1. ඊටපසු දුටුගැමුණු මහරජ්ජුරුවෝ කහවණු ලක්ෂයක් වියදම් කරවා උතුම් වූ උදාර වූ මහාබෝධි පූජාවක් කෙරෙව්වා.
2. එතැනින් නගරයට පිවිසෙද්දී රුවන්වැලි මහා සෑ පිහිටන භූමියේ තමන් පිළිබඳ අනාගත වාක්‍ය ලියා පිහිටුවන ලද ගල් ටැඹ දැකල කලින් අසා තිබූ විස්තරත් මතක් වුනා.
3. මහා සෑය කරන්ට ඕනෑ කියල මහා සතුටකින් රාජප්‍රාසාදයට නැගලා රාත්‍රී බත් අනුභව කරලා සිරියහන් ගබඩාවේ සැතපිලා මෙහෙම සිතන්ට වුනා.
4. ‘ආක්‍රමණික දෙමළුන්ගෙන් රට බේරාගනිද්දි මගේ අතින් මේ ජනයා පීඩාවට පත් වුනා. ඒ නිසා ජනතාවගේ බදු බිල වැඩිකරන්ටත් බැහැ. මං ඒ බදු අය කිරීම් අත්හැරල,
5. මහා සෑය ගොඩ නංවද්දි ධාර්මිකව ගඩොල් සකසා ගන්නේ කොහොමද?’ මේ ආදී වශයෙන් සිතුවිල්ලේ පැටලී හුන් රජ්ජුරුවන්ගේ සිතුවිලි,
6. දැනගත් රාජඡත්‍රයෙහි අරක් ගත් දෙව්දුව දෙවියන් අතර මේ කාරණාව හඬ නගා කිව්වා. එය දැනගත් සක්දෙවිඳු විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයාට මෙහෙම කිව්වා.
7. ‘ගැමුණු රජ්ජුරුවෝ මහාසෑය ඉදිකරන්ට ගඩොල් සොයාගැනීම ගැන කල්පනා කරමින් ඉන්නවා. පුත්‍රය, ඔබ ගිහින් අනුරාධපුරයට යොදුනක් ඈතින් පිහිටි ගම්භීර නම් නදිය ආසන්නයේ
8. ගඩොල් මවන්ට’ කියල සක්දෙවිඳුන් විසින් පැවසූ කරුණ නිසා විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයා මෙහි ඇවිත් එතැන ගඩොල් මැව්වා.
9. පසුවදා උදයේ වැද්දෙක් දඩයම් බල්ලන් රැගෙන වනයට ගියා. එතකොට එහි භූමාටු දෙවියෙක් තලගොයෙකුගේ වේශයෙන් වැද්දාට පේන්ට සැලැස්සුවා.
10. තලගොයා පසුපස පන්නමින් ගිය වැද්දාට විස්කම් දෙව්පුතු මවන ලද ගඩොල් දකින්ට ලැබුනා. තලගොයා නොපෙනී ගියා. එතැන තිබූ ගඩොල් දෙස බලාගෙන වැද්දා මෙහෙම සිතුවා.
11. ‘අපගේ මහරජ්ජුරුවන් වහන්සේ මහා ස්ථූප රාජයෙකු කරවන්ට කැමැත්තෙන් ඉන්නවා නොවැ. මේක නම් උන්නාන්සේගේ අදහසට ගැලපෙන පඬුරක්. මං ගිහින් මේ බව දැනුම් දෙන්ට ඕනෑ.’
12. ජනතාවගේ යහපතට ප්‍රිය වූ රජ්ජුරුවෝ වැද්දා විසින් පවසන ලද ඒ ප්‍රිය වචනය අහලා මහත් සතුටට පත් වුනා. ඔහුට ගොඩාක් තෑගි භෝග දුන්නා.
13. අනුරාධපුරයේ ඉඳලා ඊසාන දිගට වෙන්ට යොදුන් තුනකට එහායින් ආචාරවිට්ඨි කියන ගමේ කිරිය දහසයක ප්‍රමාණ භූමියෙහි,
14. විවිධ ප්‍රමාණයෙන් යුක්ත රන් බිජු මතුවෙලා තිබුණා. ලොකුම ප්‍රමාණයේ රන් බිජු වියතක් පමණ ඇති. කුඩාම ප්‍රමාණයේ රන්බිජු අඟලක් පමණ ඇති.
15. රන් බිජුවලින් පිරී ගිය ඒ භූමිය දැකපු ගම්වැසියෝ තලියකට රන්බිජු පුරවාගෙන ගිහින් රජ්ජුරුවන්ට දැනුම් දුන්නා.
