ආචාර්ය නාලක ගොඩහේවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 36 වන සැසිවාරයේ ‘ලංකාව තුළ දෙමළ ජනතාවට අසාධාරණයක් වෙනවා ද?’ යන මාතෘකාව මත පැවති සැසියේ දී කළ දේශනය.

“ගරු සභාපතිතුමනි,
ලංකාව තුළ වසන දෙමළ ජනතාවට, බහුජාතිය වන සිංහලයන්ගෙන් අසාධාරණයන් සිදු වෙනවා යැයි දැනට බොහෝ කලකට පෙර සිට ලෝකය ඉදිරියේ දිගින් දිගට ම ප්‍රකාශ වෙමින් පවතින මතය සම්පූර්ණ අසත්‍යයක් බව මම මුලින් ම ප්‍රකාශ කරන්නට කැමතියි.

ලංකාවේ ජනගහනයෙන් 74.9%ක් සිංහල වන අතර 11.2%ක් දෙමළ ජනතාවයි. මීට අමතරව 4.1%ක් සිටින්නේ ඉන්දීය සම්භවයක් ඇති කඳුකර දෙමළ ජනතාවයි. ලංකාවේ සුළු ජාතීන් සිටින්නේ දෙමළ පමණක් නො වේ. ජනගහනයෙන් 9.3%ක් මුස්ලිම් වන අතර බර්ගර්, මැලේ චෙට්ටි, භරත වැනි තවත් කුඩා ජන කොටස් එකතුව 0.6%ක් පමණ සිටිනවා.

1948 අප නිදහස ලැබූ කාලයේ සිට ම දෙමළ ජනතාවට අසාධාරණයක් වෙනවා ය යන චෝදනාව අසන්නට ලැබෙනවා. නමුත් පුදුමයකට මෙන් රටේ ජීවත්වන අනෙක් සුළු ජාතීන්ගෙන් එවැනි චෝදනාවක් එල්ල වන්නේ කලාතුරකිනුයි. එයට සැබෑ හේතුව නම් ජන වාර්ගික පදනම මත දෙමළ ජනතාවට විශේෂ අසාධාරණයක් වෙනවා ය යන්න දෙමළ දේශපාලනඥයන් විසින් ගොතා කාලයක් තිස්සේ ප්‍රචාරය කරන ලද මුසාවක් පමණක් නිසායි.
ලංකාව තුළ දෙමළ ජාතිකයෙකුට ඉහළට යාමට කිසිදු බාධාවක් නැහැ. දෙමළ ජාතිකයන් අපේ රටේ බොහෝ ඉහළ තනතුරු දරා තිබෙනවා. අදත් එහෙමයි. මම මෙයට උදාහරණ කිහිපයක් දෙන්නම්.

නිදහසින් පසු රට පාලනය කළ සෑම රජයක ම පාහේ ප්‍රබල දෙමළ ඇමතිවරුන් සිටියා. කලක් අපේ විදේශ ඇමතිව සිටි ලක්ෂ්මන් කදිරගාමර් දෙමළ ජාතිකයෙක්. දෙමළ ත්‍රස්තවාදීන් විසින් 2005 ඔහු ව මරා දමන විට ඔහු අගමැති පදවියට පවා සුදුස්සෙකු ලෙසයි සලකනු ලැබුවේ. සමහර විට එදා ඔහු මිය නොගියා නම් සමහර විට ඔහු මේ වන විට රටේ ජනාධිපති වී ඉන්නට පවා ඉඩ තිබුණා.

