1. කඩොල් ඇතාත් කාය බලයෙන් යුතුව, ඇතෙකුට පිහිටිය යුතු උතුම් ලකුණින් යුතුව, ආරෝහ පරිණාහ දේහයකින් යුතුව තේජසින් යුතුව ජව ගුණයෙන් යුතුව අන් සියලු ඇතුන් අතර අග්‍ර ව මහාකයක් ඇතිව සිටියා.

2. නන්දිමිත්‍ර ය, සුරනිමල ය, මහාසෝණ ය, ගෝඨයිම්බර ය, ථේරපුත්තාභය ය, භරණ ය, වේළුසුමන ය, ඒ වගේ ම,

3. ඛඤ්ජදේව ය, ඵුස්සදේව ය, ලභියවසභ ය කියලා මහා බලසම්පන්න මහා යෝධයෝ දස දෙනෙක් ගැමුණු කුමාරයාට හිටියා.

4. එළාර රජ්ජුරුවන්ට මිත්‍ර නමින් සෙනෙවියෙක් සිටියා. නැගෙනහිර පළාතේ ‘ඛණ්ඩරාජි’ කියලා ඔහුගේ කර්මාන්ත කරවන ගමක් තිබුණා.

5. චිත්ත පර්වතයට ආසන්නයේ තිබුනු ඒ ගමේ ඔහුගේ නැගණියට පුතෙක් හිටියා. කෝෂයෙන් වැසී ගිය අංගජාතයක් තිබුනු ඔහුට තම මාමාගේ නම වන ‘මිත්‍ර’ යන නාමය ම ලැබී තිබුණා.

6. මේ මිත්‍ර කුමාරයා ඉතා සිඟිති කාලයේ දණ ගාමින් ගොඩාක් ඈතට යනවා. දරුවගේ ගමන වළක්වන්ට ඉනේ සම්පටියක් බැඳලා අනිත් කෙළවරේ මිරිස් ගලක් ගැට ගැහුවා.

7. එතකොට ‘මිත්‍ර’ සිඟිත්තා මිරිස් ගලත් ඇදගෙන බිම දණ ගාගෙන යන අතරේ උළුවස්සෙන් එළියට යද්දි මිරිස් ගලේ බැඳපු වරපට කැඩිලා යනවා.

8. නන්දි කියන්නේ සම්පටියට. මිරිස් ගලේ බැඳපු සම් පටියත් කඩාගෙන ගිය නිසා මේ දරුවාට ‘නන්දිමිත්‍ර’ කියා නම ලැබුනා. මොහු ඇත්තු දහ දෙනෙකුගේ කාය බලයෙන් යුක්තයි. මොහු තරුණයෙක් වුනාට පස්සේ අනුරාධපුරයට ඇවිත් ‘මිත්‍ර’ නමැති තමන්ගේ මාමාට සේවය කළා.

9. ඒ කාලේ චෛත්‍ය මළු ආදියෙහි මලපහ කරන, කැළිකසල දමමින් අගෞරව කරන දෙමළ මිනිසුන්ව මොහුට දකින්ට ලැබෙනවා. එතකොට මොහු ඒ දෙමළාව අල්ලගෙන ඔහුගේ කළවය තම කකුලෙන් පාගාගෙන අනිත් කකුල අතින්,

10. ඇදලා දෙකට ඉරලා පවුරට උඩින් විසි කරන තරමට ශක්ති සම්පන්නව හිටියා. ඔහු විසින් වීසි කරන සිරුරු දෙවියන් නොපෙනෙන්ට සලස්වනවා.

11. දෙමළ ජනයා අඩුවෙන්ට පටන් ගත් නිසා ඒ බව එළාර රජ්ජුරුවන්ට සැළකළා. ‘බඩුත් සමග මිනීමරුවා අල්ලපියව්’ කියලා සේනාවට අණ කළා. නමුත් කාටවත් නන්දිමිත්‍රව අල්ලා ගන්ට පුළුවන් වුනේ නෑ.

12. දවසක් නන්දිමිත්‍ර මෙහෙම හිතුවා. ‘මං දිගටම මෙහෙම කළොත් සිද්ධ වෙන්නේ දෙමළ ජනයා අඩුවෙන එක විතරයි. මේකෙන් බුද්ධ ශාසනයේ බැබලීමක් ඇතිවෙන්නේ නෑ’ කියලා.

