දිනක් අපගේ භාග්‍යවතුන් වහන්සේ බැහැදකින්ට එක්තරා දෙවියෙක් ආවා. ඔහු ඇසූ ප‍්‍රශ්න අතර මේ ප‍්‍රශ්නයත් තිබුණා.

“භාග්‍යවතුන් වහන්ස, මේ ලෝකය පිහිටා තිබෙන්නේ කුමක් මතද?” කියලා.

එතකොට වැසී තිබුණු දෙයක් විවෘත කොට පෙන්වා දෙනවා වගේ අප භාග්‍යවතුන් වහන්සේ මෙසේ පිළිතුරු දී වදාළා.

“දෙවිය, මේ ලෝකය පිහිටා තිබෙන්නේ දුක මතයි” කියලා. මෙය සඳහන් වෙන්නේ සූත‍්‍ර පිටකයෙහි සංයුත්ත නිකායේ උඩ්ඪිත සූත‍්‍රයේ.

මෙම බුදු වදන පුදුමාකාර සත්‍යයක්. කිසිසේත් සඟවන්නට බැරි සත්‍යයක්. ඒක මහා පුදුම ඇත්තක්මයි. ඇස, කන, නාසය, දිව, කය, මනස යන මෙයින් සැදුණු ලෝකය පිහිටා තිබෙන්නේ දුක මතමයි.

ඉස්සර සිරියාව කියන්නේ හරීම සිරියාවන්ත රටක්. ඒ රටේ ක‍්‍රිස්තියානි, මුස්ලිම් කවුරුත් හරිම සතුටින් වාසය කළා. දැන් ඒ රටේ තිබුණු සිරියාව අහලකවත් නෑ. අන්තවාදී පිරිසක් ආගමික රාජ්‍යයක් බිහි කරන්නට ඕන කියලා උමතුවට පත්වුණා. භයානක ත‍්‍රස්තවාදය මත ඔවුන්ගේ නීච සංකල්පය ගොඩනැගුවා. එහි ප‍්‍රතිඵලය වුණේ ඔවුන් ඉතා නින්දිත සත්ව කොට්ඨාශයක් බවට පත්වීමයි. ඔවුන් තුළ මිනිස්කම අහලකවත් නෑ. දයාවක, කරුණාවක සුළඟවත් වැදිලා නෑ. ඔවුන් ලේ පිපාසිතයි. අතිබිහිසුණුයි. කෲර මිලේච්ඡත්වයෙන් යුක්තයි.

ඔවුන් තමන්ගේ ආගමික රාජ්‍යය බිහි කරන්නට ගොහින් ඉතා බිහිසුණු ලෙස, කෲර ලෙස මනුෂ්‍ය ඝාතන කරන්නට පටන් ගත්තා. සිරියාව හෙල්ලුම් කාලා ගියා. මිනිස්සුන්ට හිතින් හිතන්නටවත් වෙලාවක් නෑ. අහිංසක මිනිසුන්ගේ ගේ දොර ගිනිබත් වුණා. අහිංසක දියණිවරු දූෂණයට ලක්වුණා. ඝාතනය වුණා. ඒ දියණිවරුන්ව ලිංගික වහලියන් ලෙස විකුණුනා. කිරි දරුවන්ට වධ දීලා මරලා දැම්මා. ඉරාකයේත් සෑහෙන කොටසක් අල්ලා ගන්ට ඔවුන්ගේ බිහිසුණු කෲරත්වය සමත් වුණා.

මොන යුද්ධයක් ආවත් සාමාන්‍ය ජනතාවමයි දුක්විඳින්නේ. අපිත් තිස් අවුරුද්දක් තිස්සේ යුද්ධයක් නිසා දුක් වින්දා. යුද්ධයෙන් ලැබෙන දුක මොකක්ද කියලා අන් අයටත් වඩා හොඳට අපට තේරෙනවා. මරණ භය හොඳට තේරෙනවා.

ඉතින් සිරියාවේ උපන් සිරියාවන්ත මිනිස්සු ලක්ෂ ගණනක් මේ යුද්දෙ නිසා මැරුණා. දැනුත් මැරෙනවා. මේ අහිංසක මිනිසුන් අතර සිටිය අම්මලා, තාත්තලා, දරු පැටව් හැමෝම අන්ත අසරණ බවට පත්වුණා. ඉතින් එයාලා කොහොම හරි සල්ලි ටිකක් හොයාගත්තා. රෙදි කෑලි දෙක තුනක් බෑගයකට දමාගත්තා. පණ බේරගෙන කොහේ හරි පැනලා යන්න ඉබාගාතේ පිටත් වුණා. එක එක පාරවල් වලින් යුරෝපයට යන්න මාර්ග හොයන්න පටන් ගත්තා.

