අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සරල සිංහලට පරිවර්තනය කරන ලද ”මහාවංශය අවසාන භාගය” ග්රන්ථ රත්නය එළිදැක්වීමේ මහා පුණ්‍ය මංගල්‍යය පසුගිය නොවැම්බර් මස 10 වන දින ඉරිදා උදෑසන 8.00 සිට 10.00 දක්වා කඩුවෙල නගර මධ්‍යයේ දී පැවැත්වුනි. එහිදී ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙම ඓතිහාසික මහා ග්රන්ථ රත්නය පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පිළිගන්වන ලදී.
එම උත්සව සභාවේ ඡායාරූප එකතුව >>
උත්සව සභාවේ වීඩියෝ දර්ශන >>
මේ ඔබ අතට පත්වන්නේ සිංහල මහාවංශයෙහි අවසාන කොටස ය.
විජය රාජකුමාරයාගෙන් ආරම්භ වූ ලක්දිව මනුෂ්‍ය වාසය දඹදිව රාජවංශයන්ගේ සහායයෙන් ක්රමානුකූල වූ රාජාණ්ඩු ක්‍රමයක් තුළ සකස් විය.
දෙවනපෑතිස් රජු දවස, ලක්දිවට ශාස්තෘන් වහන්සේනමක් බඳු අප මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීමත් සමග ම ලංකාවෙහි බුදු සසුන ස්ථිරව පිහිටන බවට බුදුරජාණන් වහන්සේ විසින් සක් දෙවිඳුට වදාළ වචනය සත්‍ය බවට පත්විය. එතැන් පටන් අපගේ මේ ලක්දිව ගෞතම බුදු සසුනට ඉතාමත් ම හිතකර වූ වටපිටාවකින් යුතු සොඳුරු දිවයිනක් බවට පත්විය.
වරින් වර දකුණු ඉන්දියාවෙන් කඩාවදින ආක්‍රමණයන්ගෙනුත්, ඔවුන් විසින් අඛණ්ඩව කරනු ලබන මංකොල්ලකෑම්වලිනුත් ලක්දිව පීඩාවට පත්වූයේ සුළුපටු අයුරකින් නොවේ. එමෙන්ම පෘතුගීසි, ලන්දේසි, බි්රතාන්ය ආක්‍රමණයන්ගෙන් ලක්දිව පෙර ඉතිහාසයේ නොවූ විරූ අයුරින් විපර්යාසයන්ට බඳුන් විය.
පෘතුගීසීහු විසින් වෙරළබඩ සිංහල බෞද්ධයෝ කඩුවේ සහ බයිනේත්තුවේ බලයෙන් ඉතා ක්‍රෑර ලෙස මැඩලමින් ඔවුන්ගේ රෝමානු කතෝලික ආගමට ගන්නා ලද්දාහ. නමුත් පෘතුගීසීන් ප්‍රදේශය හැරගිය සැණින් රෝමානු කතෝලිකකරණයට ලක්වූ බොහෝ සිංහලයෝ නැවත බුදුදහම වැළඳගත්තෝය. ලන්දේසි යුගයේත් වූයේ එබන්දකි. ලන්දේසීහු රෝමානු කතෝලිකයන්ගේ පරම සතුරෝ වූහ. ඔවුහු බෞද්ධයන්ට සේ ම රෝමානු කතෝලිකයන්ට ද නිර්දය ලෙස පීඩා කළෝය. ලන්දේසීන් විසින් වපුරන ලද්දේ ක්‍රිස්තියානිය යි. නමුත් ලන්දේසි යුගයේ පවා ලන්දේසීන්ගේ ග්රහණයෙන් මිදුනු සැණින් බොහෝ සිංහලයෝ යළි බුදුදහම වැළඳගත්තාහුය.
සිංහලයන් විසින් බුදුදහමට දක්වන මෙම අසාමාන්‍ය ලෙන්ගතුකම ගැන අධ්‍යයනය කරන්ට සමත් වූවෝ ඉංග්‍රීසීහු ය. ඔවුහු සිංහල බෞද්ධයන්ව නොයෙක් උපායික මාර්ගවලින් ක්‍රිස්තියානි කරන්ට සමත් වූහ. එතැනින් නොනැවතුණු ඔවුහු තමන් ක්‍රිස්තියානි ආගමට හරවාගත් සිංහලයන් ලවා දිගින් දිගටම බුදුදහමට නින්දා කරන්ටත්, ගරහන්ටත්, බුද්ධ චරිතය කෙලෙසන්ටත් නොපසුබටව කටයුතු කළෝය. පානදුරාවාදය ආදී සුප්‍රසිද්ධ වාදයන් ඇතිවූයේ එහි ප්‍රතිඵලයක් ලෙස ය.
