ද වන විට අප රටෙහි ගීත කලාවේ මහා පරිහානියක් ගැන බොහෝ අය කතා කරති. විස්සෝප වෙති. ගී පද යැයි නොකිව හැකි ගණයේ අශ්ලීල, පබැඳුම් දැන් දැන් අසන්නට ලැබේ. ඇතැම් මාධ්‍ය මඟින්ද ඒවාට පුළුල් අනුග්‍රහයක් ලැබෙනු පෙනේ. ඒ අතර ම බුදු දහම රස වින්දනය ප්‍රතික්ෂේප, කරන්නේ යැයි ද මතයක් පවතී. එසේ නම් ගීතය , කවි ය ආදි කලාංග බෞද්ධ දර්ශනය තුළ ප්‍රතික්ෂේපිත ද, හරවත් කලා රසවින්දනයක් උදෙසා කිසියම් ම හෝ මඟපෙන්වීමක් බුදු දහමින් ලබාගත නොහැකි ද යන ගැටලු ධාර්මිකව විසඳා ගැනීමේ අරමුණ ඇති ව අපි කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්වහන්සේ සමඟ සාකච්ඡා කළෙමු.

● ගෞරවනීය ස්වාමීන් වහන්ස, අප තථාගතයන් වහන්සේ රසවින්දනය ප්‍රතික්ෂේප කළා ද? බුදුදහම යනු සෞන්දර්ය පිටු දකින දහමක් ද?

නැහැ. කොහෙත්ම නැහැ. උන් වහන්සේ අපූරු කාව්‍ය ප්‍රතිභාණයක් ප්‍රකට කොට තිබෙනවා. ඒ වාගේම පුදුමාකාර කාව්‍යමය හැකියාවකින් යුතු ව සිටි රහතන් වහන්සේලා බොහෝ ගණනක් අපට බෞද්ධ ඉතිහාසය පුරා ම මුණගැසෙනවා. බුදුරජාණන් වහන්සේ ගේ නවාංග ශාස්තෘ ශාසනයේ එක කොටසක් තමයි ගාථා. ගාථාවලට අපට සිංහලෙන් කියන්න පුළුවන් කවි හෝ ගී කියා. පාලියෙන් එය ගාථා යි. මේ ගාථාවල අපූර්වතම කාව්‍ය සංකල්පනා, කාව්‍යෝක්ති, සොඳුරු උපමා ආදිය නිබඳ ව දැකගත හැකියි.

කොටින්ම කියනවා නම් උන් වහන්සේ මෙවැනි දෙසුම් වල දී ප්‍රකට කළ කාව්‍ය ප්‍රතිභාණය කෙතරම් විස්මිත ද යත් එයින් මිනිස් සිත් සතන් කෙතරම් ආකර්ෂණය කෙරුණා ද යත් එකල බුදු දහමට එරෙහි වූවන් පවසා තිබෙනවා බුදුරජුන් පුද්ගලයන් වශීකරණයෙහි සමත්ය කියා. උන් වහන්සේ මිනිසුන් මායාකාරී ලෙස ඇද ගැනීමට සමත් කියා යි ඉන් කියැවෙන්නේ.

ඒත් ඒ මායාව උන්වහන්සේ ගේ සොඳුරු භාෂා භාවිතය යි. හැබැයි උන්වහන්සේ තමන් වහන්සේ ගේ මේ කාව්‍ය ප්‍රතිභාණය තම ශ්‍රාවකයා ගේ ධර්මාවබෝධය පිණිස ම යි යොදා ගෙන තිබෙන්නේ.

ඇතැම් දේශනා වල දී ප්‍රකාශ කොට තිබෙන්නේ මෙ කවියක්. ඒ කවිය අසන්නාට මුළු දේශනාවකින් ම ඉටුවන කාරණාව සම්පූර්ණ වෙනවා. දැන් බලන්න වංගීස මහ රහතන් වහන්සේ උපතින් ම කවියෙක්. උන්වහන්සේ බොහෝ කාව්‍ය ප්‍රබන්ධ කොට තිබෙනවා. ගග්ගරා සූත්‍රයේ දී අපට එවැනි අනගි කවියක් හමු වෙනවා. චම්පා නුවර ගග්ගරා පොකුණු තෙර 500 ක් භික්ෂූන් ද 700 ක් උපාසකයින් ද අහසේ සිටි දහස් ගණන් දෙවියන් ද පිරිවරා වැඩ සිටි බුදුරජුන් දුටු වංගීස රහතුන් සිතෙහි උපන් කවි සිතිවිල්ලයි මේ.

