News

News2016-11-08T10:09:29+05:30
1109, 2018

ලේ දන්දීමේ පින්කම | 2018-09-09 (ඡායාරූප)

By |September 11th, 2018|Categories: News, නවතම පුවත්|2 Comments

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව මගින් 27 වන වරටත් සංවිධානය කරන ලද ලේ දන් දීමේ පින්කම පසුගිය 2018-09-09 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී පැවැත්වුනි. මෙහිදී අසපුවේ නේවාසිකව වැඩවසන පින්වත් ස්වාමීන් වහන්සේලා ද ඇතුළුව 368 පමණ පිරිසක් තම රුධිරය පරිත්‍යාග කළහ. ඒ සියලු දෙනාට ආහාරපානාදියෙන් සංග‍්‍රහ කළේ පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ උපස්ථාන කමිටුවේ පින්වතුනුත් යොවුන් බෝධිඤාණ සභාවේ දරුදැරියනුත් විසිනි. එමෙන්ම රුධිරදායකයන් සියලු දෙනාටත් සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් දහම් පොත් පත් සහ ධර්ම දේශනා ඇතුලත් සංයුක්ත තැටි ධර්මදානයක් ලෙස ලබාදෙන ලදී. “මියැදෙනා හදකට පණනලක් වන්නට ලේ බිඳක් දන්දෙමු” යන උදාර පුණ්‍ය චේතනාව පෙරදැරි කරගෙන අසරණ රෝගියෙකු මරණයෙන් ගලවා ගැනීම පිණිස තම රුධිරය පරිත්‍යාග කළ ඒ සියලු දෙනාටත් මේ පින්කම සාර්ථක කරගැනීම සඳහා අවවාද අනුශාසනා ලබාදුන් පින්වත් ස්වාමීන් වහන්සේලාටත් ආහාරපානාදියෙන් සංග්‍රහ කළ සියලු පින්වතුන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය පිණිසත් ඉතා සුවසේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනීම පිණිසත් මේ සියලු පින් හේතුවාසනා වේවා! සියල්ලෝම මේ පින දැක බලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා!

2808, 2018

සදහම් පොත් පරිත්‍යාග – 2018-08-25

By |August 28th, 2018|Categories: News, නවතම පුවත්|Comments Off on සදහම් පොත් පරිත්‍යාග – 2018-08-25

මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් පසුගිය නිකිණි පුන් පොහෝදා (2018-08-25) සදහම් පොත් කට්ටල් 6 ක් පරිත්‍යාග කරන්නට යෙදුනි. එම සදහම් පොත් පරිත්‍යාගයන් ලබාගත් ආයතන වන්නේ, ගරු අණදෙන නිළධාරීතුමා, ශ්‍රී ලංකා නාවික නෞකා රන්මැලි, ජින්නපුරම්, පුල්මුඬේ. ගරු අණදෙන නිළධාරීතුමා, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම, කොළඹ. ගරු අණදෙන නිළධාරීතුමා, ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපණ්ණි, කුරුණෑගල පාර, මදුරගම, පුත්තලම. ගරු අණදෙන නිළධාරීතුමා, ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන, මන්ඩතිව්, යාපනය. ගරු අණදෙන නිළධාරීතුමා, ශ්‍රී ලංකා නාවික නෞකා වසභ, ඩෙල්ෆ් දූපත, යාපනය. ගරු අණදෙන නිළධාරීතුමා, ශ්‍රී ලංකා නාවික නෞකා කංචදේව, කයිට්ස් දූපත, යාපනය. සියලු දානයන් අතර අග්‍ර වූ මෙම ධර්ම දානමය පින්කම සඳහා මුදල් පරිත්‍යාග කිරීමෙන් හා පොත් පූජා කිරීමෙන් අනුග්‍රහ දැක්වූ සියලු දෙනාටත් දැකබලා අනුමෝදන් වන සියලු දෙනාටත් මෙම ධර්ම දානමය පින මේ ගෞතම බුදු සසුනේදීම සුවසේ උතුම් ධර්මාවබෝධය පිණිස ම හේතුවාසනා වේවා! මෙම උතුම් ධර්ම දානමය පින්කම සඳහා දායකත්වය ලබාදීමට ඔබත් කැමති නම් වැඩි විස්තර දැනගැනීම සඳහා පිවිසෙන්න >> http://mahamevnawa.lk/book-donation/book-donation-how-to-donate/

1908, 2018

රන්කොත් වෙහෙරේ අසිරිමත් මහා පින්කම (ඡායාරූප)

