අපගේ පරම පූජනීය කල්‍යාණ මිත්‍රයන් වහන්සේ වන, ලක්දිවට ගෞතම බුදු සසුන දායාද කළ, ලක්දිවට ශාස්තෘන් වහන්සේ වැනි වූ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට උපහාර පිණිස පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ ශ්‍රී අරහන්ත මිහිඳු මණ්ඩපය නමින් මනරම් විහාරයක් ඉදිකෙරුණා. එම විහාරය දෙව් මිනිසුන්ගේ වන්දනා මානන උදෙසා විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවය පසුගිය ඔක්තෝබර් 13 වනදා සිට ඔක්තෝබර් 16 වන දිනට යෙදුනු ශ්‍රී මිහිඳු පුර අටවක පොහොය දින දක්වා ගෞරවනීය මහා සංඝ රත්නයේ ද දස දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේ ද සහභාගීත්වයෙන් උත්කර්ෂවත් අයුරින් පවත්වන්නට යෙදුනා.

ලක්දිව වැසි ජනයාට සියලු බුදු සසුන් දායාදයන් ලැබුණේ පරම පූජනීය මිහිඳු මහරහතන් වහන්සේ නිසා යි. අප බොහෝ දෙනෙකුට උන්වහන්සේව සිහිවන්නේ පොසොන් පුන් පොහෝ දිනට පමණි. මෑත කාලයේ ලක්දිව බුදුන් උපන්නා යැයි පැවසූ මිසදිටුවන් විසින් මිහිඳු මහරහතන් වහන්සේ ධර්මාශෝක අධිරාජයා විසින් ලක්දිවට එවන ලද ඔත්තුකාරයෙකි යි කියා භයානක ආර්යෝපවාදයක් සිදුකරගත්තා. තවත් බොහෝ පිරිසක් එය සත්‍යයක් යැයි සමාදන් වුනා. එම පවිටු මිසදිටුව දුරුකරනු පිණිසත් ලක්දිව් වැසියන්ට අමතක වූ කෙළෙහිගුණය නැවත සිහිපත් කොටදීම පිණිසත් ය මෙම මහා පුණ්‍යෝත්සවය සංවිධානය කෙරුණේ.

අපගේ පරම පූජනීය මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කළේ තිස්දෙහැවිරිදි වියේදී යි. අසූවැනි වියට පත් උන්වහන්සේ පිරිනිවන් පා වදාළේ මින් වසර 2278 කට පෙර උදාවුනු වප් මාසයේ පුර අටවක පොහෝ දිනක යි. එකල පටන් ලක්දිව් වැසියන් එම දිනය ශ්‍රී මිහිඳු පුර අටවක නමින් හැඳින්වූවා. මෙම මහා පුණ්‍යෝත්සවය ද එම දිනය අලලා සංවිධානය කෙරුණේ ඒ නිසයි.

පළමු දිනයේදී මහමෙව්නාව භාවනා අසපු සංචිතයෙහි සියලු පින්වත් ස්වාමීන් වහන්සේලා ද අනගාරිකා මෑණියන් වහන්සේලා ද ඇතුලුව බොහෝ සැදැහැවතුන් පිරිසක් මෙම පින්කමට සහභාගී වුනා. මෙම අලංකාර විහාරයේ ඉදිකිරීම් කටයුතු සඳහා මහමෙව්නාවේ පින්වත් ස්වාමීන් වහන්සේලා ද පැවිදි අපේක්ෂක අනගාරික උපාසක පින්වතුන් ද දිවා රෑ නොබලා බොහෝ වෙහෙස මහන්සි වුනා. මෙවැනි විහාරයක් මිහිඳු මහරහතන් වහන්සේ උදෙසා ඉදිවන බව කන වැකුණු බොහෝ දෙනෙක් මෙහි ඉදිකිරීම් කටයුතු සඳහා මුදලින් දායක වුනා. දෙස් විදෙස් මහමෙව්නාව භාවනා අසපු ශාඛාවලින් මෙම විචිත්‍ර පූජා මංගල්‍යය සාර්ථකව හා අලංකාරවත්ව සිදුකිරීම සඳහා දායකත්වය ලබාදුන්නා. දින හතරේම වන්දනාවේ පැමිණි සැදැහැවතුන් සඳහා මල් දන්සැල් ද ඇතුලුව නානාවිධ දන්සැල් පැවැත්වුනා.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් එම දින හතරේම සවස මහා අරහන්ත වන්දනාව ද ඇතුලුව මිහිඳු මහරහතන් වහන්සේගේ අසීමිත ගුණස්කන්ධය විවරණය කරමින් විශේෂ ධර්ම දේශනාවන් පවත්වනු ලැබුවා. එම ධර්ම දේශනාවන් ඔබට ඉදිරියේදී අන්තර්ජාලය ඔස්සේ නැවත ශ්‍රවණය කිරීමට අවස්ථාව ලැබෙනු ඇති. එමෙන්ම මිහිඳු මහරහතන් වහන්සේගේ සංක්ෂිප්ත චරිතාපදානය ඇතුලත් කුඩා දහම් ග්‍රන්ථයක් ද පැමිණෙන සියලු සැදැහැවතුන් හට ධර්මදානයක් ලෙසින් ලබාදුන්නා. එම ග්‍රන්ථය ඔබට පහතින් බාගත කරගත හැකියි.

ඔක්තෝබර් 15 සහ 16 යන දෙදින තුල මිහිඳු මහරහතන් වහන්සේ පිළිබඳ වන විශේෂ අධ්‍යාපනික වැඩසටහනක් ද කුරුණෑගල, කුලියාපිටිය, ගිරිඋල්ල සහ කෑගල්ල යන අධ්‍යාපන කොට්ඨාසවලට අයත් පාසල්වල සිසුදරුවන් 5000 කගේ පමණ සහභාගීත්වයෙන් පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ පවත්වන්නට යෙදුනා.

ශ්‍රී ලංකාද්වීපවාසී සිංහලයන්ව ගෞතම බුදු සසුනෙහි මනාකොට පහදවාලූ, ගෞතම බුදු සසුනෙහි උතුම් පිළිසරණ පරිපූර්ණ වශයෙන් ලබාදුන්නා වූ අපගේ මිහිඳු මහරහතන් වහන්සේට උපහාර දක්වනු පිණිස පැවැත්වූ මෙම මහා පුණ්‍යෝත්සවය සඳහාත් මෙම අලංකාර විහාර මන්දිරයේ ඉදිකිරීම් කටයුතු සඳහාත් නන් අයුරින් දායක වූ, උදව් උපකාර කළ, ඇප කැප වූ, වෙහෙස මහන්සි වූ සැමට මේ ගෞතම බුදු සසුනේදීම සුවසේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම පිණිස මෙම මහානීය පුණ්‍ය ධර්මය හේතුවාසනා වේවා! සියලු දෙනාම මෙම උතුම් පුණ්‍ය කර්මය දැකබලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා!

ශ්‍රී අරහන්ත මිහිඳු මණ්ඩපය පූජා මංගල්‍යය – අවසාන දිනය (ඡායාරූප)