1. මහාදාඨික මහානාග රජ්ජුරුවන්ගේ අභාවයෙන් පස්සේ ඔහුගේ පුත්කුමරා වන ආමණ්ඩගාමිණී අභය රජ්ජුරුවෝ අවුරුදු නවයකුත් අට මාසයක් රාජ්‍යය කළා.

2. මහා සෑයේ පළඳවා තියෙන ඡත්‍රයට උඩින් තවත් මනරම් ඡත්‍රයක් පැළැන්දුවා. මහා සෑයේ ම පාදවේදිකා, කුඩා වේදිකා නමින් වේදිකා දෙකක් කෙරෙව්වා.

3. ඒ වගේම ලෝවාමහා ප්‍රාසාදයේත්, ථූපාරාම උපෝසථාගාරයේත්,ගේ මැදත්, එළියෙත් ඇවිද යන්ට පුළුවන් වන ආකාරයෙන් ඉස්තෝප්පු කෙරෙව්වා.

4. දෙතැනම උතුම් රුවන් මණ්ඩප කෙරෙව්වා. ඒ වගේම රජ්ජුරුවෝ රිදී ලෙන් විහාරය කෙරෙව්වා.

5. දන්පින් කරන රජ්ජුරුවෝ අනුරාධපුරට දකුණු පැත්තෙන් මහාගාමෙණ්ඩි නැමැති වැවත්, දක්ඛිණ නමින් විහාරයකුත් කෙරෙව්වා.

6. ආමණ්ඩගාමිණී අභය රජ්ජුරුවෝ මුළු ලංකාවෙම සතුන් මැරීම තහනම් කොට ‘මාඝාත’ ආඥාව පැණෙව්වා. තැනින් තැන සෑම වර්ගයක ම පලතුරු ගස්වැල් රෝපණය කෙරෙව්වා.

7. රජ්ජුරුවෝ මස් බඳු රතු පැහැයෙන් යුතු පැණි කොමඩු පාත්‍ර පුරවා වස්ත්‍රවලින් පාත්‍රා තබන්ට දරණු තනවලා,

8. ඉතා පහන් සිතින් යුතුව සංඝයාට පූජා කළා. මේ ආකාරයට ආමණ්ඩ හෙවත් පැණිකොමඩු පූජා කළ නිසා ගාමිණී අභය රජ්ජුරුවන්ට ආමණ්ඩගාමණීඅභය යන නම ලැබුනා.

9. ඒ රජ්ජුරුවන්ගේ මලනුවන් වන කර්ණරාජානුතිස්ස කුමාරයා තමන්ගේ සහෝදර රජ්ජුරුවන්ව මරවා අනුරාධපුරයෙහි තුන් අවුරුද්දක් රජකම් කළා.

10. මිහින්තලේ සෑගිරියේ පොහොයගෙයි භික්ෂූන් අතර හටගත් ආරවුලක් මේ රජ්ජුරුවෝ ධාර්මිකව විසඳුවා. ඒ විසඳුමෙන් අසතුටු වූ සැටනමක් පමණ භික්ෂූන් ‘පොහොය ගෙයි ඇතුළේ ම රජ්ජුරුවන්ව අල්ලාගෙන මරන්ට ඕනෑ’ කියලා රාජඅපරාධයක යෙදුනා.

11. ඒ සැළසුම එළිදරව් වෙලා රජ්ජුරුවන්ව මරන්ට සූදානම් කළ අවිආයුධත් සමඟ ඒ භික්ෂූන්ව අත්අඩංගුවට ගත්තා. දුස්සීල වූ ඔවුන්ව සෑගිරියේ කණීර නම් ප්‍රපාතයෙන් පහළට දැම්මා.

12. කර්ණරාජානුතිස්ස රජ්ජුරුවන්ගේ අභාවයෙන් පස්සේ ආමණ්ඩගාමණීඅභය රජුගේ පුත්‍රයා වන චූළාභය රජ්ජුරුවොත් එක් වර්ෂයක් රජකම් කළා.

13. ඒ රජ්ජුරුවෝ අනුරාධපුරයට දකුණු පැත්තේ ගෝණක නම් ගං ඉවුරේ සුළුගල් විහාරය කෙරෙව්වා.

14. චූළාභය රජ්ජුරුවන්ගේ අභාවයෙන් පස්සේ ඒ රජ්ජුරුවන්ගේ නැගණිය වන ආමණ්ඩ රජුගේ දියණිය වන සීවලී කුමරිය හාරමාසයක් රාජ්‍ය කළා.

15. ඒ ආමණ්ඩ රජ්ජුරුවන්ගේ බෑණා කෙනෙක් සීවලී කුමරිය පහකරවා තමන් ඉලනාග යන නමින් නුවර සේසත් නැංගුවා.

