1. ජය ශ්‍රී මහා බෝධි දක්ෂිණ ශාඛාවත්, සංඝමිත්තා තෙරණින් වහන්සේත් ලංකාද්වීපයට වඩම්මවා ගන්ට කියලා අපගේ මිහිඳු මහරහතන් වහන්සේ වදාළ වචනය සිහි කරමිනුයි රජ්ජුරුවෝ තම මාළිගයේ සිටියේ.

2. වස් කාලයේ එක්තරා දවසක් මිහිඳු මහරහතන් වහන්සේ සමීපයෙහි මිටි අසුනක වාඩිවෙලා ඇමතිවරුන් සමග සාකච්ඡා කළා. තමන්ගේ නැගණියගේ පුත්‍රයා වන

3. අරිට්ඨ නමැති ඇමතිතුමාව ඒ කටයුත්ත සඳහා තමන් ම මෙහෙයවලා යොදවන්ට සාකච්ඡා කරලා අමතලා මේ වචනය පැවසුවා.

4. ‘දරුව, ඔබට ධර්මාශෝක රජ්ජුරුවන් සමීපයට ගොහින් මහාබෝධි ශාඛාවත්, සංඝමිත්තා තෙරණියත් මෙහි වඩම්මවාගෙන එන්ට පුළුවනි ද?’

5. ‘දේවයන් වහන්ස, ඉදින් මට නැවත මෙහි ආ විට පැවිදි වෙන්ට අවසර ලැබෙනවා නම්, ජනයාගෙන් ගෞරව ලබන්නාණෙනි, මං මහාබෝධි ශාඛාවත් සඟමිත් තෙරණින් වහන්සේත් වඩම්මාගෙන එන්නම්.’

6. රජ්ජුරුවෝ ‘එසේම වේවා!’ කියා අරිට්ඨ අමාත්‍යයාව එහි පිටත් කෙරෙව්වා. අරිට්ඨ ඇමතිතුමා අපගේ මිහිඳු මහරහතන් වහන්සේටත් රජ්ජුරුවන්ටත් වන්දනා කරලා සංදේශයත් අරගෙන,

7. වප් මාසය පුර පක්ෂයෙහි දෙවෙන දවසේ පිටත් වුනා. රාජකීය දූත මෙහෙවරක යෙදවෙන අරිට්ඨ ඇමතිතුමා දඹකොළ පටුනෙන් නැව් නැගලා,

8. මිහිඳු මහරහතන් වහන්සේගේ අධිෂ්ඨාන බලයෙන් මහා සමුද්‍රය තරණය කරලා නික්මුණු දවසේ ම රම්‍ය වූ පාටලීපුත්‍ර නගරයට ගියා.

9. රජ්ජුරුවන්ගේ සහෝදරයාගේ බිරිඳ වන අනුලා දේවියත් ඇය සමග ඇයගේ පරිවාර කන්‍යාවන් පන්සිය දෙනාත් ඒ වගේම අන්තඃපුර ස්ත්‍රීන් පන්සිය දෙනෙකුත්,

10. දස සිල් සමාදන් වෙලා, කසාවත් පොරවාගෙන, පිරිසිදු පැවිදි බව අපේක්ෂාවෙන් ධර්ම මාර්ගය පුහුණු වෙමින් සංඝමිත්තා තෙරණින් වහන්සේගේ වැඩමවීම බලපොරොත්තුවෙන්,

11. නගරයෙහි එක්තරා ප්‍රදේශයක දෝළ නමැති අමාත්‍යයාගේ නිවසෙහි රජු විසින් කරවන ලද රම්‍ය වූ භික්ෂුණී ආරාමයෙහි මනා වත පිළිවෙතින් යුක්තව වාසය කළා.

12. ඒ දසසිල් උපාසිකාවෝ ඒ භික්ෂුණී අසපුවෙහි වාසය කළ නිසා ඒ කරුණෙන් ‘උපාසිකා විහාරය’ යන නමින් ලංකාවේ ප්‍රසිද්ධියට පත්වුනා.

13. දේවානම්පියතිස්ස රජ්ජුරුවන්ගේ නැගණියගේ පුත්‍රයා වන මහාඅරිට්ඨ අමාත්‍යතුමා ධර්මාශෝක මහරජ්ජුරුවන් බැහැ දැක රාජ සන්දේශයත් මිහිඳු මහරහතන් වහන්සේගේ සංදේශයත් දැනුම් දුන්නා.

