1. ධර්මාශෝක මහරජ්ජුරුවෝ අපගේ ජය ශ්‍රී මහා බෝධි දකුණු ශාඛා වහන්සේට ආරක්ෂාව සැපයීම වෙනුවෙන් ක්ෂත්රීය පවුල් දහඅටක් ලබාදුන්නා. ඇමති පවුල් අටකුත් ලබාදුන්නා.
2. බ්‍රාහ්මණ පවුල් අටකුත් ලබාදුන්නා. ගෘහපති සිටු පවුල් අටකුත් ලබාදුන්නා. ගොපලු පවුල්වලිනුත් වලස් කුලේ පවුල්වලිනුත් කාලිංග කුලයේ පවුල්වලිනුත්,
3. ඒ වගේ ම පේසකාර කුලේ පවුල්වලිනුත් කුඹල් කුලයේ පවුල්වලිනුත් සියලු සේනාවන්ට අයත් පවුල්වලිනුත් නාග යක්ෂ කුලයන්ගේ පවුල්වලිනුත් අට බැගින් ලබාදුන්නා.
4. ඊටපස්සේ රජ්ජුරුවෝ අපගේ ජය ශ්‍රී මහා බෝධි දකුණු ශාඛා වහන්සේට නිතිපතා පැන් වැඩීමට රන් කලස් අටකුත් රිදී කලස් අටකුත් ලබාදුන්නා. ගංගා නම් නදියේ ඉතා අලංකාරව සරසන ලද නැවට අපගේ ජය ශ්‍රී මහා බෝධි දකුණු ශාඛා වහන්සේ නැංගෙව්වා.
5. සංඝමිත්තා රහත් භික්ෂුණීන් වහන්සේ සමඟ එකොළොස් නමක් රහත් භික්ෂුණීන් වහන්සේලාත් ඒ නැවෙහි ම නැංගෙව්වා. ලංකාවෙන් පැමිණි අරිට්ඨ අමාත්‍යතුමා ප්රමුඛ පිරිසත් නැංගෙව්වා.
6. ලංකාවට වැඩමවන මහ බෝධියට පසුගමන් පිණිස පාටලීපුත්ර නගරයෙන් නික්මුණු ධර්මාශෝක රජ්ජුරුවෝ පහළට යමින් වින්ධ්‍යා වනයත් පසු කරලා තාම්රලිප්තියට සතියකින් සැපත් වුනා.
7. දෙවියනුත් නාගයනුත් මිනිස්සුත් කරනු ලබන උදාර වූ පුද පූජාවන් ලබමින් අපගේ ජය ශ්‍රී මහා බෝධි දකුණු ශාඛා වහන්සේ වඩා හිඳුවාගත් නෞකාවත් සත් දවසකින් ම තාම්රලිප්තියට සැපත් වුනා.
8. ධර්මාශෝක රජ්ජුරුවෝ අපගේ ජය ශ්‍රී මහා බෝධි දකුණු ශාඛා වහන්සේ මහා සමුද්‍ර තීරයෙහි වඩා හිඳුවලා ආයෙමත් දඹදිව මහා රාජ්‍යයෙන් පූජා කළා.
9. කැමති දේ දෙන රජ්ජුරුවෝ දඹදිව මහා රාජ්‍යයෙන් අපගේ ජය ශ්‍රී මහා බෝධි දකුණු ශාඛා වහන්සේ අභිෂේක කරවා උඳුවප් මාසයේ පුර පක්ෂයේ පළවෙනි දවසේ එතැනින්,
10. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ නැවට වඩම්මවන්ට පාටලීපුත්ර නගරයේ මහා සල් රුක් සෙවණේදී බෝධීන් වහන්සේගේ ආරක්ෂාව පිණිස ලබාදුන් ජාතියෙන් උසස් වූ පවුල් අට බැගින් වූ පිරිස් අටක් සමගින් රජ්ජුරුවෝ,
11. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩහුන් රන් කටාරම ඔසොවාගෙන ගෙල ප්‍රමාණයට මුහුදු ජලයේ බැසගෙන ඉතා පරිස්සමෙන් නෞකාවෙහි වඩා හිඳෙව්වා.