13. ‘මෙහේ වගේ නොවේ. රුහුණු රටේ තුනුරුවන්ට පැහැදුනු රජදරුවෝ ඉන්නවා. මං එහේ ගිහින් බෞද්ධ රජදරුවන්ට සේවය කරලා මේ දෙමළ උවදුරෙන් අනුරාධපුරය බේරගෙන,

14. ඒ රජදරුවන්ට රාජ්‍යය ලබාදීලා බුද්ධ ශාසනයයි බබුලුවන්ට ඕනෑ’ කියලා රුහුණු මාගම වඞ්ඪමාන නුවරට ගිහින් ගැමුණු කුමාරයා මුණගැසිලා තම අදහස සැළකළා.

15. මොහු පිළිබඳව විහාර මහා දේවිය සමග සාකච්ඡා කළ ගැමුණු කුමාරයා මොහුට සත්කාර කළා. ගෞරව සැළකිළි ලැබූ ඒ නන්දිමිත්‍ර යෝධයා ගැමුණු කුමාරයා ළඟ වාසය කළා.

16. කාවන්තිස්ස රජ්ජුරුවන් රුහුණට සිදුවිය හැකි දෙමළ ආක්‍රමණයක් වෙතොත් එය වළක්වන්ට මහවැලි ගඟේ සියලු තොටුපලවල් වලට හැම තිස්සේ ම ආරක්ෂාව සැලැස්සුවා.

17. කාවන්තිස්ස රජ්ජුරුවන්ගේ වෙනත් බිසොවකට දීඝාභය කියලා පුත් කුමාරයෙක් හිටියා. ඒ දීඝාභය කුමාරයා ලවා මහවැලි ගඟේ කසාතොටට රැකවල් සැලැස්සුවා.

18. ඔහු කසාතොට ආරක්ෂා කිරීම පිණිස හාත්පස යොදුන් දෙකක ප්‍රමාණයට අයත් භූමියේ පදිංචි මහා කුලවලින් එක එක පුත්‍රයාව කඳවුරට ගෙන්නා ගත්තා.

19. ඒ වගේම යොදුන් තුනක් ඈතින් ඇති කොට්ඨවාල නම් ජනපදයේ ඛණ්ඩකවිට්ඨක ‘කඩවිට’ කියන ගමේ පුතුන් සත් දෙනෙක් ඉන්න සංඝ නමැති කුල ප්‍රධාන සිටුවරයෙක් හිටියා.

20. දීඝාභය රාජපුත්‍රයා පුත්‍රයෙකුගේ අවශ්‍යතාවය කියලා සංඝ සිටුවරයා වෙතට දූතයෙක් පිටත් කළා. සංඝ සිටුවරයාගේ සත්වෙනි පුත්‍රයා නිමිල නමින් හැඳින්වුනා. ඔහුත් ඇතුන් දහ දෙනෙකුගේ බලයෙන් යුක්තයි.

21. නිමිලයා කම්මැලි නිසා ඔහුගේ වැඩිමහල් සහෝදරයන් සය දෙනා ම ඔහුව හෙළා දකිනවා. ඒ සොහොයුරන් ඔහු යනවාට කැමති වුනා. නමුත් දෙමාපියන් කැමති වුනේ නෑ.

22. නිමිල තමන්ගේ සහෝදරයන් සමග අමනාප වෙලා පාන්දරින් ම පිටත් වුනා. හිරු උදාවෙන කොට යොදුන් තුනක් දුර ඇවිත් දීඝාභය රාජපුත්‍රයාව මුණගැසුනා.

23. නිමිලගේ ගමන් වේගය විමසන්ට ඕනෑ කියලා දීඝාභය කුමාරයා ඔහුව දුර කටයුත්තකට යෙදෙව්වා. ‘චේතිය පර්වතයට ආසන්නයේ දොරමඬලාව කියලා ගමක් තියෙනවා.

24. ඒ ගමේ මගේ හිතවත් කුණ්ඩලී නමින් බ්‍රාහ්මණයෙක් ඉන්නවා. පිටරටින් ආපු බඩු වගයක් ඔහු ළඟ තියෙනවා.