14. ‘මහරජ්ජුරුවන් වහන්ස, ඔබවහන්සේගේ මිත්‍ර වූ අපගේ දෙවනපෑතිස් රජාණන්ගේ සොයුරු රාජපුත්‍රයාගේ බිරිඳ වන අනුලා බිසොවුන් වහන්සේ නිතර සිල් සමාදන්ව සංවරව උතුම් පැවිදි බව අපේක්ෂාවෙන් ඉන්නවා.

15. අනුලා දේවී උත්තමාව පැවිදි කරවන්ට සංඝමිත්තා භික්ෂුණීන් වහන්සේත්, ඒ භික්ෂුණීන් වහන්සේ සමඟ ශ්‍රී මහාබෝධි දකුණු ශාඛාවත් වඩම්මවා දෙන සේක්වා!’ කියා ඉල්ලා සිටියා.

16. ඒ වගේ ම අපගේ මිහිඳු මහරහතන් වහන්සේ වදාළ මෙම කාරණය සංඝමිත්තා තෙරණින් වහන්සේටත් දැනුම් දුන්නා. සංඝමිත්තා තෙරණින් වහන්සේ මිහිඳු මහරහතන් වහන්සේගේ මතය පිය රජ්ජුරුවන්ට පවසා සිටියා.

17. එතකොට රජ්ජුරුවෝ මෙහෙම කිව්වා. ‘මෑණියනි, ඔබත් දකින්ට නැතිව ගියොත්, මාගේ පුත්‍ර මහින්ද තෙරණුවෝත්, මුණුබුරු සුමන සාමණේරයෝත් වියෝගයෙන් ඉන්නා මම ශෝකය දුරු කරගන්නේ කොහොමද?’

18. සංඝමිත්තා තෙරණින් වහන්සේ මෙහෙම කිව්වා. ‘මහරජ්ජුරුවෙනි, සහෝදරයන් වහන්සේගේ වචනයට මං ගරු කරන්ට ඕනෑ. ඒ වගේ ම බුදු සසුනෙහි පැවිදි වෙන්ට ආශාවෙන් බොහෝ කාන්තාවන් එහි සිටිනවා නොවැ. මේ කරුණු නිසාවෙන් මා ලංකාවට යන්ට ඕනෑ.’

19. එයට එකඟ වූ රජ්ජුරුවෝ ඊළඟට කල්පනා කළේ ‘ජය ශ්‍රී මහාබෝධීන් වහන්සේ ආයුධයකින් තුවාල කොට කැපීම සුදුසු දෙයක් නම් නොවේ. මං දකුණු බෝධි ශාඛාව ගන්නේ කොහොමද?’

20. ඊට පසු රජ්ජුරුවෝ ඒ කරුණ මහාදේව නමැති ඇමතියාට සැළකළා. ඔහුගේ උපදෙස් පරිදි භික්ෂු සංඝයා වහන්සේ මාළිගයට වඩම්මවලා දන්පැන් වළඳවා උන්වහන්සේලාගෙන් විමසා සිටියා.

21. ‘ස්වාමීනී, ලංකාවට මහාබෝධි ශාඛාවක් වඩම්මවන්ට ඕනෑ නොවේද?’ අපගේ මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ ’එසේය මහරජ්ජුරුවෙනි, වඩම්මවන්ට ඕනෑ’ කියා වදාළා.

22. පසැස් ඇති භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් මඤ්චකයෙහි සැතපී වැඩහිඳ කරන ලද පංච මහා අධිෂ්ඨානය ගැනත් ධර්මාශෝක මහරජ්ජුරුවන්ට පවසා වදාළා. එය ඇසූ රජ්ජුරුවෝ මහත් සතුටට පත්වුනා.

23. ඊටපසු රජ්ජුරුවෝ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත ගමන් කරන යොදුන් සතක මාර්ගය සෝදවලා, නොයෙක් ආකාරයෙන් හොඳාකාර ලෙස සැරසෙව්වා.

24. රන් කටාරමක් කරවන්ට භාණ්ඩාගාරයෙන් රන් ලබා දුන්නා. එතකොට විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා රන්කරුවෙකුගේ වේශයෙන් ආවා.

25. ‘දේවයන් වහන්ස, කටාරම තනවන්නේ කොයි ප්‍රමාණයට ද?’ කියා ඇසුවා. ‘තොප ම ප්‍රමාණය දැන කටාරම කරව’ කියා රජ්ජුරුවෝ පැවසුවා.

26. රන් අරගත් විස්කම් දෙව්පුතු ඒවා සිය අතින් පිරිමැද්දා. එසැණින් ම කටාරම නිර්මාණය කරවලා පිටත්ව ගියා.

