1. අපගේ දුටුගැමුණු මහරජ්ජුරුවෝ “ස්වාමීනී, යම් දවසක මහා සෑයේ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ වෙයි ද, එතෙක්ම කල් මාගේ දානය පිළිගන්වා සේක්වා!” කියලා සියලු සංඝයාට වන්දනා කොට ආරාධනා කළා.
2. එපමණ කාලයක් දානයට ඇරයුම් කිරීම භික්ෂූන් වහන්සේලා පිළිගත්තේ නෑ. රජ්ජුරුවෝ අනුක්‍රමයෙන් කාලය අඩුකරමින් “අඩු ගණනේ සත්දවසක්වත් දානය
පිළිගන්නා සේක්වා!” කියලා ඇරයුම් කළා. සත්දවසක ආරාධනය සංඝයා වහන්සේ පිළිගෙන වදාළා.
3. එදා රැස් වූ භික්ෂූන් වහන්සේලාගෙන් අඩක් පමණ භික්ෂූන් තමන්ගේ දවස් හතක දානයට ලැබුනා. මහත් සතුටට පත් රජ්ජුරුවෝ චෛත්‍යභූමිය වටේ දහඅට පොළක,
4. මණ්ඩප තනවා එහි සංඝයා වඩම්මලා සත් දවසක් සඟ සතු මහා දානයක් පැවැත්තුවා. ඊට පස්සේ සංඝයාට ආපසු වඩින්ට සැලැස්සුවා.
5. ඊට පස්සේ ඒ රජ්ජුරුවෝ අඬබෙර ගස්සවලා ඉක්මනින්ම උළු වඩුවන් රැස් කෙරෙව්වා. උළු ගඩොල් හදන්ට දන්න බාස්වරු පන්සියයක් පමණ ආවා.
6. “තොප මහා සෑය ඉදිකරන්ට ගඩොල් හදන්නේ කොහොමද?” කියලා රජ්ජුරුවෝ එක් වඩුවෙකුගෙන් ඇසුවා. “මං කම්කරුවන් සියයක් ලබාගෙන, මැටි ගැලකුත් ලබාගෙන,
7. ඒ ගැලේ මැටි එකදවසින් ඉවරවෙන තුරු ගඩොල් සදන්නම්” කියලා කිව්වා. රජ්ජුරුවෝ ඔහුව වැළැක්කුවා. තව කෙනෙක් ගැල් භාගයක වැඩ දවසින් කරන්නම් කිව්වා. තව වඩුවෙක් ගැල් කාලක මැටිවැඩ දවසින් කරන්නම් කිව්වා. තව වඩුවෙක් අමුණු දෙකක මැටියෙන් දවසක වැඩ කරන්නම් කිව්වා.
8. රජ්ජුරුවෝ ඒ උළුබාස්වරු සතර දෙනාම වැළැක්කුවා. එතකොට එතන සිටිය නුවණැති ව්‍යක්ත සිරිවඞ්ඪක නමැති උළුබාස් රජ්ජුරුවන්ට මෙහෙම කිව්වා.
9. “වංගෙඩියේ දාලා කොටවලා, කුල්ලෙන් පොළවලා, මිරිස් ගලේ දාලා අඹරවලා ගන්න එක් අමුණක මැටියෙන් මං දවසක වැඩ කරන්නම්.
10. එහෙම හදන චෛත්‍යයේ තණකොළ ආදිය වැවෙන්නේ නැතුව යනවා” කියලා ඔහු කිව්වා. සක් දෙවිඳු හා සමාන මහත් වීරියකින් යුක්ත වූ රජ්ජුරුවෝ ඔහුගේ අදහස පිළිගත්තා.
11. “හොඳයි! තොප කොයි ආකාර හැඩයකින්ද මහා සෑය කරන්ට සිතාගෙන ඉන්නේ?” කියලා උළුබාස්ගෙන් ඇසුවා. එසැණින්ම විස්කම් දෙව්පුතු ඔහුට ආවේශ වුනා.
12. විස්කම් දෙව්පුතුගේ බැල්මෙන් යුක්ත වූ ඒ උළුබාස් රන්පාත්‍රයකට වතුර පුරවලා තමන් අතට වතුර පතක් අරගෙන තලියේ වතුර මතට පහර දුන්නා.