මෑත දී විශ්‍රාම ගිය අග්‍රවිනිශ්චකාර කේ ශ්‍රීපවන් මහතා දෙමළ ජාතිකයෙක්. වර්තමාන මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි දෙමළ ජාතිකයෙක්. එපමණක් නො වෙයි ඔහුට පෙර සිටි අධිපතිවරයා වන අර්ජුන් මහේන්ද්‍රනුත් දෙමළ ජාතිකයෙක්. ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපති ජෙෆ්‍රි අලගරත්නම් මහතා දෙමළ ජාතිකයෙක්. ලංකාවේ ජනතාව බොහෝ ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතා දෙමළ ජාතිකයෙක්. දෙමළ ජාතික රුද්‍රා රාජසිංහම් මහතා හිටපු පොලිස්පතිවරයෙක්. වර්තමාන නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා මහතා දෙමළ ජාතිකයෙක්. ලංකාවේ ඡන්ද කොමිසමේ සාමාජිකයන් තුන් දෙනාගෙන් එක් අයෙක් වන මහාචාර්ය රත්නජීවන් හූලි දෙමළ ජාතිකයෙක්. පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ආර්. සම්බන්දන් මහතා දෙමළ ජාතිකයෙක්. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් 33 දෙනෙක් ම දෙමළ ජාතිකයන්. අද උතුරු පළාත්සභාවේ මහ ඇමති වන සී. වී. විග්නේශ්වරන් මහතා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක්. කොළඹ කොටස් වෙළඳපොළේ හිටපු සභාපතිවරයා වන ක්‍රිෂාන් බාලෙන්ද්‍ර මහතා දෙමළ ජාතිකයෙක්. ලංකාවේ විශාලතම විද්‍යුත් මාධ්‍ය ජාලය වන සිරස එම්. ටී. වී. අයිති මහාරාජා නැමති දෙමළ ජාතික පවුලටයි. ලංකාවේ විශාලතම සුපිරි වෙළඳසැල් ජාලය වන ෆුඞ්සිටි අයිති පේජ් නැමති දෙමළ ජාතික පවුලටයි. ලංකාවේ විශාලතම බියර් නිෂ්පාදන සමාගම වන කාර්සන්ස් අයිති සෙල්වනාදන් නැමති දෙමළ ජාතික පවුලටයි. මට මේ ආකාරයට දිගින් දිගට ම කියාගෙන යන්නට පුළුවන්.

ඒ වෙනුවට මා අසන්නට කැමතියි “කෝ ඔය කියන ජාතික පදනම මත දෙමළ ජනතාවට වෙනවා යැයි කියන අසාධාරණය?” අප ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ මේ බොරු ප්‍රචාරණවලට සැබෑ හේතුව කුමක් ද කියායි. එය වටහා ගැනීමට අප ඉතිහාසය දෙස හැරී බැලිය යුතුයි.

භේද කොට පාලනය කිරීම යටත් විජිතවාදීන්ගේ මූලික ප්‍රතිපත්තියක්. රටේ ජීවත්වන විවිධ වාර්ගිකයන් අතර අසතුට හා අසමඟිය ඇතිකිරිමේ අරමුණින් ඔවුන් හැම විටම සුළු ජාතීන් ව සම්බන්ධ කර ගත්තා මහ ජාතිය පාලනය කිරීමට. ඒ අනුව 1948 අපේ රට නිදහස ලබන විට රජයේ බොහෝමයක් ම වගකිව යුතු තනතුරු දැරුවේ දෙමළ ජාතිකයිනුයි. නිදහස නිසා එතෙක් ඔවුන් සතුව තිබූ මේ ආධිපත්‍යය නැති වේ යැයි එදා සිටි උගත්, ඉංග්‍රීසි කතා කරන සමාජයේ බලවත් පදවි දැරූ දෙමළ පිරිස බිය වුණා. ඔවුන් සිංහලයන් හා සම පාලන අයිතිය ඉල්ලුවේ ඒ නිසායි. එසේ ඔවුන් 50:50 ඉල්ලන විට ඔවුන්ගේ ජන අනුපාතය 10%ටත් අඩුයි. එදා දෙමළ දේශපලනඥයන් ඉල්ලූ ආකාරයට 50:50 දුන්නා නම් අසාධාරණය වන්නේ බහුජාතිය වූ සිංහලයන්ටයි.

අපි දැන් බලමු ශ්‍රී ලංකාව තුළ සුළු ජාතීන්ගේ තත්ත්වය කුමක් ද කියා.

ශ්‍රී ලංකා ජාතික කොඩියේ දෙමළ හා මුස්ලිම් ජන කොටස්වලට සුවිශේෂී තැනක් ලබා දී තිබෙනවා. තැඹිලි පාට ඉරකින් දෙමළ ජනතාවත්, කොළ පාට ඉරකින් මුස්ලිම් ජනතාවත් මූර්තිමත් වනවා. මේ ආකාරයට ජාතික කොඩියෙන් පවා සුළු ජාතීන්ට ගෞරවයක් ලබා දී ඇති අන් රටවල් මොනවාදැයි මම අසන්නට කැමතියි.