25. ඔබ ගිහින් ඔහු දෙන බඩු අරගෙන මෙහෙට එන්ට’ කියලා නිමිලට කන්ට බොන්ට දීලා ලියුමක් දීලා පිටත් කෙරෙව්වා.

26. කසාතොට දීඝාභය කුමාරයාගේ කඳවුරේ ඉඳලා මේ අනුරාධපුරයට යොදුන් නවයක් දුරයි. නිමිලයා උදේ වරුවේ ම ගිහින් බ්‍රාහ්මණයාව මුණගැසුනා.

27. එතකොට බ්‍රාහ්මණයා ‘දරුව, වැවෙන් නාගෙන වරෙන්’ කියලා කිව්වා. නිමිල මීට කලින් මෙහේ ඇවිත් නැති නිසා තිසා වැවෙන් හොඳට නාලා,

28. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේටත් ථූපාරාම චෛත්‍යයටත් පූජාවන් පවත්වලා අනුරාධපුර නගරයට ගොඩවෙලා මුළු නුවර ම බලලා,

29. කඩෙන් සුවඳ වර්ගත් අරගෙන උතුරු දොරටුවෙන් නික්මිලා මහනෙල් කෙතට ගොහින් මහනෙල් මලුත් අරගෙන,

30. බ්‍රාහ්මණයා වෙත ගියා. එතකොට බ්‍රාහ්මණයා ‘කොහෙද ගියේ?’ කියලා ඇහුවා. නිමිලයා යොදුන් නවයක් දුර සිට උදේ වරුවේ ම ආපු ගමනත් දැන් මේ අනුරාධපුර නගරය පුරා ඇවිදගෙන ගිහින් නැවත බමුණා ළඟට ආ ගමනත් අහලා,

31. විස්මයට පත්වෙලා මෙහෙම සිතුවා. ‘මේකා නම් ආජානේය පුරුෂයෙක් නොවැ. එළාර රජ්ජුරුවන්ට දැන ගන්ට ලැබුනොත් මොහුව අයිති කරගන්නවා.

32. ඒ නිසා දෙමෙල්ලුන් එක්ක මෙවැනි උතුම් කෙනෙක් වාසය කරවීම සුදුසු නෑ. මෙයාව ගැලපෙන්නේ දීඝාභය රාජපුත්‍රයාගේ පියා ළඟ වාසය කරවන එක’ කියලා,

33. නිමිලගේ දක්ෂකම ගැන විස්තරත් තමන්ගේ අදහසත් සඳහන් කරලා ලියුමක් ලියලා පූර්ණවර්ධන නමැති වටිනා වස්ත්‍ර යුග්මයත් බොහෝ තෑගිභෝගත් දීලා,

34. ආහාරපානයන්ගෙන් හොඳින් සංග්‍රහ කරලා තම මිත්‍රයා ළඟට පිටත් කෙරෙව්වා. නිමිලයා සවස් වෙද්දී ආයෙමත් යොදුන් නවයක් (කිලෝ මීටර් 90 ක් පමණ) දුර ගෙවාගෙන දීඝාභය රාජපුත්‍රයා ළඟට ගිහින්,

35. බ්‍රාහ්මණයාගේ ලියුමත් තෑගිභෝගත් රාජපුත්‍රයාට දුන්නා. ඔහු මහා සතුටට පත්වුනා. ‘මේ නිමිලයාට මසුරන් දහසකින් තෑග්ගක් දෙව්’ කියලා අණ කළා.

36. දීඝාභය රාජපුත්‍රයාගේ අනිත් සේවකයෝ මොහු දහසකින් පුද ලැබීම ගැන ඊර්ෂ්‍යා කළා. එය දැනගත් රාජපුත්‍රයා මසුරන් දසදහසකින් නිමිලයාට ප්‍රසාද පිදුම කළා.

37. නිමිලයාගේ කෙස් ලිහවලා මහවැලි ගංගාවෙන් ම නහවලා ඔහු රැගෙන ආ පූර්ණවර්ධන නම් වටිනා වස්ත්‍ර යුග්මයත් අන්දවලා, සුන්දර සුවඳ මල්මාලා පළන්දවලා, සුවඳ විලවුන් ගල්වලා, කඩවසම් ලෙස සරසවලා,

38. දුහුල් පටින් හිස ලස්සනට වෙළලා දීඝාභය රාජපුත්‍රයා වෙත පැමිණෙව්වා. රාජපුත්‍රයා තමන් උදෙසා පිළියෙල කළ රාජ භෝජනයෙන් නිමිල යෝධයාට සංග්‍රහ කළා.

