බුදුවරුන්ට අයත් ප්‍රශංසාව පුහුදුන් මිනිසුන්ට ආරෝපණය කිරීම සුදුසු ද?
“දුල්ලභෝ පුරිසාජඤ්ඤෝ – න සෝ සබ්බත්ථ ජායති
යත්ථ සෝ ජායති ධීරෝ – තං කුලං සුඛමේධතී’ති.
ආජානීය මහා පුරුෂයා – ඉතා දුලබ ය මේ ලොව
හැම තැන ම හැම කල්හි ම – නැත ඔහු පහළ වන්නේ
ඒ මහා නැණවතා – යම් වංශයක උපදී නම්
ඔහු උපන් ඒ වංශය – උතුම් සැපයට පත් වේ”
ඉහත සඳහන් ගාථා රත්නය සඳහන් ව තිබෙනුයේ ධම්මපදයෙහි බුද්ධ වර්ගයේ ය. එකල අප භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනයෙහි වැඩසිටි සේක. එසමයෙහි අනඳ තෙරුන්ගේ සිතෙහි මෙවන් අදහසක් උපනි.
‘මේ ලෝකයෙහි අතිශය ශ්‍රේෂ්ඨ වූ ආජානීය හස්තිරාජයෝ සිටිති. ඔවුන් උපදිතොත් උපදිනුයේ ඡද්දන්ත රාජකුලයේ හෝ උපෝසථ රාජකුලයේ හෝ පමණි.
එසේ ම අතිශය ශ්‍රේෂ්ඨ වූ ආජානීය අශ්වරාජයෝ සිටිති. ඔවුන් උපදිතොත් උපදිනුයේ ද සෛන්ධව රාජකුලයේ හෝ වලාහක රාජකුලයේ පමණි.
භාග්‍යවතුන් වහන්සේ වදාළේ මේ ශ්‍රේෂ්ඨ සත්වයන් දඹදිව දක්ඛිණාපථ ආදී විශේෂ ප්‍රදේශයන්හි පමණක් උපදිනා බවයි. අතිශය ශ්‍රේෂ්ඨ වූ ආජානීය පුරුෂයෝ ද ලෝකයෙහි පහළ වෙති. ඔවුන් උපදිතොත් උපදිනුයේ කවර පෙදෙසක ද? මෙකරුණ මා භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසුව මනා ය.’ යි සිතා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ වන්දනා කොට එකත්පස් ව සිට මෙය සැලකොට සිටියහ.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. “ආනන්දයෙනි, අතිශය ශ්‍රේෂ්ඨ වූ ආජානීය පුරුෂයා ලොවෙහි හැම කල්හි හැම තැන ම නූපදී. ඔහු උපදිතොත් උපදිනුයේ කෙලින් යොදුන් තුන්සියයක් ඇති, වටප්‍රමාණයෙන් යොදුන් නවසියයක් ඇති, මධ්‍ය දේශය නම් වූ පෙදෙසෙහි පමණි. එසේ ම ආනන්දයෙනි, ඒ ආජානීය පුරුෂයා දඹදිව ඇති කවර කුලයක හෝ නූපදී. ඔහු උපදිතොත් උපදිනුයේ ක්ෂත්රිය මහාසාල කුලයෙහි හෝ බ්‍රාහ්මණ මහාසාල කුලයෙහි හෝ පමණි.”
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙම ගාථාව වදාළ සේක.
“දුල්ලභෝ පුරිසාජඤ්ඤෝ – න සෝ සබ්බත්ථ ජායති
යත්ථ සෝ ජායති ධීරෝ – තං කුලං සුඛමේධතී’ති.
ආජානීය මහා පුරුෂයා – ඉතා දුලබ ය මේ ලොව
හැම තැන ම හැම කල්හි ම – නැත ඔහු පහළ වන්නේ
ඒ මහා නැණවතා – යම් වංශයක උපදී නම්
ඔහු උපන් ඒ වංශය – උතුම් සැපයට පත් වේ”
මෙය වදාළ භාග්‍යවතුන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය වදාළ කල්හි ඒ දෙසුම අවසානයෙහි බොහෝ දෙනා සෝවාන් ආදී මගඵලයන්ට පත්වූහ. මෙයින් පැහැදිලිව පෙනෙනුයේ එම ගාථාව බුදුවරුන්ට පමණක් ප්‍රශංසා කිරීම පිණිස, සත්‍ය වශයෙන් ම සෑම කල්හි ම නූපදින, දඹදිව මධ්‍ය දේශයෙහි පමණක් උපදින තථාගත අර්හත් සම්මා සම්බුදුවරුන් ගැන පමණක් කියවෙන ගාථාවක් බව ය.