27. ඒ කටාරමේ වට රවුම රියන් නවයකින් යුක්තයි. ගැඹුර රියන් පහයි. විෂ්කම්භය රියන් තුනයි. අඟල් අටක ඝනකමින් යුක්තයි. ලස්සනයි.

28. තරුණ ඇත් රජෙකුගේ සොfඬ් ප්‍රමාණයට කටාරමේ මුවවිට තිබුණා. රජ්ජුරුවෝ ළාහිරු කාන්තියේ පැහැයෙන් බබලන ඒ රන් කටාරම ගෙන්නවලා,

29. යොදුන් සතක් දික් වූ තුන් යොදුනක් පළල් වූ චතුරංගිනී සේනාවත්, මහත් භික්ෂු සංඝයා වහන්සේත් සමග,

30. ජය ශ්‍රී මහාබෝධීන් වහන්සේ ළඟට පැමිණිලා නොයෙක් අලංකාරයෙන් යුක්ත, නොයෙක් මාණික්‍යයන් ගෙන් විසිතුරු වුණු නොයෙක් ධජපතාක, නොයෙක් මල් මාලා,

31. නොයෙක් වර්ගයේ මල්වලින් පූජා පවත්වලා, නොයෙක් තූර්යනාදයන්ගෙන් පූජා පවත්වලා සිවුරඟ සේනා පිරිවරාගෙන මහබෝධිය තිරයකින් වටකරලා,

32. භික්ෂු මහා සංඝයා අතර මහා තෙරුන් වහන්සේලා දහස් නමක් මුල් කොට, දඹදිව ප්‍රාදේශීය රජවරු ලෙස අභිෂේක ලැබූ දහසකට අධික රජදරුවනුත්,

33. තමාත් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඉතා යහපත් ලෙස පිරිවරා ගෙන ඇඳිලි බැඳ වන්දනා කරගෙන මහා බෝධීන් වහන්සේ දෙස බලා සිටියා.

34. එතකොට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දකුණු ශාඛාව සතර රියන් ප්‍රමාණයට කඳත් සමග ඉතිරි වෙලා අනිත් ශාඛා නොපෙනී ගියා.

35. ඒ ප්‍රාතිහාර්යය දුටු ධර්මාශෝක මහරජ්ජුරුවෝ මහත් සතුටට පත්වෙලා ‘මං ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට දඹදිව මුළු රාජ්‍යය ම පූජා කරනවා’ කියලා හඬනගා කිව්වා.

36. රජ්ජුරුවෝ දඹදිව මහා රාජ්‍යයෙන් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභිෂේක කළා. නොයෙක් මල් ආදියෙන් මහාබෝධීන් වහන්සේට පූජා පවත්වලා තුන් වටයක් ප්‍රදක්ෂිණා,

37. කරලා අට ස්ථානයකින් ඇඳිලි බැඳ වන්දනා කරලා රන් කැටයමින් අලංකාර වූ නොයෙක් මැණික් වර්ගයන් ගෙන් සරසන ලද සකස් කළ පීඨිකාවේ,

38. ඉතා පහසුවෙන් බිම සිට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දකුණු ශාඛාව ළඟට යන්නට හැකි ලෙස තිබූ ඒ පීඨිකාව මත රන් කටාරම තබ්බවලා, තමනුත් උතුම් දකුණු මහා බෝධි ශාඛාව ගැනීම පිණිස එතැනට නැගලා,

39. අතට ගත් රන් පින්සලෙන් සිරියල් ගෙන බෝධි ශාඛාවෙහි රේඛාවක් ඇඳලා මේ විදිහට සත්‍ය ක්‍රියාවක් කළා.

40. ‘ඉදින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ මේ තැනින් නික්ම ලංකාද්වීපයට වැඩම කළයුතු නම්, ඉදින් මම ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය කෙරෙහි සැකයක් නැතිව ඉන්නවා නම්,

41. සුන්දර වූ මේ ජය ශ්‍රී මහා බෝධී දකුණු ශාඛා වහන්සේ තමන් ම ඡේදනය වී මෙතැන තිබෙන රන් කටාරමෙහි පිහිටා වදාරණ සේක්වා!’

42. එතකොට ජය ශ්‍රී මහා බෝධි දකුණු ශාඛා වහන්සේ රේඛාව සටහන් කළ තැනින් තමන් ම ඡේදනය වී සුවඳ මඩ පිරවූ රන් කටාරමෙහි පිහිටා වදාළා.

43. මුලින් සටහන් කළ රේඛාවට උඩින් අඟල් තුනෙන් තුනට වෙන්ට රජ්ජුරුවෝ සිරියල් රේඛාවන් දහයක් බෝධි ශාඛාව වටා ඇන්දා.

