නිදාගත් ජාතියට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගෙන් පාඩමක් – 20

සිංහල ජාතියට ලැබෙන දේව රැකවරණ යෙන් ඔබත් රැකෙන්න

සත්පුරුෂයා සහ සත්පුරුෂයා වෙන් කරලා හඳුනාගන්න පුළුවන් සත්පුරුෂයාට විතරයි කියලා බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. අසත්පුරුෂයාට මේ දෙකම හඳුනාගන්න බැහැනේ… ආර්ය සිරිත් විරිත් හඳුනාගත්ත, ඒවා දරන පුද්ගලයාට විතරයි, ආර්ය චාරිත්‍ර හඳුනා ගැනීමට හැකියාව තියෙන්නේ. ඒවා හඳුනා ගන්න බැරි පුද්ගලයා කරන්නේ ඒවාට ගරහන එක. අද මේ ජාතිය ගැරහුම් ලබන්නේ පුද්ගලයන් ආර්ය ගුණධර්ම නොපිළිපැදීම නිසයි. තම තමන් ආර්ය ගුණධර්ම පුරුදු කරගත්තා නම් එදාට මේ ජාතිය ගැරහුම් ලබන්නේ නැහැ. අපි ජාතියක් විදිහට ශ්‍රේෂ්ඨභාවයට පත් වුණේ පංචශීිලය ආරක්ෂා කරගෙන හිටපු නිසා. පංච ශීලය රකින්නේ නැති පුද්ගලයා සමාජයේ පරිහානිය පටවන්නේ ජාතියට සහ ආගමට. ඒ පිරිස පන්සිල් රකින්නේ නැති නිසා සමාජය පිරිහුන බව ඔවුන් පිළිගන්නේ නැහැ. අවසානයේ ඒ වගකීමත්, දෝෂාරෝපණයක් ලෙස දමන්නේ ජාතියට. දේව රැකවරණ

එදා රජවරු ගත්තොත්, මේ අය රාජ සෘද්ධියෙන් මත් වූ අය නෙමෙයි. රජවරු කරලා තියෙන්නේ, වෙහෙර විහාර හදපු එක. දානාදී ගුණධර්ම පුරපු එක. “මම මේ දානාදී පිංකම් කරන්නේ මනුෂ්‍යයන්ගෙන් ලැබෙන බදු මුදලින්” කියලා සද්ධාතිස්ස රජතුමා එක දවසක් කල්පනා කළා. “මම වෙහෙස මහන්සි වෙලා දානයක් දෙන්න තියෙනවා නම් කොච්චර අගේද” කියලා එතුමා හිතුවා. මේ බව බිසවට දන්වලා, දෙදෙනාම වෙස්වලාගෙන ගමකට ගිහිල්ලා, ගොයම් කපන්න හදනවා.

“උඹලා බොහොම සැපට හැදුණු දෙදෙනෙක් බවයි පෙනෙන්නේ… ” කියලා, කුඹුරේ අයිතිකාරයා මේ දෙන්නා ගැන බලලා කියනවා. මේ දෙදෙනාගේ අත් දෙක දිහා බලලා “බොහෝම සියුමැලි අත්නේ… මේ වැඩ කරන්න පුලුවන්ද …?“ කියලා කුඹුරු හිමියා මේ යුවළගෙන් අහනවා. මේ දෙදෙනා කුඹුරු වැඩ කරලා, ඒවායෙන් වී අරගෙන, වී වලින් හාල් අරගෙන, වී විකුණලා කිරි ගිතෙල් අරගෙන, දානය හදනවා. හදලා ඉවරවෙලා “රහතන් වහන්සේ නමකට වඩින්න කියලා කාල ඝෝෂා කරන්න…“ කියලා රජතුමා විසින් දේවියට කියනවා. එතකොට රහතන් වහන්සේ නමක් සෘද්ධියෙන් වඩිනවා. ඒ විදිහට දානය දුන්න රජවරු හිටියා. ඒ කාලයේ තමයි රහතන් වහන්සේලා වැඩ හිටියේ. ඒ කාලයේ තමයි, මේ ධර්ම මාර්ගය හොඳට කතා කළේ. ඒ නිසා මේ ජාතිය ශ්‍රේෂ්ඨ සමාජයක් බවට පත් වුණා.