13. පළිඟු බෝලයක් වගේ මහා ජලබෝලයක් පැනනැංගා. “දේවයන් වහන්ස, මේන්න මේ විදිහේ සෑයක් මං කරන්නේ” කියලා කිව්වා. රජ්ජුරුවෝ ඔහු ගැන ගොඩාක් සතුටු වුනා.
14. කහවණු දහසක් වටිනා වස්ත්‍ර යුගලකුත්, රන් කැටයම් දැමූ කහවණු දහසක් වටිනා මිරිවැඩි සඟලකුත්, කහවණු දොළොස් දහසකුත් ඔහුට ලැබෙන්ට සැලැස්සුවා.
15. “මං කොහොමද මිනිස්සුන්ව පීඩාවට පත්නොකර සෑය හදන තැනට ගඩොල් ගෙන්නවාගන්නේ?” කියලා එදා රාත්‍රියේ රජ්ජුරුවෝ කල්පනා කළා. එය දැනගත් දෙවිවරු,
16. චෛත්‍යරාජයා ඉදිවන භූමියේ සතර දොරටුවේ එක එක දවසට සෑහෙන පමණට ගඩොල් රෑට රෑට ගෙනැවිත් තැබුවා.
17. දෙවියන් විසින් චෛත්‍ය භූමියට ගඩොල් ගෙනෙන බව ඇසූ රජ්ජුරුවෝ මහත් සතුටට පත්වුනා. මහාසෑයේ ඉදිකිරීම් පටන් ගත්තා. කවුරුවත් මහා සෑයේ වැඩකරද්දී පඩි නොගෙන කරන්ට එපා කියලා අඬබෙර ගස්සවා දැනුම් දුන්නා.
18. එක එක දොරටුවෙන් කහවණු දහසය ලක්ෂය බැගින් තැබ්බෙව්වා. බොහෝ වස්ත්‍රත් තැබ්බෙව්වා.
19. නොයෙක් අයුරු වූ පළඳින අලංකාර ආභරණත්, ප්‍රණීත ආහාරපානත්, අෂ්ටපාන වර්ගත්, සුවඳ මල්, උක් හකුරු ආදියත්, මුව සුවඳ කරන පස් වර්ගයකින් යුතු බුලත්විටත්,
20. මහා සෑයේ ඉදිකිරීම් වැඩට කැමති පරිදි උදව්වෙලා මේවා කැමති පරිදි ගනිත්වා!” කියලා තැබ්බෙව්වා. රාජපුරුෂයෝ ඒ විදිහටම ඒවා ඔවුන්ට ලැබෙන්ට සැලැස්සුවා.
21. මහා සෑය ඉදිකිරීමේ කටයුත්තට සහයවෙන්ට කැමති එක්තරා භික්ෂුවක් තමන්ගේ අතින්ම සකස් කළ මැටි පිඬක් අරගෙන,
22. මහාසෑය ඉදිවන තැනට වැඩම කරලා රාජපුරුෂයන්ව රවටා එය උළුබාස්ට දුන්නා. ඒක අතට ගනිද්දී ඔහුට තේරුම් ගියා,
23. මේ මැටි පිfඬ් හැඬේ කිසියම් වෙනසක් තියෙන බව. ඒ ගැන සැකයක් ඇතිවෙලා ඒ ගඩොල පූජා කළ භික්ෂුවගේ හැඩරුව හොඳින් මතක තබාගත්තා. මෙය ක්‍රමයෙන් රජ්ජුරුවන්ටත් අහන්ට ලැබුනා. රජ්ජුරුවෝ ඇවිත් උළුබාස්ගෙන් ඇහුවා.
24. “දේවයන් වහන්ස, එක් අතකින් මලක් අරගෙන, අනිත් අතින් මැටි පිඬ අරගෙන වැඩලා මට දෙද්දී මං වනාහී,
25. මේ භික්ෂුව ආගන්තුක භික්ෂුවක් ද, නේවාසික භික්ෂුවක් ද කියා දන්නේ නෑ. නමුත් දේවයන් වහන්ස, මට ඒ භික්ෂුව හඳුනාගන්ට නම් පුළුවනි” කිව්වා. එය ඇසූ රජ්ජුරුවෝ,
26. මැටි දුන් භික්ෂුව පෙන්වනු පිණිස එක් යුදභටයෙකුව යොමු කළා. උළුබාස් යුදභටයාට ඒ භික්ෂුව පෙන්නුවා. ඔහු ඒ බව රජ්ජුරුවන්ට දැනුම් දුන්නා.
