BlogTemplate

සළු සොරකමෙන් විඳි අපා දුක තිසරණයේ බලයෙන් දුරු වූ අයුරු

නිදාගත් ජාතියට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගෙන් පාඩමක් – 16

දිනෙදා අප දවන ප්‍රශ්න සඳහා මූලය වැපිරෙන්නේ කෙසේද…? ඒ සඳහා සදහම් මඟෙන් අපට බණ දේශනා කරන්නේ පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ය. උන්වහන්සේ පසුගිය සතියේ වදාරණ ලද්දේ අප සුළු යෑයි සිතන සමහරක් පාප ක්‍රියා පිළිවෙතේ, බරපතළ ආදීනවයන් පිළිබඳවය. මේ සතියේ පලවන්නේ එහි තවත් කොටසක්ය.

කර්ම එකතු වේවි දිග් ගැස්සෙන්නේ තමන්ගේම මෝඩකමින් තමයි. සොරකමේත් මේකමයි වෙන්නේ. ඉහළම ආයතනවල සිට පුංචි තැන දක්වා සොරකම් කිරීම තියෙනවා. මේවායෙන් බොහෝ අකුසල රැස්වේ. ඔය කොමිස් ගැහිල්ල, පොඩි පොඩි අල්ලස් ගැනිලි ආදියත් අයිති වෙන්නේ ඒ ගණයට. මේ සඳහා හොඳ කතාවක් ධර්මයේ තියෙනවා. ඛල්ලාටිය ප්‍රේත කතා වස්තුව තථාගතයන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරන කාලයේ සිදු වූ සිදුවීමක්. මෙම කතාවේ සඳහන් වන්නේ තට්ට හිසක් ඇති ප්‍රේතියක් පිළිබඳව යි.

අතීතයේ බරණැස් නුවර එක්තරා වෛශ්‍යාවක් සිටියා. ඇය ඉතාමත් සිත්කලු රූපයකින් යුක්තයි. ඉතා ප්‍රසන්නයි. දුටු දුටුවන් පහදවන සුලුයි. ඇයගේ කේශ කලාපය ද ඉතාමත් දිගයි. මනහරයි. නිල්වන්ය. මෘදුයි. සිනිඳුයි. අගින් නැමී තිබුණා. නොවිසිරි මෙවුල් කලාපයන් වගෙයි. ඒ ගමෙහි විසූ තරුණයෝ ඇගේ කෙස් කළඹේ ශෝභාව දැක ඇය කෙරෙහි සිත් බැඳ ගත්තා.

ඇගේ මේ කේශ කලාපයට ඒ ගමේ විසූ කාන්තාවන් කිහිප දෙනෙක් ඊර්ෂ්‍යා කළා. ඔවුන්ට ඒ සුන්දරත්වය ඉවසිය නොහැකි වුණා. ඒ කාන්තාවන් ඇගේ මෙහෙවර කරන එක් දාසියකට මුදල් ලබා දී ඒ දාසිය ලවා ඇගේ හිසකෙස් ගැලවී යන බෙහෙතක් ලබා දෙනු ලැබුවා. ඒ දාසිය ඒ බෙහෙත ඇය ස්නානය කරන විට හිසේ ගල්වන කුඩු සමඟ මිශ්‍ර කළා. දිනක් ඒ වෛශ්‍යාවිය ගංගානම් ගඟෙහි ස්නානය කරන විට ඇය අතට අර බෙහෙත් යෙදූ හිස් සෝදනය ලබා දුන්නා. ඇය එය ගල්වා දියේ ගිලුණා පමණයි, හිස් කෙස් මුළුමනින්ම ගැලවී ගියා. ඇගේ හිස තිත්ත ලබු ගෙඩියක් වාගේ වුණා. ඇය ඉදිරුණු කෙස් ඇතිව, හිඳින ලද මුදුන ඇති පරවියෙක් මෙන් අවලස්සන වුණා. ඉතාම ලැජ්ජාවට පත්වුණා. නැවතත් තමා සිටි නුවරට යා නොහැකි බැවින් හිසෙහි රෙදිකඩක් දවටාගෙන පිටනුවර එක්තරා පෙදෙසක වාසය කළා. කාලයකදී ඇගේ ලැජ්ජාව අඩුවුණා. ඇය තලතෙල් හා රා වෙළෙඳාම් කරමින් ජීවත් වුණා.