අපේ ජාතිය දියුණු වුණේ මේ ගුණධර්ම පදනම මත. එහෙම නැතුව අන්සතු දේවල් මංකොල්ල කාලා නෙවෙයි. අපේ රට අකර්මණ්‍ය කරපු ලන්දේසීන්ගේ රටේ රත්තරන් නැහැ. බ්‍රිතාන්‍යයේ රත්තරන් නැහැ. නමුත් ඒ අය ගාව විශාල රත්තරන් සංචිත තියෙනවා. ඒවා රැස් කළේ අනුන්ගේ රටවල් මංකොල්ල කාලා. අපි දියුණු වුණේ එහෙම නෙමෙයි. අපේ රටේ වටිනා වස්තු තිබිලා තියෙනවා. සුද්දෝ මේ රට දාලා යද්දී, සියලු මුතුපර විනාශ කරලයි ගියේ. මේ ජාතියට නැඟී සිටින්න තියෙන, හැම පැත්තක් ම නැති කරලා තමයි, සුද්දෝ ගියේ. සාරධර්ම ගත්තත් ඒ වගේ තමයි. භෞතික වශයෙන් අපිව නැති කළා. ආධ්‍යාත්මිකවත් නැති කළා. දැන් අපි මේ ජාතියට සාරධර්ම ගැන කියන කොට, අපිට අන්තවාදීන් කියනවා. ඒ තරමට මේ ජාතිය පිරිහිලා. කවුරු හරි ජාතියට ගුණධර්ම මතක් කළොත්, ශ්‍රේෂ්ඨ ලෙස ඉන්න කිව්වොත් ඒ අයට අන්තවාදීන් කියන්න තරම් ජාතිය පිරිහිලා. ශාක්‍ය වංශය ශ්‍රේෂ්ඨ වුණේ පැහැදිලි ගුණධර්ම නිසා. අපිත් ඒ ශාක්‍ය වංශය සමග නෑදෑකමින් බැඳුණු පිරිසක්.

අපිට අද වෙලා තියෙන්නේ, නීච ජාතීින් ඇවිල්ලා අපිට කරපු දේවල් නිසා අපි පිරිහෙන්න පටන් අරගෙන. කොසොල් රජතුමා දැකපු නරි රත්තරන් තැටියේ මුත්‍රා කරපු එක තමයි අද මේ ජාතියට වෙලා තියෙන්නේ. ඒක මේ ජාතියේ වැරැද්දක් නෙමෙයි. ඒ පසුපස ගිය අයගේ වැරැද්දක් මිස. කවදාහරි රන් තැටිය පිරිසිදු කරපු දාකට ඒක ආයෙත් බබළන්න පටන් ගන්නවා. ඒ වගේම යළිත් ආර්ය සිරිත් විරිත් වලින් පිරෙන්න පටන් ගත්තහම, මේ ජාතියේ පැවති අභිමානය, ශ්‍රේෂ්ඨභාවය ආයෙත් ඉස්මතු වෙන්න ගන්නවා.

කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් මෙසේ වදාරන්නේ ලෝකයට ම ණය වූ ජාතියක් බවට අද වන විට පත් වී ඇතත්, එදා මේ ජාතිය ලෝකයේ ශ්‍රේෂ්ඨ ජාතියක් බවට පත් වූ අන්දම ජාතියට මතක් කර දීමටය. ආර්ය මාර්ගයේ පියවර නඟන ජාතිය තැනිය යුත්තේ ආර්ය වත් පුරනා පුද්ගලයෙකු තැනීමෙනි. ඒ උදෙසා උන්වහන්සේ විසින් ලබා දෙන තවත් සදහම් දේශනාවකි මේ.

