1. මහා යස පිරිවර ඇති දුටුගැමුණු රජ්ජුරුවෝ ලංකාරාජ්‍යය එකම ඡත්රයක් යටතට පමුණුවා දස මහා යෝධයන්ට සුදුසු පරිදි තනතුරු ප්රදානය කළා.
2. ථේරපුත්තාභය යෝධයා තමන් වෙත දුන් තනතුරු ලබාගන්ට කැමැති වුනේ නෑ. ‘එය ලබාගන්ට අකැමැති මක් නිසාද?’ කියල රජ්ජුරුවෝ ඇසුවා. ‘දේවයන් වහන්ස, යුද්ධයක් තියෙනවා නොවැ’ කියල පිළිතුරු දුන්නා.
3. ‘රාජ්‍ය එක් සේසත් කරන්ට යුද්ධයක් කළාට පස්සේ තවත් තියෙන යුද්ධය කුමක් ද?’ ‘දේවයන් වහන්ස, ජය ගන්ට ඉතා අසීරු වූ මේ කෙලෙස් සතුරන් එක්ක තියෙන යුද්ධෙත් කරන්ට ඕනෑ.’
4. රජ්ජුරුවෝ ඔහු පැවිදි වීමට ඉල්ලා සිටීම නැවත නැවත වැළැක්කුවා. ථේරපුත්තාභය යෝධයාත් නැවත නැවත ඉල්ලා රජ්ජුරුවන්ගෙන් අවසර ගෙන පැවිදි වුනා.
5. පැවිදි බව ලැබූ ඔහු සුදුසු කාලයේ සමථ – විදර්ශනා වඩා උතුම් අර්හත් ඵලයට පත් වුනා. පන්සියයක් රහතන් වහන්සේලා පිරිවරා ගත් තෙරනමක් බවට පත්වුනා.
6. ලංකාව වෙළාගෙන තිබූ මිසදිටු පරසතුරු භය පහවීමෙන් කිසි සැකයක් නැතිව සිටි දුටුගැමුණු අභය මහරජ්ජුරුවෝ සේසත් ඔසවන මංගල්‍යයෙන් සත්වන දවසේ, අභිෂේක ලැබීමෙන් පසුව මහා පෙරහැරින් යුක්තව,
7. ජල ක්‍රීඩාවට සුදුසු ආකාරයෙන් සැරසිලා තිසා වැවට ගියා. ඒ තිසා වැවේ ජලක්‍රීඩා කරන්ටත්, අභිෂේක ලැබූ රජදරුවන්ගේ සිරිත් ආරක්ෂා කරන්ටත් ය.
8. රජ්ජුරුවන් පරිහරණය කරන සියලු භාණ්ඩත් ගෙනෙන ලද සිය ගණන් පඬුරුත් මිරිසවැටිය විහාරය පිහිටන ස්ථානයේ තිබ්බා.
9. එහි චෛත්‍ය රාජයා පිහිටන ස්ථනයේ ම කුන්තායුධය ඔසොවා ගෙන යන රාජපුරුෂයෝ සර්වඥ ධාතූන් වහන්සේ සහිත ඒ කුන්තායුධය හරස් අතට නොතබා කෙළින් අතට සිටුවලා තිබ්බා.
10. දුටුගැමුණු මහරජ්ජුරුවෝ අන්තඃපුර ස්ත්‍රීන් සමඟ දහවල් ජලක්‍රීඩා කරලා සවස් කාලේ ‘භවත්නි, මං දැන් පිටත් වෙන්ට ඕනෑ. කුන්තායුධය ඉදිරියෙන් වැඩමවව්’ කියලා කිව්වා.
11. කුන්තායුධය භාරව කටයුතු කරන රාජසේවකයන්ට එය සොලවන්ට බැරිවුනා. එතැන එකතු වූ රාජසේනාව සුවඳ මල්වලින් සධාතුක කුන්තායුධයට පූජා පැවැත්තුවා.
12. මහත් ආශ්චර්යය දැකපු රජ්ජුරුවෝ ඉතා සතුටට පත් වුනා. කුන්තායුධයට රැකවල් දම්මවලා එතැනින් නුවරට පිවිසියා.
13. නොසැලී පිහිටි කුන්තායුධය වටකොට එහි චෛත්‍යයක් කෙරෙව්වා. ඒ චෛත්‍යය වටකොට විහාරයක් කෙරෙව්වා.
14. අපගේ දුටුගැමුණු රජ්ජුරුවෝ විහාර කර්මාන්තය තුන් අවුරුද්දකින් සම්පූර්ණ කළා. රජ්ජුරුවෝ විහාර පූජා පුණ්‍යෝත්සවයට සංඝයා රැස් කෙරෙව්වා.
15. ඒ පිංකමට එදා භික්ෂූන් වහන්සේලා ලක්ෂයක් වැඩියා. භික්ෂුණීන් වහන්සේලා අනූදහසක් වැඩියා.