ඉංග්‍රීසීන් විසින් ඉතා සාහසික ලෙස ආගමික මත ඔස්සේ බිඳුවන ලද සිංහල සමාජය යළි සමගි නොකළ හැකි ලෙස දෙකඩ වී ගියේය. සිංහලයන්ගේ ඤාති මිත්‍රකම් ද පළුදු වී ගියේය. එකම නිවසේ විවිධ ඇදහීම් මුල්කොට කෙළවරක් නැති ආරවුල් හටගත්තේය. මෙසේ බෞද්ධ සංස්කෘතියට එරෙහි, සිංහල ජාතිය නියෝජනය නොකරන සිංහලයන් පිරිසක් බිහිකරගන්ට සුද්දන්ට හැකියාව ලැබුණේය.
මහාවංශයෙහි බි්රතාන්ය ආක්‍රමණය ගැන ගාථා බන්ධනයෙන් කෙරෙන විස්තරයක් නැත්තේය. මෙහි අවසාන පරිච්ඡේදය කෙටියෙන් පවසා අවසන් කොට තිබේ. ඕලන්දක්කාර ක්‍රෑර නායකයෙක් මහනුවර ආක්‍රමණය කළ විස්තර පමණක් ඇත්තේය. එනිසා ඔවුන්ගේ ම්ලේච්ඡ ක්‍රියාවන් ගැන වාර්තාවන් බොහෝ විට මහාවංශය තුළින් දකින්ට නැත්තේය.
එමෙන්ම සිංහලයන් රාජ්‍ය ලෝභයෙන් එකිනෙකාගේ ඇණකොටාගැනීම් ද හේතුවෙන් වරින් වර ලංකා රාජ්‍යය ඉතා දුර්වල අඩියකට වැටුණේය. ලංකාවෙහි බලවත් සිංහල රජෙකු නොමැති අවස්ථාවන්හිදී පරිහානියට පත්වන්නේ එහි ආරක්ෂාවත්, ආර්ථිකයත්, ජනතා සමෘද්ධියත් පමණක් නොවේ. ලංකාවෙහි ආධ්‍යාත්මික රැකවරණය සලසන සංඝයා වහන්සේ ද එකල්හි පිරිහීමට පත්වෙති. නොයෙක් දෘෂ්ටිවලින් ඔවුහු ආකූල ව්‍යාකූල වෙති. සිල් ගුණදම්වලින් බැහැර වෙති. ඍජු ගුණැති, පුණ්‍යානුභාවයෙන් හෙබි රජවරු නැති ඕනෑම කාලයකදී ඒ දුර්දශාව ලක්දිවට උදාවේ.
මහාවංශයේ අවසන් භාගයෙහි එවන් සත්‍ය තොරතුරු බොහෝ ය. විශේෂයෙන් මේ කොටසෙහි ශ්‍රේෂ්ඨ රජවරු දෙදෙනෙකු ගැන සඳහන් වෙයි. පොළොන්නරු රාජධානිය අතිශයින් උද්දීප්තියට පත්කළ මහාපරාක්‍රමබාහු රජතුමා පළවෙනියා ය. දඹදෙණි රාජ්‍යයෙහි රජකළ කලිකාලාදී සාහිත්‍ය සර්වඥ පණ්ඩිත පරාක්‍රමබාහු රජු දෙවෙනියා ය. මේ රජවරු දෙදෙනා පිළිබඳව අතිශයින් වර්ණනාත්මක විස්තර මෙහි සඳහන් වෙයි.