ලංකාවේ රජය මගින් මුද්‍රණය කරනු ලබන සියලූ ම වැදගත් ලිපි ලේඛණවල සිංහල හා දෙමළ යන භාෂා දෙක ම භාවිත වෙනවා. එයට උදාහරණ ලෙස අපට උප්පැන්න සහතිකය, විවාහ සහතිකය, මරණ සහතිකය , ආගමන විගමන පත්‍රිකා ආදිය නම් කළ හැකියි. සියලූ ම මුදල් නෝට්ටුවල අගයන් සිංහල හා දෙමළ භාෂා දෙකෙන් ම සඳහන් වෙනවා. ලංකාවේ ඕනෑම දරුවෙකුට නිදහස් අධ්‍යාපන අයිතිය තිබෙනවා. ඕනෑම පුරවැසියෙකුට නිදහස් සෞඛ්‍ය අයිතිය තිබෙනවා. ජාතිකත්වය එම අයිතීන් සඳහා බලපාන්නේ නැහැ. ලංකාව තුළ බහුතරය වන සිංහලයන්ට පමණක් සීමා කරනු ලැබු කිසිදු ස්ථානයක් නැහැ. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් මේ සියල්ලට අපේ පොදු ප්‍රවාහන පහසුකම් එක සේ භාවිත කළ හැකියි.

කිසි ම ක්‍රීඩාවකට ජාතිකත්වය බලපාන්නේ නැහැ. ජාතික කණ්ඩායමකට ඇතුළු වීමේ දී බලන්නේ දක්ෂතාව පමණයි. ක්‍රීඩකයා අයත් වන්නේ මහ ජාතියට ද නැත්නම් සුළු ජාතියකට ද කියා සලකා බැලීමක් කිසි විටෙක කෙරෙන්නේ නැහැ. ඉතින් කොහෙද මේ කියන සුළු ජාතීන්ට වන විශේෂ අසාධාරණය?

නමුත් අනික් අතට දෙමළ බහුතරයක් ඉන්නා උතුරේ නම් අන් ජාතීන්ට අසාධාරණයක් වන නීතියක් තිබෙනවා. ඒ තේසවලාමේ නමින් හැඳින්වෙන ඉඩම් පවරාදීමට සම්බන්ධ නීතියයි. උතුරට පමණක් බලපාන මේ නීතිය අනුව ඉඩමක් අලුතින් මිල දී ගත හැක්කේ දෙමළ අයෙකුට පමණයි. මෙන්න දෙමළ බහුතරයක් සිටිනා ප්‍රදේශයක ජාතිකත්වය මත පදනම් වූ අසාධාරණත්වයට හොඳ ම උදාහරණ.

ඇත්තෙන්ම කියනවා නම් දෙමළ ජාතිකයන්ට විශේෂ අසාධාරණයක් වෙනවා නම් ඒ දෙමළ ජාතිකයන්ගෙන් ම යි. එයට හේතුව විදේශිකයන්ට සමහර විට නොතේරෙන දෙමළ සංස්කෘතිය තුළ කුලවාදය යි.

උතුරේ දෙමළ ජනතාව නැගෙනහිර දෙමළ ජනතාව පහත් කොට සලකන බවත්, උතුරු නැගෙනහිර ජනතාව එක්ව කඳුකර දෙමළ පහත් කොට සලකන බවත් ඕනෑම කෙනෙක් දන්නා කරුණක්. වෙනෙකක් තබා මෙම භේද දෙමළ ජනතාවට වෙන ම රාජ්‍යයක් ඉල්ලා සටන් කළ එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදීන් අතර පවා තිබුණා. 2005 දී එල්. ටී. ටී. ඊ.යෙන් කැඩී වෙන් වුණ එහි නැගෙනහිර හමුදා නායක වූ කරුණා ඔහුගේ සම්මුඛ සාකච්ඡාවල පැහැදිලි කොට තිබෙන්වා ත්‍රස්තවාදී සංවිධානය තුළ උතුරේ කාඩරයින් නැගෙනහිර කාඩරයින් පහත් කොට සැලකූ බව. ඒ නිසා බොහෝ විට පරාජය වීමට වැඩි ඉඩක් ඇති විනාශකාරී ක්‍රියාන්විතයන් සඳහා නැගෙනහිර බලකායන් යොදා ගැනුන බව ඔහු කියා තිබෙනවා.

