පින්වතුනේ, පින්වත් දරුවනේ,
බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන කාලෙකදි බුද්ධිමත් මිනිසුන්ට ජීවිතය අවබෝධ කිරීමේ පරම දුර්ලභ අවස්ථාව උදාවෙනවා. උන්වහන්සේ වැඩසිටියේ යම් ප්‍රදේශයකද, ඒ මුළු ප්‍රදේශයේම සිටින පින් ඇති බුද්ධිමත් උදවියට සසර දුකින් මිදීමේ වාසනාව උදාවෙනවා. එවැනි අවස්ථා සැවැත් නුවරදී, රජගහ නුවරදී බොහෝ සෙයින් උදාවුණා.
මෙයත් එවැනි දෙයක්. රජගහ නුවර ධනවත් සිටු පවුලක් හිටියා. මේ සිටු පවුලේ කුමාරවරු දෙදෙනෙක් හිටියා. වැඩිමහල් කුමාරයාගේ නම මහා පන්ථක. බාලයාගේ නම චුල්ලපන්ථක. මේ දරුවන් බුදුරජාණන් වහන්සේව බැහැදැකීමටත්, බණ ඇසීමටත්, නිතර නිතර වේළුවනාරාමයට යනවා. ටිකෙන් ටික මේ දරුවන්ගේ සිත් පැවිදි ජීවිතයට යොමුවුණා. මුලින්ම මහා පන්ථක කුමාරයා පැවිදි වුණා. පැවිදි වුණු දවසේ ඉඳලා මහා පන්ථක ස්වාමීන් වහන්සේ මහත් වෙහෙසක් දරමින් අප්‍රමාදීව ධර්මයේ හැසිරුණා. ඉතාම සුළු කලකදී අරහත්වයට පත්වුණා.
තම සහෝදර ස්වාමීන් වහන්සේගේ ජීවිතය තුළ ගොඩනැගී ඇති සුන්දරත්වය ගැන චුල්ලපන්ථක ද මහත් සතුටට පත්වුණා. ඔහුටත් පැවිදි වෙන්න ඕන වුණා. මව්පියන්ගෙන් අවසර ගත් චුල්ලපන්ථක බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණා. චුල්ලපන්ථක ස්වාමීන් වහන්සේ සිල් රකින්න හරි ආසයි. භාවනා කරන්නත් හරි ආසයි. නමුත් දුක හිතෙන ප්‍රශ්නයක් තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේට කිසි දෙයක් පාඩම් හිටින්නේ නෑ. දවසක් මහා පන්ථක ස්වාමීන් වහන්සේ බුදු ගුණ සඳහන් වන මේ ගාථාව චුල්ලපන්ථක ස්වාමීන් වහන්සේට පාඩම් කිරීම පිණිස කියලා දුන්නා.
“පදුමං යථා කෝකනදං සුගන්ධං
පාතෝ සියා ඵුල්ලමවීතගන්ධං
අංගීරසං පස්සවිරෝචමානං
තපන්තමාදිච්චමිවන්තලික්ඛේ’ති.උදයෙ පිපී සුවඳ හමන රතු පියුමක් වැන්නේ
සරත් කලට අහසෙ දිලෙන හිරු මඬලක් වැන්නේ
සිල් සමාධි ගුණ නුවණින් හැම විට බබලන්නේ
අන්න බලන් අංගීරස සමිඳුය වැඩ ඉන්නේ
ඉතින්, ඔය ගාථාව පාඩම් කිරීමට කොතෙකුත් මහන්සි ගන්නවා. කිසි ඵලක් වුණේ නැහැ. මේ කියනවා මේ මතක නෑ. ඒ නිසාම චුල්ලපන්ථක ස්වාමීන් වහන්සේ හරියට දුක් වුණා. මාස හතරක් ගෙවුණා. තවම මේ එක ගාථාව පාඩම් කරගන්නට බැරි වුණා. දවසක් තමන්ගේ සොහොයුරු වූ මහා පන්ථක ස්වාමීන් වහන්සේ තමන්ව කැඳෙව්වා.