39. රාජපුත්‍රයා මසුරන් දස දහසක් වටිනා තමන් සැතපෙන සොඳුරු සයනය නිමිල යෝධයාට නිදාගන්ට දුන්නා.

40. නිමිල යෝධයා ඒ සියල්ල එකතු කරගෙන මව්පියන් ළඟට ගියා. මෑණියන්ට මසුරන් දස දහස දුන්නා. පියාණන්ට සයනය දුන්නා.

41. එදා රෑම ආපහු ඇවිත් කසාතොට කඳවුරේ පෙනී සිටියා. පසුදා උදෑසන රාජපුත්‍රයා එය අසා සතුටට පත්වුනා.

42. රාජපුත්‍රයා නිමිල යෝධයාට තෑගි පිරිනමලා, ඒ වගේම දස දහසක් පිරිවර ජනයාත් දීලා තමන්ගේ පියාණන් වූ කාවන්තිස්ස රජ්ජුරුවන් ළඟට පිටත් කෙරෙව්වා.

43. එතකොට ඔහු දස දහසක පිරිවර ජනයාව මව්පියන් වෙත ගෙන ගොස් ඔවුන්ට භාර දුන්නා. කාවන්තිස්ස රජ්ජුරුවන් ළඟට ගියා.

44. රජ්ජුරුවෝ ඔහුව ගාමිණී කුමාරයාට භාර දුන්නා. ගාමිණී කුමාරයාගෙන් පුද සත්කාර ලැබූ සූරනිමල යෝධයා කුමාරයා ළඟ වාසය කළා.

45. රුහුණු ජනපදයේ කුටුම්බරිකර්ණිකා කියන පළාතේ හුන්දරී වැව කියන ගම්මානේ තිස්ස නමැති පවුල්කාරයෙකුගේ අටවැනි පුත්‍රයා හැඳින්වුනේ ‘සෝණ’ යන නමිනුයි.

46. ඔහු හත් අවුරුදු වයසේදීත් පොඩි තල් ගස් අතින් ඇදලා උදුරනවා. වයස අවුරුදු දහය වෙද්දී මහ තල් ගස් උදුරලා දාන්ට තරම් මහා බලවතෙක් වුණා.

47. කල් යාමේදි ඒ මහාසෝණා ඇත්තු දහ දෙනෙකුගේ බලයෙන් යුක්ත වුනා. කාවන්තිස්ස රජ්ජුරුවන්ට ඔහු ගැන අසන්ට ලැබුනා. සෝණ තරුණයාගේ පියාට සත්කාර දක්වලා මහාසෝණාව තමන් ළඟට ගෙන්වා ගත්තා.

48. මහාසෝණාගේ ප්‍රයෝජනය සලකා ගැමුණු කුමාරයාට භාරදුන්නා. ගැමුණු කුමාරයාගෙන් පුද සත්කාර ලැබූ මහාසෝණ යෝධයා කුමාරයා ළඟ වාසය කළා.

49. ගිරි නමැති ජනපදයේ නිට්ඨුලවිට්ඨික (නිටොල්විටි) කියලා ගම්මානයක් තිබුණා. ඒ ගමේ සිටි මහානාග නමැත්තාට ඇත්තු දහ දෙනෙකුගේ බලය ඇති පුතෙක් හිටියා.

50. ඒ පුත්‍රයාට මිටි සිරුරක් තිබුන නිසා ‘ගෝඨක’ යන නම ලැබුනා. ඔහුට වැඩිමහල් සහෝදරයන් සය දෙනා ම ගෝඨකට කෙළි කවටකම් කරන්ට වුනා.

51. ඔවුන් ගිහින් මෑ හේනක් කරන්ට හිතලා මහාවනය කෙටුවා. ගෝඨයා විසින් කැලෑවේ කෙටිය යුතු කොටස ඉතුරු කරලා ගිහින් ඔහුට ඒ බව දැනුම් දුන්නා.

