ද්වාර මණ්ඩපය

සිරිමත් සම්බුද්ධ රාජ මාළිගයට පිවිසීමේ ප‍්‍රධාන දොරටුව මෙයයි. ආනුභාවයෙන් යුතු කේසර සිංහරාජයන්ගේ සුවිසල් මූර්තියෙන් අලංකෘත වූ පියගැටපෙලෙනි ඔබ පිවිසෙන්නේ. රහතන් වහන්සේලාගේ අලංකාර මූර්තීන්ගෙන් සුසැදි ස්ථම්භ දහයක් එහි වේදිකාව වටේ පිහිටා ඇත. ප‍්‍රධාන ද්වාරය අතිසුවිශේෂී ලී කැටයමින් සමලංකෘත ය. එහි මුදුනෙහි මේ මහා භද්‍ර කල්පයෙහි පහළ වූ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම යන බුදුරජාණන් වහන්සේලාගේ පිළිම වහන්සේලා වැඩසිටිති. එයට පහළින් ස්වර්ණ හංසයෙකු දැක්ක හැකිය. එයින් අදහස් කෙරෙන්නේ බුදු සසුන තුළින් දෙව් මිනිස් ලොව ශෝභමාන කළ නිර්මල පාරිශුද්ධියයි.

ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වූ පසු ඉහළ බිත්තියේ දක්නට ලැබෙන සිතුවම්

1 සිතුවම : විසි අසංඛෙය්‍ය කල්ප ලක්ෂයකට පෙර වීරෝදාර තරුණ පුත‍්‍රයෙකු තම මෑණියන් කර තබා මහ සයුර තරණය කරනු පිණිස පිහිනමින් සිටින අද්භූත වූ චිත‍්‍රයක් ඔබට දැක්ක හැකිය. එය අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සම්බුදු චාරිකාවේ ආරම්භක අවස්ථාවයි.

2 සිතුවම : එයට වම්පසින් ඇති චිත‍්‍රයෙන් දැක්වෙන්නේ අප මහාබෝසතාණන් වහන්සේ ‘සුමේධ’ නමින් ඉපිද මහා ඍෂිවරයෙක් වශයෙන් සිටි අවදියෙහි දීපංකර බුදුරජාණන් වහන්සේට දිවි පුදා කළ පූජාවෙන් පසු පළමු නියත විවරණ ලබන අයුරුයි.

3 සිතුවම : එයට දකුණු පසින් ඇති චිත‍්‍රයෙන් දැක්වෙන්නේ දෙව්බඹුන්ගේ ඇරයුමින් බුදුබව ලබනු පිණිස තුසිත දෙව්ලොවින් චුතවන අප මහා බෝසතාණන් වහන්සේ සුදු ඇත්පැටවෙකුගේ වේශයෙන් මව්කුසට ඇතුළුවන ආකාරය සොඳුරු සිහිනයකින් මහාමායා දේවියට දර්ශනය වන සිතුවමයි.

4 සිතුවම : එහි දකුණු පස උඩ බැලූ විට ‘රාහුල පුතුනි, ගිහින් දායාදය ඉල්ලා ගන්න’ යන හිසින් ඉතා අලංකාර චිත‍්‍රයක් දැක්ක හැකිය. පින්වත් යසෝදරාවෝ තම සිඟිති පුතණුවන් භාග්‍යවතුන් වහන්සේ වෙත දායාදය ඉල්ලා පිටත් කර හරින අයුරුත්, එසේ පිටත්ව යද්දී සුපින්වත් රාහුලයන් ගිහි ජීවිතයෙන් සමුගෙන පැවිද්ද කරා යන්නට උරුමකම් කියන අයුරුත් දිස්වේ.

