1. දුටුගැමුණු රජ්ජුරුවන්ගේ රාජ්‍ය කාලයේ මහජනතාව සියලු උපභෝග පරිභෝග සම්පත් ඇතුව වාසය කළා. ඒ අපගේ රජ්ජුරුවන්ට සාලි රජකුමාර නමින් ප්‍රසිද්ධියට පත්වුණු පුත් කුමාරයෙක් සිටියා.
2. අතිශයින්ම රූප සම්පත්තියකින් යුක්ත වූ මහා පින් ඇති මේ සාලි කුමාරයා නිරතුරුවම පුණ්‍ය කටයුතුවල ඇලී වාසය කළා. ඉතා මනහර රූපයක් තිබුණු සැඩොල් කෙල්ලකට මේ කුමාරයාගේ සිත තදින් බැඳී ගියා නොවැ.
3. පෙර ආත්මයේ ස්වාමියා – බිරිඳ වශයෙන් වාසය කරමින් බොහෝ පින් කොට තිබුණු නිසා ඒ අශෝකමාලා දේවියට තදින් බැඳී ගියා. පිය රජ්ජුරුවන්ගේ අභාවයෙන් පස්සේ රාජ්‍ය භාරගන්ට කියා ඇමතිවරුන් ඉල්ලා සිටියත් චාරිත්‍රානුකූලව කරන රාජවංශයේ අභිෂේකයේදී ක්ෂත්රිය කුමාරිකාවක් මෙහෙසිය ලෙස අභිෂේක කළ යුතු නිසා සැඩොල් කුලයේ උපන් අශෝකමාලා වෙනුවෙන් සාලි කුමාරයා රජකම අත්හැරියා.
4. සාලි කුමාරයා රාජ්‍යය භාරගන්ට අකමැති වූ නිසා දුටුගැමුණු රජ්ජුරුවන්ගේ සොයුරු සද්ධාතිස්ස කුමාරයා රාජ්‍යයේ අභිෂේක කළා. දහඅට අවුරුද්දක් ලංකා රාජ්‍යය කළා.
5. තමන් තුළ ඇති ශ්‍රද්ධාව නිසාම ඔහුට සද්ධාතිස්ස යන නම ලැබුනා. ඉතින් අපගේ සද්ධාතිස්ස රජ්ජුරුවෝ මහාසෑයේ ඡත්රය පැළැන්දෙව්වා. සුදු හුණු ආලේප කිරීමත්, ඇත් පවුරත් කෙරෙව්වා.
6. ඉතා අලංකාරව කරන ලද ලෝවාමහා ප්‍රාසාදය මීයෙකු විසින් පෙරලන ලද පහනක් නිසා දැවී ගියා. සද්ධාතිස්ස රජ්ජුරුවෝ ආයෙමත් ලෝවාමහාප්රාසාදය සත් මහල් කොට කෙරෙව්වා.
7. ඒ කාලයේ ප්‍රාසාදය කහවණු අනූ ලක්ෂයක වටිනාකමකින් යුක්ත වුනා. සද්ධාතිස්ස රජ්ජුරුවෝ දක්ඛිණගිරි විහාරයත්, කල්ලකා ලෙනත් කෙරෙව්වා.
8. කලම්බක විහාරයත්, ඒ වගේම පෙතඟවැලි විහාරයත්, වෙළඟවැටිය විහාරයත්, දිඹුල්වෑතිස් විහාරයත් කෙරෙව්වා.
9. දූරතිස්ස වැවත්, ඒ වගේම මාතු විහාරයත් කෙරෙව්වා. අනුරාධපුරයේ සිට දීඝවාපිය දක්වා යොදුනක් යොදුනක් ගානේ විහාරයන් කෙරෙව්වා.
10. දීඝවාපි විහාරයත්, දීඝවාපි මහා සෑයත් කෙරෙව්වා. ඒ දීඝවාපි චෛත්‍යය වැහෙන්ට සත්රුවන් එබ්බ වූ දැළක් කෙරෙව්වා.
11. ඒ රුවන් දැලේ රථ රෝදයක ප්‍රමාණයේ මනරම් රන්මල් කරවා ඒවා එහි සන්ධියක් සන්ධියක් පාසා ඇමිණෙව්වා.
12. සද්ධාතිස්ස රජ්ජුරුවෝ අසූ හාර දහසක් ධර්මස්කන්ධයන්ට උපහාර පිණිස අසූහාර දහසක් පූජාවන් පැවැත්තුවා.
13. අපගේ සද්ධාතිස්ස රජ්ජුරුවෝ ඔය ආකාරයෙන් නොයෙක් පින් රැස් කරගෙන අභාවයට පත්වුනාට පස්සේ තුසිත දෙව්ලොව උපන්නා.
