1. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අනුරාධපුරයේ පිණ්ඩපාතේ වඩිමින් මහජනයාට ධර්මයෙන් සංග්‍රහ කොට වදාළා. රජ මාළිගයේ දන් වළඳමින් රජ්ජුරුවන්ට ධර්මයෙන් සංග්‍රහ කොට වදාළා.
2. උන්වහන්සේ ඔය විදිහට විසිහය දවසක් මහමෙව්නා උයනේ වැඩවාසය කළා. ඇසළ මාසයේ පුර පක්ෂයේ දහතුන් වෙනිදා,
3. මහා නුවණැති මිහිඳු මහරහතන් වහන්සේ රජමැදුරේ දන් වළඳා මහා අප්‍රමාද සූත්‍ර දේශනාව මුල් කොට රජ්ජුරුවන්ට ධර්ම දේශනා කොට වදාළා.
4. ඊටපසු අප මහරහතන් වහන්සේ චේතිය පර්වතයෙහි සංඝයා උදෙසා විහාරයක් කරවන්නට කැමැතිව රජගෙදරින් නික්මිලා චේතිය පර්වතය හෙවත් සෑගිරියට වැඩියා.
5. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ මහාවිහාරයට වඩින මාවතෙන් බැහැරවෙලා සෑගිරියට යන පාරෙන් වැඩිය වග රජ්ජුරුවන්ට අසන්ට ලැබුනා. එතකොට රජ්ජුරුවෝ රථයට නැගී දේවීන් වහන්සේලා දෙදෙනෙකුත් නංවාගෙන මහරහතන් වහන්සේගේ පියවර සටහන් ඔස්සේ පිටත් වුනා.
6. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ නාගචතුක්ක නමැති විලෙන් පැන් පහසු වෙලා පර්වතයට නගිනු පිණිස වැඩිමහලු පිළිවෙළින් වැඩසිටියා.
7. චේතිය පර්වතේට වඩින්ට සූදානම්ව සිටි රහතන් වහන්සේලා දුටු රජ්ජුරුවෝ රථයෙන් බැහැලා රහතන් වහන්සේලා අට නමට ආදරෙන් වන්දනා කළා. ‘මහරජ්ජුරුවෙනි, මේ රස්නෙන් වෙහෙසට පත්වෙලා කුමක් නිසාද මෙහි පැමිණියේ?’
8. ‘ස්වාමීනී, ඔබවහන්සේ අප්රමාදී වෙන්ට කියා මා හට දහම් දෙසා වැඩියේ ආපසු දඹදිවට වඩින්ට වත්ද කියලා සැකයෙනුයි මං ආවේ’ ‘රජ්ජුරුවෙනි, මේ චේතිය පර්වතේ ම වස් වසන්ට හිතාගෙනයි මං වැඩියේ.
9. ඛන්ධක නමැති පරිච්ඡේදයන්ගෙන් යුක්ත වූ මහා වග්ගපාළිය නම් විනය කොටස පිළිබඳ දක්ෂ වූ අප මිහිඳු මහරහතන් වහන්සේ වස් වැසීම පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ වදාළ විස්තර ඇතුළත් වස්සූපනායිකක්ඛන්ධකය විස්තර කරමින් ‘වස් වැසීම’ යනු කුමක්දැයි රජ්ජුරුවන්ට පහදා දුන්නා. එය ඇසූ රජ්ජුරුවන්ගේ නැගණියගේ පුත්‍රයා වූ,
10. මහා අරිට්ඨ මහාමාත්‍යතුමා තම වැඩිමහලු බාල සහෝදරයන් පනස්පස් දෙනාත් සමඟ රජ්ජුරුවන් ඉදිරියේ සිටගත්තා.
11. රජ්ජුරුවන්ගෙන් අවසර ඉල්ලාගෙන එදින ම මිහිඳු මහරහතන් වහන්සේ ළඟ උතුම් පැවිදි බව ලබාගත්තා. සසරේ රැස්කළ පිනෙන් මහා ප්‍රඥාවන්ත වූ ඒ සියලු දෙනා ම පැවිද්ද පිණිස කෙස් රැවුල් බා අවසන් වෙනවාත් සමඟ ම උතුම් අර්හත්වයට පත්වුනා.
12. දේවානම්පියතිස්ස රජ්ජුරුවෝ එදා ම කන්තක නම් චෛත්‍යස්ථානය වටා ගල් ලෙන් හැට අටක වැඩ කටයුතු ආරම්භ කරවා,
13. නැවත අනුරාධපුරයට පිටත් වුනා. ඒ රහතන් වහන්සේලා එහි ම වැඩ වාසය කළා. මහාජනයාට අනුකම්පා ඇති උන්වහන්සේලා උදේ වරුවේ පිණ්ඩපාතේ පිණිස නගරයට වැඩියා.
14. ගල්ලෙන් සකස් කොට අවසන් වුනාට පස්සේ ඇසළ පුන් පොහෝ දා රජ්ජුරුවෝ ඇවිත් රහතන් වහන්සේලාට වැඩ ඉන්ට විහාර පූජාව කළා.
15. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ ප්රමුඛ සංඝයා වහන්සේ ඒ චේතියගිරියටත් තිස් දෙකක් වූ සීමා මාලකයන්ටත් කර්ම වාක්‍ය කියවා සීමාව සම්මත කෙරෙව්වා.
16. මහා අරිට්ඨයන් ඇතුලු පැවිදි උපසම්පදා අපේක්ෂක සියල්ලන්ගේ යහපත උදෙසා මිහිඳු මහරහතන් වහන්සේ විසින් හැමට පළමුවෙන් බඳින ලද තුම්බරු නම් සීමා මාලකයෙහි එදාම උපසම්පදා කෙරෙව්වා.
17. ඒ හැට දෙනමක් වූ සියලු රහතන් වහන්සේලා සෑගිරියෙහි වස් සමාදන්ව රජ්ජුරුවන් හට ධර්මයෙන් සංග්‍රහ කොට වදාළා.
18. තමන් වහන්සේගේ උතුම් ගතිගුණ නිසා මිහිඳු මහරහතන් වහන්සේ මහත් කීර්තියට පත්වුනා. උන්වහන්සේගේ ශිෂ්‍ය වූ රහත් භික්ෂූන් වහන්සේලාගේ ගුණවත්කම් ගැනත් බොහෝ පැහැදුනා. උන්වහන්සේලා වෙත පැමිණ ගෞරවාදර දැක්වූ දෙවියෝත් මිනිස්සුත් බොහෝ පින් රැස්කර ගත්තා.
සත්පුරුෂ ජනයන්ගේ ප්‍රසාදයත් සංවේගයත් ඇතිකරනු පිණිස කරන ලද මහාවංශයෙහි මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලේ සෑගිරි විහාරය පිළිගැනීම නම් වූ දහසයවෙනි පරිච්ඡේදය යි.
අපගේ මිහිඳූ මහරහතන් වහන්සේට නමස්කාර වේවා…….