5 සිතුවම : අනතුරුව මාළිගයේ වම්පස උඩ අප මහා බෝසතාණන් වහන්සේ අබිනික්මන් කොට අනෝමා නදියෙන් එතෙරව පධන් වෙර වඩනු පිණිස වනයට පිවිස යන අයුරු දිස්වේ. එහිදී කන්ථක අශ්වයාද, ඡන්න අමාත්‍යයා ද හඬා වැළපෙමින් සිටින අයුරු පෙනේ.

සුවිශේෂී මූර්ති

1 මූර්තිය : මාළිගයට ඇතුළු වූ ඔබට වම් පසින් දකින්නට ලැබෙන්නේ අප මහා බෝසතාණන් වහන්සේ සමතිස් පාරමී දම් සපුරා ලොව්තුරු බුදුබවට කල් පැමිණෙන තුරු සන්තුසිත දිව්‍යරාජව තුසිත දෙව්ලොව වැඩසිටි අයුරු දැක්වෙන මූර්තියයි. එ් සන්තුසිත දිව්‍යරාජයා හට දෙවියන්, බඹුන් විසින් කරන ලද ආරාධනාවෙන් පසු පස් මහ බැලූම් බැලූ මහබෝසතාණෝ මනුලොවට වැඩි සේක.

2 මූර්තිය : මාළිගයෙහි දකුණු පසින් ඔබට දෙවනුව දකින්නට ලැබෙන්නේ ලූම්බිණි සල් උයනෙහිදී සියපින් සිරිසාර ගුණෙන් හෙබි සිදුහත් ගෞතම බෝසත් කුමරු උපත ලැබූ සැණින් පියුම් මත පා තබා වැඩම කොට සිංහනාද කරන අයුරුයි. එම අවස්ථාවෙහි අප‍්‍රමාණ දරු සෙනෙහසින් යුතුව තම පුතුන් දෙස බලා සිටින මහපිනැති මහාමායා බිසොවුන් වහන්සේද වැඩසිටිති.

3 මූර්තිය : එයින් දකුණු පස ආසනය මත දිස්වන්නේ ඡද්දන්ත හෙවත් දළ හයකින් යුතු ඓරාවණ දිව්‍ය හස්තිරාජයා වාහනය කරගත් ආර්ය ශ‍්‍රාවක වූ සක්දෙව් රජු ය. එතුමා වමතින් ජයතුරා ශංඛය දරා දකුණු අතින් ආශීර්වාද මුද්‍රාවෙන් යුතුව සිටී.

4 මූර්තිය : ඉක්බිති මාළිගයෙහි වම්පස බැලූ කල්හී සන්තුසිත බෝසත් පිළිම වහන්සේ අසළ හංසරාජයෙකු වාහනය කරගත් මනස්කාන්ත රූපයකින් හෙබි බ‍්‍රහ්මරාජයෙකු දැක්ක හැකිය. මෙතුමාණෝ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි ගිහි අග‍්‍රඋපස්ථායකයාණෝ ය. සම්බුද්ධ රාජ මාළිගයට සෙත් පැතූ ඉටුදෙවිඳාණෝ ය.

අරහත් ප්‍රතිමා සහ සිතුවම්

1 වන අරහත් ප්‍රතිමාව : මාළිගයෙහි දකුණු පසින් ඇතුළු වන විට සක්දෙව් පිළිරුවට වම් පසින් ඉතා මනස්කාන්ත වූ පිළිම වහන්සේ නමක් වැඩසිටිති. ගෞතම සම්බුදු සසුනෙහි අග‍්‍රධුතාංගධාරීව වැඩසිටි, ශාස්තෘන් වහන්සේගේ මහත් සම්භාවනාවට ලක් වූ දෙව්බඹුන් හට අතිශයින් ප‍්‍රිය වූ අනුබුදු මහාකස්සප මහරහතන් වහන්සේ ය එ් වැඩසිටින්නේ.