16. අනුරාධපුරයෙන් නැගෙනහිර පැත්තට වෙන්ට යොදුන් සතකින් එහා මහවැලි ගඟෙන් එතෙර තඹවිට ජනපදයේ තඹ ලෝහ බිජු මතුවෙලා තිබුණා.
17. ඒ ගමේ මිනිස්සු තළියකට තඹ ලෝහ බිජු පුරවා ගෙන ගිහින් රජ්ජුරුවන්ව බැහැදැක ඒ බව දැනුම් දුන්නා.
18. අනුරාධපුරයේ සිට ගිනිකොණ පැත්තට වෙන්ට යොදුන් සතරක දුරින් සමන්වැව නමැති ගමේ බොහෝ මැණික් මතු වුනා.
19. එතකොට ඒ ගමේ මිනිස්සු විදුරුමිණි, පද්මරාග මිණි ආදී බොහෝ මැණික් තළියක පුරවාගෙන ගිහින් ඒ බව රජ්ජුරුවන්ට දැනුම් දුන්නා.
20. අනුරාධපුරයට දකුණු පැත්තට වෙන්ට යොදුන් අටකට එහායින් අම්බට්ඨකෝල නම් ජනපදයේ ලෙණක රිදී මතුවෙලා තිබුණා.
21. අනුරාධපුර නගරවාසී එක් වෙළෙන්දෙක් බොහෝ ගැල් අරගෙන මලය රටින් ඉඟුරු කහ ආදිය ගෙනෙන්ට මලය රටට යමින් සිටියා.
22. ලෙණට නුදුරින් ගැල් නවත්වලා කෙවිටි වලට ලී කෝටු සොයමින් ඒ කන්දට ගොඩ වුනා.
23. සැළියක් පමණ විශාල වූ පැණි වරකා ගෙඩිය නිසා ඒ බරට ගහේ අත්ත නැවිලා ගලක් මතට හේතු වෙලා තිබුණා. ඒ කොස් ගසත්, ගල මත තිබුනු වරකා ගෙඩියත් දැකලා
24. පිහියකින් නැට්ට කපා ඒ ඉදුනු වරකා ගෙඩිය දැකලා මෙහි අග්‍ර කොටස සංඝයාට පූජා කරන්ට ඕනෑ කියලා සිතුවා. ‘ස්වාමීනී, දානයට මෙහි වඩින සේක්වා!’ කියලා ශ්‍රද්ධාවෙන් හඬ නගා කාල ඝෝෂාව කළා. රහතන් වහන්සේලා සතර නමක් එතැනට වැඩියා.
25. සතුටට පත් වෙළෙන්දා උන්වහන්සේලාට වන්දනා කරලා ආදරයෙන් වඩා හිඳෙව්වා. පිහියෙන් නැට්ට වටේට කපලා වහල්ල,
26. ගලවලා ඒ වලේ පිරී ගිය වරකා පැණි යුෂ පාත්‍රවලට ගත්තා. ඒ පාත්‍ර සතර වරකා පැණි යුෂයෙන් පුරවා උන්වහන්සේලාට පූජා කළා.
27. උන්වහන්සේලා ඒවා රැගෙන වැඩම කළා. එතකොට වෙළෙන්දා ආයෙමත් ‘ස්වාමීනී, දානයට මෙහි වඩින සේක්වා!’ කියලා කාලඝෝෂාව කළා. වෙනත් රහතන් වහන්සේලා සතර නමක් එතැනට වැඩියා.
28. වෙළෙන්දා උන්වහන්සේලාගේ පාත්‍රා රැගෙන පැණිවරකා මදුළුවලින් පුරවා උන්වහන්සේලාට පූජා කළා. එතැනින් තුන් නමක් වැඩියා. එක් නමක් නතර වුනා.
29. ඒ වෙළෙන්දාට ලෙණේ තිබුනු රිදී පෙන්නන්ට ඕනෑ නිසා එතැනින් පහළට වැඩම කරලා ලෙණ ආසන්නයේ වැඩ හිඳ පැණිවරකා මදුළු වැළඳුවා.
30. වෙළෙන්දාත් ඉතිරි වරකා මදුළු ඇති තරම් අනුභව කරලා තව ඉතුරු වරකා පොදියකට ගැට ගසා ගෙන යන්ට සූදානම් වෙද්දී එක් නමක් නොවැඩිය වග පා සටහන්වලින් දැක්කා. ‘අනිත් තුන්නම වැඩියා. මුන්වහන්සේ නොවැඩියේ මොකද?’ කියලා තෙරුන් වහන්සේගේ පියවර සටහන් ඔස්සේ ගියා.