44. මුලින් ඇන්ද රේඛාවෙන් ලොකු මුල් දහයක් එවෙලේම මතුවුනා. අනිත් රේඛාවලින් කුඩා මුල් දහය ගණනේ ඇවිත් දැල් කව්ලුවක් වගේ පහළට බැස්සා.

45. ඒ ප්‍රාතිහාර්යය දැකපු රජ්ජුරුවෝ අතිශයින් ම ප්‍රීතියට පත්වෙලා වන්දනා කරගෙන මහ හඬින් ප්‍රීතිඝෝෂා කළා. හාත්පස සිටි මහා පිරිසත් ප්‍රීතිඝෝෂා කළා.

46. භික්ෂු සංඝයා වහන්සේ සතුටු සිතින් සාධුකාර දුන්නා. හාත්පස රැස් වූ මහාජනයා දහස් ගණන් උතුරු සළු හිස මතට උඩින් කරකවමින් ප්‍රීතිඝෝෂා පැවැත්තුවා.

47. ඔය විදිහට මහාජනයා ප්‍රසාදයට පත් කරවමින් ජය ශ්‍රී මහා බෝධි දකුණු ශාඛා වහන්සේ මුල් සියයකින් යුක්තව ඒ සුවඳ මඩ පිරි රන් කටාරමේ මනාකොට පිහිටියා.

48. ඒ ජය ශ්‍රී මහා බෝධි දකුණු ශාඛා වහන්සේගේ කඳ රියන් දහයක් ව තිබුණා. මනරම් අතු පහක් තිබුණා. ඒ හැම අත්තක් ම රියන් සතරක්ව තිබුණා. ඒ හැම අත්තක ම බෝ ගෙඩි පහ බැගින් තිබුණා.

49. ඒ බෝ අතු වල ඉතා කුඩා ශාඛා දහසක් පමණ තිබුණා. මේ විදිහට ජය ශ්‍රී මහා බෝධි දකුණු ශාඛා වහන්සේ මනස්කාන්ත ශ්‍රීයෙන් ශෝභමාන ව වැඩ සිටියා.

50. ජය ශ්‍රී මහා බෝධි දකුණු ශාඛා වහන්සේ රන් කටාරමේ වැඩහුන් සැණින් ම මහා පොළොව කම්පා වුනා. නොයෙක් ප්‍රාතිහාර්යයන් ඇතිවුනා.

51. දෙව්ලොවේත් මනුලොවේත් තිබුනු ආතත, විතත, විතතාතත, ඝන, සුසිර යන පංච තූර්ය නාදයන් ඉබේම වාදනය වෙන්ට පටන් ගත්තා. දෙව් බඹුන්ගේ සාධු හඬ ගිගුම් දුන්නා.

52. මහා වළාකුළු නැගී අහස ගිගුම් දුන්නා. සිව්පාවුන් නාද කළා. පක්ෂීනුත් නාද කළා. යක්ෂ අසුරාදීනුත් ප්‍රීති නාද පැවැත්තුවා. පොළොවත් ගිගුම් දුන්නා. එකම මහා ඝෝෂාවකින් නින්නාද වුනා.

53. ජය ශ්‍රී මහාබෝධි දකුණු ශාඛා වහන්සේගේ ඵල පත්‍රයන්ගෙන් විහිදී ගිය සුන්දර වූ ෂඞ්වර්ණ රශ්මි ධාරාවෙන් මුළු සක්වල ම ශෝභමාන වුනා.

54. ඒ ජය ශ්‍රී මහාබෝධි දකුණු ශාඛා වහන්සේ රන් කටාරමත් සමඟින් අහසට පැන නැංගා. සත් දවසක් හිම වළා ගැබ තුළ නොපෙනී වැඩ සිටියා.

55. රජතුමා පීඨිකාවෙන් බිමට බැහැලා ඒ දවස් හතේ ම එතැන වාසය කරමින් නිරන්තරයෙන් නොයෙක් අයුරින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජාවන් පැවැත්තුවා.

56. සත් දවස ගෙවී යද්දී සියලු හිම වළාවනුත් සියලු සවණක් ඝන රැස් මාලාවනුත් ජය ශ්‍රී මහාබෝධි දකුණු ශාඛා වහන්සේ තුළට උරාගත්තා.

57. වළාකුළු රහිත පිරිසිදු අහසේ රන් කටාරමේ වැඩහිඳින අපගේ මනරම් ජය ශ්‍රී මහාබෝධි දකුණු ශාඛා වහන්සේ එතැන හුන් හැමෝට ම දැකගන්ට ලැබුනා.