විශේෂයෙන් සඳහන් කළයුතු දෙයක් ඇත්තේය. මහාපරාක්‍රමබාහු රජතුමාගේ කාලයෙහි දකුණු ඉන්දියාවේ මධුරා පුරයෙහි පඬිරජෙක් තමන්ට උදව් ඉල්ලා හසුනක් එව්වේය. මහපැරකුම්බා රජු විසින් ඒ පඬිරජුගේ රාජ්‍යය යළි ඔහුට ලබාදෙන ලෙස කියා ලංකාපුර දණ්ඩනාථ නමැති සිංහල සෙන්පතියා සිංහල සේනාවත් සමග මධුරාපුරයට යවන ලද්දේය. එහිදී ලංකාපුර සෙන්පතියා සතුරු බලවේග සමග සටන් කොට දිනා ඒ පඬිරජුගේ පුත්කුමරුට යළි රාජ්‍යය ලබාදී කටයුතු කොට ඇති ආකාරය පුදුම සහගත ය.
දෙමළ ආක්‍රමණයන්ගෙනුත්, යුරෝපීය ආක්‍රමණයන්ගෙනුත් හුස්ම ගත නොහැකි ලෙස බැට කෑ සිංහල අපට අපගේ සිංහල සෙන්පතියෙක් දකුණු ඉන්දියාවේ මධුරා පුරයට ගොස් ධර්ම නීතියෙහි පිහිටා මංකොල්ලකරුවන් බවට පත්නොවී රාජ්‍ය සාධා ඇති ආකාරය තුළ සිංහලයාගේ වැදගත්කම මොනවට විදහා දක්වයි. එමෙන්ම බුදුදහමින් සුපෝෂිත වූ සිංහල ජාතියේ අභිමානය ද මොනවට දිස්වෙයි.
අනුරාධපුර යුගයේ රජවරු බොහෝ විට සිය රාජකාරි කළාහු පළමුකොට ශ්‍රී මහා බෝධියත්, රුවන්වැලි මහාසෑයත් වන්දනා කිරීමෙනි. රාජධානිය දකුණු ප්‍රදේශයට පැමිණීම නිසා ඔවුන් හට සියලු රැකවරණ සලසා දුන්නෝ දළදා වහන්සේ ය. රුවන්වැලි මහාසෑය, මහාබෝධිය මතකයෙන් ගිලිහී යද්දී ඔවුහු සිරස මත දළදා වහන්සේ වඩාහිඳුවා ගත්තෝය. ඒ බව මෙහි මැනවින් පැහැදිලි කොට පෙන්වයි. යම් හෙයකින් සිංහල රජවරු සිය රාජධානිය අනුරාධපුරයෙන් පිට නොගොස් දිගටම පැවැත්වූවාහු නම් බොහෝ සෙයින් සිංහල රාජධානියේ පරිහානිය වළක්වාගත හැකිව තිබුණේ යැයි සිතේ.
එකල රාජ්‍යයත් බුදුදහමත් අතර ඇති සම්බන්ධය බලනවිට බි්රතාන්ය ආක්‍රමණිකයන් විසින් සිංහල රාජ්‍යයත් බුදුදහමත් අතර ඇති සම්බන්ධය නැත්තට නැතිකරන ලද්දේ යැයි සිතිය හැක. බි්රතාන්ය ආක්‍රමණිකයන් විසින් සිංහල බෞද්ධ සමාජය උඩුයටිකුරු කරන ලදී. නැවත මෙය කවදා ප්‍රකෘතියට පත්කළ හැක්කේ දැයි කිසිවෙකුට කිව නොහැකිය.
මේ මහාවංශය වනාහී අති දුර්ලභ ඓතිහාසික තොරතුරු ඇතුලත් අනර්ඝ වූ ඓතිහාසික ග්රන්ථයකි. එහෙත් ළාමක මිනිසුන් විසින් මේ ග්රන්ථයට ‘මුසාවකි’ යි කිය කියා හෙළාදැකීම බරපතල වරදකි. හෙළාදකින්ට පෙර මෙය සම්පූර්ණයෙන් කියවා බැලීම නුවණැති කාගේත් සාධාරණ යුතුකමකි. මහාවංශය කියවාගෙන යාමේදී බොහෝ වර අපට සිතුනේ ‘මෙතෙක් කලක් මෙය කියවන්නට පමා වූයේ මොන අවාසනාවකට ද?’ යන කාරණය යි. එතරම් ම වටිනා ඓතිහාසික තොරතුරුවලින් මහාවංශය සුපෝෂිත ය.