27. රජ්ජුරුවෝ දෑසමන් පොහොට්ටු පුරවපු නැවුම් කළගෙඩි තුනක් සුවඳ වර්ගත් සමඟ මහා බෝ මළුවේ තබ්බවලා යුදභටයා ලවා ඒ භික්ෂුවට ලබාදුන්නා.
28. “ස්වාමීනී, අපගේ රජ්ජුරුවන් වහන්සේ මේවා පිළියෙල කර තිබෙන්නේ ආගන්තුකව වඩින භික්ෂූන් වහන්සේලාට’ කිව්වා. එතකොට ඒ භික්ෂුව ඒවා පිළිගත්තා. මෙය මහා සෑයේ මැටි පූජාවේ හිලව්වට දුන් දේ බව නොදත් ඒ භික්ෂුව විසින් ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා පවත්වලා සතුටින් සිටගෙන සිටියා. එතකොට රාජභටයා ‘මේ මහා සෑයේ වැටුප් නොගෙන මැටි පිඬක් දුන්නාට අපගේ රජ්ජුරුවෝ දුන් පඩියකි!’ කියලා කිව්වා. භික්ෂුව එතකොටයි එය දැනගත්තේ.
29. කොට්ඨවාල ජනපදයේ පියංගල්ලවාසී තවත් තෙරුන් වහන්සේ නමක් චෛත්‍ය කර්මාන්තයට සහය වෙන්ට ආසාවෙන් හිටියා.
30. ඒ තෙරුන් උළුබාස්ගේ ඤාතියෙක්. ඉතින් ඒ භික්ෂුව මහා සෑය ලඟට වැඩම කරලා ඒ ගඩොල්වල හැඩරුව හොඳින් බලාගෙන ගිහින් ඒ විදිහටම ගඩොලක් හදාගෙන ආවා.
31. කම්කරුවන්ව රවට්ටලා ඒ භික්ෂුව එක් අතකින් රජුගේ ගඩොලත්, අනිත් අතින් තමන්ගේ ගඩොලත් ගෙනැවිත් උළුබාස්ට ඒ ගඩොල දුන්නා. උළුබාස් ඒ ගඩොලත් වහාම චෛත්‍යයට යෙදෙව්වා. අනිත් අය මෙය දැනගෙන එතැන ආරවුලකුත් ඇතිවුනා.
32. රජ්ජුරුවන්ටත් මෙය අසන්ට ලැබුණා. රජ්ජුරුවෝ උළුවඩුවාගෙන් ඇහුවා, “ගඩොල හඳුනාගන්ට පුළුවනිද?” කියලා. ඔහුට ඒ ගඩොල හඳුනාගන්ට පුළුවන්කම තියෙද්දී හඳුනාගන්ට අමාරුයි කිව්වා.
33. ‘තොප ඒ තෙරුන් වහන්සේ දන්නවාද?’ යි ඇසූ විට ‘එසේය, දේවයන් වහන්ස’ කියලා පිළිතුරු දුන්නා. එතකොට රජ්ජුරුවෝ ඒ භික්ෂුව හඳුනාගැනීමට යුදභටයෙකු යෙදෙව්වා.
34. උළුබාස් දුන් තොරතුරු අනුව යුදභටයා ඒ භික්ෂුව සිටින තැන දැනගත්තා. රජ්ජුරුවන්ගේ උපදෙස් පරිදි කට්ඨහාල පිරිවෙනට ගිහින් ඒ භික්ෂුව දැක හිතවත්ව කතාබස් කළා.
35. තෙරුන් පියංගල්ල විහාරයෙන් වැඩි බවත්, නැවත එහි වඩින බවත් දැනගත්තා. “මාත් ඔබවහන්සේලා සමඟ මගේ ගමට යන ගමන් එනවා” කියලා,
36. මේ සියලු විස්තර රජ්ජුරුවන්ට කිව්වා. රජ්ජුරුවෝ යුදභටයාට කහවණු දහසක් වටිනා වස්ත්‍ර යුගලකුත්, මාහැඟි රන් කම්බිලයකුත්,
37. ශ්‍රමණයන් වහන්සේලාට ගැලපෙන තවත් පිරිකරත්, බොහෝ සූකිරිත්, සුවඳ තෙල් නැළියකුත් දීලා ඔහුට උපදෙස් දුන්නා.
