1. පිළියෙල කරගත් ඇත් හලේත් එහි රැස් වූ ජනයාට ඉඩකඩ මදි වුනා. එතකොට ජනයා දකුණු දොරටුවට පිටින් රම්‍ය වූ නන්දන වනයේ,

2. ඒ ඝන සෙවන ඇති, ඉතා සිසිල් වූ, ගැවසීගත් නිල් තණ බිම ඇති රාජ උද්‍යානයෙහි, බණ ඇසීම පිණිස ආදරයෙන් යුක්ත වූ මිනිස්සු අපගේ රහතන් වහන්සේලාට වැඩ ඉන්ට අසුන් පැනෙව්වා.

3. මිහිඳු මහරහතන් වහන්සේ දකුණු දොරටුවෙන් නික්මිලා නන්දන වනයට වැඩලා පනවන ලද අසුනෙහි වැඩ සිටියා. මහා කුලවන්ත කාන්තාවෝ බොහෝ දෙනෙක් ඇවිත්,

4. උයන පිරීයන තරමට ඇවිත් අප මහරහතන් වහන්සේට නුදුරින් හිඳගත්තා. උන්වහන්සේ අප භාග්‍යවතුන් වහන්සේ වදාළ අසත්පුරුෂ බාලයා ගැනත් සත්පුරුෂ නුවණැත්තා ගැනත් කියවෙන බාලපණ්ඩිත සූත්‍රය මුල් කොට ධර්ම දේශනාව වදාළා.

5. ඔවුන් අතර හුන් දහසක් කාන්තාවන් සෝවාන් ඵලයට පත්වුනා. මේ විදියට ඒ උයනේ ම ගතකරද්දී සවස් වුනා.

6. අපගේ රහතන් වහන්සේලා දැන් මිස්සක පර්වතයට යන්ට ඕනෑ කියලා උයනින් නික්ම වැඩියා. තෙරුන් වහන්සේලා නන්දන උයනින් පිටත වඩින බව රජ්ජුරුවන්ට දැනුම් දුන්නා. එතකොට දෙවනපෑතිස් රජ්ජුරුවෝ වහා එතැනට සැපත් වුනා.

7. ඇවිදින් ‘ස්වාමීනී, දැන් සවස් වෙලා නොවැ. පර්වතයට සෑහෙන්ට දුරයි. මේ නන්දන වනෝද්‍යානේ ම ගත කිරීම පහසුයි නේද?’

8. ‘නගරයට ගොඩක් ම ළඟ නිසා මෙතැන අපට සුදුසු මදි’ කියා වදාළා. ‘ස්වාමීනී, මහමෙව්නා උයන නම් නගරයට දුරත් නෑ. ළඟත් නෑ.

9. රම්‍ය සෙවණින් යුක්තයි. මිහිරි ජලයෙනුත් යුක්තයි. ඔබවහන්සේලා එහි විසීමට රුචි වෙත්වා. ස්වාමීනී, එහි නැවතුන මැනව’ එතකොට මිහිඳු මහරහතන් වහන්සේ මහමෙව්නා උයනෙහි නැවතුන සේක.

10. එදා උන්වහන්සේලා නැවතී වැඩ සිටි තැන පිහිටා තිබුනේ කොළොම් ගඟ අසබඩ ය. එතැන කරන ලද චෛත්‍යය හඳුන්වන්නේ ‘නිවත්තකචේතිය’ යන නමිනි.

11. රජ්ජුරුවෝ නන්දන උයනට දකුණින් පිහිටි මහමෙව්නා උයනේ බටහිර දොරටුව වෙතට තමන් ම රහතන් වහන්සේව වඩම්මවාගෙන ආවා.

12. ඒ මහමෙව්නාව උයනෙහි පිහිටි රම්‍ය වූ රජගෙදර මනාකොට කරවා තිබෙන ඇඳපුටු මත ඉතා යහපත්ව ඇතිරිලි අතුරවා ‘ස්වාමීනී, මෙහි සැපසේ වසනු මැනව’ කියලා

13. රජ්ජුරුවෝ අපගේ මහරහතන් වහන්සේට වන්දනා කොට ඇමතිවරු පිරිවරාගෙන නගරයට පිවිසුනා. අපගේ රහතන් වහන්සේලා එදා රාත්‍රී මහමෙව්නා උයනේ පිහිටි රජගෙහි වාසය කොට වදාළා.

14. පසුවදා උදෑසනින් ම රජ්ජුරුවෝ මල් ගෙන්වා ගෙන ඇවිත් රහතන් වහන්සේලා වෙත අවුත් උන්වහන්සේලා වන්දනා කොට මල්වලින් ද පූජා පවත්වා,

15. ‘කිම ස්වාමීනී, සැපසේ වාසය කළා ද? මහමෙව්නා උයන පහසු තැනක් ද?’ ‘එසේය මහරජ්ජුරුවෙනි, සැපසේ වාසය කළා. මහමෙව්නා උයන ශ්‍රමණවරුන්ට පහසුවෙන් ඉන්ට පුළුවන් තැනක්.’

16. ‘ස්වාමීනී, සංඝයා වහන්සේට ආරාම පිළිගැනීම කැප ද?’ ‘කැපයි’ කියා වදාළා. කැප අකැප දේ පිළිබඳ වටහා ගැනීමෙහි දක්ෂ වූ,

17. අපගේ මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර දී බිම්බිසාර මහරජුගේ වනෝද්‍යානය වන වේළුවනාරාමය පිළිගත් කතාව දෙවනපෑතිස් රජ්ජුරුවන්ට පැහැදිලි කළා. එය ඇසූ රජ්ජුරුවෝ ඉතාම සතුටට පත්වුනා. මහජනයාත් බොහෝ සන්තෝෂයට පත්වුනා.

18. ඒ අවස්ථාවේ අපගේ රහතන් වහන්සේලා වන්දනා කිරීම පිණිස පන්සියයක් ස්ත්‍රීන් සමග අනුලා දේවිය පැමිණියා. මහරහතන් වහන්සේ ඔවුන්ට වදාළ ධර්ම දේශනාව අවසානයේ සියලු දෙනා සකදාගාමී ඵලයට පත්වුනා.

19. පන්සියයක් ස්ත්‍රීන් සමග වූ අනුලා දේවිය ‘දේවයන් වහන්ස, අපටත් පැවිදි වෙන්ට ඕනෑ’ කියා රජ්ජුරුවන්ට පවසා සිටියා. එතකොට රජ්ජුරුවෝ මහරහතන් වහන්සේට මෙය පැවසුවා.

20. ‘ස්වාමීනී, මේ කාන්තාවන් පැවිදි කරන සේක්වා!’ යි රජ්ජුරුවෝ මහරහතන් වහන්සේට පවසා සිටියා. ‘මහරජ්ජුරුවෙනි, අපට ස්ත්‍රීන් පැවිදි කරන්ට කැප නැහැ නොවැ. නමුත්,

21. පාටලීපුත්‍ර නගරයේ මාගේ නැගණිය වන භික්ෂුණියක් ඉන්නවා. ඈ ධර්මය විනය පිළිබඳ බොහෝ ඇසූ පිරූ තැන් ඇති බහුශ්‍රැත තැනැත්තියක්. සංඝමිත්තා යන නමින් ඈ ප්‍රසිද්ධයි.

22. නරේන්ද්‍රයෙනි, ‘අපගේ ශ්‍රමණේන්ද්‍ර වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දකුණු ශාඛා වහන්සේත් රැගෙන එසේ ම උතුම් භික්ෂුණීන් වහන්සේලා,

23. මෙහි වඩිනා සේක්වා!’ යි අපගේ පිය රජ්ජුරුවන් සමීපයට සංදේශයක් යවනු මැනව. ඒ තෙරණින් වහන්සේ වැඩම කරලා මේ කාන්තාවන්ව පැවිදි කරාවි.

24. ‘ඉතා හොඳයි ස්වාමීනී’ යි කියා පිළිතුරු දුන් රජ්ජුරුවෝ ඊළඟට උතුම් රන් කෙණ්ඩිය රැගෙන, මේ මහමෙව්නා උයන සංඝයා වහන්සේට පූජා කරමි’ කියලා

25. අපගේ මිහිඳු මහරහතන් වහන්සේගේ අතට, පූජා කරන්නා වූ ඒ පැන් වැක්කෙරෙව්වා. ඒ පැන් මිහිතලය මතට වැටෙද්දී මහ පොළොව කම්පාවට පත්වුනා.

26. ‘ස්වාමීනී, මහ පොළොව කම්පා වූ කාරණාව මොකක්ද?’ කියා රජ්ජුරුවෝ උන්වහන්සේගෙන් ඇහුවා. ‘මහ රජ්ජුරුවනි, මේ ලංකාද්වීපයේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය පිහිටි නිසා’ කියා පිළිතුරු දී වදාළා.

27. උසස් ක්ෂත්‍රිය වංශයෙහි උපන් දෙවනපෑතිස් රජ්ජුරුවෝ අපගේ මිහිඳු මහරහතන් වහන්සේට සමන් පිච්ච මල් පිළිගැන්නුවා. ඒ මල් පිළිගත් අප මහරහතන් වහන්සේ රජගෙට වැඩම කොට ඒ රජගෙදරට දකුණු පැත්තේ වැඩසිට,

28. පිචුල හෙවත් නාවා නැමැති හිඹුල් වෘක්ෂය මුලට සමන් මල් අට මිටක් ඉස වදාළා. එතැනදිත් කලින් වගේම පොළොව කම්පා වුනා. ‘ස්වාමීනී, පොළොව කම්පා වෙන්ට කාරණාව කුමක්ද?’ කියා රජ්ජුරුවෝ විමසුවා.

