මිනිස් ඉතිහාසය යුද්ධ වලින් පිරී ගිය එකකි. මෙයට මෑතකදී එක් වූ භයානකම දෙය ත්‍රස්තවාදයයි. ත්‍රස්තවාදයත්, යුද්ධයත් අතර පැහැදිලි වෙනස්කම් තිබේ. යුද්ධයට සදාචාරය යා කළ නොහැකි මුත් යුද්ධ කරන පාර්ශවයන් අතර බොහෝ විට එකඟතාවයන් ඇතිවේ. යුද්ධයට මැදිහත් නොවන පොදු ජනයා කෙරෙහි යම් යම් උපකාර ඇතිවේ. එහෙත් ත්‍රස්තවාදය තුළ ලෝකයට හෝ ත්‍රස්තවාදීන්ට හෝ විනාශය මිස යහපත් කිසිවක් උරුම නොවේ.

මම ද ත්‍රස්තවාදයෙන් බැට කෑ කෙනෙක්මි. ඒ1985 වසරයි. එම වසරේ අප්‍රේල් මස 17 වෙනි දින සේරුවිල සිට කන්තලේ බලා පැමිණෙමින් සිටියදී සිත්තාරු යන කැලෑ ප්‍රදේශයේදී බිහිසුණු ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයකට මා ගමන් කරමින් සිටි බස් රථය ගොදුරු විය. හිටි හැටියේ ම කැලෑව දෙසින් රතිඤ්ඤා වැනි හඬක් පිපිරුණි. සැණෙකින් බස් රථයේ වීදුරු කඩාගෙන ගියේය. සියල්ලෝ විලාප දුන්හ. ඇතැම් මව්වරුන්ට බස් රථයේම මළපහ විය. අපගේ වාසනාවට එදා අප සමඟ ඒ බස් රියේ සොල්දාදුවෙක් පැමිණියේ ය. ඔහු වහා ක්‍රියාත්මක විය. ‛බිමට පාත්වෙන්න, කොටි වෙඩි තියනවෝ….’ කියා ඔහු කෑ ගැසුවේය. අපි බස් රථයේ බිම වාඩි වී දිගාවුණෙමු. එහෙත් කොටි නොනැවතීම වෙඩි තබති. එදා කුමක්දෝ වාසනාවක් නිසා ඒ රියදුරු මහතා නොනවත්වා ටික දුරක් බසය පදවාගෙන ගියේය. එහෙත් ත්‍රස්තවාදීන්ගෙන් ගැලවීමක් නැත.

‛කරන්න දෙයක් නෑ. අපට බේරෙන්න විදිහක් නෑ. හැමෝම බසයෙන් පැනගන්න. වම්පස බෑවුමේ දිගාවෙන්න.’ සොල්දාදුවාගෙන් අණ ලැබුණු අපි හනික බස් රියෙන් පැන ගතිමු. දැන් අප සියලු දෙනා බෑවුමේ දිගා වී සිටිමු. කිරි දරුවන් වඩා ගත් මව්වරු, ගර්භණී මව්වරු, පාසල් දරුවන්, රැකිරක්ෂා බලා යන අය ආදී ත්‍රස්තවාදයට කිසිසේත් සම්බන්ධ නැති කිසි වරදක් නොකළ අප සියලු දෙනා දැන් බලා සිටින්නේ කොයි මොහොතේ ත්‍රස්තවාදීන්ගෙන් අපට එල්ල වෙන මරණය දෙස ය. සියල්ල අමතක වූ අප ඉදිරියේ දිස් වූයේ මරණය පමණි. කරන්නට කිසි දෙයක් නැත. මම ද සිත දැඩිකර ගතිමි. එහි සිටි එකම භික්ෂූන් වහන්සේ මා නිසා මම තවත් කලබලයට පත්වීමි. මා අසා තිබුණේ ත්‍රස්තවාදීන් විසින් අල්ලා ගත් අය නොයෙක් වදහිංසාවලට ලක්වෙන බවයි. ඔවුන්ගේ ග්‍රහණයට ලක්වීමට මම අකමැති වුණෙමි. යම් හෙයකින් ඔවුන් පඳුරු අතරින් එළියට පැමිණෙන විට මෙතැනම සිටියොත් ඔවුන් මා අල්ලා ගනිතියි මා තුළ බියක් ඇතිවිය. එවිට මා සිතුවේ මෙයයි. එනම් ඔවුන් සමීපයට එන්නට පෙර නැගිට දුවන්නටයි. එවිට ඔවුන්ට මාව අල්ලා ගත නොහැකි වනු ඇත. මට වෙඩි තබනු ඇත. මම එයට සූදානමින් සිටියෙමි.