මේ ජාතියට දෙවියන්ගෙන් රැකවරණය තිබ්බා. හැබැයි ඒක ජාතියට උරුම වුණේ, මේ ජාතිය තෙරුවන් උදෙසා දිවි පුදා සිටින තාක් පමණයි. දෙවියන් විසින් මිනිසුන්ට ප්‍රශංසා කරන්නේ ඒ මිනිසුන් ළඟ ගුණයක් තියෙනවා නම් විතරයි. බුදුරජාණන් වහන්සේ පාටලීගමට වැඩම කළ වෙලාවේ, සුනීධ වස්සකාර අමාත්‍යවරු දානයක් දුන්නා. ඒ දානය වළඳපු බුදුරජාණන් වහන්සේ අනුමෝදනා බණක් වදාළා. යම් කිසි ප්‍රදේශයක නුවණැති මිනිස්සු වාසය කරනවා නම්, ඔවුන් විසින් ආර්යයන් වහන්සේලාට දානය දීලා, එම ප්‍රදේශයේ වැඩ සිටින දෙවි දේවතාවුන්ට එම පින් අනුමෝදනා කරනවා නම්, ඒ ආකාරයට දෙවියන් පිදූ විට දෙවියන් පෙරළා ඔවුන්ව පුදනවා. දෙවියන්ට ගරු සරු දැක්වූවාම පෙරළා දෙවියන් විසින් ඔවුන්ට ගරු සරු දක්වනවා. මෙහෙම කරනකොට දෙවිවරු තමන්ගේ ම දරුවන්ට වගේ මනුෂ්‍යයන්ට අනුකම්පා කරනවා. මෙසේ දෙවියන්ගේ අනුකම්පාව ලබන පුද්ගලයා සැමවිටම යහපත දකිනවා කියලා එතැනදී බුදුරජාණන් වහන්සේ වදාරනවා.

දෙවියන්ගේ අනුකම්පාව ලබන්න පුළුවන් වෙන්නේ, දෙවියන්ට ගැරහීමෙන් හෝ යාතිකා කිරීමෙන් නොවේ. දෙවියන් සතුටු වෙන ආකාරයට බලවත් පුණ්‍යකර්මයන් තුනුරුවන් විෂයයෙහි ඉටුකිරීමෙන් පමණයි දෙවියන් පහදවා ගත හැක්කේ. ඒ කියන්නේ මනුෂ්‍යයා ගුණධර්මයන්ගෙන් යුක්ත විය යුතුයි කියන එකයි.

අපේ මුතුන් මිත්තන් රුවන්වැලි මහා සෑය වන්දනා කරලා, වෙහෙර විහාර වන්දනා කරලා, දාන, සීලාදී ගුණධර්ම පුරලා බුදුරජාණන් වහන්සේගේ ගුණ කදම්භය ඉස්මතු කරගෙන පින් කරද්දී, ඒ පිනට තමයි, දෙවියන් සතුටු වුණේ. ඒ පින කරපු කෙනාව තමයි, දෙවියන් ආරක්ෂා කළේ. තමන් ළඟට අනාගතයේ එන කෙනාව දෙවියන් විසින් ආරක්ෂා කරනවා. දැන් මිනිස්සු ළඟට දෙවියන් ළංවෙන්නේ නැත්තේ, ඔවුන් දුස්සීල නිසයි. තිසරණය තමන් කෙරෙහි නොමැතිව, සුදු පිරුවටයකින් ඇඟ වසාගෙන අසුරයන්ට පූජාවක් දීලා දෙවියන්ගේ උදව් ගැනීමට තමයි කල්පනා කළේ.

සැබෑ ලෙසම තිසරණයේ පිහිටලා දෙවියන්ගේ රැකවරණය ලබාගන්න විදිහ වර්තමානයේ සිටින බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ආටානාටිය සූත්‍රය කියෙව්වා නම් මේ ගැන හොඳට තේරෙනවා. භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකාවන් ආරක්ෂා කරනවා කියලා, වෛශ්‍රවණ දේවතාවා බුදුරජාණන් වහන්සේට පවසනවා. උපාසක උපාසිකා කියලා කිව්වේ, තිසරණයේ මනාකොට පිහිටන අයටයි. එහෙම අය ඉන්නවා නම් දෙවියන් ඔවුන් ආරක්ෂා කරයි. අනිත් අය දෙවියන් විසින් ආරක්ෂා කරන්නේ නැහැ.