16. ඒ රජ්ජුරුවෝ රජකම ලබා මුල් වර්ෂයේ තිසා වැවට ජල ක්‍රීඩාවට ගියා. රජ්ජුරුවෝ වැවේ ජලක්‍රීඩා කරද්දී බොහෝ ලම්භකර්ණයෝ හැරිලා අනුරාධපුර නුවරට ආවා.

17. තිසා වැවේ ලම්භකර්ණයන් නැති බව දැකපු රජ්ජුරුවෝ කෝපයට පත්වුණා. ඔවුන්ව ගෙන්නලා වැව පැත්තෙන් මහාසෑය දෙසට යන්ට ඔවුන් මඩවමින් තමන්ම මාර්ගයක් කෙරෙව්වා.

18. ඔවුන් මාර්ගය හැදීමේ කටයුත්ත නිසි ආකාරයට කරනවාදැයි බලන්ට සැඩොල් මිනිසුන්ව තැබ්බුවා. එයින් කෝපයට පත් සියලු ලම්භකර්ණ වංශිකයෝ එකට එකතු වෙලා,

19. ඉලනාග රජ්ජුරුවන්ව අල්ලාගෙන තමන්ගේ ගෙදර ම සිරකරලා තමන් ම රාජ්‍ය පාලනයේ යෙදුනා. එතකොට ඉලනාග රජ්ජුරුවන්ගේ දේවිය,

20. තමන්ගේ පුත්‍රයා වන චන්ද්‍රමුඛසිව කුමාරයාව සරසලා කිරිමව්වරුන්ගේ අතේ තියලා මංගල ඇත්රජා ළඟට,

21. හසුනක් දීලා යැව්වා. කිරිමව්වරු ඒ කුමාරයාව මගුල් ඇතා ළඟට ගෙනිච්චා. දේවිගේ සංදේශයේ සියල්ල මංගල ඇත්රජාට කිව්වා.

22. “එම්බා හස්තිය, මේ ඉන්නේ තොපගේ ස්වාමියාගේ පුත්‍රයායි. තොපගේ ස්වාමියා සිර කූඩුවේ සිටී. තොපගේ ස්වාමියාගේ පුත්‍ර වූ මේ කුමාරයා සතුරන් අතින් ඝාතනය වෙනවාට වඩා තොපගේ අතින් ඝාතනය වීම උතුම් ය.

23. එනිසා තොපම මේ කුමාරාව නසනු! මේ දේවියගේ වචනයයි.” මෙය කියපු කිරිමව්වරු කුමාරයා ඇතාගේ පාමුල තිබ්බා.

24. එය ඇසූ සැණින්ම ඇත්රජා මහා දුකට පත්වෙලා හඬා වැළපී කඳුළු හෙලාගෙන තමන් බැඳ තිබූ ටැඹත් බිඳගෙන රජවාසල දෙසට දිව්වා. එතකොට මිනිස්සු බයවෙලා රජවාසලේ දොර වැහැව්වා. එතකොට ඇත්රජා වේගයෙන් හිසින් පහරදීලා දළින් ඇණලා දොර උදුරලා පෙරලා දැම්මා.

25. රජු හුන් තැනේ දොර ගලවලා දාලා රජ්ජුරුවන්ව පිටඋඩ තියාගෙන මාතොටට පැමිණියා.

26. ඇත්රජා මාතොටින් රජ්ජුරුවන්ව නැවට නග්ගවා බටහිර මුහුදු තීරය ඔස්සේ ගිහින් කඳුරටට නැගගත්තා.

27. තුන් අවුරුද්දක් එතෙර වාසය කළ ඉලනාග රජ්ජුරුවෝ විදේශීය කුලී හමුදාවක් රැගෙන නැව් මගින් රුහුණට සැපත් වුනා.

28. රුහුණු දනව්වේ හකුරුහෙබ නැමැති වරාය තොටින් ගොඩබැස්ස රජ්ජුරුවෝ ඒ රුහුණේ මහත් බලසේනාවක් හදාගත්තා.

29. රජ්ජුරුවන්ගේ ඒ මංගල හස්තිරාජයා ඒ දකුණු මලය රටින් ඇවිත් ඉලනාග රජ්ජුරුවන්ට නැවත රාජ්‍ය ලබාදීමේ අදහසින් රුහුණට ම ආවා.

30. ජාතක කථාවලින් බණ කියන ජාතකභාණී මහාපදුම නමින් මහතෙරුන් වහන්සේ නමක් තුලාධාර පර්වතයේ වැඩසිටියා. උන්වහන්සේ රජ්ජුරුවන් සමීපයේදී,

31. මහා කපි ජාතකයෙන් බණ දේශනා කළා. තමන්ට අපරාධ කළවුන්ට පවා යහපත කැමැති අප මහා බෝසතාණන් වහන්සේ ගැන ඇසූ රජ්ජුරුවෝ මහබෝසත් චරිතය ගැන සිත පහදවා ගත්තා. දුනුදිය ඉවත් කළ දුනුදණ්ඩ මිම්ම කොට දුනු සීයක ප්‍රමාණයෙන් නාගමහා විහාරය,

32. කරවා ස්ථූපයකුත් කෙරෙව්වා. ඒ විහාරයේ තිබුණු පැරණි සෑයත් තිබූ සැටියෙන්ම වැඩිදියුණු කළා. තිස්ස වැවත් කෙරෙව්වා. දුරතිස් වැවත් කෙරෙව්වා.