12. රහත් තෙරණින් වහන්සේලා සහිත සංඝමිත්තා රහත් තෙරණින් වහන්සේත් නැවට නංවලා අපගේ මහා අරිට්ඨ අමාත්‍යතුමා ඇතුලු පිරිසත් නැවට නංවලා අරිට්ඨ ඇමතිතුමාට මෙහෙම කිව්වා.
13. ‘මං තුන් වතාවක් ම දඹදිව මහා රාජ්‍යයෙන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිදුවා. ඒ අයුරින් ම මාගේ හිතමිත්‍ර දේවානම්පියතිස්ස රජ්ජුරුවොත් ලංකා රාජ්‍යයෙන් මේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පුදාවා!’
14. මේ විදිහට කියූ ධර්මාශෝක මහරජ්ජුරුවෝ බෝධීන් වහන්සේට වන්දනා කරගෙන මුහුදු තීරයේ සිටගෙන සිටියා. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ දඹදිව අත්හැර ලංකාදීපය බලා නැවෙන් වඩිනවා දකිද්දි කඳුළු වැගිරෙව්වා.
15. ‘අන්න මාගේ දසබල තථාගතයන් වහන්සේගේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ හිරු මඬලක් සේ රශ්මි ධාරා විහිදුවමින් වඩින අපූරුව අන්න බලාපල්ලා’ කියමින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ වෙන්වීමෙන් ශෝකයට පත් ධර්මාශෝක මහරජ්ජුරුවෝ නොයෙක් අයුරින් බුදු ගුණ කිය කියා හඬ හඬා වැළපි වැළපී පාටලීපුත්ර නගරයට ගියා.
16. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වඩාහිඳුවා ගත් නෞකාව මහා සයුරට වේගයෙන් ඇතුලු වුනා. මහා සයුරේ නැව වටා යොදුනක් ප්‍රමාණයේ මුහුදු රළ නැතුව ගියා.
17. හාත්පස මුහුදු ජලය පාට පහකින් යුතුව නෙළුම් මල් පිපී ගියා. අහසින් මිහිරි තූර්ය නාදයන් නොයෙක් අයුරින් ඇසුනා.
18. දේවතාවුන් විසින් නොයෙක් විදිහේ පුදපූජාවන් පැවැත්තුවා. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ තමන් සතු කරගැනීම පිණිස මුහුදුවැසි නාගයින් ඉර්ධි බලයෙන් නොයෙක් බලපෑම් කරන්ට පටන් ගත්තා.
19. එතකොට අභිඥා බලයෙන් පරතෙරපත් අපගේ සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේ ගුරුළු රාජයෙකුගේ වේශයක් ඉර්ධියෙන් මවාගෙන ඒ මහා නාගයින්ව තැති ගැන්නුවා.
20. තැතිගැනීමට පත් මුහුදුවැසි නාගයින් සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේට නොයෙක් අයුරින් ආයාචනා කරලා අපගේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ රන් කටාරම පිටින් නාග භවනට නැවෙන් වඩම්මා ගත්තා.
21. සතියක් ම නාගරාජ්යයෙනුත් නොයෙකුත් පුදපූජාවන්ගෙනුත් මහත් ශ්‍රද්ධාවෙන් පූජා පවත්වලා නැවතත් නැවට වඩම්මලා එහි වඩා හිඳෙව්වා.
22. එදා ම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ මේ ලංකාද්වීපයෙහි දඹකොළ පටුනට වැඩම කොට වදාළා. ලෝකයාගේ යහපත උදෙසා කරන කටයුතු වල ඇලී සිටින දේවානම්පියතිස්ස රජ්ජුරුවෝ,
23. මීට කලින් ධාතූන් වහන්සේලා වැඩමද්දි සුමන රහත් සාමණේරයන් වහන්සේගෙන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ වැඩමවීම ගැන අසා දැනගෙන තිබුණා. උඳුවප් මාසයේ පුර පක්ෂයේ පළමු දවසේ පටන් ම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා පවත්වනු පිණිස මහත් ආදරයෙන් යුක්තව සිටියා.