38. එතකොට ඔහු තෙරුන් වහන්සේ සමඟ පියංගල්ලට ගියා. තෙරුන් වහන්සේව සීතල සෙවණැල්ල තියෙන, සිහිල් දිය තියෙන තැනක වඩා හිඳෙව්වා.
39. සූකිරි දැමූ පැන් වැළඳෙව්වා. පාවල තෙල් ගැල්ලුවා. උන්වහන්සේගේ දෙපාවලට පාවහන් පළඳවා පිරිකර පූජා කරගත්තා.
40. ‘ස්වාමීනී, මේවා මං කුළුපග තෙරනමකටයි ගත්තේ. මේ වස්ත්‍ර යුගල මාගේ පුතුටයි ගත්තේ. මං මේ හැමදේම තමුන්නාන්සේට පූජා කරනවා.’
41. මෙහෙම කියා ඒ සියල්ල පූජා කළා. උන්වහන්සේලා ඒවාත් රැගෙන වඩින වෙලාවේ වන්දනා කොට රජ්ජුරුවන්ගේ වචන උන්වහන්සේලාට පවසා සිටියා.
42. මහාසෑය ඉදිකරන කාලයේ එහි බැලමෙහෙවර කළ කම්කරු ආදී බොහෝ ගණන් මිනිස්සු තුනුරුවන් කෙරෙහි සිත පහදවා ගැනීම හේතුවෙන් සුගතියෙහි උපන්නා.
43. භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ස්ථූපය ඉදිකිරීම ගැන සිත පහදවා ගත් පමණින් සුගතියෙහි ඉපදීම ලැබුවා නොවැ කියලා නුවණැත්තා අවබෝධයෙන්ම ස්ථූප පූජාව කරන්ට ඕනෑ.
44. මේ මහා සෑය ඉදිකරවද්දී බැලමෙහෙ කළ ස්ත්‍රීන් දෙදෙනෙක් තව්තිසාවේ උපන්නා. මහා සෑයේ කටයුතු නිමවීමෙන් පස්සේ,
45. ඒ දෙන්නා තමන් පෙර ආත්මයේ කරන ලද පින්කම් සිහිකොට එහි විපාකත් දැකගන්ට ලැබුණු නිසා සුවඳ මල් ආදිය අරගෙන මහා සෑය වැඳුම් පිදුම් කරන්ට ආවා.
46. සුවඳ මලින් මහා සෑයට පූජා පවත්වලා ආදරයෙන් මහා සෑය වන්දනා කළා. එකෙණෙහිම භාතිවංක විහාරවාසී මහාසිව මහරහතන් වහන්සේ,
47. රාත්‍රී කාලයේ මහා සෑය වන්දනා කරන්ට ඕනෑ කියලා වැඩම කළා. ඒ දේවතාවුන් දැකපු උන්වහන්සේ මහා රුක්අත්තන වෘක්ෂයට මුවාවෙලා වැඩසිටියා.
48. තමන් වහන්සේ එසේ නොපෙනී සිට ඈලාගේ අද්භූත දිව්‍ය සම්පත් දැකලා ඈලාගේ වන්දනාව අවසානයේ මෙහෙම ඇහුවා.
49. “දේවතාවියෙනි, ඔබ දෙදෙනාගේ ශරීරාලෝකයෙන් මේ මුළු ලංකාද්වීපයම එළිය වැටුනා. මනුස්ස ලෝකයේ සිට දෙව්ලොව ගියේ මොන විදිහේ පුණ්‍ය කර්මයක් කරලාද?”
50. “ස්වාමීනී, අපි මේ මහා සෑයේ ඉදිකිරීම් වලට බැලමෙහෙවර කරලා ඒ පිනෙනුයි දෙවියන් අතරට ගියේ” කියලා ඒ දේවතාවියෝ පිළිතුරු දුන්නා. ඔය ආකාරයට අප භාග්‍යවතුන් වහන්සේ ගැන සිත පහදවා ගැනීම මහත්ඵලයෙන් යුක්තයි.
51. මහා සෑයේ තුන් මහල් පේසා වළලු දක්වා ගඩොල් බැඳලා අවසන් වෙද්දී ඉර්ධිමත් රහතන් වහන්සේලා ඒ සියල්ල පොළොව මට්ටමට ගිලෙන්ට සැලැස්සුවා.