කුමක්දෝ වාසනාවකට අප කවුරුත් නොසිතූ නොපැතූ අයුරින් කුඩා හමුදා බලඇණියක් අප සිටි දිසාවට එමින් සිටියහ. බස් රථයක් වටකොට පඳුරු අස්සේ සැඟවී සිට වෙඩි තබමින් සිටින ත්‍රස්ත ප්‍රහාරයේ ඉව වැටෙමින් සිටි ඒ වීරෝධාර හමුදාව ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කරන්නට පටන් ගත්තෙන් ත්‍රස්තවාදීහු පසුබා ගියහ. එක් මවක් එතැනම මිය ගිය අතර, එදා මාගේ මෙන් ම අන් අයගේ ද අනෙත් ජීවිත බේරුණේ හමුදාව පැමිණි නිසා ම ය. ඒ දිනවල දවල් කාලයෙහි පන්සලෙහි සිටින අප රාත්‍රිය ගෙවන්නේ ගස්වල හදාගත් අට්ටාල මත ය. රාත්‍රියට විදුලි පහන් දල්වනු නොලැබේ. සෑම රාත්‍රියකම අඳුරු සෙවණැලි හොල්මන් කරන්නේ බිහිසුණු ත්‍රස්තවාදීන්ගේ පෙරනිමිති හඟවමිනි.

සියල්ල විනාශ කරමින් බිහිසුණු ප්‍රචණ්ඩ සුනාමියක් මෙන් ජාතික දේහය වෙලාගත් මෙම ත්‍රස්තවාදය බල උමතුවෙන් පෙලෙන දේශපාලකයන් හට අපූරු ඡන්ද ගුණ්ඩුවක් විය. ත්‍රස්තවාදීන් සමඟ ගිවිසුම් ගැසීම ඇතැම් දේශපාලකයින් හට සාම මාවත විය. ත්‍රස්තවාදී උපක්‍රමවලට හසුවූ ඇතැම් දේශපාලකයන් විසින් ත්‍රස්තවාදීන්ට රහසේ අවිආයුධ, සන්නිවේදන උපකරණ, ජාත්‍යන්තර සබඳතා සියල්ල සපයා දී සමස්ත ජාතියම අනතුරේ හෙලන ලද්දේ තමන්ගේ පැවැත්ම උදෙසා ය. ත්‍රස්තවාදය තුළින් ම යම් යම් ආර්ථික, සාමාජික, ආගමික අවශ්‍යතා සපුරාලන්නට මාන බලමින් සිටි ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවලට මෙම ත්‍රස්තවාදය හොඳින් කැලැතුණු බොර දියක් විය. ඔවුහු හිතුමනාපයට මාළු බෑහ. ත්‍රස්තවාදයෙන් මිදීමට දේශපාලකයන්, කලාකරුවන්, මාධ්‍යවේදීන්, භික්ෂූන් වහන්සේලා, පාසල් දරුවන්, ගොවියන් ආදී කිසිවෙකුටත් නොහැකි විය. ඔවුන් සියලු දෙනාම එයට ගොදුරු වී ගියේය.

මෙම ත්‍රස්තවාදය කොතරම් බිහිසුණුද යත්, ඔවුන්ව හඳුනාගැනීමට අසීරුය. මාධ්‍ය විසින් විටෙක ත්‍රස්තවාදීන් ගැන පවසන්නේ ඔවුන් සටන්කාමීන් බවයි. විටෙක පවසන්නේ ඔවුන් බෙදුම්වාදීන් බවයි. විශේෂයෙන් ලංකාවේ මාධ්‍ය තුළ ත්‍රස්තවාදීන් හැටියට ඔවුන්ව නිතර හඳුන්වා නැත. ජාත්‍යන්තර සංවිධාන විසින් ත්‍රස්තවාදීන් පිළිබඳව ගොඩනැගූ ප්‍රතිරූපය මාධ්‍යයට තදින් බලපෑ බවට මෙය හොඳ ලකුණකි. මෙම ලිපියේ අරමුණ ත්‍රස්තවාදය පිළිබඳව මනෝ විද්‍යාත්ම අධ්‍යනයක් කිරීමයි. ත්‍රස්තවාදය පිළිබඳව අර්ථ විග්‍රහයක යෙදී සිටීම ත්‍රස්තවාදයෙන් මිදුණු අපට නැවත ආපස්සට බැලීමට මහෝපකාරී වෙයි. එවිට එය ඉක්මනින් අමතක නොවනු ඇත.

අපගේ ශාස්තෘ වූ ගෞතම බුදුරජුන් අපට වදාළේ අපගේ මූලික ක්‍රියාකාරකම් පිහිටා තිබෙන්නේ අප දරන මානසික පදනම මත බවයි. එය හඳුන්වන්නේ ‛දෘෂ්ටිය’ වශයෙනි. අයහපතට හේතුවන මානසික පදනම හඳුන්වන්නේ ‛වැරදි දෘෂ්ටිය’ වශයෙනි. උන්වහන්සේ එය උපමා කරන ලද්දේ කොහොඹ බිජුවකට ය. කොහොඹ බීජයක් රෝපණය කළ විට එම බිජුවෙන් හටගන්නා පැලය නිසා මතුවෙන යම් දල්ලක් ඇද්ද, යම් කොළයක් ඇද්ද, යම් මුලක් ඇද්ද, යම් මලක් ඇද්ද, යම් ගෙඩියක් ඇද්ද ඒ සියල්ලම කටුක තිත්ත බවෙන් යුක්ත වෙයි. මක් නිසාද යත්, කොහොඹ බිජුවට තිත්ත බැවිනි. වැරදි දෘෂ්ටියෙන් යුක්ත පුද්ගලයාද එම දෘෂ්ටියෙන් යුක්තව ක්‍රියා කරද්දී ඒ සියල්ලෙන් සිදුවන්නේ අයහපත මිස යහපත නොවේ.

