(පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සරල සිංහලයට පරිවර්තනය කරන ලද ශ්‍රේෂ්ඨ උත්තමයන්ගේ පරම්පරා කථාව වන මහාවංශය ග්‍රන්ථයෙහි ප්‍රස්ථාවනාව)
මහාවංශය යන නම ඇසූ පමණින් බොහෝ දෙනෙක් සිතාගෙන සිටින්නේ එකල සිටි ශ්‍රී ලාංකික භික්ෂූන් විසින් ඉතා පක්ෂපාතීව මනඃකල්පිත අදහස් පුරවා ලියන ලද ව්‍යාජ ඉතිහාස කතාවක් බවයි. එයට හේතුව ඔවුන්ට මහාවංශය කියවන්ට අවස්ථාවක් නොලැබීම යි. නමුත් මහාවංශය යනු සෑම සිංහලයෙකු විසින් ම ත් සෑම බෞද්ධයෙකු විසින් ම ත් අනිවාර්යයෙන්ම කියවිය යුතු ඉතා ම වටිනා ග්‍රන්ථයකි. ඇත්තෙන්ම මහාවංශය කෙරෙහි තිබුනු ගෞරවය සිංහලයාගෙන් නැතිකොට තිබෙන්නේ විදේශ ආධිපත්‍යයේ ප්‍රතිඵලයක් ලෙසය. නමුත් හොඳ සිහි බුද්ධියකින් කියවන විට මහාවංශයේ වටිනාකම මිල කළ නොහැකි බව තේරුම් යනු ඇත.
මහාවංශය ඉගෙනීමේ දී එදා දඹදිව තිබූ පරිසරය ද තේරුම් ගෙන තිබීම ඉතා වැදගත් ය. අප භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩසිටින සමයේ දඹදිව මහජනයා ප්‍රධාන වර්ණ හෙවත් වංශ සතරකට බෙදී සිටියා. එනම්, ක්ෂත්‍රිය වංශය, බ්‍රාහ්මණ වංශය, වෛශ්‍ය වංශය සහ ශුද්‍ර වංශය වශයෙනි. මේ සතර වංශිකයන්ගෙන් දඹදිව භූමියේ ආධිපත්‍යය හිමිව තිබුනේ ක්ෂත්‍රිය වංශිකයන්ටයි. රාජවංශිකයන් ලෙස ඔවුන්ව හඳුන්වනවා. රජ බවට පත්වුනේ ඒ ක්ෂත්‍රිය වංශිකයන්ය. නමුත් ඒ ක්ෂත්‍රිය වංශික රජ පරපුරටත් අවශේෂ සමාජයටත් අනුශාසනා කරමින් මහත් බලපෑමක් කළ තවත් වංශයක් තිබුණා. ඒ බ්‍රාහ්මණ වංශය යි.
ක්ෂත්‍රිය වංශයත් බ්‍රාහ්මණ වංශයත් තම තමන් ගේ වංශ පරම්පරාව වෙනත් බාල වංශයකට මිශ්‍ර නොකොට පවත්වා ගන්ට මහත් සේ කැපවී තිබේත ඉතාමත් කල්පනාකාරී වී තිබේ. එයට ප්‍රධාන හේතු දෙකක් තිබුනා. එකක් නම් ඔවුන් සමාජ ආධිපත්‍යයේ කොටස්කරුවන් වීමයි. අනික නම් ඒ සමාජ ආධිපත්‍යයට විශේෂ සුදුසුකම වන තම වංශය කැලැල් නොවී පවිත්‍රව තබාගැනීම යි.
ඒ කාලයේ දඹදිව රජකළ සෑම කෙනෙක් ම අයිති වූයේ ක්ෂත්‍රිය වංශයට යි. නමුත් ක්ෂත්‍රිය කුමාරවරුන්ට ඉගැන්වූ ආචාර්යවරු වනාහී බ්‍රාහ්මණයෝ ය. රාජ්‍යාභිෂේකයේ දී පෙරමුණ ගෙන කටයුතු කළේත් බ්‍රාහ්මණයෝ ය. රජුන්ට අනුශාසනා කළ පුරෝහිතයන් වූයේත් බ්‍රාහ්මණයෝ ය. තුන්වෙනි වංශය වූ වෛශ්‍ය කුලයට අයත් උදවිය නොයෙක් වෙළහෙළඳාම් කිරීම් ආදියෙන් මහා ධනවතුන්ව සිටුවරුන්ව සිටියත් ඔවුන්ට තිබුනේ ඊට පහළ තැනකි. ශුද්‍ර වංශිකයන් යනුවෙන් සඳහන් වූයේ පාර අතුගෑම්, දර පැලීම්, වැසිකිළි පිරිසිදු කිරීම් ආදී කටයුත්තේ සිට දාසභාවයට අයිති ඕනෑම කටයුත්තක් කළ හැකි පිරිසයි.