අද සමහර පිරිසක් දෙවියන් යැයි සිතාගෙන අසුරයන් අදහනවා. අසුරයන් කියන්නේ, හින්දු ආගමේ ඉඳලා ආපු, කෝවිල් වල ඉන්න අය. කතරගම දෙවියන් එහෙම කෙනෙක් නෙමෙයි. කතරගම දෙවියන්ට අසුර සම්භවයක් තියෙන්න පුළුවනි. ඒත් කතරගම දෙවියෝ මේ භූමියේදී තිසරණය වැළඳ ගත්ත කෙනෙක්. තෙරුවන් සරණ ගිය කෙනෙක්. මේ සිංහල දේශය ආක්‍රමණිකයන්ගෙන් බේරාගන්න අපේ දුටුගැමුණු රජතුමාට උදව් කළේ කතරගම දෙවියෝ. ඒ නිසා උන්වහන්සේ ධර්මයට කැමැති, අපේ ජාතියට රැකවරණය දෙන කෙනෙක්. අපේ ජාතියට ඒ විදිහට රැකවරණය දෙන කෙනෙක් තමයි සුමන සමන් දෙවියෝ. වෛශ්‍රවණ දිව්‍යරාජයාත් එහෙම මේ ජාතියට රැකවරණය දෙන කෙනෙක්. විභීෂණ දෙවියන් ආදී දෙවිවරු මේ ජාතියට රැකවරණය දෙනවා. මේ දෙවියන්ගේ රැකවරණය ලැබෙන්නේ, අපි භාග්‍යවතුන් වහන්සේට වැඳ වැඳ ඉන්න නිසා. දෙවිවරුන්ට පැහැදීම තියෙන්නේ වර්තමාන මනුෂ්‍යයා ගැන නෙමෙයි, බුදුරජාණන්වහන්සේ ගැනයි.

අසුරයෝ කියන්නේ දෙවියන් නොවන කොටසක්. නමුත් දෙවියන්ට වගේ ආනුභාවය තියෙන කොටසක්. සමහරු අසුරයන්ට ප්‍රශ්න ගිහිල්ලා කියන කොට ඒකට තාවකාලික විසඳුමක් දෙනවා. ඒ පුද්ගලයා ආයෙත් තමා ළඟට ගෙන්න ගන්න ඕනේ නිසා, ඊට වඩා ලොකු ප්‍රශ්නයක් ආයෙත් එයාට අසුරයා විසින් හදනවා. එහෙම කරන කොට තමයි, අසුරයන්ට පැවැත්මක් තියෙන්නේ. මෙහෙම දිගටම කරන කොට අසුරයන්ගේ දාසයෙක් බවට පත්වෙනවා. අන්තිමට මරණින් මත්තේ අසුරයන්ගේ දාසයෙක් වෙලා ඉපදෙනවා. දෙවියන් අතරට යන්නේ නැහැ. සංසාරයේ දිගින් දිගටම දුකේ තමයි.

මුල් කාලයේ තව්තිසාවෙත් අසුරයෝ ඉඳලා තියෙනවා. තව්තිසාව ආක්‍රමණය කරලා ඉඳලා තියෙනවා. ඒ කාලයේ අපේ බෝසතාණන් වහන්සේ සක්දෙව් තනතුරේ උපන්නා. ඒ කාලයේ තව්තිසාවේ හරියට මත්පැන් බොනවා. අසුරයෝ මත්පැන් සාද පවත්වනවා. මේ අසුරයෝ පරාජය කරන්න, බෝසතාණන් වහන්සේ උපායක් යෙදෙව්වා. එක් මත්පැන් සාද පවත්වන වෙලාවක හොඳට බොන්න ඉඩ දීලා, ඒ අයව තව්තිසාවෙන් එළියට ඇදලා දාලා, ආයෙත් තව්තිසාවට එන්න බැරිවෙන්න රැකවල් යෙදෙව්වා. එදා තමයි, සුර අසුර භේදය ඇතිවුණේ. මේ අසුරයෝ වරින් වර ගිහිල්ලා තව්තිසාවත් ආක්‍රමණය කරනවා. ඒක වෙන්නේ දෙවිවරු දුර්වල වුණහමයි. දෙවිවරු දුර්වල වෙන්නේ, මිනිස්සු දුර්වල වුණහමයි. මිනිස්සු තමයි, තෙරුවන් වන්දනා කර කර තමන්ගේ පුණ්‍ය බලය උපද්දව ගන්නේ. තිසරණය පිහිටලා නැති අයට දේවාල ගානේ ගියහම සුර පිහිට ලැබෙන්නේ නැහැ. ඒ අය කරන්නේ අසුර වන්දනාව.