“ඔය ආයුෂ්මතුන්ට මේ පැවිදි ජීවිතය දියුණු කරගන්නට පුළුවන් කමක් නෑ. පුංචි ගාථාරත්නයක් පාඩම් කිරීමට බැරුව හාර මාසයක් ගෙවුණා. මෙවැනි අලසයන්ට බුදු සසුන තුළ පිහිට ලබන්නට බැහැ. ඔය ආයුෂ්මතුන් සිවුරු අරින එකයි හොඳ. එතකොට ගෙදර ගිහින්රැකියාවක් කරගෙන, පින් දහම් කරගෙන ඉන්න පුළුවන්.
චුල්ලපන්ථක ස්වාමීන් වහන්සේ ඇස්වල කඳුළු පුරවාගෙන සහෝදර ස්වාමීන් වහන්සේ දිහා බලාගෙන හිටියා. කිසිම සමාවක් නැති පාටයි. දිගු සුසුමක් හෙළුවා. බිම බලාගත්තා. සහෝදර ස්වාමීන් වහන්සේට වන්දනා කළා. ඔළුව බිමට පත් කරගෙන හිමින් හිමින් වේළුවනාරාමයෙන් පිටත් වෙන්නට සූදානම් වුණා. වේළුවනාරාමයේ දොරටුව ළඟට පැමිණුනා. ගෙදර යන්න හිතෙන්නෙම නෑ.
‘අනේ…. මං කොහොමද ගෙදර යන්නෙ? මං කොහොමද ගිහි ඇඳුම් අඳින්නෙ? මං කොහොමද බණ භාවනා නොකර ඉන්නෙ? අනේ…. මට පාඩම් හිටින්නෙ නැති එක මගේම අවාසනාවක්. අනේ…. මං කොහොමද සිවුරු අරින්නෙ. අනේ මට නම් බැහැ….’
චුල්ලපන්ථක ස්වාමීන් වහන්සේට හරිම දුකයි. උන්වහන්සේ දොරටුව ළඟ නැවතුණා. බිම වාඩිවුණා. හොඳටම අඬන්න පටන් ගත්තා. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ මේ පොඩි ස්වාමීන් වහන්සේ තුළ සැඟවී තිබෙන අසාමාන්‍ය කුසලතා දුටුවා. බුදුරජාණන් වහන්සේ එතැනට වැඩියා.
“ආ…. චුල්ලපන්ථක. මොකද මේ…? ඇයි අඬන්නෙ? සිත රිදුණද?
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මම මහා අවාසනාවන්තයි. මට පාඩම් හිටින්නෙ නැහැ. හාර මාසයක් තිස්සේ මං මහන්සි ගන්නවා. ඒත් ඒ එකම ගාථාව මට මතක හිටින්නෙ නෑ. සහෝදර ස්වාමීන් වහන්සේ මට කිව්වා ගෙදර යන්න කියලා. අනේ, ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මම භාවනා කරන්න හරි කැමතියි.
මහා කාරුණික බුදුරජාණන් වහන්සේ චුල්ලපන්ථක ස්වාමීන් වහන්සේගේ හිස ආදරයෙන් අතගෑවා. උන්වහන්සේගේ අතින් අල්ලා ගත්තා.
“හොඳයි…. හොඳයි…. චුල්ලපන්ථක ගෙදර යන්න ඕන නෑ. මම භාවනා කරන්න කියලා දෙන්නම්. යමු ඇතුලට.
බුදුරජාණන් වහන්සේ චුල්ලපන්ථක ස්වාමීන් වහන්සේ කැඳවගෙන ගියා. ගිහින් සුදු රෙදිකඩක් අතට දුන්නා. අව්ව තියෙන තැනක වාඩි කෙරෙව්වා.
“හොඳයි, දැන් හොඳට ඔය රෙදි කඩ අතින් පිරිමදින්න ඕන. බාහිර කිසිවක් හිතන්න එපා. ‘රජෝ හරණං….. රජෝ හරණං….’ කිය කියා හිතන්න. ඒකෙ තේරුම දූවිලි ඉවත් කරනවා කියන එකයි.