52. එතකොට ඔහු ගිහින් එසැණෙන්ම එහි තිබූ ඉම්බර නැමැති මහා ගස් උදුරලා භූමිය සමතලා කරලා ගෙදර ගිහින් සහෝදරවරුන්ට ඒ බව දැනුම් දුන්නා.

53. ඒ සහෝදරවරු එය හැබෑද බලන්ට හේනට ගියා. ගෝඨයාගේ ක්‍රියාව දැකලා පුදුමයට පත්වුනා. ඔහු ළඟට ඇවිත් ඔහු කළ දේ ගැන මහත් ප්‍රශංසාවෙන් කතා කළා.

54. ඔහු විසින් කරන ලද ඉම්බර ගස් ඉදිරීමේ ක්‍රියාව නිසා ‘ගෝඨයිම්බර’ යන නම ලැබුනා. කාවන්තිස්ස රජ්ජුරුවෝ කලින් වගේ ම ඔහුටත් ගැමුණු කුමාරයා ළඟ ඉන්ට සැලැස්සුවා.

55. කොටගලට කිට්ටුව කිත්ති කියන ගමේ වාසය කළ රෝහණ නැමැති ඉසුරුමත් පවුල්කාරයෙකුට දාව පුත්‍රයෙක් උපන්නා.

56. ඔහුට ගෝඨාභය රජ්ජුරුවන්ගේ නමින් අභය කුමාරයා කියලා නම තිබ්බා. වයස අවුරුදු දහය දොළහ වෙද්දී ඒ දරුවා මහා බලසම්පන්න කෙනෙක් වුනා.

57. හතරපස් දෙනෙකුටවත් ඔසොවන්ට බැරි ගල් අරගෙන පන්දු ක්‍රීඩාවේ යෙදෙනවා වගේ සෙල්ලම් කරමින් ඒ ගල් වීසි කළා.

58. අභය කුමාරයා වයස අවුරුදු දහසය වෙද්දී ඔහුගේ පියා ඔහුට ලොකු මුගුරක් සාදවලා දුන්නා. ඒක රියන් දහසයක් දිගයි. අඟල් තිස් අටක වටයෙන් යුක්තයි.

59. ඔහු ඒ විශාල මුගුරෙන් තල් ගස් වල, පොල් ගස්වල කඳට ගහලා ඒ ගස් බිම හෙළනවා. ඒකෙන්ම ඒ අභය යෝධයා ප්‍රසිද්ධියට පත්වුනා.

60. රජ්ජුරුවෝ කලින් වගේම ගැමුණු කුමාරයා ළඟ අභය යෝධයාට ඉන්ට සැලැස්සුවා. අභය යෝධයාගේ පියා මහාසුම්ම රහතන් වහන්සේගේ උපස්ථායකයෙක්.

61. දවසක් ඒ රෝහණ නමැති අභය යෝධයාගේ පියා කොටගල විහාරෙදි මහාසුම්ම මහරහතන් වහන්සේගෙන් ධර්මය අහලා සෝවාන් ඵලයට පත්වුනා.

62. ඔහු සසර ගමන කෙරෙහි අවබෝධයෙන්ම කළකිරී රජ්ජුරුවන්ට සැළකරලා තම පුත්‍රයාට පවුලේ ධනය භාරදීලා මහාසුම්ම තෙරුන් ළඟ පැවිදි වුනා.

63. පැවිදි වූ පසු භාවනානුයෝගීව වාසය කරලා උතුම් රහත් ඵලයට පත්වුනා. ඒ කාරණය නිසා උන්වහන්සේගේ පුත්‍ර අභයට ‘ථේරපුත්තාභය’ යන නාමය ඇතිවුනා.

64. කප්පකන්දර ගමේ කුමාරයෙකුට භරණ නමින් පුත්‍රයෙක් හිටියා. ඔහු වයස අවුරුදු දහය දොළහ වෙද්දී,

65. කොලු ගැටව් සමග වනාන්තරයට ගිහින් හාවුන් පස්සේ පන්නනවා. පාදයෙන් උන්ට පහර දීලා දෙකට කැඩෙන්ට බිම ගහනවා.