29. ‘මහරජ්ජුරුවෙනි, අතීතයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා තුන් නමකගේ සසුන් පිහිටි කාලයේදීත් මෙතැන සංඝයාගේ විනය කර්ම උදෙසා සීමා මාලක තිබුණා. දැන් මේ ගෞතම බුදු සසුන පිහිටන කාලයේත් සීමා මාලකයක් මෙතැන ඉදිවෙනවා.

30. රජගෙදරට උතුරින් ඉතා අලංකාර මරුන්ත නමැති පොකුණක් තිබුණා. එතැනට වැඩම කළ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ කලින් වගේම සමන් මල් අට මිටක් එතැනත් විසිරෙව්වා.

31. එතැනදීත් පොළොව කම්පා වුනා. ‘ස්වාමීනී, පොළොව කම්පා වෙන්ට කාරණාව කුමක්ද?’ කියා රජ්ජුරුවෝ ඇහුවා. ‘මහරජ්ජුරුවෙනි, මේ පොකුණ අනාගතයේදි සංඝයාගේ ගිනිහල්ගේ පොකුණ බවට පත්වෙනවා’ කියා වදාළා.

32. අපගේ මිහිඳු මහා ඍෂීන් වහන්සේ ඒ රජගෙදර ම දොරටුව ළඟට වැඩම කොට කලින් වගේම සමන් මල් අට මිටක් ඒ ස්ථානයට පූජා කළා.

33. ඒ අවස්ථාවේදීත් මහපොළොව කම්පා වුනා. අතිශයින් ලොමු ඩැහැගැන්වී ගිය රජ්ජුරුවෝ ‘ස්වාමීනී, මෙතැනදී දැඩි සේ මහ පොළොව සැලී ගියා. මෙයට කාරණාව මොකක්ද?’ කියා ඇසුවා. එතකොට අපගේ මිහිඳු මහරහතන් වහන්සේ,

34. ‘මහරජ්ජුරුවෙනි, මේ මහා භද්‍ර කල්පයේ අප බුදුරජාණන් වහන්සේට කලින් බුද්ධ බවට පත් වී වදාළ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප යන තුන් බුදුවරයන් වහන්සේලා බුදු වන අවස්ථාවේ පිට දුන් මහරි ය, දිඹුල් ය, නුග ය යන බෝධීන් වහන්සේලාගෙන් දකුණු ශාඛා බෝධීන් වහන්සේලා වඩම්මවාගෙන අවුත් මෙතැන රෝපණය කරවා තියෙනවා.

35. මහරජ්ජුරුවෙනි, අප තථාගතයන් වහන්සේ බුද්ධත්වය ලබන මොහොතේ පිට දී වදාළ ඇසතු බෝධීන් වහන්සේගේ දකුණු ශාඛා බෝධීන් වහන්සේත් මේ ස්ථානයේදී පිහිටුවනු ලබනවා.’

36. අපගේ මහරහතන් වහන්සේ එතැනින් මුචලමාලකය නමැති මිදෙල්ල ගස් සෙවණේ ඇති වටකුරු භූමියට වැඩියා. එතැනත් කලින් වගේම සමන් මල් අට මිටක් විසිරෙව්වා.

37. එතැනත් පොළොව කම්පා වුනා. එසේ කම්පා වෙන්ට හේතුව මොකක්ද කියලා මහරහතන් වහන්සේගෙන් ඇසුවා. ‘මහරජ්ජුරුවෙනි, මෙතැන තමයි සංඝයා පොහොය කරන උපෝසථාගාරය ඉදිවෙන්නේ’ කියා වදාළා.

38. මහා නුවණැති අපගේ මිහිඳු මහරහතන් වහන්සේ එතැනින් පඤ්චම්බමාලකයට හෙවත් අඹගස් පසකින් රවුමට වට වූ තැනට වැඩියා. ඒ අවස්ථාවේ මනා පැහැයෙන් යුතු මිහිරි සුවඳින් යුතු උතුම් රසයෙන් යුතු මනාව ඉදී ගිය අඹ ගෙඩියක්,

39. උයන් පාලකයා රජ්ජුරුවන්ට ගෙනැවිත් දුන්නා. ඉතා මනරම් වූ ඒ අඹ ගෙඩිය අපගේ මිහිඳු මහරහතන් වහන්සේට පූජා කරන්ට සූදානම් වුනා.

40. එතකොට ජනයාගේ යහපත කැමති අප මහරහතන් වහන්සේ වැඩහිඳින්ට අවශ්‍ය ආකාරයක් දක්වා වදාළා. එතකොට රජ්ජුරුවෝ එතැනට උතුම් ඇතිරිල්ලක් ඇතිරෙව්වා.

41. ඇතිරිල්ල මත වැඩහුන් අපගේ මහරහතන් වහන්සේට රජ්ජුරුවෝ ඒ අඹ ගෙඩිය පිළිගැන්නුවා. උන්වහන්සේ ඒ අඹ ගෙඩිය වළඳා සිටුවීම පිණිස රජ්ජුරුවන්ට,

42. අඹ ඇටය දුන්නා. රජ්ජුරුවෝ තමන්ගේ අතින් ම අඹ ඇටය එතැන රෝපණය කළා. අඹ ඇටය පැළවීම පිණිස මහරහතන් වහන්සේ ඒ මතට සිය දෝත සේදුවා.

43. සැණෙකින් ම ඒ අඹ ඇටයෙන් අංකුරයක් මතුවුනා. ක්‍රමයෙන් අතුපතර විහිදී පත්‍ර මෙන්ම ගෙඩි පිරීගිය මහා අඹ රුකක් බවට පත්වුනා.

44. ඒ ප්‍රාතිහාර්ය දුටු රජ්ජුරුවන් සහිත පිරිසේ ඇඟ මවිල් කෙලින් වුනා. රහතන් වහන්සේලාට වන්දනා කරගෙන සිටියා.

45. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ එතැන සමන් මල් අට මිටක් විසිරෙව්වා. එතැනත් කලින් වගේම පොළොව කම්පා වුනා. රජ්ජුරුවෝ එයට කාරණය කුමක්දැයි විමසුවා.

46. ‘මහරජ්ජුරුවෙනි, මේ ස්ථානයේ තමයි සංඝයා වහන්සේලාට ලැබෙන නොයෙක් ලාභයන් සමගිව රැස් වෙන සංඝයාට පොදුවේ පූජා කරන්නේ.’

47. මිහිඳු මහරහතන් වහන්සේ එතැනින් චතුශ්ශාලාව පිහිටන තැනට වැඩියා. එතැනත් සමන් මල් අට මිටක් ඇතිරෙව්වා. එතැනත් පොළොව කම්පා වුනා.

48. පොළොව කම්පා වෙන්ට කාරණාව මොකක්ද කියා රජ්ජුරුවෝ ඇහුවා. අප මහරහතන් වහන්සේ මෙසේ පිළිතුරු දී වදාළා. ‘මහරජ්ජුරුවෙනි, අපගේ බුදුරජාණන් වහන්සේට කලින් බුදු වූ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප යන තුන් බුදුවරයන් වහන්සේලාගේ කාලයේ මේ උයන පිළිගත්තට පස්සේ,

49. ලක්වැසි ජනයා හැම පළාතෙන් ම දාන වස්තු රැගෙන ඇවිත් මෙතැන තබලයි සංඝයා වහන්සේලා සහිත වූ ඒ තුන් බුදුවරයන් වහන්සේලාව වැළඳෙව්වේ.

50. මෙවරත් චතුශ්ශාලාව හැදෙන්නේ මෙතැන ම යි. මහරජ්ජුරුවෙනි, මෙතැනයි සංඝයා වහන්සේලා දන් වළඳන ස්ථානය හැදෙන්නේ.’

51. ඊටපසු ශ්‍රී ලංකාද්වීපය දියුණුවට පමුණුවන, තැන නොතැන පිළිබඳ මනා අවබෝධය ඇති අපගේ මිහිඳු මහරහතන් වහන්සේ රුවන්මැලි මහසෑය පිහිටන ස්ථානයට වැඩම කළා.

52. ඒ දිනවල රාජ උද්‍යානය ඇතුළු සීමාවට ඇතුලත්ව කකුධ නමින් කුඩා වැවක් තිබුණා. ඒ වැවට ඉහළින් දිය කෙළවර ඉවුරු කොණේ,

53. මහාසෑයක් පිහිටුවීමට සුදුසු ආකාරයේ උස්බිම් කොටසක් තිබුණා. මිහිඳු මහරහතන් වහන්සේ එම භූමියට වැඩම කළවිට රජ්ජුරුවන් වෙත සපුමල් අටමිටක් රැගෙන ආවා.

54. රජ්ජුරුවෝ තමන්ට දුන් ඒ සපුමල් අට මිට අපගේ මිහිඳු මහරහතන් වහන්සේට පිළිගැන්නුවා. අප මහරහතන් වහන්සේ සපුමල් අටමිටත් ඒ උස් බිම්කඩට පූජා කොට වදාළා.

55. එතැනදිත් මහපොළොව කම්පා වුනා. රජ්ජුරුවෝ පොළොව කම්පා වීමට හේතු වූ කරුණ කුමක්ද කියා තෙරුන් වහන්සේගෙන් අසා සිටියා. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ පොළොව කම්පා වීමට හේතු වූ කරුණ අනුපිළිවෙළින් වදාළා.

56. “මහරජ්ජුරුවෙනි, මේ ස්ථානය කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම යන සම්බුදුරජාණන් වහන්සේලා සතර නම ම සමාපත්ති සුවයෙන් වැඩහිඳ පරිභෝග කොට වදාළ තැනක්. සත්වයන්ගේ හිතසුව පිණිස මේ භූමිය සෑයකට ඉතා සුදුසුයි.

