නව ව්‍යවහාර වර්ෂයට සෙත් පතා ශ්‍රද්ධා රූපවාහිනියෙන් විශේෂ පින්කමක්
උදා වූ නව ව්‍යවහාරික වර්ෂයට සෙත්පතා ශ්‍රද්ධා මාධ්‍යජාලය මඟින් ඊයේ දිනයේදී (2017-12-31) ආශීර්වාදාත්මක බෝධි වන්දනාවක් සහ සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් ශ්‍රද්ධා රූපවාහිනිය සුපිහිටි කඩුවෙල හේවාගම මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුවේදී පවත්වන ලදී. දහස් සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුනු මෙම අසිරිමත් පින්කමේදී මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ සහ ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ නිර්මාතෘ අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් විශේෂ ධර්ම දේශනාවක් ද පවත්වන ලදී. එම ධර්ම දේශනාවේදී උන්වහන්සේ විසින් ඉස්මතු කොට පෙන්වන ලද්දේ උදාවන නව ව්‍යවහාර වර්ෂයේදී ධර්මයේ නාමයෙන් පවසන අධර්මයන්ට මුළා නොවී නුවණින් යුක්තව කටයුතු කොට තමන්ගේ තිසරණය ආරක්ෂා කොටගෙන තිසරණ සරණ තුළ පිහිටා සිටීමට වීරිය ගත යුතු බවයි. එමෙන්ම ශ්‍රද්ධා රූපවාහිනිය ආරම්භයේ පටන් මෙම පස් අවුරුදු කාලය තුළ ශ්‍රද්ධා වාර්ෂික ධර්මදාන දායකත්වය දරමින් මෙම සුවිශාල ධර්ම ප්‍රචාරක සේවාවට ආධාර උපකාර කරන සියලු පින්වතුන්ට ආශීර්වාද කොට පින් අනුමෝදන් කරන ලද අතර විශේෂ පුණ්‍යාවර්ජනා වීඩියෝ පටයක් ද විකාශය කරන ලද්දේ ශ්‍රද්ධා රූපවාහිනිය මගින් මෙතෙක් සිදුකළ ධර්ම ප්‍රචාරක සේවාව සහ සමාජ සත්කාර සේවාවන් සියලු දෙනාට සතුටින් අනුමෝදන් වීම පිණිස ය.