By |August 19th, 2018|Categories: News, නවතම පුවත්|9 Comments

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි මහත් සැදැහැ බැතිපෙම් ඇති ශ්‍රාවක දනන් විසින් දින ගණනාවක් තිස්සේ බොහෝ වෙහෙස මහන්සි වී ඇප කැප වී සූදානම් වුනු මහා අසිරිමත් පින්කමක් ඊයේ දිනයේදී (2018-08-18) රැය පහන්වන තුරු ඓතිහාසික පොළොන්නරු රන්කොතේ වෙහෙරේදී පැවැත්වුනි. කෙනෙකුට කලාතුරකින් දැකබලා ගැනීමට ලැබෙන, කලාතුරකින් සහභාගී වීමට ලැබෙන මෙම දුර්ලභ පින්කම සංවිධානය කරන ලද්දේ අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ආශීර්වාදය සහ අනුශාසකත්වයෙන් මහමෙව්නාව භාවනා අසපු සංචිතයත්, ශ්‍රද්ධා මාධ්‍ය ජාලයත් මගිනි. බලාපොරොත්තු වූවාටත් වඩා අතිවිශාල ජනකායක් සහභාගී වුනු මෙම මහා පින්කමේදී රන්කොත් වෙහෙර මළුවත් අවට ප්‍රදේශයත් අතුරු සිදුරු නැතිව දිවයිනේ නන් දෙසින් පැමිණි සැදැහැවතුන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබුණි. උතුම් සර්වඥ ධාතූන් වහන්සේලාත් නැළි ගණන් අරහන්ත ධාතූන් වහන්සේලාත් නිධන්කොට මහා පරාක්‍රමබාහු සහ කීර්ති ශ්‍රී නිශ්ශංක මල්ල රජවරුන්ගේ කාලයෙහි එම ධීර වීර රජදරුවන් විසින් අනුරපුර රුවන්වැලි මහාසෑය හා සමකොට පොළොන්නරු රාජධානියෙහි ඉදිකරවන ලද මහාසෑය මෙම පූජනීය රන්කොත් වෙහෙරයි. වසර අටසිය ගණනක් පුරා හුදෙකලාව, මෙහි පූජනීයත්වය කෙබඳුදැයි අප්‍රසිද්ධව පැවති මෙම රන්කොත් වෙහෙර මෙසේ ලක්ෂ ගණන් සැදැහැවතුන්ගේත් දහස් ගණන් භික්ෂූන් වහන්සේලාගේත් සිය ගණනක් වූ අනගාරිකා මෑණිවරුන්ගේත් සහභාගීත්වයෙන් මහත් හරසරින් පුද දෙන ලදී.

2907, 2018

උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් (ඡායාරූප)

By |July 29th, 2018|Categories: News, නවතම පුවත්|Comments Off on උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් (ඡායාරූප)

2018 අගෝස්තු මස අ.පො.ස (උ/පෙළ) විභාගයට පෙනී සිටින සිසු දරුදැරියන් හට මානසික සමබරතාවයෙන් යුතුව විභාගයට මුහුණ දෙන ආකාරය පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් 2018-07-28 වන දින මාතර සමූපකාර ශාලාවේ දී පැවැත්විණි. විභාග අපේක්ෂක දරුවන්ට ඉතා වටිනා ඔවදන් රැසක් ලබාදුන් මෙම සාකච්ඡාව පින්වත් ස්වාමීන් වහන්සේ නමක් සහ මානව හැකියා සංවර්ධන විශේෂඥ / පුහුණුකරු සනත් ගමගේ මහතා එක්ව පවත්වන ලදී. එදින ම සවස මාතර ඓතිහාසික බෝ සමිඳුන් අභියසදී විභාගයට පෙනී සිටින දරු දැරියන් හට තුනුරුවනේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් ආශිර්වාදාත්මක බෝධි වන්දනාවක් ද පැවැත්විණි.

1507, 2018

මහා අරහන්ත වන්දනාව – පොළොන්නරුව රන්කොත් වෙහෙරේදී

By |July 15th, 2018|Categories: News, නවතම පුවත්|3 Comments

අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ පූර්ණ ආශිර්වාදයෙන් මහමෙව්නාව භාවනා අසපු සංචිතයත්, ශ්‍රද්ධා රූපවාහිනියත්, ලක්විරු ගුවන්විදුලියත් එක්ව සංවිධානය කරන සූවිසි දහසක් මහරහතුන් වන්දනාව අගෝස්තු 18 සවස 4.00 සිට රැය පහන් වනතුරු පොළොන්නරුව රන්කොත් වෙහෙරේදී පැවැත්වේ. මෙම වන්දනාවට පහන් අසූ හාර දහසක මහා ආලෝක පූජාවත්, පැන් පාත්‍රා විසි හතර දහසක මහා පැන් පූජාවත්, ගුවන් ගැබෙන් ඇද හැලෙන පිච්ච මල් පූජාව සහ සුවඳ මල් ලක්ෂයක මහා පුෂ්ප පූජාවත් සමඟින්, මහමෙව්නාව භාවනා අසපුවාසී පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ විසින් මෙහෙයවනු ලබයි. මේ මෙම අසිරිමත් වන්දනාවට සහභාගී වී අනුස්මරණීය පින් රැස්කරගැනීමට පින්වත් ඔබටත් මෙත් සිතින් ආරාධනා කර සිටිමු.

Go to Top