එක් දිනකදී ඇය මද්‍යසාර පානය කර වෙරි වී සිටි මිනිසුන් කිහිප දෙනෙකුගේ ලිහිල් වී තිබූ ඇඳිවත සොරාගත්තා. දිනක් පිඬු සිඟා වඩින රහතන් වහන්සේ නමක් දැක සිත පහදවාගෙන තම ගෙට වඩම්මවා අසුනක් පනවා එහි වඩාහිඳුවා තෙල් මිශ්‍ර වූ වැගිරෙන ගතිය ඇති කැවුම් පූජා කළා. ඒ රහතන් වහන්සේ ඇය කෙරෙහි අනුකම්පාවෙන් එය පිළිගෙන වැළඳුවා. ඇය පහන් සිත් ඇතිව තෙරුන්ගේ හිසට කුඩයක් අල්වාගෙන සිටියා. රහතන් වහන්සේ ඇගේ සිත සතුටුවන ආකාරයට බණ අනුමෝදනාව සිදුකොට වැඩියා. අර ස්ත්‍රිය ද පින අනුමෝදන් වුණු අතර “මගේ හිසකෙස් දිගුව සිහින්ව මුදුව අක්බඹරු වී පිහිටාවායි” ප්‍රාර්ථනාවක් සිදුකළා.

කාලයත් සමඟ ඇය මියගොස් පින් – පව් කුසලාකුසල කර්මයන්ගේ විපාකය අනුව මුහුද මැද රන් විමනෙක හුදකලාවෙ ම උපන්නා. ඇගේ කේශය ප්‍රාර්ථනා කළ අයුරින්ම බැබළීමෙන් පිහිටියා. මිනිසුන්ගේ ඇඳිවත සොරකම් කළ නිසා ඒ අකුසලයෙන් නග්නව උපන්නා. ඇය ඒ විමානයේ නැවත නැවත ඉපදෙමින් එක් බුද්ධාන්තරයක් මුළුල්ලෙහි නිර්වස්ත්‍රව කල් යැව්වා. අනතුරුව අපගේ තථාගතයන් වහන්සේ ලොව පහළ වී සැවැත්නුවර වැඩවාසය කරන සමයේ එනුවර වැසි සියයක් පමණ වෙළෙන්දෝ ස්වර්ණ භූමියට යනු පිණිස නැව් නැග්ගා. චණ්ඩ වූ සුළං වේගය නිසා ඒ නැව ගසාගෙන ගොස් විමාන ප්‍රේතිය විසූ ප්‍රදේශයේ නැවතුණා. එවිට ඒ ප්‍රේතිය විමානයත් තමාත් අර වෙළෙඳුන්ට පෙනෙන්ට සැලැස්සුවා. ඒ දුටු ප්‍රධාන වෙළෙන්දා මෙසේ විමසුවා.

“ඔය විමානයේ ඇතුළේ ඉන්න ස්ත්‍රිය කවුද? විමානයෙන් එළියට එන්නේ නැත්තේ මොකද? පින්වතිය, ඔය විමානයෙන් ඔබ එළියට එන්න. අපි මහ ඉර්ධි ඇති ඔබව දැකගන්නට කැමැතියි.”

“මම දුකෙන් ඉන්නේ. මට ලැජ්ජයි. මගේ ඇඟේ නූල් පොටක් නැහැ. මට එළියට එන්න විදිහක් නැහැ. මුළු ශරීරයම වැහිලා තිබෙන්නේ කෙස්වලින්. මං පුංචි පිනක් කරගත් කෙනෙක්.”

