1. ධර්මාශෝක රජ්ජුරුවෝ තමන්ගේ අභිෂේකයෙන් දහඅට වෙනි අවුරුද්දේ ලංකාද්වීපයේ මහමෙව්නා උයනේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටුවා වදාළා.

2. ඊට දොළොස් අවුරුද්දකට පස්සේ ඒ රජ්ජුරුවන්ගේ ප්‍රිය වූ අග්‍ර මහේෂිකාව වන, බුද්ධ ශාසනය කෙරෙහි මහත් ලබැඳියාවකින් සම්බුද්ධමාමකව සිටිය අසන්ධිමිත්‍රා දේවීන් වහන්සේ අභාවයට පත්වුනා.

3. ඊට හතර අවුරුද්දකට පස්සේ ධර්මාශෝක රජ්ජුරුවෝ නපුරු අදහස් ඇති තිස්සරක්ඛා නමැති රාජ කන්‍යාව අග්‍ර මහේෂිකා තනතුරේ තැබුවා.

4. ඊට තුන් අවුරුද්දකට පස්සේ රූප මාන්නයෙන් මත් වී සිටි ඒ අඥාන බිසව ‘මේ රජ්ජුරුවෝ මටත් වඩා ආදරය දක්වන්නේ මහබෝධියට නොවැ’ කියලා,

5. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ කෙරෙහි ක්‍රෝධ බැඳගත්තා. තමන්ට විපත් කරගන්නා ඇය විස මඩු කටු ගස්සවා දඹදිව වජිරාසනය ළඟ වැඩහුන් අපගේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අපවත් කෙරෙව්වා.

6. ඊට සතර අවුරුද්දකට පස්සේ මහා යසපිරිවර ඇතිව සිටි ධර්මාශෝක මහරජ්ජුරුවෝ අනිත්‍ය ස්වභාවයට පත්වුනා. ධර්මාශෝක රජ්ජුරුවන් අභිෂේක ලබා කළ රාජ්‍ය කාලය මෙසේ තිස් හත් අවුරුද්දකි. මෙහි ගණන් කළ විට හතළිස් එක් වසරක් ලැබේ. නමුත් කාල පරිච්ඡේද අවසානයට වර්ෂයක් හැටියට ගණන් ගැනීමෙනි. එබඳු දෙයකට ඉඩ නොතබා අටුවාවෙහි සමතිස් හත් වසරක් රජකළ බව මැනවින් කියා තිබේ.

7. සත්පුරුෂ ධර්මයෙහි පිහිටා දහම් ගුණයෙහි ඇලී සිටි දේවානම්පියතිස්ස රජ්ජුරුවෝ මහා විහාරයෙහිත් මිහින්තලේ සෑගිරි විහාරයේත් අලුත්වැඩියා කටයුතු කෙරෙව්වා.

8. ථූපාරාමයෙහිත් අලුත්වැඩියා කටයුතු ඊට සුදුසු පරිදි කරවා අසනු ලබන ප්‍රශ්නයට පිළිතුරු දීමෙහි දක්ෂ රජ්ජුරුවෝ දීපප්පසාදක මිහිඳු මහරහතන් වහන්සේගෙන් මෙකරුණ විමසා සිටියා.

9. ‘ස්වාමීනී, මට මේ ලංකාද්වීපයෙහි බොහෝ විහාර කරවන්ට ඕනෑ. ඒ විහාර වල ඉදිකරන චෛත්‍යයන් තුළ නිධන් කරන්ට ධාතූන් වහන්සේලා ලබාගන්නේ කොහොමද?’

10. ‘මහරජ්ජුරුවෙනි, අපගේ සුමන සාමණේරයන් විසින් භාග්‍යවතුන් වහන්සේ දන් වැළඳූ පාත්‍රය ම පුරවාගෙන මෙහි ගෙනා ධාතූන් වහන්සේලා චේතිය පර්වතයේ හෙවත් සෑගිරියේ වැඩ ඉන්නවා නොවැ.