මා ඔබෙන් අසනවා අදත් උතුරේ ඉහළ කුලයක දෙමළ අය පහළ කුලයක අය සමඟ එකට සිට කෑම කනවා ද? පහළ කුලයක අයෙක් සමඟ විවාහය අනුමත කරනවා ද?

දෙමළ ජනතාව පහළ කුලයක අයෙකු ආගමික ස්ථානයකටවත් වද්දා නොගන්නා යුගයක් ලංකාවේ තිබුණා. 1957 ඉතා ප්‍රසිද්ධ වූ සිද්ධියක් මම මතක් කරන්නම්. හිටපු කැබිනට් ඇමතිවරයෙකු වූ සී. සුන්දරලින්ගම් මහතා නල්ලූර් කෝවිලේ ගේට්ටුව හරහට නිදා ගත්තා පහළ කුලවල අයටත් කෝවිල විවෘත කළ යුතු යැයි රජය නීතියක් ගෙන ආ විට.

ඇත්තෙන්ම දෙමළ ජනතාව තුළ තිබූ මේ එකිනෙකාට කෙනෙහිලි කර ගැනීමට යම්තාක් දුරකට හෝ පාලනය කෙරෙන පනතක් ඉදිරිපත් වූයේ සිංහල අගමැතිවරයෙකු වූ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ කාලයේ යි. 1957 ගෙන ආ සමාජ විෂමතාවයන් පිළිබඳව වූ පනතෙන් හඳුන්වා දුන් නීතිවලින් කිහිපයක් දෙස බැලීමෙන් පමණක් ප්‍රශ්නය මොනතරම් බරපතළ වන්නට ඇද්ද කියා ඔබට වටහා ගත හැකියි. ‘කුලය මත පදනම්ව යමෙකුට රැකියාවක් ලබා ගැනීමේ අවස්ථාව අහිමි කළ නො හැක. කුලය මත පදනම්ව යමෙකුට අධ්‍යාපනය ලබා ගැනීමේ අවස්ථාව අහිමි කළ නො හැක. කුලය මත පදනම්ව යමෙකුට ආපන ශාලාවකට ඇතුළුවීමේ අවස්ථාව අහිමි කළ නො හැක. කුලය මත පදනම්ව යමෙකුට සුසානාගාරයකට ඇතුළුවීමේ අවස්ථාව අහිමි කළ නො හැක. කුලය මත පදනම්ව යමෙකුට තමුන් කැමති ඇඳුමක් ඇඳීමට ඇති අවස්ථාව අහිමි කළ නො හැක. කුලය මත පදනම්ව යමෙකුට පොදු වතුර ලබා දෙන ස්ථානයකින් වතුර බීමට ඇති අවස්ථාව අහිමි කළ නො හැක. කුලය මත පදනම්ව යමෙකුට ආගමික ස්ථානයකට ඇතුළුවීමට ඇති අවස්ථාව අහිමි කළ නො හැක.’ මේ කිහිපයක් පමණයි. එය ඉතා දිගු පනතක්.

තමුන්ගේ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් ලෝකය හමුවේ කෑමොර දෙන අය තමුන්ගේ ම ජනතාවට සලකන ආකාරය පුදුම උපදවනවා නේ ද?

අදත් මේ භේදය යාපනයේ තිබෙනවා. හොඳ ම උදාහරණය තමයි යාපනයේ ඉස්පිරිතාලවලට ලේ දන් දෙන්නට එහි ප්‍රදේශවාසීන්ගේ ඇති අකමැත්ත. තම ලේ වෙනත් කුලයක අයෙකු හා මිශ්‍ර වේවි යන අකමැත්තයි එයට හේතුව. යුද්ධය කාලයේ යාපනයේ ඉස්පිරිතාලවලට ලේ දන් දුන්නේ සිංහල සොල්දාදුවෝ. එම ලේවලින් එල්. ටී. ටී. ඊ. තුවාලකරුවන්ට පවා ප්‍රතිකාර කෙරුනා. මීට සති කිහිපයකට කලිනුත් ත්‍රිවිධ හමුදාවල 200ක් පමණ දෙනා යාපනයේ ලේ දන් දුන්නා ලේ බැංකුවේ විශේෂ ඉල්ලීමක් පිට.