57. මේ මහා භද්‍ර කල්පයේ පළමුවෙන් ලොව පහළ වී වදාළේ කකුසඳ බුදුරජාණන් වහන්සේ. සියලු ධර්මයන් පිළිබඳ මනා අවබෝධයෙන් යුතු, සියලු ලෝක සත්වයා කෙරෙහි අනුකම්පා ඇති, ලොවට ශාස්තෘ වූ සේක් උන්වහන්සේ ය.

58. ඒ කාලේ මේ මහමෙව්නා උයන හැඳින්වූයේ මහාතිත්ථ යන නමින්. මහාතිත්ථ උයනට නැගෙනහිරින් අභය කියලා නගරයක් තිබුණා.

59. කොළොම් හොයට එපිටින් නැගෙනහිරට වෙන්ට පිහිටි ඒ අභය පුරයේ හිටියේ අභය නමින් රජකෙනෙක්. ඒ කාලයේ මේ ලංකාද්වීපය හැඳින්වූයේ ඕජදීප කියලා.

60. ඕජදීපවාසීන්ට පුණ්ණකාල නම් රකුසෙක් නිසා හටගත් පජ්ජරක නම් උණ රෝගයක් වැළඳිලා තිබුණා. අපගේ කකුසඳ දසබලයන් වහන්සේ ඕජදීපවාසීන්ට ඇති වී තිබෙන ඒ උපද්‍රවය දැක වදාළා.

61. ඒ උපද්‍රවය නසා මනුෂ්‍යයන් හට විනයත්, කකුසඳ බුදු සසුනේ පැවැත්ම පිණිසත් මේ ද්වීපය කෙරෙහි උපන් කරුණා බලය නිසාවෙන්,

62. හතළින් දහසක් රහතන් වහන්සේලා පිරිවරාගෙන ඉර්ධිබලයෙන් යුතුව අහසින් වැඩමවා දෙව්කුළු නමැති පර්වතය මතට වැඩ වදාළා.

63. මහරජ්ජුරුවෙනි, කකුසඳ සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධානුභාවයෙන් මේ මුළු ද්වීපයෙහිම තිබුනු පජ්ජරක රෝගය සංසිඳී ගියා.

64. නරේශ්වරයෙනි, එහි වැඩසිටි ඒ මුනිවරයන් වහන්සේ මේ ඕජදීපවාසී සියලු මිනිස්සු අද මාව හොඳින් දකිත්වා කියා අධිෂ්ඨාන කොට වදාළා.

65. ඒ වගේම මා වෙතට එන්ට කැමති සියලුම මනුෂ්‍යයෝ ඉතා සුවසේ ඉක්මනින්ම පැමිණෙත්වා’ යි කකුසඳ මහා මුනීන්ද්‍රයන් වහන්සේ අධිෂ්ඨාන කළා.

66. බුද්ධ රශ්මි මාලාවෙන් බබළන කකුසඳ බුදුරජාණන් වහන්සේත් ඒ බුදු රැසින් දිලිසෙන දෙව්කුළු පර්වතයත් දුටු අභය රජ්ජුරුවෝත් නුවරවැස්සෝත් වහාම එතැනට පැමිණියා.

67. දෙව්කුළු පර්වතවාසී දෙවියන්ට පුදපූජා පැවැත්වීම පිණිස එහි ගිය මිනිස්සුත් සිටියා. ශ්‍රාවක සංඝයා වහන්සේලා සහිත ලෝකනාථයන් වහන්සේ දුටු ඔවුන් සිතුවේ දේවතාවෝ පෙනෙන්ට ම වැඩම කොට සිටින බවයි.

68. ඒ අභය රජ්ජුරුවෝ අතිශයින් ම සතුටට පත්ව කකුසඳ මුනිරජාණන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට දානය පිණිස ආරාධනා කළා. අභයපුරය සමීපයෙහි පිහිටි මහාතිත්ථ උද්‍යානයට වඩමවාගෙන ගියා.

69. සංඝයා වහන්සේලා සහිත වූ කකුසඳ බුදුරජාණන් වහන්සේට වැඩ හිඳීමට කැපසරුප් ආකාරයෙන් උතුම් ආසනයන් පිළියෙළ කෙරෙව්වා. මේ මහාසෑ පිහිටන උස්භූමිය උන්වහන්සේලාට බාධා රහිතව සුවසේ වැඩහිඳින්ට පුළුවන් රමණීය තැනක් බව සිතා,

70. කරවන ලද රම්‍ය වූ මණ්ඩපයේ උතුම් ආසනවල සංඝයා සහිත වු සම්බුදුරජාණන් වහන්සේව අභය රජ්ජුරුවෝ වඩා හිඳෙව්වා.

71. සංඝයා සහිත වූ බුදුරජාණන් වහන්සේ වැඩ හිඳින ආකාරය දකින ලද ඕජදීපවාසී මනුෂ්‍යයෝ සතර අතින් ම තෑගි භෝග තුටු පඬුරු පිරිකර රැගෙන ආවා.

72. රජ්ජුරුවෝ තමන් වෙනුවෙන් පිළියෙල කළා වූත්, මිනිසුන් විසින් ගෙනාවා වූත් ප්‍රණීත ඛාද්‍ය භෝජ්‍යයන් ගෙන් සංඝයා සහිත වූ බුදුරජාණන් වහන්සේට දානය
පිළිගැන්නුවා.

73. මේ ස්ථානයේ ම දානයෙන් පසුවත් වැඩහුන් කකුසඳ භාග්‍යවතුන් වහන්සේට අභය රජ්ජුරුවෝ මහා තීර්ථක උද්‍යානය උතුම් දානයක් වශයෙන් පූජා කළා.

74. ඒ අවස්ථාවේ මහා තිත්ථ වනය අකාලයේ පිපී ගිය මලින් අලංකාර වුනා. කකුසඳ භාග්‍යවතුන් වහන්සේ එය පිළිගනිද්දී මහපොළොව කම්පා වුනා.

75. එතැනම වැඩහුන් ලෝකනාථයන් වහන්සේ ධර්ම දේශනා කොට වදාළා. ඒ දෙසුම අවසානයේ හතළිස් දහසක් මනුෂ්‍යයෝ මාර්ගඵලාවබෝධයට පත්වුනා.

76. මහාතිත්ථ වනයේ දිවා විහරණය කළ කකුසඳ භාග්‍යවතුන් වහන්සේ සවස් යාමයේදී තමන් වහන්සේ පිටදුන් බෝධිය වන මහරි බෝරුක පිහිටුවීමට යෝග්‍ය වූ භූමිය වෙත වැඩම කළා.

77. එතැන වැඩහුන් සම්බුදුරජාණන් වහන්සේ සමාධියට සමවැදුන සේක. සමාධියෙන් නැගී සිටි භාග්‍යවතුන් වහන්සේ ඕජදීපවාසීන්ට හිත පිණිස කාරණාවක් සිතා වදාළ සේක.

78. එනම් ‘මාගේ බෝධිය වන මහරි බෝධි වෘක්ෂයෙන් දකුණු ශාඛාවක් රැගෙන භික්ෂුණීන් වහන්සේලා ද සමග රූපනන්දා භික්ෂුණිය මෙහි පැමිණේවා!’යි යන කාරණාවයි.

79. ඒ සැණින් ම රූපනන්දා රහත් මෙහෙණින් වහන්සේ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ එම සිත දැන ඛේම නුවර ඛේම රජ්ජුරුවන්ට මෙකරුණ සැළකළා. රජ්ජුරුවන් ද සමඟ මහරි බෝධීන් වහන්සේ ළඟට වැඩම කළා.

80. මහා ඉර්ධිමත් වූ රූපනන්දා රහත් මෙහෙණින් වහන්සේ ඛේම රජ්ජුරුවන් ලවා රත් සිරියල්වලින් මහරි බෝධීන් වහන්සේගේ දකුණු ශාඛාවට රේඛාවක් ඇන්දෙව්වා. එතකොට ඒ දකුණු මහරි මහබෝ ශාඛාව බෝධීන් වහන්සේගෙන් වෙන්වී ගොස් රන් කටාරමේ පිහිටියා.

81. මහරජ්ජුරුවෙනි, පන්සියයක් රහත් මෙහෙණින් වහන්සේලා පිරිවරාගත් රූපනන්දා භික්ෂුණිය මහරි මහබෝ ශාඛාවත් රැගෙන ඉර්ධියෙන් මෙහි වැඩමවා දේවතාවුන් වහන්සේලා පිරිවරාගෙන,

82. කකුසඳ සම්බුදුරජාණන් වහන්සේ දිගු කොට වදාළ දකුණු ශ්‍රී හස්තය මත බෝධි ශාඛාව සහිත ඒ රන් කටාරම තැබුවා. එය ගත් තථාගතයන් වහන්සේ,

83. බෝධීන් වහන්සේ පිහිටුවනු පිණිස අභය රජ්ජුරුවන්ට දුන්නා. අභය රජ්ජුරුවෝ මහාතිත්ථ උයනෙහි බෝධීන් වහන්සේ රෝපණය කළා.

84. ඒ බෝධි රෝපණයෙන් පසු කකුසඳ තථාගත සම්බුදු රජාණන් වහන්සේ මෙයින් උතුරු දෙස පිහිටි රම්‍ය වූ සිරීසමාලයට වැඩම කොට එහි වැඩහිඳ,

85. මහජනයාට ධර්මය දේශනා කොට වදාළා. මහරජ්ජුරුවෙනි, ඒ ධර්ම දේශනාව අවසානයේ විසිදහසක් සත්වයන් හට ධර්මාවබෝධය ඇතිවුනා.