11. හස්තිරාජයාගේ පිට මත වඩා හිඳුවාගෙන ඒ ධාතූන් වහන්සේලා මෙහි වඩමවාගෙන එන්ට.’ මිහිඳු මහරහතන් වහන්සේ එසේ වදාළ විට ඒ ආකාරයට ම ධාතූන් වහන්සේලා වඩමවාගෙන ආවා.

12. ඊට පස්සේ යොදුනක් යොදුනක් ගාණේ විහාරයන් කරවා ඒ ඒ චෛත්‍යයන් තුළ උතුම් සර්වඥ ධාතූන් වහන්සේලා සුදුසු පරිදි නිධන් කෙරෙව්වා.

13. අප භාග්‍යවතුන් වහන්සේ දන් වැළඳූ ශ්‍රී සම්බුද්ධ පාත්‍රය රජතුමා රජ මාළිගයේ ම වටිනා වස්තු තැන්පත් කළ මන්දිරයේ වඩා හිඳුවා හැම කල්හි ම නොයෙක් පුද පූජාවන්ගෙන් උපස්ථාන කළා.

14. අප මිහිඳු මහරහතන් වහන්සේ සමීපයෙහි ඉසුරුමත් ක්ෂත්‍රිය කුලයේ පන්සියයක් කුමාරවරු පැවිදිව වාසය කළ තැන කරවූ විහාරයට ‘ඉසුරුමුනිය’ කියලයි කියන්නේ.

15. වෛශ්‍ය හෙවත් වෙළඳ කුලයෙන් ආ පන්සියයක් දෙනා මිහිඳු මහරහතන් වහන්සේ සමීපයේ පැවිදිව වාසය කළ ස්ථානයේ ඉදි වූ විහාරයට කියන්නේ ‘වෙස්සගිරිය’ කියලයි.

16. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලේ චේතිය පර්වතය හෙවත් සෑගිරියේ යම් යම් ගුහාවක වැඩ වාසය කළා ද, ඒ හැම ගුහාවකට ම කියන්නේ මිහිඳු ගුහාව කියලයි.

17. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළ මුල් අවුරුද්දේ ම ඉදි කළේ මහමෙව්නා උයනේ මහා විහාරය යි. දෙවනුව කරවන ලද්දේ මිහින්තලේ චේතියගිරි විහාරයයි. තුන්වැනිව කරවන ලද්දේ සුන්දර වූ ස්ථූපය මුල්කොට ගත් ථූපාරාමය යි.

18. සතරවැනිව කරන ලද්දේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටුවාලීම යි. පස්වනුව කරවන ලද්දේ රුවන්මැලි මහාසෑය පිහිටුවන සැලැස්ම හොඳාකාර ලෙසට පිළියෙල කොට,

19. මහාසෑය පිහිටන ස්ථානයේ ඒ බව සඳහන් කොට ගල්ටැඹ පිහිටුවීම යි. ඒ වගේම සොඳුරු රූපශ්‍රීයෙන් යුතු අප භාග්‍යවතුන් වහන්සේගේ ග්‍රීවා ධාතුන් වහන්සේගේ පිහිටුවීමත් වුනා.

20. සයවැනිව කරන ලද්දේ ඉසුරුමුනි විහාරය පිහිටුවීම යි. සත්වැනිව කරන ලද්දේ තිසාවැව යි. අටවැනිව කරන ලද්දේ පඨමක චේතිය යි. නවවැනිව කරන ලද්දේ වෙස්සගිරි විහාරය යි.

21. රම්‍ය වූ උපාසිකා විහාරයත් හත්ථාළ්හක විහාරයත් යන මේ භික්ෂුණී සේනාසන දෙක කරවන ලද්දේ භික්ෂුණීන්ට සුවසේ වාසය කිරීම පිණිස ය.