මේඝ වලා පහ වී ගිය නිල් අහස් කුසේ
බාධාවක් නැති ව දිලේ හිරු සඳු රිසිසේ
අංගීරස මහමුනිඳුනි ඔබත් ඒ ලෙසේ
දිලෙහි හැම ලොවේ පතුරන උතුම් කිතු ගොසේ

මේ කවිය ප්‍රකාශ කරන්නට කලින් වංගීස රහතන් වහන්සේ තමන් වහන්සේ සිටි තැනින් නැගී සිට භාග්‍යවතුන් වහන්ස මට කවියක් කියන්න හිතයි කියා පවසා සිටිනවා. ඒ වෙලාවෙදී තථාගතයන් වහන්සේ කවි එපා කියා ප්‍රතික්ෂේප කළේ නැහැ. එයට වහා ම අවසර ලබා දුන්නා. එපමණක් නො වේ ඒ රහතුන් ගේ සිතේ කවි උපදින ආකාරය ගැනත් බුදුරජුන් උන් වහන්සේ සමඟ විස්තර කතා කොට තිබෙනවා. ඒ වාගේ ම දෙවියන් අප තථාගතයන් වහන්සේ සමඟ බොහෝ විට අදහස් හුවමාරු කරගෙන තිබෙන්නේ කවියෙන්. දිව්‍ය ලෝකයේ බොහෝ විට සිට තිබෙන්නේ කවීන් යැයි සිතන තරම්. අපූරු කාව්‍යෝක්තීන් දෙවිවරුන් ප්‍රකාශ කර තිබෙනවා.

සංයුක්ත නිකායේ සනමාන සූත්‍රයේ දැක්වෙන පරිදි එක්තරා දෙවි කෙනකු බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ මෙසේ කවියක් කියා තිබෙනවා.

සිටි මද්දහනේ සියොතුන් – ඉසිබු සලන විට නද දී
හඬ වැටෙනු වැනි වන ගැබ- බිය ම හට ගනී මසිතේ

පක්ෂීන් ගේ පියාපත් සැලීම් අසා බියගත් මේ දෙවියා මා සිතන්නේ වෘක්ෂ දේවතාවකු විය යුතු යි කියා යි. මේ කවිය අසන අප තථාගතයන් වහන්සේ ඒ කවිය ම වෙනත් අයුරකින් ප්‍රකාශ කොට තිබෙනවා.

සිටි මද්දහනේ සියොතුන් – ඉසිඹු සලන විට නද දී
හඬ වැටෙනු වැනි වන ගැබ – සතුට උපදවයි මසිතේ

උන්වහන්සේ වැඩි වශයෙන් ගැවසුනේ වනයේ යි. කෙලෙස් සහිත යමකු තැති ගන්වන අරමුණ ම නිකෙලෙස් සිතකට සතුටක් දැනවීමෙහි සමත් වන හැටි බලන්න. වරක් සක් දෙවිඳුන් පැමිණ රමණීය භූමි දර්ශන ආදිය ගැන භාග්‍යවතුන් වහන්සේගෙන් විමසූ විට උන් වහන්සේ පැදි දෙකකින් පිළිතුරු දී තිබෙනවා.

තිබෙන’ මුත් අරම්චේතිය වනචේතිය හා පොකුණු ද
නිමැවුන මුත් මැනැවින් ඒවා සිත්කලු ලෙස මහරු ව
මිනිසුන් තුළ මතු කරගත් සොඳුරු ගුණ දහම් අබියස
සොළොස් කලාවෙන් කොටසක් වත් නො අගී එය කිසිලෙස
ගමෙක හෝ අරණෙක හෝ -නිම්නයෙක හෝ කඳු මුදුනක
වසත් නම් යම් තැනෙක රහතුන් -සොඳුරු මයි සැබැවින්ම ඒ බිම

ඒ වාගේ ම තවත් සුවිශේෂී දෙසුමක් අපට හමුවෙනවා. සක්කපඤ්හ සූත්‍රයේ දී කාව්‍යයට , නෘත්‍යයට, වාදනයට අති දක්ෂ ගාන්ධර්ව පුත්‍රයකු වූ පඤ්චසිඛ සිය වීණාව ද නද දෙවමින් බුදු ගුණ, දහම් ගුණ, රහතුන් ගේ ගුණ ද කැටිකර ගත් එහෙත් ඒ සමඟ ම කාමයද වර්ණනා කෙරෙන කාමාසක්ත කවි පද වැලක් බුදුරජුන් අභිමුව පවසා සිටියා. ඒ ඔහුගේ සිත් ගත් ලලනාව වෙනුවෙන් නිර්මාණය කරන ලද්දක්.

