ස මාර සේනා පරදවා තිලොව ම ජය ගත් අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ හට සෙවණ සැලසූ පින්බර වෘක්ෂය වූ, අපගේ සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ මෙලොව උපන් දිනයේ ම මහ පොළොවෙන් ජනිත වූ උතුම් වෘක්ෂය,  දිවමන් මුනිරජාණන් මෙන් අද අප ලක් දෙරණේ ශ්‍රී විභූතියෙන් යුතුව වැඩසිටින ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අනුරපුර උඩමළුවේ මහා පෙළහර පාමින් රෝපණය වූයේ අද වැනි උඳුවප් මස පුන් පොහෝ දිනක ය. තෙරුවන් සරණ ගිය සැදැහැවත් ශ්‍රාවක ශ්‍රාවිකාවන් හට අනුස්මරණීය වූ සිදු විම් කිහිපයක් ම සිදු වී ඇති මේ පින්බර උඳුවප් පුන් පොහෝ දිනයේදී දිවයිනේ නන් දෙස විසිරී ඇති මහමෙව්නාව භාවනා අසපු ශාඛාවන් කේන්ද්‍ර කරගනිමින් සුවිෂේශී පින්කම් රාශියක් සිදුවිය.

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු පුණ්‍ය භූමියෙහි සිරි ගෞතම බෝධීන් වහන්සේ රෝපණය කර වසර තුනක් ගතවීම නිමිති කොට ගෙන 2014 උඳුවප් මස පුන් පොහෝදා සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාවේ ද්වාර මණ්ඩපයේදී මහමෙව්නාවාසී පින්වත් ස්වාමීන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් පරිත්‍රාණ ධර්ම දේශනය ක් පවත වනු ලැබීය. සියක් නමකට ආසන්න ස්වාමීන් වහන්සේලාගේ සහ පෙහෙවස් සමාදන් වූ උවැසි උවැසියන් විසින් සියළු ලෝකවාසී සත්වයන්ට සෙත් පතා තුන් යම රැයක් පුරාවට පිරිත් ධර්මයන් සජ්ඣායනා කරන ලදී.

සියළු දෙනාම මේ පින් සතුටු සිතින් අනුමෝදන් වෙත්වා! වහ වහා සංසාර දුකින් අත්මිදෙත්වා!