සංසාර ගමනක පැටලී, එහි භයානකත්වය නොදැක, යළි යළිත් සසර ගමනේම සත්වයා රැුඳී සිටින්නේ පෘථග්ජනභාවය නිසාය. පෘථග්ජන සත්වයාට ආර්ය සත්‍යය පිළිබඳ පැහැදිලි අවබෝධයක් නැත. ජීවිතයේ සැබෑම දැක්ම පිළිබඳ යථාභූත ඤාණයේ අහලකටවත් ඔහු පැමිණ නැත. පෘථග්ජන සත්වයා කොයිතරම් උගත් නමුදු, කොතරම් බලවත් නමුදු, කොතරම් ධනවත් නමුදු ඔහුගේ ආධ්‍යාත්ම ලෝකයේ පවතින්නේ අන්ධකාරයක් පමණි.

කෙනෙකුට පෘථග්ජනභාවයෙන් නිදහස් විය හැක්කේ ආර්ය ශ‍්‍රාවකත්වයට පත්වීමෙන්ය. ලෝකයේ ආර්ය ශ‍්‍රාවකත්වය තිබෙන්නේ බුදු සසුනක් තුළ පමණි. ආර්ය ශ‍්‍රාවකයා බුදු සසුන වෙත පැමිණෙන්නේ තිසරණය ලබාගැනීමෙන්ය.

එසේ තෙරුවන් සරණ ලබාගත් ආර්ය ශ‍්‍රාවකයා තමන්ගේ චින්තනය මෙහෙයවන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයට අනුවය. ඔහු කෙමෙන් කෙමෙන් බුදු සමිඳුන් විසින් පෙන්වා වදාළ චතුරාර්ය සත්‍යය ධර්මය තමන්ගේ ජීවිතය තුළින් අත්දකින්නට උත්සාහ කරයි. ධර්මයේ එය සඳහන් වන්නේ යෝනිසෝ මනසිකාරය නමින්ය. එහි තේරුම සද්ධර්මයේ පෙන්වා දෙනු ලබන ක‍්‍රමෝපායයන් ඔස්සේ තමන්ගේ වීමංසන බුද්ධිය යොමු කිරීමයි. ඒ සඳහා ඉතා පැහැදිලි ලෙස පිරිසිදු ලෙස චතුරාර්ය සත්‍යය ධර්මය ගැන එම ශ‍්‍රාවකයා දත යුතුය.

සාංසාරික ජීවිතය වෙළාගත් අවිද්‍යා අන්ධකාරය විනිවිද දකින ප‍්‍රඥාලෝකය උදාකරගත හැක්කේ ඒ තුළින්ය. ඒ සඳහා ආර්ය ශ‍්‍රාවකයා තමන් ගත කරන සංසාරගත ජීවිතය සකස් වී ඇති ආකාරය නුවණින් තේරුම් ගනී. එය තේරුම් ගන්නේ පටිච්ච සමුප්පාදය තුළින්ය.

පටිච්ච සමුප්පාද ධර්මය යනු සත්වයා ගේ සංසාර ගමනේ යථාර්ථය අවබෝධ කරගැනීම පිණිස අනිවාර්යයෙන්ම දැනගත යුතු ශ්‍රේෂ්ඨ ධර්මයකි. මේ පටිච්ච සමුප්පාදය අවබෝධ වීමෙන්ය කෙනෙක් සක්කාය දිට්ඨියෙන් නිදහස් වන්නේ.

ඒ සඳහා ඉවහල් වන විශේෂ දේශනයක් අපගේ බුදුරජාණන් වහන්සේ විසින් වදාරා තිබෙන්නේ “ඤාණවත්ථු සූත‍්‍රය” නමින්ය.

ඤාණවත්ථු යන පදයේ තේරුම “ඤාණය ලැබීමට උවමනා කරුණ” යන්නය. එහි සඳහන් වන්නේ පටිච්ච සමුප්පාදයේ ඒ ඒ අංගයන් සතර ආකාරයකින් විග‍්‍රහ කොට බලන අයුරුය. ආර්ය ශ‍්‍රාවකයා පටිච්ච සමුප්පාදය අවබෝධ කරගන්නේ ඵලයේ සිට හේතුව විමසන න්‍යාය තුළින්ය. එනම් ජරා-මරණ වල සිට කෙමෙන් කෙමෙන් අවිද්‍යාව දක්වා විමසා බැලේ. එහිදී එක් එක් අංගයක් සතර ආකාරයෙන් විමසන්නේ මෙසේය.

