1. උත්තිය රජ්ජුරුවන්ගේ අභාවයෙන් පස්සේ ඔහුගේ මලණු කෙනෙක් වන මහාසිව රජ්ජුරුවෝ යහපත් ජනතා සේවකයෙක් ලෙස දස අවුරුද්දක් රාජ්‍යය කළා.

2. මහාසිව රජ්ජුරුවෝ භද්දසාල මහරහතන් වහන්සේ කෙරෙහි පැහැදිලා නැගෙනහිර දිසාවට වෙන්ට ඉතා සිත්කලු ‘නගරංගණ විහාරය’ කෙරෙව්වා.

3. මහාසිව රජ්ජුරුවන්ගේ අභාවයෙන් පස්සේ ඔහුගේ මලණුවන් වන පින් රැස් කිරීමට මහත් ආදරයෙන් යුක්ත සූරතිස්ස රජ්ජුරුවෝ දස අවුරුද්දක් රාජ්‍යය කළා.

4. සූරතිස්ස රජ්ජුරුවෝ දකුණු දිසාවට වෙන්ට නගරංගණ නමින් විහාරයක් කෙරෙව්වා. නැගෙනහිරට වෙන්ට ඇත්කඳ නමින් විහාරයකුත් ගෝණගල නමින් විහාරයකුත් කෙරෙව්වා.

5. වංගුත්තර පර්වතය පාමුල පාචීනපබ්බත නමින් විහාරයක් කෙරෙව්වා. රෙහෙණ නමැති අමුණ ළඟින් කොළඹගල නම් විහාරයක් කෙරෙව්වා.

6. රිටිගල පර්වතය පාමුල ලංකාරාමය කෙරෙව්වා. අනුරාධපුරයට නැගෙනහිරින් වළස්ගල විහාරය කෙරෙව්වා. නගරයට උතුරු දිසාවෙන් ගිරිනිල්පනාකඩ නමැති විහාරයක් කෙරෙව්වා.

7. සූරතිස්ස රජ්ජුරුවෝ ලංකාද්වීපයේ මහවැලි ගඟෙන් එතෙර මෙතෙර ඒ ඒ ස්ථාන වල පන්සියයක් විහාරයන් කෙරෙව්වා.

8. ත්‍රිවිධ රත්නය කෙරෙහි මහත් ආදර ගෞරව ඇති සූරතිස්ස රජ්ජුරුවෝ රජ වෙන්ට කලිනුත් රජ වුනාට පස්සෙත් සැට අවුරුද්දක් ඒ රම්‍ය විහාරයන් ඉතා යහපත් ලෙස කෙරෙව්වා.

9. රජවෙන්ට කලින් එතුමාව හැඳින්වුනේ සුවණ්ණපිණ්ඩතිස්ස නමින්. රාජ්‍ය පදවි ප්‍රාප්තියෙන් පස්සේ සූරතිස්ස යන නාමය ලැබුනා.

10. අශ්ව නාවිකයෙකුගේ සේන ගුත්තික නමින් දෙමළ පුතුන් දෙදෙනෙක් සිටියා. මහා බලසම්පන්න ඔවුන් ඒ සූරතිස්ස රජ්ජුරුවන්ව ජීවග්‍රාහයෙන් අල්ලාගත්තා.

11. ඔවුන් දෙන්නා අවුරුදු විසි දෙකක් ධාර්මිකව රාජ්‍ය පාලනය කළා. මුටසීව රජ්ජුරුවන්ගේ පුත්‍රයෙක් වන අසේල කුමාරයා සේන ගුත්තික දෙන්නව ජීවග්‍රාහයෙන් අල්ලාගත්තා.