24. අනුරාධපුර නගරයේ උතුරු දොරටුවේ සිට දඹකොළ පටුන වරාය දක්වා ඇති මහා මාවත ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ වැඩමවීම වෙනුවෙන් මුළු මාර්ගය දිගට ම පංච වර්ණ පුෂ්පයන්ගෙන් අලංකාර කෙරෙව්වා.
25. සමුද්රාසන ශාලාව පිහිටි ස්ථානයෙහි වූ ශාලාවක සිටි රජ්ජුරුවෝ මිහිඳු මහරහතන් වහන්සේගේ ඉර්ධිබලයේ මහිමයෙන් මහා සයුරින් වැඩමවන ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ දැක බලා ගත්තා.
26. මහ සයුරින් වැඩම කරවන ඒ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ දැකගත් ආශ්චර්ය අද්භූත ආකාරය ඉස්මතු කොට පෙන්වීම පිණිස එතැන කරවපු ශාලාව ‘සමුද්රාසන ශාලාව’ නමින් ලංකාවේ ප්‍රසිද්ධියට පත්වුනා.
27. අපගේ මිහිඳු මහරහතන් වහන්සේගේ ආනුභාවයෙන් ඒ තෙරුන් වහන්සේලාත් සිව්රඟ සේනාව සහිත වූ රජ්ජුරුවෝත් දඹකොළ පටුනට එදා ම පැමිණියා.
28. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට වැඩමවීම ගැන උපන් ප්‍රීති උද්වේගයෙන් යුක්තව ‘අන්න! අප භාග්‍යවතුන් වහන්සේගේ හිරු රැස් බඳු රැස් ධාරා විහිදුවමින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වඩින අයුරු!’ යනාදි වශයෙන් උදන් අනමින් මනාව පිහිටි අඟපසඟ ඇති දෙවනපෑතිස් රජ්ජුරුවෝ ගෙල ප්‍රමාණයට මුහුදු දියට බැස්සා.
29. ලංකාවෙහි සිටි දහසයක් වූ මහා කුලයන් හා එක්ව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ හිස් මුදුනින් වඩම්මවාගෙන ඇවිත් වෙරළෙහි කරවපු ඉතා අලංකාර මණ්ඩපයක,
30. වඩා හිඳවපු ලංකාධිපති දෙවනපෑතිස් රජ්ජුරුවෝ ලංකා රාජ්‍යයෙන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිදුවා. රජ්ජුරුවෝ තමන්ගේ රාජ්‍යය ඒ දහසයක් වූ කුලයන්ට භාරකොට,
31. තමන්ම දොරටුපාල තනතුර ලබාගෙන තුන් දවසක් දොරටුපාලයෙක් හැටියට සිටි රජ්ජුරුවෝ එතැනදීම නොයෙක් පූජාවන් පැවැත්තුවා.
32. උඳුවප් මාසයේ පුර පක්ෂයේ දසවෙනි දවසේ ඉතා සුන්දර රථයක අපගේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වඩා හිඳුවාගෙන එන රජ්ජුරුවෝ පාචීන විහාරය ඉදිවන ස්ථානයෙහි බෝධීන් වහන්සේ තැබ්බෙව්වා.
33. ඒ ඒ තැන් පිළිබඳ වටහා ගැනීමෙහි දක්ෂ වූ රජ්ජුරුවෝ පාචීන විහාරය පිහිටන තැනට වැඩමවා වදාළ සංඝයා වහන්සේලාටත් පැමිණි මහජනයාටත් හීල ආහාරය පිළිගැන්නුවා.
34. එතැනදී අපගේ මිහිඳු මහරහතන් වහන්සේ දසබලධාරී අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් ලංකාවේ නාගදීපයෙහිදී කරන ලද නාග දමනය ගැන රජ්ජුරුවන්ට සම්පූර්ණයෙන් ම විස්තර සහිතව පහදා දී වදාළා.
35. රජ්ජුරුවෝ අපගේ භාග්‍යවතුන් වහන්සේ ලංකාවේ නාගදිවයිනට වැඩම කොට කළ නාග දමනයේ විස්තර අහලා ශාස්තෘන් වහන්සේ ඒ ඒ තැන්වල වැඩහුන් තැන්, පරිභෝග කළ තැන් සලකුණු කෙරෙව්වා.