14. සද්ධාතිස්ස මහරජ්ජුරුවෝ දීඝවාපියේ වාසය කරන කාලේ ඔහුගේ වැඩිමහළු පුත් කුමාරයා වන ලජ්ජතිස්ස කුමාරයා ගිරිකුම්භීල නමැති,
15. රම්‍ය වූ විහාරය කෙරෙව්වා. සද්ධාතිස්ස රජ්ජුරුවන්ගේ ඊට බාල වූ පුත් කුමාරයා වූ ථූලත්ථන කුමාරයා කන්දර නැමැති විහාරය කෙරෙව්වා.
16. ථූලත්ථන කුමාරයාගේ පියාණන් වූ තිස්ස කුමාරයා එදා තම සහෝදර දුටුගැමුණු රජ්ජුරුවන් බැහැදකින්ට එන ගමනේදී තම පියාණන් සමඟ තමන් කළ විහාරයේ සංඝයාට දන් පැන් පූජා කරගන්ට පැමිණියා.
17. සද්ධාතිස්ස රජ්ජුරුවන්ගේ අභාවයෙන් පස්සේ සියලු අමාත්‍යවරු රැස්වෙලා අනුරාධපුරයේ සියලු භික්ෂු සංඝයා ථූපාරාම විහාරයට රැස්කෙරෙව්වා.
18. සද්ධාතිස්ස රජ්ජුරුවන් සමඟ එදා ආපු ගමනේ සිට දිගටම සිටිය නිසා ථූලත්ථන කුමාරයා රජකමට සුදුසු ය කියලා සංඝයාගෙනුත් අනුමැතිය ලැබුනා. ඇමතිවරු ථූලත්ථන කුමාරයාව රාජ්‍යයෙහි අභිෂේක කෙරෙව්වා. එය ඇසූ ලජ්ජිතිස්ස කුමාරයා,
19. මෙහෙ (අනුරාධපුරයට) ඇවිදින් ථූලත්ථන රජ්ජුරුවන්ව රාජ්‍යයෙන් පහකරලා තමන් රාජ්‍යය කළා. ථූලත්ථන රජ්ජුරුවෝ රජකම් කළේ මාසයකුත් දස දිනක් පමණයි.
20. ලජ්ජිතිස්ස රජ්ජුරුවෝ තුන් අවුරුද්දක් ම ‘මේ සංඝයා වහන්සේලා වැඩිමහල් පිළිවෙළ දන්නේ නැහැ නෙව’ කියලා උන්වහන්සේලා කෙරෙහි අපහැදීමෙන් යුක්තව පිරිහෙලා කථා කළා.
21. රජ්ජුරුවෝ පස්සේ සංඝයාගෙන් සමාව අරගත්තා. එයට දඬුවමක් වශයෙන් මහාසෑයට කහවණු තුන් ලක්ෂයක් පූජා කළා.
22. ලජ්ජතිස්ස රජ්ජුරුවෝ මහාසෑයට කළුගලෙන් මල් ආසන තුනක් කෙරෙව්වා. ඒ වගේම ලක්ෂයක් ධනය වියදම් කරලා කුඹුක්වැවෙන් මෙහා පැත්තේ වගුරුබිම ගොඩකරවා,
23. රජ්ජුරුවෝ මහා සෑයත්, ථූපාරාමයත් අතර ප්‍රදේශය සම කෙරෙව්වා. ථූපාරාම විහාරයෙහි ථූපාරාම චෛත්‍යයට උතුම් ගල් කඤ්චුකයක් කෙරෙව්වා.
24. ථූපාරාමයට ඉදිරියෙන් ගලින්ම කළ ස්ථූපයකුත්, ලජ්ජික නමින් ආසන ශාලාවකුත් භික්ෂු සංඝයා උදෙසා කෙරෙව්වා.
25. සෑගිරියේ කණ්ටක නැමැති චෛත්‍යයට කහවණු ලක්ෂයක් වියදම් කරලා ගලින්ම කඤ්චුකයක් කෙරෙව්වා.
26. ලජ්ජිතිස්ස රජ්ජුරුවෝ ගිරිකුම්භීල නැමැති තමන් හැදූ මහා විහාරයේ සැට දහසක් භික්ෂූන්ට තුන් සිවුරු පූජා කළා.
27. ඒ වගේම රජ්ජුරුවෝ රිටිගල විහාරයත්, කන්දරහීනක විහාරයත් කෙරෙව්වා. ගම්වල වාසය කරන භික්ෂූන්ට බෙහෙත් ඖෂධ ලබාදුන්නා.
28. ‘ඔබවහන්සේට උවමනා මොනවාද කියා භික්ෂුණීන්ගෙන් විමසලා භික්ෂුණීන්ට සහලුත්, අනිත් පිරිකරත් ලබා දුන්නා. අවුරුදු නවයකුත් මාස අටක් ලජ්ජිතිස්ස රජ්ජුරුවෝ රාජ්‍ය කළා.
