ශ‍්‍රද්ධාවන්ත පින්වතුනි,
ඒ දුක හේතුවෙන් එයාට ලස්සන ගෙයක් ලැබෙනවාද? නෑ. සමහර කෙනෙක් ඉන්නවා නිතර ලෙඩින්. එයාට නීරෝගී අය ඉන්නවා පේනවා. නීරෝගී අය සුවසේ දුවනවා, පනිනවා පේනවා. එතකොට මෙයාට ‘අනේ, මට නීරෝගීකම නෑනේ…..’ කියලා දුකක් තියෙනවා. නමුත් ‘මට නීරෝගීකම නෑනේ….’ කියලා දුක් විඳීම හේතුවෙන් නිරෝගීකම ලැබෙන්නේ නෑ. සමහර කෙනෙක් ඉන්නවා හොඳ රස්සාවක් නෑ. එයාට හොඳ රස්සාවල් කරන අය පේනවා. එතකොට එයාට ‘අනේ මට හොඳ රස්සාවක් නෑනේ…’ කියලා දුකක් තියෙනවා. ඒ විදිහට නෑ කියලා දුක්වෙන හේතුවෙන් එයාට හොඳ රස්සාවක් ලැබෙන්නේ නැහැ. සමහර කෙනෙක් මහන්සි වෙවී වගා කරනවා. නමුත් එයාට සාර්ථක අස්වැන්නක් නෙලාගන්න බෑ. සමහර අය ඉන්නවා හොඳට වගා කරලා හොඳ අස්වැන්නක් නෙලා ගන්නවා. එතකොට එයා ඒක බල බලා ‘අනේ, මගේ වගාව පාලූ වෙනවා…. මං කරන කියන දේවල් සාර්ථක වෙන්නේ නෑ….’ කියලා දුක් වෙවී ඉන්නවා නම් එහෙම දුක් වෙවී හිටියා කියලා ඒ හේතුවෙන් එයාගේ දේවල් සාර්ථක වෙනවද? නැහැ. මෙන්න මේකෙදී පින හඳුනාගැනීමට අපට බුදුරජාණන් වහන්සේගේ ධර්මය තේරුම්ගෙන සිටීම ගොඩාක් උපකාරී වෙනවා. ඔබට මතකද මං මුලින්ම කිව්ව දෙය? අපි කී වතාවක් මිනිස් ලෝකයට ඇවිල්ලා ඇද්ද? ආපු හැම මිනිස් ආත්මයකම ඒ ජීවිතය සාර්ථක වුණා කියලා කියන්න පුළුවන්ද? අපි ඒක දන්නේ නෑ. මේ මනුස්ස ජීවිතයත් අප හිතෙන ප‍්‍රමාණයට සාර්ථක කරගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි, මේක අපට ලැබෙන එකම මනුස්ස ජීවිතයත් නොවෙයි. තවත් ඉස්සරහට ඕනතරම් මනුස්ස ජීවිත ලැබෙන්න පුළුවන්. තව ඉස්සරහට අපට දිව්‍ය ජීවිත ලැබෙන්නත් පුළුවන්. හැබැයි, මේ ජීවිතයේ අපට යම්කිසි අඩුපාඩුවක් තිබෙනවාද, ඔබ කැමැතිද මේ අඩුපාඩු ඊළඟ ජීවිතයෙත් ලැබෙනවාට? මේ ජීවිතයේ යම්කිසි අසාර්ථකභාවයක් තියෙනවාද, ඔබ කැමැතිද මේ අසාර්ථකබව ඊළඟ ජීවිතයේදීත් ලැබෙනවාට? අපි කැමැති, මේ ජීවිතයේ යම් අඩුපාඩුවක් ඇද්ද, ඊළඟ ජීවිතයේ ඒ අඩුපාඩුව නැතිවෙනවාටයි. මේ ජීවිතයේ යම් අසාර්ථකබවක් තියෙනවද, ඊළඟ ජීවිතයේ ඒ අසාර්ථකත්වය නැතිබවට අප කැමතියි. ඊළඟ ජීවිතයට සැලැස්මක් ඕන කරනවා කියන කොට ජීවිතය ගැන කල්පනා කරන්න බැරි, මෝඩ කෙනෙක් හිතාවි ‘මේක තේරුමක් නැති කතාවක්. මේ ජීවිතයටනේ සැලැස්මක් ඕන. ඊළඟ ජීවිතයට මොකටද?’ කියලා. නමුත් බලන්න, අපි මේ ජීවිතයේ සැලැස්මක් ගහගෙන යන දේ අපට අද නැතිවෙන්න බැරිද? හෙට නැතිවෙන්න බැරිද? නැතිවෙන්න පුළුවන්නේ. මේ ජීවිතයේ සැලැස්මක් ගහගෙන යන දේ අපට ඕන වෙලාවක නැතිවෙන්න පුළුවන්. අපි මෙහෙම කියමු. මේ ජීවිතයට සැලසුම් කරමින් මේ ජීවිතය දියුණු කරගන්න කල්පනා කරගෙන හිටපු අය බලාපොරොත්තු නැති මොහොතේ මැරුණේ නැද්ද? ඉස්කෝලේ යමින් සිටිය ළමයි මැරුණේ නැද්ද? කසාද බැඳලා මුදු මාරුකරලා හිටපු අය පෝරුවට නගින්න ඉස්සරවෙලා මැරුණේ නැද්ද? රස්සාවට සම්මුඛ පරීක්ෂණයට යන්න හිටපු කෙනා සම්මුඛ පරීක්ෂණයට යන්න ඉස්සෙල්ලා මැරුණේ නැද්ද? එහෙම අවස්ථාවල් නැද්ද? අම්මලා සිටිද්දී දරුවෝ මැරෙනවා. දරුවෝ සිටිද්දී අම්මලා මැරෙනවා. වෙලා නැද්ද මේවා? මනුස්සයන් මැරෙනවා. මැරුණ ගමන් එයාගේ මේ ජීවිතයේ කොටස ඉවරයි. ඊළඟට තියෙන්නේ අලූත් ජීවිතයක කොටසක්. අලූත් ජීවිතයේදී එයාට මේ ජීවිතය තුළ සංවර්ධනය වූ දෙයක් නැත්නම්, සමහර විට ඒ ජීවිතයේ එයාට මේ ජීවිතයේ තිබුණු ටිකත් නෑ. අපට තේරෙන හැටියට නම් වර්තමාන මනුස්සයා මේ ජීවිතයේදී යම්කිසි දෙයක් ලබා තිබෙනවාද, ඊළඟ ජීවිතයේදී එයාට ඒකත් නෑ. මේ ජීවිතයේදී යම්කිසි සැපයක් විඳින දෙයක් ලබා තිබෙනවාද, ඊළඟ ජීවිතයේ ඒකත් නෑ. එහෙනම් යම්කිසි පිනකින් අපි මනුස්ස ලෝකයට ආවා නම්, ඒ පින මේ ජීවිතයේදී ඉවර වෙද්දී අපි අලූතෙන් පිනක් රැස් කරලා නැත්නම්, මේ ජීවිතය අවසන් වෙන කොට අපේ විඤ්ඤාණය මෙහෙයවන්න ඊළඟ එක ඉදිරිපත් වෙනවා. ඒ තමයි පව. මේක අපි දන්නේ නෑ. ඔබ හිතන්නේ අතීතයේ සෑම මනුෂ්‍ය ජීවිතයකදීම අපි තෙරුවන් සරණ ගිහිල්ලා හිටියා කියලද? නෑනේ. අපට සක්කාය දිට්ඨිය තියෙනවා. විචිකිච්ඡාව තියෙනවා. සීලබ්බත පරාමාස තියෙනවා. අපි එක එක ආගම් අදහන්න ඇති. එක එක දේවල් යාඥා කරන්න ඇති. එක එක බිලි දෙන්න ඇති. නේපාලයේ අලූත් ආණ්ඩුව තීරණයක් අරන් තියෙනවා, ආගමික පූජා පිණිස බිලි දෙන්න එපා කියලා. හරක් මරලා බිලිදෙනවා. එළුවෝ මරලා බිලි දෙනවා. මේ බිලි පූජා නවත්වන්න කියලා පාර්ලිමේන්තුවට තහනම් නියෝගයක් ගේන්න යනකොට රටම කිපුණා. තරුණයෝ පාරට බැහැලා ගල්ගැහුවා. පොලිසිවල බෝඞ් කඩා බිඳ දැම්මා. ඒගොල්ලෝ බිලි පූජා කරන්න අවසරය ඉල්ලූවා. ඔබත් ඒ සමාජය තුළ හිටියා නම්, ඔබත් එහි කොටස්කාරයෙක් නොවෙයිද? ඒගොල්ලෝ ආගමික චාරිත‍්‍රයක් වශයෙන් බිලි පූජා කරන්න ඕන කියලා සටන් වදිනවා. ඔය වගේ උපනූපන් ආත්මවල අපි එක එක දේවල් කර කර සිටිද්දී ඒවත් අපේ පස්සෙන් ඇවිත් තියෙන බව අපි අමතක කරන්න හොඳ නෑ. මේ ජීවිතයේ අපි පින ගෙවිලා යන්න දුන්නොත්, පව් රැස්වෙන්න ඉඩදුන්නොත්, ඊළඟ ජීවිතයේ අපට අසාර්ථකබවක් මිසක් සාර්ථකබවක් නෑ. බුදුරජාණන් වහන්සේ මේක හොඳට තේරුම් අරගෙන සිටියා. ඒ වගේම උන්වහන්සේ මේකට සාර්ථක විසඳුමක් දැනගෙන සිටියා. ඒ තමයි, මේ ගැන බුදුරජාණන් වහන්සේට හොඳ අවබෝධයක් තියෙනවා කියලා මනුස්සයාට ඒත්තු ගැන්වීම. මොකද, සාමාන්‍ය මනුස්සයාගේ ජීවිතයේ සුළු දේකිනුත් මනුස්සයාට මාන්නය ඇතිවෙන්නේ නැද්ද? අලූතෙන් බැඳපු ජෝඩුවක් හිටියා කියමු. පුතෙක් උපන්නොත් ඔන්න එ්කටත් මාන්නය ඇතිවෙනවා, ‘මට පුතෙක්’ කියලා. දුවක් උපන්නොත් ඔන්න ඒකටත් මාන්නය ඇතිවෙනවා, ‘මට දුවක්’ කියලා. ළමයා විභාගය පාස් වුණොත් ‘මගේ ළමයා විභාගය පාස්’ කියලා ඒකටත් මාන්නය ඇතිවෙනවා. සමිති සමාගමක තනතුරක් ලැබුණොත් ‘මට අසවල් සමිතියේ අසවල් තනතුර ලැබුණා’ කියලා ඒකටත් මාන්නයක් ඇතිවෙනවා. හොඳ සමාජ තත්වයක් ලැබුණොත් ‘ඔන්න මට මෙහෙම තත්වයක් තියෙනවා’ කියලා ඒකටත් මාන්නයක් ඇතිවෙනවා. අපට හැම තිස්සේම අවස්ථාව තියෙන්නේ මාන්නය ප‍්‍රහාණය වෙන්න නෙවෙයි, මාන්නය ඇතිවෙන්නයි. ඒ නිසා හැමතිස්සේම අපට නිහතමානී ගුණය අහිමිවෙන්න ඉඩක් තියෙනවා. මේකෙන් අපව බේරලා දෙන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන අපට ඇතිවෙන පැහැදීමෙන්. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන අපට හරි පැහැදීමක් ඇතිවුණා කියලා හිතලා අපි ආඩම්බරකාරයෙක් වුණොත්, ඒ කියන්නේ පැහැදීම ඇවිල්ලා නෑ. අපි දැන් පංච උපාදානස්කන්ධය දන්නවා, පටිච්චසමුප්පාදය දන්නවා, ආයතන ගැන දන්නවා කියලා මේවා ගැන ආඩම්බරකාරයෙක් වුණොත් අපි ලැබූ දෙයක් නෑ. ශ‍්‍රද්ධාවට ඇවිල්ලා නෑ. ශ‍්‍රද්ධාවට ආවා නම්, අපි ආඩම්බරකාරයෙක් වෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන ශ‍්‍රද්ධාවට පත්වුණොත්, අපි බරපතල කල්පනාවකට පත්වෙනවා. මොකද, අපේ ඒ ආපු ගමන ගැන තේරෙන්න ගන්නවා. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන අපට ශ‍්‍රද්ධාවක් ඇතිවුණොත්, ‘අපි මෙහෙම ගමනක් ඇවිල්ලා තියෙනවා’ කියලා අපි බරපතල කල්පනාවකට වැටෙනවා. ‘බුදුරජාණන් වහන්සේ මේක මේ විදිහට පහදලා දුන්නා නෙව. කර්මයනේ මාව මෙහෙයවලා තියෙන්නේ. ඉතින් මම මේ ජීවිතයේ යම් දුකක් විඳිනවාද, යම් සැපක් විඳිනවාද, මේක පිටිපස්සෙන් මම ගෙනාපු දෙයක් තියෙනවානේ. මේ ජීවිතයේ මට පින් කරගන්න බැරිවුණොත් මම ඊළඟ ජීවිතයේ කොහේ යයිද? සතර අපායේ වැටුණොත් දුක් විඳින්න වෙනවා නේද? මට මේකෙන් බේරෙන්න ඕන නේද?’ කියලා මේ සසරේ ස්වභාවය ගැන බරපතල කල්පනාවකට එනවා. ඒ කල්පනා කිරීම තුළ එයාට සමාජ තත්ව, තනතුරු, නම්බුනාම, ප‍්‍රධානත්ව, සංවිධාන මොකවත් වැඩක් නෑ. ඊට පස්සේ එයා හැම දෙයක්ම කරන්නේ එක දෙයක් මුල් කරගෙන. ඒ තමයි අනුකම්පාව. එයාගේ ජීවිතයේ වැඩකරන්න ගන්නේ අනුකම්පාව විතරයි. මේ නිසා පින්වතුනි, අපට හරිම වැදගත් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන සිත පහදවා ගැනීම. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන සිත පහදවා ගැනීම නැතිවුණොත්, එ්ක අසාර්ථක වුණොත් අපට මුහුණ දෙන්න වෙන්නේ විශාල ප‍්‍රශ්නයකටයි. මොකද, මනුස්ස ලෝකයේ මිනිස්සුන්ට උන්වහන්සේගේ අවබෝධය ගැන සිත පහදවා ගන්න හරිම අමාරුයි. ඇයි, වෙන වෙන දේවල් ගැනනේ සිත පහදවාගෙන ඉන්නේ. ටීවී බැලුවත්, රේඩියෝ එක ඇහුවත්, පත්තර බැලූවත්, ඒවාගේ ආකල්ප තමයි අපේ ඔළුවලට ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය නොවෙයි. අපි සසරේ මුලාවෙන ස්වභාවයෙන් ආපු නිසා මේ ජීවිතයේත් මුලාවෙන ස්වභාවයට තමයි නිතර වැටෙන්නේ. මේකෙන් අත්මිදීම ලේසි වැඩක් නොවෙයි. මනුස්සයන් කොපමණ මුලාවෙන ස්වභාවයට පත්වෙනවාද කියනවා නම්, නේපාලයේ මිනිස්සු බිලි පූජා කරන්න ඕන කියලා උද්ඝෝෂණ පවා කළානේ. ඉතින් ඒක මුලාවක් නෙවෙයිද? ඊට පස්සේ තව සිද්ධියක් තිබුණා. එක ආගමික නායකයෙක් මනුස්සයෙකුට හොඳට බුද්ධිමත් වෙන්න නම් වඳුරු මොළය අමුවෙන් කන්න කියලා තිබුණා. ඔන්න එක සාධු කෙනෙක් වඳුරෙක් මරලා මොළය අමුවෙන් කනවා. දැන් එයාට ඕන බුද්ධිය. එතකොට බුද්ධිය වුවමනා යැයි කියලා හිතපු මනුස්සයාට ලැබුණු පණිවිඩය කොපමණ අනතුරුදායකද? මේකෙන් අපි බේරෙන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන අපි තුළ පැහැදීම (ශ‍්‍රද්ධාව) තියෙනවා නම් විතරයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා “පින් රැස් කරන්න. පින අපට අවශ්‍යයි” කියලා. ඒ මතය අපට හරිම වැදගත්. ඒ තමයි, ‘අපට පින අවශ්‍යයි.’ උන්වහන්සේ එතැනින් නැවැත්තුවේ නෑ. උන්වහන්සේ දේශනා කළා පින විතරක් නොවෙයි, අපට තව එකක් අවශ්‍යයි කියලා. එ්ක තමයි ‘අවබෝධය.’ පිනෙන් කරන්නේ අපට සැප ලබා දී ආරක්ෂා කිරීම. අවබෝධයෙන් කරන්නේ අනතුරේ වැටෙන්න නොදී අපව සුරක්ෂා කිරීම. මනුෂ්‍යයෙකුට මේ ජීවිතයේදී මේ දෙකම උපදවා ගන්න පුළුවන් නම් මට තේරෙන්නේ නෑ එයාට ප‍්‍රශංසා කරන්න වචන. එයා එච්චරටම බුද්ධිමත් මනුෂ්‍යයෙක්. පින ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ තේරුම් ගන්න අපි දැන් ටිකක් මහන්සි ගනිමු. ඔබ දන්නවා උන්වහන්සේ ‘දානමය පුණ්‍යක‍්‍රියා, සීලමය පුණ්‍යක‍්‍රියා, භාවනාමය පුණ්‍යක‍්‍රියා’ කියලා පුණ්‍යක‍්‍රියා තුනක් පෙන්වා දුන්නා. මනුෂ්‍ය ජීවිතයේදී පුළුවන් තරම් පින් රැස්කර ගන්න කිව්වා. යම් කෙනෙකුට දිගාසිරි තියෙන, නීරෝගී ශරීරයක් ඇති, දීර්ඝායුෂ තියෙන ජීවිතයක් ලැබුණොත් ඒ තුළින් එයාට යම්කිසි සැපයක් ලැබෙනවානේ. එ්ක එයාගේ ජීවිතයේ තීරණාත්මක සාධකයක්. නමුත් අපට ලෙඩක් නැතුව සිටීම, තීරණාත්මක සාධකයක් කියලා තේරෙන්නේ නෑ. බැරිවෙලාවත් අපේ වකුගඩු දෙක නරක් වුණොත් ඔක්කොම ඉවරයිනේ. කසාදයක් බැඳලත් ඉවරයි. මුළු පවුලම අගාධයට වැටෙනවා. එහෙනම් අපේ වකුගඩු නරක් නොවී තිබීම ජීවිතයේ තීරණාත්මක දෙයක්්. අපට මේක හොයන්න බෑ. බැරිවෙලාවත් වකුගඩු නරක් වුණොත් ඊට පස්සේ මුළු පවුලම වකුගඩුවක් හොයන්න ඕන. බෙහෙත් හොයන්න ඕන. බෙහෙත්වලට මාසයකට රු. 40,000 ක් විතර යනවා. වකුගඩුවක් බද්ධ කළොත් එ්කට වෙනම ලක්ෂ ගාණක් යනවා. මේවාට සල්ලි කොහෙන්ද? බලාගෙන ඉඳිද්දී මැරෙනවා. පිරිස අඬා වැළපෙද්දී මැරෙනවා. මේ නිසා නිරෝගීකම කියන්නේ මේ ජීවිතයට සැප ලබාදෙන තීරණාත්මක සාධකයක්. ඒ වගේම දීර්ඝායුෂ කියන්නෙත් තීරණාත්මක සාධකයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මේක ලැබෙන්නේ හේතුවක් නිසා කියලා. ඒ හේතුව තමයි, සතුන් මැරීමෙන් වැළකී සිටීම. උන්වහන්සේ දේශනා කළා, “සතුන් මැරීමෙන් වැළකී සිටින්න. සතුන්ට හිංසා කිරීමෙන් වළකින්න” කියලා. සතුන් කියන්නේ බල්ලො, බළල්ලූ, පූස් පැටව්, මාළු, හරක් විතරක් නොවෙයි. සත්තු කියන්නේ සියලූ සතුන්. සමහර අය ඉන්නවා, එළවලූයි බතුයි කනවා. එළවලූයි බතුයි හුවාදක්වනවා. ඒකෙන් සතුන් මැරීමෙන් වැළකුණා කියලා පැහැදෙනවා. නමුත් මිනිස්සුන්ට පුළුවන් තරම් දුෂ්ටකම් කරනවා. මිනිස්සුන්ට පුළුවන් තරම් ගරහනවා. පුළුවන් තරම් අපහාස කරනවා. ලැබූ දෙයක් නෑ. ඒකයි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය වැදගත් වෙන්නේ. උන්වහන්සේගේ දේශනාවලින් පැහැදිලි වෙනවා බුදුරජාණන් වහන්සේ එළවලූයි, බතුයි විතරක් වළඳපු කෙනෙක් නෙවෙයි. අපි දේශනා කියවන නිසා දන්නවා. උන්වහන්සේ පිණ්ඩපාතේ වඩිද්දී උන්වහන්සේට පිළිගැන්වූ දේවල් වළඳලා තියෙනවා. නමුත් උන්වහන්සේ තරම් මනුෂ්‍ය වර්ගයා, පණ තියෙන සත්වයා සුවපත් කරන්න කැප වූ තවත් කෙනෙක් හිටියේ නෑ. නමුත් සමහරු ‘මමයි සුපිරි… මමයි සුපිරි…’ කිය කියා එළවලූයි, බතුයි හුවාදක්වනවා. ඊළඟට අනිත් අයට පුළුවන් තරම් ගරහනවා. නින්දා කරනවා. අපහාස කරනවා. ඒවා පව්. පින තියෙන්නේ විශේෂයෙන්ම මනුස්සයා සුවපත් කරන්න. මනුස්සයා සතා සිව්පාවාට ආදරය කරමින් වාසය කරනවා නම්, ඊළඟ ජන්මයේ ඒ කෙනා දීර්ඝායුෂ තියෙන කෙනෙක්. අපට මේ ජීවිතයේ මැරෙන මොහොත කියන්න පුළුවන්ද? මේ ජීවිතය අවසන් වුණේ යම් මොහොතකද, එතැන ඉඳන් ඊළඟ ජීවිතය පටන් ගන්නවා. ඒ නිසා අපට හැමතිස්සේම වැදගත් සීලමය පුණ්‍යක‍්‍රියා. ඊළඟ එක අපි දුක් මහන්සියෙන් හරිහම්බු කරගත් දේවල් නැතිවෙන්න හේතු ගොඩාක් තියෙනවා. එක්කෝ හොරු ගන්නවා. එක්කෝ රාජසන්තක වෙනවා. එක්කෝ ගින්නට අහුවෙනවා. එක්කෝ ජලයට ගහගෙන යනවා. එක්කෝ තමන් අකමැති ඤාතීන් ගන්නවා. එක්කෝ අපි දුක් මහන්සියෙන් හරිහම්බු කරගත් දේවල් විනාශ කරන්න දරුවෝ උපදිනවා. එහෙම නැත්නම් එ්වා අනිත්‍ය නිසා විනාශවෙලා යනවා. මේ විදිහට අපි හම්බුකරන දේවල් විනාශකාරී දේවල්වලට යන්නේ නැතුව අපි තුළම රැඳී තිබීම අපට සැප පිණිස හේතු වෙනවා. අපි සතු නැති, අපට නොදුන්න දේවල් නොගැනීම, සොරකම් නොකිරීමයි. සොරකම් නොකිරීම තුළ උපනූපන් ආත්මවල එයා හම්බුකරන දේ කාටවත් හොරකම් කරන්න බෑ. සමහර විට එයාගේ පර්ස් එක පාරේ වැටිලා තියෙනවා කියමු. එයාට අමතක වුණා. නමුත් එයාට ආයෙමත් ඒක හම්බ වෙනවා. කවුරුහරි ඇහුලූවත් එයාට එ්ක හොයලා ගෙනත් දෙනවා. නැතිවෙන්නේ නෑ. හොරකම් කිරීමෙන් වැළකීම කියන්නේ සංසාරයට හොඳ ආරක්ෂාවක්. බුදුරජාණන් වහන්සේ මේවා දේශනා කළේ අපේ ජීවිතයට සැපය උදාකර දීමටයි. දෙන විදිහට තමයි ලැබෙන්නේ. තමන් සංසාරයේ ප‍්‍රණීත ආහාරපාන ලබන්න කැමති නම් ප‍්‍රණීත ආහාරපාන දෙන්න ඕන. තමන් කාඩි හොදියි බතුයි ලබන්න කැමති නම්, කාඩි හොදියි බතුයි දීපුවාම ඇති. තමන් ලස්සන ඇඳුම් අඳින්න කැමති නම් ලස්සන ඇඳුම් දෙන්න ඕන. මේ න්‍යාය හරි පුදුමයි. සැප ලබන්න නම්, දන් දෙන්න ඕන. ඒක අපේ ජීවිතයට වුවමනා කරන දෙයක්. ඒක පිනක්. එතකොට සොරකම් කරන්නේ නෑ. දන්දෙනවා. අනුන්ට උදව් කරනවා. මනුෂ්‍යයන්ගේ දේ ආරක්ෂා කරනවා. කාගෙ හරි දෙයක් වැටිලා තිබුණොත් ඒක අයිතිකාරයාට හොයලා ගිහින් දෙනවා. නැතිවෙන්න දෙන්නේ නෑ. තමන් දැනුවත්ව කාගෙවත් දෙයක් නැතිවෙන්න දෙන්නේ නෑ. මෙන්න මේක අපට හරි පිහිටක්… → මතු සම්බන්ධ යි… පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි උපුටාගැනීම – “පින සහ අවබෝධය” පොතෙන්