86. කකුසඳ බුදුරජාණන් වහන්සේ එතැනින් උතුරු දෙසට වැඩම කොට ථූපාරාමය පිහිටි තැන වැඩහිඳ සමාධියට සමවැදුනා. සමාධියෙන් නැගිට,

87. එතැන් රැස්ව සිටි පිරිසට කකුසඳ සම්බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කොට වදාළා. ඒ අවස්ථාවේදී දස දහසක් සත්වයන් මාර්ගඵලාවබෝධයට පත්වුනා.

88. මිනිසුන්ට වන්දනාමාන කිරීම පිණිස තමන් වහන්සේ පරිහරණය කළ පෙරහන්කඩය දී වදාළ කකුසඳ භාග්‍යවතුන් වහන්සේ පිරිවර සහිත වූ රූපනන්දා භික්ෂුණිය මේ ඕජදීපයෙහි අභයපුරයෙහි වැඩවාසය කරන්ට සැලැස්සුවා.

89. තම ශ්‍රාවක මහාදේව රහතන් වහන්සේව ද දහසක් රහතන් වහන්සේලා සමග මෙහි වැඩ වාසය කරන්ට සලස්වා සම්බුදුරජාණන් වහන්සේ එතැනින් නැගෙනහිර දෙසින්,

90. පිහිටි රුවන් මළුවෙහි වැඩහිඳ ජනයාගේ යහපත පිණිස උතුම් අනුශාසනා කොට සංඝයා වහන්සේ සමඟ අහසට පැන නැගී දඹදිවට වැඩි සේක.

91. මේ මහා භද්‍ර කල්පයේ දෙවනුව පහළ වූ සේක් කෝණාගමන බුදුරජාණන් වහන්සේ ය. සියල්ල මැනවින් දත් සකල ලෝකසත්වයාට අනුකම්පා ඇති උන්වහන්සේත් දෙව් මිනිසුන්ගේ ශාස්තෘන් වහන්සේ වූ සේක.

92. ඒ කාලයේ මහමෙව්නා උයනට කිව්වේ මහානාම උද්‍යානය කියලා. ඒ උයනට දකුණු දිසාවට වෙන්ට වඞ්ඪමානපුර නමින් නගරයක් තිබුණා.

93. ඒ කාලයේ හිටපු රජ්ජුරුවන්ව හැඳින්නුවේ සමිද්ධි යන නමිනුයි. මේ ලංකාද්වීපයට ඒ කාලේ කිව්වේ වරදීප කියලයි.

94. ඒ කාලයේ ඒ වරදීපයෙහි නියඟයක් ඇවිදින් දුර්භික්ෂයෙන් හටගත් බලවත් උපද්‍රවයක් තිබුණා. කෝණාගමන බුදුරජාණන් වහන්සේ වරදීපවාසීන් මුහුණ දී සිටින මේ උපද්‍රවය දැක වදාළා.

95. ඒ දුර්භික්ෂ උපද්‍රවය නැති කොට මනුෂ්‍යයන් හට විනයත්, කෝණාගමන බුදු සසුනෙහි පැවැත්මත් පිණිස මේ ද්වීපය කෙරෙහි උපන් කරුණා බල නිසාවෙන්,

96. තිස් දහසක් රහතන් වහන්සේලා පිරිවරින් යුක්ත කොට සමන්කුළු නමැති පර්වතය මතට ඉර්ධිබලයෙන් අහසින් වැඩ වදාළා.

97. කෝණාගමන සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධානුභාවයෙන් දුර්භික්ෂය නැති වෙලා ගියා. කෝණාගමන බුදුසසුන අතුරුදහන් වන කාලය දක්වා ම නිසි කලට මනාකොට වැසි වැස්සා.

98. නරේශ්වරයෙනි, එහි වැඩසිටි ඒ කෝණාගමන මුනීශ්වරයන් වහන්සේ වරදීපවාසී සියලු මිනිස්සු අද මාව හොඳින් දකිත්වා!’යි අධිෂ්ඨාන කොට වදාළා.

99. ඒ වගේ ම මා වෙතට එන්ට කැමති සියලු මනුෂ්‍යයන් ඉතා සුවසේ ඉක්මනින් ම පැමිණෙත්වා! යි කෝණාගමන මහා මුනීන්ද්‍රයන් වහන්සේ අධිෂ්ඨාන කළා.

100. බුද්ධ රශ්මි මාලාවෙන් බබලන කෝණාගමන බුදුරජාණන් වහන්සේත් ඒ බුදුරැසින් දිලිසෙන සමන්කුළු පර්වතයත් දුටු සමිද්ධි රජ්ජුරුවෝත් නුවරවැස්සෝත් වහාම එතැනට පැමිණියා.

101. සමන්කුළු පර්වතවාසී දෙවියන්ට පුදපූජා පැවැත්වීම පිණිස එහි ගිය මිනිස්සුත් සිටියා. ශ්‍රාවක සංඝයා වහන්සේලා සහිත ලෝකනාථයන් වහන්සේ දුටු ඔවුන් සිතුවේ දේවතාවුන් වහන්සේලා ඇස්පනාපිට ම වැඩම කොට සිටින බවයි.

102. සමිද්ධි රජ්ජුරුවෝ අතිශයින් ම සතුටට පත්ව කෝණාගමන බුදුරජාණන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට දානය පිණිස ආරාධනා කළා. වඞ්ඪමාන පුරයට ආසන්නයේ පිහිටි මහානාම වනෝද්‍යානයට වැඩමවාගෙන ගියා.

103. සංඝයා වහන්සේලා සහිත වූ කෝණාගමන බුදුරජාණන් වහන්සේට වැඩහිඳීමට කැපසරුප් ආකාරයෙන් උතුම් ආසනයන් පිළියෙල කෙරෙව්වා. මේ මහාසෑය පිහිටන උස් භූමිය උන්වහන්සේලාට බාධා රහිතව සුවසේ වැඩ හිඳින්ට පුළුවන් රමණීය තැනක් බව සිතා,

104. කරවන ලද රම්‍ය වූ මණ්ඩපයේ උතුම් ආසනවල සංඝයා සහිත වූ කෝණාගමන බුදුරජාණන් වහන්සේව සමිද්ධි රජ්ජුරුවෝ මෙතන වඩා හිඳෙව්වා.

105. සංඝයා සහිත වූ බුදුරජාණන් වහන්සේ වැඩ හිඳින ආකාරය දකින ලද වරදීපවාසී මනුෂ්‍යයෝ සතර අතින් ම තෑගි භෝග තුටු පඬුරු පිරිකර රැගෙන ආවා.

106. රජ්ජුරුවෝ තමන් වෙනුවෙන් පිළියෙල කළා වූත්, මිනිසුන් විසින් ගෙනාවා වූත් ප්‍රණීත ඛාද්‍ය භෝජ්‍යයන් ගෙන් සංඝයා සහිත වූ බුදුරජාණන් වහන්සේට දානය
පිළිගැන්නුවා.

107. මේ ස්ථානයේ ම දානයෙන් පසුවත් වැඩහුන් කෝණාගමන භාග්‍යවතුන් වහන්සේට සමිද්ධි රජ්ජුරුවෝ මහානාමක උද්‍යානය උතුම් දානයක් වශයෙන් පූජා කළා.

108. ඒ අවස්ථාවේ මහානාම වනය අකාලයේ පිපී ගිය මලින් අලංකාර වුනා. කෝණාගමන භාග්‍යවතුන් වහන්සේ එය පිළිගනිද්දී මහපොළොව කම්පා වුනා.

109. එතැනම වැඩහුන් ලෝකනාථයන් වහන්සේ ධර්ම දේශනා කොට වදාළා. ඒ දෙසුම අවසානයේ තිස්දහසක් මනුෂ්‍යයෝ මාර්ගඵලාවබෝධයට පත්වුනා.

110. මහානාම වනයේ දිවා විහරණය කළ කෝණාගමන භාග්‍යවතුන් වහන්සේ සවස් යාමයේදී පෙර කකුසඳ බුදුරජාණන් වහන්සේගේ බෝධිය පිහිටි භූමිය වෙත වැඩම කළා.

111. එතැන වැඩහුන් සම්බුදුරජාණන් වහන්සේ සමාධියට සමවැදුන සේක. සමාධියෙන් නැගී සිටි භාග්‍යවතුන් වහන්සේ වරදීපවාසීන්ට හිත පිණිස වූ කාරණාවක් සිතා වදාළ සේක.

112. එනම් ‘මාගේ බෝධිය වන දිඹුල් බෝධි වෘක්ෂයෙන් දකුණු ශාඛාවක් රැගෙන කනකදත්තා භික්ෂුණිය භික්ෂුණීන් වහන්සේලාත් සමඟ මෙහි පැමිණේවා!’ යි යන කාරණාවයි.

113. එසැණින් ම කනකදත්තා රහත් මෙහෙණින් වහන්සේ ඒ අදහස දැන දඹදිව ශෝභවතී නුවර ශෝභන නමැති රජ්ජුරුවන්ට මෙකරුණ සැළකළා. ඊටපසු ශෝභන රජ්ජුරුවන් සමග දිඹුල් බෝධීන් වහන්සේ ළඟට වැඩම කළා.

114. මහා ඉර්ධිමත් වූ කනකදත්තා රහත් මෙහෙණින් වහන්සේ ශෝභන රජ්ජුරුවන් ලවා රත් සිරියල්වලින් දිඹුල් බෝධීන් වහන්සේගේ දකුණු ශාඛාවට රේඛාවක් ඇන්දෙව්වා. එතකොට ඒ දකුණු දිඹුල් මහබෝ ශාඛාව බෝධීන් වහන්සේගෙන් වෙන්වී ගොස් රන් කටාරමේ පිහිටියා.