ත්‍රස්තවාදීන්ගේ දෘෂ්ටිය කුමක්ද? ත්‍රස්තවාදීහු බිහිවන්නේ යම්කිසි මානසික ආසාදනයන්ට භාජනය වන පුද්ගලයන්ගෙනි. එයට හේතුව නම් ඔවුන් අධික ලෙස අධිපතිකමට ආසා කිරීමයි. ප්‍රධානත්වය, ප්‍රසිද්ධියට පත්වීම, හොඳින් හෝ නරකින් හෝ තම නම ලෝකයා දැනගැනීම ගැන කැමති වීම, අනුන් සතු දේ තමන් සතු කරගැනීමේ ආසාව සහ තමා අවට සිටින කිසියම් කණ්ඩායමක පුහු වීරයා බවට පත්වීමේ ආසාව යනාදී මේ මානසික ආසාදනය හෙවත් රෝගී තත්වයන්ට ගොදුරු වූ ඔවුන් ඒ ආසාව සපුරා ගන්නට විවිධ අයුරින් මාන බැලීමයි. එවිට තම ඉලක්කය කරා යන්නට බාධා වෙතැයි සලකන පුද්ගලයන් ගැන ඔවුන් හිතන්නේ ඒ පුද්ගලයන් තමාට අභියෝගයක් වන බවයි. එවිට තමාට අභියෝගයක් වෙතැයි සලකන එම පුද්ගලයන්, ජාතීන්, ආගම්, සංස්කෘතීන්, දේපලවස්තුව, රටවල් විනාශ කිරීමට ඔවුන් ඉතා බිහිසුණු අයුරින් පෙළඹේ. ඒ සඳහා ඕනෑම නිහීන උපක්‍රමයක් කරන්නට ඔවුන්ට විලිබිය නැත. ඔවුහු කිසිසේත් දුරදිග නොබලති. එයට පදනම මිත්‍යා දෘෂ්ටියයි.

මිත්‍යා දෘෂ්ටියෙන් උපදින ත්‍රස්තවාදය

ත්‍රස්තවාදය උපදවන මිත්‍යා දෘෂ්ටිය ඉතා භයානක දෙයකි. ඔවුන් හොඳ නරක නොපිළිගනිති. යහපත අයහපත නොපිළිගනිති. පින පව නොසළකති. මව්පියන්ගෙන්, ගුරුවරුන්ගෙන් ඔවුන්ට වැඩක් නැත. ඔවුහු කෙළෙහිගුණ නැත්තෝ ය. දුන් අත සපා කන්නෝ ය. සෙවණ දුන් ගසෙහි අතු බිඳින්නෝ ය. නගින්නට දුන් ඉණිමඟට පයින් ගසන්නෝ ය. තමන් කරන දේ අනුව තමන්ට විපාක ලැබෙන බව නොපිළිගන්නෝ ය. මොවුන් නිරතුරුව සිතන්නේ මොනයම් අයුරකින් හෝ තමාගේ අරමුණට බාධක ඕනෑම කෙනෙක්, ඕනෑම දෙයක් විනාශ කිරීම පමණි. ත්‍රස්තවාදීන්ගේ ඉතිහාසය පුරා මේ ලක්ෂණය දක්නට ලැබේ. ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදයට උදව් දුන් දෙමළ දේශපාලන නායකයන් මෙන්ම ඇතැම් සිංහල දේශපාලනය නායකයන්ද විනාශ වූයේ එම ත්‍රස්තවාදීන් අතින් ම ය. එනිසා ත්‍රස්තවාදීන්ව පහසුවෙන් හඳුනාගත නොහැකි බව අප දැනසිටීම වැදගත් ය. ඇතැම් සමාජතලයන්හි මොවුන් සටන්කාමීන් වන්නේත්, පුහු වීරයන් වන්නේත්, තීරක බලවේග වන්නේත් ඒ නිසා ය.

ත්‍රස්තවාදීන්ගේ සන්නිවේදන ක්‍රමෝපායයන්….