චුල්ලපන්ථක ස්වාමීන් වහන්සේට හරි සතුටුයි. ඒ කියපු විදිහටම භාවනා කරගෙන ගියා. ඒත් අලුත් සුදු රෙදි කඩ ටිකෙන් ටික කිලුටු වුණා. උන්වහන්සේගේ සිත ටිකෙන් ටික එකඟ වුණා. බුදුරජාණන් වහන්සේ ඉර්ධි බලයෙන් ධර්ම දේශනා කළා. චුල්ල පන්ථක ස්වාමීන් වහන්සේ අරහත්වයට පත්වුණා. චුල්ලපන්ථක ස්වාමීන් වහන්සේ මෙම බුද්ධ ශාසනයෙහි මනෝමය ඉර්ධි ලාභීන් අතර අග තනතුරු ලැබුවා. මේසා මහත් වාසනාවක් හිමි කරගෙන සිටි උදාර පුද්ගලයෙක් වන චුල්ලපන්ථක ස්වාමීන් වහන්සේ සාර මාසයක් ගාථාවක් පාඩම් කරගත නොහැකිව දුක්විඳින්නට සිදුවූයේ පෙර කරන ලද කර්ම විපාකයක් නිසයි. ඒ සියල්ල පරදවා අප්‍රමාදීව ජය ගැනීමට උන්වහන්සේට පුළුවන් වුණා.
මෙකරුණ මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ මෙම ගාථාව වදාළා.
උට්ඨානේනප්පමාදේන
සඤ්ඤමේන දමේන ච
දීපං කයිරාථ මේධාවී
යං ඕඝෝ නාභිකීරතිනැගී සිටින වීරියෙන් ද – කැපවෙන නොපමා ගුණෙන් ද
සිල් ගුණ යුතු සංවරයෙන් – ඉඳුරන්ගේ දමනයෙන් ද
යුතුවන නුවණැති සමණා – තනයි ඒ නිවන් දූපත
කිසිදු කෙලෙස් සැඩ පහරට – යටට නොයයි ඒ දූපත
පින්වතුනේ, පින්වත් දරුවනේ, ජීවිතයකට නැගී සිටි වීරිය ඉතාම වැදගත්. බුදුරජාණන් වහන්සේ වීරිය ගන්න ඕන ආකාරය තුන් අයුරකින් පෙන්වා වදාළා. කෙනෙකුට තියෙනවා නම් නිරතුරුවම උත්සාහයක්, අන්න ඒ උත්සාහයට කියනවා ‘ආරද්ධ වීරිය’ කියලා. ඒ කෙනා ඒ උත්සාහය පටන් අරගෙනයි තියෙන්නෙ. ඒ වීරිය ඉතාම ප්‍රබෝධමත් සිතින් පවත්වනවා නම් ඒකට කියන්නෙ ‘නැගී සිටි වීරිය’ කියලා. නැගී සිටි වීරිය තියෙන කෙනා නැණවතෙක්. එයා නුවණ යොදවනවා. නුවණින් සලකනවා. එයාට හොඳ නරක තෝරා බේරා ගෙන නරක බැහැර කරන්න පුළුවන්. හොඳ රැකගන්න පුළුවන්. එනිසා නැගී සිටි වීරිය දියුණු වෙන ජීවිතයකට ඉතාමත් ප්‍රයෝජනයි.
අප්‍රමාදය යන වචනයේ තේරුම දැන් ඔබ දන්නවා. ඒ කියන්නේ කැපවීමටයි. තමන්ගේ එදිනෙදා කටයුතු අතරේ තමන්ගේ ඉලක්කය කරා යන්නට යම් කැපවීමක් කරනවාද, ඒ කැපවීම නිරතුරුවම කරනවාද එතන තියෙන්නේ අප්‍රමාදයයි.