1 සිතුවම : එ් අපගේ පරමෝත්තම මහාකස්සප මහරහතන් වහන්සේගේ ශ‍්‍රීමත් ප‍්‍රතිමා වහන්සේට වම් පසින් අලංකාර සිතුවමකි. එහි දර්ශනය වන්නේ සක්දෙවිඳුන්, සක් දෙවිඳුන්ගේ අගබිසව වන සුජා දෙවඟන, මහා කස්සපයන් වහන්සේට පොරි පුදා දෙව්ලොව උපන් ලාජා දෙවඟන හා මහාකස්සපයන් වහන්සේ නිසා යක්ෂ ආත්මයේ සිටියදී ම තෙරුවන් සරණ ගිය සීවක දිව්‍ය සෙන්පති තුමා ද මහත් ආදර භක්තියෙන් අපගේ මහාකස්සප මහරහතන් වහන්සේට වන්දනා කිරීමට පැමිණි අයුරුයි.

2 වන අරහත් ප‍්‍රතිමාව : ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වී පිරිනිවන් මඤ්චකය දෙසට ගමන් කරන විට විශේෂ පිළිම වහන්සේ නමක් වම් පසින් දැක්ක හැකිය. එහි වැඩසිටින්නේ අප භාග්‍යවතුන් වහන්සේගේ සෙවණැල්ල මෙන් ඉතා ආදර ගෞරවයෙන් උවටැන් කළ අග‍්‍ර උපස්ථායක වූ ආනන්ද මහරහතන් වහන්සේ ය. ආනන්ද මහරහතන් වහන්සේගේ මෙම පිළිම වහන්සේ නිර්මාණය කොට තිබෙන්නේ සිය දකුණත දකුණු උරහිස මත තබා වමත පහළට දක්වා සිටින අයුරුනි. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා වදාළ බවත්, සියල්ල අනිත්‍ය වී යන ලෝකයෙහි අපට එය වෙනස් නොකළ හැකි බවත් පවසන අයුරු මින් හැඟවේ.

2 සිතුවම : අපගේ ආනන්ද මහරහතන් වහන්සේගේ පිළිම වහන්සේට දකුණු පසින් මනස්කාන්ත චිත‍්‍රයකි. සනංකුමාර බ‍්‍රහ්මරාජයාද, සක් දෙවිඳුන්ද, සුජා දෙවඟන ද, මාතලී දිව්‍ය රථාචාර්යයා ද ආනන්ද මහරහතන් වහන්සේට උපස්ථාන කරන්නට පැමිණි අයුරු මෙහි මැනැවින් සිතුවම් වී ඇත.

මාළිගයෙහි ප්‍රධාන ගර්භය

තා ශ‍්‍රද්ධාවෙන් යුතුව සම්බුද්ධ රාජ මාළිගාව වන්දනා කරමින් සිටින ඔබ දැන් පිවිසෙන්නේ මාළිගයෙහි ප‍්‍රධාන ගර්භයටයි. එහි මේ මහා භද්‍ර කල්පයේ පහළ වූ අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ දඹදිව නේරංජරා නදී තෙර, ජය ශ‍්‍රී මහා බෝ සෙවණේ වජ‍්‍රාසනය මත වැඩහිඳ සේනා සහිත මරු පරදවා ගුරූපදේශ රහිතව ශ‍්‍රී සම්බුද්ධ රාජ්‍යය සාක්ෂාත් කරන ආශ්චර්ය අද්භූත මොහොත දිස්වේ. ජීවමාන භාග්‍යවතුන් වහන්සේ බඳු එ් බුදුරජාණන් වහන්සේගේ පිළිම වහන්සේ බලවත් උපේක්ෂාවකින් හා මහා පුණ්‍යබලයකින් යුතුව වැඩසිටින අයුරු දැක්ක හැකිය. එහි වජ‍්‍රාසනය පිහිටා තිබෙන්නේ ගජාසනය මතය. එනම් කෙළිලොල් හස්තිරාජයන් රෑනක් මත තැනූ අසුනකි. මෙතැනදී ඔබ ඉතා ශ‍්‍රද්ධාවෙන් යුතුව අප භාග්‍යවතුන් වහන්සේගේ අසිරිමත් ශ‍්‍රී සම්බුද්ධත්වය මෙනෙහි කොට මල් පූජා කොට බුදුගුණ මෙනෙහි කරමින් නිදහසේ වන්දනා කරන්න. බුද්ධානුස්සති භාවනාවේ යෙදෙන්න.