සිරියාවේ ‘කොබානි’ කියලා නගරයක් තියෙනවා. මේ නගරය මිලේච්ඡ ආගමික ත‍්‍රස්තවාදීන්ගේ ග‍්‍රහණයට හසුවුණා. තවමත් බිහිසුණු යුද්ධ. තමන්ගේ ආගමික රාජ්‍ය වෙනුවෙන් වියරුවෙන් යුද වැදී සිටින මේ වෘකයන් රැළට අහිංසක මිනිසුන් ගොඩාක් හසුවුණා. පුළුපුළුවන් අය පණ බේරාගෙන පැනලා දිව්වා.

ඔය කොබානි නගරයේ ‘අබ්දුල්ලා කුර්දි’ කියල තරුණ තාත්තෙකුයි, ‘රිහානා කුර්දි’ කියල තරුණ අම්මෙකුයි හිටියා. මේ දෙන්නාට මල් කැකුළු වගේ ලස්සන සිඟිිති දරුපැටව් දෙන්නෙක් හිටියා. ලොකු පුතාට වයස පහයි. නම ‘ගාලිප් කුර්දි’. සිඟිත්තාට වයස තුනයි. නම ‘අයිලාන් කුර්දි’.

දවසක් මේ අබ්දුල්ලා මුණගැහෙන්න යාළුවෙක් ආවා. ඔහු හොඳ ඔත්තුවක් දුන්නා.

‘අයියේ…. මෙහෙම හිටියොත් අපි කොයි වෙලාවේ මැරිලා යයිද දන්නෙ නෑ. අපි දන්න හැමෝම පැනලා යනවා. අල්ලපු ගෙදර ෆාතිමාත් ග‍්‍රීසියට පැනගත්තලු! ඉතින් අපිත් පැනගත්තොත් මරණ බයක් නැතුව ජීවත් වෙන්න හොඳ රටකට යන්න ඇහැකි…’
එතකොට අබ්දුල්ලා මෙහෙම උත්තර දුන්නා.

‘ඔව් මලේ…. අපිත් කැනඩාවේ ඉන්න නංගිට කියලා සරණාගත වීසා ඉල්ලුවා. කෝ අපිට ලැබුණේ නෑනේ…. ඒක ප‍්‍රතික්ෂේප වුණා…’

‘ඒ වුණාට අයියේ බල බලා ඉඳලා වැඩක් නෑ… මං නං මේ අපායෙන් කොහොමහරි පැනගන්නවා. මෙහෙ හිටියොත් මරණය මිසක් වෙන මොකුත් නැහැනේ…. මට ඔයාලා ගැන දුකයි…’

එතකොට අබ්දුල්ලා ආයෙමත් කල්පනාවට වැටුණා. මේ සංවාදය නිසොල්මනේ අසාගෙන සිටි රිහානා කඳුළු පිසදමමින් කතා කළා.

‘අනේ…. දැන් මෙහෙ මැරි මැරී යන එකේ සීමාවක් නෑනේ… දැන් කී ලක්ෂයක් මළා ද? අපිත් කොයි වෙලාවේ හරි මැරිලා යන්න කලින් පැන ගම්මු. මට දුක මේ දරු පැටව් දෙන්නා ගැනයි. අපි පැනලා යමු අනේ… කොහේහරි ගිහින් තියෙන දෙයක් කාලා පණ කෙන්ද රැකගෙන මේ දරු දෙන්නා ලොකු කරගත්තොත් මට ඒ ඇති…’

අබ්දුල්ලාත් මේ ගැන තව උනන්දු වුණා. අන්තිමේදී තවත් කීප දෙනෙක් එක්ක හොරෙන්ම තුර්කියට පැනගත්තා. තුර්කියේ ‘බෝද්රම්’ කියලා නගරයක් තියෙනවා. එතනින් හොර බෝට්ටුවලින් මිනිසුන්ව ග‍්‍රීසියට ගෙනියනවා. ඉතින් අබ්දුල්ලා හොර බෝට්ටු මිනිස්සු ගෙනියන තැරැව්කාරයෙක් හොයාගත්තා.