අප භාග්‍යවතුන් වහන්සේ පහළ වූයේ උතුරු දඹදිව ඔක්කාක වංශය හෙවත් සූර්ය රාජවංශයෙහි ශාක්‍ය කුලයේ ය. ඒ හේතුව නිසා ම භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩසිටියදී ම බොහෝ ශාක්‍යවරුන්ට සසුන්ගත ව අර්හත්වය සාක්ෂාත් කොට මහත් සැපයකට පත්වීමේ භාග්‍යය ලැබුණේය. එසේ ම ගෞතම බුදුසසුනේ භික්ෂුණී සංඝයාගේ පහළවීම සිදුවූයේ ද ශාක්‍ය රාජකුමාරිකාවන්ගේ පැවිද්දත් සමග ය. එසේ ම තමන් වහන්සේ උපන් වංශයට භාග්‍යවතුන් වහන්සේ විශේෂ අනුග්‍රහ කළ සේක. වෙනත් තීර්ථක පැවිද්දක සිටි අයෙකු බුදුසසුනෙහි පැවිදි වන්නේ නම්, අනිවාර්යයෙන් ම සිව් මසක පරිවාස කාලයක් ගත කළ යුතුය. ඉන් පසු සංඝයා කැමති වන්නේ නම් පමණක් ඔහුට පැවිද්ද ලැබේ. එහෙත් වෙනත් තීර්ථක පැවිද්දක සිටි ශාක්‍ය වංශිකයෙකු බුදුසසුනෙහි පැවිදි වන්නේ නම්, ඔහුව සිව් මසක පරිවාස කාලයෙන් නිදහස් කළ සේක. ඔහුට කෙලින් ම පැවිදි විය හැකිය. එය ස්වකීය වංශයට ලද විශේෂ වරප්රසාදයකි. ‘ශාක්‍යයන්ගේ මුනිවරයා’ යන විරුදාවලිය ද භාග්‍යවතුන් වහන්සේට ලැබුණේය.
එහෙත් අප රටෙහි ඇතැම් අවස්ථාවන්හිදී භික්ෂූන් වහන්සේලා අපවත් වූ විටදීත්, ඇතැම් ගිහි ප්‍රභූන් අභාවයට පත් වූ විටදීත් ඔවුන්ට ප්‍රශංසා කරනු පිණිස මේ ගාථාව පවසා එයින් පසසනු අපට දකින්නට ලැබේ. ඔවුන් ද ආජානීය පුරුෂයන් බවත්, හැම කල්හි හැම තැන ම නූපදින බවත්, ඔවුන්ගේ උපත නිසාත් ඔවුන්ට උපත ලබාදුන් වංශය මහා සැපයකට පත් වූ බවත් කියමින් ව්‍යාජ ප්‍රශංසාවකින් උදම් අනති.
බුදුවරුන්ට පමණක් හිමි වූ, බුදුමුවින් වදාළ ඒ ප්‍රශංසාව හුදෙක් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පිණිස අවමංගල අවස්ථාවන්හිදී භාවිත කිරීම කොතරම් දුරට ගැලපේ දැයි සිතා බැලීම සුදුසු ය. කොටින් ම එම බුද්ධ ප්රශංසාර්හ ගාථා රත්නය පච්චේක බුද්ධ, අග්‍රශ්‍රාවක, අසූ මහාශ්‍රාවක, මහාශ්‍රාවක ආදී අන්‍ය වූ ශ්‍රේෂ්ඨ නික්ලේශී උතුමන් සඳහාවත් භාවිතා කොට ඇති වගක් ධර්මය තුළ දකින්ට නැත්තේය.
සම්බුදුවරුන්ට අයත් ප්‍රශංසාව කුමක්දැයි අප මැනවින් හඳුනාගත යුතුය. යථෝක්ත ගාථාවෙන් ලද ප්‍රශංසාව හිමි ව ඇත්තේ අතිශයින් ප්‍රශංසා ලද්දවුන් අතර අග්‍ර වූ තථාගත අර්හත් සම්මා සම්බුදුවරයෙකුට පමණි. එසේ නම් ඒ බුදුරජාණන් වහන්සේ සරණ ගිය, සාමාන්‍ය පුහුදුන් ලෝසතට ප්‍රශංසා කිරීම උදෙසා එය භාවිත කිරීමෙන්, බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා පිණිස බුදුමුවින් වදාරන ලද එම ගාථාව අවභාවිතා කිරීමක් සිදු නොවේදැයි සිතා බැලීම සුදුසු ය. මක් නිසා ද යත්, නොදැනුවත් ව හෝ එයින් අකුසලයක් සිදුවන නිසා ය. එමෙන්ම එය සමාජගත වීමෙන් ඉතා ශ්‍රේෂ්ඨ වූ සම්බුදුවරුන්ගේ ප්‍රශංසාව පෘථග්ජන මිනිසුන්ගේ වර්ණනාව දක්වා පහත වැටෙන නිසා ය. එය බෞද්ධ සමාජයකට කෙතරම් ගැලපේ දැයි නැවත නැවත සිතුව මනා ය.
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