වම්පස සිතුවම : එම පිළිම වහන්සේට වම්පසින් මනරම් චිත‍්‍රයකි. එනම් අප භාග්‍යවතුන් වහන්සේ සේනා සහිත මරු පරදවා තුන් ලොව ජයගන්නා මොහොතේ භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් සාක්ෂි සඳහා පැමිණි මිහිකත පොළොවෙන් මතුවී බුදුරජාණන් වහන්සේට වන්දනා කරන අයුරු දිස්වේ. එම සිතුවම දෙස හොඳින් බලන්න. එහි මිහිකතගේ වන්දනාවට බඳුන් වන ජය ශ‍්‍රී මහා බෝධීන් වහන්සේගෙන් ෂඞ් වර්ණ බුද්ධ රශ්මි මාලාව විහිදෙන අයුරු දකින විට ඔබේ සිතෙහි තව තවත් බුද්ධාලම්භන ප‍්‍රීතිය ඇති වනු ඇත.

දකුණුපස සිතුවම : ඉන් දකුණු පස ඔබට දර්ශනය වන්නේ අප භාග්‍යවතුන් වහන්සේ සේනා සහිත මරු පරදවා තුන්ලොව ජයගෙන ශ‍්‍රී සම්බුද්ධත්වය ලද මොහොතේ අතිශයින් ප‍්‍රීති සොම්නසට පත් වූ අනේක දිව්‍ය බ‍්‍රහ්ම සමූහයා දිව්‍ය වූ නෘත්‍ය ගීත ආදියෙන් ද, වාද්‍ය වෘන්දයන්ගෙන් ද, පංච තූර්ය නාදයන්ගෙන් ද ස්තුති පූජා පවත්වමින් ප‍්‍රීති ඝෝෂා කරමින් කල් ගෙවන අයුරු ය.

දම්සක් මන්දිරය

මේ දම්සක් මන්දිරයෙහි මන නුවන් සුපහන් කරවන ඉතා රමණීය වූ සුවිශේෂී සම්බුද්ධ ප‍්‍රතිමා වහන්සේ නමක් බැහැදකින්නට ලැබේ. එහි දඟකාර මුව රංචුවකගේ නිමැවුමින් යුතු අලංකෘත මිගාසනයකි. එ් මත දස දහසක් ලෝක ධාතුව කම්පා කරවමින්, චතුරාර්ය සත්‍යය ඉස්මතු කරවමින් සිංහනාද පවත්වන ධර්ම චක‍්‍රය ප‍්‍රවර්තනය කරමින් සිටින අපගේ බුදුරජාණන් වහන්සේ වැඩසිටිති.

1 සිතුවම : එම දම්සක් පිළිම වහන්සේට දකුණු පසින් අලංකාර සිතුවමකි. අප මහාබෝසතාණන් වහන්සේ දුෂ්කරක‍්‍රියා කරන අවදියෙහි උවටැන් කළ කොණ්ඩඤ්ඤ, වප්ප, භද්දිය, මහානාම, අස්සජී යන ශ‍්‍රමණයන් වහන්සේලා එහි වැඩසිටිති. උන්වහන්සේලා අතරින් මැදින් වැඩසිටින්නේ කොණ්ඩඤ්ඤයන් වහන්සේ ය. අප බුදුරජුන් දම්සක් පැවතුම් සූත‍්‍රය වදාළ මොහොතේ සෝවාන් ඵලයට පත්ව මහත් විස්මයෙන් යුතුව අත්‍යුදාර ප‍්‍රීතියකින් යුතුව භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරන අයුරුත්, අනෙකුත් ශ‍්‍රමණයන් වහන්සේලා තවමත් ධර්මය මෙනෙහි කරමින් සිටින අයුරුත් මෙහි දර්ශනය වේ.