33. බලසේනාව රැස්කරගත් රජ්ජුරුවෝ යුද්ධය පිණිස නික්මුණා. රජ්ජුරුවෝ යුද්ධය පිණිස එන බව ඇසූ ලම්භකර්ණ වංශිකයෝත් යුද්ධ කරන්ට නික්මුනා.

34. කපල්කඩදොර කෙතේ හිංකාරපිට්ඨි නමැති තැනේදී දෙපිරිස අතර ඔවුනොවුන් පෙළා ගන්නා මහා යුද්ධයක් හටගත්තා.

35. නැව් ගමනින් වෙහෙසට පත් ශරීර ඇති රජ්ජුරුවන්ගේ සේනාව සෙමෙන් සෙමෙන් පසුබැස්සා. එතකොට රජ්ජුරුවෝ ‘මං ඉලනාග රජ්ජුරුවෝ බව මේ ගෘහස්ථයෝ දන්නේ නැද්ද!’ කියලා තමන්ම එතැනට යුද පෙරමුණ දෙබෑ කරගෙන පිවිසියා.

36. රජ්ජුරුවන්ගේ හඬින් භයට පත් ලම්භකර්ණ වංශිකයෝ අවි බිම හෙලා යුද්ධභූමියේ මුනින් අතට වැතිරගත්තා. රජ්ජුරුවන් නැග සිටි රථයේ නාභිය දක්වා උසට ඒ ලම්භකර්ණ වංශිකයන්ගේ හිස් සිඳවා ගොඩ ගැස්සුවා.

37. රජ්ජුරුවෝ ඔවුන් කෙරෙහි කරුණාවෙන් ‘නොමරා ජීවග්‍රහයෙන් අල්ලාගනිව්’ කියලා තුන්වතාවක් ම කිව්වා.

38. යුද්ධය ජයගත් ඉලනාග රජ්ජුරුවෝ අනුරාධපුර නගරයට අවුත් සේසත් නංවා තිසා වැවේ ජලක්‍රීඩා උත්සවයට ගියා.

39. ජලක්‍රීඩාවෙන් ගොඩඇවිත් ඉතා අලංකාර අයුරින් හැඳ පැළඳගත් රාජාභරණයන්ගෙන් යුක්ත තමන්ගේ ශ්‍රී සම්පත් දැකලා එයට අන්තරාය කරපු,

40. ලම්භකර්ණයන්ව මතක් වෙලා කෝපයට පත්වුණා. ලම්භකර්ණ වංශිකයන්ගේ නාස් විද ඔවුන්ව රථයෙහි බැන්දෙව්වා. ඔවුන් දෙන්නා දෙන්නා පේළියට නාස් විද රථයේ බන්දවා ඔවුන් ලවා රථය අද්දවාගෙන අනුරාධපුර නගරයට පිවිසියා. නාස් විද බැඳගත් ඔවුන්ගේ පේළිය තිසා වැවේ පටන් ඇතුළු නුවර අග්ගපීඨක ප්‍රාසාදය දක්වා තිබුනා.

41. රජවාසලේ උළුවස්ස ළඟ හිටගත් රජ්ජුරුවෝ ‘භවත්නි, මෙවුන්ගේ හිස් මේ උළුවස්ස පාමුල ම සිඳිව්’ කියලා අණකළා.

42. එතකොට රජ්ජුරුවන්ගේ මෑණියෝ “මහරජ්ජුරුවනි, ඔබවහන්සේගේ රථයෙහි යොදවාපු ගොන්නු නොවැ ඔය ඉන්නේ. ඔය ගොන්නුන්ගේ නාසාත්, කුරත් කප්පවා දමනු මැනැව” කියලා කිව්වා.

43. මෑණියන්ගේ කරුණු දැක්වීමෙන් ඔවුන්ගේ හිසගසා දැමීම වැළකුනා. රජ්ජුරුවෝ ඔවුන්ගේ නාසාත්, පා ඇඟිලිත් කැප්පෙව්වා.

44. රජ්ජුරුවෝ මංගල ඇත්රජා වාසය කළ ජනපදය ඇතාට ම දුන්නා. ඒ කාරණයෙන් ඒ ජනපදය ‘හත්ථිභෝග’ ජනපදය කියලා හැඳින්නුනා.

45. මෙසේ අනුරාධපුරයෙහි ඉළනාග රජ්ජුරුවෝ අඩු නැතිව සය අවුරුද්දක් රජකම් කළා.