66. අවුරුදු දහසය වෙද්දී ගමේ මිනිසුන් එක්ක වනාන්තරේට ගිහින් කලින් විදිහටම පන්නාගෙන ගිහින් මුවන්ව ගෝණුන්ව ඌරන්ව දෙකඩ වෙලා මැරිලා වැටෙන්ට පයින් ගහනවා.

67. ඒ කාරණය නිසා භරණයා මහා යෝධයෙක් හැටියට ප්‍රසිද්ධ වුනා. කාවන්තිස්ස රජ්ජුරුවෝ කලින් වගේම මොහුවත් ගෙන්වාගෙන ගැමුණු කුමාරයා ළඟ ඉන්ට සැලැස්සුවා.

68. ගිරි නමැති ජනපදයේ කුටුම්බියංගණය කියන ගමේ බොහෝ වස්තුව තියෙනවා කියලා සම්මත වුන වසභ නමැති පවුල්කාරයෙක් හිටියා.

69. මොහුට වේළ නමැති ජනපදවැසියෙකුයි ගිරි ජනපදයේ ආදායමෙන් ජීවත් වෙන සුමන නමැත්තෙකුයි මිත්‍රයන්ව සිටියා. වසභට පුත්‍රයා උපන් දවසේ තෑගිභෝග ගෙන්වාගෙන,

70. ඔහුගේ ගෙදර ගිහින් අලුත උපන් දරුවාට යාලුවන් දෙන්නාගේ ම නම් එකතු කොට ‘වේළුසුමන’ යන නම තැබුවා. දරුවා හැදී වැඩීගෙන එද්දී ගිරි ජනපදයේ ආදායමෙන් ජීවත් වෙන සුමන නමැත්තා තමන්ගේ ගෙදර රඳවාගත්තා.

71. සුමන හට එක් සෛන්ධව අශ්වයෙක් සිටියා. කිසිම පුරුෂයෙකුට තමන්ගේ පිටට නගින්ට ඒ අශ්වයා ඉඩ දුන්නේ නෑ. නමුත් වේළුසුමනව දැක්ක වෙලාවේ ‘මෙන්න මගේ පිට උඩ නගින්ට,

72. ගැලපෙන කෙනෙක් ඇවිත් ඉන්නවා’ කියා සිතා සතුටු සිතින් හේෂාරව කළා. අශ්වයාගේ නාද කිරීම තේරුම්ගත් සුමන අශ්වයාගේ පිට උඩ නගින්ට කියලා වේළුසුමනට කිව්වා.

73. එතකොට වේළුසුමන අශ්වයාගේ පිට උඩ නැගිලා ඉතා වේගයෙන් රවුමක හැඩයෙන් දිව්වා. කොපමණ වේගයෙන් අශ්වයා දිව්වාද කියන්නේ බලාගෙන ඉන්න අයට පෙනුනේ පිට්ටනිය පුරා තියෙන රවුමක් විදිහටයි.

74. අශ්වයාගේ පිට උඩ ඉන්න වේළුසුමනව පෙනුනේත් පුරුෂයන්ගේ රවුමක් හැටියට යි. ඉතින් අසුපිට හුන් වේළුසුමන වැටේවි කියලා කිසි සැකයෙකින් තොරව හිස් වෙළුම ලිහුවා. ආයෙමත් බැන්දා.

75. එය දැකපු සියලු පිරිස මහ හඬින් ඔල්වරසන් දෙමින් ප්‍රීතිඝෝෂා කළා. සුමන සිටුවරයා ඔහුට මසුරන් දස දහසක් දුන්නා.

76. ‘මොහු නම් සුදුසු රජ කෙනෙකුටයි’ කියලා සතුටින් කාවන්තිස්ස රජ්ජුරුවන්ට භාර දුන්නා. රජ්ජුරුවෝ වේළුසුමනව තමන් ළඟ ම තියාගත්තා.

77. ඔහුට සත්කාර සම්මාන දක්වලා බුහුමන් කරවා සුවසේ ඉන්ට සැලැස්සුවා. නකුලනගරකර්ණිකාවේ මහින්දදෝණි කියන ගමේ,

78. අභය නමැත්තාගේ දේව නැමැති බාල පුත්‍රයා ඉතා බලසම්පන්නයි. දේවයා ටිකක් කොර ගසමින් ඇවිදින නිසා ඛඤ්ජදේව යන නමින් ප්‍රසිද්ධ වුනා.