115. මහරජ්ජුරුවෙනි, පන්සියයක් රහත් මෙහෙණින් වහන්සේලා පිරිවරාගත් කනකදත්තා භික්ෂුණිය දිඹුල් මහබෝ ශාඛාවත් රැගෙන ඉර්ධියෙන් මෙහි වැඩමවා දේවතාවුන් වහන්සේලා පිරිවරාගෙන,

116. කෝණාගමන සම්බුදුරජාණන් වහන්සේ දිගු කොට වදාළ දකුණු ශ්‍රී හස්තය මත බෝධි ශාඛාව සහිත ඒ රන් කටාරම තැබුවා. එය ගත් තථාගතයන් වහන්සේ,

117. බෝධීන් වහන්සේ පිහිටුවනු පිණිස සමිද්ධි රජ්ජුරුවන්ට දුන්නා. සමිද්ධි රජ්ජුරුවෝ මහානාම උයනෙහි බෝධීන් වහන්සේ රෝපණය කළා.

118. ඒ බෝධි රෝපණයෙන් පසු කෝණාගමන තථාගත සම්බුදුරජාණන් වහන්සේ මෙයින් උතුරු දෙස පිහිටි රම්‍ය වූ සිරීසමාලකය අතර පිහිටි නාගමාලකයට වැඩම කොට එහි වැඩ හිඳ ජනයාට ධර්මය දේශනා කළා.

119. මහරජ්ජුරුවෙනි, ඒ ධර්ම දේශනාව අසා එහි සිටි විසිදහසක් සත්වයන් හට ධර්මාවබෝධය ඇතිවුනා.

120. පෙර කකුසඳ බුදුරජාණන් වහන්සේ වැඩහුන්, නගරයට උතුරු දෙසින් ථූපාරාමය පිහිටන තැනට වැඩම කොට එහි වැඩහිඳ සමාධියට සමවැදුනා. සමාධියෙන් නැගිට,

121. එතැන රැස්ව සිටි පිරිසට කෝණාගමන සම්බුදු රජාණන් වහන්සේ ධර්ම දේශනා කොට වදාළා. ඒ අවස්ථාවේදී දස දහසක් සත්වයන් මාර්ගඵලාවබෝධයට පත්වුනා.

122. මිනිසුන්ට වන්දනාමාන කිරීම පිණිස තමන් වහන්සේ පරිහරණය කළ බඳපටිය දී වදාළ කෝණාගමන භාග්‍යවතුන් වහන්සේ පිරිවර සහිත වූ කනකදත්තා භික්ෂුණිය මේ වරදීපයෙහි වඞ්ඪමානපුරයෙහි වැඩවාසය කරන්ට සැලැස්සුවා.

123. තම ශ්‍රාවක මහාසුම්ම රහතන් වහන්සේව ද දහසක් රහතන් වහන්සේලා සමඟ මෙහි වැඩ වාසය කරන්ට සලස්වා සම්බුදු රජාණන් වහන්සේ රතනමාලකයෙන් මෙපිට,

124. පිහිටි සුදර්ශන මාලකයෙහි වැඩහිඳ ජනයාගේ යහපත පිණිස උතුම් අනුශාසනා කොට සංඝයා වහන්සේ සමග අහසට පැන නැගී දඹදිවට වැඩි සේක.

125. මේ මහා භද්‍ර කල්පයේ තෙවනුව පහළ වූ සේක් ගෝත්‍රයෙන් කාශ්‍යප වූ බුදුරජාණන් වහන්සේ ය. සියල්ල මැනවින් දත් සකල ලෝකසත්වයාට අනුකම්පා ඇති උන්වහන්සේත් දෙව් මිනිසුන්ගේ ශාස්තෘන් වහන්සේ වූ සේක.

126. ඒ කාලයේ මහමෙව්නා උයනට කිව්වේ මහාසාගර උද්‍යානය කියලා. ඒ උයනට බටහිර දිසාවට වෙන්ට විසාලා නමින් නගරයක් තිබුනා.

127. ඒ කාලයේ හිටපු රජ්ජුරුවන්ව හැඳින්නුවේ ජයන්ත යන නමිනුයි. මේ ලංකාද්වීපයට ඒ කාලේ කිව්වේ මණ්ඩදීප කියලයි.

128. ඒ වෙද්දි ජයන්ත රජ්ජුරුවෝත් රජ්ජුරුවන්ගේ මල්ලිත් අතර සත්වයන්ට හිංසාව ඇතිවන මහත් භයානක යුද්ධයක් ඇතිවෙලා තිබුණා.

129. මහාකාරුණික වූ ඒ කාශ්‍යප නම් වූ දසබලධාරී මුනීන්ද්‍රයන් වහන්සේ ඒ යුද්ධය නිසා ප්‍රාණීන්ට සිදුවෙන මහත් වූ විපත්තිය දැක වදාළා.

130. ඒ යුද්ධය සංසිඳවා මනුෂ්‍යයන් හට විනයත්, කාශ්‍යප බුදු සසුනෙහි පැවැත්මත් පිණිස මේ ද්වීපය කෙරෙහි උපන් කරුණා බල නිසාවෙන්,

131. විසි දහසක් රහතන් වහන්සේලා පිරිවරින් යුක්ත කොට සුභකූට නමැති පර්වතය මතට ඉර්ධිබලයෙන් අහසින් වැඩ වදාළා.

132. නරේශ්වරයෙනි, ඒ කාශ්‍යප මුනීශ්වරයන් වහන්සේ මණ්ඩදීපවාසී සියලු මිනිස්සු අද මාව හොඳින් දකිත්වා!’යි එහි සිට අධිෂ්ඨාන කොට වදාළා.

133. ඒ වගේ ම මා වෙතට එන්ට කැමති සියලු මනුෂ්‍යයන් ඉතා සුවසේ ඉක්මනින් ම පැමිණෙත්වා! යි කාශ්‍යප මහා මුනීන්ද්‍රයන් වහන්සේ අධිෂ්ඨාන කළා.

134. බුද්ධ රශ්මි මාලාවෙන් බබලන කාශ්‍යප බුදුරජාණන් වහන්සේත් ඒ බුදුරැසින් දිලිසෙන සුභකූට පර්වතයත් දුටු ජයන්ත රජ්ජුරුවෝත් නුවරවැස්සෝත් වහාම එතැනට පැමිණියා.

135. යුද්ධයේදී තම තමන්ගේ පක්ෂයට ජය ලබාගැනීම පිණිස දෙවියන්ට භාරහාර වෙන්ට සුභකූට පර්වතයට බොහෝ ජනයා ඇවිත් හිටියා.

136. ශ්‍රාවක සංඝයා වහන්සේලා සහිත ලෝකනාථයන් වහන්සේ දුටු ඔවුන් සිතුවේ දේවතාවුන් වහන්සේලා ඇස්පනාපිට ම වැඩම කොට සිටින බවයි. යුද්ධයට පැමිණ සිට රජ්ජුරුවොත් ඒ කුමාරයාත් මහත් විස්මයට පත් වෙලා යුද්ධය අත්හැරියා.

137. ජයන්ත රජ්ජුරුවෝ අතිශයින් ම සතුටට පත්ව කාශ්‍යප බුදුරජාණන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට දානය පිණිස ආරාධනා කළා. විසාලා පුරයට ආසන්නයේ පිහිටි මහාසාගර වනෝද්‍යානයට වැඩමවාගෙන ගියා.

138. සංඝයා වහන්සේලා සහිත වූ කාශ්‍යප බුදුරජාණන් වහන්සේට වැඩහිඳීමට කැපසරුප් ආකාරයෙන් උතුම් ආසනයන් පිළියෙල කෙරෙව්වා. මේ මහාසෑය පිහිටන උස් භූමිය උන්වහන්සේලාට බාධා රහිතව සුවසේ වැඩ හිඳින්නට පුළුවන් රමණීය තැනක් බව සිතා,

139. කරවන ලද රම්‍ය වූ මණ්ඩපයේ උතුම් ආසනවල සංඝයා සහිත වූ කාශ්‍යප බුදුරජාණන් වහන්සේව ජයන්ත රජ්ජුරුවෝ මෙතන වඩා හිඳෙව්වා.

140. සංඝයා සහිත වූ බුදුරජාණන් වහන්සේ වැඩ හිඳින ආකාරය දකින ලද මණ්ඩදීපවාසී මනුෂ්‍යයෝ සතර අතින් ම තෑගි භෝග තුටු පඬුරු පිරිකර රැගෙන ආවා.

141. රජ්ජුරුවෝ තමන් වෙනුවෙන් පිළියෙල කළා වූත්, මිනිසුන් විසින් ගෙනාවා වූත් ප්‍රණීත ඛාද්‍ය භෝජ්‍යයන්ගෙන් සංඝයා සහිත වූ බුදුරජාණන් වහන්සේට දානය
පිළිගැන්නුවා.

142. මේ ස්ථානයේ ම දානයෙන් පසුවත් වැඩහුන් කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේට ජයන්ත රජ්ජුරුවෝ මහාසාගර උද්‍යානය උතුම් දානයක් වශයෙන් පූජා කළා.

143. ඒ අවස්ථාවේ මහාසාගර වනය අකාලයේ පිපී ගිය මලින් අලංකාර වුනා. කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ එය පිළිගනිද්දී මහපොළොව කම්පා වුනා.

144. එතැනම වැඩහුන් ලෝකනාථයන් වහන්සේ ධර්ම දේශනා කොට වදාළා. ඒ දෙසුම අවසානයේ විසිදහසක් මනුෂ්‍යයෝ මාර්ගඵලාවබෝධයට පත්වුනා.