52. ඔය විදිහට බඳින බඳින පේසා වළලු පොළොව මට්ටමට වාර නවයක් ගිල්ලෙව්වා. එතකොට දුටුගැමුණු රජ්ජුරුවෝ භික්ෂු සංඝයාව රැස් කෙරෙව්වා.
53. එතැනට භික්ෂූන් වහන්සේලා අසූ දහසක් පැමිණ වදාළා. රජ්ජුරුවෝ සංඝයා වෙත පැමිණිලා පූජා පවත්වලා, ආදරයෙන් වන්දනා කරලා,
54. මේ විදිහට බඳින බඳින ගඩොල් ගිලා බසින්නේ මක්නිසාද කියලා අසා සිටියා. “මහරජ්ජුරුවෙනි, අනාගතයේදී මහාසෑයේ ගිලාබැසීමක් නොවෙන්ට ඉර්ධිමත් භික්ෂූන් වහන්සේලා විසිනුයි නව වාරයක්ම ගිල්ලුවේ.
55. මහරජ්ජුරුවෙනි, ඒ කටයුත්ත සම්පූර්ණයි. දැන් ඉදිරියට එහෙම කෙරෙන්නේ නෑ. හිතේ වෙනස්කමක් ඇති නොකරගෙන මහා ස්ථූපයේ වැඩකටයුතු සමාප්ත කළ මැනැව.”
56. එය ඇසූ රජ්ජුරුවෝ ඉතා සතුටට පත්වෙලා මහා සෑයේ ඉදිකිරීම් කරගෙන ගියා. දහවතාවක් පේසා වළලු කරවන්ට දස කෝටියක ගඩොල් වැයවුනා.
57. භික්ෂු සංඝයා වහන්සේ උත්තර, සුමන යන ඉර්ධිමත් සාමණේරයන් හට “සාමණේරයෙනි, මහා සෑයේ ධාතු ගර්භය පිණිස ලා කහට හුරු රතු පැහැයෙන් යුතු මේද වර්ණ ගල්පුවරු,
58. අරගෙන එන්ට” කියලා ඒ කටයුත්තේ යෙදෙව්වා. ඒ සාමණේරවරු උතුරුකුරු දිවයිනට ගිහින් දිගත් පළලත් රියන් අසූවක් පමණ වූ, හිරු මඬල වගේ දිලිසෙන,
59. අඟල් අටක් ඝනකම තියෙන බඳුවදමල් පොකුරක් බඳු, පළුදු නැති මේදවර්ණ ගල් පුවරු සයක් රැගෙන වැඩියා. එයින්,
60. එකක් පේසා වළල්ලට උඩින් සෑය මැද ඇතිරුවා. ගල් පුවරු සතරක් සතර පැත්තේ පෙට්ටියක ආකාරයෙන් සතර බිත්තියක හැඩයෙන් සිටෙව්වා.
61. එකක් උඩින් වසාදමන්ට ඒ මහා ඉර්ධිමත් සාමණේරවරු ඒක නැගෙනහිර පැත්තට වෙන්ට කාටවත් නොපෙනෙන්ට තියලා තිබ්බා.
62. රජ්ජුරුවෝ ඒ ධාතු ගර්භය මැද හැම අයුරින්ම මනහර වූ මැණික්වලින් කළ බෝධි වෘක්ෂයක් කෙරෙව්වා.
63. බෝ අතු පහකින් යුතු ඒ මහා බෝ කඳ රියන් දහ අටක් උසයි. ඒ බෝධියේ මුල් හදා තිබුණේ පබළුවලින්. ඒ වගේ ම ඉඳුනිල් මැණිකෙන් කළ බිමකයි වඩා හිඳුවා තිබුණේ.
64. ඒ බෝධියේ කඳ පිරිසිදු රිදියෙන් හදලා තිබුණා. බෝපත් අලංකාර මැණික්වලිනුත්, ඉදී ගිය බෝපතුත් බෝ ගෙඩිත් රත්තරනින් කරලා, බෝ දළු පළිඟුවලින් කරවා තිබුණා.
65. ඒ බෝ කඳේ අෂ්ට මංගල ලකුණු, ලියවැල්, ඇත්, අස්, ගව, මහිස යන සිව්පාවුන් පෙළ, හංස වැළ යන මෙයිනුත් ලස්සන වුනා.
66. උඩින් අලංකාර වියනක් වගේ සිටින්ට මුතු කිංකිණි දැලක් කරවා තිබුණා. තැනින් තැන රන් සීනු වැල් එල්ලලා තිබුනා.