1948 අප ඉංග්‍රීසීන්ගෙන් නිදහස ලැබුවාට පසු එතෙක් සමාජයේ විශේෂ වරප්‍රසාද ලබමින් සිටි ඉංග්‍රිසි උගත් ඉහළ පන්තියේ දෙමළ නායකයන් දැඩි අසතුටට පත් වුණා ඔවුන්ගේ වරප්‍රසාද සාමාන්‍ය ජනතාව හා බෙදා ගන්නට වේවි ය යන බිය නිසා. ඒ නිසා ඔවුන් කළේ ඉතා සූක්ෂම ආකාරයට සිංහල ජනතාවගෙන් වෙන් වීම දෙමළ ජනතාවට හොඳ යැයි මතයක් දෙමළ ජනතාව තුළ සමාජගත කිරීම යි. ඒ සඳහා ඔවුන් බොහෝ බොරු මතිමතාන්තර පතුරුවා හැරියා. අවාසනාවකට මෙන් බොහෝමයක් දෙමළ ජනතාව මේවාට රැවටුනා. අවසානයේ එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදයේ ආරම්භයටත් හේතු වූයේ ඔවුන් විසින් ගොඩනැගු ජාතිවාදී මතවාදය යි.

වසර තිහක් අප සියලු දෙනා ම ත්‍රස්තවාදයෙන් බැට කෑවා. දැන් අපි ත්‍රස්තවාදය මුලින් උපුටා දමා තිබෙනවා. දැන්වත් අපි අපට වැරදුන තැන් නිවැරදි කර ගත යුතුයි. ඒ සඳහා විශේෂ වගකීමක් තිබෙන්නේ දෙමළ ජනතාවටයි. සිංහල ජනතාව දැනටමත් ඔවුන්ට සහෝදරත්වයේ දෑත දිගු කොට තිබෙනවා. 2009 මැයි මාසයේ යුද්ධය අවසන් වූවාට පසු රජයේ යටිතල පහසුකම් දියුණුකිරීම සඳහා වූ ආයෝජනයන් බහුතරය යොදාගැනුනේ උතුරු නැගෙනහිර යළි යථා තත්ත්වයට ගෙනෙන්නටයි. අද දෙමළ ජනතාවට රටේ අන් ඕනෑම ප්‍රදේශයක ජනතාව මෙන් සාමයෙන් ජීවත් විය හැකියි. ව්‍යාපාර කළ හැකියි.

නමුත් මෙතෙක් කල් දෙමළ ජනතාව රැවටූ බලවේග යුද්ධයෙන් පසුවවත් නතර වී නැහැ. අන්තර්ජාතික සහාය ඇතුව ඔවුන් යළිත් ඔවුන්ගේ කපටි අරමුණු ඉටුකර ගැනීමේ කාර්යය ආරම්භ කොට තිබෙනවා. ඒ සඳහා ඔවුන් දිගින් දිගට ම අන්තර්ජාතිකය රවටනවා. එදා ප්‍රභාකරන්ට උඩගෙඩි දුන් වයිකෝ වැනි තමිල්නාඩු දේශපාලනඥයන් පවා අද ජිනීවා පැමිණ දෙමළ ජනතාවගේ ආරක්ෂකයන් ලෙස පෙනී සිටිමින් ද කරමින් සිටින්නේ ඒ දෙය ම යි. අලුතින් පත් වී ඇති ලංකාවේ රූකඩ ආණ්ඩුවත් ඔවුන්ට ලොකු සහායක්.

අප විශ්වාස කරනවා බුද්ධිමත් සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාව විශේෂයෙන් ම අනාගත පරපුර මේ ජාතිවාදී උගුලෙන් එළියට ආ යුතුයි කියා. සියලු දෙනාටම සමව ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන ඒකීය රටක් තුළ සාමයෙන් ජීවත් වන්නටත්, රටක්ලෙස දියුණු වන්නටත් අනාගත පරපුර උත්සුක වේ යැයි මා ප්‍රාර්ථනා කරනවා.”

– චාමින්ද කරුණාරත්න (ජිනීවා සිට)

උපුටා ගැනීම – lankacnews.com වෙබ් අඩවියෙන්