1. ජරා මරණ යනු කුමක්දැයි දන්නා නුවණ
2. ජරා මරණ හටගන්නේ කෙසේදැයි දන්නා නුවණ
3. ජරා මරණ නිරුද්ධ වීම ගැන දන්නා නුවණ
4. ජරා මරණ නිරුද්ධ වීම පිණිස හේතුවන ප‍්‍රතිපදාව ගැන දන්නා නුවණ

මෙසේ නුවණින් විමසා බලන ආර්ය ශ‍්‍රාවකයා ශ්‍රී සද්ධර්මය ඔස්සේ එය මෙසේ තේරුම් ගනී.

1. ජරා මරණ යනු උපන් සත්වයා වයසට යාමයි. ජරා ජීර්ණ වීමයි. දත් වැටී, කෙස් පැසී යාමයි. ඇඟ රැළි වැටීමයි. ආයුෂ පිරිහී, ඉඳුරන් මෝරා යාමයි. එමෙන්ම ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව ලෝක වලින් චුත වීම, චුතවෙන බව, පංච උපාදානස්කන්ධය බිඳී යාම, මරණයට පත්වීම, කලුරිය කිරීම, සිරුර හැර දැමීමයි.
2. ජරා මරණ හටගන්නේ ඉපදීම නිසාය. සත්වයා අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතික වශයෙන් උපත ලබන තාක් ජරා මරණ හටගන්නා බව ආර්ය ශ‍්‍රාවකයා අවබෝධ කරගනී.
3. ජරා මරණ නිරුද්ධ වීම යනු ඉපදීම නිරුද්ධ වීමයි. යට කී ආකාරයෙන් සිදුවන සෑම උපතක් ම නිරුද්ධ වීමෙන් ජරා මරණ නිරුද්ධ වෙයි.
4. ජරා මරණ නිරුද්ධ වීමේ ප‍්‍රතිපදාව යනු ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එනම් සීල, සමාධි, ප‍්‍රඥා වලින් යුතු අංග අටකින් සමන්විත ආර්ය මාර්ගයයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීමෙන් සදහටම ජරා මරණයෙන් නිදහස් විය හැකියි.

ජරා මරණ හටගන්නේ උපත නිසා බව දැන් ඔබ ඉගෙන ගෙන තිබේ. ආර්ය ශ‍්‍රාවකයා ඊළඟට සතර ආකාරයකින් විමසා අවබෝධ කරගන්නේ ජාතිය ගැනයි.

1. ඉපදීම යනු කුමක්දැයි දන්නා නුවණ
2. ඉපදීම හටගන්නේ කෙසේදැයි දන්නා නුවණ
3. ඉපදීම නිරුද්ධ වීම ගැන දන්නා නුවණ
4. ඉපදීම නිරුද්ධ වීම පිණිස හේතුවන ප‍්‍රතිපදාව ගැන දන්නා නුවණ

1. ඉපදීම වශයෙන් සතර ආකාරයකින් උපත ලබන බවත්, එහි පඤ්ච උපාදානස්කන්ධ බැසගන්නා බවත්, පංච උපාදානස්කන්ධය ම ඉපදෙන බවත්, ඇස, කන, නාසය, දිව, කය, මනස යන ආයතන හය ලැබෙන බවත් අවබෝධ කරගනී.
2. එසේ ඉපදීම හටගන්නේ කාම භවය, රූප භවය, අරූප භවය යන භවය නිසා බවත් ඔහු අවබෝධ කරගනී.
3. කාම භවය, රූප භවය, අරූප භවය යන භව තුන ම නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙන බවත් අවබෝධ කරගනී.
4. ඉපදීම නිරුද්ධ වීම පිණිස පවතින ප‍්‍රතිපදාව නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය බවත් අවබෝධ කරගනී.