මොවුන් පෙනී සිටින්නේ සමාජ අසාධාරණයට ලක්ව සිටින්නවුන් වශයෙනි. ඒ සඳහා ඔවුන්ට සිදු වූ අසාධාරණය පිළිබඳව විකෘති ඉතිහාස නිර්මාණය කරන්නට ඔවුහු රුසියෝ ය. ඔවුන්ට බාධක චරිත විනාශ කරන්නට ද ඔවුහු රුසියෝ ය. සත්‍යය වසන් කොට අසත්‍යය නිර්මාණය කිරීමට ත්‍රස්තවාදීන් තුළ ඇත්තේ අපූරු කුසලතාවයකි. මෙය බුද්ධ ධර්මයේ හඳුන්වන්නේ මායාව වශයෙනි. මොවුන්ගේ ප්‍රකෘති ස්වභාවය නම් සිත ඇතුළේ පවතින්නේ වෙන දෙයකි. ප්‍රසිද්ධියේ පවසන්නේ තවත් දෙයකි. පෞද්ගලිකව මුණගැසුණු විට පවසන්නේ තවත් දෙයකි. හැමවිටම පෙනී සිටින්නේ සමාජ අසාධාරණයෙන් බැට කන අය වශයෙනි. සැබැවින් ම සමාජයට අසාධාරණය වන්නේ මොවුන්ගෙන් ම ය. එහෙත් එය හඳුනාගත නොහැකිය. මක් නිසාද යත්; සමිති, සමාගම් ඉදිරියේ මානව අයිතීන් ගැන හඬ නගන පොදු සමාජ ඉදිරියේ මොවුන් හඬා වැළපෙන විට මොවුන් තරම් දක්ෂ අයුරින් කිඹුලන්ට ද හැඬිය නොහැකි නිසා ය. එතරම් ම මායාකාරී ලෙස මොවුන් සමාජයේ හිත දිනාගන්නට මහන්සි ගනී. ඒ සඳහා සත්‍යය විකෘති කරන ලද පොත් පත් ලිවීම, විශේෂාංග ලිපි ලිවීම, චිත්‍රපට සකස් කිරීම, ගීත නිර්මාණය කිරීම, නොයෙකුත් සංදර්ශන පැවැත්වීම ආදිය ජයටම කරගෙන යති. එයින් ආදායම් ද උපදවති. මුදල් ඉපයීම සඳහා ඔවුන් කරන උපක්‍රම හඳුනාගත නොහැකිය. විටෙක ඔවුන් පොත් පත්, සඟරා නොමිලේ බෙදාහරී. ඔවුන්ගේ ඉලක්කය ඒ හරහා අනාගත ආදායමට පසුබිමක් සකසා ගැනීමයි. තම මතය ස්ථාපිත කරගැනීමට පසුබිමක් සකසා ගැනීමයි. එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් මේ සියල්ලම ජයටම කරගෙන ගියේය.

ත්‍රස්තවාදීන්ගේ ඇදහීම්

තමන් සමාජ අසාධාරණයට ලක් සිටින බවත්, තමන්ගේ මේ විමුක්ති අරගලයට ඔවුන්ගේ දෙවියන්ගෙන් ඔවුන්ට පූර්ණ අනුග්‍රහය ලැබෙන බවත්, එනිසා ඒ දේව විශ්වාස, ඇදහිලි, යාඥා, පුදපූජා, බාරහාර ආදිය ද ඔවුහු නොපිරිහෙලා පවත්වති. ඇතැම් ත්‍රස්තවාදීන් තම මිලේච්ඡ මානසිකත්වය නිර්මාණය කරගන්නේ දේශපාලන මතවාද, නොයෙක් දේශපාලන න්‍යායන්, දර්ශන, පොත් පත් ආදිය අන්ධ භක්තියෙන් පිළිගැනීමෙනි. මේ සියල්ල තුළින් ඔවුන් බලාපොරොත්තු වන්නේ තම ගැටුම්කාරී වෛරී මානසිකත්වය ශක්තිමත් කරගැනීමයි. ඒ සඳහා තමන් විසින් පොළඹවා ගන්නා ලද පුද්ගලයන්ව තමාට සහය කරගැනීම පිණිස එම මතයෙහි රඳවා තැබීමයි.

ත්‍රස්තවාදීන්ගේ ව්‍යාජත්වය

ත්‍රස්තවාදී මතයකට ග්‍රහණය වූ කෙනෙකුට කිසිසේත් සත්‍යය වටහාගත නොහැකිය. මක් නිසාද යත්, සමාජ අසාධාරණයට ලක් වූ බව පෙන්වමින් ඔවුන් කරන ලද ව්‍යාජ සන්නිවේදනයට ගොදුරු වීම නිසා ය. එනිසා ඔවුන් කරන ඕනෑම විනාශකාරී ක්‍රියාවක් එක හඬින් අනුමත කිරීමට එම ත්‍රස්තවාදී මත පිළිගත් පිරිස පෙළඹෙති. ඔවුන්ට සිතෙන්නේ ඔවුන්ගේ අරගලය ඉතාමත් සාධාරණ වූත්, යහපත් වූත් දෙයක් උදෙසා බවයි. අන්‍යයන්ට ඒත්තු ගන්වන්නේ ද ඒ අයුරින්ම ය. ඔවුන්ගේ අයිතිවාසිකම් කඩවී ඇති බවත්, එය හොඳින් නොලැබුණු නිසා නරකින් ලබාගන්නට පෙළඹුණු බවත් පවසමින් සාමාන්‍ය මනුෂ්‍යයා මුලා කරන්නට වෙහෙසෙන නමුත් ත්‍රස්තවාදීන්ගේ චිත්තාභ්‍යන්තරයෙහි පවතින්නේ වෛරයත්, ඊර්ෂ්‍යාවත්, පළිගැනීමත්, බියත්, සැකයත්, කෙසේ හෝ තම අරමුණ කරා යෑමත් ය.