46. ඉළනාග රජ්ජුරුවන්ගේ අභාවයෙන් පස්සේ ඒ රජ්ජුරුවන්ගේ පුත්‍ර වූ චන්ද්‍රමුඛසිව රජ්ජුරුවෝ අට අවුරුද්දකුත් සත් මාසයක් ලංකා රාජ්‍යය පාලනය කළා.

47. චන්ද්‍රමුඛසිව රජ්ජුරුවෝ මණිකාර ගමේ වැවක් කරවා එය ඉසුරුමුනි විහාරයට පූජා කළා.

48. දෙමළදේවී නමින් ප්‍රසිද්ධ ඒ චන්ද්‍රමුඛසිව රජ්ජුරුවන්ගේ මෙහෙසිය ඒ ගමෙන් තමන්ට ලැබෙන ආදායමත් ඉසුරුමුනි විහාරයට ම පූජා කළා.

49. තිසා වැවේ දිය ක්‍රීඩාවට ගිය චන්ද්‍රමුඛසිව රජ්ජුරුවන්ව තමන්ගේ මල්ලී වන යසළාලකතිස්ස නමින් ප්‍රසිද්ධ කුමාරයා විසින් ඝාතනය කෙරෙව්වා.

50. ලංකාවෙහි පොළොව නැමැති සිරුරට මුහුණ බඳු රම්‍ය වූ අනුරාධපුරයෙහි සත් අවුරුද්දකුත් අටමාසයක් යසළාලකතිස්ස රජ්ජුරුවෝ රජකම් කළා.

51. ඒ රජ්ජුරුවන්ගේ දත්ත නමැති දොරටුපාලයට ‘සුභ’ නමින් යසළාලකතිස්ස රජ්ජුරුවන් වගේම සමාන වූ රූපශෝභා ඇති දොරටුපාල පුත්‍රයෙක් හිටියා.

52. යසළාලකතිස්ස රජ්ජුරුවෝ කවට සිනහ පිණිස සුභ නමැති දොරටුපාල සෙබලාට රජ ඇඳුම් අන්දවා රාජාසනයේ වාඩි කරවනවා.

53. දොරටුපාල සෙබලාගේ හිස්වෙළුම තමන්ගේ හිසේ පැළඳගෙන යසළාලකතිස්ස රජ්ජුරුවෝ යෂ්ටිය අතට අරගෙන දොර අයිනේ සිටගෙන ඉන්නවා.

54. රාජාසනයේ ඉන්න ඔහුට ඇමතිවරු වන්දනා කරන කොට දොරටුපාල වෙස් ගෙන දොරටුව ළඟ ඉන්න රජ්ජුරුවෝ සිනහසෙනවා.

55. එක් දවසක් සුභ නැමැති දොරටුපාල සෙබලා රාජාසනයේ හිඳගෙන සිටියා. කලින් වගේ දොරටුපාල වෙස්ගෙන සිටි රජ්ජුරුවෝ සිනහසුනා. ‘මේ සෙබලා මං ඉදිරියේ මෙහෙම සිනහසෙන්නේ මොකොද?’ කියලා,

56. රජ්ජුරුවන්ව ඝාතනය කෙරෙව්වා. ඒ සුභ නැමැති දොරටුපාල සෙබලා සුභ රජ්ජුරුවෝ නමින් ප්‍රසිද්ධ වෙලා සය අවුරුද්දක් ලංකා රාජ්‍යය කළා.

57. සුභ රජ්ජුරුවෝ මහාවිහාරය, අභයගිරි විහාරය යන මහාවිහාර දෙකට සුභරාජපිරිවෙන නමින් මනරම් පිරිවෙන් දෙකක් කෙරෙව්වා.

58. ඒ වගේම උරුවෙල් සමීපයෙහි වල්ලිවිහාරයත්, අනුරාධපුරයෙන් නැගෙනහිර පැත්තේ ඒකද්වාර පර්වතය පාමුල ඒකද්වාරික නම් විහාරයත්, කච්ඡක නම් ගඟ අසබඩ නන්දිගාම විහාරයත් කෙරෙව්වා.

59. උතුරු ප්‍රදේශවාසී එක්තරා ලම්භකර්ණවංශික වසභ නැමැති පුත්‍රයෙක් අනුරාධපුරයට ගොස් තමන්ගේ මාමණ්ඩිය වන සෙන්පතියෙකුට සේවය කළා.

60. ඒ කාලේ සුභ රජ්ජුරුවන් වසභ නමින් යුතු පුරුෂයෙක් ලංකාවේ රජවෙනවා කියලා ජනතාව අතර පැතිරෙන කථාව අහන්ට ලැබිලා ලංකාවේ ඉන්න වසභ නම තියෙන සියලු දෙනාව ම මැරෙව්වා.