සුර පිහිට නොඅඩුව ලබාගන්න පුළුවන් රුවන්වැලි මහා සෑය වන්දනා කිරීමෙනුයි. අසුරයන් වන්දනා කර කර හිටියාට මේ ජාතියට අසුර පිහිටක් ලැබෙන්නෙත් නැහැ. සිංහල ජාතිය ආර්ය ජාතියක්. ආර්ය ජාතියට පිහිට වෙන්නේ දෙවියන් මිස අසුරයන් නෙවෙයි. පටු ලාභය උදෙසා අපේ සමහරු අසුර වන්දනාවේ යෙදුණාට වෙන ජාතියකට වඩා පහසුවෙන් සිංහල ජාතියට දෙවියන්ගේ පිහිට, රැකවරණය ලැබෙනවා.

සිංහල ජාතිය බිහිවුණේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයත් සමඟ, මහා බුද්ධානුභාවයෙන් යුක්තව. මේ නිසා සිංහල ජාතියේ ලේ ධාතුවට දෙවියන්ගේ ආශිර්වාදය තියෙනවා. ශාක්‍ය වංශයේ එන ජාන මේ ජාතිය සතුව තියෙන නිසා දේවාකර්ෂණය නිතැතින්ම ලැබෙනවා. ඒ පිරිස අද අසුරයෝ අදහන්න පටන් ගත්තාහම, නැකත්, නිමිති පස්සේ යන්න ගත්තාට පස්සේ වෙන්නේ, සිංහල ජාතියට තිබෙන දේව කැමැත්ත, දේවාකර්ෂණය නැතිවෙලා යනවා.

මනාකොට තිසරණයේ පිහිටීමෙන් මේ ජාතියට දෙවියන්ගේ ආකර්ෂණය පහසුවෙන් ලබාගන්න පුළුවන්. පොහොය අටසිල්, නිති පන්සිල් ආරක්ෂා කරගෙන ඉඩ ලැබෙන ලැබෙන වෙලාවට ස්වර්ණමාලි මහා චෛත්‍යය වන්දනා කරමින්, දෙවියන්ට පිං දීදී ඉන්න කොට ඒ පුද්ගලයාට දේවාශිර්වාදය හිමි වෙනවා. දෙවියෝ හැම විටම ඒ කෙනාව ආරක්ෂා කරනවා. මෙහෙම කරනකොට, කාලයක් තිස්සේ ඒ පුද්ගලයා අසුරයන් වන්දනා කරපු කෙනෙක් නම්, අසුරයෝ පීඩා පමුණුවයි. එතකොට දෙවියන් ගැන සැකයක් ඇතිවෙන්න පුළුවන්. අපි මෙච්චර පින් දහම් කරනවා… අපිට මේ තරම් කරදර ඇයි…? කියලා ඒ අයට දෙවියන් ගැන සැකයක් ඇතිවෙන්න පුළුවන්. ඒ සැකය ඇති කිරීම තමයි අසුර වුවමනාව. ඒ සඳහා තමයි, අසුරයෝ එහෙම කරදර කරන්නේ. ඒ කරදර ගැන හිතන්නේ නැතුව තෙරුවන වෙනුවෙන් දිවි පුදා, සිටිනවා නම් නිසැක ලෙසම දෙවියන්ගේ පිහිට සහ ආරක්ෂාව ලැබෙනවා.

එහෙම පිළිසරණ මේ ජාතියට තියෙනවා. මේ ජාතියට කොයිතරම් කරදර ආවත් අද වෙනකම් මේ ජාතියට ආරක්ෂාව ලැබෙන්නේ දෙවියන්ගෙන්.

(උපුටා ගැනීම :- දිවයින පුවත්පත)

සාකච්ඡා කළේ – මනෝජ් අබයදීර