ත්‍රස්තවාදයේ මානසික ආතතිය

ඔවුන් සිටින්නේ සැනසිල්ලේ නොවේ. ලෝකයට ව්‍යාජ සැනසිල්ලක් පෙන්වන නමුත් මොවුහු අධික බියකින් පෙළෙති. එයට හේතුව තම පසුබිම මත ඇති ව්‍යාජත්වය, අසත්‍යය, කෘතිම නිර්මාණය ආදිය ගැන ඔවුන්ගේ හෘද සාක්ෂිව විටින් විට තමන්ට බාධා කරන නිසාවෙනි. එහෙත් සැණෙකින් තමන් ව්‍යාජ ලෙස නිර්මාණය කරගත් මානසික විකෘතියටම ඔවුන් ඇදී යති. මොවුන් සාමයට කැමති බවත්, සියල්ල කරන්නේ සාමය උදෙසා බවත්, ඒ සඳහා නිරතුරුව සූදානමින් සිටින බවත් පිටතට පෙන්වන නමුත් එය ඔවුන් තුළ ඇති සැබෑ ස්වභාවය නොවේ. ඔවුන්ට එය කිසිසේත් කළ නොහැකිය. ත්‍රස්තවාදීන් යනු මානසික ආතතියෙන් ආතුර වූත්, ප්‍රකෘතිමත් තත්වයට පත්කිරීම කළ නොහැකි වූත් පුද්ගල කොටසක් බව ඉතිහාසය විසින් පෙන්වා දී තිබේ. එය මොවුන් විසින් ම තනාගත් යම්කිසි අවාසනාවන්ත මානසික ආතතියකට කැමැත්තෙන් හිර වී සිටීම නිසා සකස් වූ අකුසලයකි.

ත්‍රස්ත ප්‍රහාර

මොවුන් ප්‍රහාර එල්ල කරන්නේ ආයුධවලින් පමණක් නොවේ. මතවාදවලින් ද ප්‍රහාර එල්ල කරති. එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් මෙන්ම සිංහල බෞද්ධ විරෝධී දෙමළ දේශපාලන මතය විසින් කලක් මුළුල්ලෙහි බටහිර ලෝකයට මුදාහරින ලද අසත්‍ය වූ මතවාද රාශිය යළි බටහිරින් අපට එල්ල වන්නේ ඉවසිය නොහැකි ප්‍රහාරයන් වශයෙනි. තවමත් එයින් නිදහස් වීමට අපට හැකියාවක් නැත්තේ එම මතවාද නිර්මාණ කරන ලද්දේ ත්‍රස්තවාදී චින්තනය නිසාවෙනි. කලක් මුළුල්ලෙහි එම ව්‍යාජ ත්‍රස්තවාදී මත මුල්බැසගත් නිසාවෙනි.

මොවුන් තම සාමාජිකයන් අතරේ නිතර පතුරුවන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ ඔවුන්ගේ අහිමි වූ ලෝකය යළි ගොඩනගා ගත නොහැකි බවයි. එමෙන් ම ඔවුන් ඇඟිල්ල දිගු කොට පෙන්වන්නේ සිංහලයන්, බෞද්ධයන් ජාතිවාදීන් බවයි. ඔවුන්ගේ සියල්ල කප්පාදු කළ බවත්, එය යළි ලබාගැනීමට ආයුධ සන්නද්ධ අරගලයක නිරත විය යුතු බවයි. තමන්ට බාධක සියල්ල වනසාලිය යුතු බවයි. මෙසේ ත්‍රස්තවාදීන් විසින් විනාශ කළ යුතු යැයි සම්මත කරන ලද නායකයින්, මාධ්‍යවේදීන්, සමාජ සංස්ථා, ආයතන, රාජ්‍ය සම්පත්, ආගමික නායකයින් ආදී මේ සියල්ල විනාශ කිරීමේ නියෝගය ඉටු කිරීමට තම සාමාජිකයෝ බැඳී සිටිති. ත්‍රස්තවාදීන් සතුටක් ලබන්නේ එම ඉලක්කය උදෙසා කැප වී තමන් මෙන්ම තම ඉලක්කද විනාශයට පත්කරගැනීමෙනි. එයට ජවය ලැබෙන්නේ ත්‍රස්තවාදය විසින් එම විනාශකාරී පුද්ගලයන්ව වීරයන් බවට පත්කරන නිසා ය.

ත්‍රස්තවාදීන් පුනරුත්ථාපනය කළ හැකිද?