67. වියන සතර කොණින් මුතු වැටියෙන් සරසා තිබුණා. ඒ එක් එක් මුතු වැටියක් කහවණු නව ලක්ෂයක වටිනාකමින් යුක්තයි.
68. ඒ වියනේ හිරු මඬල, සඳ මඬල, තරු පෙළ, නොයෙක් පියුම් ආදිය මැණික් වලින්ම කරවා එල්ලලා තිබුණා.
69. ඒ වියනේ තැනින් තැන නා නා පාටින් යුක්ත මාහැඟි විවිධ වස්ත්‍ර එක්දහස් අටක් එල්ලා තිබුණා.
70. ඒ බෝ මැඬ වටකොට නොයෙක් මැණික්වලින් සැකසූ වේදිකාවේ ලොකු නෙල්ලි තරමේ මුතුවලින් අතුරා තිබුනා.
71. නොයෙක් මැණික්වලින් කළ මලුත්, සුවඳ වර්ග සතරක දියරින් පිරවූ පුන් කළස් හතරකුත් බෝ මුල තියලා තිබුණා.
72. බෝධියට නැගෙනහිරින් පනවන ලද ඉතා වටිනා ආසනයේ රැස් විහිදෙන රනින් කළ බුද්ධ ප්‍රතිමාවක් වඩා හිඳෙව්වා.
73. ඒ පිළිම වහන්සේගේ අඟපසඟ භාග්‍යවතුන් වහන්සේගේ රුවට ගැලපෙන අයුරින්ම ඒ ඒ තැනට යෙදූ වර්ණවත් මැණික් ගලින් සරසා ඉතා මනරම්ව තිබුනා.
74. ඒ පිළිම වහන්සේගේ හිසට උඩින් පිටුපසට වෙන්ට රිදියෙන් කළ ඡත්‍රයක් ඔසොවාගෙන මහා බ්‍රහ්මයා සිටියා. විජයුත්තර සංඛයෙන් අභිෂේක ජලය ඉසිමින් සක් දෙවිඳුත් එතැන සිටියා.
75. බේළුවපණ්ඩු වීණාව අතට ගත් පංචසිඛත් එතැන අඹලා තිබුණා. මහාකාල නාගරාජයා නාටක ස්ත්‍රීන් සමඟ අඹලා තිබුණා. දහසක් අත් ඇති මාරයාත් ගිරිමේඛලා ඇතුපිට නැගලා තමන්ට කීකරු මාරසේනාව සමඟ එතැන සිටින අයුරු අඹලා තිබුනා.
76. නැගෙනහිර පැත්තේ තැබූ ආසනය වගේම ආසන අනෙත් පැතිවලත් තනවා තිබුණා. කෝටි ගණන් වටිනා වස්තුව ඒ ආසන මත අතුරා තිබුනා.
77. බෝධිය පැත්තට හිස දමා නොයෙක් මැණික් කැටයමින් කරවන ලද කෝටි ගණන් වටිනා වස්තුව ඇතිරූ සයනයක් පනවා තිබුනා.
78. භාග්‍යවතුන් වහන්සේ සත් සතිය ගතකොට වදාළ තැන් ඒ ඒ තැනට සුදුසු පරිදි කරවා සහම්පතී බ්‍රහ්මරාජයා විසින් ධර්ම දේශනාවට කළ ඇරයුමත් අඹලා තිබුනා.
79. අප භාග්‍යවතුන් වහන්සේ දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරන ආකාරයත්, යස කුල පුත්‍රයා ප්‍රධාන පනස් හතරක් යහළුවන්ගේ පැවිදි වීමත්, භද්‍ර වර්ගීය කුමාරවරු තිස් දෙනාගේ පැවිදි වීමත්, ජටිල දමනයත්,
80. බිම්බිසාර රජ්ජුරුවෝ භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්ට පළමුවෙන් ලෂ්ටි වනයට පැමිණීමත්, භාග්‍යවතුන් වහන්සේ රජගහනුවරට වැඩම කිරීමත්, වේළුවනය
පිළිගැනීමත්, අසූ මහා ශ්‍රාවකයනුත් අඹලා තිබුනා.