“හොඳයි, මම දැන් ඔබට මගේ මේ උතුරු සළුව පූජා කරනවා. මේ වස්ත්‍රය පොරෝගන්න. ඊට පස්සේ විමානයෙන් එළියට එන්න.”

“අතින් අතට දෙන දෙයක් ලබාගන්නට කැප නැහැ. ඔය පිරිස අතර සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රද්ධා සම්පන්න උපාසක කෙනෙක් ඉන්නවා. එතුමාට මේ වස්ත්‍රය පොරවන්න. ඊට පස්සේ ඒ පින මට දෙන්න. එතකොට මම හැම අතින්ම සැපවත් වෙලා සුවපත් වෙනවා. ඒ වෙළෙඳ පිරිස ඒ උපාසකතුමා හොඳට නහවා සුවඳ ගැල්වුවා. වස්ත්‍ර හොඳට ඇන්දුවා. ඒ ප්‍රේතියට ඒ පින අනුමෝදන් කළා. ඇයට පින්දෙන විට පුණ්‍ය විපාකය ඉපදුණා. භෝජන, ඇඳුම් පැළඳුම් පැන් ආදිය පහළ වුණා. මෙය තමයි දානයෙහි ඵලය.

ඒ වගේම ඇගේ සිරුර පිරිසුදු වුණා. පවිත්‍ර වස්ත්‍රවලින් සැරසිණා. ඒ වස්ත්‍ර කසීසළු වලටත් වඩා උතුම්. ඕ සිනහ වෙවී විමානයෙන් එළියට ආවා. මෙය තමයි දානයේ ඵලය. “ඔබේ දිව්‍ය විමානය ඉතාමත් විචිත්‍රයි. සිත්කලුයි. බබළනවා. පින්වත් දෙව්දුව අපි අහන්නේ මොනවගේ පුණ්‍ය කර්මයකින් ද මේ විපාකය ඇතිවුණේ?”

“ස්වාමීන් වහන්සේ නමක් පිඬුසිඟා වැඩියා. සෘජු සිත් ඇති උන්වහන්සේ ගැන මම ගොඩාක් පැහැදුණා. මම උන්වහන්සේට තෙල් කැවුමක් පූජා කළා. ඒ පිනේ විපාකයක් ලෙස මං මේ විමානයේ ඉපදිලා බොහෝ කාලයක් තිස්සේ සැප වින්දා. දැන් ඒ පින ගෙවිලා තව ස්වල්පයයි තිබෙන්නේ. තව හාරමාසයකට පස්සේ මම චුත වෙලා භයානක වූ කටුක වූ අවීචි මහ නිරයේ ඉපදෙනවා.

ඒ නිරයේ කොන් හතරක් තිබෙනවා. දොරවල් හතරක් තිබෙනවා. ඒවා කොටස් වශයෙන් ගානට බෙදලයි තිබෙන්නේ. වටේට ම තියෙන්නේ යකඩ පවුරක්. වහලා තියෙන්නේ යකඩ පියනකින්. ඒ අවීචි මහ නරකාදියේ ඇවිලෙන ගිනිදැල් හරිම සැරයි. ඒ සැර යකඩ භූමියේ හැම තිස්සේම යොදුන් සියයක් පුරාවට ගිනි දැල් පැතිරිලා තිබෙනවා. මට එහි ඉපදිලා දීර්ඝ කාලයක් දුක් විඳින්ට වෙනවා. කරපු පව්වලට විපාක තමයි. ඒ ගැන මම ගොඩාක් ශෝකයෙන් ඉන්නේ.”