සංයමය කියන්නේ ඉන්ද්‍රිය සංවරයයි. පින්වතුනේ, පින්වත් දරුවනේ, අපට ඉන්ද්‍රියයන් හයක් තියෙනවා. එනම් ඇස, කන, නාසය, දිව, කය සහ මනස යන ඉන්ද්‍රියයි. මේ ඉන්ද්‍රියයන්ගෙන් අපි අරමුණු ගන්නවා. ඇසට රූප පෙනෙනවා. කනට ශබ්ද ඇසෙනවා. නාසයට ගඳ සුවඳ දැනෙනවා. දිවට රස දැනෙනවා. කයට පහස දැනෙනවා. මනසට අරමුණු සිතෙනවා. ඉතින් මේ ඉන්ද්‍රියයන්ට අරමුණු වන දේවල් තුළින් තමයි අපේ හිතේ කෙලෙස් වැඩෙන්නෙ. ඒ නිසා දියුණු සිතක් කැමති කෙනා මේ ඉන්ද්‍රියයන් සංවර කරනවා. රාග, ද්වේෂ, මෝහ ඇතිවෙන්න ඉඩදෙන්නෙ නැහැ. ඉන්ද්‍රිය සංවරයට වුවමනා කරන මූලික ආධාරය වන්නේ සිල් පද ආරක්ෂා කර ගැනීමයි. සිල් පද ආරක්ෂා කර ගැනීමට මූලික ආධාරය වන්නේ ඉන්ද්‍රිය සංවරයයි. ඒ නිසා සංවර කෙනා සීලවන්තයෙන්මයි. සිල්වත් බව කියන්නේ ජීවිතය සුන්දර කරන ආභරණයක්.
ඉන්ද්‍රියයන් දමනය කිරීම ඉතාම ප්‍රයෝජනයි. ඒ කෙනා ඉන්ද්‍රියයන්ට අරමුණු ලබා දිදී වින්දනය පස්සේ දුවන්නෙ නෑ. අශ්වයන් හය දෙනෙක් බැඳපු කරත්තයක් තියෙනවා. මේ කරත්තයේ දක්ෂ රියදුරෙක් ඉන්නවා. ඉතින් ඒ දක්ෂ රියදුරා ඒ අශ්වයන් හය දෙනාම රැහැනින් බැඳලා රැහැන් පොට තමන් අතේ තියාගෙන කෙවිටෙන් හසුරුවමින් තමන්ගේ ගමන යනවා. එතකොට අර අශ්වයන්ට හිතුමනාපේ දුවන්න බැහැ. ඒ අශ්වයන් ගමන් කරන්නේ රියදුරාගේ වචනයට අනුවයි. අන්න ඒ විදිහට මේ ඉන්ද්‍රියයන් හය දමනය කරගන්නා මහා පුරුෂයන් ලෝකයේ ඉන්නවා. යම්කිසි කෙනෙක් එවැනි ඉන්ද්‍රිය දමනයකින් යුක්ත නම්, එයා උතුම් කෙනෙක් නොවේද?
මෙම ගාථා රත්නයේ ‘මේධාවී’ කියල වචනයක් සඳහන් වෙනවා. මේධාවී කියන්නේ මහා නුවණැති කෙනා කියන එකයි. නුවණැති කෙනා ඒ නුවණින් තමයි හැම දෙයක්ම කරන්නෙ. ඒ කෙනාට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉතාමත්ම ප්‍රණීතයි. ඉතාමත්ම රසවත්. ඒ කෙනා ධර්මයේ හැසිරිලා අප්‍රමාණ සතුටක් ලබනවා. අන්න ඒ මේධාවී කියන ප්‍රඥාවන්ත කෙනා දිවයිනක් තනා ගන්නවා. ඒ කියන්නේ දූපතක්. ඒ දූපත කෙලෙස් සැඩ පහරට යටවෙන්නෙ නැහැ. බුදුරජාණන් වහන්සේ කෙලෙස් සැඩ පහරට යට නොවන දූපත කියා වදාළේ අමා මහ නිවනටයි. කෙනෙකුට මේ කෙලෙස් සැඩ පහරින් බේරී දූපත කරා යන්නට හැකි නම්, ඔහුට සදාකාලිකවම සැනසිල්ල හිමිවෙනවා.
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