“හරි… හරි… කිසි දේකට බයවෙන්න එපා…! ඊයෙත් අපි කට්ටියක් ගෙනිච්චා. එහෙ ගිය ගමන් ඕගොල්ලන්ගේ ප‍්‍රශ්නෙ ඉවරයි… ඔතන හතරදෙනෙක් ඉන්නවා නේද? එක්කෙනෙකුට රුපියල් ලක්ෂෙ ගානෙ ලක්ෂ හතරක් ඕන…”

“අනේ මහත්තයෝ…. එහෙම කරන්න එපා… මේ කිරිසප්පයන්ටත් ලක්ෂෙ ගානෙ ගන්නවාද? අපි දෙන්නගේ ගාන විතරක් ගන්න…”

අබ්දුල්ලා ඉතා අමාරුවෙන් ලක්ෂ තුනකට කැමති කරවාගෙන සල්ලි ගෙව්වා.

“හරි… අපි ටිකක් රෑ වෙනකම් ඉඳලා ඕගොල්ලන්ව බෝට්ටුවෙන් පිටත් කරවන්නම්.”

පණකෙන්ද රැකගන්න බෝට්ටුවලින් මුහුදට අරගෙන යද්දී ඒ හැමදෙයක්ම තීරණය වුණේ සල්ලි වලින්. අන්තිමේදී මිදුලෙ නිදියන්නත් සල්ලි ගෙවන්න ඕන. මීට කලින් ගිය පිරිසකට ග‍්‍රීසියේදී ඉන්න තැනක් ලැබුණේ නෑ. ජපන් නෝනා කෙනෙකුගේ හෝටලයක් තිබුණා. ඒකෙ ඇතුළෙ නිදන්න අවසර ලැබුණේ නෑ. නමුත් මිදුලෙ නිදාගන්න එක්කෙනෙකුගෙන් රුපියල් එක්දාස් පන්සීයක් ගත්තා. යකඩ උණුවෙනවාටත් වඩා වේගෙන් මනුස්සකම සල්ලිවලට දියවෙලා යනවා. ඉතින් ජීවිතයට ඇති ආදරය නිසාම, පණකෙන්ද රැකගන්න ඕන නිසාම මේ කවුරුත් මහ රෑ බෝට්ටුවට ගොඩවෙලා මුහුද තරණය කරලා ග‍්‍රීසියට යන්න කැමති වුණා. මෙයාලට ලැබුණේ පුංචි බෝට්ටුවක්. ඒකෙ හත්අට දෙනෙකුට වඩා යන්න බෑ. නමුත් දොළොස් දෙනෙක්ව පැටෙව්වා. බෝට්ටු පදවන්නාත් එක්ක දහතුනයි! දරු දෙන්නා තුරුළු කරගෙන අම්මයි අප්පයි දෙන්නා බෝට්ටුවේ ඉන්නවා. බෝට්ටුවේ ඇන්ජිම පණගැන්නුනා. විනාඩි හතරක් පහක් වගේ කාලයක් තුළ මුහුදෙ ටිකක් ඈතට ගියා. මේන්න මහා කඳු වගේ මුහුදු රැළි උස් වෙවී එන්න පටන් ගත්තා. බෝට්ටුව වේගයෙන් පැද්දුණා. කැරකුණා.

‘අයියෝ….’ කියලා රිහානා අබ්දුල්ලාගේ ඇඟේ එල්ලුනා. අබ්දුල්ලා දරු සිඟිත්තන් දෙන්නා හයියෙන් තුරුළු කරගත්තා. අනේ…. හිතන්නවත් වෙලාවක් නෑ අර මහා රළ ගෙඩි බෝට්ටුව උඩින් ගියා. බෝට්ටුව යට වුණා. අබ්දුල්ලාගේ ඇඟේ එල්ලිලා හිටපු රිහානාගේ අත් ලිස්සලා ගියා. අබ්දුල්ලා තුරුළු කරන් හිටිය ලස්සන දරු පැටව් දෙන්නා බිහිසුණු රළ වේගය විසින් උදුරාගත්තා. මොහොතකින් බෝට්ටුවට වෙච්ච දෙයක් නෑ. අබ්දුල්ලා අමාරුවෙන් පීනගෙන උඩට ආවා.

අබ්දුල්ලා මුහුදු වැල්ලේ හිටගෙන බිහිසුණු හඬ නගන කරුවල මුහුද දෙස බලාගෙන හැපි හැපී හඬන්න පටන් ගත්තා. පිස්සෙක් වගේ මුහුද වැල්ලේ එහාට මෙහාට ඇවිද්දා. එළිවෙනකං මුහුද දිහා බලාගෙන දෙවියන්ට කිය කියා හිටියා.

පසුවදා උදේ වෙරළාරක්ෂක නිලධාරියෙකුට වෙරළට ගොඩගසා තිබෙන සිඟිත්තෙකුගේ මළසිරුරක් ගැන දැනගන්නට ලැබුණා.