22. හත්ථාළ්හක භික්ෂුණී සෙනසුනට සියලු භික්ෂුණීන් එකතු වෙනවා. ඊටපස්සේ ඒ භික්ෂුණීන් වහන්සේලා භික්ෂු සංඝයා පෙරටු කොට ගෙන දන් පිළිගැනීමට යෝග්‍ය පරිදි කරවූ

23. මහාපාලී නමැති දාන ශාලාවට වඩිනවා. එහි ඉතා සුන්දර ආකාරයෙන් භික්ෂු භික්ෂුණි උභය සංඝයා වහන්සේට වෙන් වෙන්ව වඩින්ට පුළුවන් ආකාරයට ආලින්දයන් සකසා තිබුණා. සංඝයාට අවශ්‍ය නොයෙක් උපකරණත් දානෝපස්ථානයට නොයෙක් සේවක ජනයාත් එහි සිටියා.

24. ඒ වගේ ම වාර්ෂිකව භික්ෂූන් දහස් නමකට පිරිකර සහිතව පූජා කරන වස් පවාරණ පින්කමක් සිදුකෙරුනා.

25. නාගදීපයේ දඹකොළ විහාරයත්, ඒ වරායේ තිස්සමහා විහාරයත්, පාචීනාරාමයත්,

26. යන මේ කටයුතු ලාංකික ජනයාගේ යහපත කැමතිව මහා පින් ඇති, නුවණ ඇති දේවානම්පියතිස්ස රජ්ජුරුවෝ,

27. සත්පුරුෂ ගුණයන්ට ආසා කළ නිසා මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ පළමු අවුරුද්දේ ම කෙරෙව්වා. ඒ රජ්ජුරුවෝ දිවි ඇති තෙක් නොයෙක් පින්කම් රැස් කළා.

28. මේ ලංකාද්වීපය ඒ දේවානම්පියතිස්ස රජ්ජුරුවන්ගේ අණසක යටතේ පැවතුන කාලයේ ඉතා සමෘද්ධිමත් වුනා. ඒ රජ්ජුරුවෝ සතළිස් අවුරුද්දක් රාජ්‍යය කළා.

29. දෙවනපෑතිස් රජ්ජුරුවන්ගේ අභාවයෙන් පස්සේ ඒ රජුගේ මලණු කෙනෙක් වූ උත්තිය නමින් ප්‍රසිද්ධ වූ රාජපුත්‍රයා දරුවෙකු නොමැතිව තිබූ ඒ දේවානම්පියතිස්ස රජ්ජුරුවන්ගේ රාජ්‍යය හොඳින් කරගෙන ගියා.

30. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ පර්යාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේධ යන උතුම් බුද්ධ ශාසනය ඉතා යහපත් ලෙස,

31. ත්‍රිපිටක ධර්මය කටපාඩම් කරවීම් ආදියෙන් භාණක පරම්පරා බිහි කොට ලංකාදීපය බැබලෙව්වා. ලංකාවට මහත් පිහිටක් ලබාදුන්නා. මහා සඟ පිරිවරකින් යුක්ත වුනා. උන්වහන්සේ ලංකාවට ශාස්තෘන් වහන්සේ හා සමානව ලොවට යහපත පිණිස බොහෝ කටයුතු සිදුකොට වදාළා.

32. උත්තිය රජ්ජුරුවෝ රාජ්‍යාභිෂේක කරලා ජයග්‍රාහී අටවෙනි වර්ෂයේ උපසම්පදාවෙන් සැට වසරක් ගත වුන අපගේ මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලේ සෑගිරි විහාරයේ වැඩ වාසය කළා.

33. වප් මාසයේ පුර පක්ෂයේ අටවෙනි දවසේ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ පිරිනිවන් පා වදාළා. ඒ නිසා වප් මාසයේ පුර අටවක දවස උන්වහන්සේගේ නමින් හැඳින්වුනා.

34. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අටවක දා පිරිනිවන් පෑ සේක. එනිසා ඒ පුර අටවක දා ‘ශ්‍රී මිහිඳු පුර අටවක’යි සම්මත වුනා.

35. අපගේ මිහිඳු මහරහතන් වහන්සේගේ පිරිනිවන් පෑම අහන්ට ලැබුනු උත්තිය රජ්ජුරුවෝ ශෝක හුලින් පහර කන ලදුව මිහින්තලේ සෑගිරියට ගිහින් මහරහතන් වහන්සේගේ නිසල ශ්‍රී දේහයට වන්දනා කොට උන්වහන්සේගේ ගුණ කියමින් නොයෙක් ආකාරයෙන් හඬා වැළපුනා.