145. මහාසාගර වනයේ දිවා විහරණය කළ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ සවස් යාමයේදී කලින් බුදුවරයන් වහන්සේලාගේ බෝධීන් පිහිටි ස්ථානයට වැඩම කළා.

146. එතැන වැඩහුන් සම්බුදුරජාණන් වහන්සේ සමාධියට සමවැදුන සේක. සමාධියෙන් නැගී සිටි භාග්‍යවතුන් වහන්සේ මණ්ඩදීපවාසීන්ට හිත පිණිස වූ කාරණාවක් සිතා වදාළ සේක.

147. එනම් ‘මාගේ බෝධිය වන නුග බෝධි වෘක්ෂයෙන් දකුණු ශාඛාවක් රැගෙන සුධර්මා භික්ෂුණිය භික්ෂුණීන් වහන්සේලාත් සමඟ මෙහි පැමිණෙත්වා!’ යි යන කාරණාවයි.

148. එසැණින් ම සුධර්මා රහත් මෙහෙණින් වහන්සේ උන්වහන්සේගේ ඒ අදහස දැන දඹදිව බරණැස් නුවර කිකී නමැති රජ්ජුරුවන්ට මෙකරුණ දන්වා වදාළා. කිකී රජ්ජුරුවන් සමඟ නුග බෝධීන් වහන්සේ ළඟට වැඩම කළා.

149. මහා ඉර්ධිමත් වූ සුධර්මා රහත් මෙහෙණින් වහන්සේ කිකී රජ්ජුරුවන් ලවා රත් සිරියල්වලින් නුග බෝධීන් වහන්සේගේ දකුණු ශාඛාවට රේඛාවක් ඇන්දෙව්වා. එතකොට ඒ දකුණු නුග මහබෝ ශාඛාව බෝධීන් වහන්සේගෙන් වෙන්වී ගොස් රන් කටාරමේ පිහිටියා.

150. මහරජ්ජුරුවෙනි, පන්සියයක් රහත් මෙහෙණින් වහන්සේලා පිරිවරාගත් සුධර්මා භික්ෂුණිය නුග මහබෝ ශාඛාවත් රැගෙන ඉර්ධියෙන් මෙහි වැඩමවා දේවතාවුන් වහන්සේලා පිරිවරාගෙන,

151. කාශ්‍යප සම්බුදුරජාණන් වහන්සේ දිගු කොට වදාළ දකුණු ශ්‍රී හස්තය මත බෝධි ශාඛාව සහිත ඒ රන් කටාරම තැබුවා. එය ගත් තථාගතයන් වහන්සේ,

152. බෝධීන් වහන්සේ පිහිටුවනු පිණිස ජයන්ත රජ්ජුරුවන්ට දුන්නා. ජයන්ත රජ්ජුරුවෝ මහාසාගර උයනෙහි බෝධීන් වහන්සේ රෝපණය කළා.

153. ඒ බෝධි රෝපණයෙන් පසු එතැනින් වැඩම කළ කාශ්‍යප සම්බුදුරජාණන් වහන්සේ නාගමාලකයට උතුරින් පිහිටි අසෝක මාලකයෙහි වැඩ හිඳ එහි රැස් වූ ජනයාට ධර්ම දේශනා කොට වදාළා.

154. මහරජ්ජුරුවෙනි, ඒ ධර්ම දේශනාව අසා එහි සිටි හාරදහසක් සත්වයන් හට ධර්මාවබෝධය ඇතිවුනා.

155. පෙර බුදුවරයන් වහන්සේලා වැඩහුන්, නගරයට උතුරුදෙසින් ථූපාරාමය පිහිටන තැනට වැඩම කොට එහි වැඩ හිඳ සමාධියට සමවැදුනා. සමාධියෙන් නැගිට,

156. එතැන රැස්ව සිටි පිරිසට කාශ්‍යප සම්බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කොට වදාළා. ඒ අවස්ථාවේදී දස දහසක් සත්වයන් මාර්ගඵලාවබෝධයට පත්වුනා.

157. මිනිසුන්ට වන්දනාමාන කිරීම පිණිස තමන් වහන්සේ පරිහරණය කළ නහනාකඩ ධාතුන් වහන්සේ දී වදාළ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ පිරිවර සහිත වූ සුධර්මා භික්ෂුණිය මේ මණ්ඩදීපයෙහි විසාලාපුරයෙහි වැඩවාසය කරන්ට සැලැස්සුවා.

158. තම ශ්‍රාවක සබ්බනන්දි රහතන් වහන්සේව ද දහසක් රහතන් වහන්සේලා සමඟ නදියෙන් මෙතෙර වැඩ වාසය කරන්ට සලස්වා සම්බුදුරජාණන් වහන්සේ එතැනින්
නැගෙනහිර දෙසින් පිහිටි සුදර්ශන මාලකයෙන් නික්ම,

159. සෝමනස්ස මාලකයේ දී ජනයාට ධර්මයෙන් අනුශාසනා කොට කාශ්‍යප මුනිඳුන් වහන්සේ සංඝයා වහන්සේ සමග අහසට පැන නැගී දඹදිවට වැඩි සේක.

160. මහරජ්ජුරුවෙනි, මේ මහා භද්‍ර කල්පයේ සතරවෙනිව ශ්‍රී සම්බුද්ධත්වයට පත් වී වදාළේ අපගේ ගෞතම භාග්‍යවතුන් වහන්සේ ය. සියලු ධර්මයන් මනාව අවබෝධ කළ, සකල ලෝක සත්වයා කෙරෙහි මහත් දයානුකම්පා ඇති උන්වහන්සේ දෙව් මිනිසුන්ගේ ශාස්තෘන් වහන්සේ වන සේක.

161. ඒ අපගේ භාග්‍යවතුන් වහන්සේ පළමුවෙන් මේ දිවයිනට වැඩම කොට යක්ෂයන් දමනය කොට වදාළා. ආයෙමත් දෙවන වතාවටත් අප භාග්‍යවතුන් වහන්සේ මෙහි වැඩමකොට නාගයින්ව දමනය කොට වදාළා.

162. කැළණියෙහි සිටි මණිඅක්ඛික නැමැති නාරජ්ජුරුවන්ගේ ආරාධනයෙන් අප භාග්‍යවතුන් වහන්සේ තුන්වන වතාවටත් සංඝයා වහන්සේලාත් සමඟ වැඩම කළා. කැළණියේ දී නාරජුන් විසින් පිළිගන්වන ලද දිව්‍ය ආහාරපාන වළඳා,

163. කලින් බුදු සසුන්වල දි බෝධීන් වහන්සේලා වැඩ සිටි ස්ථානයත්, මහාසෑය පිහිටන මේ ස්ථානයත්, මේ කල්පයේ අප බුදුරජුන්ට පෙර බුදු වූ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප යන තුන් බුදුවරයන් වහන්සේලා විසින් පරිභෝග කරන ලද වස්තු තැන්පත් කොට පාරිභෝගික චෛත්‍ය පිහිටුවන ථූපාරාම චෛත්‍ය ස්ථානයත් යන තැන්වල වැඩ හිඳ සමාපත්ති සුවයට සමවැදී සිටීමෙන් පරිභෝග කොට වදාළා.

164. අප බුදුරජාණන් වහන්සේට පෙර බුදු වූ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සෝමනස්ස මාලකය මෙපිටට වැඩම කළ ලෝකයට එකම පිළිසරණ වූ අපගේ මහාමුනීන්ද්‍රයන් වහන්සේ එකල ලංකාද්වීපයෙහි මිනිසුන්ගේ වාසයක් නොතිබුනු නිසා,

165. ලංකාවාසී දෙව් පිරිසටත් නා පිරිසටත් ඔවුන්ගේ යහපත උදෙසා අනුශාසනා කොට සංඝයා වහන්සේලා සහිත වූ අප භාග්‍යවතුන් වහන්සේ අහසට පැන නැගී දඹදිවට වැඩ වදාළා.

166. මහරජ්ජුරුවෙනි, ඔය විදිහට මහා සෑ පිහිටන මෙම ස්ථානය සතර බුදුරජාණන් වහන්සේලා පරිභෝග කොට වදාළ තැනක්. අනාගතයේ මහ සෑ රජුන් ඉදිවන්නේ මෙතැනයි. රජ්ජුරුවෙනි,

167. අප භාග්‍යවතුන් වහන්සේගේ ද්‍රෝණයක් ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා නිධන් කරවා එක්සිය විසි රියනක් උස් කොට ඉදිවන ඒ මහා සෑය රුවන්මැලි යන නාමයෙන් දෙව් මිනිස් ලෝකයා අතර මහත් ප්‍රසිද්ධියට පත්වෙනවා.”

168. එතකොට රජ්ජුරුවෝ ‘ස්වාමීනී, ඒ මහා සෑය මම ම කරවන්ට ඕනෑ’ කියා පැවසුවා. “මහරජාණෙනි, ඔබ විසින් කළ යුතු වෙනත් බොහෝ කටයුතු තියෙනවා නොවැ.

169. ඔබතුමා ඒවා කළ මැනව. මේ මහා සෑය ඔබගේ මුණුබුරෙක් කරනවා ඇති. ඔබතුමාගේ සොහොයුරෙකු වන මහානාග යුවරජ්ජුරුවන්ට පුත් කුමාරයෙක් උපදිනවා.

170. ඒ පුත් කුමාරයා අනාගතයේ යටාලකතිස්ස නමින් රජ බවට පත්වෙනවා. ඒ යටාලතිස්ස රජ්ජුරුවන්ගේ පුත් කුමාරයා වන ගෝඨාභය කුමාරයා ඊට පස්සේ රජ බවට පත්වෙනවා.