61. සෙන්පතියාත් තමන්ගේ නිවසේ ඉන්න වසභ ගැන භය වෙලා ‘අපි මොහුව රජ්ජුරුවන්ට ගෙනිහින් පෙන්නමු’ කියලා බිරිඳත් සමඟ සාකච්ඡා කළා. සෙන්පතියා පහුවෙනිදා උදෑසන රාජ්‍ය සේවයට වසභ සමඟ ගියා.

62. සෙන්පති බිරිඳ වසභව රැගෙන යාම වළකගන්ට ඉඟියකින්වත් කිසිවක් කරගන්ට බැරි තැන වසභ කුමරු රැකගන්නා අදහසින් හුණු නැති බුලත්විටක් වසභ කුමාරයාගේ අතට දුන්නා.

63. රජගෙයි දොරටුව ළඟදී ‘බුලත් විටක් කන්ට ඕනෑ’ කියලා වසභගෙන් බුලත්විට ඉල්ලාගෙන බලද්දී හුණු නැති බව දැක හුණු අරගෙන එන්ට කියලා වසභ කුමාරයාව ආපසු ගෙදරට පිටත් කළා.

64. හුණු රැගෙන එන්ට ගෙදර ආපු වසභට සෙන්පති බිරිඳ රහසේම කහවණු දහසක් දීලා එතැනින් පලායන්ට සැලැස්සුවා.

65. මහාවිහාරස්ථානයට ගිය වසභ කුමාරයා එහි සිටි තෙරුන් වහන්සේලා දෙන ලද කිරිබතිනුයි, වස්ත්‍රවලිනුයි සංග්‍රහ ලබාගෙන,

66. මහාවිහාරයට බටහිරින් ගමක වසන අනාගත වාක්‍ය කියන කුෂ්ඨ රෝගියෙකුගෙන් තමන් ගැන ඇහුවා. රජකම අනිවාර්යයෙන්ම ලැබෙනවා කියා කියවුණු අනාවැකිය අහන්ට ලැබිලා සතුටට පත්වුණා. ‘එහෙනම් මමත් කැරලිකාරයෙක් වෙනවා’ කියලා අධිෂ්ඨාන කරගත්තා.

67. ඊටපස්සේ ඔහුට ගම්පහරන්ට හැකියාව ඇති පුරුෂයින් ලැබිලා ගම්පහරමින් රුහුණට ගිහින් ආප්පයක කොණ පටන් අනුභව කරන න්‍යාය අනුගමනය කරමින්,

68. ක්‍රමයෙන් රට අල්ලා ගනිමින් ඊට දක්ෂ බලසේනාවක් ද ඇතිව දෙවර්ෂයකින් අනුරාධපුරයට ළං වුනා.

69. එහිදී හටගත් යුද්ධයේදී සුභ රජ්ජුරුවෝ මරණයට පත්වුනා. මහා බලයකින් යුක්ත ඒ වසභ කුමාරයා අනුරාධපුරයේ සේසත් නැංවුවා. තම මාමා වූ සෙන්පතියාත් යුද්ධයේදී මැරුම් කෑවා.

70. තමන්ට පෙර කරන ලද උපකාරයට සැලකීම පිණිස තම මාමණ්ඩියගේ මෙත්තා නැමැති බිරිඳ වසභ රජ්ජුරුවන් තමන්ගේ මෙහෙසි තනතුරට පත්කරගත්තා.

71. වසභ රජ්ජුරුවෝ තමන්ගේ ආයුෂ දැනගන්ට කැමැත්තෙන් නිමිති පාඨකයෙක් ගෙන්නලා හොර රහසේම තමන්ගේ ආයුෂ ගැන ඇහුවා. තව දොළොස් අවුරුද්දක් ආයුෂ තියෙනවා කියලා ඔහු කිව්වා.

72. එය රහසක් වශයෙන් තබාගැනීම පිණිස ඔහුට කහවණු දහසක් දුන්නා. ඊට පස්සේ වසභ රජ්ජුරුවෝ සංඝයා රැස් කරවා වන්දනා කොට මෙහෙම ඇහුවා.

73. “ස්වාමීනී, කෙනෙකුගේ ආයුෂ වැඩිවෙන්ට කළයුතු විශේෂ පින්කම් තියෙනවාද?” කියලා. “මහරජ්ජුරුවෙනි, ආයුෂයට ඇති අන්තරායන් වළක්වන පින්කම් තියෙනවා” කියලා සංඝයා පිළිතුරු දුන්නා.

74. “මහරජ්ජුරුවෙනි, ජලය පිරිසිදු කොට පෙරා ලබාදෙන උපකරණ පූජා කිරීම, ආවාස කුටි පූජා කිරීම, ගිලනුන්ට විශේෂ වැටුප් ලබාදීම කරන්ට ඕනෑ.

