අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ පූර්ණ ආශිර්වාදයෙන් මහමෙව්නාව භාවනා අසපු සංචිතයත්, ශ්‍රද්ධා රූපවාහිනියත්, ලක්විරු ගුවන්විදුලියත් එක්ව සංවිධානය කරන සූවිසි දහසක් මහරහතුන් වන්දනාව අගෝස්තු 18 සවස 4.00 සිට රැය පහන් වනතුරු පොළොන්නරුව රන්කොත් වෙහෙරේදී පැවැත්වේ. මෙම වන්දනාව පහන් අසූ හාර දහසක මහා ආලෝක පූජාවත්, පැන් පාත්‍රා විසි හතර දහසක මහා පැන් පූජාවත්, ගුවන් ගැබෙන් ඇද හැලෙන පිච්ච මල් පූජාව සහ සුවඳ මල් ලක්ෂයක මහා පුෂ්ප පූජාවත් සමඟින්, මහමෙව්නාව භාවනා අසපුවාසී පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ විසින් මෙහෙයවනු ලබයි.

ශ්‍රී ලංකාද්වීපයෙහි ගෞතම බුදු සසුන එකළු කරමින් වැඩසිට පිරිනිවන් පා වදාළ උතුම් රහතන් වහන්සේලාගේ ගුණ සිහි කරමින් සිදුකෙරෙන මෙම අසිරිමත් වන්දනාවට සහභාගී වී දුර්ලභ වූත් අනුස්මරණීය වූත් පින් රැස්කරගැනීමට පින්වත් ඔබටත් මෙත් සිතින් ආරාධනා කර සිටිමු.

මාධ්‍ය ආවරණය ශ්‍රද්ධා රූපවාහිනිය සහ ලක්විරු ගුවන්විදුලිය ඔස්සේ…

මේ මහා පින්කමට ඔබත් දායකවනු කැමති නම්, 0719 575 141 අමතන්න.

තුන්ලොවට ම අග්‍ර මහා ස්ථූපය අනුරාධපුර ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේ ය. වසර දහසකට අධික කාලයක් අනුරාධපුර රාජධානියේ මෙන්ම සමස්ත ලක්දිව්වැසි මිනිසුන්ට මහාසෑය ජීවමාන බුදුරජාණන් වහන්සේ බඳු විය. ඔවුහු මහාසෑය නිතර වන්දනා කළහ. පිදූහ. අපමණ පින් රැස්කර ගත්තාහුය. ඔවුන්ගේ මිනිස් දිවියට ප්‍රාණජීවය මහාසෑය යැයි ඔවුහු සිතූහ. එහෙත් සොළී ආක්‍රමණත් සමඟ පොළොන්නරුවට රාජධානි සංක්‍රමණය වීමත් සමඟ උදේ සවස මහාසෑය වඳිමින් පුදමින් සැනසුන ජනයාගේ ජීවිතයේ ලොකු අඩුවක්, අනාරක්ෂිත බවක්, බුදුරජාණන් වහන්සේගෙන් ඈත් වූ බවක් සිත්වලට දැනෙන්නට විය. ඒ සාංකාව බොහෝ දෙනාගේ සිත්වලින් තුරන් කිරීමට නොහැකි විය.

මහා පරාක්‍රමබාහු රජුගේ රූපවතී බිසව ඇතුළු අන්තඃපුර කාන්තාවෝ බොහෝ සැදැහැවත් වූහ. ඔවුන්ගේ මුල්වීමෙන් ද පොළොන්නරු ජනතාවගේ සිත්සතන් තුටු පහටු කිරීම පිණිස ද ඉතාමත් උත්කර්ශවත් අයුරින් ඉදිකළ මහාසෑය පොළොන්නරු මහාසෑය යි. එහි රන් කොතක් පැළඳූ හෙයින් “රන්කොත් වෙහෙර” යනුවෙන් ව්‍යවහාර වූවා සේ ම පොළොන්නරු යුගයේ සෙල්ලිපිවල ඇත්තේ “රතනචේතිය” (රුවන් සෑය) යන නාමය යි. මෙහි සම්පූර්ණ වැඩ නිම කරන ලද්දේ නිශ්ශංකමල්ල රජු විසිනි. උතුම් ධාතු තැන්පත් මේ මහා සෑය ගිහි පැවිදි සියලු දෙනා වඳිමින් කුසල් රැස්කර ගතයුතු බව සෙල්ලිපියක සඳහන් ය. පිහිටි රටට පද්මය “රතනචේතිය” බව ද සෙල්ලිපියක සඳහන් ය.

අනුරාධපුර උතුම් ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේ පිරිවරා මහ රහත්හු පවා අනේක බුදුගුණ කියමින් උපහාර දැක්වූහ. අදටත් එසේය. එහෙත් ඒ මහාසෑය පිරිවරා නිකෙලෙස් සිතින් මුනි සිරිපා වන්දනා කළ මේ ලක්දිව පහළ වූ, හෙළබස කතා කළ, ලක්දෙරණ මත වැඩුණු රුක්ගොමුවල බවුන් වැඩූ, ලක්දිව මං මාවත්වල පිඬු සිඟා වැඩිය අපේ ම ලේ පරපුරේ මහරහතන් වහන්සේලාගේ ගුණ කඳ ඇසුවෝ කවරහු ද?

තුන් ලොවට ම බුදුගුණ ඇසෙන මහාසෑයේ ආශීර්වාදයෙන් පොළොන්නරුවේ මහා සෑ රජුන් අභියස, රන්කොත් වෙහෙර වහන්සේ වටකොට, හෙළවැසි මහ රහතන් වහන්සේලා විෂයෙහි, මුනිසිරිපා දෝවනය කරගෙන සිප සැනසී, සිසිල් වී ගලන ජලයෙන් පුරවා, පැන් පාත්‍රා 24000ක් පූජා කරමින් තුන් යම් රාත්‍රියක් මුළුල්ලේ සිදුකෙරෙන මහා අරහන්තක වන්දනාවට පිනැත්තෝ සැදැහැ සිතින් පැමිණෙත්වා! ලක්දිව පහළ වූ සැබෑ රහතන් වහන්සේලාගේ ගුණකඳ අසා පින් පුරවා ගනිත්වා!

පොළොන්නරුවේ සිට රන්කොත් වෙහෙරට ළඟා විය හැකි ගමන් මාර්ගය

මහා අරහන්තක වන්දනාව සඳහා පෙර සූදානම