36. ඊට පසු රන් දෙනක සුවඳ තෙල් පුරවලා මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රී දේහය ඉක්මනින් ඒ රන් දෙණේ තැන්පත් කරවා ඒ දෙන හොඳින් වසා,

37. රන්වන් කුළු ගෙයක් මත තබ්බවලා ඒ අලංකාර කූටාගාරය වඩම්මවාගෙන සාදුනාද පවත්වමින්,

38. ඒ ඒ තැනින් පැමිණි මහාජන ගංගාවෙන් යුතුව මහත් භට සේනාව ලවා නොයෙක් ආකාරයේ පුද පූජාවන් පවත්වමින්,

39. ඉතා අලංකාරව සරසන ලද මාර්ගයෙන් නොයෙක් අයුරින් සරසන ලද අනුරාධපුරයට වඩමවාගෙන ඇවිත් රජවීදියෙහි සංචාරය කරවා,

40. මහා විහාරයට වඩම්මවලා එහි පංච අම්බ මාලකයෙහි කූටාගාරය තැන්පත් කරවා ඒ උත්තිය රජ්ජුරුවෝ සත් දවසක්,

41. විහාරය අවට හාත්පස යොදුනක ප්‍රමාණයෙන් තොරන් බැන්දෙව්වා. ධජ පතාක එසෙව්වා. සුවඳ මලින් සැරසෙව්වා. පුන්කළස් තැබ්බෙව්වා.

42. රාජානුභාවයෙන් මුළු ලංකාව ම ඔය ආකාරයට සැරසෙව්වා. දෙවියන්ගේ දේවානුභාවයෙන් ඒ විදිහට ම අලංකාර වුනා.

43. උත්තිය රජ්ජුරුවෝ සත් දවසක් නොයෙක් ආකාරයෙන් පුදපූජාවන් පවත්වලා නැගෙනහිර දිසාවට වෙන්ට මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කිරීම සඳහා බද්ධමාලක නම් තැනක,

44. සුවඳ දරින් චිතකයක් කෙරෙව්වා. මහාසෑ ප්‍රදක්ෂිණා කරමින් එතැනට වඩමවාගෙන ඇවිත් ඒ ඉතා සිත්කළු කූටාගාරය,

45. චිතකය මත තැන්පත් කරවා අවසාන සත්කාර දක්වා ආදාහනය කළා. මිහිඳු මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේලා අඩක් නිධන් කරලා එතැන චෛත්‍යයක් කෙරෙව්වා.

46. උත්තිය රජ්ජුරුවෝ ධාතූන් වහන්සේලාගෙන් අඩක් වඩමවාගෙන ගිහින් මිහින්තලේ සෑගිරියේ වඩාහිඳෙව්වා. සියලු විහාරවල ස්ථූපයන් කෙරෙව්වා.

47. මිහිඳු මහරහත් ඍෂීන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කළ ඒ ස්ථානය එතැන් පටන් උන්වහන්සේට කරන ගෞරවයක් ලෙස ඉසිභූමංගන කියා කියනවා.

48. එතැන් පටන් මහා විහාරය අවට යොදුන් තුනක ප්‍රමාණයක් තුළ වැඩ විසූ ආර්යයන් වහන්සේලා කලුරිය කළාට පස්සේ උන්වහන්සේලාගේ ශ්‍රී දේහයන් ද රැගෙනවිත් ඒ ප්‍රදේශයේ ම යි ආදාහනය කරන්නේ.