12. මුටසීව රජ්ජුරුවන්ගේ වැඩිමහල් පුත් කුමාරයාගේ නම අභය. ඊළඟට දේවානම්පියතිස්ස, උත්තිය, මහාසිව, මහානාග, මත්තාභය, සූරතිස්ස, කීර ය. ඊළඟට සිටියේ එක කුස උපන් නවවැනියා වූ අසේල කුමාරයා. අනුරාධපුරයේ රජ වූ අසේල රජ්ජුරුවෝ දස වසරක් රජකම් කළා.

13. සොළී රටේ ඉඳන් රාජ්‍යය අල්ලාගන්ට මේ ලංකාවට ආපු ඍජු ස්වභාව ඇති එළාර නම් දෙමළෙක් අසේල රජ්ජුරුවන්ව ජීවග්‍රාහයෙන් අල්ලාගත්තා.

14. ඔහු හතළිස් හතර අවුරුද්දක් ලංකා රාජ්‍යය පාලනය කළා. එළාර රජ්ජුරුවෝ නඩු විසඳන අවස්ථාවේදී සතුරන් කෙරෙහිත් මිතුරන් කෙරෙහිත් මධ්‍යස්ථව තීන්දු දුන්නා.

15. රජ්ජුරුවෝ තමන් සැතපෙන ඇඳට ඉහළින් ඉතා දිග ලණුවක් ඇතිව ඝණ්ඨාරයක් එල්ලා තිබුණා. ඒ සාධාරණ විනිශ්චය කැමති අයට නාද කරනු පිණිසයි.

16. එළාර රජ්ජුරුවන්ට එක පුත්‍රයෙකුයි දුවකුයි සිටියා. රජ්ජුරුවන්ගේ පුත්‍රයා රථයෙන් තිසා වැවට යද්දි,

17. අලුත උපන් වහු පැටියෙක් තමන්ගේ මව් දෙනත් සමග පාරේ ලැගලා හිටියා. පුත් කුමාරයාගේ නොදැනුවත් කමින් රථයෙන් යද්දී රෝදයට බෙල්ල හසුවෙලා වහුපැටියා මැරුනා.

18. ගවදෙන පුත්‍ර ශෝකයෙන් හඬාගෙන ගිහින් ලණුවෙන් ඇද ඝණ්ඨාරය නාද කෙරෙව්වා. රජ්ජුරුවෝ ඒ රථ රෝදෙන් ම සිය පුත්‍රයාගේ හිස සින්දෙව්වා.

19. එක්තරා සර්පයෙක් තල් ගසක සිටි කුරුලු පැටියෙකුව ගිල දැම්මා. මව් කිරිල්ලි ඇවිත් ඒ ඝණ්ඨාරය නාද කළා.

20. රජ්ජුරුවෝ සර්පයා අල්ලාගෙන කුස පලවා කුරුලු පැටියව ඉවත් කළා. යකඩ උලකින් පෙණය විද තල් ගසේ එල්ලුවා.

21. රත්නයන් අතර අග්‍ර වූ තුනුරුවන්ගේ ගුණ සාගරය පිළිබඳ ඒ රජ්ජුරුවෝ නොදැන සිටියත් පරම්පරාගත චාරිත්‍ර අනුව රාජ්‍යය පාලනය කළා.

22. මිහින්තලේ සෑගිරියට ගිහින් භික්ෂු සංඝයාට දන් පිළිගන්වලා ආපසු රථයෙන් එද්දී රථයේ වියගසේ කොණක්

23. භාග්‍යවතුන් වහන්සේගේ ස්ථූපයේ වැදීමෙන් ඒ ස්ථූපයේ කොටසක් කැඩී ගියා. එතකොට අමාත්‍යවරයා ‘දේවයන් වහන්ස, ඔබවහන්සේ අපගේ භාග්‍යවතුන් වහන්සේ සෑය බින්දා නොවැ’ කිව්වා.

24. එතකොට එළාර රජ්ජුරුවෝ තමන් නොදැන කළ දෙයටත් රථයෙන් බැහැලා ‘ඔය රථ රෝදෙන් මගේ හිස සිඳිව්’ කියලා මහපාරේ දිගා වුනා.