2 සිතුවම : බරණැස ඉසිපතන මිගදාය සිහිකොට ඉතා සැදැහැබර සිතින් යුතුව තව ස්වල්පයක් ඉදිරියට යෑමේදී ඔබ එහි දොරටුවෙන් මාළිගයෙහි ප‍්‍රධාන පිළිම වහන්සේ වැඩසිටින මාළිගා ගර්භයට පිවිසෙන්න. පිවිසුණු සැණින් වම් පස උඩ බිත්තිය දෙස බලන්න. එහි පොකුණෙන් ඉගිලෙන්නට සැරසෙන හංසරාජයන් දිස්වෙන සිතුවමකි. එයින් අදහස් කරන ලද්දේ අප භාග්‍යවතුන් වහන්සේගේ ශ‍්‍රාවකයන් වහන්සේලා වශයෙන් වැඩසිටි එ් උතුම් නික්ලේශී රහතන් වහන්සේලා කිසිතැනකට හෝ කිසිදෙයකට හෝ නොඇලී සියල්ල අත්හැර වඩිනා අයුරුයි.

මාළිගා ගර්භයේ සිට බැහැර වන සුවිසල් ද්වාරයට ඉහළ බිත්තිය දෙස බලන්න. එහි ඔබට ඉතා අසිරිමත් සිතුවමක් දැක්ක හැකිය. කිඹුල්වත් නුවර මහාවනයෙහි පන්සියයක් මහරහතන් වහන්සේලා පිරිවරා ගත් භාග්‍යවතුන් වහන්සේ දකින්නට දස ලෝක ධාතුවෙන් දෙව්බඹුන්, නාග සුපර්ණයින් පැමිණි මොහොතේ එහි වැඩසිටි රහතන් වහන්සේලා අරහත් ඵල සමවත් සුව විඳින අයුරු එම සිතුවමින් දිස්වේ.

1 සිතුවම : මේ ඔබට දිස්වන්නේ අප භාග්‍යවතුන් වහන්සේ ගේ අග්‍රශ්‍රාවක වූ ප්‍රඥාවෙන් අග්‍ර වූ සාරිපුත්ත මහ රහතන් වහන්සේත්, අප භාග්‍යවතුන් වහන්සේ ගේ අග්‍ර ශ්‍රාවක වූ ඉර්ධි බලයෙන් අග්‍ර වූ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේත් පිළිබිඹු වන මනස්කාන්ත සිතුවමයි.

2 සිතුවම : ඊළඟට දිස්වන්නේ අප භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙහි අග‍්‍ර ශ‍්‍රාවිකා වූ අග‍්‍ර ප‍්‍රඥාලාභී ඛේමා මහරහත් භික්ෂුණීන් වහන්සේ ද, අග‍්‍ර ශ‍්‍රාවිකා වූ අග‍්‍ර ඉර්ධිලාභී උප්පලවණ්ණා මහරහත් භික්ෂුණීන් වහන්සේ ද වැඩසිටින අනර්ඝ සිතුවමයි.

3 සිතුවම : එම සිතුවම ඉදිරිපසින් අප භාග්‍යවතුන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩසිටින අසිරිමත් ස්වර්ණමාලී මහා චෛත්‍යරාජයාණන් වහන්සේ ඔබට දැක්ක හැකිය.