ත්‍රස්තවාදී ඉතිහාසය තුළ පුනරුත්ථාපනයට ලක් වූ ත්‍රස්තවාදී නායකයන් ගැන අපි නොදනිමු. ඔවුන් නායකත්වය සපයන ලද්දේ ත්‍රස්තවාදයට නිසා එම ත්‍රස්තවාදය බිහි කළ මානසිකත්වය ඔවුන්ගෙන් බැහැර කිරීම අසීරු දෙයකි. මක් නිසාද යත්, ත්‍රස්තවාදය යනු එම පුද්ගලයන්ගේ ම මානසික විකෘතියකින් හටගන්නා ඵලයක් නිසා ය. නමුත් ත්‍රස්තාවදීන්ගේ සන්නිවේදන උපක්‍රමවලට හසු වී ත්‍රස්තවාදී සාමාජිකත්වය ලැබූ අය අතර ඕනෑතරම් හොඳ මිනිසුන් සිටින්නට පුළුවනි. ඔවුන්ගේ ඒ යහපත් මානසිකත්වය වසා ගත් ත්‍රස්තවාදී ආවරණය ඉවත් කරගත හැකි වුවහොත් සැබෑ ලෙස ම ඔවුහු යහපත් පුද්ගලයන් බවට පත්වෙති. මෙනිසා පුනරුත්ථාපනය කෙරෙහි අප විශ්වාසය තැබිය යුතුය. ඒ ත්‍රස්තවාදී නායකයන් නොව ඔවුන් විසින් බිහිකරන ලද ත්‍රස්තවාදී සංකල්ප ජාලයට කොටු වූවන් නිදහස් කරගැනීම පිණිස ය. ත්‍රස්තවාදී මතයකට හසු නොවන්නට ඔවුන්ව ආරක්ෂා කරගත හැකි වුවහොත් යළි ත්‍රස්තවාදය කරා ඔවුන් නොයනු ඇත. ත්‍රස්තවාදී නායකයන් විනාශ වූ විට තව තව නායකත්වයන් එය තුළින් බිහිවන්නට මහන්සි ගත්ත ද එය නොහැකි වන්නේ ඔවුන් ව්‍යාජ නායකයන් නිසාය.

ශ්‍රී ලංකාවේ ආශ්චර්යය

මෙම ශ්‍රී ලංකාවේ වර්තමානයේ ඇති ආශ්චර්යය වනාහී අන් කිසිවක් නොව ත්‍රස්තවාදයෙන් මේ රට නිදහස් වීම ම ය. තිස් වසරක් පුරා මෙහි පැවතුණේ යුද්ධයක් නොවේ. ලොව මෑත ඉතිහාසයේ බිහි වූ අතිශයින් ම දරුණු, බිහිසුණු, අමානුෂික, මිලේච්ඡ, තුච්ඡ ත්‍රස්තවාදය විසින් මේ රටේ සියල්ල ගිලගෙන තිබුණේ ය. අඳුරු අගාධයකට යමින් තිබුණේ ය. මේ සියල්ලෙන් ම ඉතා සුළුකලින් නිදහස් වීම සැබැවින්ම ආශ්චර්යයකි. දැන් ඕනෑම කෙනෙකුට කිසි බියකින්, තැතිගැනීමකින් තොරව ඕනෑම තැනකට යා හැකිය. රැයක් ගත කළ හැකිය. නිදහසේ ඇවිද යා හැකිය. ඕනෑම තැනකින් ඕනෑම දෙයක් මිලට ගෙන පරිභෝග කළ හැකිය. සතුටින් ප්‍රීතියෙන් කල්ගත කළ හැකිය. සාමය යනු මෙයයි. භයානක ත්‍රස්තවාදය අතුරුදහන්ව සාමය පහළ වීම මෑත ශ්‍රී ලංකාවේ බිහි වූ සොඳුරු ආශ්චර්යයි!

සිංහල, බෞද්ධ අපි ජාතිවාදීන් නොවෙමු. සුනාමි ඛේදවාචකය සිදු වූ වේලෙහි කිසිදු ජාතිභේදයකින් තොරව අනතුරට ලක් වූ සියල්ලන්ට එකම අයුරින් පිහිට වූවෝ සිංහල බෞද්ධයෝ ය. සිංහල බෞද්ධයන් තම සහෝදර දෙමළ ජනයා වෙත සිය සාදර දෙඅත් දිගු කොට ගෙන සිටින්නේ බොහෝ කලක සිට ය. සොයුරු පෙමින් දැඩිව එකිනෙකා ප්‍රීතියෙන් කල් ගෙවන දිනය අප ආයෙත් ළඟ කරගත යුතුය. සහෝදර දෙමළ ජනයා හට සිංහල බෞද්ධයන්ගේ හෘදයාංගම උණුසුම මෙතක් කල් නොදැනුනේ ත්‍රස්තවාදය නිසා මිස අපගේ වරදක් නිසා නොවේ. සියලු සත්වයන් හට මෙත් සිත පතුරුවන බුදුදහම අදහන හෙළ බොදුනුවෝ ත්‍රස්තවාදයෙන් විඳි සියල්ල අමතක කොට සිය සහෝදර දෙමළ ජනතාව ආදරයෙන් වැළඳ ගැනීම ම අනෙක් ආශ්චර්යයි. මෙය සිදුවූයේ බුදුදහම නිසා වෙනකක් නිසා නොවේ. මේ වන විටත් අප්‍රිකාවෙහි ක්‍රිස්තියානි මුස්ලිම් අරගලයෙන් සියගණන් කපා කොටා ගන්නා අයුරු බැලීමෙන් පෙනී යන්නේ ඔවුන්ගේ ඇදහීම සාමයට උපකාරී වී නැති බවයි. අපට එබඳු අවසනාවක් නැත. බුදුරජුන්ගේ ධර්මය නිසා ලොව සාමය තනන්නන් බවට බෞද්ධයන්ට පත්විය හැකිය.