ක්ෂත්‍රිය වංශිකයෝත් බ්‍රාහ්මණ වංශිකයෝත් තමන් ගේ වංශය ගැන මහත් අභිමානයෙන් කථා කොට තිබේ. වෙනත් වංශයක් සමග ආවාහ විවාහ ආදිය නොකර ගැනීමට ඔවුන් මහත්සේ සැළකිළිමත් වී තිබේ. තමන්ගේ වංශයේ පවිත්‍ර භාවය ගැන අභිමානයෙන් කතා කරද්දී විවාද රහිතව සියලු දෙනාම එයට හිස නමා තිබේ.
දීඝ නිකායෙහි සෝණදණ්ඩ සූත්‍රයේ සඳහන් මෙම සිද්ධිය දෙස බලන්න. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ මහත් සඟ පිරිසක් සමග අංග රටේ චාරිකාවේ වඩිද්දී චම්පා නුවරට වැඩම කළා. ඒ කාලයේ චම්පා නගරයේ සෝණදණ්ඩ නමින් මහත් සම්භාවනීය බ්‍රාහ්මණයෙක් වාසය කළා. ඔහුට බිම්බිසාර රජ්ජුරුවන් ගෙන් තෑග්ගක් වශයෙන් විශාල නින්දගමක් ලැබී තිබුනා. එයින් ලත් ආදායමෙන් ඔහු මහා ධනවතෙක් ව සිටියා.
එහිදී බුදුරජාණන් වහන්සේව බැහැදැක බණ ඇසීමේ ආශාවෙන් බ්‍රාහ්මණ වංශිකයන් ඇතුලු සියලු දෙනා ම පාහේ චම්පා නගරයේ ගර්ගරා පොකුණු තෙර දෙසට ගමන් කරමින් සිටියා. සෝණදණ්ඩ බ්‍රාහ්මණයාටත් භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්ට කැමැත්තක් ඇතිවුනා. ඒ වෙද්දි වෙනත් ඈත පළාතකින් පන්සියයක් බ්‍රාහ්මණවරු කිසියම් කටයුත්තකට චම්පා නගරයට ඇවිත් හිටියා. ඔවුන්ට සෝණදණ්ඩ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්ට සූදානම් වන බව ආරංචි වුනා. ඔවුන් වහාම සෝණදණ්ඩ බ්‍රාහ්මණයා සොයාගෙන ගියා. ගිහින් සෝණදණ්ඩ බ්‍රාහ්මණයා වැනි කෙනෙක් සංචාරක ශ්‍රමණයෙකු බැහැදකින්ට යෑම කිසිසේත් නුසුදුසු බව නොයෙක් ආකාරයෙන් කියා සිටියා. එයින් පළමුවෙනි එක මෙයයි.
“භවත් සෝණදණ්ඩයෝ මව් පාර්ශවයෙනුත් පිය පාර්ශවයෙනුත් යන මේ දෙපාර්ශවයෙන් ම ඉතා පිරිසිදු උපතක් ලැබූ කෙනෙක් නොවැ. ඔබගේ මව්පිය දෙදෙනා උපන් මව්කුස මීමුතු පරම්පරා සතක් වෙනකල් ම ඉතාමත් පිරිසිදුයි නොවැ. ලෝකයේ කව්රුවත් ඔබේ වංශය කිලුටුයි කියා බැහැර කරලා නෑ. මේ මේ වංශයන්ගෙන් තොපගේ වංශය අපවිත්‍රයි කියා නින්දා ලබලා නෑ”
ඉහත උපුටාගත් ප්‍රකාශය දෙස හොඳින් බලන්න. එතකොට බ්‍රාහ්මණවරු තමන් ගේ මව් පාර්ශවයේත් පිය පාර්ශවයේත් පවිත්‍ර භාවය ගැන තොරතුරු පරම්පරා සතක් ම ආපස්සට යනතුරු නම්ගොත් වශයෙන් ප්‍රසිද්ධියේ ඉහළින් කථා කොට තිබෙනවා. එසේ නොවුනා නම් මේ ආගන්තුක බ්‍රාහ්මණවරු සෝණදණ්ඩ ගේ සත්මුතු පරම්පරාව ගැන දන්නේ කොහොමද?
