“අසිරිමත් බුදු කරුණාව” 

පින්වතුනේ, පින්වත් දරුවනේ, මහා කාරුණික බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයාට සෙතසුව සැළසීම පිණිස තමයි ජීවිතය කැප කළේ. ඇතැම් අවස්ථාවලදී කවුරුන් හෝ අඩුගණනේ සෝවාන් ඵලයටවත් පත්වීමට පින තියෙනවා නම් ඒ තැනැත්තා වෙනුවෙන් ඕනෑම දුරක් යන්න පෙළඹෙනවා. ඒ වෙනුවෙන් සෑහෙන්න කැපවෙනවා. ඒක බුදුරජාණන් වහන්සේගේ ජීවිතය පුරා තියෙන අසිරිමත් දෙයක්. මෙයත් එවැනි දෙයක්.ධම්මපද

එදා බුදුරජාණන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනාරාමයේ. හිමිදිරි උදෑසන මහා කාරුණික බුදුඇසින් ලොව බලා වදාළා. එදා බුදුරජාණන් වහන්සේ දැක්කේ ඉතාම දුගී මිනිසෙකුවයි. ඔහු සිටියේ මීට තිස් යොදුනක් දුරිනුයි. අලව් රටේ තමයි ඔහු වාසය කළේ. ඔහුට සෝවාන් ඵලයට පත්වීමට වාසනාව තිබුණා. බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන ඔහු වෙනුවෙන්ම අලව් නුවරට වැඩියා.ධම්මපද.ධම්මපද.ධම්මපද.ධම්මපද

අලව් නුවරවාසීන්ට ඉතාමත් සතුටුයි. ඔවුන් භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන භික්ෂු සංඝයාට ඉතා ආදරයෙන් දන්පැන් පිළියෙල කළා. මේ අතරේ බුදුරජාණන් වහන්සේ වැඩි බව ආරංචි වූ අර දිළිඳු මිනිසා ඉතා සතුටට පත්වුණා. ඔහු මෙහෙම කල්පනා කළා.ධම්මපද

“අනේ… අපගේ භාග්‍යවතුන් වහන්සේ කාලෙකට පස්සේ අලව් නගරයට වැඩලා… මාත් බණ ටිකක් අහන්න යන්න ඕනේ…”

එතකොට ඔහුගේ දරුවෙක් දුවගෙන ඇවිදින් කිව්වා.

“අප්පච්චී… අපේ ගව පට්ටියේ හොඳම ගොනා නැතිවෙලා…! ඌ පැනලා ගිහින් හැඩයි. ඌව හොයාගෙන එන්න…”

එතකොට ඔහු මෙහෙම හිතුවා. ‘ම්… මං දැන් මොකද කරන්නේ….? ගොනා හොයන්න යනවද…? බණ අහන්න යනවද…? ඔව්… ගොනා නොසොයා ගත්තොත් මට කරදරයි… ඒ නිසා ඉස්සෙල්ලා මේ සතාව හොයාගෙන ඉන්න එපායැ… ඊට පස්සේ මම බණ අහන්න යනවා…’

ඉතින් මේ දුගී මිනිසා ගවයාව සෙවීමට නික්ම ගියා. අලව් නුවරවාසී සැදැහැවතුන් භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයා වඩාහිඳුවා ඇප උපස්ථාන කොට දන්පැන් පිරිනැමුවා. දන් වැළඳීමෙන් පසු සැදැහැවතුන් බණ අසන්නට සූදානම් වුණා. බුදුරජාණන් වහන්සේ ‘මං තිස් යොදුනක් ගෙවාගෙන මෙපමණ දුරක් ආවේ අසවල් කෙනා වෙනුවෙනුයි. නමුත් ගවයෙකු සෙවීම පිණිස දැන් ඔහු වනාන්තරයට ගිහින්. ඔහු නැවත එනකම්ම මට ඉන්න වෙනවා’යි සිතා නිශ්ශබ්දතාවයෙන් යුතුව වැඩසිටියා.

ඔය අතරේ අර මිනිසා වෙහෙස මහන්සි වී ගවයාව සොයාගත්තා. ඉක්මනින්ම ගවගාලට පිටත් කෙරෙව්වා.

‘හප්පේ…! යාන්තම් ඇති. දැන් මට වෙන වැඩක් නෑ. දැන් තියෙන්නේ ශාස්තෘන් වහන්සේට අඩු ගණනේ වන්දනා කරන්නවත් අවස්ථාවක් ගැනීමයි.’

කෑමක් බීමක් ගැන කල්පනා කළේ නෑ. වෙහෙස මහන්සි පිටින්ම, පිපාසය කුසගින්න පිටින්ම නිවසට නොගිහින් කෙලින්ම භාග්‍යවතුන් වහන්සේ සොයාගෙන ගියා. භාග්‍යවතුන් වහන්සේව වන්දනා කොට එකත්පස්ව හිටියා.

ඒ වෙලාවෙහි දානය පිළියෙල කරගෙන පැමිණි පිරිසගෙන් භාග්‍යවතුන් වහන්සේ මෙහෙම ඇහුවා.