81. කපිලවස්තුවට වැඩමවීමත්, ශාක්‍යයන්ගේ මානය බිඳින්ට අහසේ මැවූ රුවන් සක්මනින් ප්‍රාතිහාර්යය දැක්වීමත්, රාහුල කුමාරයා හා නන්ද කුමාරයා පැවිදි කිරීමත්, ජේතවනය පිළිගැනීමත්,
82. ගණ්ඩබ්බ නමැති අඹරුක මුල කරන ලද යමා මහ පෙළහරත්, තව්තිසාවේ දහම් දෙසීමත්, දෙව්ලොවින් සංකස්සයට බැසීමත්, සැරියුත් තෙරුන් විචාල ප්‍රශ්නයන්ට දහම් දෙසීමත්,
83. කපිලවස්තු මහා වනයේදී වදාළ මහා සමය සූත්‍රයත්, මහාරාහුලෝවාද සූත්‍රයත්, මහා මංගල සූත්‍රයත්, ධනපාල ඇත්රජු මුණගැසීමත්,
84. ආළවක දමනයත්, අංගුලිමාල දමනයත්, අපලාල නාගරාජ දමනයත්, පාරායන වර්ගයේ ආ බ්‍රාහ්මණයන් ගැන විස්තරත්, මාරයාගේ ඇරයුමින් චාපාල චෛත්‍යස්ථානයේදී ආයුෂ අත්හැරීමත්,
85. චුන්ද රන්කරුවාගෙන් අවසන් දානය පිළිගැනීමත්, පිරිනිවන්පාන්ට වඩිනා අතරමග පුක්කුස වෙළඳ පුත්‍රයාගෙන් රන්පට වස්ත්‍ර පිළිගැනීමත්, හොඳින් පෑදීගිය පැන් වැළඳීමත්, පිරිනිවන් පෑමත්,
86. දෙව් මිනිසුන්ගේ හඬා වැළපීමත්, මහා කස්සප මහරහතන් වහන්සේ විසින් භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී පාදයන් අවසාන වශයෙන් වන්දනා කිරීමත්, ආදාහන කෘත්‍යයත්, දරසෑය නිවී යාමත්, එතැනදී ධාතූන් වහන්සේලාට ලැබුණු පූජා සත්කාරත්,
87. ද්‍රෝණ බමුණා මුල් වී ධාතු බෙදා දීමත් නිර්මාණය කළ, පිරිසිදු වංශයක උපන් අපගේ දුටුගැමුණු මහරජ්ජුරුවෝ තවත් බොහෝ ප්‍රසාදය උපදවන ජාතක කථාත් නිර්මාණය කෙරෙව්වා.
88. වෙස්සන්තර ජාතකය විස්තර වශයෙන් කෙරෙව්වා. තුසිත දෙව්ලොව දී මනුලොව උපත ලබා බුදුබව ලැබීම පිණිස දෙවියන්ගෙන් ලැබුණු ආරාධනාවේ පටන් බෝ මැඬදී බුදු වීම දක්වාත් බෝසත් සිරිත අඹවලා තිබුණා.
89. සතර දිශාවේ සතර වරම් දෙව්මහරජවරු අඹවා තිබුණා. තිස් තුනක් වූ දිව්‍ය පුත්‍රයන්වත්, දෙතිසක් වූ දිව්‍යාගංනාවනුත් අඹවලා තිබුනා.
90. විසි අටක් වූ යක්ෂ සෙන්පතියන්ව ද, ඊට උඩින් ඇඳිලි බැඳ වන්දනා කරගෙන සිටින දෙවිවරුත්, පිපී ගිය මල් පිරවූ පුන්කළසුත් කරවා තිබුනා.
91. නටන්නා වූ දේවතාවියොත්, තූර්යවාදන කරන්නා වූ දේවතාවියනුත්, කැඩපත් අතින් ගත් දෙවිවරුත්, පිපී ගිය මල් අතු අතින් ගත් දෙවිවරුත් අඹලා තිබුනා.
92. පිපී ගිය නෙළුම් අතින් ගත් දෙවිවරුත්, නොයෙක් අයුරින් සිටින්නා වූ දෙවිවරුත්, මැණික්වලින් සරසන ලද කණුත්, ඒ මත කළ ධර්ම චක්‍රයන් ද හදලා තිබුනා.
93. කඩු අතින් ගත් දෙවිවරු පේළි වශයෙනුත්, පාත්‍ර හිස මත තබාගත් දෙවිවරුන්වත් අඹලා තිබුණා. ඒ දෙවියන්ගේ හිස මත තිබූ පාත්‍රය රියන් පසක් පමණ විශාලයි. එය සුවඳ තෙලින් පුරවා තිබුනා.