171. ඒ ගෝඨාභය රජ්ජුරුවන්ට පුත් කුමාරයෙක් ලැබෙනවා. ඒ පුත් කුමාරයා කාවන්තිස්ස යන නාමය ලබනවා. රජ්ජුරුවෙනි, ඒ කාවන්තිස්ස රජ්ජුරුවන්ගේ පුත් කුමාරයා මහා රජ්ජුරු කෙනෙක් වෙනවා.

172. දුටුගැමුණු යන නාමයෙන් මහත්සේ ප්‍රසිද්ධ වන ඒ මහරජ්ජුරුවන් අභය යන නාමයෙන් යුක්තයි. මහා තේජසින් යුතු, පුණ්‍ය ඉර්ධියෙන් යුතු, ශූර වීර වික්‍රමයෙන් යුතු ඒ මහරජ්ජුරුවෝ මේ ස්ථානයේ රුවන්මැලි මහා සෑය කරනවා ඇති.

173. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ මෙය වදාළා. එතකොට දේවානම්පියතිස්ස රජ්ජුරුවෝ අප මහරහතන් වහන්සේගේ වචනයෙන් ඒ විස්තර මෙහි ගල්ටැඹක ලියවා ඔසවා තැබ්බෙව්වා.

174. මහා නුවණින් යුක්ත වූ, මහා ඉර්ධි බලයෙන් යුක්ත වූ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ මහමෙව්නා උයනෙහි රම්‍ය වූ තිස්සාරාමය පිළිගෙන වදාළා.

175. අකම්පිත සිත් ඇති අපගේ මිහිඳු මහරහතන් වහන්සේ මේ මහපොළොව අට තැනකදී කම්පා කෙරෙව්වා. සාගරයක් බඳු අනුරපුර නගරයට පිණ්ඩපාතේ වැඩම කොට,

176. රජ්ජුරුවන්ගේ මාළිගයේ දී දන් වළඳා රාජ මන්දිරයෙන් පිටතට වැඩලා නන්දන වනයෙහි වැඩ හිඳ එහි දී අප භාග්‍යවතුන් වහන්සේ වදාළ අග්ගික්ඛන්ධෝපම,

177. සූත්‍ර දේශනාව මුල් කොට ජනයාට ධර්ම දේශනාව කොට වදාළා. ඒ දේශනාව අවසානයේ දහසක් මනුෂ්‍යන්ට මාර්ගඵලාවබෝධය ඇති කරවා වදාළා. එදා රාත්‍රියේ අප මහරහතන් වහන්සේ මහමෙව්නා උයනෙහි වාසය කළා.

178. තුන්වෙනි දවසේ මිහිඳු මහරහතන් වහන්සේ රාජ මාළිගයේ දී දන් වළඳා නන්දන වනයෙහි වැඩ හිඳ අප භාග්‍යවතුන් වහන්සේ වදාළ ආසිවිසෝපම සූත්‍ර දේශනාව මුල් කොට ධර්ම දේශනා කොට වදාළා.

179. ඒ දෙසුම අවසානයේ දහසක් පුරුෂයන්ට මාර්ගඵලාවබෝධය ඇති කරවූ මිහිඳු මහරහතන් වහන්සේ එතැනින් තිස්සාරාමයට පැමිණ වදාළා. අප මහරහතන් වහන්සේගෙන් අසන ලද බණ ඇසීමෙන් ලද අවබෝධයෙන් යුතු රජ්ජුරුවෝ,

180. මිහිඳු මහරහතන් වහන්සේ සමීපයෙහි හිඳගෙන ‘ස්වාමීනී, අප භාග්‍යවතුන් වහන්සේගේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය මේ ලංකාද්වීපයේ පිහිටියා නේද?’ කියා ඇසුවා. ‘රජ්ජුරුවෙනි, තවම පිහිටියේ නෑ.

181. රජ්ජුරුවෙනි, සංඝයාගේ උපෝසථ කර්මාදිය කිරීම පිණිස බුදුරජාණන් වහන්සේගේ නියමය පරිදි මෙහි සීමාවක් බැන්දවිට බුදු සසුන පිහිටනවා’ කියා වදාළා.

182. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ එසේ වදාළා. එතකොට දෙවනපෑතිස් රජ්ජුරුවෝ මෙය පැවසුවා. ‘ප්‍රඥාලෝකයෙන් බබලන ස්වාමීනී, මං සම්බුදුරජාණන් වහන්සේගේ ආඥාව තුළ වාසය කරන්නම්.

183. එනිසා පුරය ඇතුල්කොට ඉක්මනින් සීමාව බැන්ද මැනව’ කියා රජ්ජුරුවෝ කියා සිටියා. එතකොට අපගේ මිහිඳු මහරහතන් වහන්සේ රජ්ජුරුවන්ට මෙය වදාළා.

184. ‘එහෙනම් රජ්ජුරුවෙනි, සීමාව අයිති වෙන තැන ඔබ ම දැනගත මැනව. අපි ඒ අනුව සීමාව බඳින්නම්.’

185. ‘එහෙමයි ස්වාමීනී’ කියා රජ්ජුරුවෝ නන්දන වනයෙන් වෛජයන්ත ප්‍රාසාදයට යන ශක්‍ර දේවේන්ද්‍රයාගේ ලීලාවෙන් මහමෙව්නා උයනේ තිස්සාරාමයෙන් නික්ම තමන්ගේ රාජ මන්දිරයට පිවිසියා.

186. සතර වැනි දවසේ මිහිඳු මහරහතන් වහන්සේ රජ මාළිගයේ දී දානය වළඳා එතැනින් පිටතට වැඩලා නන්දන වනයේ වැඩ හිඳ අනමතග්ග සංයුත්තය දේශනා කොට වදාළා.

187. එතැනදීත් දහසක් මනුෂ්‍යයන්ට දහම් අමාපැන් පොවා වදාළ මහරහතන් වහන්සේ මහාමේඝවනාරාමයට පැමිණ වදාළා.

188. පසුදා උදෑසන නුවර අඬබෙර හසුරුවලා උතුම් නුවරත්, තිස්සාරාම විහාරයට යන මාර්ගයත්, විහාරය හතර වටේමත් ලස්සනට සරසලා,

189. සියලු රාජාභරණයෙන් සැරසුනු රජ්ජුරුවෝ රථයට නැගී සිටියා. ඇමතිවරුනුත් එක්වෙලා සිටියා. අන්තඃපුර ස්ත්‍රීනුත් එක්වෙලා සිටියා. සිව්රඟ සේනාත් එක්වෙලා හිටියා.

190. මහත් පිරිවර සමග තමන් පූජා කළ තිස්සාරාමයට ගියා. එතැනදී වැඳුම් පිදුම් ලැබීමට යෝග්‍ය වූ රහතන් වහන්සේලා වන්දනා කරලා,

191. ඊටපසු රජ්ජුරුවෝ රහතන් වහන්සේලා සමඟ කොළොම් හොයෙන් උඩුගං තොටට ගිහින් එතැන ඉඳලා රන් නගුල අරගෙන සීමා ලකුණු පිණිස සී සාමින් ගියා.

192. මහා පදුම, කුඤ්ජර යන ඉතා සොඳුරු මංගල ඇත් රජුන් දෙන්නා මැදි කරලයි රන් නගුල බැඳලා තිබුනේ. ඉස්සෙල්ලාම කුන්තමාලයේ ඉඳලා,

193. ඇත්, අස්, රිය, පාබල යන චතුරංගිනී සේනාවෙන් යුක්තව, රහතන් වහන්සේලා ද සමඟින් සතුරන් දමනය කරන ක්ෂත්‍රිය රජ්ජුරුවෝ රන් නගුල ගෙන නගුල් හාමින් ගිය ලකුණු දක්වලා,

194. ඉතා ලස්සනට සැරසූ පුන්කලස්, නොයෙක් පැහැයෙන් යුතු සුන්දර ධජ, සඳුන් කුඩු පිරවූ පාත්‍රය, රන් රිදී දඬු,

195. කැඩපත්, මල් පිරවූ පෙට්ටි, මල්වලින් සැරසූ කණු, කෙසෙල් තොරන්, ඡත්‍ර ගත් ස්ත්‍රීන් පිරිවරා ගෙන,

196. නොයෙක් තූර්ය නාද ඝෝෂාවෙන් යුක්තව, සිව්රඟ සේනාවන් පිරිවරාගෙන ස්තුති මංගල ගීතයන්ගෙන් සතර දිසාව ම පිරී ඉතිරී ගියා.

197. සාදු හඬින් ගිගුම් දෙවමින්, හිසට උඩින් නොයෙක් සිය ගණන් සළු කරකවමින්, විශාල උත්සව පූජාවන්ගෙන් යුක්තව රජ්ජුරුරවෝ රන් නගුලින් ලකුණු කරගෙන ගියා.

198. තිස්සාරාම විහාරයත්, නගරයත් පැදකුණු කරමින් කොළොම් ගං තොටට ඇවිත් සීමාව සටහන් කළ තැන සමාප්ත කළා.

199. එතැනදී කොයි කොයි නිමිති ලකුණු කරමින් ද සීමා මායිම් කළේ. සීමා නිමිති ලකුණු කරමින් ගිය තැන් තේරුම් ගන්ට ඕනෑ මේ විදිහටයි.

200. කොළොම් හොය පාසාණ තීර්ථයේ ඉඳන් කුඞ්ඩවාටක යන තැනට ය. එතැනින් කුම්බලවාටක යන තැනට ය. එතැනින් මහාමිදෙල්ල ගස ළඟට ගියා.

201. එතැනින් කුඹුක් ගොල්ලෑවට ගියා. එතැනින් මහා අංගනයට ගියා. එතැනින් කුඩා මී ගස ළඟට ගියා. එතැනින් මුරුත පොකුණට ගියා.