මෙම සරල සිංහල අනුවාදය උදෙසා සහය කරගත්තේ අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක මාහිමියන් වහන්සේ සහ බටුවන්තුඩාවේ පඬිතුමා විසින් සකස් කරන ලද මහාවංශයත්, ඡට්ඨ සංගායනාවෙන් සකස් වූ මහාවංස පාළියත් ය. එමෙන් ම මහාවංශයේ සරල අනුවාදයන් රාශියක් තිබෙන බව අපට දකින්ට ලැබිණි. මහාවංශය නමැති ශ්‍රේෂ්ඨ ඉතිහාස කථාව සිංහල ජනතාවට කියවන්නට සැලැස්වීම උදෙසා ඒ ඒ පඬිවරුන් ගත් වෑයම සදා ප්‍රශංසනීය ය.
මහාවංශයෙහි මෙම අවසන් කොටසෙහි පරිච්ඡේද හතළිස් එකක් ඇත්තේය. අප විසින් මහාවංශයේ සියලු ගාථාවන් සිංහලට නගා අවසන් කරන ලද්දේය. මෙහිදී විශේෂයෙන් පුණ්‍යානුමෝදනා කටයුතු දෙදෙනෙකු ඇත්තේය. මා හට මහාවංශයේ පාළි ගාථා කොටස සොයාගන්ට නොහැකිව සිටියදී එය සොයාදුන්නේ අපගේ හිතමිත්‍ර පින්වත් ගයාන් චානුක විදානපතිරණ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යතුමා ය. එමෙන්ම බොරැල්ලේ ත්‍රිපිටක සදහම් පොත්මැදුරෙහි පින්වත් එරික් ප්‍රනාන්දු මහතා ද අපට බොහෝ සෙයින් උපකාරී වූයේය. ඒ පින්වතුන් දෙදෙනාට ද මේ පින අයිති වේවා!
මෙම මහාවංශය කියවීමේදි ඇතැම්විට ශ්‍රද්ධාවෙන් අපගේ සිත පිනායයි. සිත පහන් වෙයි. එමෙන් ම ඇතැම් රජවරුන් විසින් කරන ලද නොයෙකුත් ක්‍රියාවන් ද ඇතැම්විට සිදුවන ලද කුමන්ත්රණයන් ද විශේෂයෙන් සිංහල ජාතියටත් රාජ්‍ය තන්ත්රයටත් සිදුවන විනාශයන් කියවනවිට කෙලෙස්වල ඇති භයානක ස්වභාවයත් සංසාරයෙහි ඇති නීච ස්වභාවයත් ධර්මයෙන් තොර වූ අසත්පුරුෂ ඇසුරේ භයානකකමත් නිතැතින් ම වැටහෙයි. එවිට අප තුළ ධර්ම සංවේගයක් හටගනී. මහාවංශ ප්‍රථම භාගයෙහි කර්තෘවර මහානාම මාහිමියන් වහන්සේ අපට යෝජනා කරන පරිදි ඒ ඒ තැන් වලදී ප්‍රසාදයත් සංවේගයත් ඇති කරගත මැනව.
මෙය බොහෝ දෙනෙකුට සුවසේ කියවා සිංහලයාගේ ප්‍රෞඪ ඉතිහාසය පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගත හැකිය. දැනට නානා මාධ්‍යයන් තුළින් ද අපගේ ඉතිහාසය පිළිබඳව පතුරුවා හරිනු ලබන විකෘතියට පත් දුර්මත දුරුවී ගොස් බොහෝ දෙනා හට යහපත සැලසේවා!
මෙයට,
ගෞතම බුදු සසුන තුළ
මෙත් සිතින්,
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
ශ්‍රී බු.ව. 2563 වප් මස 19 දින (2019.10.19)
විමසීම්
මහාමේඝ ප්‍රකාශකයෝ,
වඩුවාව, යටිගල්ඔලුව, පොල්ගහවෙල.
දුරකතන – (+94) 37 205 3300
(+94) 76 8255 703
ඊමේල් – mahameghapublishers@gmail.com
ත්‍රිපිටක සදහම් පොත් මැදුර
අංක 70/A/7/OB, YMBA ගොඩනැගිල්ල, බොරැල්ල, කොළඹ 08
දුරකතන – (+94) 77 47 47 161
(+94) 11 425 59 87
ඊමේල් – thripitakasadahambooks@gmail.com
තැපැල් මගින් නිවසට ම ගෙන්වා ගැනීම සඳහා විමසන්න – (+94) 76 8255 703