31. තෙරුන් වහන්සේ වැඩ ඉන්නවා දැක්කා. දැකලා උන්වහන්සේට වතාවත් කළා. තෙරුන් වහන්සේ ලෙණ දොරෙන් ඔහුට යන්ට පාරක් මැව්වා.
32. ‘පින්වත් උපාසකය, ඔබටත් දැන් මේ මාර්ගයෙන් යන්ට පුළුවන් නොවැ’ කියලා වදාළා. තෙරුන් වහන්සේ වන්දනා කරලා වෙළෙන්දා ඒ මාර්ගයෙන් යද්දී ලෙණ දැක්කා.
33. ලෙණ දොර ඉදිරියේ සිටිය ඔහු රිදී කඳ දැකලා පිහියෙන් තුවාල කොට ඒවා රිදී බව දැනගත්තා.
34. එතැනින් ලොකු රිදී පිඬක් අරගෙන තමන්ගේ ගැල් ළඟට ගිහින් ගැල් එතැනම නවත්තලා රිදී පිඬත් අරගෙන,
35. ඉක්මනින් ම අනුරාධපුරයට සේන්දු වුන උතුම් වෙළෙන්දා රජ්ජුරුවන්ව බැහැදැකලා රිදී පිඬ පෙන්නලා විස්තර දැනුම් දුන්නා.
36. අනුරාධපුරයෙන් බටහිර පැත්තට වෙන්ට යොදුන් පහකින් එහා උරුවෙල් පටුනේ විශාල නෙල්ලි ගෙඩි තරමේ මුතු ත්,
37. ඒවා සමඟින් ම පබළුත් කරත්ත හැටක ප්‍රමාණයකින් වෙරළට ගොඩ ගසා තිබුණා. මාළු අල්ලන මිනිස්සු ඒවා විමසා බලා එක් තැනකට ගොඩ ගැසුවා.
38. ඔවුන් ඒ මුතුත් පබළුත් භාජනයකට පුරවා ගෙන ගිහින් රජ්ජුරුවන් බැහැදැකලා ඒවායේ විස්තර දැනුම් දුන්නා.
39. අනුරාධපුරයෙන් උතුරු පැත්තට වෙන්ට යොදුන් සතකින් එහා පේළිවාපික කියන ගම්මානේ වැවට පිවිසෙන බෑවුමේ,
40. වැල්ල මත මිරිස් ගල් ප්‍රමාණයේ දියබෙරලිය මල් පැහැය බඳු තද නිල් පාටින් යුතු අතිසුන්දර වූ උතුම් නිල් මැණික් සතරක් පහළවෙලා තිබුණා.
41. ඒ මැණික් දැකපු බලුවැද්දෙක් රජ්ජුරුවන්ව බැහැදැකලා ‘මං මෙබඳු වූ මහා මැණික් සතරක් දැක්කා’ කියා දැනුම් දුන්නා.
42. මහා පින් ඇති, මහා නුවණැති අපගේ දුටුගැමුණු රජ්ජුරුවෝ මහා සෑය පිණිස උපන් ගඩොල් ආදී සෑම වස්තුවක් ගැන ම තොරතුරු එක දවසක් ඇතුළත ම දැනගත්තා.
43. සතුටට පත් රජ්ජුරුවෝ ඒ ඒ වස්තුව ගැන තොරතුරු ගෙනා පිරිසට සුදුසු අයුරින් සත්කාර සංග්‍රහ කරලා ඔවුන් ම ඒ වස්තුවල ආරක්ෂකයන් කරවා ඒ සියලු වස්තුව ගෙන්නවා ගත්තා.
44. ශරීරයට ලැබෙන ඉවසිය නොහැකි පීඩාවන් පවා මෙනෙහි නොකොට පහන් සිතින් රැස්කළ පින් බලයෙන් යුතු දුටුගැමුණු රජ්ජුරුවන්ට මහාසෑය කරවන්ට පින් බලයෙන් වස්තුව ලැබුනු අයුරු සිහිකොට සැප ලබාදෙන පින් ම යි සිය ගණන් කරන්ට ඕනෑ. එනිසා අපිත් පහන් සිතින් යුක්තව පින් ම යි කරන්ට ඕනෑ.
සත්පුරුෂ ජනයන්ගේ ප්‍රසාදයත් සංවේගයත් ඇතිකරනු පිණිස කරන ලද මහාවංශයෙහි රුවන්වැලි මහාසෑය උදෙසා පහළ වූ වස්තු ලාභය නම් වූ විසිඅටවෙනි පරිච්ඡේදය යි.
Namo Buddhaya!!!