“පින්වත්නි, භික්ෂු සංඝයාට වළඳවා ඉතිරි වූ දන් පැන් මොකවත් තියෙනවාද?”

“තියෙනවා ස්වාමීනී.”

“අනේ එහෙම නම් මේ ඇත්තාටත් ආහාර ටිකක් දෙන්න…”

එතකොට ඔවුන් ඔහුව පසෙකින් වාඩිකරවා කැඳ බත් ආදියෙන් ඉතා හොඳින් උපස්ථාන කළා. ඔහු ආහාරපාන අනුභව කොට අතපය සෝදා ගෙන භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණ වාඩිවුණා.
දැන් ඔහුට මහන්සියක් නෑ. ගතේ පීඩාවක් නෑ. හිතටත් පීඩාවක් නෑ. යම්කිසි පහසුවක් තියෙනවා. මහාකාරුණික භාග්‍යවතුන් වහන්සේ ධර්මදේශනා කොට වදාළා. මේ තැනැත්තා දේශනාව අවසානයේ සෝවාන් ඵලයට පත්වුණා. පිරිසට පුණ්‍යානුමෝදනා කළ භාග්‍යවතුන් වහන්සේ නැවැත සැවැත් නුවර වැඩියා.

එතකොට භික්ෂූන් වහන්සේලා අතර මේ කතාබහ ඇතිවුණා.

“ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ මිනිසුන් කෙරෙහි අනුකම්පාවෙන් කටයුතු කරන ආකාරය හරි පුදුමයි. කවරදාකවත් අපි මේ විදිහට තනි කෙනෙකු වෙනුවෙන් ආහාරපානාදියෙන් සංග්‍රහ කරවලා තියෙන අවස්ථාවක් ගැන දන්නෙ නෑ. ඔහු වෙනුවෙන් විශේෂයක් කළේ ඇයිද කියලා අපට තේරෙන්නේ නෑ.”

මෙකරුණ සැළ වූ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා අමතා මෙසේ වදාළා.

“පින්වත් මහණෙනි, තිස් යොදුනක් කාන්තාරය ගෙවාගෙන මෙපමණ දුරක් මා පැමිණියේ ඔය උපාසක තැනැත්තා වෙනුවෙන්මයි. ඔහු අද උදේම ගවයෙකු සොයන්නට වනයට ගිහින් බොහෝ වෙහෙස මහන්සි වෙලයි ආවේ. බලවත් බඩගින්නකින් හිටියේ. එබඳු කුසගින්නකින් සිටිය කෙනෙකුට මා ධර්මදේශනා කළා නම් ඔහු අවබෝධය කරා යන්නේ නෑ. ඒ නිසයි ඔහුට සංග්‍රහ කෙරෙව්වේ. ඒ නිසා ඔහු ධර්මාවබෝධ කළා. බඩගින්න හා සමාන වෙන රෝගයක් නැහැ නෙව.”

මෙසේ වදාළ භාග්‍යවතුන් වහන්සේ ඉතා මිහිරි සරින් මෙම ගාථා රත්නය වදාළා.

ජිඝච්ඡාපරමා රෝගා – සංඛාරාපරමා දුඛා
ඒතං ඤත්වා යථාභූතං – නිබ්බාණං පරමං සුඛං

බඩගින්න යනු ලොව ඇති – මහා බලවත් රෝගයක්මයි
සංස්කාරයන් පැවැතුම – මහා බලවත් දුකක්මයි
මෙයයි දැනගත යුතු සොඳින්
ඒ අමා මහ නිවන නම් – මහා උත්තම සැපක්මයි

පින්වතුනේ, පින්වත් දරුවනේ, බුදුරජාණන් වහන්සේ පින් ඇති කෙනාව සොයාගන්නා අයුරු හරිම අසිරිමත්. ඔහුගේ සියලු බාධා මගහරවා ධර්මාවබෝධය පිණිස ඔහුගේ ජීවිතය සකස් කරනා අයුරු සිතා ගත නොහැකි තරම්ම විස්මිතයි. බුදුරජාණන් වහන්සේ සමඟ වැඩම කළ භික්ෂූන් වහන්සේලා කිසිවෙකු දැනසිටියේ නෑ එදා කවුරුන් ද මගඵල ලැබුවේ කියා. ඒ ස්වාමීන් වහන්සේලාට පෙනුනේ අසරණ මිනිසෙකු පසෙකට කැඳවා ආහාරපානයෙන් සංග්‍රහ කළ බව පමණයි. ඔහුට මගඵල ලැබීමේ වාසනාව ඇති බවත්, සැබැවින් එදා ඔහු මගඵල ලැබූ බවත් බුදුරජාණන් වහන්සේ වදාරණ තෙක් කවුරුවත් දැනගෙන හිටියේ නෑ. මේ හැමදේකින්ම ඉස්මතු වෙන්නේ සම්බුදු අසිරියමයි.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

 

තවත් මෙවැනි ලස්සන ධම්මපද කතා කියවන්න ආස නම් පිවිසෙන්න >>