29. ලජ්ජිතිස්ස රජ්ජුරුවන්ගේ අභාවයෙන් පස්සේ ඔහුගේ මළනුවන් වන ඛල්ලාටනාග රජ්ජුරුවෝ සය අවුරුද්දක් පමණක් රාජ්‍ය කළා.
30. ඛල්ලාටනාග රජ්ජුරුවෝ ලෝවාමහාප්රාසාදයට අතිමනරම් බවක් ලබාදීම පිණිස ලෝවාමහාප්රාසාදය පිරිවරා සිටින අයුරින් ඉතා සුන්දර ප්රාසාදයන් තිස් දෙකක් කෙරෙව්වා.
31. සුන්දර වූ ස්වර්ණමාලී මහා සෑයේ වටේ ඇති වැලි මළුවේ කෙළවරින් ප්රාකාරයක් කෙරෙව්වා.
32. ඒ වගේම රජ්ජුරුවෝ කුරුන්දවාසක විහාරයත් කෙරෙව්වා. තවත් බොහෝ පිනුත් කරගත්තා. (මේ රජ්ජුරුවන්ට මහා චූලික නමින් පුත් කුමාරයෙක් සිටියා. සුමනාදේවී නම් රජ්ජුරුවන්ගේ වෙනත් දේවියකගේ නැගණියකට තිස්ස, අභය, උත්තර නමින් පුත් කුමාරවරු තුන් දෙනෙක් සිටියා. ඔවුන්ට රජ්ජුරුවෝ මාමා වෙනවා. ඔවුන් ‘මාමා’ වන රජ්ජුරුවන්ව අල්ලාගන්ට කුමන්ත්‍රණයක් කළා. එය හෙළිදරව් වුනා. අපිට අනුන් අතින් මැරෙනවාට වඩා ගින්නට පැන දිවිනසාගන්න එක හොඳයි කියලා ඔවුන් ‘ගිරි’ නැමැති නිගණ්ඨයාගේ ආශ්රමයට ගියා. එහි දරසෑයක් කරවා ගින්නට පැන දිවි නසා ගත්තා. ඔවුන්ගේ ඥාතීන් එතන සෑයක් කෙරෙව්වා. එය අග්නිප්රවේශක චෛත්‍යය නමින් හැඳින්වුනා)
33. මහාරත්තක නැමැති තමන්ගේ සෙන්පතියෙක් ඛල්ලාටනාග රජ්ජුරුවන්ව නගරයේදීම අල්ලා ගත්තා.
34. එතකොට ඛල්ලාටනාග රජ්ජුරුවන්ගේ මළනුවන් වන වළගම්බා නැමැති කුමාරයා ඒ දුෂ්ට සෙනෙවියා මරවා ලංකා රාජ්‍යය අත්පත් කරගත්තා.
35. වළගම්බා රජ්ජුරුවෝ තම සොයුරු ඛල්ලාටනාග රජ්ජුරුවන්ගේ පුත් කුමාරයා වන මහා චූලික නැමැති කුමාරයාව තමන්ගේ පුත්‍ර ස්ථානයෙහි තැබුවා.
36. ඛල්ලාටනාග රජ්ජුරුවන්ගේ මෙහෙසියව සිටි මහා චූලික කුමාරයාගේ මව් වූ අනුලා දේවිය මහේෂිකා තනතුරෙහි තැබුවා. මහා චූලික කුමාරයාගේ පිය තනතුරෙහි වළගම්බා රජ්ජුරුවන් සිටි නිසා මහා ජනයාත් එතුමාව ‘පිතුරාජා’ යන නමින් හැඳින්නුවා.
37. වළගම්බා රජ්ජුරුවන්ගේ රාජාභිෂේකයෙන් පස්වන මාසයේ රුහුණු රටේ නකුල නගරයෙහි එක්තරා බ්‍රාහ්මණ වංශික තරුණයෙක්,
38. ‘මේ නැකැත් යෝගයේදී කැරැල්ලක් ගැසුවොත් ලංකා රාජ්‍යය අත්පත් කරගන්ට පුළුවනි’ කියලා තිස්ස නම් මෝඩ බ්‍රාහ්මණයෙකු කියූ කියමන අහලා මේ තීය නමැති බ්‍රාහ්මණයා මහා සොරෙක් වුනා. ඔහුට මහා පිරිසකුත් හිටියා.