94. සිනිඳු දුහුල් පට වස්ත්‍රයෙන් කළ පහන් වැටිත්, ඒ සුවඳ පාත්‍රා මත දමලා හැම තිස්සේම දැල්වෙමින් තිබුණා. සතර කොණේ අනර්ඝ වූ පළිඟු කැටයමින් කළ එකක් එකක් පාසා කණු මත මහා මැණික බැගින් තිබුනා.
95. රන්, මැණික්, මුතු, දියමන්ති ගොඩවල් ඒ ධාතු ගර්භයේ සතර කොනේ තැබීමෙන් ප්‍රභාෂ්වර එළියක් නිකුත් වුනා.
96. ඒ එළිය මේදවර්ණ ගල් බිත්තියෙහි වැදී ධාතු ගර්භය තුළට විදුලි එළියක් ඇතුලු වූවාක් මෙන් ශෝභාසම්පන්න වුනා.
97. රජ්ජුරුවෝ මේ මනරම් ධාතු ගර්භයෙහි නිර්මාණය කළ හැම රූපයක්ම ඝන රත්තරනින් කෙරෙව්වේ.
98. ෂඞ් අභිඥාලාභී මහා නුවණැති ඉන්දගුත්ත මහරහතන් වහන්සේ මේ උතුම් ධාතු ගර්භයේ සියලු කටයුතුභාරව වැඩසිට සියල්ල මැනැවින් සම්පූර්ණ කොට වදාළා.
99. මේ ධාතු ගර්භයේ කෙරුණු සියලු නිර්මාණ, සියලු පුද පූජා ද්‍රව්‍යයන් ආදී සෑම දෙයක්ම මහා පින් ඇති අපගේ දුටුගැමුණු රජ්ජුරුවන්ගේ රාජ ඉර්ධියෙනුත්, දෙවියන්ගේ දිව්‍ය ඉර්ධියෙනුත්, රහතන් වහන්සේලාගේ අරහත් ඉර්ධියෙනුත් කිසි බාධාවකින් තොරව සම්පූර්ණත්වයට පත්වුනා.
100. අවිද්‍යා අන්ධකාරය නසා ප්‍රඥාවෙන් යුක්ත වූ, ලෝකයෙහි උත්තම වූ, දෙව්මිනිසුන් අතර අතිශයින්ම පිදීමට යෝග්‍ය වූ අපගේ සුගත වූ භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩසිටියදී උන්වහන්සේට වන්දනා කිරීමෙන් රැස්වෙන යම් පිනක් ඇද්ද, ජනතාවගේ හිතසුව පිණිස උන්වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පස්සේ කුඩා කැබලි වලට කැඩී ගිය ධාතූන් වහන්සේලාත්, ඒ සර්වඥ ධාතු පිහිටි රුවන්වැලි මහා සෑය වැනි ස්ථූප පිදීමෙන් රැස් කරන්නා වූ යම් පිනක් ඇද්ද, ඒ පිනත් පුණ්‍යානුභාවයෙන් එක සමාන ය. එනිසා ශ්‍රද්ධාදී ගුණධර්මයෙන් යුක්ත තැනැත්තා ජීවමාන බුදුරජාණන් වහන්සේට වන්දනා කරන සෙයින් ධාතූන් වහන්සේලාටත් පූජා පවත්වන්ට ඕනෑ.
සත්පුරුෂ ජනයන්ගේ ප්‍රසාදයත් සංවේගයත් ඇතිකරනු පිණිස කරන ලද මහාවංශයෙහි රුවන්වැලි මහාසෑ ගර්භය නිර්මාණය කිරීම නම් වූ තිස්වෙනි පරිච්ඡේදය යි.
Namo Buddhaya!!!
Ane apith wasanawantha una Kalyana mithrayan Wahanseta pin siduwannata
Me Minis jiwithaya yahapatha akarayen gathakarannata.
Theruwan Sarana yannata
Uthum Daham padha igenagannata
Dharmanukulawa Guna Daham purudui kara kusal wadannata.
Me hama kusalayakinma Oba wahanselata kisidu pramadayakin thorawa Uthum Niwan Maga boho dura nowannata samada sihikara pin anumodam karami.
Theruwan Saranai!!!