ඩා බිඳු හෙළනා දන හට – හමන පවන්රොද මයි පි‍්‍රය
තැවෙන පිපාසිතයන් හට – සිහිලැල් දිය පොද මයි පි‍්‍රය
නිවන් දුටු රහත් සඟනට – මුනිඳුන් ගේ දහම යි පි‍්‍රය
එලෙසින් සොඳුරියෙ මා හට – තී මයි පි‍්‍රය තී මයි පි‍්‍රය

ගිලන් වී සිටින කෙනකුට – සුව ලබනා ඔසු මයි පි‍්‍රය
සා ගින්නෙන් පෙළෙන්නෙහුට – කුස පිරෙනා බොජුනයි පි‍්‍රය
ඇවිලී ගෙන යන ගිනිදැල් – නිවා දමන ලෙස ජලයෙන්
නිවා දමාපන් සොඳුරියෙ – ම සිතේ රාගිනි

සිහිල් දිය පිරුණු පොකුණෙක
මල් රේණු විසිර පැතිරුන විට
ගිමෙන් තැවුණු ඇතකු ඇවිත්
එහි කිමිදෙන සේ
මම ද තිගේ ළමැදට විත්
කිමිද යන්නෙමී

නිකෙලෙස් රහතුන්ට පුදා – යම් පිනක් කළා නම් මා
මෙහි හැම අඟින් සොඳුරු කලණිය තී- මට ලැබ දීමෙන්
ඒ පින මට ඵලදේවා!

ශාක්‍ය පුත්‍ර වූ මුනිඳුන් – දැහැන්ගත සිතින් තනි වී
සිහි නුවණින් යුතුව නිවන් – සොයා ගිය ලෙසේ
එම්බා හිරුබෙට්ටියෙ – මම ද තී සොයා එමී

උත්තම සම්බෝධිය ලැබ – තුටු වූ ලෙස අප මුනිදා
තී හා එක් වී කලණියෙ – මම් ද තුටු වෙමී
තිදසාවෙහි ඉසිරිඳු වු සක්දෙවිඳාණන්
වරයක් මට දෙන්නේ වී නම්
තී මයි සොඳුරියෙ මම් ඒ වරයට ගන්නේ
මා බැඳී ගියා මෙලෙසින් තී කෙරේ දැඩි ලෙසින්

මේ ගී ගැයුම ඉවසා වදාරා සිටි අප භාග්‍යවතුන් වහන්සේ පවසා සිටියේ කුමක්ද?

පඤ්චසිඛයෙනි, තොප වීණාවෙහි තත්සරත් තොප ගී සරත් සැසෙඳ් මැ යි මැනැවින්, තොප ගේ ඒ ගී සරත් තොප විණාවෙහි තත්සරත් සැසැෙඳ් ,මැ යි මැනැවින් නොඉක්මවයි ඒ තත්සර, තොප ගේ ගී හඬ. නොඉක්මවයි ඒ ගී හඬ, තොප ගේ තත්සර. පන්සිළුවෙනි, බුදුගුණ, දම් ගුණ, සඟ ගුණ මුසු වූ අරහත් ගුණ මුසු වු මේ කව් කවදා ද රැසැයුයේ ? කියාත් උන් වහන්සේ පන්සිළු ගෙන් කරුණු විමසා සිටියා. උන් වහන්සේ මේ සියල්ල කෙළේ පන්සිළු කෙරෙහි මහා අනුකම්පාවකින් බව අපට පෙනෙනවා. ඉතින් අපට නම් පැහැදිලි ලෙස ම පෙනෙන කරුණ තමා අපේ ධර්ම අධ්‍යයනයේ ඇති පටු බව නිසාම මෙවැනි රසවත් සූත්‍ර වින්දනයට නැඹුරු වීමට හැකියාවක් නොමැති වීම. අප භාග්‍යවතුන් වහන්සේගේ දේශනා අතර අපට හමුවන තවත් රසවත් ම දෙසුමක් ධම්මපදයේ තිබෙනවා. එතැන විග්‍රහ වන්නේ තණ්හාව ගැනයි.

රුකෙහි වෙලෙනා ඒ වෙලාගත් රුකම නසනා
මාලුවා වැල විලසිනේ
කාම වසඟව වසන මිනිසා තුළ ලියලා වැඩී
ආශාව මයි මාලුවා වැල ලෙසේ
ඔහු වනසාලන්නේ

හිමාලයේ වෘක්ෂවලට තිබෙන විශාල හානියක් තමා ඒවා යේ මාලුවා වැල් එතී යෑම. මේ වැල්වල කොළ කෝප්ප වගේ. ඉතින් වැහි කාලෙට මේවාගේ වතුර පිරී ගස් සමග ම ඉදිරී වැටෙනවා. ඒත් ඒ වැල් තමා ගේ වර්ධනයට ගස්වල එතී යනවා. ඉතින් බලන්න මිනිස් සිතේ හටගන්නා තෘෂ්ණාව මාලුවා වැලකට උපමා කොට තිබීම මොන තරම් අසිරිමත් ද?