39. ඔය අතරේ පිරිස් සහිත වූ දෙමළු සත් දෙනෙක් දකුණු ඉන්දියාවේ සිට මාතොටින් ගොඩබැස්සා. එතකොට තීය බ්‍රාහ්මණයාත්, ඒ දෙමළු සත්දෙනාත්,
40. වළගම්බා රජ්ජුරුවන්ගේ රාජ්‍ය ඡත්රය ලබාගනු පිණිස හසුන් පත් ලියා එව්වා. නීතිය පිළිබඳ දන්නා රජ්ජුරුවෝ උපායකින් යුතු හසුනක් තීය බ්‍රාහ්මණයාට යැව්වා.
41. “මේ රාජ්‍යය දැනටත් ඔබේ අතේ. නමුත් මේ රාජ්‍යය බලෙන් පැහැරගන්ට එන දෙමළුන් පළමුවෙන් අල්ලා ගනින්” කියලා. එතකොට “හොඳයි එහෙනම් මං ඉස්සෙල්ලාම දෙමළු පළවා හරින්ට ඕනෑ” කියලා මාතොටින් ගොඩබැස්ස දෙමළුන් සමඟ යුද්ධ කළා. එතකොට ඒ දෙමළු ‘තීය’ බ්‍රාහ්මණයාව අල්ලා ගත්තා.
42. ඊට පස්සේ ඒ දෙමෙල්ලු අනුරාධපුර නගරය දෙසට එමින් සිටියදී කෝළම්බාලක නම් ස්ථානයට නුදුරින් තැනකදී වළගම්බා රජ්ජුරුවන් සමඟ යුද්ධ කළා. යුද්ධයෙන් රජ්ජුරුවෝ පැරදුනා.
43. එතකොට රජ්ජුරුවෝ රථයට නැගලා තීර්ථකාරාම දොරටුවෙන් පැනලා ගියා. ඒ තීර්ථකාරාමය පණ්ඩුකාභය රජ්ජුරුවන්ගේ කාලයේ පටන් පිහිටා තිබූ එකක්. රජවරු විසි එක් දෙනෙකුගේ කාලය මුළුල්ලේම එය තීර්ථකයන්ගේ ආරාමයක් වශයෙන් තිබුණා.
44. වළගම්බා රජ්ජුරුවෝ පළායනවා දුටු ‘ගිරි’ නමැති දෙමළ නිගණ්ඨයා ‘මහා කළු සිංහලයා යුද්ධයෙන් පැරදී පළා යනවෝ’ කියලා මහා හඬින් කෑගහලා කිව්වා.
45. ඔහුගේ හඬ ඇසුණු රජ්ජුරුවෝ ආක්රමණික දෙමළු නසා මා සතු රාජ්‍ය ගත් දවසට මම මෙතන සංඝයා උදෙසා විහාරයක් කරනවා කියලා එවේලේම අධිෂ්ඨානයක් ඇති කරගත්තා.
46. අනුලා දේවිය ගර්භනීව සිටින නිසා ඈවත් රකින්ට ඕනෑ. මහා චූළික පුත්‍රයාවත් තමාගේ පුත්‍ර මහානාග කුමාරයාවත් රකින්ට ඕනෑ කියලා රථයේම තබාගත්තා.
47. රථයේ සැහැල්ලු බව පිණිස වටිනා චූඩා මාණික්‍යයක් අතට දීලා සෝම දේවිය නැමැති තමන්ගේ දේවිය ඇයගේ ඉල්ලීම පරිදි රථයෙන් බැස්සෙව්වා.
48. යුද්ධයට ගිය ගමනේදී මහාචූළ, මහානාග යන පුත්කුමාරවරුන් දෙදෙනාත්, අනුලාදේවි, සෝමදේවි යන දෙදෙනාත් රැගෙන නික්මී යුද්ධයේදී පැරදුණු රජ්ජුරුවෝ,
49. අප භාග්‍යවතුන් වහන්සේ දන් වැළඳූ පාත්‍රය ගන්ට නොහැකිව අඹුදරුවන් සමඟ පළා ගිහින් වෙස්සගිරි විහාරය අසළ වනයේ සැඟවුනා.
50. ඒ වනයේ සිටිය කුතික්කල මහාතිස්ස තෙරුන් වහන්සේ මේ පිරිස දැක්කා. දැක විනයානුකූලව නොවැළඳූ පිණ්ඩපාතය දීමෙන් වැළකිලා රජ්ජුරුවන්ට ආහාර දුන්නා.
51. එයින් සතුටු වූ වළගම්බා රජ්ජුරුවෝ වැටකෙයියා පත්‍රයක ලියා ඒ විහාරයේ සංඝයාගේ ප්‍රයෝජනයට අවශ්‍ය දේ ලබාදුන්නා.