36. රජ්ජුරුවෝ තිවක්ක බ්‍රාහ්මණයාගේ ගමෙහි දොරටුව ළඟ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වඩා හිඳෙව්වා. දඹකොළ පටුනේ සිට අනුරාධපුරය තෙක් මාර්ගයේ ඒ ඒ තැන වඩා හිඳුවා,
37. සුදුවැලි අතුරවලා නොයෙක් මල් වර්ගවලින් සරසවලා ධජ පතාක ඔසොවලා තැනින් තැන මලින් මාලාවෙන් සැරසූ කණු තබ්බවලා,
38. දිවා රාත්‍රී දෙකේ ම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට කළයුතු පූජාවන් වල අනලස්ව නිරත වෙලා පුද පූජා පවත්වලා උඳුවප් මාසයේ පුර පක්ෂයේ දාහතරවෙනි දවසේ අනුරාධපුරයට සමීප වුනා.
39. එදින සවස් යාමයෙහි ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා පවත්වමින් ඉතා අලංකාර ලෙස සැරසූ නගරයට උතුරු දොරටුවෙන් ඇතුලු වුනා.
40. ඊටපස්සේ දකුණු දොරටුවෙන් නගරයෙන් නික්මිලා කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම යන සතර බුදුවරයන් වහන්සේලා සමාපත්ති සුවයෙන් වැඩහිඳීමෙන් පරිභෝග කරන ලද මහමෙව්නා උයනට පිවිසියා.
41. සුමන සාමණේරයන් වහන්සේගේ වචනයෙන් පෙර බුදුවරයන් වහන්සේලාගේ බෝධීන් වහන්සේලාත් වැඩසිටි ඒ පවිත්‍ර භූමි ප්‍රදේශය ඉතා අලංකාරව සරසවලා තිබුණා. ඒ මනරම් භූමියට අපගේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමෙව්වා.
42. රාජාභරණයන්ගෙන් සැරසී හුන් ඒ දහසයක් මහා කුලයන්ට අයත් පිරිස අපගේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ රථයෙන් බස්සවා එතැන පිහිටුවීම පිණිස ඉතා පරිස්සමෙන් අතින් මුදා හැරියා.
43. අතින් නිදහස් වුනා පමණයි. අපගේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අසූ රියනක් පමණ අහස උසට පැන නැංග සේක. ආකාසයේ වැඩ හිඳිමින් ඉතා අලංකාර ෂඞ් වර්ණ රශ්මිධාරා විහිදුවා වදාළා.
44. ඒ මනරම් රශ්මිධාරාවෝ ලංකාදීපයේ පොළොවේ වැදිලා බ්‍රහ්ම ලෝකය දක්වා පැතිරිලා හිරු අවරට යනකල් ම පැවතුනා.
45. මේ මහා ප්‍රාතිහාර්යයෙන් ඉතා පැහැදීමට පත් දස දහසක් පුරුෂයින් බුද්ධානුස්සතිය මුල්කොට විදර්ශනාව වඩා උතුම් අර්හත්වයට පත්වෙලා මේ බුද්ධ ශාසනයෙහි පැවිදි බව ලබාගත්තා.
46. හිරු බැසයද්දී අපගේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අහසින් පහළට වැඩම කොට රෙහෙණ නැකතින් පොළොව මත පිහිටා වදාළා. එතකොට මහපොළොව කම්පා වුනා.
47. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ඒ සිරියල් රේඛාවලින් හටගත් මුල් රන් කටාරම වටා වැළඳගනිමින් පහළට ඇවිත් මහපොළොවෙහි බැසගත්තා.
48. එතැනට රැස් වූ සියලු මහජනයා මැනවින් පොළොවෙහි පිහිටා වදාළ අපගේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට හාත්පසින් සුවඳ මල් ආදියෙන් පූජාවන් පැවැත්තුවා.
49. එතකොට මහාවැස්සක් ඇද හැලුනා. හාත්පස හිම ගැබිනුත් සීතල වළාවන්ගෙනුත් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වසාගත්තා.
50. භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ ලංකාවාසීන් තුළ මහත් ශ්‍රද්ධා උපදවමින් අපගේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ එහි ම නොපෙනී ගොස් සත් දිනක් ඒ හිම ගැබෙහි වැඩ වාසය කළා.
51. සත් දවස ඉක්ම ගියාට පස්සේ සියලු වළාකුළු පහවෙලා ගියා. ෂඞ් වර්ණ රශ්මිධාරා විහිදුවමින් අපගේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටින අයුරු දැකබලා ගන්ට ලැබුනා.
52. මහසඟ පිරිස සහිත අපගේ මිහිඳු මහරහතන් වහන්සේත් භික්ෂුණීන් සහිත වූ සංඝමිත්තා රහත් තෙරණින් වහන්සේත් පිරිස සහිත රජ්ජුරුවෝත් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩහුන් තැනට පැමිණියා.
53. කතරගමවැසි ක්ෂත්රියවරුත් චන්දන ගමෙහි ක්ෂත්රියවරුත් තිවක්ක බ්‍රාහ්මණයාත් ලංකාදීපවාසී බොහෝ ජනයාත්,
54. දේවානුභාවයෙන් එතැනට පැමිණියා. ජය ශ්‍රී මහා බෝධිපූජා මහෝත්සවයට උනන්දුවෙන් රැස්වූ ඒ මහා ජනයා නොයෙකුත් ප්රාතිහාර්යයන් නිසා පුදුමයෙන් පුදුමයට පත්ව සිටියා.
55. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ නැගෙනහිර පැත්තේ ශාඛාව දෙස බලාගෙන සිටින විට හොඳින් මෝරා ගිය බෝ ගෙඩියක් ඒ අවස්ථාවේ ම වැටෙද්දී එය රැගත් මිහිඳු මහරහතන් වහන්සේ එය රෝපණය කිරීම පිණිස රජ්ජුරුවන්ට දුන්නා.
56. මහා ආසනය මත සුවඳ පස් පුරවා තිබුනු රන් කටාරමේ ඒ බෝ ගෙඩිය රජ්ජුරුවෝ රෝපණය කළා.
57. හැමෝ ම බලාගෙන සිටිද්දී ඒ බෝ ගෙඩියෙන් අංකුර අටක් පැන නැංගා. රියන් සතරක් උසට යොවුන් බෝධීන් වහන්සේලා බවට පත්වුනා.
58. රජ්ජුරුවෝ ඒ යොවුන් බෝධීන් වහන්සේලා දැකලා පුදුමයට පත් වූ සිතින් යුක්තව ශ්වේත ඡත්රයෙන් පිදුවා. අභිෂේකයත් දුන්නා.
59. ඒ බෝධීන් වහන්සේලා අට නමෙන් එක් නමක් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලංකාදීපයට වඩමවාගෙන ආ දවසේ නැවෙන් ගොඩට වඩම්මලා පළමුවෙන් වඩා හිඳවාපු ස්ථානයෙහි රෝපණය කෙරෙව්වා.
60. තිවක්ක බ්‍රාහ්මණයාගේ ගමෙහි තව නමක් රෝපණය කෙරෙව්වා. ඒ වගේ ම ථූපාරාමයේත් බෝධීන් වහන්සේ නමක් රෝපණය කෙරෙව්වා. ඉසුරුමුනිය හෙවත් කසුප් ගිරි වෙහෙරේ ඉහළ බෝධි ඝරයෙහි තව නමක් රෝපණය කෙරෙව්වා. පඨමක චේතියංගණයෙහි තව බෝධීන් වහන්සේ නමක් රෝපණය කෙරෙව්වා.
61. මිහින්තලේ සෑගිරි අරමෙහි තවත් නමක් රෝපණය කෙරෙව්වා. කතරගමත් එක් නමක් රෝපණය කෙරෙව්වා. චන්දන ගමෙහිත් එක් නමක් රෝපණය කෙරෙව්වා.
62. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අනිත් ශාඛා වලත් ගෙඩි හතරක් හටගෙන තිබුණා. ඒවායෙන් යොවුන් බෝධීන් වහන්සේලා තිස් දෙනමක් හටගත්තා. ලංකාව පුරා යොදුනක් ගානේ ඒ ඒ විහාරවල ඒ බෝධීන් වහන්සේලා රෝපණය කෙරෙව්වා.
63. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ තුළ පිහිටි අප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තේජස කරණ කොටගෙන ලංකාවාසීන්ගේ හිත සුව පිණිස මැනවින් පිහිටියා.
64. කන්‍යාවන් පන්සියයකින් ද අන්තඃපුර ස්ත්‍රීන් පන්සියයකින් ද පිරිවර සහිත අනුලා දේවී සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේ වෙතින් පැවිදි බව ලබාගෙන උතුම් අර්හත්වයට පත්වුනා.
65. ඒ අරිට්ඨ රාජපුත්‍රයා පන්සියයක් පිරිවර සහිතව මිහිඳු මහරහතන් වහන්සේ වෙතින් පැවිදි බව ලබාගෙන උතුම් අර්හත්වයට පත්වුනා.
66. යම් අට සිටුකුලයක් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ මෙහි වඩමවාගෙන ආවා ද, ඒ හේතුව නිසා ඔවුන්ව ‘බෝධාහර කුල’ කියලා හඳුන්වනවා.
67. උපාසිකා විහාරය යන නමින් ප්‍රසිද්ධ වී තිබුන භික්ෂුණී ආරාමයෙහි භික්ෂුණී සංඝයා සහිත සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේ වැඩ වාසය කළා.
68. දඹදිවින් භික්ෂුණීන් වහන්සේලා වැඩමවීමෙන් පස්සේ ඒ උපාසිකා වෙහෙර වටකොට චූලගණය, මහාගණය, සිරිවඞ්ඪ නමින් මහා ප්‍රාසාද තුනක් කෙරෙව්වා. එහි තවත් ප්‍රාසාද නවයක් කරවා දොළොස් ප්‍රාසාදයක් ඇතිවුනා. එයින් චූලගණය නමැති මහා ප්‍රාසාදයේ,
69. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වඩමවාගෙන ආ නැවෙහි කුඹගස තැබ්බෙව්වා. මහාගණ නමැති අනෙක් ප්‍රාසාදයේ නැවෙහි සුක්කානම තැබ්බෙව්වා. සිරිවඞ්ඪ නම් අනෙක් මහා ප්‍රාසාදයේ නැවෙන් ගෙනා හබලක් තැබ්බෙව්වා.
70. ධම්මරුචික ආදී වෙනත් නිකායයන් පහළ වුනාට පසුවත් ඒ දොළොස් ප්‍රාසාදය ම සැම කාලයේ ම හත්ථාල්හක භික්ෂුණීන් විසින් පමණක් පරිහරණය කළා.
71. රජ්ජුරුවන්ගේ මංගල ඇත්රජා නිදහසේ කැමති පරිදි හැසිරෙමින් නගරයේ එක් පැත්තක සීතල බෑවුමක,
72. කොළොම් මල් පඳුරක ගොදුරු කමින් සිටියා. ඇත්රජා එතැන ඉන්ට කැමති බව දැනගත් ඇත්ගොව්වෝ ඇතා බඳින ටැඹ එතැන ඉදිකොට ඇත්හළ එතැන හැදුවා.
73. එක් දවසක් ඇත් රජා ගොදුරු කෑවේ නෑ. රජ්ජුරුවෝ ලංකාදීපප්පසාදක වූ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ ගෙන් ඇතා කුමන අදහසින් ඉන්නවාද කියා ඇසුවා.
74. ‘මහරජාණෙනි, මේ කොළොම් මල් ගොමුව තියෙන තැන ස්ථූපයක් දකින්ටයි ඇත්රජා ආසා කියලා අපගේ මිහිඳු මහරහතන් වහන්සේ රජ්ජුරුවන්ට පැහැදිලි කළා.
75. නිතර ජනතාවගේ යහපත උදෙසා ඇලී කටයුතු කරන රජ්ජුරුවෝ එතැන ධාතූන් වහන්සේලා නිධන් කොට ස්ථූපයකුයි ස්ථූපයට වටදාගෙයකුයි ඉක්මනින් කෙරෙව්වා.
76. සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේ ශුන්‍යාගාරයක වාසයටයි වඩාත් කැමති. තමන් වාසය කරන ඒ උපාසිකා විහාරය බොහෝ භික්ෂුණීන්ගෙනුත් අන්‍ය උපාසිකාවන්ගෙනුත් ජනාකීර්ණව තිබුන නිසා,
77. බුද්ධ ශාසනයේ දියුණුව ප්‍රාර්ථනා කරන, භික්ෂුණීන් වහන්සේලාගේ යහපත ම අපේක්ෂා කරන එතුමිය ඉතා නුවණින් යුක්තව වෙනත් විවේකී භික්ෂුණී සේනාසනයක් කැමති වෙලා,
78. ඒ චෛත්‍ය ගෘහයට වැඩම කළා. නොයෙකුත් නිර්මල සමාපත්ති වලට සමවදින්ට දක්ෂ වූ අපගේ සංඝමිත්තා රහත් තෙරණින් වහන්සේ සුන්දර වු හුදෙකලා සුවය විඳිමින් ඒ වටදාගෙය තුළ දිවා විහරණයෙන් වැඩ වාසය කළා.
79. රජ්ජුරුවෝ සඟමිත් තෙරණින් වහන්සේව වන්දනා කරන්ට භික්ෂුණී ආරාමයට ගියා. එහිදී අසන්ට ලැබුවේ භික්ෂුණීන් වහන්සේ අලුතින් සැදූ චේතියඝරයට විවේකී විහරණ පිණිස වැඩිය බවයි. එතකොට රජ්ජුරුවෝ එතැනට ගිහින් ඒ උත්තමාවියට වන්දනා කළා.
80. සංඝමිත්තා තෙරණින් වහන්සේ සමඟ සතුටු සාමීචියේ යෙදිලා උපාසිකා වෙහෙරින් මෙතැනට වඩින්ට කාරණාව කුමක්ද කියලා ඇහුවා. අනුන්ගේ අදහස් තේරුම් ගන්ට දක්ෂ රජ්ජුරුවෝ භික්ෂුණීන්ගේ විවේකවාසයට මෙතැන රුචි බව දැනගත්තා.
81. ඒ දේවානම්පියතිස්ස රජ්ජුරුවෝ ඒ චෛත්‍ය ගෘහය වටකොට ඉතා අලංකාර භික්ෂුණී සේනාසනයක් කෙරෙව්වා.
82. ඇත්හළ අසළ කරනා ලද භික්ෂුණී සේනාසනය ඒ හේතුවෙන් ‘හත්ථාළ්හක විහාරය’ යන නමින් ප්‍රසිද්ධියට පත්වුනා.
83. ලොවට මහත් යහපත සලසන කල්‍යාණ මිතුරියක් වන මහා නුවණැති ඒ සඟමිත් මහරහත් තෙරණින් වහන්සේ ඒ රම්‍ය වූ භික්ෂුණී සේනාසනයෙහි වැඩ වාසය කළා.
84. අපගේ ජය ශ්‍රී මහා බෝධිද්රමරාජයාණන් වහන්සේ නොයෙක් ආශ්චර්යයන්ගෙන් යුක්තව ලංකාවාසීන්ගේ හිතසුව පිණිස, බුද්ධ ශාසනයේ දියුණුව පිණිස ලංකාදීපයේ රම්‍ය වූ මහමෙව්නා උයනේ බොහෝ කල් සුවසේ වැඩ වසන සේක. මේ ලංකාද්වීපයෙහි රජදරුවෝ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට නිතර ම පූජා සත්කාර පවත්වනවා නම් සතුරන්ට ඔවුන්ව පෙළන්ට ලැබෙන්නේ නෑ. ඒක අප භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සම්බුදු මහිමය යි!
සත්පුරුෂ ජනයන්ගේ ප්‍රසාදයත් සංවේගයත් ඇතිකරනු පිණිස කරන ලද මහාවංශයෙහි ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවීම නම් වූ දහනවවෙනි පරිච්ඡේදය යි.