමන්ගේ ජයග්‍රහණය අභිෂේක කළ හෙයින් ජයවැව යන නම තැබුවා.

84. අනුරාධපුරයට නැගෙනහිරින් කාලවේල යක්ෂයා හට දෙවොලක් කෙරෙව්වා. චිත්‍රරාජ යක්ෂයාට අභයවැවට පහළින් දෙවොලක් කෙරෙව්වා.

85. තමන්ට කලින් උපකාරී වූ ගුම්බකභූතා නමැති දාසිය මියගොස් යක්ෂ යෝනියේ ඉපිද සිටියා. ඇය කළ උපකාරය සිහිකොට අනුරාධපුරයේ දකුණු දොරටුවේ ඈ වෙනුවෙන් දෙවොලක් කෙරෙව්වා.

86. රජවාසල මැද දෙවොලක් තනවා වළවාමුඛී හෙවත් වෙළඹ වෙසින් හුන් චේතියා යකින්නිය වාසය කෙරෙව්වා. මේ යකුන් යක්ෂණියන් හට වාර්ෂිකව බිලි පූජෝත්සව පැවැත්තුවා.

87. උත්සව අවස්ථාවන්හි දී පණ්ඩුකාභය රජ්ජුරුවෝ චිත්‍රරාජ යක්ෂයා සමඟ සම අසුන්වල වාඩි වී සිටියා. එහි දී දිව්‍ය මනුෂ්‍ය නැටුම් රඟ දැක්කෙව්වා.

88. නොයෙකුත් ක්‍රීඩාවන්හි ඇලී සිටි රජ්ජුරුවෝ එහි සිත් අලවා වාසය කළා. නගරයේ ප්‍රධාන දොරටු සතර ආසන්නයේ ගම්මාන සතරකුත් අභයවැවත් කෙරෙව්වා.

89. පොදු සුසාන භූමියකුත්, වැරදි කළවුන්ට මරණ දඬුවම් පමුණුවන දංගෙඩිය පිහිටුවන තැනකුත්, බටහිරින් පච්ඡිමරාජිනියට දෙවොලකුත්, යක්ෂාධිපති වෛශ්‍රවණ දෙව්රජුට නුගරුක් සෙවනේ දෙවොලකුත්, තල්රුක් සෙවනේ ව්‍යාධ නමැති දඩයම් දෙවියාට දෙවොලකුත් කෙරෙව්වා.

90. සෝණ යකුට සභාගවත්ථු නැමැති දෙවොලත්, මහේජ යකුට තවත් දෙවොලකුත් කෙරෙව්වා. මේවා පිහිටෙව්වේ බටහිර දොරටු දිසාව පැත්තෙන් ය.

91. නගරය පිරිසිදු කරන්ට සැඩොල් පුරුෂයන් පන්සීයක් යොදවා තිබුණා. අසුචි බැහැරකරවන්ට සැඩොල් පුරුෂයන් දෙසීයක් යොදවා තිබුණා.

92. නගරයෙන් බැහැර සොහොනට මළසිරුරු ගෙනයන සැඩොල් පුරුෂයන් එක්සිය පණස් දෙනෙක් යොදවා තිබුණා. සුසාන භූමිය රකින්ටත් එබඳුම සැඩොල් පිරිසක් යොදවා තිබුණා.

93. ඔවුන්ගේ ගම්මානය සොහොනට වයඹ දිගිනුයි පිහිටලා තිබුනේ. ඔවුන් තම තමන්ට නියමිත වූ ඒ ඒ රාජකාරීන් පවරා ඇති ආකාරයෙන් ම කළා.

94. ඒ සැඩොල්ගමට ඊසාන දිගින් නීච සුසාන නමින් සැඩොලුන් සඳහා වෙනම සොහොන් බිමක් කෙරෙව්වා.

95. ඒ සොහොන් බිමට උතුරු පැත්තෙන් ගල් පර්වත අතරෙහි දඩයම් කරුවන්ගේ වාසය පිණිස ගෙවල් පෙළක් පිහිටුවලා තිබුණා.