58. අපගේ ජය ශ්‍රී මහාබෝධි දකුණු ශාඛා වහන්සේ නා නා ආකාරයේ ප්‍රාතිහාර්යයන් දක්වමින් මහජනයා විස්මයට පත් කරවමින් මහා පොළොවට බැස රන් පීඨිකාව මතට වැඩ වදාළා.

59. අපගේ ජය ශ්‍රී මහබෝධි දකුණු ශාඛා වහන්සේගෙන් සිදු වූ නොයෙක් ප්‍රාතිහාර්යයන් දැකීම නිසා ප්‍රීතියෙන් පිනා ගිය ධර්මාශෝක රජ්ජුරුවෝ දඹදිව මහා රාජ්‍යයෙන් ආයෙමත් මහා බෝධීන් වහන්සේට පූජා කළා.

60. රජ්ජුරුවෝ දඹදිව මහා රාජ්‍යයෙන් අපගේ ජය ශ්‍රී මහාබෝධි දකුණු ශාඛා වහන්සේට අභිෂේක පූජා පවත්වලා ආයෙමත් සතියක් ම නා නා පූජාවන් පවත්වමින් එහි ම වාසය කළා.

61. වප් මාසෙ පුර පසළොස්වක වස් පවාරණ උපෝසථ දවසේ ඉඳලා දෙසතියක් ඇවෑමෙන් පස්සේ අපගේ ජය ශ්‍රී මහාබෝධි දකුණු ශාඛා වහන්සේ වැඩහුන් රන් කටාරම එතැනින් ඔසොවා ගත්තා.

62. වප් මාසෙ කරුවල පක්ෂයේ තුදුස්වක අමාවක උපෝසථ දවසේ ධර්මාශෝක රජ්ජුරුවෝ සොඳුරු රථයක අපගේ ජය ශ්‍රී මහාබෝධි දකුණු ශාඛා වහන්සේ වඩමවාගෙන,

63. එදාම තමන්ගේ පාටලීපුත්‍ර නගරයට වඩම්මවලා නොයෙක් අයුරින් අලංකාරව සැරසූ ලස්සන මණ්ඩපයක් කරවලා,

64. ඉල් මාසෙ පුර පක්ෂයේ පළමු දවසේ අපගේ ජය ශ්‍රී මහාබෝධි දකුණු ශාඛා වහන්සේ සොඳුරු මහා සල් වෘක්ෂයක් සෙවනේ නැගෙනහිර දිසාවට වෙන්ට වඩා හිඳෙව්වා. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ දඹදිව පිටත් කරවපු සුමන සාමණේර රහතන් වහන්සේට රජ්ජුරුවන්ව මුණ ගැසුනේ මෙතැන දී ය.

65. එතැන වඩා හිඳවලා දවස් පතා නොයෙක් ආකාරයෙන් පූජාවන් පැවැත්තුවා. අපගේ ජය ශ්‍රී මහාබෝධි ශාඛා වහන්සේ කටාරමේ වඩා හිඳුවා දවස් දාහතක් ගතවෙද්දී බෝ අංකුර නවයක්,

66. එක්වරම පැන නැංගා. එයින් සතුටු වූ ධර්මාශෝක මහරජ්ජුරුවෝ ආයෙමත් දඹදිව මහරාජ්‍යයෙන් බෝධීන් වහන්සේ පූජා කළා.

67. රජ්ජුරුවෝ අපගේ ජය ශ්‍රී මහාබෝධි ශාඛා වහන්සේ දඹදිව මහාරාජ්‍යයෙන් අභිෂේක කරලා නොයෙක් අයුරින් වූ මහා බෝධි පූජාවන් කළා.

68. ධර්මාශෝක රජ්ජුරුවෝ නැමැති සූර්යයා තමන්ගේ රශ්මිය නැමැති සම්පත්වලින් බොහෝ සිත්කලු ධජ පතාකයන්ගෙන් මුළු නුවර ම ලස්සනට සරසවලා, ඉතා අලංකාර අයුරින් උතුම් මහා බෝධි පූජාවක් පවත්වලා කුසුමපුරය හෙවත් පාටලීපුත්‍ර නගරය නමැති විලෙහි දෙවියන්ගේත් මිනිසුන්ගේත් සිත් නැමැති පියුම් විකසිත කෙරෙව්වා.

සත්පුරුෂ ජනයන්ගේ ප්‍රසාදයත් සංවේගයත් ඇතිකරනු පිණිස කරන ලද මහාවංශයෙහි ජය ශ්‍රී මහා බෝධියේ දකුණු ශාඛා වහන්සේ ගැනීම නම් වූ දහඅටවෙනි පරිච්ඡේදය යි.