4 සිතුවම : එයට ඉදිරියෙන් දිස්වන්නේ අප භාග්‍යවතුන් වහන්සේගේ ශ‍්‍රීමත් ළලාට ධාතූන් වහන්සේ නිධන් කරවා කාවන්තිස්ස මහරජතුමන් විසින් සේරු නම් විල්තෙර වරාහසොණ්ඩි නම් ගල්කෙමිය අසළ කරවන ලද අසිරිමත් සේරුවිල මංගල මහා චෛත්‍ය රාජයාණන් වහන්සේගේ සිතුවමයි.

මාලිගා ගර්භයෙහි ඇති සිතුවම්

මාලිගා ගර්භයෙහි දක්නට ලැබෙන භාග්‍යවතුන් වහන්සේගේ අනුත්තරෝ පුරිසදම්ම සාරථී ගුණය ඉස්මතු කෙරෙන සිතුවම්

1 සිතුවම : දෙව්දතුන්ගේ මෙහෙයවීමෙන් රා පානය කරවා, මත් කොට කුපිත කරවා රෞද්‍ර බවට පත්කරවා භාග්‍යවතුන් වහන්සේව ඝාතනය කරවීම පිණිස බිහිසුණු ලෙසින් එවන ලද චණ්ඩ නාලාගිරි හස්තිරාජයා භාග්‍යවතුන් වහන්සේගේ මෛත‍්‍රී කරුණා දහරාවෙන් තෙමී දමනය වී සුවපත් වන අයුරු ඔබට දර්ශනය වේ.

2 සිතුවම : ඊළඟ සිතුවම අංගුලිමාලයන් අරභයා ය. එම සිතුවමෙහි එක්තරා සුවිශේෂී බවක් දිස්වේ. එහි අංගුලිමාල දමනය දර්ශනය වන්නේ සංකේතාත්මකව ය. එනම් අංගුලිමාලයන් බිහිසුණු මිනීමරුවෙකු ලෙස මිනිසුන් මරා ඔවුන්ගේ ඇඟිලි විද මාලා දරමින් දහසක් ඇඟිලි සම්පූර්ණ කිරීම පිණිස වෙහෙසෙමින් සිටියදී භාග්‍යවතුන් වහන්සේ එහි වැඩි සේක. අප භාග්‍යවතුන් වහන්සේගේ මහා කරුණාවෙන් යුතු ප‍්‍රාතිහාර්යය හේතුවෙන් අංගුලිමාලයන් දමනය විය. භාග්‍යවතුන් වහන්සේ වෙතින් උතුම් පැවිදි භාවය ද ලැබීය. එම සිදුවීම මෙහි සිතුවම් කොට ඇත්තේ වෙනස් අයුරකිනි. අංගුලිමාලයන් අතින් ඇඟිලි මාලය ගිලිහී යන අයුරුත්, කඩුව බිම වැටී යන අයුරුත් පෙනෙන අතර දැවැන්ත බෝධියක මුල්වලින් ඔහුව දැඩිව වෙළා ගන්නා අයුරු දිස්වේ. එයින් අදහස් කරන ලද්දේ භාග්‍යවතුන් වහන්සේගේ ඉර්ධි බලයෙන් අංගුලිමාලයන්ගේ ජීවිතය ධර්මයෙන් වෙළී යන අයුරුයි.

3 සිතුවම : ඊළඟට ඔබට දිස්වන්නේ බිහිසුණු නාගරාජයෙක් භාග්‍යවතුන් වහන්සේට හිරිහැර කිරීම පිණිස කෝපයෙන් බලා සිටින අයුරුයි. උරුවේල ජනපදයේදී උරුවේල කස්සප විසින් භාග්‍යවතුන් වහන්සේට වැඩසිටීම පිණිස දෙන ලද කුටියේ සිටි අපළාල නම් බිහිසුණු නාගරාජයා මොහු ය. ගිනි දැල් පිටකරමින් භාග්‍යවතුන් වහන්සේව වෙහෙසවමින් හිංසා කරන්නට පටන් ගත් කල්හී උන්වහන්සේ ද මෙත් සිතින් ගිනිදැල් පිටකරමින් නාගරාජයා දමනය කොට ඔහු සුවපත් කළ සේක.