79. මේ ඛඤ්ජදේව ගම්වැසියන් සමග ඒ දවස් වල මුව දඩයමේ යනවා. මිනිසුන් දැකලා තැතිගෙන තමන් වෙතට එන උසමහත්ව වැඩුණු, ලොකු මී හරකුන්ව පන්නාගෙන ගිහින්,

80. උන්ගේ පාවලින් අල්ලාගෙන ගිහින් තමන්ගේ හිස වටේ කරකවලා ඇට කුඩු වෙන්ට පොළවේ ගහනවා.

81. රජ්ජුරුවන්ට ඛඤ්ජදේවයා කරන මේ වැඩ ගැන අහන්ට ලැබුනා. ඔහුවත් ගෙන්නාගෙන ගාමිණී කුමාරයා ළඟ වාසය කෙරෙව්වා.

82. සිතුල්පව්වට ළඟින් කපිට්ඨ නමැති ගමක් තිබුණා. මේ ගමේ හිටිය උපුල් නමැත්තාට ඵුස්සදේව කියලා පුත්‍රයෙක් හිටියා.

83. ළමයින් සමග විහාරයට ගිය මේ ඵුස්සදේව කුමාරයා බෝධීන් වහන්සේට පූජා කළ හක් ගෙඩියක් අරගෙන බලවත් වීරියෙන් පිම්බා.

84. හෙණ හඬ පුපුරන ශබ්දයක් වගේ මහා ශබ්දයක් ඇතිවුනා. එතන හිටිය කොලුගැටව් ඔක්කෝම හොඳට භය වෙලා පිස්සු වැටුනා වගේ වුනා.

85. ඒ හේතුවෙන් ඔහු උන්මාද ඵුස්සදේව යන නමිනුත් ප්‍රසිද්ධ වුනා. ඔහුගේ පියා තමාගේ වංශ පරම්පරාවෙන් ගෙනා දුනු ශිල්පය ඔහුට ඉගැන්නුවා.

86. ඵුස්සදේවට ශබ්දයට අනුවත් හීයෙන් විදින්ට පුළුවනි. විදුලි කොටන එළියෙනුත් ඊයෙන් විදින්ට පුළුවනි. අස් ලෝමයෙකින් බටු ගෙඩියක් එල්ලා ඒ අස් ලෝමයටත් ඊයෙන් විදින්ට පුළුවනි. වැලි පිරවූ ගැලක් සිදුරු වෙන්ට ඊයෙන් විදින්ට පුළුවනි. ඒ වගේ ම සම් සීයකින් ඔතන ලද දේත් සිදුරු වෙන්ට ඊයෙන් විදින්ට පුළුවනි.

87. දිඹුල් ලීයෙන් කළ අඟල් අටේ බොල් පුවරුවත් අඟල් දහසයේ බොල් පුවරුවත් අඟල් දෙකක් ඝනකම යකඩ තහඩුවත් අඟල් සතරක් ඝනකම ලෝකඩ තහඩුවත් ඊයෙන් විදින්ට පුළුවනි.

88. හීයෙන් ඒ හැම එකක් ම කෑලි කෑලි සිදුරු වෙන්ට විදිනවා. ඔහු විදින හීය පොළොවේ අට ඉස්බක් දුර යනවා. ජලයේත් ඉස්බක් ඇතුළට යනවා. (ඉස්බ – රියන් 140 ක් දුර)

89. කාවන්තිස්ස රජ්ජුරුවන්ට ඵුස්සදේව ගැන දැන ගන්ට ලැබුනා. ඔහුගේ පියා වෙතින් ඵුස්සදේව ගෙන්වාගෙන ගැමුණු කුමාරයා ළඟ වාසය කෙරෙව්වා.

90. තුලාධාර පර්වතය ළඟ වෙහෙර වැව කියන ගම්මානයේ මත්ත නමැති තැනැත්තාට වසභ නමැති පුත්‍රයෙක් සිටියා.