75. දිරාගිය ආවාසයන් අළුත්වැඩියා කරන්ටත් ඕනෑ. පන්සිල් සමාදන් වෙලා හොඳාකාරව ආරක්ෂා කරන්ටත් ඕනෑ.

76. පොහොය දවසට උපෝසථ සිල් සමාදන් වෙන්ටත් ඕනෑ” කියලා වදාළා. රජ්ජුරුවෝ ‘ඉතා හොඳයි ස්වාමීනී’ කියලා ඒ සියලු දේ සංඝයා පැවසූ අයුරින් ම කළා.

77. රජ්ජුරුවෝ තුන් අවුරුද්දක් පාසා ලංකාව පුරා වැඩඉන්න සියලු සංඝයාට තුන්සිවුරු පූජා කළා.

78. පින්කමට වඩින්ට බැරිවූ සංඝයාට වෙනම තුන්සිවුරු පිටත් කෙරව්වා. තැන් තිස්දෙකක කිරිබතුයි, මීපැණියි දන්දුන්නා.

79. ගිතෙල් මීපැණි මිශ්‍ර කළ කිරිබත් දානය හැටහතර පොළක දුන්නා. පහන් වැටි දහස බැගින් සතර තැනක දැල්ලුවා.

80. ඒ, මිහින්තලේ සෑගිරියෙත්, ථූපාරාම චෛත්‍යයෙත්, ස්වර්ණමාලී මහාසෑයේත්, ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩඉන්න බෝධිඝරයේත් යන සතර තැනයි.

81. සිතුල්පව් විහාරයේත් මනරම් ස්ථූප දහයක් කෙරෙව්වා. මුළු ලංකාවේ ම දිරාගිය ආවාසත් අළුත්වැඩියා කෙරෙව්වා.

82. වල්ලිය විහාරයේ වැඩහුන් තෙරුන් වහන්සේ කෙරෙහි පැහැදිලා එහි ම මහාවල්ලිගෝත්‍ර නම් විහාරය කෙරෙව්වා.

83. මාගම ආසන්නයේ අනුරාරාමය කෙරෙව්වා. හේළිගමේ අටදහසක කිරියෙන් යුතු කුඹුරුයාය ඒ විහාරයට පූජා කළා.

84. අනුරාධපුරයෙන් නැගෙනහිර පැත්තේ ඇති තිස්සවඞ්ඪමානකයේ මුචේල විහාරය කෙරෙව්වා. ආළිසාරක දියෙන් භාගයක් විහාරයට පූජා කළා.

85. ගලබ්බතිත්ථ විහාරයේ ස්ථූපයේ ගඩොල් කඤ්චුකය බැන්දෙව්වා. පොහොයගේත් කෙරෙව්වා. පොහොයගෙයි දල්වන පහන් වැටේ වියදම වෙනුවෙන්,

86. දහස් කිරියක කුඹුරක් වගාකළ හැකි වැවක් කරවා දුන්නා. කිඹුල්ගල විහාරයේත් පොහොයගේ කෙරෙව්වා.

87. ඒ වසභ රජ්ජුරුවෝ මෙහි ඉසුරුමුනියේ පොහොයගෙයත්, ථූපාරාමයට ස්ථූපඝරයකුත් කෙරෙව්වා.

88. මහාවිහාරයේ බටහිර පැත්තට මුහුණලා පිරිවෙන් පෙළක් කෙරෙව්වා. දිරාගොස් තිබුණු චතුශාලාව අළුත්වැඩියා කෙරෙව්වා.

89. වසභ රජ්ජුරුවෝ රම්‍ය වූ මහාබෝධි අංගණයේ පිළිමගෙහි සතර බුදුවරයන් වහන්සේලාගේ බුද්ධ ප්‍රතිමා කෙරෙව්වා.

90. ඒ රජ්ජුරුවන්ගේ මෙහෙසිය වන මෙත්තාදේවිය මනරම් ස්ථූපයකුත්, මනරම් ස්ථූපඝරයකුත් එහි ම කෙරෙව්වා.

91. ථූපාරාම චෛත්‍යයට චේතියඝරයක් කරවපු වසභ රජ්ජුරුවෝ එහි කටයුතු සම්පූර්ණ කිරීමේ පින්කමේදී මහා දානයක් පූජා කරගත්තා.

92. බුද්ධ වචනය අනුව කටයුතු කරන ධර්මධර භික්ෂූන් වහන්සේලාට සිව්පස ලබාදුන්නා. ධර්ම කථික භික්ෂූන්ට ගිතෙල්, මීපැණි ලබාදුන්නා.

93. නගරයේ දොරටු හතරේ දිළින්දන්ට වැටුප් ලබා දුන්නා. ගිලන් භික්ෂූන් වහන්සේලාගේ උපස්ථාන වියදම් ලබාදුන්නා.

