1. මහා නුවණැති අපගේ මිහිඳු මහරහතන් වහන්සේ වස් වසා අවසන්ව වස් පවාරණය කරලා ඉල් පුන් පොහෝ දවසේ මහරජ්ජුරුවන්ට මෙය වදාළා.
2. ‘මහරජ්ජුරුවෙනි, අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ බැහැදැක වන්දනා කොට දැන් සෑහෙන කලක් ගතවුනා. මෙහිදී උන්වහන්සේව පුදන්ට නැති නිසා අපි අනාථවාසයකිනුයි ඉන්නේ. දඹදිව යන්ටයි අදහස.’
3. ‘ස්වාමීනී, සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වදාළ බව මට කලින් වදාළා නොවේද?’ ‘එසේය මහරජ්ජුරුවෙනි, භාග්‍යවතුන් වහන්සේගේ ධාතූන් වහන්සේලා බැහැදැක්ක විට ජීවමාන භාග්‍යවතුන් වහන්සේ දැක්කා සමානයි.’
4. ‘ස්වාමීනී, ධාතූන් වහන්සේලාට පූජා පිණිස ස්ථූපයක් කරවීම ඔබවහන්සේගේ අදහස බව මට වැටහුනා. මං ස්ථූපයක් කරන්නම්. ස්වාමීනී, ධාතූන් වහන්සේලා පිළිබඳව ඔබවහන්සේලා දන්නා සේක්වා!’
5. ‘සුමන සාමණේරයන් සමග මේ පිළිබඳව සාකච්ඡා කරන්නැ’යි මිහිඳු මහරහතන් වහන්සේ රජ්ජුරුවන්ට වදාළා. රජ්ජුරුවෝ සාමණේරයන් වහන්සේගෙන් ‘ස්වාමීනී, ධාතූන් වහන්සේලා ලබාගන්නේ කොහෙන්ද?’ කියා ඇසුවා.
6. “මහරජ්ජුරුවෙනි, ඉස්සෙල්ලා ම නගරයත් මාර්ගයත් ලස්සනට සරසන්ට ඕනෑ. ඊටපස්සේ පිරිසත් සමඟ උපෝසථ සීලයේ පිහිටලා මංගල හස්තිරාජයාගේ පිටේ නැගලා,
7. සුදු සේසතක් ඔසවාගෙන තූර්ය වාදනයන් වාදනය කරමින් සවස් යාමයේ මහානාග වනෝද්‍යානයට යන්ට ඕනෑ.
8. මහරජ්ජුරුවෙනි, ධාතූන් වහන්සේලා බිඳීයාම පිළිබඳ අවබෝධයෙන් යුතුව අධිෂ්ඨාන කොට වදාළ අප භාග්‍යවතුන් වහන්සේගේ ධාතූන් වහන්සේලා එහි දී ඔබතුමාට ලැබේවි” ඒ සුමන සාමණේර රහතන් වහන්සේ සතුටු සිතින් යුතු දේවානම්පියතිස්ස රජ්ජුරුවන්ට වදාළා.
9. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ රජමාළිගාවෙන් නික්ම චේතිය පර්වතය හෙවත් සෑගිරියට වැඩම කරලා සොඳුරු සිතින් යුතු ගතිගුණ ඇති සුමන සාමණේරයන් වහන්සේ අමතා වදාළා.
10. “සොඳුරු සුමනයෙනි, මෙහි එන්න. ඔබ උතුම් පුෂ්පපුර නමැති පාටලීපුත්ර නගරයට ගොහින් ඔබගේ සීයා වූ ධර්මාශෝක මහරජ්ජුරුවන්ට මේ අයුරින් අපගේ වචනය සැල කරන්ට.
11. ‘මහරජ්ජුරුවෙනි, ඔබතුමන්ගේ යහළුවා වන දේවානම්පියතිස්ස රජු බුද්ධ ශාසනය කෙරෙහි ඉතා පැහැදීමෙන් යුක්තයි. ඔහු දැන් චෛත්‍යයක් හදන්ටත් කැමැත්තෙන් ඉන්නවා.
12. අප භාග්‍යවතුන් වහන්සේගේ ධාතූන් වහන්සේලා දුන මැනව. ඒ වගේ ම ශාස්තෘන් වහන්සේ දන් වැළඳූ පාත්‍රයත් දුන මැනව. ඔබතුමා ළඟ බොහෝ සර්වඥ ධාතූන් වහන්සේලා තියෙනවා නොවැ’ කියලා.