මාගේ ධර්මය ප්‍රඥාවන්තයාට යි යනුවෙන් අප තථාගතයන් වහන්සේ දේශනා කළා. ඒ වාගේ ම බසෙ හි අග කවියයි. දිවියෙහි අග නිවන යි කියාත් කියමනක් තිබෙනවා. ධර්මාවබෝධයේ දී වාගේ ම හොඳ කාව්‍යයක්, සුභාවිත ගීත නිර්මාණයක් විඳීමේදීත් මේ ප්‍රඥාවම නේද කෙනෙකුට උපකාරී වන්නේ?

අනිවාර්යයෙන් ම බුද්ධ කාලීන මිනිසාට මේ ඥානය ඉතා හොඳින් තිබුණා. පසු කාලීන ව ඇති වූ පරිහානි තත්ත්ව නිසා තමයි මිනිසාගේ මේ ප්‍රඥා ඉන්ද්‍රිය පිරිහී ගියේ. දැන් බලන්න බුද්ධ කාලීන විසූ කවියේ සෞන්දර්යයට සිත් බැඳි යුවළක් වු ධනිය ගෝපාල සහ ඔහු ගේ බිරිය වෙනුවෙන් අප තථාගතයන් වහන්සේ දේශනා කළ කාව්‍ය නිර්මාණ දෙස,

පිසා බත දොවා මී කිරි
මා වසමි ගං තෙරේ මහී
කුටිය වසා සිටිනා විට
අප සැම දෙනා තුටින්
අවුලා ඇති ගිනි ද දිලෙද්දි
කැමැති ලෙස ඇද හැලෙන් නුඹ දැන්
වැහි වළාවෙනී

එසේ ධනිය කවි කී විට අප භාග්‍යවතුන් වහන්සේ මෙසේ ප්‍රකාශ කොට වදාළා.

නසා ඇත සිතේ ක්‍රෝධය
ගලවා කෙලෙස් කණු
මා වසමි ගං තෙරේ මහී
කුටිය ඇර තිබෙද්දි මෙහි
ගිනි නිවා තිබේ
කැමැති ලෙස ඇද හැලෙන් නුඹ දැන්
වැහි වළාවෙනී

අපේ සීගිරි ගී වගේ දේ බැලුවත් අපට පැහැදිලි ලෙස ම පෙනෙන්නේ අතිශය සුන්දර , හික්මුණු, අශ්ලීලත්වයෙන් තොර වින්දන රටාවක් අපට හුරු වී තිබී ඇති බව යි. මේ අතිශය ප්‍රශස්ත වින්දන රටාව අපේ ධර්මයෙන් අපට ලැබී තිබුණා. නමුත් පසුකාලීනව මේ වින්දන රටාවට සංස්කෘත සාහිත්‍ය විසින් හානි කරනු ලැබුවා. කාමය ඒ තුළ ඉස්මතු වුණා බොහොම තදින්. කෙලෙස් නැසූ මුනිවරුන් පහළ නොවන බටහිරටත් එවැනි උතුමන් ගේ උත්තම වින්දන රටාවක් ගැන හැඟීමක් ඇති කර ගැනීමට බැහැ. ඕලාරික, අපවිත්‍ර, අශෝභන වදන් තුළ සුන්දරත්වය සොයන ක්‍රියාවලියක් මතු වුණේ ඒක යි.

ථේර ථෙරී ගාථා, සීගිරි ගී ආදියෙහි එන ඉඳුරන් දමනය කළවුන්ගේ යුගයේ බිහි වූ අධ්‍යාත්මික ව සුවපත් බව ම කැටි වු සාහිත්‍ය කලාව ක්‍රමයෙන් දැන් අපට අහිමි වීගොස් තිබෙන්නේ මේ හේතු නිසා ම යි.

මුනිවරුන් විඳි විරාගී භාව ගුණයන්ගෙන් හෙබි ඒ නිර්මාණ කෙරෙහි වඩ වඩාත් යොමු විය යුතු ඒවා අධ්‍යයනය කළ යුතුම කාලයක් දැන් අප ඉදිරියේ තිබෙන බව මගේ හැඟීම යි.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

සාකච්ඡා කළේ – තනූජා ධර්මපාල

 

මුල් පිටුවට >>>