49. මහත් අභිඥා ඇති මහත් නුවණ ඇති අපගේ සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේ තම සහෝදර මිහිඳු මහරහතන් වහන්සේ සෙයින් ම ලෝකයට හිතසුව පිණිස පවතින බුද්ධ ශාසනයට අයත් බොහෝ කටයුතු සම්පූර්ණ කරලා,

50. උත්තිය රජ්ජුරුවන්ගේ නවවෙනි ඛේම නම් වර්ෂයේදී උපසම්පදාවෙන් පනස්නව වසරක වස් ඇති සංඝමිත්තා තෙරණින් වහන්සේ හත්ථාළ්හක භික්ෂුණී සෙනසුනේ,

51. වැඩවාසය කරමින් සිට පිරිනිවන් පා වදාළා. උත්තිය රජ්ජුරුවෝ මිහිඳු මහරහතන් වහන්සේට වගේ ම සංඝමිත්තා තෙරණින් වහන්සේගේ ශ්‍රී දේහයටත් සත් දවසක් උතුම් පූජා සත්කාර කළා.

52. මිහිඳු මහරහතන් වහන්සේ වෙනුවෙන් කළා වගේ ම මුළු ලංකාව ම සැරසෙව්වා. සංඝමිත්තා තෙරණින් වහන්සේගේ දේහය තැන්පත් කරන ලද කූටාගාරය සත්වෙනි දවසේ,

53. නගරයෙන් පිටතට වඩම්මලා ථූපාරාමයට නැගෙනහිරින් චිත්‍රශාලාව ළඟ ථූපාරාමයෙහි රෝපණය කරන ලද බෝධීන් වහන්සේ වැඩවසන තැන කිට්ටුව,

54. සංඝමිත්තා තෙරණින් වහන්සේ වැඩ වාසය කළ තැන ආදාහන කටයුතු සිදු කළා. ඒ මහා නුවණැති උත්තිය රජ්ජුරුවෝ එතැන ස්ථූපයක් ද කෙරෙව්වා.

55. මිහිඳු මහරහතන් වහන්සේ සමග මෙහි වැඩම කොට වදාළ මහරහතන් වහන්සේලා පස් නමත්, අරිට්ඨ ආදී අනිත් රහතන් වහන්සේලාත් ඒ වගේම නොයෙක් දහස් ගණන් නිකෙලෙස් භික්ෂූන් වහන්සේලාත්,

56. සංඝමිත්තා තෙරණින් වහන්සේ ඇතුළත්ව මෙහි වැඩම කළ දොළොසක් වූ තෙරණින් වහන්සේලාත් බොහෝ දහස් ගණන් නිකෙලෙස් භික්ෂුණින් වහන්සේලාත්,

57. තථාගත ධර්මය පිළිබඳ බොහෝ ඇසූපිරූ තැන් ඇතිව බහුශ්‍රැතව මහා ප්‍රඥා ඇතිව භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම විනය බබුළුවා පිරිනිවන් පෑමට සුදුසු කාලයෙහි අනිත්‍ය භාවයට පත්වුනා.

58. ඒ උත්තිය රජ්ජුරුවෝ දස අවුරුද්දක් ලංකා රාජ්‍යය පාලනය කළා. මෙසේ මේ හටගත් දේ නැසී යන අනිත්‍ය ස්වභාවය සියලු ලෝකය නසා දමනවා.

59. අතිශයින් ම සාහසික වූ ඉතා බලවත් වූ කිසිවෙකුටත් වළක්වාලන්ට නොහැකි වූ මේ අනිත්‍ය ස්වභාවය යම් මනුෂ්‍යයෙක් දැනගෙන සිටත් භව දුකට අයත් අනිත්‍ය වූ සසර ගැන කළකිරෙන්නේ නැත්නම්, කළකිරුනත් පාපයෙන් දුරුවීමත් පින් වලට ඇලීමත් නොකරයි නම්, එය ඔහුගේ දැඩි මෝහයේ ඇති බලවත් බවයි. දැන දැන ම මුළාවට පත්වීම යි.

සත්පුරුෂ ජනයන්ගේ ප්‍රසාදයත් සංවේගයත් ඇතිකරනු පිණිස කරන ලද මහාවංශයෙහි මිහිඳු මහරහතන් වහන්සේගේ පරිනිර්වාණය නම් වූ විසිවෙනි පරිච්ඡේදය යි.