52. රජ්ජුරුවෝ එතැනින් ගිහින් වෙස්සගිරියට දකුණින් පර්වත විහාරය ළඟ ගල්හෙබකඩ නම් ගමට ගියා. එතනින් මලයට රටේ මාතුවේලංග නම් ජනපදයේ සල්ගල නම් ගමට පැමිණියා. මහාවංශය ලියන අවධියේ එය ‘මෝරගල්ල’ නමින් හැඳින්වෙලා තියෙනවා.
53. එතනදීත් රජ්ජුරුවන්ට පලායන අවස්ථාවේ වෙස්සගිරි විහාරය අසළ වනයේදී ආහාර දුන් කුපික්කල තිස්ස තෙරුන්ව මුණගැසුනා. එහිදී තෙරුන් වහන්සේ තමන්ගේ උපස්ථායක වූ තනසීව නැමැත්තාට රජ්ජුරුවන්ව භාරදුන්නා.
54. තනසීව නැමැති රටවැසියා ළඟ අපගේ වළගම්බා රජ්ජුරුවෝ දාහතර වසරක් ඔහුගේ උපස්ථාන ලබමින් වාසය කළා.
55. දෙමෙල්ලු සත්දෙනාගෙන් එක් දෙමලෙක් ආකර්ශනීය පෙනුමැති සෝම දේවිය දැකලා ඈ කෙරෙහි රාගයෙන් ඇලී ඈවත් රැගෙන ඉන්දියාවට ගියා.
56. ඒ දෙමලුන්ගෙන් තව දෙමලෙක් අනුරාධපුරයේ වැඩහුන් අපගේ දසබලයන් වහන්සේ දන් වැළඳූ පාත්‍රය රැගෙන එයින් සතුටුවෙලා එයත් රැගෙන ඉන්දියාවට ගියා.
57. පුළහත්ථ නමැති දෙමළා බාහිය නමැති දෙමළාට සෙනෙවි තනතුර දීලා තුන් අවුරුද්දක් රාජ්‍යය කළා.
58. බාහිය නැමැති සෙන්පතියා පුළහත්ථ දෙමළ රජු බලයෙන් පහකරවා අවුරුදු දෙකක් රාජ්‍ය කළා. ඔහු පණයමාර නැමැති දෙමළෙකුට සෙනෙවි තනතුරු දුන්නා.
59. එතකොට සෙන්පතිකම ගත් පණයමාර බාහිය දෙමළ රජු බලයෙන් පහකරවා සත් අවුරුද්දක් රාජ්‍ය කළා. ඔහුත් පිළයමාර තැමැති දෙමළෙකුට සෙනෙවි තනතුර දුන්නා.
60. සෙනෙවි තනතුරු ගත් පිළයමාර පණයමාර දෙමළ රජු අල්ලා ගත්තා. ඔහුටත් දාඨික නැමැති දෙමළ සෙනෙවියෙක් සිටියා. පිළයමාර දෙමළ රජුත් සත් මාසයක් රජ කළා.
61. දාඨික දෙමළ සෙන්පතියා පිළියමාර දෙමළ රජුව අල්ලාගත්තා. ඒ දාඨික දෙමළා අනුරාධපුරයේ දෙවර්ෂයක් රාජ්‍ය කළා.
62. ඔය ආකාරයට පුලහත්ථ, බාහිය, පණයමාර, පිළයමාර, දාඨික වශයෙන් දෙමළු පස් දෙනෙක් අනුරාධපුරයේ රජකම් කළා. ඔවුන් පිළිවෙලින් දාහතර අවුරුද්දකුත් සත් මසක් රජකරලා තියෙනවා.
63. පළා නෙළන්ට තනසීවයාගේ බිරිඳයි, අනුලා දේවියයි කන්දෙ ගියා. එහිදී ඔවුන් අතර ආරවුලක් ඇතිවෙලා තනසීවයාගේ බිරිඳ අනුලාදේවිය එල්ලා ගෙන ගිය මල්ලට පයින් ගැහැව්වා.
64. ඈ කේන්ති අරගෙන හඬ හඬ රජ්ජුරුවන් වෙත ආවා. තනසීව බිරිඳ ගිහින් තනසීව කෝප ගැන්නුවා. ‘අඹුදරුවන් එක්කම රජ්ජුරුවන්ව මං විදලා මරනවා’ කියලා දුනු හී ගෙන ගෙදරින් පිටත් වුනා.
65. අනුලා දේවිය කියූ කරුණු ඇසූ අපගේ වළගම්බා රජ්ජුරුවෝ තනසීවයා එන්ට කලියෙන් පුත් කුමාරවරු දෙන්නාත්, දේවියත් රැගෙන එතනින් නික්ම ගියා.
66. දුනු ඊ අමෝරාගෙන එන තනසීවයාට රජ්ජුරුවෝ හීයෙන් විද්දා. එතනට රැස් වූ සෙනඟට ‘මං සද්ධාතිස්ස රජ්ජුරුවන්ගේ වළගම්බා නැමැති පීතෘරාජයා ය!’ කියලා හඬ නගා ඇස්සෙව්වා.