91. ඔහුට ආරෝහ පරිණාහ සිරුරක් තිබුණ නිසා ලභිය වසභ නමින් ප්‍රසිද්ධ වුනා. වයස අවුරුදු විස්ස වනවිට මහත් කාය බලයෙන් යුක්ත වුනා.

92. කුඹුරක් කරන්ට ආසාවෙන් පුරුෂයන් කිහිප දෙනෙකු එකතු කරගත් ඒ මහා බලසම්පන්න ලභියවසභ මහා වැවක් කරන්ට පටන් ගත්තා.

93. දහ දොළොස් පුද්ගලයන් ඉසිලිය යුතු පස් ගොඩවල් තනියම ඔසවමින් ඔහු ඉක්මනින් ම වැවේ වැඩ සම්පූර්ණ කළා.

94. ඒ කාරණයෙන් ඔහුව ප්‍රසිද්ධ වුනා. කාවන්තිස්ස රජ්ජුරුවෝ ඔහුවත් ගෙන්වාගෙන සත්කාර සම්මාන පුද කරලා ගාමිණී කුමාරයාගේ භාරකාරත්වයේ තැබුවා.

95. වසභ හැදූ වැව් ජලයෙන් සරු වූ ඒ කුඹුරු යාය වසභ අමුණ නමින් ප්‍රසිද්ධ වුනා. ඔය විදිහට ලභිය වසභ යෝධයා ගැමුණු කුමාරයා ළඟ වාසය කළා.

96. කාවන්තිස්ස රජ්ජුරුවෝ මේ මහා යෝධයින් දස දෙනාටත් තමාගේ පුත්‍ර වූ ගැමුණු කුමාරයාට කරන සත්කාර ලෙසින් ම හැම කල්හි සමසේ සත්කාර කළා.

97. රජ්ජුරුවෝ ඒ මහා යෝධයන් දස දෙනා අමතලා ‘තෙපි එක් එක්කෙනා යෝධ පුරුෂයන් දස දෙනා බැගින් සොයව්’ කියලා අණ කළා.

98. ඒ දස මහා යෝධයෝ රාජ අණ පරිදි එක් එක්කෙනා තව යෝධ පුරුෂයන් දස දෙනා බැගින් සොයාගෙන රජ්ජුරුවන් ඉදිරියට ඇවිත් පෙනී හිටියා. ඒ යෝධයන් සියලු දෙනාටත් වෙන වෙනම යෝධයන් දහ දෙනා බැගින් සොයාගෙන එන්ට කියලා අණ කළා.

99. එතකොට ඔවුන් සියලු දෙනාත් යෝධයන් දහ දෙනා බැගින් සොයාගෙන ඇවිත් රජ්ජුරුවෝ ඉදිරියේ පෙනී සිටියා. රජ්ජුරුවෝ දහසක් වූ ඔවුන්ට කලින් වගේ ම වෙන වෙන ම යෝධයන් දහ දෙනා බැගින් සොයාගෙන එන්ට කියලා නියම කළා.

100. ඒ යෝධයන් දහස් දෙනාත් රාජ අණ පරිදි එක් එක්කෙනා යෝධයන් දහ දෙනා බැගින් සොයාගෙන ආවා. ඒ යෝධයන් සියලු දෙනාම එකතු කළ විට එකොළොස් දහස් එකසිය දහ දෙනෙක් වුනා.

101. රජ්ජුරුවන්ගෙන් හැම කල්හි ඔවුන්ට සත්කාර සම්මාන ලැබුනා. ඔවුන් සියලු දෙනා ගාමිණී රාජපුත්‍රයා පිරිවරාගෙන වාසය කළා.

102. තමාගේ සැප කැමති බුද්ධිමත් මනුෂ්‍යයා සුචරිතයෙන් උපන් මේ අද්භූත පරපුර ගැන ඔය විදිහට අසා දැනගත්තාට පස්සේ අකුසල් මාර්ගයට පිටුපාලා කුසල් මාර්ගයේ ඉදිරියටයි හැමතිස්සේ ම යන්ට ඕනෑ.

සත්පුරුෂ ජනයන්ගේ ප්‍රසාදයත් සංවේගයත් ඇතිකරනු පිණිස කරන ලද මහාවංශයෙහි දස මහා යෝධයන් ලැබීම නම් වූ විසිතුන්වෙනි පරිච්ඡේදය යි.