25. ‘මහරජ්ජුරුවෙනි, අනුන්ට හිංසා කිරීමට අපගේ ශාස්තෘන් වහන්සේ කිසිසේත් නොකැමති සේක. ඒ නිසා ස්ථූපය ප්‍රකෘතිමත් කරලා බුදුරජාණන් වහන්සේගෙන් සමාව ගත මැනව.’

26. ඒ චෛත්‍යයේ කඩා වැටුනු ගල් පෙළි පහළොවක් නියමාකාරයෙන් තැන්පත් කරවලා කහවණු පහළොස් දහසක් වැය කරලා පිළිසකර කෙරෙව්වා.

27. එක් මැහැල්ලියක් වී වේලාගන්ට අව්වේ වී දැම්මා. එතකොට අකල් වැස්සක් වැහැලා ඇගේ වී ගොඩ තෙමුනා.

28. ඒ මහලු අම්මා තෙමුණ වී අරගෙන ගිහින් ඝණ්ඨාරය නාද කළා. අකලට වැස්ස ඇද හැලීමෙන් වී තෙමී ගිය බව අසා ඒ ස්ත්‍රිය පිටත් කොට යවපු,

29. රජ්ජුරුවෝ ‘ධර්මයෙහි පිහිටා ඉන්නවා නම් කලට වැසි ලැබෙනවා නොවැ’ කියලා ඒ ස්ත්‍රියගේ වචනයට තීරණයක් ගනු පිණිස ලුණු නැති බත් අනුභව කරලා කොළ අතු අතුරා බිම සැතපී වාසය කිරීමේ උපවාසයක් පටන් ගත්තා.

30. රජ්ජුරුවන්ගෙන් බලිපූජා ලබන දේවපුත්‍රයෙක් රජ්ජුරුවන්ගේ තේජසින් තැති අරගෙන සතරවරම් දෙව්මහරජුන් ළඟට ගිහින් මේ කාරණය දැනුම් දුන්නා.

31. සතර වරම් දෙව් මහරජවරු ඒ දේවපුත්‍රයා කැඳවාගෙන ගිහින් ශක්‍ර දේවේන්ද්‍රයාට දක්වා සිටියා. සක් දෙවිඳු පර්ජන්‍ය නමැති වැස්ස වළාහක දෙවියන් කැඳවලා කලට වැසි වස්සවන්ට කියලා අණ කළා.

32. බලි පූජාවන් ගන්න දිව්‍ය පුත්‍රයා රජ්ජුරුවන්ට ඒ කාරණය දැනුම් දුන්නා. එදායින් පස්සේ ඒ රාජ්‍යයේ දහවල් කාලේ වැස්සේ නෑ.

33. සතියක් සතියක් පාසා මධ්‍යම රාත්‍රියේ වැසි ඇදහැලුනා. හැමතැන ම කුඩා වළවල් පවා වැසි දියෙන් පිරී ගියා.

34. මේ රජ්ජුරුවෝ මිත්‍යා දෘෂ්ටිය අත් නොහැර ඉඳගෙනත් සතර අගතිගමන දෝෂයෙන් මිදී වාසය කළ පමණින් මෙබඳු වූ ඉර්ධියකට පැමිණිලා සිටියා. සම්‍යක් දෘෂ්ටියෙන් යුක්ත බුද්ධිමත් මනුෂ්‍යයන් කෙසේ නම් සතර අගතිය දෝෂය අත් නොහැර සිටීවි ද! අත්හරිනවා ම යි!

සත්පුරුෂ ජනයන්ගේ ප්‍රසාදයත් සංවේගයත් ඇතිකරනු පිණිස කරන ලද මහාවංශයෙහි රජවරු පස්දෙනාගේ පාලනය නම් වූ විස්එක්වෙනි පරිච්ඡේදය යි.