බුදුදහම තුළ ත්‍රස්තවාදයට තැනක් නැත.

බෞද්ධ ඉතිහාසය තුළ අපට එක දෙයක් පැහැදිලිවම පෙනේ. එනම් බුදුදහම විසින් කිසිදු ත්‍රස්තවාදී නායකයෙක් හෝ ත්‍රස්තවාදී චින්තනයක් හෝ බිහි කොට නැති බවයි. ඉන්දියාවේ බුදුදහම විනාශ වූයේ බ්‍රාහ්මණයන්ගේ ත්‍රස්තවාදය නිසා ය. එය ද ආගමික ත්‍රස්තවාදයකි. එය ශිව භක්තිකයන් විසින් නිර්මාණය කළ ත්‍රස්තවාදයක් විය. එයින් බුදුදහමෙහි ආධ්‍යාත්මය මුළුමනින්ම විනාශ වූයේ ය. දෙවනුව ඉස්ලාම් භක්තිකයන් විසින් බුදුදහමෙහි භෞතික ශරීරය මුළුමනින්ම විනාශ කරන ලදී. මේ තුළින් එවකට ලෝකයේ බිහි වී තිබුණු අති දැවැන්ත විශ්ව විද්‍යාල වන නාලන්දා, වලභී ආදී අධ්‍යාපන ආයතනත්, ලොවෙහි යහපත පිණිස තිබුණු ඤාණසම්භාරය ගබඩා කළ අතිදැවැන්ත පුස්තකාලත් ඉතා පාරිශුද්ධ ජීවිත ගෙවූ බෞද්ධ භික්ෂූහුත් මුළුමනින්ම විනාශ විය. දොළොස්වන සියවසේ කාලිංග දේශයෙන් පැමිණි මාඝ නම් ශිව භක්තික ත්‍රස්තවාදී නායකයා විසින් තම ආගමික මතයෙන් උමතුව ලංකාවේ අනුරාධපුරයත්, පොලොන්නරුවත් මුළුමනින්ම වනසන ලදී. මේ තුළින් ලෝකයට දායාද වශයෙන් තිබූ සියලු සම්පත් අහිමි විය.

එමෙන්ම ලංකාව ආක්‍රමණය කළ පෘතුගීසීන්ගෙනුත්, ලංදේසීන්ගෙනුත්, ඉංග්‍රීසීන්ගෙනුත් බලවත් හානි අපට සිදුවිය. ඔවුන් අපගේ වස්තුව විනාශ කළා පමණක් නොව එක අතකින් බයිබලය ගෙන අනිත් අතින් කඩුවක් ගෙන අපගේ ගම්වලට කඩා වැදී අප ඉතාම සැදැහෙන් ඇදහූ ලොව ඉතාමත් සාමකාමී ආගම වන බුදුදහමින් අපව ඉවත් කරන්න කෲර ලෙස කටයුතු කළහ. මෙය ද ත්‍රස්තවාදය විනා අන් කුමක්ද? එහෙත් ධම්මපදය එක් අතකින් ගෙන, කඩුවක් එක අතකින් ගෙන බුදුදහම පැතිර වූ කිසිවෙක් ලොව නැත. බුදුදහමේ පෙන්වා දෙන්නේ යම් භික්ෂුවක් මනුෂ්‍ය ඝාතනයකට හවුල්වුවහොත්, උදව් කළහොත් ඔහු බුදු සසුනට අයිති නැති බවයි. එනිසා බුදුදහම තුළ කිසිසේත් ත්‍රස්තවාදයට තැනක් නැත.

බෞද්ධ සමාජ තුළ ඔවුන්ගේ වෙනත් ප්‍රශ්න හේතුවෙන් අරගල ඇතිවෙන බව සැබෑ ය. එය දේශපාලන, සාමාජික, ආර්ථික ප්‍රශ්න වෙන්නට පුළුවනි. නමුත් බුදු දහම උදෙසා හෝ එම මතය ව්‍යාප්ත කිරීම හෝ ස්ථාපිත කිරීම උදෙසා හෝ ඔවුන් මිනී මරාගෙන නැත. වසර දෙදහස් ගණනක් මුළුල්ලෙහි තම ආගමික මතය වෙනුවෙන් මනුෂ්‍ය ඝාතන නොකළ එකම ආගම බුදුදහම වේ. එහෙත් අනෙක් බොහෝ ආගම්වලට මනුෂ්‍ය ඝාතන චෝදනාවලින් නිදහස් විය නොහැකිය. වර්තමානයේ අපට කියන්නට තිබෙන්නේ ඇතැම් ආගම් මුළුමනින්ම ත්‍රස්තවාදය බිහි කරන බවයි. මිනිසාගේ ආගම විය යුත්තේ මිනිසාට ආදරය කරන හැටි ගැන ඉගැන්වීම මිස මිනිසා වනසන ත්‍රස්තවාදය බිහි කිරීම නොවේ. මෙනිසා මිනිසාට ආදරය කරන ඕනෑම කෙනෙක් කළ යුත්තේ ත්‍රස්තවාදය බිහි කරන කෲර මත ආගම නාමයෙන් පිළිගැනීම නොවේ. මනුෂ්‍යත්වයට ඇලුම් කරන දහමට ආසා කිරීමයි. සැබැවින්ම මිනිසුන් වන අප මිනිසුන්ට ආදරය නොකරත් නම් කවුරු නම් මිනිසාව රැකගනීවිද?