16. එහි රැස් වූ මහා භික්ෂු සංඝයා වහන්සේට රජ්ජුරුවෝ මෙහෙම කිව්වා. ‘ස්වාමීනී, සංඝයාව සිහි නොකොට මං මිරිස්වැටියක් අනුභව කළා.
17. ඒ වරදට මට දඬුවමක් වේවා! යි කියලා ඉතා මනහර ලෙස චෛත්‍ය සහිතව මිරිසවැටි විහාරය කෙරෙව්වා.
18. අපගේ සංඝයා වහන්සේ මේ විහාරය පිළිගන්නා සේක්වා! කියලා ඉතා සතුටු සිතින් යුක්තව අතපැන් වක්කරලා භික්ෂු සංඝයා උදෙසා විහාරය පූජා කළා.
19. විහාරය ඇතුලෙත් එය අවටත් ඉතා අලංකාර මහා මණ්ඩපයක් කරවා එහි සංඝයා උදෙසා මහදන් පැවැත්තුවා.
20. අභය වැවේ ජල සීමාවේ පවා කණු සිටුවලයි මණ්ඩපය කෙරෙව්වේ. මණ්ඩපය හදන්ට එතැන තිබූ ඉඩකඩ පිළිබඳව වෙන කථා කුමට ද?
21. මහරජ්ජුරුවෝ ප්‍රණීත ආහාරපානාදියෙන් සත් දවසක් ම මහදන් දුන්නා. ඉතා වටිනාකමින් යුක්ත වූ, ශ්රමණයන් වහන්සේලාට යෝග්‍ය වූ සියලු පිරිකරත් පූජා කළා.
22. මුලසුනේ වැඩහුන් සංඝස්ථවිරයන් වහන්සේට පූජා කළ පිරිකර කහවනු ලක්ෂයක් වටිනවා. අවසාන පිරිකර කහවනු දහසක් වටිනවා. වැඩම කළ සියලු සංඝයාට පිරිකර ලැබුනා.
23. වියදමෙහි බිය වූ තැනැත්තාට දෙන්ට දානයක් නැත. මරණයෙහි බිය වූ තැනැත්තාට කරන්ට යුද්ධයක් නැත. යුද්ධයෙහි ත් දානයෙහිත් දෙතැන්හි ශූර වූ, ඉතා ශූර වූ රජ්ජුරුවෝ රතනත්‍රය පිළිබඳ ඉතා පැහැදීමෙන් යුක්තව නොකිලිටි සිතින් යුක්තව බුදු සසුන බබුලුවන චේතනාවෙන් ම යුක්ත වුනා.
24. කළගුණ දත් රජ්ජුරුවන් විසින් මිරිසවැටිය චෛත්‍යය තනවන්ට පටන් ගත් දා පටන් විහාර පූජාව දක්වා තුනුරුවන් උදෙසා පූජා කරන්ට යෙදුනු,
25. මෙහි පරිත්‍යාග කළ ධනය අනර්ඝ වස්තු අත්හැරලා අනිත් වියදම් එකතු කළ විට කහවනු දහනව කෝටියක් වෙනවා.
26. භෝග වස්තු හානි වෙන්ට භය පහක් තියෙනවා. ගින්නෙන් වන භය, ජලයෙන් වන භය, සොරුන්ගෙන් වන භය, රජුන්ගෙන් වන භය හා තමන් අකැමැති අයට තමන්ගේ දේපළ අයිතිවීමේ භය ය. ඉතින් සියලු භෝග සම්පත් වලට මේ පස්භය සාධාරණ වුනත් විශේෂ නුවණින් යුක්ත ජනයා හට භෝග සම්පත් ලැබුනු විට භෝගයන්ගෙන් ලබා ලබන මේ සාරවත් ගුණපස ලබාගන්නවා. එනම් බොහෝ දෙනාට ප්‍රිය වෙනවා. සත්පුරුෂයන්ගේ ඇසුර ලබනවා. තමන් පිළිබඳ යහපත් ගුණරාවයක් පැතිරෙනවා. ගිහියෙකු සතු ගුණදහම්වලින් බැහැර නොවී ඉන්නවා. මරණින් මතු දෙවියන් අතර උපදිනවා. යනුවෙන් අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ කරුණු පහ අත්පත් කරගන්නවා. තමන් සතු භෝග සම්පත්වලින් මේ සාරවත් ගුණපහ ලබන්ට නුවණැත්තා උත්සාහ කරන්ට ඕනෑ.
සත්පුරුෂ ජනයන්ගේ ප්‍රසාදයත් සංවේගයත් ඇතිකරනු පිණිස කරන ලද මහාවංශයෙහි මිරිසවැටි මහාවිහාර පූජාව නම් වූ විසිහයවෙනි පරිච්ඡේදය යි.
Namo Buddhaya!