96. ඒ දඩයක්කාරයන්ගේ ගෙවල් පෙළට උතුරින් ගාමිණී වැව ළඟට එනතෙක් තාපසයන් හට නොයෙක් ආශ්‍රමයන් කරවලා තිබුණා.

97. ඒ නීච සුසානයට නැගෙනහිරින් නගර නිර්මාණ කරන්නෙකු වූ ජෝතිය නමැති නිගණ්ඨ බ්‍රාහ්මණයාට පණ්ඩුකාභය රජ්ජුරුවෝ ගෙයක් කරවා දුන්නා.

98. ඒ ප්‍රදේශයේ ම ගිරි නමැති නිගණ්ඨයාත් වාසය කළා. විවිධ මත දරන පාෂාණ්ඩ තවුසනුත් වාසය කළා. බොහෝ ශ්‍රමණයනුත් වාසය කළා.

99. රජ්ජුරුවෝ ඒ ප්‍රදේශයේ ම කුම්භාණ්ඩ නමැති නිගණ්ඨයා වෙනුවෙන් දෙවොලක් කෙරෙව්වා. එම දෙවොල ඒ නිගණ්ඨයාගේ නමින් කෙරවූ නිසා කුම්භණ්ඩක දේවාලය නමින් හැඳින්වුනා.

100. එයට බටහිරින් දඩයක්කාරයන්ගේ ගෙවල් පෙළට නැගෙනහිරින් මිසදිටු පවුල් පන්සීයක් පමණ වාසය කළා.

101. ජෝතිය නිගණ්ඨයාගේ ආවාසයෙන් එපිට ගාමිණී වැවෙන් මෙපිට ඒ දෙක අතරෙහි පිරිවැජියන්ට ආරාමයක් කෙරෙව්වා.

102. ආජීවකයන්ටත් ගෙයක් කෙරෙව්වා. බ්‍රාහ්මණයන්ටත් වාසස්ථාන කෙරෙව්වා. ඒ බ්‍රාහ්මණයන්ට සිවිකාශාලා නමැති යාග මණ්ඩපත්, සොත්ථිසාලා නමැති සෙත් පතන ශාලාවනුත් තැනින් තැන කෙරෙව්වා.

103. ලංකාධිපති පණ්ඩුකාභය රජ්ජුරුවෝ අභිෂේකයෙන් දස අවුරුද්දක් ගත වූ තැන මුළු ලංකාවේ ම ඒ ඒ ගම්මානයන්ට සීමාවන් නියම කළා.

104. ඒ පණ්ඩුකාභය රජ්ජුරුවෝ කාලවේල, චිත්තරාජ යන යක්ෂයින්ව ඇස් පනාපිට පෙනෙන්ට ම ඇසුරු කළා. යක්ෂ භූතයන් සමඟ මිත්‍රත්වයෙන් යුතුව ඉසුරු සැප අනුභව කළා.

105. පණ්ඩුකාභය රජුටත්, අභය රජුටත් අතර රජෙකුගෙන් හිස්ව ලංකාව පැවති කාලය දාහත් වසරකි.

106. වීරියෙන් හා ප්‍රඥාවෙන් යුක්ත වූ ඒ පණ්ඩුකාභය රජතුමා රජකමට පත්වෙන විට වයස තිස් හතයි. රම්‍ය වූ අනුරාධපුරයෙහි සියලු සැපයෙන් සමෘද්ධිමත්ව සැත්තෑ අවුරුද්දක් රාජ්‍යය පාලනය කළා.

සත්පුරුෂ ජනයන්ගේ ප්‍රසාදයත් සංවේගයත් ඇතිකරනු පිණිස කරන ලද මහාවංශයෙහි පණ්ඩුකාභය රජුගේ අභිෂේකය නම් වූ දසවෙනි පරිච්ඡේදය යි.