මම දේශපාලනයට කැමති කෙනෙක් නොවෙමි. දේශපාලනකරණයට ලක් වූ කෙනෙක් ද නොවෙමි. දේශපාලන මතයක් නියෝජනය කරන කෙනෙක් ද නොවෙමි. නමුත් ත්‍රස්තවාදයෙන් මේ රට බේරා ගත් නායකත්වයට මම අතිශයින් ම කැමති වෙමි. මක් නිසා ද යත්, එම නායකත්වය විසින් කරන ලද්දේ ලොව අතිශයින් ම බලසම්පන්න යැයි කියාගන්නා ඇතැම් බටහිර රටවල්වලට ද කරගත නොහැකි වූ දෙයකි. එනම් තම දේශය ත්‍රස්තවාදයෙන් නිදහස් කරගැනීමයි. එසේ නිදහස් කොට තම ජනයාට නිදහසේ ජීවත්වන්නට මග සැලසීමයි. අපගේ අභිමානයත්, ගෞරවයත් මෙයයි. එනිසා සැබෑ තතු හඳුනාගත්තවුන්ගේ හදෙහි මෙම අපූරු නායකයා සැමදා කිරුළු දරා සිටිනු ඇත.

මෙතෙකින් ත්‍රස්තවාදය නිමා නොවේ. දැනට අප නිදහස් වී සිටින්නේ ත්‍රස්තවාදීන්ගේ බිහිසුණු ආයුධ ශරීරයෙන් පමණි. එහෙත් ඔවුන්ගේ විකෘති වූ මානසික ශරීරයෙන් අප තවම නිදහස් නැත. ත්‍රස්තවාදීන්ගේ උපක්‍රමවල ගොදුරු බවට පත් වී සිටින අය තවමත් සිටින්නේ පැරණි මතයේ ම ය. ඔවුන් සුවපත් වන්නට කලක් ගත වනු ඇත. දැවැන්ත වෘක්ෂයක තැනින් තැන හටගත් පිළිල පරිද්දෙන් නොයෙකුත් දේශපාලන මතවාද තුළින්, නොයෙකුත් මාධ්‍ය උපක්‍රම තුළින්, නොයකුත් කලා නිර්මාණ තුළින් නොයෙකුත් ආගමික සංකල්ප තුළින්, මියගිය ත්‍රස්තවාදයේ සෙවණැලි මතු කරන්නට ඔවුන් වෙහෙස ගනු ඇත. ඒ සියලු දෙනා එක කරුණක් දැන සිටිය යුතුය. එනම් ත්‍රස්තවාදය වනාහී ත්‍රස්තවාදය ම ය. එම මතය නියෝජනය කළ කෙනෙකුට විවර වන්නේ ත්‍රස්තවාදී මාවතක් හෙයින් එය තමාටත්, අනුන්ටත් අහිත පිණිස මිස හිත සුව පිණිස නොපවතිනු ඇත. බුදුරජාණන් වහන්සේ වදාළ ගාථාවක් මට සිහිපත් වේ.

“පරේ ච න විජානන්ති – මයමෙත්ථ යමාමසේ
යේ ච තත්ථ විජානන්ති – තතෝ සම්මන්ති මේධගා

“බිහිසුණු අරගලවලට කැමති අය ඒ තුළින් වැනසී යන්නේ තමන් ම බව ඔවුහු නොදැන සිටිති. එහෙත් තමාත්, අනුනුත් විනාශ වන අනතුරකට තමා පත්ව සිටින බව යමෙක් දනිත් නම් ඔවුහු එය අත්හැර සාම මාවතට පිවිසෙති. බිහිසුණු අරගල සංසිඳෙන්නේ සාමය හඳුනාගත්තවුන්ගෙනි.”
(ධම්ම පදය)

මෙනිසා අප විශේෂයෙන් ම කිසිදු දේශපාලන භේදයකින් තොරව, ආගමික හා ජාතික භේදයකින් තොරව දසක ගණනක් ඉතා කෲර අයුරින් අපව වනසමින් සිටි ලොව මෙතෙක් බිහිවූ බිහිසුණුම ත්‍රස්තවාදයෙන් අපව නිදහස් කොට සාමය පිණිස අව්‍යාජ පදනමක් සැකසූ සැබෑම නායකත්වයට ආදරය කළ යුතුය. එය සමස්ත ලාංකිකයන්ගේ ම යුතුකමකි.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ.