ඒ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා!

1. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රාග ද්වේශ මෝහ නසා, සියලු ආශ්‍රවයන් නසා උතුම් අර්හත්වයට පත් වූ බව ඒකාන්ත සත්‍යයි. මේ සත්‍යානුභාවයෙන් ඔබට සෙත් වේවා!

2. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගුරු උපදේශ රහිතව, තමන් වහන්සේ තුළින් ම උපදවා ගත් ඤාණයෙන් චතුරාර්ය සත්‍යය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කොට සම්මා සම්බුද්ධත්වයට පත් වූ බව ඒකාන්ත සත්‍යයි. මේ සත්‍යානුභාවයෙන් ඔබට සෙත් වේවා!

3. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පුබ්බේ නිවාසානුස්සති ඤාණය, චුතූපපාත ඤාණය, ආසවක්ඛය ඤාණය, තථාගත දසබල ඤාණ, සිව් විශාරද ඤාණ, යමක මහා ප්‍රාතිහාර්යය ඤාණ, මහා කරුණා සමාපත්ති ඤාණ ආදී උතුම් අසිරිමත් නුවණින් යුතුව, මනා හැසිරීමෙන් යුතුව, විජ්ජා චරණ සම්පන්න වූ බව ඒකාන්ත සත්‍යයි. මේ සත්‍යානුභාවයෙන් ඔබට සෙත් වේවා!

4. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන, සතර සම්‍යක් ප්‍රධාන වීර්යය, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය ධර්ම, පංච බල ධර්ම, සප්ත බොජ්ඣංග ධර්ම, ආර්ය අෂ්ටාංගික මාර්ගය යන මේ සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් මනාව දියුණු කොට අමා නිවනට පැමිණි හෙයින් සුගත වූ බව ඒකාන්ත සත්‍යයි. මේ සත්‍යානුභාවයෙන් ඔබට සෙත් වේවා!

5. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සියලු බ්‍රහ්ම ලෝක, සියලු දිව්‍ය ලෝක, මේ මිනිස් ලෝකය, සතර අපාය ආදී ලෝකයන් ද ස්කන්ධ ලෝක, ධාතු ලෝක, ආයතන ලෝක ආදී සකල ලෝකයන් අතැඹුලක් සේ අවබෝධ කොට ඒ සියලු ලෝකයෙන් නිදහස් වී ගිය හෙයින් ලෝකවිදූ වූ බව ඒකාන්ත සත්‍යයි. මේ සත්‍යානුභාවයෙන් ඔබට සෙත් වේවා!

6. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දමනය වීමෙහිලා දුෂ්කර වූ නමුත් ධර්මාවබෝධයට පින් ඇති දෙව් මිනිස් සත්වයන් ඉර්ධි ප්‍රාතිහාර්යය බලයෙන් ද, ආදේශනා ප්‍රාතිහාර්යය බලයෙන් ද, අනුශාසනී ප්‍රාතිහාර්යය බලයෙන් ද දමනය කොට දහමෙහි කීකරු කරවා අමා සුවයට පමුණුවාලූ හෙයින් අනුත්තර පුරිසදම්ම සාරථී වූ බව ඒකාන්ත සත්‍යයි. මේ සත්‍යානුභාවයෙන් ඔබට සෙත් වේවා!

7. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නුවණැති දෙවියන්ගේ ද, නුවණැති මිනිසුන්ගේ ද එකම ශාස්තෘන් වහන්සේ වන හෙයින් සත්ථා දේවමනුස්සානං වූ බව ඒකාන්ත සත්‍යයි. මේ සත්‍යානුභාවයෙන් ඔබට සෙත් වේවා!

8. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් මනාකොට අවබෝධ කරන ලද චතුරාර්ය සත්‍යය ධර්මය අන් අයට ද එලෙසින් ම අවබෝධ කරවූ හෙයින් බුද්ධ වූ බව ඒකාන්ත සත්‍යයි. මේ සත්‍යානුභාවයෙන් ඔබට සෙත් වේවා!

9. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ අසිරිමත් සම්බුදු ගුණ දරා වැඩ සිටීමට තරම් භාග්‍යවත් වූ සේක. හිරු සඳු එළිය පරදන ප්‍රඥාලෝකය දරා වැඩ සිටීමට තරම් භාග්‍යවත් වූ සේක. දෙතිස් මහා පුරිස් ලකුණින් බැබළී ගිය විස්මිත වූ රූප කායක් දරා වැඩ සිටීමට තරම් භාග්‍යවත් වූ සේක. මෙසේ සියලු භාග්‍ය ගුණයෙන් පිරිපුන් හෙයින් භගවා වූ බව ඒකාන්ත සත්‍යයි. මේ සත්‍යානුභාවයෙන් ඔබට සෙත් වේවා!

මෙසේ ලෝකයෙහි පරම ශ්‍රේෂ්ඨ වූ නරාසභ වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යානුභාවයෙන් ද, ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මැනැවින් වදාරන ලද නෛර්යාණික ශ්‍රී සද්ධර්මයේ සත්‍යානුභාවයෙන් ද, ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක වූ ලෝකයෙහි අනුත්තර පින්කෙත වූ උතුම් රහතන් වහන්සේලා ප්‍රමුඛ ආර්ය මහා සංඝ රත්නයේ සත්‍යානුභාවයෙන් ද ඔබට සියලු යහපත සැලසේවා! අතුරු ආන්තරා දුරු වී සියලු ආරක්ෂාව සැලසේවා! ඔබේ දැහැම් ප්‍රාර්ථනා සමෘද්ධිමත් වේවා! අද දවස පුරා ඔබට සැනසිල්ලත් ප්‍රීතියත් සැපතත් උදාවේවා!