67. රජ්ජුරුවන්ට මහත් වූ යෝධ සම්මත ඇමතියන් අට දෙනෙක් ලැබුනා. මහා පිරිවරකුත්, මහා ගෞරව උපහාරත් ලැබුනා.
68. මහා යස පිරිවර ඇති රජ්ජුරුවෝ කුපික්කල මහාතිස්ස තෙරුන් බැහැදැක වළස්ගල විහාරයේ මල් පහන් පුදා බුද්ධ පූජාවක් කෙරෙව්වා.
69. රජ්ජුරුවෝ සැපත් වෙන්ට කලින් ආකාස චෛත්‍යයේ මළුව පිරිසිදු කරන්ට ඕනෑ කියලා කපිසීස නැමැති ඇමතියා උඩට නැග මළුව පිරිසිදු කළා. ඔහු පහළට බසිද්දී,
70. දේවියත් සමඟ රජ්ජුරුවෝ පඩිපෙළින් උඩට නගිනවා. පහළට බහින්ට වෙන මගක් නැති නිසා බැසීම නවතා අයින්වෙලා වාඩි වුනා. තමන්ගේ ඇමතියන් අට දෙනා අතරින් කෙනෙකු වන ඔහු එසේ සිටීම ගැන කිපුණු රජ්ජුරුවෝ කපිසීසව මැරෙව්වා.
71. එතකොට අනෙත් ඇමතිවරු සත්දෙනා රජ්ජුරුවන් ගැන හොඳටම කළකිරුනා. ‘මෙබඳු සුළු වරදකටත් අපගේ යෝධයා මැරවූ මේ මිත්‍රද්‍රෝහී රජ්ජුරුවෝ අපිවත් මරන්ට ලැජ්ජා නැත්තේය’ කියලා කතා වෙලා වළගම්බා රජ්ජුරුවන් වෙතින් පළාගියා. හිතුන හිතුන පාරවල්වල ඔවුන් ගියා.
72. අතරමගදී මංපහරන හොරුන්ට ඔවුන්ව අහුවුනා. ඔවුන්ගේ හැඳිවතවත් ඉතිරි නොකොට පැහැර ගත්තා. ඔවුන් කොළඅතු ඇඳගෙන හබුගල විහාරයට ගිහින් බහුශ්‍රැත වූ තිස්ස තෙරුන්ට බැහැදැක්කා.
73. ත්‍රිපිටකයේ දීඝ නිකාය, මජ්ඣිම නිකාය, අංගුත්තර නිකාය, සංයුත්ත නිකාය යන නිකාය සතර හොඳින් කටපාඩම් කරන ලද ඒ තිස්ස තෙරුන් ඔවුන්ට පුළුවන් හැටියට වස්ත්‍ර, පැණි, තෙල්, සහල් ආදිය යැපෙන පමණට දී උපකාර කළා.
74. ඊට පස්සේ තෙරුන් වහන්සේලා ‘මේ අස්වැසිලි නැති කාලයේ ඔබලා කොහිද යන්නේ?’ කියලා ඇහැව්වා. එතකොට ඔවුන් තමන්ගේ විස්තර කියලා සිදුවූ දේ ගැනත් පැවසුවා.
75. තෙරුන් වහන්සේ ඔවුන්ගෙන් මෙහෙම ඇහැව්වා. ‘එතකොට බුද්ධ ශාසනය නගා සිටුවන්ට පුළුවන් වෙන්නේ දෙමෙල්ලුන් එක්කද? එහෙම නැත්නම් රජ්ජුරුවන් එක්කද?’ එයට පිළිතුරු වශයෙන් ඔවුන්,
76. “ස්වාමීනී, අපේ රජ්ජුරුවොත් එක්ක එකතු වුනොත් මේ ලංකාද්වීපය විතරක් නොවෙයි, දඹදිව වුනත් බුදු සසුන බබුළුවන්ට පුළුවනි” කිව්වා. ඔය විදිහට ඇමැතියන් හට කරුණු අවබෝධ කෙරෙව්වා. එතකොට කුපික්කල මහාතිස්ස තෙරණුත් බහුශ්‍රැත තිස්ස තෙරණුත් එකතුවෙලා ඒ ඇමතිවරුන් කැඳවාගෙන,
77. රජ්ජුරුවෝ ළඟට ගෙනිහින් එකිනෙකාව සමාව ගැන්නෙව්වා. රජ්ජුරුවොත්, ඒ ඇමතිවරුත්, තෙරුන් වහන්සේලා දෙනමගෙන් මෙසේ ඉල්ලා සිටියා.