අර උපාසකතුමා ඒ වෙලාවේ මේ දිව්‍යාංගනාවට තවත් යෝජනාවක් කළා. ”ඔබ මට දානය දීලා මේ සම්පත ලැබුවා නම් මෙතැන තිසරණය සරණ ගිය සිය දෙනෙක් ඉන්නවා. ඒ සිය දෙනාට දානය දීලා, ඔබ නිරයේ යන එකෙනුත් නිදහස් වෙන්න” කියලා කිව්වා. ඒ පාර අර දිව්‍යාංගනාව එහෙම දානය දුන්නා. ඊට පස්සේ මේ පිරිසට භාග්‍යවතුන් වහන්සේට පූජා කරන්න කියලා, දිව්‍ය වස්ත්‍ර දෙකකුත් මේ දේවතාවිය දුන්නා. නැවට යන්න දේවතාවිය උපකාර කළා. මේ දේවතාවියගේ උපකාරයෙන් පිරිස ජේතවනාරාමයට ගිහිල්ලා, බුදුරජාණන් වහන්සේට හා මහා සංඝරත්නයට දානය පූජා කරලා අර වස්ත්‍ර දෙකත් පූජා කළා. “ස්වාමීනි, අපිට මුහුද මැදදී හමුවුණු විමාන ප්‍රේතිය උදෙසා මේ පිංකමෙන් ලැබුණු පින් අනුමෝදන් කරන්න” කියලා කිව්වා. ඒ පින් ලැබුණු ගමන් ප්‍රේතිය එතැනින් චුත වුණා. තව්තිසාවේ උපන්නා.

බලන්න… නිරයේ යන්න තිබිච්ච කෙනා, ඒකෙන් වැළකිලා තව්තිසාවට ගිය හැටි… මේ වගේ මහානුභාව සම්පන්න තිසරණය තිබියදී තමයි මිනිස්සු මේ සොරකම්වලට අහුවෙවී දුක් විඳ විඳ යන්නේ. මේ වස්ත්‍ර සොරකමක් නිසා වින්ද දුකක්. එහෙම නම් මහජන දේපළ සොරා කෑම, කොමිස්වලින් ගසා කෑම, ආදියෙන් කොහොම දුක් විඳින්න වෙයිද කියලා හිතන්න. මේ අය ඒ සල්ලි වලින් සල්ලාල ජීවිත ගත කරන්න පටන් ගන්නවා. ඊළගට සොරකම විතරක් නෙමෙයි, තිසරණයත් නැති කරගන්නවා. එහෙම කරලා උපනූපන් ආත්මවල දුක් විඳිනවා. ඊළඟ ආත්මවල රැකී රක්ෂා නැතිවෙනවා. ව්‍යාපාර බංකොලොත් වෙනවා. අන්ත දුප්පත් වෙලා උපදිනවා. පරම්පරා ගත වස්තුව අහිමිවෙනවා. මේ වගේ බොහෝ හානි සිද්ධ වෙනවා.

කාමයේ වරදවා හැසිරීමත් මේ වගේමයි. අංග විකල, බෙලහීන, ශාරීරික වශයෙන් ජවයක් නැති, දුර්වල පුද්ගලයන් ලෙස ඉපදෙනවා. නොයෙක් හිංසාකාරී ලෙස ප්‍රේත ආත්මවල උපදිනවා. එක ප්‍රේත ආත්මයක් තියෙනවා, ඒක සම්පූර්ණ අසූචි වළක්. ඒ අසුචිවලේ මහලු ප්‍රේතයෝ වෙලා උපදිනවා. නාකි ප්‍රේතයන්, නාකි ප්‍රේතියන්ගේ ස්ත්‍රී නිමිත්ත දෙස බලාගෙන ඉන්නවා. නාකි ප්‍රේතියන් නාකි ප්‍රේතයන්ගේ පුරුෂ නිමිත්ත දෙස බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්න කොට ඇස් ඉදිමිලා ඇස් පුපුරනවා. ඒ පිපුරුණු ඇස් කන්න සත්තු එනවා. විෂ තුඩ තියෙන ඒ කුරුමිණියෝ ඇස් වලින් පටන් අරගෙන මුළු ශරීරයම කාලා දානවා. මේ කාමය වරදවා හැසිරීමේ විපාක.