අනේ…. රෝස මලක් වගේ ලස්සන සිඟිත්තෙක්…! එයාගේ සිඟිති මුහුණ මුනින් අතට මුහුදු වෙරලේ එබිලා තිබුණා. මුහුද පැත්තට තමයි සිඟිත්තා මැරිලා හිටියේ. අයියාගේ මළකඳ ඊට ටිකක් එහායින් තිබුණා. අම්මාගේ මළකඳත් ඈතට ගොඩගහලා තිබුණා.

අබ්දුල්ලාට මේ හැම දෙයක්ම හීනයක් වගේ. අබ්දුල්ලා කෑ ගහලා මෙහෙම කිව්වා.

“මං දැන් අහවල් දේකටද පිටරට යන්නේ….? ලෝකයේ ලස්සනම දරුපැටව් දෙන්නා මටයි හිටියේ…. දැන් එයාලා කෝ…? මං ආයෙත් සිරියාවට යනවා….”

ඉතින් අබ්දුල්ලා දරුපැටව් දෙන්නාගෙයි බිරිඳගෙයි මළමිනී අරගෙන සිරියාවට ගියා. දැන් අබ්දුල්ලා මෙහෙම කියනවා.
“මගේ දරුපැටව් වළදානවා…. මං එතනින් ඈතට යන්නේ නෑ…. ඔව්… ! මට දැන් ඕනෙ එච්චරයි. මගේ මරණයත් මා ළඟට එනකල් මං එතනම වාඩිවෙලා ඉන්නවා.”

මේ දරු සිඟිත්තා මැරී සිටි ආකාරය තුර්කි පොලිස් නිලධාරියෙක් ෆොටෝ ගත්තා. අන්තර්ජාලයට මුදාහැරියා. එය දුටු මුළු ලෝකයම නින්දකින් නැගිට්ටා වගේ අවදිවුණා. සිහි විකල්වුණු පිරිසක් වගේ ජාතිවාදයෙන් කුණුවී ගිය සිත් ඇති අයගේ තුවාල සනීප වුණා. ඇස් වසා තිබුණු ජාතිවාදී පටලය බොහෝ දෙනෙකුගේ ගැලවිලා ගියා. නැවතිලා තිබුණු සීතල හදවත් උණුසුම් වුණා. ආයෙමත් හෘද ස්පන්දනය වැටෙන්න ගත්තා. ලෝකයේ බොහෝ දෙනෙක් තුළ නිදි ගැන්විලා තිබුණු මිනිස්කමට ආදරය කිරීම හනික අවදි වුණා. මේ සිඟිති මළසිරුර ලෝකය නැගිට්ටවන්න සමත් වුණා. උණු කඳුළු දෑස් වලින් ගලා ගියා. මෙයටත් හදවතක් උණුවෙන්නේ නැත්නම් ඔවුන් මිනිසුන් වෙන්නේ කොහොමද?

“මගේ රත්තරන් පැටියෝ…. මෙවර ඔයා මිනිස් ලොව උපන්නේ වැරදි තැනක මයෙ පුතේ…. මේ ලෝකෙ සිරියාවන්ත නෑ පුතේ…. කියන තරම් ලස්සන නෑ පුතේ…. අපි කවුරුත් ඒ මායාවට රැවටුණා තමයි. නමුත්… මයෙ සිඟිති පුතා ජීවිතයෙන් වන්දි ගෙවලා මේ ලෝකය ඒ මායාවෙන් නිදහස් කෙරෙව්වා…. ජාති ආගම් ගෝත‍්‍ර බේදයෙන් හදාගත්තු කූඩු වලින් නිදහස් වුණා. හැමෝගෙම හදවතට මිනිස්කමේ වේදනාව දැනුණා.

සිඟිති පැටියෝ…. මේ ලෝසතුන්ගේ දුක දැකලාමයි අප බුදුරජාණන් වහන්සේ මේ දුකින් මිදෙන්න මඟ පෙන්නුවේ…. නමුත් ඔයා උපන්න ඔය රටේ ඒ ධර්මය නෑ පුතේ… මෙහෙට වරෙන් මයෙ පුතේ…. පන්සිල් රකින අම්මා කෙනෙකුගේ කුසේ වත් ඉපදියන්… බුදුබණ ඇසෙන මායිමක ඉපදියන්…. පින් පුරාගෙන මේ සංසාරෙන් එතෙර වෙයන්…. එතකොට මේ දුක අවසන් වේවි….”

– පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

ඡායාරූප :- http://www.theguardian.com