78. “බලෙන් රජය අල්ලාගෙන සිටින දෙමළුන් අපේ රටින් පළවා හැරීමේ කාර්යය සිද්ධ වෙච්ච දවසට අප විසින් එවන පණිවිඩයකට ඔබවහන්සේලා අප වෙත වඩින්ට ඕනෑ” කිව්වා. තෙරුන් වහන්සේලාත් ඔවුන්ට වඩින බවට පොරොන්දු වෙලා සිටිය තැනට වැඩියා.
79. මහා යස පිරිවර ඇති රජ්ජුරුවෝ සේනාවත් සමඟ අනුරාධපුරයට ඇවිත් දාඨික දෙමළා නසා තමන්ගේ රාජ්‍යය ලබාගත්තා.
80. ඊට පස්සේ රජ්ජුරුවෝ අනුරාධපුරයේ තිබුණු නිගණ්ඨාරාමය කඩා දමලා ජෝතිය නිගණ්ඨයාගේ දෙවොල පිහිටි තැන අවට පිරිවෙන් දොළොසක් සහිත විහාරයක් කෙරෙව්වා.
81. මහා විහාරය පිහිටුවා අවුරුදු දෙසීයකුත් දාහත් අවුරුද්දකුත් දස මාසයකුත් වැඩිකොට,
82. දස දවසක් ගෙවී ගිය තැන සංඝයා කෙරෙහි ආදරයෙන් යුක්ත වළගම්බා රජ්ජුරුවෝ ‘ගිරි’ නිගණ්ඨයාගේ භූමියේ අභයගිරි විහාරය පිහිටෙව්වා.
83. දුෂ්කර අවදියේ රජ්ජුරුවන්ට බෙහෙවින් උපකාරී වූ තෙරුන් වහන්සේලා දෙනම කැඳවා කුපික්කල මහා තිස්ස තෙරුන්ට අභයගිරි විහාරය පූජා කළා.
84. ගිරි නැමැති නිගණ්ඨයාගේ ආරාමය තිබුනේ යම් තැනක ද, එය සිහි වීම පිණිසත් ‘වට්ටගාමිණී අභය’ නැමැති වළගම්බා රජ්ජුරුවන්ගේ අභය නාමය සිහිවීම පිණිසත් එම විහාරයට ‘අභයගිරි’ යන නාමය තැබුවා.
85. වළගම්බා රජ්ජුරුවෝ සෝමා දේවිය නැවත ගෙන්වාගෙන කලින් තිබූ මෙහෙසි තනතුර ලබා දුන්නා. ඒ වගේම ඇගේ නම එක්කොට සෝමාරාමය නමින් විහාරයක් කෙරෙව්වා.
86. යුද්ධයෙන් පැරදී පලායන රජ්ජුරුවෝ ඒ උතුම් බිසොව රථයෙන් බස්සවද්දී එතැන කොළම් මල් වැල් වදුලකට මුවා වී,
87. තමන්ගේ අතින් ලැජ්ජා සහිතව වසාගෙන මුත්‍රා කරන කුඩා සාමණේර නමක් එතුමියට දකින්නට ලැබුනා. කුඩා අවදියේ ඇති ලැජ්ජා භය නැමති ගුණයට පැහැදුණු සෝමා දේවිය රජ්ජුරුවන්ට ඒ බව කියලයි එතන විහාරයක් හැදෙව්වේ.
88. රජ්ජුරුවෝ මහාසෑයට උතුරින් පිහිටි උස්බිමක ගල්හෙබකඩ නම් විහාරයක් කෙරෙව්වා.
89. ඒ යෝධයන් සත් දෙනා අතරින් උත්තර නම් ඇමතියා නුවරට දකුණු දිගින් දක්ඛිණ විහාරය නමින් විහාරයක් කෙරෙව්වා.
90. එහිම මූලවෝකාස විහාරය මූල නැමැති ඇමතියා විසින් කෙරෙව්වා. ඒ නිසා ඒ විහාරයට ඒ නම ලැබුනා.
91. සාලිය නැමැති අමාත්‍යයා සාලියාරාමය නැමැති විහාරය කෙරෙව්වා. පර්වත නැමැති අමාත්‍යයා පර්වතාරාමය නැමැති විහාරය කෙරෙව්වා.
92. උතුරු තිස්සාරාමය තිස්ස නැමැති ඇමතියා කෙරෙව්වා. මේ රම්‍ය වූ විහාරයන් කෙරෙව්වාට පස්සේ ඔවුන් තිස්ස තෙරුන් බැහැදකින්ට ගියා.
93. “ස්වාමීනී, කලින් අනාථව සිටි අපට ඔබවහන්සේගේ පිළිසඳර ලැබීම වෙනුවෙන් අප විසින් කරවාපු විහාරයන් ඔබවහන්සේට දෙනවා” කියා උන්වහන්සේට දුන්නා.