4 සිතුවම : මේ දිස්වන්නේ ආලවක දමනයයි. මිනිසුන් බිය ගන්වා මනුෂ්‍ය මාංස භක්ෂණයට යොමු වී සිටි ආලවක නම් වූ දරුණු යක්ෂයාගේ භවනට භාග්‍යවතුන් වහන්සේ වැඩි සේක. වැඩමකොට එම යකුගේ අසුනෙහි වැඩහුන් සේක. තම භවනට පැමිණි අලව් යකු භාග්‍යවතුන් වහන්සේට හිරිහැර කිරීම පිණිස නොයෙක් දේ කළ නමුත් ඒ සියල්ල අසාර්ථක විය. අවසානයෙහි ප‍්‍රශ්න අසා පැරදවීමට සිතූ යක්ෂයා භාග්‍යවතුන් වහන්සේගෙන් ප‍්‍රශ්න අසන්නට පටන් ගත්තේය. එම ප‍්‍රශ්නයන්ට භාග්‍යවතුන් වහන්සේගෙන් ලද පිළිතුරු හේතුවෙන් ආලවක යක් තෙමේ දමනය වූයේය. තෙරුවන් සරණ ගිය ශ‍්‍රාවකයෙකු බවට පත් වූයේය.

5 සිතුවම : ඊළඟ සිතුවමින් දිස්වන්නේ බ‍්‍රහ්මලෝකයෙහි සිදුවූ දෙයකි. බක නම් බ‍්‍රහ්මරාජයෙක් තමන් ලද කල්ප ගණනකින් යුතු දීර්ඝ ආයුෂ හේතුවෙන් දැඩි ආත්ම දෘෂ්ටියෙන් සිටියේය. එනිසා ලොවෙහි ජරා මරණ රහිත තැන එම බඹලොව යැයි කියමින් වහසි බස් දොඩන්නට පුරුදු වී සිටියේය. මෙම බලසම්පන්න බ‍්‍රහ්මරාජයාගේ දැඩි මාන්නය දුරුකොට ඔහුට සත්‍යය පෙන්වා දී සුවපත් කිරීම පිණිස භාග්‍යවතුන් වහන්සේ බඹලොව වැඩි සේක. එහිදී බ‍්‍රහ්මරාජයා ඉදිරියේ නොපෙනී යන භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කරන අයුරුත් එය අසා බ‍්‍රහ්මරාජයා දමනය වන අයුරුත් දර්ශනය වේ.

6 සිතුවම : ඔබට දැන් දිස්වන්නේ ඉතා දුලබ දසුනකි. එනම් සහෝදරයන් තිදෙනෙකු වන උරුවේල කස්සප, නදී කස්සප, ගයා කස්සප යන බ‍්‍රාහ්මණ ජටිලයන් තිදෙනෙකි. මොවුන් ද දහසක් ජටිලයින් සමඟ උරුවෙල් දනව්වෙහි අනේක වූ දුෂ්කර ක‍්‍රියාවන්හී යෙදෙමින් තපස් රකිමින් සිටියහ. පූරිත පුණ්‍ය මහිමයන්ගෙන් යුතු මෙම දහසක් ජටිලයින්ගේ වාසනාව දුටු භාග්‍යවතුන් වහන්සේ එහි වැඩම කොට අනේක වූ ඉර්ධි ප‍්‍රාතිහාර්යය දක්වා එම ජටිලයන් දමනය කළ සේක. දමනය වූ එ් තුන් බෑ ජටිලයෝ පිරිවර සහිතව තෙරුවන් සරණ ගියහ. එ්හිභික්ෂු පැවිද්ද ලදහ. එ්හි භික්ෂු පැවිද්ද යනු ඉර්ධි බලයෙන් ලැබෙන පැවිද්දකි. භාග්‍යවතුන් වහන්සේ වෙතින් අහසින් පාත‍්‍රා සිවුරු ඔවුන් වෙත ලැබෙන අයුරුත් ඔවුන් වන්දනා කරමින් එය පිළි ගන්නා අයුරුත් මෙම සිතුවමින් දර්ශනය වන්නේ එ් නිසාය.

පිරිනිවන් මඤ්චකය

ළඟට දකුණු පසින් පිට මාළිගයට පිවිසෙන විට ඉතා දුර්ලභ වූ සංවේගජනක දර්ශනයක් ඔබට දකින්නට ලැබේ. එනම් සාල වෘක්ෂ දෙකක් අතරෙහි පණවන ලද පිරිනිවන් මඤ්චකය මත දකුණු ඇලයෙන් සැතැපී උතුරු දිසාවට හිස ලා වැඩසිටි අප භාග්‍යවතුන් වහන්සේ පහන් සිලක් නිවී යන ලෙසින් අසිරිමත් බුද්ධ කෘත්‍ය නිමවා පිරිනිවන් පා වදාළ මොහොතයි. අනෙක් පිළිම වහන්සේලාගේ මෙන් මුව මඬල හෝ කේශ ධාතූන් හෝ මෙම පිළිම වහන්සේගේ වර්ණවත් කොට නොමැත. මෙතැනට පැමිණි ඔබට කුසිනාරාවෙහි උපවර්තන සල් උයනෙහි භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා වදාළ අවස්ථාව සිහියට නංවා ගත හැකිය. මේ සියල්ල තුළ දිස්වන්නේ අද්භූත නිසංසල බවකි. ධර්ම සංවේගයකි.

1 සිතුවම : එම පරිනිර්වාණ පිළිම වහන්සේගේ ශ‍්‍රී පාද පද්මයන් පිහිටා ඇති පෙදෙසෙහි ඉහළ බිත්තියේ ඉතා සංවේගජනක සිතුවමක් දිස්වේ. අප භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා වදාළ මොහොතේ ඉහළ මගඵල නොලත් ශ‍්‍රාවක සංඝයා ද, ආනන්දයන් වහන්සේ ද, ශෝක බරිතව හඬා වැළපෙන අයුරු ත්, ශෝකයෙන් යුතු දිව්‍ය බ‍්‍රහ්ම සමූහයා අහසින් පරසතු මදාරා ආදී අනේක දිව්‍ය පුෂ්පයන් භාග්‍යවතුන් වහන්සේ මත වැගිර වූ අයුරුත් මෙහි සිතුවම් කොට ඇත.

2 සිතුවම : ඉන් අනතුරුව ඔබට ඉදිරිපස බිත්තියේ දකින්නට ලැබෙන්නේ පියුම් මත නොරැඳී හැලෙන දිය බිඳු සහිත පොකුණක සිතුවමකි. එයින් අදහස් කෙරෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අවබෝධ කළ රහතන් වහන්සේලා කිසිවකට නොඇලී වැඩසිටිය අයුරුයි.

මාළිගයෙහි උඩු මහලට පිවිසෙන පියගැටපෙළ තිබෙන්නේ මාළිගයේ පිටවීමේ දොරටුව අසලය. මෙය පොදු ජනයා හට නිතර විවෘතව නොපවතී. විශේෂ අවස්ථාවන් හීදි පමණක් වැඩහිඳින මාළිගය ප‍්‍රදර්ශනය කරනු ලැබේ. එම වැඩහිඳින මාළිගයට පිවිසෙන පිය ගැට පෙලෙහි ඉහලට ගමන් කරන විට හමුවන ස්ථාන පසෙක ඉතා අලංකාර වූ භාග්‍යවතුන් වහන්සේගේ හස්ත මුද්‍රාවන් පස් අයුරකින් දිස්වන සිතුවම් පසකි.