13. ධර්මාශෝක රජ්ජුරුවන් වෙතින් අප භාග්‍යවතුන් වහන්සේ දන් වැළඳූ පාත්‍රයට සර්වඥ ධාතූන් වහන්සේලා පුරවාගෙන උතුම් දෙව්ලොව ගොහින් ශක්‍ර දේවේන්ද්‍රයන් මුණ ගැසී එතුමන්ටත් මේ විදිහට අපගේ වචනය පවසන්ට.
14. ‘දේවේන්ද්‍රයෙනි, තුන් ලොවෙන් ම පුද පූජා ලැබීමට යෝග්‍ය වූ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ, දකුණු අකු ධාතූන් වහන්සේ ඔබතුමන් ළඟ තියෙනවා නොවැ.
15. දකුණු දළදා වහන්සේට ඔබතුමා ම පූජා පවත්වන්ට. අපට ශාස්තෘන් වහන්සේගේ අකු ධාතූන් වහන්සේ දුන මැනව. දිව්‍ය රාජයාණෙනි, ලංකාදීපයේ බුද්ධ ශාසනයෙහි කටයුතු ගැන ප්‍රමාද වෙන්ට එපා’ කියා පවසන්න.”
16. ‘එසේය, ස්වාමීන් වහන්ස’ කියා පිළිතුරු දුන් ඒ මහා ඉර්ධිමත් සුමන රහත් සාමණේරයන් වහන්සේ එකෙණෙහි ම ධර්මාශෝක මහරජ්ජුරුවන් සමීපයට ඉර්ධියෙන් වැඩියා.
17. එවේලේ ධර්මාශෝක රජ්ජුරුවන් සල් රුක් සෙවනේ වඩා හිඳුවන ලද ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ සොඳුරු වූ දකුණු ශාඛා බෝධියට ඉල් මාසයේ කරන්නා වූ කාර්තික උත්සව පූජාවන්ගෙන් පුදන අවස්ථාවේ අපගේ සුමන සාමණේරයන් වහන්සේට දැකගන්ට ලැබුනා.
18. තම උපාධ්‍යාය වූ මිහිඳු මහරහතන් වහන්සේගේ වචන පවසා ධර්මාශෝක රජ්ජුරුවන්ගෙන් භාග්‍යවතුන් වහන්සේ දන් වැළඳූ පාත්‍රයට ධාතූන් වහන්සේලා පුරවාගෙන හිමාලයට වැඩම කළා.
19. ධාතූන් වහන්සේලා සහිත වූ උතුම් පාත්‍රය තම අධිෂ්ඨාන බලයෙන් හිමාල පර්වත මුදුනෙහි තැන්පත් කරවා ශක්‍ර දේවේන්ද්‍රයන්ගේ සමීපයට වැඩම කොට මිහිඳු මහරහතන් වහන්සේ පැවසූ වචනයන් කියා සිටියා.
20. ඒ ඇසූ ශක්‍ර දේවේන්ද්‍රයෝ සිළුමිණ සෑයෙහි වැඩසිටි අප භාග්‍යවතුන් වහන්සේගේ දකුණු අකු ධාතූන් වහන්සේ සුමන සාමණේරයන් වහන්සේට ප්රදානය කළා.
21. එතකොට සුමන සාමණේරයන් වහන්සේ සක් දෙවිඳුගෙන් ලද දකුණු අකු ධාතූන් වහන්සේත් ධාතූන් වහන්සේලා පිරවූ පාත්‍රයත් රැගෙන සෑගිරියට වැඩම කරලා තම උපාධ්‍යාය වූ මිහිඳු මහරහතන් වහන්සේගේ අතට දුන්නා.
22. සුමන සාමණේරයන් වහන්සේ කලින් කියූ ආකාරයට ම සවස් කාලය පැමිණෙද්දි රාජ සේනාව පෙරටුකොට ගත් දේවානම්පියතිස්ස රජ්ජුරුවෝ මහානාග වනෝද්‍යානයට සැපත් වෙලා සිටියා.
23. මිහිඳු මහරහතන් වහන්සේ ඒ සියලු ධාතූන් වහන්සේලා ඒ පර්වතයේම තබා වදාළා. ඒ නිසා කලින් මිස්සක පර්වතය නමින් හැඳින්වූ ඒ පර්වතයට චේතිය පර්වතය හෙවත් සෑගිරි යන නම ලැබුනා.
24. මිහිඳු මහරහතන් වහන්සේ ධාතූන් වහන්සේලා සහිත සර්වඥ පාත්‍රය එහි වඩා හිඳුවලා අකු ධාතූන් වහන්සේ රැගෙන සඟ පිරිසත් සමඟින් සාමණේරයන් විසින් කියන ලද තැන වූ මහානාග වනෝද්‍යානයට වැඩියා.