මේ ආකාරයෙන් ආර්ය ශ‍්‍රාවකයා පටිච්ච සමුප්පාදයේ සෑම අංගයක්ම සතර ආකාරයකින් අවබෝධ කරගනී. එය ඔහුගේ ධම්මේ ඤාණයයි. එනම් චතුරාර්ය සත්‍යය පිළිබඳ ඔහුගේ ඤාණය වන්නේ එයයි.

ඒ ඤාණයට පත්වූ ආර්ය ශ‍්‍රාවකයාට දැන් සංසාර ගමන පිළිබඳව ඉතා පැහැදිලි අවබෝධයක් තිබේ. ඊළඟට ඔහු කරන්නේ අතීතයටත් අනාගතයටත් තමන්ගේ අවබෝධය ගලපා බැලීමයි. එය හඳුන්වන්නේ “අන්වයේ ඤාණය” වශයෙනි.

අතීතයටත් අනාගතයටත් අවබෝධය ගලපා බලන්නේ මේ ආකාරයෙන්ය.

“යම්කිසි ශ‍්‍රමණයෙක් හෝ බ‍්‍රාහ්මණයෙක් හෝ අතීතයේ ජරාමරණ අවබෝධ කළා නම් අවබෝධ කරන්නේ, ජරා මරණයන්ගේ හටගැනීම අවබෝධ කළා නම් අවබෝධ කරන්නේ, ජරා මරණ නැති වීම ගැන අවබෝධ කළා නම් අවබෝධ කරන්නේ, ජරා මරණ නැති වීමේ මාර්ගය ගැන අවබෝධ කළා නම් අවබෝධ කරන්නේ මේ ආකාරයෙන්මය. මා දැන් අවබෝධ කළ ආකාරයෙන්මය. එමෙන්ම අනාගතයේ යම්කිසි ශ‍්‍රමණයෙක් හෝ බ‍්‍රාහ්මණයෙක් හෝ ජරා මරණත් ජරා මරණ හටගැනීමත්, ජරා මරණ නැති වීමත්, ජරා මරණ නැති වීමේ මගත් අවබෝධ කළොත් අවබෝධ කරන්නේ මා දැන් අවබෝධ කළ ආකාරයෙන් ම ය”

යම් දවසක ආර්ය ශ‍්‍රාවකයා හට පටිච්ච සමුප්පාදයේ සෑම අංගයක් ගැනම ඔය ආකාරයේ අවබෝධයක් ඇතිවුනොත් ඔය ධම්මේ ඤාණයත් අන්වයේ ඤාණයත් ඉතා ම පැහැදිලිව පිරිසිදුව අවබෝධ වුනොත්, අන්න ඒ ශ‍්‍රාවකයා ලෝකෝත්තර සම්මා දිට්ඨියෙන් යුක්තයි. ආර්ය දර්ශනයෙන් යුක්තයි. ඔහු මේ සද්ධර්මයට පැමිණි කෙනෙක්. ඔහු සද්ධර්මය දකින කෙනෙක්. ඔහු ආර්ය මාර්ගයේ හික්මෙන ඤාණයෙන් සමන්විත කෙනෙක්. ආර්ය මාර්ගයේ හික්මෙන අවබෝධයෙන් සමන්විත කෙනෙක්. නිවන් මග නමැති සැඩ පහරට වැටුන කෙනෙක්. අවබෝධයෙන් යුතු කළකිරීමට සුදුසු ප‍්‍රඥාවෙන් යුක්ත කෙනෙක්. ඒ අමා නිවන් දොරටුවේ හැපී සිටින කෙනෙක්.

ඒ ඤාණය ලබාගත හැක්කේ ගෞතම බුදු සසුනේ ශ‍්‍රාවකත්වය ලබාගන්නා බුද්ධිමත් මිනිසුන්ට පමණි. අපි තවමත් පෘථග්ජන යයි කියාගන්නා අවාසනාවන්ත මිනිසුන්ට එය හිමි නැත. එනිසා ඔබත් පෘථග්ජනභාවයෙන් මිදී ඒ සුවිශේෂී ඤාණ දෙක වන ධම්මේ ඤාණයත්, අන්වයේ ඤාණයත් ඇති කරගෙන මිනිස් ජීවිතයේ නියම ප‍්‍රයෝජනය ලබාගන්න.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