දැන් බොරු කීම විලාසිතාවක් වෙලා. පොඩි බොරුවක් නැතුව ජීවත් වෙන්න අමාරුයි කියන තරමට අද බොරුව සමාජයේ ව්‍යාප්ත වෙලා. බොරු කියන කෙනාට කරන්න බැරි අකුසලයක් නැහැ කියලයි, ධර්මයේ සඳහන් වෙන්නේ. බොරු කියන කෙනා අසත්‍ය සත්‍ය කරලා කතා කරනවා. සත්‍ය අසත්‍ය ම කරලා කතා කරනවා. එහෙම කරලා තමන්ගේ පැත්තට ලාභය ලබාගැනීම තමයි අරමුණ. මේ විදිහට ගියාම මනුෂ්‍යයා ගුණ ධර්මවලින් පිරිහෙනවා.

බොරුකීමෙන් මනුෂ්‍යයකුට කිසිම ලාභයක් නැහැ. ඒක ලාභයක් විදිහට පෙනෙන්නේ අධාර්මික පරිසරයක ජීවත්වන උදවියට. අපේ අත්තලා බොරුව පිළිකෙව් කරපු අය. “එක බොරුවක් වහගන්න බොරු සියයක් කියන්න වෙනවා…” කියලා අපේ සිංහල පිරුළක් තියෙනවා. මේක හරි පැහැදිලිව පෙනෙනවා අපි දන්නා අය බොරු කියන විදිහ බැලුවාම. උපනුපන් ආත්මවල තමන්ට වචන පැහැදිලිව කතා කරන්න බැරි එක තමයි බොරුවේ විපාක. තමන්ගේ වචනය අනිත් අය පිළිගන්නේ නැති වෙනවා. කට වාචාලයෙක් වෙනවා. කිසි වැදගත්කමක් නැතිවෙනවා. මේ දේවල් අත් විඳින්න වෙන්නේ නිරයේ ගිහිල්ලා මනුෂ්‍ය ලෝකයට ආපුහම.

දැන් බලන්න මත්පැන් මත්ද්‍රව්‍ය භාවිත වෙන විදිහ. මේ රටේ පන්සිල් ගන්න විදිහට මේ තරම් මත්පැන් සංසරණයක් තියෙන්න පුළුවන්ද කියලා හිතෙනවා. හැම තැනම මත්පැන් මත්ද්‍රව්‍ය භාවිත කරනවා. පාසල් දරුවාගේ සිට මේ ශික්ෂා පදවලට ගරුකිරීමක් තිබුණා නම් අන්‍ය ජාතිකයන්ට කිසිසේත්ම මේ දරුවන් මතට පොළඹවා ගන්න ලැබෙන්නේ නැහැ. ඒ සිදුරෙන් තමයි මේ පරිහානිය සිද්ධ වෙන්නේ. මේ සිල් පදය මෙනෙහි කරන්නේ නැහැ කියන්නේ, ඒකට පෙළඹවීමක් තියෙනවා කියලයි. අන්‍ය ආගමිකයන් අන්‍ය ජාතිකයන් ඒ පෙළඹවීමෙන් තමයි, සිංහල ජාතිය විනාශ කරන්නේ. මේ මතේ විපාක හැටියට ලිංගික බෙලහීනත්වය ඇතිවෙනවා. එහෙම බෙලහීන ජාතියකට ප්‍රෞඪ පුරුෂයන් බිහිකරන්න බැරි වෙනවා. එතැනම ජාතියේ ශ්‍රේෂ්ඨත්වය අහිමි වෙනවා. දුර්වල පුරුෂයන් ඉන්න ජාතිය ලෙහෙසියෙන්ම සිය ජාතිය පාවලා දෙනවා. පින්වත් දරුවන් අවශ්‍ය දෙමව්පියන් ඉන්නවා නම් ඒ අය මුලින්ම පංචශීලයෙන් යුක්ත වෙන්න ඕනේ. පංචශීලයේ පිහිටන්නේ නැතිව කොයිතරම් භාර හාර වුණත් වැඩක් වෙන්නේ නැහැ.

(උපුටා ගැනීම :- දිවයින පුවත්පත)

සාකච්ඡා කළේ – මනෝජ් අබයදීර