94. තෙරුන් වහන්සේ ත්‍රිපිටකයේ පංච නිකාය කඩපාඩමින් දරාගෙන ඉන්න භික්ෂූන් වහන්සේලා ඒ සියලු විහාරවල සුදුසු පරිදි වැඩඉන්ට සැලැස්සුවා. ශ්රමණයන් වහන්සේලාට සුදුසු වූ විවිධ කැපසරුප් පිරිකරත් ඇමතිවරු සංඝයාට පූජා කළා.
95. රජ්ජුරුවෝත් තමන්ගේ අභයගිරි විහාරයේ වසන භික්ෂූන්ට සිව්පසයෙන් අඩු නැතුව සැළකුවා. සිව්පසය පහසුවෙන් ලැබීම හේතුවෙන් එහි බොහෝ භික්ෂූන් වාසය කළා.
96. කුපික්කල මහාතිස්ස තෙරුන් වහන්සේ රජපවුල් සමඟ කුළුපගව ඇලී ගැලී වාසය කරන බව ප්‍රසිද්ධ වුනා. මේ කුලසංසර්ග දෝෂය නිසා සංඝයා විසින් උන්වහන්සේව අපගේ මේ මහාවිහාරයෙන් බැහැර කළා.
97. උන්වහන්සේගේ ශිෂ්‍ය වූ බහලමස්සුතිස්ස නැමැති තෙර නමක් ප්‍රසිද්ධව සිටියා. උන්වහන්සේ තම ගුරුවරයා නෙරපුවා කියා කෝපයට පත්වෙලා අපගේ මහාවිහාරයෙන් ගොස් අභයගිරියේ වාසය කළා. වෙනම ආචාර්යවාදයක් ඇති පිරිසක් ඇතිකරගත්තා.
98. එතැන් පටන් අභයගිරියෙන් භික්ෂූන් වහන්සේලා මහාවිහාරයට වැඩියේ නෑ. ඔය ආකාරයෙන් අභයගිරිවාසී භික්ෂූන් ථේරවාදී ආචාර්ය පරපුරෙන් වෙන්වුනා.
99. දක්ෂිණ විහාරවාසී භික්ෂූන් ද අභයගිරිවාසී භික්ෂූන් ගෙන් වෙන්වුනා. මේ ආකාරයෙන් එකම සඟ පිරිසක් හැටියට වැඩහුන් ථේරවාදී භික්ෂු සංඝයා දෙකොටසකට භේදභින්න වුනා.
100. දිවයින්වැසි ඒ මහා අභයගිරියේ භික්ෂූන් වහන්සේලාගේ අභිවෘද්ධිය වෙනුවෙන් වළගම්බා රජ්ජුරුවෝ ‘ප්රාප්ති’ නමින් දීමනාවකුත් ලබාදුන්නා.
101. මෙසේ කළොත් අනාගතයේ අළුත්වැඩියා කරන්ට පහසුය කියලා එකිනෙකට යාබදව සිටින විදිහට බොහෝ විහාර පිරිවෙන් ඉදිකළා.
102. කලින් මහා නුවණැති භික්ෂූන් වහන්සේලා ත්‍රිපිටක පාළියත් එහි අටුවාවත් කටපාඩමින් දිගටම රැකගෙන ආවා.
103. එහි රැස් වූ භික්ෂූන් වහන්සේලා සත්වයන්ගේ පිරිහීම දැකලා ධර්මය බොහෝ කල් පැවැත්වීමේ අදහසින් තල්පත්වල ලේඛනගත කෙරෙව්වා.
104. වට්ටගාමිණී අභය රජ්ජුරුවෝ දොළොස් අවුරුද්දකුත්, කලින් පස් මාසයකුත් ලංකා රාජ්‍යය කළා.
105. ඉසුරු සම්පත් ලැබුනාට පස්සේ නුවණැති කෙනා තමන්ගේ මෙලොව පරලොව යහපත පිණිසත්, අනුන්ගේ මෙලොව පරලොව යහපත පිණිසත් ඒ සම්පත් යොදවනවා. නමුත් ප්‍රඥාව නැති කෙනෙකුට මහත් වූ භෝග සම්පත් ලැබුණත් ඒ භෝගයන්ට ගිජුව ඉන්නවා විතරයි. එයින් තමන්ගේ වත් අනුන්ගේවත් යහපත සළසන්නේ නෑ.
සත්පුරුෂ ජනයන්ගේ ප්‍රසාදයත් සංවේගයත් ඇතිකරනු පිණිස කරන ලද මහාවංශයෙහි රජවරු දස දෙනෙකුගේ පාලනය නම් වූ තිස්තුන්වෙනි පරිච්ඡේදය යි.