94. මයෙත්ති නම් වැවත්, රාජුප්පල නම් වැවත්, වහ නම් වැවත්, කොළඹගම වැවත්, මාණිකවැටි වැවත්, මහරාමෙත්ති වැවත්,

95. කේහාල වැවත්, කාළිවාපි වැවත්, අම්බුටි වැවත්, වාතමංගන වැවත්, අභිවඞ්ඪමානක වැවත් ආදී වශයෙන් වැව් එකොළහක් කෙරෙව්වා.

96. අවුරුද්දේ මාස දොළහේ ම ආහාරපාන සුලභ කළා. නගරයේ ආරක්ෂාව තරකරනු පිණිස නගර ප්‍රාකාරය රියන් දහඅටක් කොට ඉස්සුවා.

97. මහා වාසලේ සතර දොරටු උඩින් ගෝපුර නමින් උස තොරණ් කෙරෙව්වා. රාජ උයනේ විලක් කරවා එහි හංසයන් වාසය කෙරෙව්වා.

98. රජ්ජුරුවෝ නගරයේ තැනින් තැන බොහෝ පැන්පොකුණු කෙරෙව්වා. සොරොව්වකින් ජලය එහි පිවිසෙව්වා.

99. වසභ රජ්ජුරුවෝ ඔය ආකාරයෙන් නොයෙක් විදිහේ පින්කම් කරලා කිසි අනතුරක් නැතිව හැම තිස්සේම පුණ්‍ය කටයුතුවල ම ඇලී වාසය කළා.

100. වසභ රජ්ජුරුවෝ අනුරාධපුරයේ හතලිස්හතර අවුරුද්දක් රජකම් කළා. වෙසක් උත්සව හතලිස් හතරක් කෙරෙව්වා.

101. සුභ රජ්ජුරුවෝ ජීවත්ව ඉන්න කාලේ තමන්ගේ එක ම දියණිය අනාගතයේ එන වසභයාට භයෙන් ආරක්ෂාව පිණිස උළුවඩුවෙකුට භාරදුන්නා.

102. තමන්ගේ කම්බිලියත්, රාජභාණ්ඩත් ඇයව හඳුනා ගැනීමේ ලකුණු පිණිස දුන්නා. වසභ කුමාරයා සුභ රජ්ජුරුවන්ව නැසූ විට උළු වඩුවා ඇයව රැගෙන ගියා.

103. තමන්ගේ දූ තනතුරෙහි තබාගෙන තමන්ගේ ගෙදර ම ඇතිදැඩි කළා. දවසක් ගඩොල් හදන ඔහුට දැරිය බත් අරගෙන ගියා.

104. ඒ කොළොම්මල් ලැහැබක නිරෝධසමාපත්තියෙන් වැඩඉන්න රහතන් වහන්සේ නමකගේ සත්වෙනි දවසයි. නිරෝධසමාපත්තියෙන් නැගිටින රහතන් වහන්සේව දැකලා නුවණැති ඒ දැරිය උන්වහන්සේට දානය පූජා කළා.

105. ආයෙත් හැරී ගෙදර ගිහින් පියා වෙනුවෙන් බත් පිසවාගෙන අරගෙන ගියා. මෙතෙක් ප්‍රමාදවෙන්ට කාරණාව කුමක්ද කියා ඇසූ වේලේ ඇය පියාට විස්තරය කිව්වා.

106. උළුවඩුවා ඒ ගැන සතුටු වුනා. නැවත නැවතත් දියණිය ලවා රහතන් වහන්සේට දානය පූජා කෙරෙව්වා. ඇය කෙරෙහි විශ්වාස ඇති තෙරුන් වහන්සේ ඇගේ අනාගතය දැකලා ඒ කුමරියට මෙය වදාළා.

107. “කුමාරිකාවෙනි, ඔබට යස ඉසුරු ලැබුණු දවසට මේ ස්ථානය ගැනත් මතක තබාගන්ට” කියලා තෙරුන් වහන්සේ එදා ම පිරිනිවන් පෑවා.

108. ඒ වසභ රජ්ජුරුවෝ නිසි කලවයස් පැමිණි තමන්ගේ වංකනාසිකතිස්ස නැමැති පුත් කුමාරයාට ගැලපෙන කන්‍යාවක්,

109. සෙව්වා. ස්ත්‍රී ලක්ෂණ දැනගැනීමෙහි දක්ෂ වූ ඒ පුරුෂයෝ උළු වඩුවාගේ ගමෙහි සිටි කුමාරිකාව දැක්කා.

110. ඒ බව රජ්ජුරුවන්ට දැනුම් දුන්නා. රජ්ජුරුවෝ ඇය කැඳවාගෙන එන්ට සූදානම් වුනා. එතකොට උළුවඩුවා මේ කුමරිය රාජ කන්‍යාවක් කියලා රජ්ජුරුවන්ට කිව්වා.

111. සුභ රජ්ජුරුවන්ගේ දියණිය බවත් පවසා එදා සුභ රජ්ජුරුවෝ දුන්න කම්බිලයත්, රාජ භාණ්ඩත් පෙන්නුවා. ඉතා සතුටට පත් රජ්ජුරුවෝ තමන්ගේ පුත් කුමාරයාට මේ කුමාරියව මගුල් ශ්‍රීයෙන් සරණ බන්දලා දුන්නා.

112. වසභ රජ්ජුරුවන්ගේ ඇවෑමෙන් වංකනාසිකතිස්ස කුමාරයා රජබවට පත්වෙලා අනුරාධපුරයේ තුන් අවුරුද්දක් රජ කළා.

113. ඒ වංකනාසිකතිස්ස රජ්ජුරුවෝ ගෝණගං ඉවුරේ මහාමංගල විහාරය නමින් විහාරයක් කෙරෙව්වා.

114. මහා පින්ඇති ඒ දේවිය එදා තෙරුන් වහන්සේ වදාළ කරුණ සිහිකරමින් එතැන විහාරයක් කරවන්ට ධනය රැස් කළා.

115. වංකනාසිකතිස්ස රජ්ජුරුවන්ගේ ඇවෑමෙන් ඔහුගේ පුත් කුමරා වන ගජබාහුගාමිණී කුමාරයා අවුරුදු විසි දෙකක් රාජ්‍ය කළා.

116. ඔහු මවගේ වචනය අහලා මවට යහපත පිණිස ඒ කොළොම්මල් ලැහැබ ශුද්ධපවිත්‍ර කරවා ‘රාජමාතු විහාරය’ නමින් විහාරයක් කෙරෙව්වා.

117. නුවණැති ඒ මව්බිසොව භූමිය ගැනීම පිණිස මහාවිහාරයට කහවණු ලක්ෂයක් දුන්නා. විහාරයකුත් කෙරෙව්වා.

118. තමන් ම එහි ගලෙන් කළ ස්ථූපයකුත් කෙරෙව්වා. ඒ ඒ තැනින් මිලට ගෙන සංඝභෝගය පිණිස නින්දගම් පූජා කළා.

119. අභයගිරි මහා ස්ථූපය විශාල කොට බැන්දෙව්වා. එහි ම සතර දොරටුවේ තොරණ් කෙරෙව්වා.

120. ගජබාහු රජ්ජුරුවෝ ගාමිණීතිස්ස නමින් වැවක් කරවා අභයගිරි විහාරයේ මහාදන්වැට සඳහා පූජා කළා.

121. මිරිසවැටිය සෑයට කඤ්චුකයක් කෙරෙව්වා. කහවණු ලක්ෂයකට කුඹුරක් මිලට ගෙන එය සංඝභෝගය පිණිස පූජා කළා.

122. රජ්ජුරුවන්ගේ අවසාන අවුරුද්දේ රාමක නමින් විහාරයක් කෙරෙව්වා. අනුරාධපුර නගරයේ මහා ආසන ශාලාවකුත් කෙරෙව්වා.

123. ගජබාහු රජ්ජුරුවන්ගේ ඇවෑමෙන් ඒ රජ්ජුරුවන්ගේ බිසොවගේ පියා වන, රජ්ජුරුවන්ගේ සේනාපති වන මහල්ලකනාග රජ බවට පත්වුනා. ඒ රජ්ජුරුවෝ සය අවුරුද්දක් රාජ්‍ය කළා.

124. අනුරාධපුරයට නැගෙනහිරින් පේජලක විහාරයත්, දකුණින් කෝටි පර්වත විහාරයත්, බටහිරින් උදකපාෂාණ විහාරයත්, නාගදීපයේ සාලිපබ්බත විහාරයත් කෙරෙව්වා.

125. බීජගමෙහි තනවේල නම් විහාරයත්, රුහුණු ජනපදයේ තොබ්බල නාගපර්වත විහාරයත්, ඇතුල් රට ගිරිහාලක විහාරයත් කෙරෙව්වා.

126. ඒ මහල්ලකනාග රජ්ජුරුවෝ තමන්ගේ ආයුෂ ටිකක් තිබුන කාලෙත් මහා නුවණැතිව මේ විහාර සත කෙරෙව්වා.

127. ඔය ආකාරයෙන් නුවණැති අය අසාර වූ ධනය ලැබ ඒ ධනයෙන් සාරවත් වූ බොහෝ පින් කරගන්නවා. අඥානයා ධනයෙන්, බලයෙන් මුලාවට පත්වෙලා කාමයට ඇදී යනවා. ඒ හේතුවෙන් බොහෝ පව් රැස්කරගන්නවා.

සත්පුරුෂ ජනයන්ගේ ප්‍රසාදයත් සංවේගයත් ඇතිකරනු පිණිස කරන ලද මහාවංශයෙහි රජවරු දොළොස් දෙනෙකුගේ පාලනය නම් වූ තිස්පස්වෙනි පරිච්ඡේදය යි.