202. එතැනින් විජයාරාම උයනේ උතුරු දොරටුවට ගියා. එතැනින් ගජකුම්භ පාසාණයට ගියා. එතැනින් තුසවැටියට මැදින් ගිහින්,

203. අභය උයනේ කොක්ගලට ගියා. එතැනින් මහා සුසානයට මැදින් දීඝපාසාණකයට ගියා. එතැනින් කම්මාර දෙවියාගේ දෙවොලට වම් පැත්තෙන්,

204. නිග්‍රෝධ අංගණයට ගිහින් හියගල්ල අසළින් ගිනිකොණ පැත්තේ දියාවස බ්‍රාහ්මණයාගේ දෙවොලට ගියා.

205. එතැනින් තෙලුම්ගොල්ලෑවට ගියා. එතැනින් තාලචතුක්කයට ගියා. එතැනින් අස්මඬලට වමෙන් සසවාණට ගියා. එතැනින්,

206. බොරළුතොටට ගියා. එතැනින් කොළොම් හොය උඩට ගියා. පඨමක චේතියට නැගෙනහිරින් කොළොම් ගස් දෙකක් තිබුණා.

207. සේනින්දගුත්ත රජ කරන කාලේ දියේ බැහැලා පව් සෝදන දෙමළ අය නදියට දුරයි කියලා නගරාසන්නේ තීර්ථයක් කළා.

208. එහි නොමැරී තිබෙන කොළොම් ගස ඇතුළු සීමාවට අයත් වුනා. මැරුණ කොළොම් ගස සීමා ඉඩම උඩින් හිටියා.

209. සිංහනාන තොටින් උඩු අතට තෙරෙන් ගිහින් පාසාණ තීර්ථයට ගියවිට අපගේ මිහිඳු මහා ඍෂීන් වහන්සේ සීමා සලකුණු ගලපා වදාළා.

210. සීමා සලකුණු ගැලපූ වෙලාවේ ‘ගෞතම සම්මා සම්බුද්ධ සාසනය හොඳාකාරව පිහිටියා’ කියලා දෙව් මිනිස්සු සාධුකාර දුන්නා.

211. රජ්ජුරුවෝ අලංකාර ඇත් ජෝඩුව යොදවූ රන් නගුලෙන් ලකුණු කොට දුන්නු හී වැටත් සීමා සලකුණු ප්‍රකාශ කොට වදාළා. තිස් දෙකක් සීමා මලුත්, ථූපාරාමයත් පිණිස,

212. මහා නුවණැති අපගේ මිහිඳු මහරහතන් වහන්සේ ඔය විදිහට සීමා සලකුණු ප්‍රකාශ කරලා, විනයෙහි පාළියෙහි සඳහන් අයුරින් ඇතුළු සීමා සලකුණුත් ප්‍රකාශ කරලා,

213. ඉන්ද්‍රිය දමනයෙන් යුතු අප මහරහතන් වහන්සේ එක දවසින් ම සියලු සීමාවන් බැඳ වදාළා. සීමා බන්ධනය සමාප්ත වෙද්දී මහා පොළොව කම්පා වුනා.

214. පස්වෙනි දවසේ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ රජ්ජුරුවන්ගේ මාළිගාවේදී දන් වළඳා නන්දන වනයට වැඩලා එහිදී භාග්‍යවතුන් වහන්සේ වදාළ ඛජ්ජනීය සූත්‍රය මුල් කොට,

215. මහාජනයාට ධර්ම දේශනාව වදාළා. එතැනදී දහසක් මනුෂ්‍යයන්ට අමාපැන් පානය කරවා එදා රාත්‍රී මහමෙව්නා උයනේ තිස්සාරාමයේ වාසය කොට වදාළා.

216. සයවෙනි දවසේ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ රජ්ජුරුවන්ගේ මාළිගාවේදී දන් වළඳා නන්දන වනයට වැඩලා එහිදී භාග්‍යවතුන් වහන්සේ වදාළ ගෝමයපිණ්ඩූපම සූත්‍රය මුල් කොට,

217. ධර්ම දේශනාව කොට වදාළා. දේශනාව වටහාගත් දහසක් මනුෂ්‍යයන් හට ධර්මාවබෝධය ඇති කරවා එදා රාත්‍රී මහමෙව්නා උයනේ තිස්සාරාමයේ වාසය කොට වදාළා.

218. සත්වෙනි දවසේ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ රජ්ජුරුවන්ගේ මාළිගාවේදී දන් වළඳා නන්දන වනයට වැඩලා එහිදී භාග්‍යවතුන් වහන්සේ වදාළ දම්සක් පැවතුම් සූත්‍රය මුල් කොට,

219. මහාජනයාට ධර්ම දේශනාව වදාළා. එතැනදී දහසක් මනුෂ්‍යයන්ට ධර්මාවබෝධය ඇති කරවා එදා රාත්‍රී මහමෙව්නා උයනේ තිස්සාරාමයේ වාසය කොට වදාළා.

220. ඔය විදිහට බුදු සසුන බබළවන මිහිඳු මහරහතන් වහන්සේ සතියක් ඇතුලත මාර්ගඵලලාභීන් අටදහස් පන්සියයක් ඇති කොට වදාළා.

221. මිහිඳු මහරහතන් වහන්සේ බුදු සසුන බබුළුවා වදාළ තැන යන අර්ථයෙන් මහා නන්දන වනයට ‘ජෝතිවනය’ යන නාමය ලැබුනා.

222. රජ්ජුරුවෝ මිහිඳු මහරහතන් වහන්සේ උදෙසා මුලින් කෙරෙව්වේ තිස්සාරාමයයි. ගිනි පන්දම්වලින් ඉක්මනින් මැටි පිළිස්සුවා. ඒ මැටි වලිනුයි තිස්සාරාම ප්‍රසාදය කෙරෙව්වේ.

223. එනිසා ඒ තිස්සාරාමය නැමැති ප්‍රාසාදය කලු පැහැ ගත්තා. එයට ‘කාලප්‍රාසාදය පිරිවෙන’ කියලා නම වැටුනේ එම කාරණාව නිසයි.

224. ඊටපසු ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ වන්දනා පිණිස බෝධිඝරයකුත්, ලෝවාමහාප්‍රාසාදය පිහිටි තැන ප්‍රාසාදයකුත්, දන් දෙන මිනිසුන්ගේ නම් ලියා ඒවා බෙදන තැනත්, දාන ශාලාවත් පිළිවෙළකට කෙරෙව්වා.

225. බොහෝ පිරිවෙනුත්, ඉතා සොඳුරු පොකුණුත්, රෑ කාලයේත් දහවල් කාලයේත් වසන්ට සුදුසු සෙනසුනුත් කෙරෙව්වා.

226. කෙලෙසුන් නැසූ අප මිහිඳු මහරහතන් වහන්සේ උදෙසා නහන පොකුණේ ඉවුරේ කරවූ පිරිවෙණට ‘සුනහාත’ කියලා කියනවා.

227. ලංකාදීපයට පිළිසරණ වූ, සොඳුරු ගුණැති අපගේ මිහිඳු මහරහතන් වහන්සේ සක්මන් කළ ස්ථානයේ ‘දීඝචංකමන’ නමැති පිරිවෙණක් කෙරෙව්වා.

228. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ උතුම් රහත් ඵල සමාපත්තියට සමවැදී වැඩ හුන් ස්ථානයේ කරවූ යම් පිරිවෙණක් ඇද්ද, ඒ අරහත්ඵල සමාපත්තියෙන් වැඩ හුන් නාමයෙන් ‘ඵලග්ග පිරිවෙන’ කියලා කියනවා.

229. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ යම් තණ පළසක ඇතිරිලිත් අතුරා ඒ මත මැඩ හුන් සේක් ද එතැන කරවූ පිරිවෙන ඒ නමින් ‘ථේරාපස්සය පිරිවෙණ’ කියලා කියනවා.

230. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ බැහැදකින්ට පැමිණි මහත් දෙව් පිරිස උන්වහන්සේට උපස්ථාන කළේ යම් තැනක ද, එතැන කරවූ පිරිවෙන ‘මරුගණ පිරිවෙන’ කියලා කියනවා.

231. දේවානම්පියතිස්ස රජ්ජුරුවන්ගේ දීඝසන්ද නම් වූ සෙන්පතිතුමා විසින් අප මිහිඳු මහරහතන් වහන්සේ උදෙසා මහා කළුගල් ස්ථම්භ අටකින් යුක්තව ‘චූළප්‍රාසාදය’ නමින් ප්‍රාසාදයක් කෙරෙව්වා.

232. ඒ චූළප්‍රාසාදයෙහි වූ පිරිවෙන ‘දික්සඳසෙනෙවි පිරිවෙණ’ කියා කියනවා. එය සියලු පිරිවෙන් වල ප්‍රධාන පිරිවෙනයි. එය ඉතා උස්කොට තැනවූ විහාරයක්.

233. ‘දේවානම්පිය’ යන නාමයෙන් යුක්ත වූ සොඳුරු නුවණැති රජ්ජුරුවෝ නිමල ප්‍රඥා ඇති අපගේ මිහිඳු මහරහතන් වහන්සේ වෙත පැමිණ මේ අනුරාධපුරයේ කරවූ මේ විහාරය ලංකාවේ පළමු මහාවිහාරය යි.

සත්පුරුෂ ජනයන්ගේ ප්‍රසාදයත් සංවේගයත් ඇතිකරනු පිණිස කරන ලද මහාවංශයෙහි මිහිඳු මහරහතන් වහන්සේ මහාවිහාරය පිළිගැනීම නම් වූ පහළොස්වෙනි පරිච්ඡේදය යි.