ඒ බ්‍රාහ්මණයන් ගේ කියමනට සෝණදණ්ඩ බ්‍රාහ්මණයා පිළිතුරු දුන්නේ මෙහෙමයි. “භවත්නි, එහෙනම් මං කියන දේත් අහගෙන ඉන්ට ඕනෑ. එතකොට තමුන්නාන්සේලාට වැටහේවි භවත් ගෞතමයන් වහන්සේව බැහැදැකීමට අපි ම යි යන්ට සුදුසු කියලා. භවත් ගෞතමයන් වහන්සේ වැනි කෙනෙක් අපිව දකින්ට වඩින එක නුසුදුසුයි කියලා.
භවත්නි, ඒ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කියලා කියන්නෙත් මව් පාර්ශවයෙනුත් පිය පාර්ශවයෙනුත් යන දෙපාර්ශවයෙන් ම ඉතා පිරිසිදු උපතක් ලැබූ කෙනෙක්. උන්වහන්සේ ගේ මව්පිය දෙදෙනා ගේ මව්කුසත් මීමුතු පරම්පරා සතක් යනකල් ම ඉතාමත් පිරිසිදුයි. ලොව කිසි කෙනෙක් ශාක්‍ය වංශය කිළුටුයි කියලා බැහැර කරලා නෑ. මේ මේ වංශයන්ගෙන් තොපගේ ශාක්‍ය වංශය අපවිත්‍රයි කියලා නින්දා ලබලා නෑ”
මෙම ප්‍රකාශය කරන සෝණදණ්ඩ බ්‍රාහ්මණයා එය කටට ආ පලියට කියන කථාවක් නොවෙයි. ඔහු ද මහා සම්භාවනීය බ්‍රාහ්මණයෙකි. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ චම්පා නුවරට වැඩිය බව ඔහුට ආරංචි වුනහම ඔහු මුලින් ම සොයා තිබෙන්නේ භාග්‍යවතුන් වහන්සේ ගේ ශාක්‍ය රාජවංශයේ සත්මුතු පරම්පරාව ගැනය. එසේ නැතිව ආවාට ගියාට වෙනත් වංශයක පිරිසිදුකම ගැන ඔවුන් මේ අයුරින් කථා කරයිද?
මෙයින් පැහැදිලිව පෙනෙන්නේ එකල රජ පවුල් වලත් මේ පරම්පරා කථාව ඉතා පිරිසිදුව පවත්වාගෙන ඇවිත් තියෙන බවයි. ඒ ඔවුන් ගේ සමාජ තත්වය පිණිස ඇති ප්‍රධාන ම සහ එක ම සුදුසුකම නිසා ය. තමන් ගේ වංශ පරම්පරාවේ ආරම්භක පුරුෂයා කවුද යන කථාවත් ක්ෂත්‍රිය බ්‍රාහ්මණ කවුරුත් අනිවාර්යයෙන් ම දැනගෙන සිටිය යුත්තකි. ඒ ගැන හොඳ ම උදාහරණයක් දීඝ නිකායේ ම අම්බට්ඨ සූත්‍රයෙහි සඳහන් වෙනවා.
Pinwath Swaaminwahanseta chirath kaalayak shaasanika sewawan kireemata Shakthiya..dayrrya haa niduk niroogee chira jeewanaya pathami.
Mema lepe vala daham karunu awaboda karagena sama denama nevan maga gaman karatwa,apege loku hamuduruvanttat me seyalu pen anumodan wettwa, tawat awrudu 2500ta adeka kalayak budda sasanya reketva
Apage pinwath loku swamin wahanseta namaskara wewa !!!
Apage pinwath loku swamin wahanseta namaskara wewa !!!