25. එතකොට රජ්ජුරුවෝ මෙහෙම අධිෂ්ඨාන කළා. “ඉදින් මේ අකු ධාතූන් වහන්සේ අප භාග්‍යවතුන් වහන්සේගේ ම ධාතූන් වහන්සේ නම් මාගේ මේ සුදු සේසත ඒ පැත්තට නැමී යේවා! මේ මංගල හස්තිරාජයා තමන් දණ බිම නමාගෙන සිටීවා!
26. මේ ධාතු කරඬුව ධාතූන් වහන්සේත් සමඟින් ම අපගේ තෙරුන් වහන්සේගේ අතින් මිදී මගේ සිරසෙහි වැඩ සිටීවා!” කියා රජ්ජුරුවෝ අධිෂ්ඨාන කළ මේ හැම දෙයක් ම ඒ විදිහට ම සිදුවුනා.
27. අමෘතයෙන් අභිෂේක ලැබූ කලක සෙයින් රජ්ජුරුවෝ අතිශයින් ම සතුටට පත්වුනා. ධාතු කරඬුව හිස මතින් වඩම්මවාගෙන ගිහින් මංගල හස්තිරාජයාගේ කඳ මත තැබුවා.
28. සතුටට පත් හස්තිරාජයා කුඤ්චනාද කළා. මහ පොළොව කම්පා වුනා. මංගල හස්තිරාජයාත් රහතන් වහන්සේලාත් බලවාහන සමඟ එතැනින් ආපසු හැරී,
29. නැගෙනහිර දොරටුවෙන් සුන්දර නගරයට පිවිසුනා. නැවත දකුණු දොරටුවෙන් නගරයෙන් පිටතට නික්මුනා.
30. ථූපාරාම චෛත්‍ය වහන්සේ පිහිටන තැනින් පිටුපසට වෙන්ට කරලා තිබුනු මහේජ නම් යක්ෂයාගේ දේවාලයට ගිහින් බෝධිස්ථානය නමැති තැනින් ආපසු හැරිලා,
31. නැගෙනහිර පැත්තට මුහුණලා ථූපාරාම චෛත්‍ය වහන්සේ පිහිටන තැනට මුහුණලා නැවතුනා. ඒ දවස්වල එතැන කීරමල්වලිනුත් ආදාරී නම් වැල්වලිනුත් ගහණව තිබුණා.
32. රජ්ජුරුවෝ දෙවියන් විසින් ආරක්ෂා කරන ලද ඒ පවිත්‍ර ස්ථානය එවේලේ ම කටුකොහොල් ඉවත් කරලා සෝදවලා බිම හොඳාකාරව සරසවලා,
33. ධාතු කරඬුව හස්තිරාජයාගේ පිටින් පහළට වඩම්මා ගන්ට සූදානම් වුනා. හස්තිරාජයා එයට කැමති වුනේ නෑ. එතකොට රජ්ජුරුවෝ ඇත්රජා සිතා සිටින්නේ කුමක්ද? කියා මිහිඳු මහරහතන් වහන්සේගෙන් ඇහුවා.
34. ‘මහරජ්ජුරුවෙනි, ඇත්රජා කැමති තමන්ගේ කුම්භස්ථලය හා සමාන උස් ස්ථානයක ධාතු කරඬුව වඩාහිඳුවන්ටයි. ඊට පහත් තැනකට ධාතු කරඬුව වඩම්මවන්ට ඇතා කැමති නෑ’ කියලා මිහිඳු මහරහතන් වහන්සේ පිළිතුරු දී වදාළා.
35. එතකොට රජ්ජුරුවෝ එවේලෙ ම රාජපුරුෂයන්ට අණ කරවලා අභය වැවේ වියළී ගිය තැන්වලින් වියළි මැටි පිඬු ගෙන්වලා ඇත් කඳ හා සමාන ලෙස උස්ව ගොඩ ගස්වලා චෛත්‍යයක් කරවා,
36. ධාතු පිහිටන ඒ උතුම් තැන බොහෝ ක්‍රමවලින් අලංකාර කරවා ධාතු කරඬුව ඇත් කඳින් ඔසවලා ඒ මැටි සෑය මත වඩාහිඳෙව්වා.
37. ධාතු කරඬුවට ආරක්ෂාව සලස්වලා එහි ඇත් රජාත් නවත්වලා ධාතු චෛත්‍ය වහන්සේ සදන්ට ඕනෑ කියන ඉක්මන් සිතින් යුතුව රජ්ජුරුවෝ,
38. බොහෝ මිනිස්සු යොදවලා ඉක්මනින් ම ගඩොල් සාදවන්ට පටන් ගත්තා. ධාතූන් වහන්සේ වෙනුවෙන් කළයුතු දේ ගැන සිතමින් රජ්ජුරුවෝ ඇමතිවරුන් සමඟ නගරයට පිටත් වුනා.
39. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ සඟ පිරිසත් සමග සොඳුරු වූ මහමෙව්නා උයනේ තිස්සාරාමයට වැඩම කරලා එහි වැඩ වාසය කළා.
40. හස්තිරාජයා ධාතු කරඬුව වඩා හිඳුවා ඇති ස්ථානය වටා රෑ කාලයෙහි සැරිසැරුවා. දවල් කාලයෙහි චෛත්‍ය භූමිය සකස් කරන්ට ඉඩදීම පිණිස ධාතු කරඬුව ආයෙමත් කුම්භස්ථලය මත තබාගෙන බෝධිස්ථානය නමැති තැන පිහිටි ශාලාවේ සිටියා.
41. රජ්ජුරුවෝ මිහිඳු මහරහතන් වහන්සේගේ අනුශාසනා පරිදි ඒ භූමිය මත කිහිප දිනකින් කෙණ්ඩා පමණට සෑය ගොඩ නංවලා,
42. එහි ධාතූන් වහන්සේ තැන්පත් කරන බවට අණබෙර අස්සවලා ථූපාරාම භූමියට පැමිණියා. ඒ ඒ දෙසින් අවට ජනයාත් වටේට රැස්වුනා.
43. පිරිස රැස්ව හුන් ඒ අවස්ථාවෙහි ඇත්කඳ මත වැඩසිටි ධාතු කරඬුවෙන් අකුධාතූන් වහන්සේ තල්ගස් සතක් පමණ උසට අහසට පැන නැගී පේන්ට පටන් ගත්තා.
44. ජනතාව පුදුමෙන් පුදුමයට පත් කරමින් එදා ගන්ධබ්බ රුක් මුලදී අපගේ භාග්‍යවතුන් වහන්සේ යමක මහා ප්රාතිහාර්යය දක්වා වදාළ අවස්ථාව සෙයින් ඇඟ මවිල් කෙළින් සිටින මහා ප්රාතිහාර්යයන් සිදුවුනා.
45. අහසේ වැඩහුන් අකුධාතූන් වහන්සේගෙන් නික්මී ගිය ගිනිජාලාවෙනුත් ජලධාරාවෙනුත් මුළු ලංකාව ම ආලෝකවත් වුනා. තෙමිලා ගියා.
46. එදා පිරිනිවන් මඤ්චකයෙහි සැතපී වැඩහුන් පසැස් ඇති අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් කරන ලද මහා අධිෂ්ඨාන පසක් ඇත්තේය.
47. ධර්මාශෝක රජ්ජුරුවන් විසින් ගනිද්දි ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දකුණු ශාඛාව තමන් ම මහබෝධියෙන් වෙන් වී රන් කටාරමෙහි හිඳිත්වා! යන්න පළමු අධිෂ්ඨානයයි.
48. ඒ දකුණු බෝධි ශාඛාව රන් කටාරමේ පිහිටියාට පස්සේ සොඳුරු වූ ෂඞ්වර්ණ රශ්මි ධාරාවෝ බෝධි පත්‍ර පල ආදියෙන් නිකුත් වෙලා හැම දිශාවක් ම ප්‍රීතියට පත් කරත්වා! යන්න දෙවැන්නයි.
49. ඒ මනරම් බෝධි ශාඛාව රන් කටාරමත් එක්ක ම තමන් ම අහසට පැන නැගී නොපෙනී ගොසින් සත් දවසක් ම හිමවළා ගැබක සිටීවා! යන්න තුන්වැන්නයි.
50. ථූපාරාමයෙහි පිහිටන්නා වූ මාගේ අකු ධාතුව අහසට පැන නැගී යමක මහා ප්රාතිහාර්යය කෙරේවා! යන්න සතරවෙනි අධිෂ්ඨානයයි.
51. ලංකාද්වීපයට මහත් අලංකාරයක් වූ ස්වර්ණමාලී මහා චෛත්‍යයෙහි ද්‍රෝණයක් පමණ වූ මාගේ නිර්මල ධාතූන් වහන්සේලා පිහිටද්දි,
52. බුදුරජාණන් වහන්සේගේ ජීවමාන වේශය ගෙන අහසට පැන නැගී වැඩ සිට යමක මහා ප්රාතිහාර්යය දැක්වීමෙන් පසු ඒ ධාතූන් වහන්සේලා පිහිටත්වා! යන පස්වැනි අධිෂ්ඨානයයි.
53. අප තථාගත වූ භාග්‍යවතුන් වහන්සේගේ මහා අධිෂ්ඨාන පස මේ ය. එනිසා යි එදා අකු ධාතූන් වහන්සේ අහසට පැන නැගී යමාමහ පෙළහර දක්වා වදාළේ.
54. අකු ධාතූන් වහන්සේ අහසින් පහළට වැඩම කරලා දේවානම්පියතිස්ස රජ්ජුරුවන්ගේ හිස මත පිහිටියා. අතිශයින් ම සතුටට පත් රජ්ජුරුවෝ අකු ධාතූන් වහන්සේ චෛත්‍යය තුළ වඩා හිඳෙව්වා.
55. ඒ ධාතූන් වහන්සේ චෛත්‍යයෙහි පිහිටුවන අවස්ථාවේ මහා පොළෝ කම්පාවක් ඇතිවුනා. අද්භූත වූ ලොමුඩැහැගැනුම් ඇතිවුනා.
56. මෙසේ බුදුවරයන් වහන්සේලා රූපකායෙන් ද අචින්තය වන සේක. බුදුවරයන් වහන්සේලා ධර්මකායෙන් ද අචින්තය වන සේක. අචින්තනීය වූ බුදුවරයන් වහන්සේලාගේ රූපකාය පිළිබඳවත් ධර්මකාය පිළිබඳවත් සිත පහදවා ගත්තවුන් හට ලැබෙන විපාකත් අචින්තය වෙයි.
57. ඒ ප්රාතිහාර්යය දැකපු ජනයා අපගේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බොහෝ පැහැදීමට පත්වුනා. දේවානම්පියතිස්ස රජ්ජුරුවන්ගේ බාල සහෝදරයෙකු වන මන්තාභය රාජපුත්‍රයා,
58. අපගේ සම්බුදු මුනීශ්වරයන් වහන්සේ කෙරෙහි පැහැදුනා. නරේශ්වරයන්ගෙන් අවසර ඉල්ලාගෙන පුරුෂයින් දහසක් සමඟ සම්බුදු සසුනෙහි පැවිදි වුනා.
59. නගරයට දකුණින් පිහිටි චේතාරි ගමෙනුත් දොරමඬලාවෙනුත් විහාරබීජ ගමෙනුත් ගල්පිටියෙනුත්,
60. ඒ වගේ ම උපතිස්ස ගමෙනුත් තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්රද්ධාවට පත් ගම්දරුවෝ පන්සියය බැගින් බුදු සසුනෙහි පැවිදි බව ලබාගත්තා.
61. එකල්හි නගරයෙනුත් නගරයෙන් බැහැරිනුත් බුද්ධ ශාසනයේ පැවිදි වූ සියලු භික්ෂූන්ගේ ගණන තිස් දහසක් වුනා.
62. දෙවනපෑතිස් රජ්ජුරුවෝ ථූපාරාමයෙහි උතුම් චෛත්‍යය නිමවලා නොයෙක් මැණික් ආදියෙන් හැම කල්හි ම පූජාවන් පැවැත්තුවා.
63. රජුගේ අන්තඃපුර ස්ත්‍රීනුත් ක්ෂත්රියනුත් ඇමතිවරුත් ඒ වගේ ම අනුරපුර නගරවාසීනුත් සියලු ජනපදවාසීනුත් වෙන් වෙන්ව පූජෝපහාරයන් පැවැත්තුවා.
64. රජ්ජුරුවෝ ඒ ස්ථූපය මුල්කොට එතැන සංඝයා උදෙසා විහාරයක් කෙරෙව්වා. ඒ නිසා ඒ විහාරයත් ථූපාරාමය යන නමින් ප්‍රසිද්ධියට පත්වුනා.
65. පිරිනිවන් පා වදාළ අපගේ ලෝකනාථයන් වහන්සේ තමන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලාගෙන් පවා ලෝක සත්වයාට හිතසුව පිණිස නොයෙක් අයුරින් ඉතා යහපත් ලෙස මග සැලසූ සේක. භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩවිසූ කාලයෙහි ලෝකයා උදෙසා කරන ලද යහපත ගැන කතා කොට කාහට නම් අවසන් කළ හැකිද!
සත්පුරුෂ ජනයන්ගේ ප්‍රසාදයත් සංවේගයත් ඇතිකරනු පිණිස කරන ලද මහාවංශයෙහි සර්වඥ ධාතූන් වහන්සේලා වැඩමවීම නම් වූ දහහත්වෙනි පරිච්ඡේදය යි.